සරසවියෙන් රැකියාවට..

දිගින් දිගටම පුංචි කාලේ මීටරේ අල්ලගෙන හිටියොත් ඒකෙ හිරවෙනව කියල කවුදෝ මහ හයියෙන් කියනව ඇහිල පාන්දරින්ම අවදි වෙලා මූනුපොතට එබෙනකොට මෙන්න බොලේ මහින්ද දේශප්‍රිය අපේ සභාපති තුමාත් ඒකම ලියල. ඒක හින්දම අද ලියනව පරිපාලන සේවෙට ආපු හැටි.

1983 අවුරුද්දෙ අග භාගෙ සරසවි ජීවිතේ නිම කරල තියෙද්දි අපේ සරසවි කල්ලියෙ සුසිල් කියනව “මචං පරිපාලන සේවා විභාගෙ ගැසට් කරලලු යමුද ගැසට් එක බලන්න” කියල. ඒ ගමන මම, සුනිල්, ගාමිනී, සුසිල් හතර දෙනා ජපුර සරසවි තැපැල් කන්තෝරුවට ගියා. ගැසට් එක බලල ෆුල්ස්කැප් කොලයක ඉල්ලුම්පත්‍රය ලියා ගත්ත. දැන් ඉල්ලුම් පත්‍ර ටයිප් කරවා ගැනීම මටම පැවරුනා. මම මේ ෆුල්ස්කැප් කොලේ ලියපු ඉල්ලුම් පත්‍රය කාට හරි දීල ටයිප් පිටපත් හතරක් ගහල දෙන්න කිව්ව. දවස් තුන හතරකින් අයදුම් පත්‍ර ටික ලැබුන. ඒක ලැබුනම සුපුරුදු විදියට හතර දෙනාගෙ කල්ලිය එකතු වුනා ජ’පුර සරසවියට. මම ටයිප් කරපු අයදුම්පත් එක එක අනිත් තුන් දෙනාට දුන්න. අන්තිමට මගෙ අතේ ඉතිරි වුනේ අතින් ලියපු ප්ලුස්කැප් කොලේ විතරයි. ටයිප් කරපු එකා පිටපත් තුනයි ගහල තියෙන්නෙ. දැන් මොකද කරන්නෙ කියල කතාකරන ගමන් මම අර ප්ලුස්කැප් අයදුම් පත බැලුව ටිකක් සැලකිල්ලෙන්. එවෙලෙම තීරනය කලා මම ඒ අතින් ලියාපු අයදුම්පත පුරෝනව කියල. ඉතින් හතර දෙනාම විභාගෙට ඉල්ලුම් කොලා.

ටික දවසකට පස්සෙ අපේ හතර දෙනාගෙ කල්ලිය ගාමිනීලගෙ ගෙදර රැස්වුනා. එදා මාතෘකාව පරිපාලන සේවා විභාගයට පාඩම් කිරීම. විභාගෙ තියෙන්නෙ 1984 මැයි 16 ඉඳන් කියලයි අපි කතාකලේ. මට ඒක හොඳටම සනාත වුනේ සීමිත විභාගෙට අයදුම් කල අපේ මාමගෙ ගෙදරට අල්ලපු ගෙදර ජයසේන මහත්තයත් මැයි 16 විභාගෙ ගැන මාත් එක්ක කතාකල නිසා. මගේ යෝජනාව වුනේ සිංහල අවුරුද්ද ඉවර කරල අප්‍රියෙල් 16 ඉදන් මැයි 15 වෙනකම් එකදිගට පාඩම් කිරීම. මේ යෝජනාව ඒකමතිකව සම්මත වුනා. අප්‍රියෙල් 16 කොට්ටාව මහ පන්සලේ රැස්වී පාඩම් කිරීමට එකඟව කල්ලිය විසුරුනා. 

