කඩේ ලඟ කතා – මන්තර කාරයෝ

පාසැල් මිත්‍රයො ගැන මතක් වෙනකොට මතක් වෙන තවත් පිරිසක් ඉන්නව. ඒ අපේ ගමේ ජීවත් වුනු අපේ වැඩිහිටියො. අපි අද්‍යාපනය ලබන කොට මේ වැඩිහිටියන්ගෙන් ගොඩක්දේ ඉගෙන ගත්ත. වැඩිහිටියො එකතු උනාම ඔවුන් කතාබහ කරන දේ අහන්න අපි හරි ආසයි. මේ විදියට වැඩිහිටියො එකතු වුන තැනක් තමයි ආතගෙ කඩේ. සාමාන්‍යයෙන් පායන දවස් වල හැන්දැකොරේ ආතගෙ කඩේ ලඟට කට්ටිය එකතු වෙනව. හවස හතර විතර ඉදන් එක එක්කෙනා කඩේ දිහාවට යන්නෙ පත්තරේ බලල ගමේ රටේ තොරතුරු කතාබහ කොර ගන්න. මේ වැඩිහිටි සංවාදෙ අහන්න තියන ආසාව හින්ද හවස තුන විතර වෙනකොට මම කඩේ ලඟ. ආතට පාර්ලිමේන්තු වාර්තව එහෙම කියෝල පත්තරේ බලන මට පේනව අල්ලපු ගෙදර දිලෙස් මාමා කඩේට ගොඩ වෙනව. දිලෙස් මාමා පොඩි පොඩි වෙලහෙලඳාම් වැඩ වලට කොලඹ එහෙම යන කෙනෙක්. මාමා රටතොට ගැන තොරතුරු බොහොම දන්නව. කඩේට ගොඩ වෙන ගමන්ම මට කියනව “ආ දරුවො කීයද බලාපන්කො රබර් මිල?” කියල. මම ඉතින් පිටුව හොයාගෙන හයියෙන් කියෝනව “දුම් ගැසූ දාර රොටි රාත්තලශත විසිඅටයි…” කියල පටන් අරගෙන දිගට කියෝනව. ඒත් මේ දාර රොටි කියන එක මට තේරෙනව මදි. මම ඇහුව දිලෙස් මාමගෙන් මොනවද මාමෙ මේ දාර රොටි කියන්නෙ කියල. මාම කියනව පොඩි එකෝ ඔය රොටිය දුම් ගස්සන්නෙ කෝටුවක් හරි මැද්දෙන් දාලනෙ. අන්න ඒ කෝටුවෙ දාරෙ රොටියෙ තියන හින්ද ඒවට දාර රොටි කියනව කිව්ව. මේ විදියට රබර් කතාව යනකොට සයිමන් බාප්පත් කඩේට ගොඩවෙනව. ඒ එක්කම කතාව ගොවිතැන් වැඩ වලට හැරෙනව. වපුරන වී වර්ග, ඒවායෙ අස්වැන්න, බතේ රස, සතුන්ගෙන් වෙන හානිය, ඕවගේ ඒව කතා කරකර ඉන්න කොට අපේ ලොකු මාමායි සුදු වැලිපත ජෝන් මාමයි දෙන්න එනව. මේක දකින දිලෙස් මාම කියනව “ඔන්න බොල ඔලිවර් කාරයයි සන්නියයි දෙන්න එනව, දැන් ඕමි අතක් බලතෑකි” කියල. ඔලිවර් කාරය කියන්නෙ අපේ ලොකු මාමට. උන්දැගෙ නම කොලඹ ආරච්චිගේ මෙතියෙස්. ඒ උනාට ගමේ වැඩිහිටියො කිව්වෙ ඔලිවර් කියල. ජෝන් මාම ගෙ නම සයිමන් වගේ නමක්. ඒත් ඒක චන්දෙ දානකොට විතරයි පාවිච්චි කරේ. ජෝන් කියන නම ගමේ පොදුවෙ පාවිච්චි කරා. වැඩිහිටි කට්ටිය සන්නි ජෝන් කියල නමක් තිබ්බෙ ගමේ තව ජෝන්ල හිටි නිසා වෙන්නැති. ඕමි අත බලන්න ගත්තොත් කතා ඇහිල්ලට බාදා වෙන හින්ද මට හිතට හරි නෑ. වෙලාවට ලොකු මාම මට කියනව “ඉල්ලගනින් ආතගෙන් කඩදාසි කුට්ටම” කියල. ආත කියනව බඩු දෙන ගමන්ම “ඔන්න දරුවො රාක්කෙ ඇති” කියල. මම පැනල කඩදාසි කුට්ටම අරගෙන කොල ටිකක් ආතගෙ මේසෙ පත්තර කොලේ යටට දාල ඉතිරි ටික ලොකුමාමට දෙනව. ලොකුමාම කුට්ටමේ කොල ටික සීරුවට බලල ඕමිය හමාරයි,කියල පැත්තකින් තියනව. සයිමන් බාප්ප කුට්ටම ඉල්ලනව. ලොකුමාම කියනව කොල අඩුයි කියල. ආත කියනව “මෙතියෙස් බලපන් රාක්කෙ” කියල. රාක්කෙ පුරා බැලුවත් අඩු කොල හෙවිලි බොරු. ජෝන් මාම අහනව ඉතින් “ඕයි ඔය කොල ටික යකා ගෙනිච්චද?” කියල. ඒකත් එක්ක යක්කු ගැන කතාවක් ආරම්බ වෙනව. යක්කු