ලක්ෂ්මන්ගේ හපන්කම

ඉඟුරුදලුවෙ ස්කෝලෙ තව කතා හුඟක් තිබුනත් එතනින් අතලෙ ස්කෝලෙට ආපුවම සිද්ද වුන දෙයක් ගැන මතක් වුනේ ඊට සම්බන්ද කෙනා ඊයෙ පෙරේද දුරකතනයෙන් කතාකල නිසයි. 1972 ජනවාරි 1 හෝ 2 මමත් එක්ක ඉඟුරුදලුවෙ ස්කෝලෙ 8වන ශ්‍රේණියෙ හිටපු සියලු දෙනා අතලෙ ස්කෝලෙ 9 පංතියට ඇතුලු වුනා. හරියටම 5 දෙනයි. මගේ මිත්‍ර සෝමෙයි මමයි ගෑනු ළමයි 3 දෙනයි. මීට ඉස්සෙල්ල කිව්ව විදියට ඉඟුරුදලුවෙ ලොකු මහත්තයා ගාරලිස් විදුහල්පති තුමා අන්තිම දවසෙ කිරිබත් කන්න දීල පුද්ගලිකව දීපු අවවාදෙ හින්දද කොහෙද මම අලුත් ස්කෝලෙදි ගුටිකන වැඩ නම් කරන්නෙ නෑ කියල හිතාගෙනයි හිටියෙ. 

අතලෙ ස්කෝලෙ විදුහල්පති සේන විජේසේකර සර්. මම ගුරුවරයෙකුට සර් කියල මුලින්ම ආමන්ත්‍රනය කලේ සේන සර්ට. ඊට කලින් අපි ගුරුවරුන්ට ආමන්ත්‍රනය කලේ මහත්තයා කියල. අතලෙ ස්කෝලෙ ලමයි වැඩියි. ගුරුවරුත් 8දෙනෙක් විතර හිටියා. සුමානයක් විතර යනකොට ස්කෝලෙ අලුත් යාලුවො එහෙම හැදුනා. 

මම පරණ ඉඳන් දන්න යාලුවෙක් ලක්ෂමන්. අපේ ගෙවල් වලට ආසන්න සුදුවැලිපත ගමේ එකෙක්. මිනිහ හෝඩියෙ ඉදන්ම අතලෙ ස්කෝලෙ ඉගනගත්තෙ.මට පහල පංතියක හිටිය මිනිහ දවසක් ස්කෝලෙ පටන්ගත්තට පස්සෙ පංතියෙන් එලියට ඇවිත් එලියෙ ඉදන් මට අත වනල කතාකලා. අපේ පංතියෙ ඒ වෙලාවෙ ගුරුවරයෙක් නොසිටි නිසා විදුහල්පති මේසෙ (පංතියට කිට්ටුව තිබුන) ලඟට ගිහින් වැසිකිලියට යන්න අවසර අරගෙන මමත් එලියට ගියා. 

“වරෙන් යන්න පිට්ටනිය පැත්තෙ අඹ කඩන්න” මිනිහ කිව්ව. 

මමත් හා කියල ලක්ෂමන්ගෙ පස්සෙන් වැටුනා. පිට්ටනියට ටිකක් මෙහාදි මේසන් හැන්දයි මට්ටම් ලීයයි අතින් ගත්තු බාස් උන්නැහැ කෙනෙක් ඉදිරියට එනව මුන ගැහුනා. බාස් උන්නැහැ පහු වෙනකොටම ලක්ෂමන් කියනව “යමං බාස්ගෙ වැඩ කොහොමද බලන්න”.

මම ඉතින් කෝඩුකාරය. සද්ද නැතුව මිනිහගෙ පස්සෙන් යනව. අලුත් වැසිකිලියක් ලඟට ගිය ලක්ෂමන් ඒකට එබිල බලල මට කියනව “මේක නියමෙට හදල අපි මේක විවුර්ත කරමු” කියල. මම මොකුත් කියන්න ඉස්සෙල්ලම මිනිහ වැසිකිලි පඩි දෙකට ගොඩ වුනා. අලුත් සිමෙන්තියෙ කකුල් දෙක එරුනා. ඉක්මනට එලියට පැනපු ලක්ෂමන් පිට්ටනියට දුවල තණකොල ගොඩේ කකුල උලල ශුද්ධ කරගෙන ආපහු පංතියට එන්න හැරුන. පංතිය පැත්තට එනකොට මඟදි විදුහල්පතිතුමා ඉදිරියට මුණ ගැහුනා. අපි කරබාගෙන පංතියට ආවා. 