ඉතින් අප්‍රියෙල් මාසෙ ලැබුවා. විභාගෙට අවසර පත්‍ර ආවා. පොඩි අවුලක් වුනේ විභාගෙ පටන් ගන්නෙ අප්‍රියෙල් 16. මැයි 16 නොවෙයි. මම එදාම ගාමිනිය හම්බු වුනා. ඌත් හොල්මන් වෙලා. “මොකද දැන් කරන්නෙ” කියල අහපි. මම කිව්ව සුපුරුදු විදියට මම 10 ගමේ යනව. 16 උදේ 6.30ට මාකුඹුරෙ හන්දියෙ ඉන්නවා. එතනදි හමුවෙමු, පුලුවන් විදියට විභාගෙට ලියනව කියල. කිව්ව විදියට ගමේ ගියා. අවුරුදු කෑව. 15 දවල් කෑම ඔලීගොඩ සුදු මාමගෙ ගෙදර. කිතුල් රා ටිකකුත් බීල දවල්ට කාලා හවස කොලඹ එන්න පිටත් වුනා. පිටකොටුවට එනකොට පාන්දර 1.00යි. එතනින් හෝමාගම යන බස් එකක මාකුඹුරට ඇවිත් මාකුඹුරෙ පන්සලට ගොඩවෙලා පොඩි හාමුදුරුවන්ට කතාකරල ඒ කාමරේම පැය දෙකක් විතර නිදාගන උදෙන්ම අවදිවෙලා 6.30ට හන්දියට ගියා. ගාමිනියත් ආව. පන්නිපිටියෙදි හතරදෙනාගෙ කල්ලියෙ ඉතුරු දෙන්නත් මුනගැහිලා බොරැල්ලට ඇවිත් යසෝදරා බාලිකාවෙ විභාගෙට ගියා.

විභාග ශාලාවෙ එලියෙ ඉන්නකොට එකෙක් කියනව ඇහුන බුද්ධි පරීක්ෂනයට වරදින ඒවට මයිනස් ලකුනු දානව කියල. ඒකත් හිතේ තියාගෙන වාඩිවුනා. බුද්ධි පරීක්ෂනය ප්‍රශ්න හැටයි, කාලය විනාඩි හැටයි. නොදන්න ඒව ලියන්න ගිහින් මයිනස් ලකුනු ගන්නෙ මොකටද දන්න ටික ලියනවා කියල හිතාගෙන විනාඩි 45න් පේපර් එක භාර දුන්නා. මුලු ශාලාවෙන්ම විනාඩි 15 කලින් නැගිට්ටෙ මම විතරයි. ප්‍රශ්න පත්‍ර 7න්ම මට වෙලාව ඉතුරුයි. වැඩිම ඉතිරිය පොදු ප්‍රශ්නපත්‍රය. පැය 1 1/2ක් ඉතිරියි.

විභාගෙ ලියලා සුපුරුදු විදියට ගමේ යමින් කොලඹ එමින් කාලෙ ගතවුනා. ආයිත් පරිපාලන සේවා විභාගෙ ගැසට් කලා. ගෙදරදි කිව්වම අක්ක කිව්ව ආයිත් විභාගෙ දාන්න කියල. මගෙ උත්තරය වැඩක් නෑ කියන එකයි. අක්ක මට බැනල කොලඹ එනකොට රුපියල් 250/=දුන්න විභාගෙ දාන්න කියල. ඒකත් මමම වියදම් කර ගත්තා. ඊලඟට ගෙදර ගියහම අක්ක ඇහුව විභාගෙ දැම්මද කියල. මගේ උත්තරය හිනාවක්. අක්ක හොදටම බැන්න. මම හිනාවෙලම ෂේප් වුනා. මෙන්නෙ ඊලඟ දවසෙ සම්මුඛ පරීක්ෂනයට කැදවපු ලියුම ආව. සම්මුඛ පරීක්ෂනය රස්සාවකට මූණදෙන පළමු වැන්න. ඕන එකක් වෙද්දෙන් කියල ගියා. ඒත් පොඩි හාමුදුරුවෝ (දැන් බොරලුගොඩ ඉන්ද්‍රරතන අධිකරණ සංඝ නායක හාමුදුරුවෝ) කලින් දවසෙ බලෙන්ම වාගෙ බෝධි පූජාවක් කෙරෙව්වා. රාජ්‍ය පරිපාලන අමාත්‍ය්ංශයෙ “එම්” මහලෙ ලේකම්තුමාගෙ කාමරේට ආව. නම කතා කලා, ඇතුලට ගියා. පස් දෙනෙක් පෙලට වාඩිවෙලා. මැද එක්කෙනා ටයි දාලා නෑ. ඇතුලු වෙනවත් එක්කම “ආයුබෝවන් මහත්මයා වාඩිවෙන්න.” කියලා අත්දෙක එකතු කරල මැද හිටි කෙනා කියපි. මම උඩ ගිහින් බිම ආව වගේ. “ආයිබෝං, ආයිබෝං” කියල දෙසැරයක්ම කියවුනා. මම වාඩිවුනා.

