සමුපකාරෙ යෑම

පුංචි කාලෙ අපි බඩුමුට්ටු ගන්න ගිය තැනක් තමයි සමුපකාර කඩේ. ඒක හරියටම කිව්වොත් සී/ස පාලින්ද නුවර විවිධ සේවා සමුපකාර සංගමයේ හැඩිගල්ල ජනපදය 1 පියවර ප්‍රාදේශිකය. සමුපකාර කඩේ තිබුනෙ ජනපදේ ස්කෝලෙ තියන කන්දයි කනත්ත තියෙන කන්දයි අතර බෑවුමේ. මහපාරෙ කොයිපැත්තෙන් ආවත් සමුපකාරෙට එන්න පල්ලම බහින්න ඕනෙ. හැබැයි මේ කාලෙ සමුපකාරෙන් බඩු ගන්න එකනම් පල්ලම් බහින තරම් ලේසි වැඩක් වුනේ නෑ.

මේ කාලෙ 70 දශකයෙ මුල්ම කාලෙ. පිටරටින් භාණ්ඩ ගෙන ඒම සීමා කරල භාණ්ඩ හිඟයක් තිබුන. ඒක නිසා අත්‍යාවශ්‍ය ආහාර පාන සලාක ක්‍රමයට සමුපකාරයෙන් බෙදාහැරියෙ. හැම ගෙදරකටම හාල් පොත් තිබුන. එක පුද්ගලයෙකුට හාල් සේරු දෙකක් හාල් පොතට දුන්න. එක සේරුවක් නොමිලේ. අනිත් එක සල්ලි වලට. පිටකඩවල හාල් තිබුනෙ නෑ. තිබුනත් ගිනි ගණන්. සීනි, පරිප්පු, උම්බලකඩ, පිටි වාගෙ දේවල් ටෝකන් කාඩ් එකට සීමා සහිතව නිකුත් කලා. ඉතින් නොමිලේ දෙන හාල් ටිකයි, ටෝකන් එකට දෙන අනිත් බඩුයි ගන්න හැමෝම සමුපකාරෙට එනව. ඒක නිසා එතන දිග පෝලිම් හැදුන. උදේ 8.45ට සමුපකාරෙ අරින කොට එකතුවෙලා ඉන්න පෝලිමට බඩු දීල ඉවරවෙන්නෙ හවස 3ට 4ට විතර.

අපේ ගෙදරින් මේ වැඩේට යන්නෙ අක්ක හරි අයිය හරි. ඒ අය ගිහින් වරුවකට වැඩිය ගතකරල තමයි බඩු ගේන්නෙ. දවසක් අපේ ලොකුමාම කිව්ව හෙට උදේ සමූපෙ යනව කියල බඩු ගේන්න. අම්ම කිව්ව “පුතේ එහෙනම් ලොකු මාමත් එක්ක ගොහින් පරිප්පු, සීනි, උම්බලකඩ ටික අරන් එන්නකො” කියල. ලොකු මාම එක්ක හන්දිය දිහා යන්න මම ආසයි. ඒ කඩෙන් මොනව හරි කාල තේ බොන්න පුලුවන් නිසා.

“එහෙනම් උදෙන්ම යන්න වෙයි නේද?” කියල අම්ම ඇහුවම, “ඔය හතට විතර ගියාම මදෑ කියල ලොකුමාම කියපි.

පස්සෙන්ද හතට විතර පිටත් වෙලා මැල්ලගහවිල හන්දියට හත හමාර වෙනකොට ආව. එතනින් චුට්ටි බාප්පගෙ කඩෙන් පොල් කේක් කාල, තේ බීල හෙම ලොකුමාම චුට්ටි බාප්ප එක්ක කතාව. මම කිව්ව දැන්නම් පෝලිම පාර හරියට ඇති, අද බඩු ගන්නකොට හවස දෙකවත් වේවි කියල. 

“උඹ බලාගෙන හිටපන්කො මමනෙ ඒක කරන්නෙ. දහයට ඉස්සෙල්ල ගෙදර යන්න මම වැඩේ කරන්නම්” ලොකුමාම කිවුව.

ලොකු විටකුත් කටේ ඔබාගෙන හයියෙන් කෙල පාරක් ගහල “එහෙනම් යමන්කො හෙමිහිට” කියල ආයිත් සමූපෙ පැත්තට යන්න පටන් ගත්ත. යන ගමන් කියනව “දැන් අටහමාරෙ බස් එකේ මැනේජරයයි ගෝලයො දෙන්නයි එන්නෙ. උඹ මම කියන විදියට වැඩ කරපන් ඇඹරෙන්නෙ නැතුව” කියල. මමත් ඉතින් හා කියල පස්සෙන් ගියා. කිව්වත් වගේ සමුපකාරෙ ලඟ ඉදල මහපාරට පෝලිම. ලොකුමාම හයියෙන් හයියෙන් පෝලිම අයින දිගේ සමූපෙ ස්තෝප්පුවට ගොඩවෙල හයියෙන් කියනව, 

“ඔන්න බලපන් පුතේ, මේ උදේ බලු බල්ලෙක් නොහිටි තැන දැන් ඉන්න සෙනඟ” කියල.