විනාඩි දහයකින් විතර හයියෙන් හයියෙන් ගොඩනැගිල්ලට ආපු සේන සර් මාවත් ලක්ශ්මන්වත් මේසෙ ලගට කැදෙව්ව. මම පරාන බයේ සර් ලඟට ගියාට ලක්ෂමන් සැහැල්ලුවෙන් ආව. මිනිහ ඒ තරම්ම කට්ටය. ඉස්සෙල්ලම ලක්ෂමන් ගෙන් සර් අහනව “කව්ද අර අලුත් වැසිකිලියෙ අඩිය තිබ්බෙ?” “බුදුම්ප මම නම් නෙවෙයි සර්”. මේකා චේතිය සයිස් බොරුවක් ඇදබානව. ඊලග ප්‍රශ්නය මට.”කව්ද මේ වැඩේ කලේ තමුසෙ කියනව”. මට මතක් උනේ ගාරලිස් විදුහල් පති තුමාගෙ කිරිබත් අවවාදෙ. එනම් ගුරුවරුන්ට කීකරුව ඉන්න කියන එක. මම ක්ෂණයකින් ඇත්ත කියන්න තීරණය කරනව. සර් මේ ලක්ෂ්මන් තමයි අඩිය තිබ්බෙ” මම කිව්ව. මේක ඇහුනු ගමන් ලක්ෂ්මන් කියවන්න ගත්ත “අනේ නෑ සර් මම නෙමෙයි මෙයා මාව අල්ලන්න හදන්නෙ එයා තමයි අඩිය තිබ්බෙ” කියල. සේන සර් වේවැල අතට අරගෙන “හරි මම හොයා ගන්නම් හරි මිනිහ. එනව දෙන්න එක්කම” කියල වැසිකිලිය ලඟට එක්කගෙන ගියා. සේන සර් කියනව ලක්ෂමන්ට “නගිනව මේ පඩි දෙකට. තියනව හරියට කකුල් දෙක මේ අඩි ලකුනු දෙක උඩ”. ලක්ෂ්මන්ගෙ මූන බෙරි වෙලා කකුලක් උස්සල සර් දිහා බැලුව අසරණ බැල්මක්. “මොකද වේවැල් පාර ඕනද බලන් ඉන්නෙ?” සර් ඇහුව. මිනිහ කකුල් දෙක අඩි ලකුනු දෙක උඩ තිබ්බ නෙවෙයි තිබ්බ උනා කිව්වොත් තමයි හරි. සේන සර් අහනව අනිත් අයගෙන් මේ අඩි ලකුනු හරියටම ලක්ෂමන්ට ගැලපෙනවද කියල. හැමෝගෙම තීරණය ගැලපීම සීයට සීයයි කියලයි. එතැනදිම දඬුවම ක්‍රියාත්මක කලා. ලක්ෂ්මන්ට වරදට වේවැල් පාරවල් පහයි, බොරු කිව්වට පහයි සම්පූර්ණ දහයයි. මට විශේෂ ප්‍රසංශාවක් ඇත්ත කිව්වට. ඒ උනාට ලක්ෂ්මනයා අඬන ගමන් මගෙ කණ කිට්ටුවට කියෝනව “හිචහං බොට දෙංනං මේකට පොලියත් එක්කම” මම සද්ද නැතුව හිටිය මගෙ හිතටත් පාවාදීම පිලිබද වරදක් කලාදෝ කියන හැගීම නිසා.

ඉතින් ඔයිට අවුරුදු 37කට පස්සෙ මේ කතාව 2009දි මම ලක්ෂ්මන්ට මතක් කලා. එතකොට මම අම්පාරෙ දිසාපති. මගේ පාසැල් මිත්‍ර, උප පොලිස් පරීක්ෂක ලක්ශමන් කුමාරදාස වීරසිංහ මගේ පෞද්ගලික ආරක්ශක නිලදාරිය. “බුදුම්ප සර් සර්ට ඒකාලෙ ඒව තාම මතකද?” මිනිහ හිනාවෙලා අහනව.

Advertisements

2 thoughts on “ලක්ෂ්මන්ගේ හපන්කම

  1. යාලුවා පොළිය එක්කම දෙන්න පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වෙලා ඇවිල්ලා වගේ 😀

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s