පොතපත ඇසුර

මේ කුණු කතා අස්සෙ අර සුන්දර ළමා කාලෙන් මෙහාට එන්නත් වුනා. ඒකෙත් හැටි බලන්නකො. දැන් කාලෙ ගැන හිතනකොට හිතට දැනෙන්නෙ තරහ කේන්තිය කලකිරීම පීඩනය වාගෙ නරක හැගීම්. ළමා කාලෙ ගැන හිතනකොට හිතට දැනෙන්නෙ හරිම සුන්දර හැගීම්. ඒක හින්ද මේ කුණුගොඩේ පීඩනය යන්නත් එක්ක යමු ආයෙත් සුන්දර ළමා කාලෙට.

ළමා කාලෙ ඉඳන්ම මම පොත පත ඇසුරු කලා. මට මතක හැටියට ඉස්කෝලෙ පහේ පංතියෙ ඉන්න කාලෙ ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තය ලියපු “කැලෑහඳ” පොත තමයි මුලින්ම කියවපු පොත. ඒකෙන් පස්සෙ පොත් රස වැටුනු මම පොත් හොයාගෙන ගියා. ඩීමන් ආනන්දගෙ පොත් තමයි වැඩියෙන්ම ඒ කාලෙ ජනප්‍රිය. මරණ වරෙන්තුව, සිරා නොහොත් කලු බළලා, ජේම්ස් බන්ඩා, ගොල්ගොතා වාගෙ පොත් විශාල ප්‍රමාණයක් කියවන්න අහු වුනා.

මේ පොත් ගේන්නෙ අපේ නන්දසේන අයිය. වැද්දාකන්දෙ නන්දසේන කියන්නෙ අපේ ලොකු අම්ම කෙනෙකුගෙ බාල පුතා. නන්දසේන අයිය හිටිවන කවි කාරය. බොහොම ලස්සනට හිටිවන කවි කියන අයියව කවි ලෝකෙ අඳුනන්නෙ ඉඟුරුදලුවේ සේන නමින්. ඉතින් සේන අයිය ගේන පොත් එයා බලල ඉවර උනහම මට දෙනව. මම ඉඟුරුදලුවෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ තිබුන පොත් කබඩ් එකෙන් ලොකු මහත්තයට කියල ඉල්ල ගන්න පොත් සේන අයියටත් දෙනව. සුනිල් කුලරත්නගෙ “විසිවසක් වන්නියේ” මම ඉස්කෝලෙන් අරන් කියවපු රසවත් පොතක්.

මේ කාලෙම අපේ කුඹුර ළඟ තාත්ත හදපු පොඩි ගේකට ආව කොන්දොස්තර මාම ගෙ පවුලෙ උදවිය. ඒ පවුලෙ ලොකු අයිය රත්නායක අයිය. එයත් පොත් හොයාගෙන කියවන කෙනෙක්. මේ විදියට මගේ පොත් සමාජෙ ටික ටික වැඩි වුනා. සේන අයිය කවි පොතුත් ගේනව. ඒව මමත් කියෝනව. මේ කාලෙ ආංගිරිය වත්තෙ කංකානම් මාමා කෙනෙක් හිටිය. එයා ළඟ තිබුන ජාතක කතා, කවි පොත්, විදුර ජාතකය, පටාචාරා කතා වස්තුව, තිල මුට්ඨි ජාතකය වගේ පොත් පනහක් හැටක් තිබුනා. මගේ කියවීමෙ පිපාසයට මේවත් පිහිටවුනා. මීට අතිරේකව අපේ සේන අයිය ලියන කවි වලත් මුල්ම පාඨකයා වුනේ මම. ඒ කාලෙ අතලෙ ගමේ හිටපු උම්මන්තක ගැහැනියක් ගැන සේන අයියා ලියපු කවි තිබුනෙ මෙහෙමයි.