මම උඩගිහින් බිම වැටුන වගේ. මේ මොකක්ද කියල. ඒත් කියපු දේ මතක් වෙලා මමත් ඔලුව වැනුව. පෝලිමේ වැඩිපුරම ඉන්නෙ ගෑනු අය. ලොකුමාම බුලත් මඩිස්සලේ අරගෙන හොද පුවක් ගෙඩියක් පිහියෙන් ශුද්ධ කරන්න ගත්ත. පෝලිමේ හිටිය කෙනෙක් “අනේ අයියෙ මටත් පුවක් කෑල්ලක්” කිව්ව. “හා වරෙන් කමු එහෙනම් විටක්” කියල විට කන ගමන් අහනව “ඈ බං, මේ බොලගෙ ජනපදේ කාට හරි බැරිද මෙතන තේ කඩ පොඩ්ඩක් දාන්න” කියල.

“ඇයි අයියට හදිසියෙ තේ බොන්න හිතුනද?” කියල අර මනුස්සය අහපි.

“නෑ බං, මමයි මේ කොල්ලයි දෙන්න මෙතනට එනකොට මෙතන බල්ලෙක් වත් නෑ. පැයක් විතර ඉන්න කොට කොල්ලට තේ බොන්න ඕන කියපි. ඉතින් ගියා මැල්ලගහවිලට. එතනට ගිහින් එන්න යන වෙලාව බලපං. ඒ ටිකට මෙච්චර සෙනඟක් පිරිලනෙ” කියල ලොකුමාම පාරට ආව. එතකොටම බස් එක ආව. මැනේජර් මහත්තය ගෝලයො දෙන්න එක්ක බහින කොට ලොකු මාම කියනව “අද නම් ඉතින් මැනේජර් මහත්තයො අඩු නැතුව කට්ටිය. තේ වතුර ටිකක් එහෙම බීලම පටන් ගත්ත නම් නරකද? නැත්නම් අද දවල් කෑමත් බොරු” කියල. මේ කතාවෙන් කතාවෙන් මැනේජර් මහත්තය එක්ක ස්තෝප්පුවටත් ආව.

“ඔය දොර ලඟ කට්ටිය මෙහාට වෙලා ඉඩ දීපල්ල දොර අරින්න. නැත්නම් ඔලුව උඩින් තමයි දොර ලඟට යන්න වෙන්නෙ” කියල දොර අරින්නත් සහාය දීල කවුන්ටරේ උඩ තියෙන පොඩි ලෑලි ටික අරගෙන යටින් අහුරල පෝලිමේ මුලට ගිහින් මට කතා කරල “පුතේ මෙහාට වරෙන්. අපි දෙන්න එකට ආවට උඹනෙ ඉස්සෙල්ල සමුපෙට ගොඩ උනෙ” කියාපි.

මම පොලිමේ මුලට දාල ලොකු මාම දෙවනියට හිටිය. එතෙක් පෝලිමේ එකට හිටපු ගෑනු කෙනා කියනව “මෙන්න බලපල්ලකො වැඩේ! මම එනකොට කවුරුත් හිටියෙ නෑ. දැන් බඩු ගන්නකොට දෙන්නෙක් මගේ ඉස්සරහ” කියල. ලොකුමාම හැරිල බලල මහ හයියෙන් අහනව “ඇයි උඹ ඊයෙ රෑ ද මෙතනට ආවෙ? මේ කොල්ලයි මමයි එනකොට බිමට එලිය වැටිලත් නෑ. මෙතන පැයක් මදුරුවො තලල තේ වතුර ටිකක් බොන්න ගිය අතර ඇවිල්ල කියෝනව. මේං බලාපං අපි ආවෙ ටෝච් එලියෙං” කියල ඉනේ තිබුන ටෝච් එක අරන් පෙන්නුව. දැන් මුලු පෝලිමටම ඔප්පු උනා පාන්දරම ආවෙ අපි දෙන්න කියල. ඉතින් මුලින්ම බඩු අරගෙන මඩිත්තවිල කැලෑ පාරෙන් ගෙදරට එනකොට දහයටවත් වෙලා නෑ. එනගමන් මම ඇහුව “ලොකුමාමෙ අච්චර බොරුවක් කොහොමද කිවේ බය නැතුව?” කියල.

“අනේ නිකං හිටහං පුතේ ඔය ඕන බොරුවක් ටිකක් හයියෙන් කිව්වම අනිත් එවුන් විශ්වාස කරනව බං. අනික ඒකෙ ලොකු වරදකුත් නෑනෙ” කියල ලොකුමාම කියපි. 

ගෙදර ආපුවම අම්ම අහනව “ඇයි අද සෙනඟ හිටියෙ නැද්ද මෙච්චර ඉක්මනින් ආවෙ?” කියල. “සෙනග නම් ඕනතරම් ඉන්නව. ඒකට මක්ක වෙනවද අපි අපේ වැඩේ කරගෙන ආව. ඔන්න ඔය බුලත් විටක් ගනිංකො කාල යන්න” කියල ලොකුමාම පුටුවෙන් වාඩිඋනා.

ඔන්න ඔහොමයි ගම්මු ඔලිවර් කියල කතාකරපු, කොලඹ ආරච්චිගේ මෙතියෙස් අප්පුහාමි නම් වූ මගේ ලොකුමාමාගේ සමූපකාරෙ ගමන.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s