කරපු වැඩ කීපයක් දිලෙස් මාම කියනව. උන්දැට මන්ත්‍ර සම්බන්දව දැනුමකුත් තිබුන. ජෝන් මාමා යකාටවත් බය කෙනෙක් නෙවෙයි. උන්දැ කියනව කැලේ යනකොට යක්කු කරපු අරියාදු ගැන. එක දවසක් ජෝන් මාමයි ලොකු මාමයි වැල් කපන්න ගියාලු. එකම වැල් මන්ඩියෙ දෙපැත්තෙන් කතා කරකර දෙන්න වැල් කැපුවලු. ටිකකින් ලොකුමාමගෙ කතා සද්දෙ අඩු වෙලා වැල අදින සද්දෙ විතරක් ජෝන් මාමට ඇහෙනවලු. මේක ගානක් නැතුව ජෝන් මාම වැල් කැපුවලු. ලොකු වේවැලක් කපපු ජෝන් මාම වැල හයියෙන් ඇද්දලු. කොච්චර හයියෙන් ඇද්දත් වැල පහලට ඇදෙන්නෙ නැති නිසා ටිකක් බරදාල ගහකට කකුල තියල ඇද්දලු. මෙන්න වැල කවුරුහරි උඩහට අදිනවලු. ජෝන් මාම හනිකට වැල අත ඇරල කුනුහරුපෙන් බනින්න පටන් ගත්තලු. මම ඇහුව ලොකු මාමටද කියල. “නෑ නෑ යකාට” කියල ජෝන් මාම කිව්ව. මේ වෙනකොට තව කට්ටිය කඩේට ඇවිල්ල. කතාවට තව කට්ටිය එකතු වෙලා එකිනෙකාට වෙච්ච සිද්දි කියනව. ගමේ හිටපු නම් දරාපු මන්ත්‍ර කාරයො පැත්තට කතාව යනව. කඩේ ආත මට කියනව දරුවො බොලාගෙ ආත අරනෝරිස් අයිය මේ පැත්තෙ හිටපු නම් දරාපු මන්ත්‍ර කාරය කියල. ඊලගට මේ මන්ත්‍ර වලින් කරපු හපන්කම් ගැන කතාව. රනහිං කට්ටඩි ආත ඉස්සර දවසක කඩ පිලේ වාඩි වෙලා ඉන්න කොට පිට ගමකින් ආපු කන්ඩායමක් කඩේ ලඟින් සරොන් වලාපට ගහගෙන ලොක්කො වගේ ගියාලු. රනහිං ඇල පහු කරන කොටම කොහෙදෝ ඉදන් ආපු කපුටු රංචුවක් මේ අයට කොටන්න ගත්තලු. පාරෙන් කැලේට පැන්නම කපුටු කෙටිල්ල නවතිනවලු. ඉතින් මේ අය කැලේට පැනල කෑගහන කොට ගමේ කෙනෙක් ගිහින් කතා කොලාලු. විස්තරේ කිව්වම ගමේ කෙනා ඇහුවලු “කඩේ ලඟ වයසක කෙනෙක් හිටියද උරයක් පලා සරමක් දාගත්තු” කියල. “ඔව් ඔව් නාකියෙක් නම් ඉන්නව දැක්ක” කියල පිටගම් කාරයො කිව්වලු. “වහාම ආපහු ගිහිල්ල උන්දැට බුලත් අතක් දීල සමාව ගනිල්ල නැත්නම් බොලා අද ගමට නෙමෙයි වලට තමයි යන්න වෙන්නෙ” කිව්වලු. ඉතින් මේ කට්ටිය කැලේ දිගේම කඩේ ලගට ඇවිත් රනහිං කට්ටාඩි ආතගෙන් සමාව ගත්තලු. අාත ලග තිබුනු වේවැලකින් පාර දෙක දෙක ගහල “දැන් පලයල්ල. මීට පස්සෙ ගමක් හරහා යනකොට වැඩිහිටියෙක් දැක්කම ගරුසරුවට ඉන්න ඉගෙන ගනියව්” කිව්වලු. ඔහොම කතාවලින් පස්සෙ අඳුරු වැටෙන්න ඉස්සෙල්ල ගෙදරට දුවන්නෙ යක්කුන්ට පරාන බය හින්ද. එහෙම දාට හීනෙන් යක්කු දැකල බයවෙලා කෑ ගැහැව්වම අම්ම කියන්නෙ “කඩේ ලග කටවල් බලා ඉදල අවිත් නිදා ගන්නව, ඉතින් බය නොවී තියේයැ. ආයෙ හෙම යන්නෙ නෑ ලොකු අයගෙ කටවල් දිහා බලන්න” කියල.

Advertisements

5 thoughts on “කඩේ ලඟ කතා – මන්තර කාරයෝ

  1. ලමයින්ට යක්කු ගැනයි දෙයියො ගැනයි ගොන් කතා පොඩි කාලෙම ඔලුවට දානවට මම නම් විරුද්දයි

    Like

  2. ඉස්සර ළමයින්ට ගමේ වැඩිහිටියන්ගෙන් ලැබුණු අවිධිමත් ඒත් වැදගත් අධ්‍යාපනය අද ළමයින්ට ලැබෙන්නේ නැතිවා විතරක් ඒ තැන සමාජ ජාල වෙබ් අඩවි අරගෙන.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s