නිතරම හැරි හැරි බලමින් ලැසි ගමනින්‍ යන තිගැස්සි

මට මතකයි මට මතකයි අතලෙ හිටපු ගෝරි පිස්සි

කිසි දවසක නැත ඇගෙ උකුලේ දර ටික වරදින්නේ

කවුරු ගියත් යන්නට හැර යලි ආපසු හැරි බලන්නේ

ඔය වගේ සේන අයියාගේ කවි රස විඳීමත් නොඅඩුව කරපු මේ කාලෙ විශේෂ සිද්ධියක් වුනේ පාලින්ද නුවර ගම් සබාවේ නිදහස් පුස්තකාලෙට බැඳීම. පුස්තකාලෙ ගැන මට ඔත්තුව දුන්නෙ ගුණරත්න අයිය. ඔත්තුව දුන්න විතරක් නෙවෙයි, ඉල්ලුම් පත්‍රයකුත් ගෙනත් දුන්න. ඉල්ලුම් පත්තරේ පුරෝල සහතික කරන්න අරං ගියෙ තැපැල් පුංචි අම්ම ලඟට. එයා ඒක අත්සන් කරල දෙන ගමන් කිව්ව “ඇයි පුතේ මේක ඉස්කෝලෙනුත් කරගන්න තිබුනනෙ” කියල.

මම ඉල්ලුම් පත්තරෙත් අරං බදුරලියෙ පුස්තකාලෙට දුන්න. පුස්තකාලයාධිපතිනිය දයා අමරසේකර නෝන. මට කිව්ව පොතක් තෝර ගන්න කියල. මම ඒ පුස්තකාලෙන් මුලින්ම ගත්තෙ මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ කලුවර ගෙදර පොත. පොත අරං ගෙදර ආව. එක දවසෙන් පොත කියෙව්ව. සේන අයියට දුන්න. එයත් කියෙව්ව.

ඊට පස්සෙ සේන අයිය, අපේ අක්ක, ලොකු අයිය මේ පුස්තකාලෙ සාමාජික වුනා. මගේ කියවීමේ වේගෙට එක දවසින් පොතක් කියෝනව. ආයිත් පොතක් ගන්න සතියක් දෙකක් යනකං බැරි එහෙම යන්න බස් ගාස්තුව හොයා ගන්න එකත් ගැටලුවක් උනා. මේකට විසඳුමක් හැටියට මම කල්පනා කෙරුවෙ සේන අයියගෙයි, අක්කගෙයි, ලොකු අයියගෙයි, මගෙයි කාඩ් හතරටම මට පොත් ගන්න පුලුවන්ද කියල බලන එකයි. සේන අයිය කිව්ව “එක්කෙනෙකුට එක පොතයි දෙන්නෙ, ඔය වැඩේ හරියන්නෙ නෑ සුදු මල්ලි” කියල. කෝකටත් කියල හතර දෙනාම ගත්තු පොත් අරගෙන පුස්තකාලෙට ගිහින් දයා අමරසේකර නෝනට කාරණේ කිව්ව. “අනිත් අයගෙ කාඩ් වලට පොත් දෙන්න බෑනෙ ළමයො” නෝන බොහොම කරුණාබරිතව කිව්ව. මම ඉතින් මූණත් නරක් කරගෙන එක පොතක් තෝරාගත්ත. ආපහු අමරසේකර නෝන ලඟට එන කොට එතන කුමාර මහත්තයත් ඉන්නව. 

“මෙයා තව කාඩ් තුනකට පොත් ඉල්ලුවනෙ” අමරසේකර නෝන කුමාර මහත්තයට කිවුව. ඇයි ඒ කියල අහපුවම මම කිව්ව අයියල දෙන්නගෙයි, අක්කගෙයි කාඩ් වලටත් පොත් අරං යන්න බැලුවෙ කියල. මගෙ මූණ හරි නැති හින්දද කොහෙද නෝන කුමාර මහත්තයට කියනව “අපිට එහෙම කරන්න බෑනෙ. හැබැයි සභාපති තුමා කිව්වනම් කරන්න තිබුන නේද කුමාර මහත්තය?” කියල. කුමාර මහත්තය මට කියනව “ඔය ළමය සභාපති තුමා එනකම් ඉඳල එයාට කියන්න” කියල. මම ඉතින් සභාපතිතුමා එනකම් හිටිය.

