උඩහගෙදර ආච්චි

අපේ තාත්තාගෙ අම්මා තමයි උඩහගෙදර ආච්චි. අපේ ගෙට ආසන්නයේම පුංචි ගේක ආච්චි තනියම හිටියෙ. ඉතින් අපි හරි ආසයි ආච්චිගෙ තනියට යන්න. ආච්චිගෙ ගෙදර සාලෙයි, කාමරයයි, කුස්සියයි විතරයි. සාලෙ ආච්චිගෙ සියලු දේපල සුරක්ශිතව තැන්පත් කල පෙට්ටගමයි ,ලණුවෙන් වියාපු ඇඳයි,පුටු දෙකතුනයි,ටීපෝ එකයි තිබුනා. කුස්සියෙ හාල් සිල්ලර උයන පිහින හැලි වලං පැදුරුආන වතුර කලගෙඩිය වාගෙ දේ තිබුන. ගෙයින් එලියෙ බිත්තිය අයිනෙ දර ගොඩගහල තිබුන. ආච්චි අපේ ගමේ කෙනෙක් නෙවෙයි. සබරගමුවෙ ඉලුඹකන්දෙ ගමේ. 1920ට ආසන්න කාලෙක කන්නන්ගර අරනෝලිස් අප්පුහාමි නැත්නම් මගේ ආත එක්ක දීග ආව කියල තමයි ආච්චි කියන්නෙ. ආච්චි අකුරු ලියන්න කියවන්න දන්නෙනෑ. ඇඟිලි අත්සන තමයි තිබ්බෙ. ඒ උනාට පත්තිනි හෑල්ල ,වෙස්සන්තර ජාතකේ තුන්සරණේ,උම්මග්ග ජාතකේ,වාගේ පොත් කට පාඩමෙන් දැනගෙන හිටියා. නෙලුම් කවි,ගොයම් කවි, තලමල් කවි, පතල් කවි, කරත්ත කවි, පාරු කවි සිය ගානක් කඩපාඩමේ තිබුනු ආච්චි නෙයිනගෙ සූදුව වගේ කවි පංතිත් කට පාඩමෙන් කිව්ව. මේවාට වැඩිය කතාන්දර සිය ගානකුත් ආච්චිගෙ මතක ගබඩාවෙ තිබුන.

පුංචි අපිට බඩගිනි වෙන්නෙ ඉතින් අවේලාවටනෙ. හැන්දැකොරේ ඉර ස්කෝලෙ කන්දට මුවාවෙනකොට බඩගිනි දැනෙන මම ආච්චිගෙ ගෙදරට ගොඩවෙනව. මම මිදුලට ගොඩවෙන්නෙ ආච්චියේ කියාගෙන. සුදු පාටට තියෙන ආච්චිගේ ඔලුව දොරෙන් එලියට දාල “කවුද….කියන ගමන්ම මාව දකින ආච්චි “ආ බොල මේ මගේ සුදු මුනුබුරා නොවැ, වරෙන් පුතේ වරෙන්” කියනව. ආච්චි ලඟට යන මාව අල්ලගෙන “මොකද බොල මේ මුනුබුරාට මාව බලන්න හිතුනෙ බඩගින්නක් වත් හැදිලද? කෝ මේ ඔලුව පුරා වැලි නේද? වැලි ගොඩේ නැටුව නේද? ඔහොම හිටිං පුතේ දගලන්නෙ නැතුව ඔලුවපිහින්න” කියල ඔලුව පිහදාල ඇදේ වාඩිකරලා බත් බෙදල කන්න දෙනව. “හිමිහිට කාපන් පුතේ ඉස්පොල්ලෙ යවා ගන්නෙ නැතුව” කියලත් කියනව. ඉතින් බත් ටික කන ගමන් මම අහනව මේ වෙලාවට ආච්චි බත් ඉව්වද කියල. ආච්චි කියනව “පුතේ මම හැම වෙලාවෙම කෑම ඉතුරුවෙන්න තමයි උයන්නෙ” කියල. “හදිසියෙවත් බඩගින්නෙ යන එන කෙනෙක් අවේලාවෙ ආවොත් කන්න දෙන්න එපායැ පුතේ” කියල ආච්චි කියනව. හැම වෙලාවෙම කෑම සූදානම්ව තියන ගෙදරට ශ්‍රියා කාන්තාවගෙ බැල්ම තියනව කියලයි ආච්චි කියන්නෙ. කෑම නැති ගෙදරට මූදේවිගෙ බැල්ම වැටෙනවලු.

බත් කාල ඉවර උනහම ඉතින් කතාන්දරයක් කියන්න කිව්වම ආච්චි කියනව කතාන්දර කියන්නෙ නිදාගන්න යන කොටයි දැන් පුතාට පත්තිනි හෑල්ල කියන්නම් කියල සාලෙට ඇතුලු වෙන දොර ලඟින් වාඩිවෙලා මාවත් ලඟින් වාඩි කරගෙන පටන් ගන්නව පත්තිනි හෑල්ල.

