කඩේ ආතාට පත්තර කියවිල්ල

අපි ළමා කාලෙ අද්‍යාපනය ලැබුවෙ ස්කෝලෙන්ම විතරක් නොවෙයි. ස්කෝලෙන් දාපු පදනම ශක්තිමත් වුනේ ගමේදි අහන්න දකින්නට තිබුනු දේ වලින්. මම ගමේදි ගොඩක් දේ ඉගන ගත්ත තැනක් වුනේ ගමේ කඩේ. අපේ ගමේ කඩේ අයිති වුනේ කඩේ ආත්තට. කඩේ ආතගෙ මද්දුම පුතා තමයි අපේ ස්කෝලෙ නිර්මාතෲ ඩි ටි මද්දහෙට්ටි මහත්තය. කඩේ ආතට ගොඩක් අය කිව්වෙ “කෙදිරි ආත”කියල. හැබැයි උන්ද ඉන්න තැනදි නම් එහෙම කිව්වෙ නෑ. ආතගෙ නම දොන් සුවාරිස් මද්දහෙට්ටි. ආත කාරණාකාරණා දන්න ජ්‍යෝතිෂය පිලිබද හොද දැනීමක් තිබුන කෙනෙක්..

ආතගෙ කඩේ දිග ස්තෝප්පුවක් තිබුනා. පුටු හතරක් ටීපෝ එකක් එක්ක කඩේ දොර ලෑලි ටික අතුරපු වාඩිවෙන බංකුවක් වගේ කොටසත් එක්ක ස්තෝප්පුව පිරුනා. කඩේ ඇතුල හුලං ස්කෝතු බෝතලය, නාරංබික්, සූකිරි බෝතල්, පොල්තෙල් බූමිතෙල් ටිං දෙක, සීනි මිරිස් ගෝනි ටික, රාක්කෙ බඩු ආදියෙන් සමන්විතයි. ඉස්සරහ ටීපෝ එක උඩ දිනමිණ පත්තරේ වරදින්නෙ නෑ. හැබැයි අද තියෙන්නෙ ඊයෙ පත්තරේ. ඒ එදා දවසෙ පත්තර එදාම අපිට ලැබුනෙ නැති නිසා. ඉරිද සිලුමිණත් සදුදා වෙනකොට වරදින්නෙ නෑ.

ඉතින් මේ කඩේ උදේ වරුවෙ වැඩිදෙනෙක් එන්නෙ නෑ. හවසට තමයි වැඩිදෙනා කඩේට එන්නෙ. මම ඉතින් කඩේ ලගට යන්නෙ හවස 3ටවිතර. ගිය ගමන් ආත කියනව “දරුව ආපු එක හොදයි. ඔන්න පත්තරේ තියෙනව අරගෙන කියවපන්කො මටත් ඇහෙන්න” කියල. ආතට ඕනෙ පාර්ලිමේන්තුව කියවන්න. ඒත් මට ඒක පෙන්නන්න බෑ. ඒත් ආත තරහ වෙන හින්ද කියෝනව. ආත උග්‍ර යූ ඇන් පී කාරය. ඩඩ්ලි මහත්තයටත් වැඩිය ජේ ආර් මහත්තයට කැමති. මම පාර්ලිමේන්තු වාර්තාව පටන් ගන්නෙ ඒකෙ හෙඩිමෙන්. මේ කියන කාලෙ තිබුනෙ මැතිණිගෙ ආන්ඩුව. ආත කියන්නෙ “අපි දරුවො දැන් විරුද්දපක්ෂෙ” කියලයි. ඉතින් හෙඩිම තිබුනොත් “හත් හවුල් එ ජා ප ය රට ආපස්සට යවලා”ඇන් ඇම්කියල ආත කියනව “අනේ උන්දැ දන්න ආපස්ස” කියල. ඉතින් පාර්ලිමේන්තුවෙ ශ්‍රී ලංකා සම සමාජ මන්ත්‍රී කතා වලට ආත බනිනව. ඒ විතරක් නෙමෙයි බඩු ගන්න ආපු අයවත් ඒකට එකතුකරගන්නවා. යූ ඇන් පී කතාවලට ආත අත්පොඩි ගහනව. ඉක්මනට පත්තරේ අනිත්ව බලන්න පාර්ලිමේන්තු වදේ ඉවර කරන්න ඕන නිසා මම කතා සංශෝදනය කරනව. කතාවක මැද්දෙන් කෑලි අඩුකරල කියෝනව. දවසක් දෙකක් මේක කරහම යූ ඇන් පී කතාවක කෑලි අඩු කරහම ආත අහනව “කොටසක් ඇරුන නේද දරුවො ආයෙ කියවපන් කියල”. ඒකෙන් තේරුනේ ආත උදේ වරුව හිමිහිට පත්තරේ බලල තියන බවයි. ඒ ගමන මම යූ ඇන් පී කතා නොකප ශ්‍රී ලංකා සමසමාජ කතා විතරක් කපල කියවන්න වුනා. ටික දවසකින් මට හිතුන ආතව කේන්ති ගස්සන්න සමසමාජ කතාවලට යූ ඇන් පියට දොස් කියන කෑලි එකතු කරන්න. ඉතින් කොල්වින් ආර් ද සිල්වා ඇමති තුමාගෙ ඇන් ඇම් පෙරේරා ඇමති තුමාගෙ වාසු දේව මන්ත්‍රී තුමාගෙ කතා වලට අතින් දාල ආතට කේන්ති යන විදියට යූ ඇන් පියට දොස් කියන කෑලි එකතු කරලා කියව්වා. එක දවසක් මෙහෙම කියෝන කතාවක් අහගෙන හිටපු සමසමාජ කාරයෙක් උන වෙද ලොකු අප්ප “පොඩ්ඩක් මෙහෙට ගෙනෙන් පත්තරේ කියල අරගෙන බලල අහනව පෙන්නපං බලන්න උඹ කියොපුවා කියල. මම බංකුවෙන් නැගිටල ගෙදර දිව්ව. එදා මගේ නිර්මානශීලී පාර්ලිමේන්තු වාර්තාව සෑහෙන කාලෙකට නැවතුනේ මාස ගානක් යන කං කඩේ පැත්ත පලාතක ගියේ නැති හින්ද.

Advertisements

One thought on “කඩේ ආතාට පත්තර කියවිල්ල

  1. ඒ කාලේ “අංකුර” නිර්මාණකරුවෙක් වුණු ඔබතුමාගේ වර්තමාන නිර්මාණ හැකියාවෙත් අඩුවක් නැති හැඩයි. කඩේ ආතගේ කඩේ ගැන චිත්ත රූප මවන්න තරම් කරලා තියෙන විස්තරයම ඒ බව හඟවනවා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s