කන්තෝරු ගමන

පහු ගිය සිකුරාදා ඵලදායිතා තරගෙ සම්මාන දෙන්න ගිහින් මුහුන දුන්න අද්දැකීමත් එක්ක මගේ මතකයට ආපු සිතුවිල්ලට ලැබුනු උනුසුම් ප්‍රතිචාර නිසා තවමත් මම සිතෙන් ඉන්නෙ පාසැල් යුගයෙ. හෝඩියෙ ඉදන් ඉගුරුදලුව කනිටු විදුහලේ අටවන පන්තිය නිමාකරන තුරු පුරා අවුරුදු අටක් ගත කරපු කාලයේ මතක සටහන් හරිම සුන්දරයි හරිම අපූරුයි. මාත් එක්ක හෝඩියෙ ඉදන් අවුරුදු අටම එකට හිටිය මිත්‍රයා සෝමපාල. මම කතා කලේ සෝමෙ කියල . පාසැලේ සෑම දෙයක්ම කලේ අපි එකට. දං කන්න හිඹුටු කන්න යන්නෙ එකට. ටිකක් ලොකු වෙනකොට ස්කෝලෙ ලියුම් ගේන්න තැපැල් කන්තෝරුවට යන්නෙ අපි දෙන්න. ලියුම් ගේන්න යන අතරෙ ගුරු නිවාසෙ බිස්කට් පැකැට් එකකට අත දාල බිස්කට් ටිකක් හොරෙන් අරගෙන මග දිගට කකා යන්නත් අපි අමතක කලේ නැහැ. ඒව ඇ.දී. හැ ස බිස්කට්. හරිම රහයි. අපේ පරම්පරාවෙ අයට මේ රස මතක ඇති. මග දිගේම හැම ගෙදරකටම උත්තර බදින්න ඕන ඒකාලෙ ස්කෝලෙ ළමයි අවේලාවෙ පාරෙ යනකොට. හැමෝම අහනව කොහෙද දෙන්න එක්ක යන්නෙ කියල. අඩි පාරදිගේ ඒදඩු වලින් ගොඩ වෙවී යන අපි අන්තිමට මගුරු ගගෙන් එගොඩ වෙලා බොරලුගොඩ උපතැපැල් කාර්‍යාලයට යනව. තැපැල් කන්තෝරුවට ඉස්සෙල්ල හම්බු වෙනව බොරලුගොඩ ගංගාරාමය. වමත පැත්තෙ පඩිපෙල මුදුනෙන් “ටක් ටක් ටටක්, ටක්” කියල සද්දයක් එනව. ඒ පැත්ත බලන කොට පේන්නෙ ලොකු හාමුදුරුවෝ පඩිපෙල උඩ ඉදන් අත වනලා කතා කරනවා. අපිව දැකල හැරමිටියෙන් ගල් පඩියට ගහන්නෙ අපේ අවධානය යොමු කරවන්න. අපි පරාන බයයි ලොකුහාමුදුරුවන්ට. අපි විතරක් නෙවෙයි අහල ගම් හතකම සකලවිද මිනිස් ප්‍රානීන්ම ලොකු හාමුදුරුවන්ට බයයි. අපි බයෙන් බයෙන් පඩිපෙල නැගල දනගහල ලොකු හාමුදුරුවන්ට වදිනව. “සුවපත්වේවා නිවන් සම්පත් ලැබේවා බොලා කොහේද?” එකදිගටම හාමුදුරුවෝ අහනවා. “ලොකුහාමුදුරුවනේ මම වැද්දාකන්දෙ මෙයා මාදුරුහේනෙ” මම උත්තර බදිනවා. “වැද්දාකන්දෙ ගුනපාලගෙ ලමයෙක්ද උඹ?” “එහෙයි හාමුදුරුවනේ”. මේක වෙනස් වෙන්නෙ  සෝමෙ උත්තරදෙනකොට. එතකොට මාදුරුහේන ඉස්සෙල්ල කියවෙන්නෙ. හාමුදුරුවන්ගෙ ඊලග ප්‍රශ්නෙ වෙනස්වෙන්නෙ “මාදුරුහේනෙ ඇඩ්ඩින්ගෙ ලමයෙක්ද?” කියන එක හැටියටයි. “බොලාට පුලුවන්ද මේ පුවක් ගෙඩිය කපල