අපේ ගම්සභා සභාපතිතුමා ජී ඇස් අප්පුහාමි. ජාතික ඇඳුම අඳින, කරේ පොඩි සාටකයක් දාගෙන බයිසිකලේ ගමන්කරන සමසමාජකාරයෙක්. ගම්සභාවට බයිසිකලේ පැදගෙන එන සභාපති තුමා, අපේ ගමේ උත්සව වලට එන්නෙ බස් එකේ. එහෙම බස් එකේ ඇවිත් පයින් ගමේ උත්සවය තියෙන තැනට එන්නෙ පාට පාට කුඩයක් හැරමිටිය වගේ බිම ඇන ඇන. කවදක්වත් මේ වගේ කෙනෙක් එක්ක කතාකරල නැති නිසා ආමන්ත්‍රණය කරන හැටි දන්නෙත් නෑ. කොහොම හරි පුස්තකාලෙ කන්දෙ බයිසිකලේ තල්ලු කරගෙන ආපු සභාපති තුමා පාපිස්සෙ කකුල් පිහල ඇතුලට ආව. බංකුවෙ වාඩිවෙලා හිටපු මම නැඟිටලා සභාපතිතුමා දිහා බැලුව. සභාපතිතුමා මාත් එක්ක හිනාවෙලා “ඇයි මොකද පුතා මාව හම්බු වෙන්නද?” කියල ඇහුව. මට ආමන්ත්‍රණය කටට ආව. “මාමෙ, මට අයියලගෙ කාඩ් එකටත් පොත් ගන්න පුලුවන්ද කියල පුස්තකාලෙ නෝන අහගන්න කිව්ව” කියල එක දිගට කියල දැම්ම. “හෝ, හෝ යමුකො බලන්න” කියල සභාපති තුමා මාත් එක්ක පුස්තකාල කාමරේට ආව. එන ගමන් අහනව “පුතා කොහේද?” මම කිව්ව “ඉඟුරුදලුවෙ” කියල. “හොදයි තේ බිව්වද?” කියල ඇහුව. මම ඔලුව දෙපැත්තට වැනුවෙ පුස්තකාලෙ තේ දෙන්නෙ නැති හින්ද.

සභාපති තුමා අමරසේකර නෝනට කිව්ව මට අනිත් කාඩ් වලට පොත් දෙන්න කියල. එතනටම තේ ගෙන්නල හැමෝම එක්ක තේ බිව්ව. මටත් දුන්න. මාත් තේ බීල පොත් හතරක් අරගෙන ගෙදර ගියා. එදා ඉඳන් මම අනිවාර්‍යෙන් සතියකට සැරයක් පුස්තකාලෙ යනව. බස් එකේ ගිහිල්ල එන්න සල්ලි මදිවුන දාට බදුරලියට හැතැක්ම හතක් පයින්ම කොටනව. සමහරදාට ඩිස්පැන්සරියෙ බෙහෙත් දෙන ඇපොතිකරි මහත්තයගෙ කාර් එක අහු වෙනව. එයා මාව පුස්තකාලෙටම දාල යනව. එහෙම දාට ආපහු ගෙදර යන්නෙ පයින්. ඒ දවසට ගමන් වියදම නැති නිසා. ඊලඟ දවසට එදා සල්ලි ඉතුරු කර ගන්නව. සමහරදාට සභාපති තුමා මුණගැහෙනව. කට පුරා හිනැහිල “හෝ හෝ මේ ඉගුරුදලුවෙ පුතා නේද? කොහොමද පොත් ගත්තද?” කියල අහනව. මම ඔලුව ඉහළ පහළ වනනකොට, “කියවන්න කියවන්න, කියවලා හැදෙන්න” කියල කියනව. නැතිනම් හිනාවෙලා පිටට තට්ටුවක් දාගෙන නොනැවතීම යනව.