“මහත්මයා, ඔබේ නම කන්නන්ගර සුනිල්ද?”

“ඔවු”

“ඔබේ ගම කොයි පලාතද?”

“මගේ ගම කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ ඉඟුරුදලුව කියන ගමයි.”

“මහත්මයා ඉගනගත් පාසැල මොකක්ද?”

“මම පාසැල් තුනක ඉගන ගෙන තිබෙනවා. ඉඟුරුදලුව කනිෂ්ට විද්‍යාලය, අතලේ මහා විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාලවිද්‍යාලය.”

“ඔබේ පියාගේ රැකියාව?”

“ගොවිතැන”

“පරිපාලන සේවාවේ ඔබේ මිත්‍රයින් සිටීද?”

“මිත්‍රයින් පරිපාලන සේවාවට බැදී ඇතත් ඉන්පසු මුනගැසී නැති නිසා මිත්‍රත්වය තවම තිබේදැයි කීම අපහසුයි.”

“ඔවුන් වෙනස් වී ඇතැයි ඔබ සිතනවාද?”

“වෙනස් නොවන කිසිවක් නැති බැවින් ඔවුන්ද වෙනස්වී ඇතැයි සිතමි.”

“පරිපාලන සේවයට ඔබ පැමිනියහොත් යම් වෙනසක් කිරීමට ඔබට හැකියැයි සිතනවාද?”

“එසේ හැකියයි සිතා සිටිමි. කෙසේ වේදැයි නොදනිමි.”

“බොහොම ස්තූතියි මහත්මයා.”

“ස්තූතියි.”

ඕක තමයි සම්මුඛ පරීක්ෂනය. ගතවූ කාලය විනාඩි 5 යි. මුලු සම්මුඛ පරීක්ෂනයෙම ප්‍රශ්න ඇහුවෙ ටයි එකක් නොදා අත් කොට කමිසෙ ඇඳල මැද හිටපු කෙනා විතරයි. ඒ කෙනා තමයි නම ඇසූ පමණින් සමස්ත රාජ්‍ය සේවාවම හදුනන ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන රාජ්‍ය පරිපාලන ලේකම් තුමා. සති දෙකක් යනකොට ලියුම ආව, ඔබ 1985/5/2 දින සිට ශ්‍රී.ලං.ප.සේ II/II ශ්‍රේණියට පත්කිරීමට තෝරාගනු ලැබ ඇත කියල. ඔන්න ඉතින් එදා ඉඳන් මමත් පරිපාලන සේවෙ. රස්සාවකට දාපු පළමු ඉල්ලුම් පත්‍රය, පළමු සම්මුඛ පරීක්ෂනයෙන්ම ගොඩ ගිය තවත් අය හෙම ඉන්නවද හැබෑටම?

Advertisements

2 thoughts on “සරසවියෙන් රැකියාවට..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s