දෙන්න?” හාමුදුරුවෝ ගිරයයි පුවක් ගෙඩියයි දෙනව. අපි පුවක් ගෙඩිය පොතු ඇරල පෙත්තක් කපන කොට “දැන් ඇති ඕක තියපන්. ගිහින් ලොවි ගහයට ලොවි ඇති අහුල ගනිල්ල, හැබැයි ගහට හෙම නගින්නෙනෑ” එහෙම නැතිනම් “අන්න අර දංගෙයි මේසෙ උඩ කැවුම් ඇති කාපල්ල” අපි දෙන්න ඒ අනුව කන දේ කාල හාමුදුරුවන්ට දනගහල වදිනව. “සුවපත් වේවා පිං සිද්දවේවා .ප්‍රවේසමෙන් පලයල්ලා”. අපි පිටවෙනව. අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඇයි ලොකු හාමුදුරුවන්ට පුවක් ගෙඩියක් කපා ගන්න බැරි කියල. ගෙදර ඇවිල්ල කිව්වම තාත්ත තමයි කියල දුන්නෙ උපසම්පදා වුන හාමුදුරුවරුන්ට පැලවෙන ගෙඩි ජාති කපන්න තහනම් කියල. තැපැල් කන්තෝරුවෙ ඉන්නෙ තැපැල් නෝන. තැපැල් නෝන අපේ පාසැලේ නිර්මාතෲ ඩී. ටී මද්දහෙට්ටි ගුරුතුමාගෙ නෝන. මම කිව්වෙ පුංචි අම්ම කියල. අපි අරංගිය ලියුම්ටික දීල ඒව රෙජිස්ටර් කරනහැටි බලා ඉන්නව. දවසෙ ලියුම් මීගහතැන්නෙ කන්තෝරුවෙන් ගේනකන් අපි කන්තෝරුවෙ ඉන්නව. පරෙයි කූඩුව වගේ තියෙන ලියුම් රාක්කෙ තියන ලියුම් වල ඇඩ්‍රස් කියෝනව දෙන්න එක්ක. ඒකෙ සද්දෙ වැඩිවෙනකොට තැපැල් පුංචි අම්ම කියනව “දරුවෝ ඔය ගැසට් එකක් වත් බලන්නකො අනුන්ගෙ ලියුම් වල ඇඩ්‍රස් කියවන්නෙ නැතුව”කියනව. අපි දෙන්න ගැසට් එකක් අරගෙන කියෝනව. “ඇබෑර්තු, ටෙන්ඩර් නයිසයි” වගේ බර වචන සද්දෙට කියෝල හිනාවෙන්නෙ තේරෙන්නෙ නැතුවට අමුතු ගාම්බීරත්වයක් වචනවල තියෙන හින්ද. ඉතින් ලියුම් ටිකත් අරගෙන තැපැල් මල්ල බඳින හැටි බලල ලාකඩ කෑල්ලකුත් තැපැල් පුංචි අම්මගෙන් ඉල්ලගෙන ආපහු ස්කෝලෙට එන්නෙ 12ත් පහුවෙලා. ලොකු මහත්තය නැත්නම් පී වී ගාරලිස් විදුහල්පතිතුමා අපි දෙන්නගෙ දයිනික බිස්කට් සලාකෙ දෙගුනයක් කරල එදාට වෙන්කරල තියල දුන්නම අපිට හිනා යන්නෙ කන්තෝරුවට යනගමන් හොරෙන් කාපු බිස්කට් ටික දයිනික සලාකෙ වගේ තුන් ගුනයක් විතර වෙන හින්ද.

Advertisements

One thought on “කන්තෝරු ගමන

  1. //මග දිගේම හැම ගෙදරකටම උත්තර බදින්න ඕන ඒකාලෙ ස්කෝලෙ ළමයි අවේලාවෙ පාරෙ යනකොට. හැමෝම අහනව කොහෙද දෙන්න එක්ක යන්නෙ කියල//

    දැන් ඒකට …. 😦

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s