පරසිඳු පත්තිනි සඳ සැතපෙන්නේ
සැතපෙන නින්දට සීන පෙනෙන්නේ
පාලඟ කඩුවක් ගත්තා වැන්නේ
කඩුව නොවෙයි අඩු වයි දැන ගන්නේ

සියුමැලි බිසවුන් හට තෙපලන්නේ
යන්නට අවසර ඉල්ලා ඉන්නේ
යන්නට අවසර ඇයි මම දෙන්නේ
නුඹේ සිතේ පිරියයි පලයන්නේ

ඔන්න ඉතින් පත්තිනි දේවි තමන්ගෙ ස්වාමියා වුනු පාලඟ කුමාරය හොයන්න යන්න අවසරේ ගන්නව. දැන් ගමනට සූදානම් වෙනව. මගට කන්න ගත්තු කෑම බීම මොනවද?

අග්ගලා කිරි උන්ඩද ගන්නේ
තල කැරලිද මුං කැරලිද ගන්නේ
දෝසිද නවසිද තැඹිලිද ගන්නේ
මඩ පුවක්ද මල බුලත්ද ගන්නේ

මෙහෙම සූදානම් වෙලා දාසිවත් අඬ ගහගෙන ඉතින් දේවි පාලඟ හොයාගෙන යනව. මගදි කාලි යකින්න බාදා කරනව. කාලිව දමනය කරල කාවේරි ගඟ ලඟට එනව. ගඟ උතුරලා ගොඩවෙන්න බෑ. තොටියගෙන් ඉල්ලනවා ගොඩකරන්න, තොටිය බෑ කියනව. තොටියගෙ වරිගෙට වදුරු වසංගත ගහනව. ඊටපස්සෙ ගඟෙන් එතර වෙලා කුමාරවරු හමු වෙනව. පත්තිනිදේවි කුමාරවරු දෙන්නට සංග්‍රහ කරන්න හදනව. දෙන්න ඉල්ලනව “හකුරුයි,රඹකැනුයි” මෙතෙක් පත්තිනි දේවිත් එක්ක මේ ගමනෙ ආපු මමත් පියවි ලෝකෙට ඇවිත් අහනව “මොනවද ආච්චියෙ රඹකැන් කියන්නෙ?” “පුතේ කෙහෙල්ගෙඩි” කියල උත්තර දුන්නම ආපහු පත්තිනි දේවි ලගට යනව. දේවි තමන්ගෙ සලුව ඉරල දාසි අතේ සල්පිලට යවල හකුරුයි කෙහෙල්ගෙඩියි ගෙනත් සංග්‍රහ කරනව. ඊටපස්සෙ සලඹ හමුවීම, පඬිපුරයාම, පඩිපුර ගිනිලෑම කරනව. මේ මුලු කාලෙම පත්තිනි දේවිත් එක්ක ගමනට මමත් සහබාගිවෙනව. වෙල්ලිය අම්බලම, කාවෙරි ගඟ, පඩිපුරය හිතෙන් මවාගෙන යන මේ ගමන හරිම අපූරුයි. පත්තිනි හෑල්ල ඉවර කරහම අර තොටිය ගැන, පඩි රජ්ජුරුවො ගැන තරහයි. ආච්චි කියනව “තොටියට ගහපු වදුරු වසංගත තමයි පුතේ අදත් ඔය දෙයියන්ගෙ ලෙඩ කියල තියෙන්නෙ” කියල. මේ විදියට කවියෙන් සීපදෙන් කතාන්දරයෙන් මගේ හිතේ පරිකල්පන හැකියාව වර්ධනය කරල මෙච්චර දුරක් ජීවිතේ එන්න පාර හදපු ප්‍රධාන කෙනෙක් තමයි “නාඹුලුවෙ මුදියන්සෙලාගෙ පුංචි නෝනා” කියල නිල ලිපි ලේඛන වල නම සටහන් වෙන “ඉලුඹකන්දෙ අක්ක, නංගි, නැන්දම්ම, ලොකුඅම්ම, කුඩම්ම ආච්චි” යනුවෙන් අපේ ගමේ උදවිය තමන්ට ගැලපෙන නෑකමෙන් හැදින්වූ මගේ “උඩහගෙදර ආච්චි…”

Advertisements

8 thoughts on “උඩහගෙදර ආච්චි

  1. ආච්චි ගැන මතකය හරිම සුන්දරයි. අධ්‍යාපනය , අකුරු ලියන්නට, කියවන්නට ඇති හැකියාව ” සාක්ෂරතාව ” කියන බර වචනයෙන් හඳුන්වන අද සමාජය දිහා බලද් දී
    ආච්චි මහා විශ්ව විද්‍යාලයක්.

    Liked by 1 person

  2. ආච්චි ගැන මතකය හරිම සුන්දරයි. අධ්‍යාපනය , අකුරු ලියන්නට, කියවන්නට ඇති හැකියාව ” සාක්ෂරතාව ” කියන බර වචනයෙන් හඳුන්වන අද සමාජය දිහා බලද් දී
    ආච්චි මහා විශ්ව විද්‍යාලයක්.

    Liked by 1 person

  3. සර් ගෙ අත්තම්මා හරිම අපූරු යි . රස කතා රජ කතා ඒ අය කොහොම ඉගෙන ගෙන ද මන්ද පුදුම මතකයක් තියෙනවා . අද කොහො ද එ වගෙ අත්තම්ම ල්.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s