මේ විදියට පොත් කියවීම දිගින් දිගට ගියා. මම පන්නිපිටියෙ ධර්මපාලෙට ඇතුල් වෙලත් කාලයක් යනකම් නිවාඩු කාලෙට පාලින්ද නුවර ගම් සභාවේ නිදහස් පුස්තකාලය පරිශීලනය කරා. වෙන කාටවත් නොතිබුනු එකවර පොත් හතරක් බැහැර ගෙනයාමේ අයිතිවාසිකම මම දිගටම පාවිච්චි කලා. 

අදත් ගමේ යනකොට බදුරලියෙ පෙට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ කඳුගැටේ උඩ තියන දැන් පාලින්ද නුවර ප්‍රාදේශීය සභාව (එදා ගම් සභාව) දිහා මම හැරිල බලනව. ඒ බැල්මට මට පේනව ජී.ඇස්. අප්පුහාමි සභාපතිතුමා එදා පාපිස්සෙ කකුල් පිහදාල සභා ගොඩනැගිල්ලට ඇතුල්වෙලා මාදිහා බලල හිනාවුන හැටියටම හිනා වීගෙන මා දිහා බලාගෙන ඉන්නව. මම ඔලුව නවල සීට් එකෙන් ටිකක් ඉස්සෙනව. ඉස්සරහ බලන මට ඊලඟට පේන්නෙ බදුරලියෙ පොල අයිනෙ ගොඩගහල තියෙන කුණුගොඩ! මම ආයිත් වර්තමානෙට පිවිසෙනව.

5 thoughts on “පොතපත ඇසුර

  1. අන්තිම ටික පුංචි අකුරු උනාට ලොකුවටම දැනුණා. සංවේදී කතාවක්.ඔබතුමා මට වඩා වේගවත්. මම නම් උපරිම මාසෙටම පොත් 20 විතර වගේ. දැන්නම් ඒකත් නෑ.

    Like

  2. මට වැල්ලවත්ත පීටර්සන් ඇවනියු පුස්තකාලයේ සාමාජිකත්වය ලැබුනෙ නගර සභාවෙ වැඩ කරපු පුංචි අම්මගෙ යාලුවෙක් වුණු පුස්තකාලයාධිපතිතුමිය මාර්ගයෙන් නිසා පුංචි අම්මගෙ කාඩ් එකටත් එක්ක වැඩිපුර පොත් අරගෙන යන එක නිතර කරා. මම මාස දෙක තුනකින් විතර එතන මට තේරෙන මට්ටමේ පොත් ඔක්කොම කියවලා ඉවර කරල කිරුලපන පුස්තකාලයට බැස්ස හය මාසයකින් එතැනත් ඉවරයි. ඉන් පස්සෙ කොළඹ මහනගර සභා පුස්තකාලයට.

    උසස් පෙළ (නො)කරපු කාලෙ හැමදාම වගේ ඉස්කෝලෙන් කට්ටි පැනපු මං දවසින් බාගයක් කොළඹ මහනගර සභා පුස්තකාලයේ ගතකරා. පොත් වගේම කැකුලියොත් එමට ගැවසෙන තැන නෙව නමුත් එතන ඉන්න එක කම්මැලි උනහම විහාරමහා දේවී උද්‍යානයේ ගහක් යටට වෙලා පොත් කියෙව්වා. මමත් බොහෝ දුරට දවසකට පොතක් ඉවර කෙරුවත් ඒ පුස්තකාලෙ කියවල ඉවර කරන්න බැරි උනා 😀

    මරදානෙ ඉගෙන ගත්ත මම අවුරුදු දෙකක් දිනපතාම වගේ ඉස්කෝලෙන් කට්ටි පැන්නත් නරකාදියට වැටුණෙ නැත්තෙ දෙමව්පියො සහ ගුරුවරු පුරුදු කරපු කියවීමේ පුරුද්දටයි පොත් වලටයි පිං සිද්ධ වෙන්න (හැබැයි මම කට්ටි පනින්න පටන් ගත්තෙත් ගුරුහොරු නිසා තමයි)

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s