බොරළුගොඩ වරුණ

මගේ ගම ඉඟුරුදළුව උනාට අපි මුල්ගම හැටියට සලකන්නෙ බොරළුගොඩ ගමටයි. මේ ගම් දෙක අතරින් ගලාගෙන යන මගුරු ගඟෙන් තමයි ගම් දෙක වෙන්වෙලා තියෙන්නෙ. 

මගුරුගඟ සිංහරාජ මහ වනන්තරේදී උත්පත්තිය ලබල, ඊට පරිවාර රෑනකන්ද රක්ෂිත වනන්තරේ මැදින් ගලාගෙන ඇවිත්, මහඕකන්ද පහු කරලා පුංචි කැට කඩයකින් කැස්මදිගන වළට වැටෙනවා. මෙතනදි තමයි අපේ ගඟට ඉස් ඉස්සෙල්ලම මිනිස් වාසයක් මුණගැහුනෙ. දැන් නම් දික්හේන තේ වගාවයි, යට්ටපාත තේ වගාවයි නිසා පොඩි වෙනසක් වෙලා තිබුනට අපේ ළමා කාලෙදි මගුරු ගඟේ නොඉඳුල් වතුරින් තමයි අපි ස්නානය කලේ. 

කැස්මදිගන වළ පහුවෙන කොටම මොරගහකැටේ තොටුපල. මේ තමයි ඒ කාලෙ බොරළුගොඩ ගමේ පළමුවැනි තොටුපොල. මෙතනින් ගඟේ දකුණු ඉවුරට ගොඩවුනාම බොරළුගොඩ ගමේ පළමුවැනි ජනාවාසෙ හම්බු වෙනවා. ඒ කන්නන්ගරගොඩ කියන අපේ පාරම්පරික භූමියයි.

කනන්ගරගොඩින් ගඟ පහලට අඩි පාරදිගේ ගමන් කරපු අපිට දිගටම පහුවෙන්නෙ ගොඩවල්. පිලිවෙලින් කිව්වොත් හපුහෙට්ටිගොඩ, මද්දහෙට්ටිගොඩ, බාහෙට්ටිගොඩ, ජයවීරගොඩ, රනහිංගොඩ, රදාගොඩ, නවංගොඩ, වැදිගොඩ, මාගලගොඩ, ගංගොඩගොඩ, රණතුන්ගොඩ, අද්දරගොඩ, පින්නකොලගොඩ ආදී වශයෙන් ගොඩවල් ගොඩක් මුණගැහුනා. ගඟේ වම් ඉවුර දිගේ පහළට ගියොත් මුලින්ම වැද්දාකන්දෙවත්ත. ඊලඟට හොරවප්පිටියෙ වත්ත. මේ වතු දෙක අතර තියන වැද්දාකන්දෙ ඕවිට අයිනෙ කන්ද පාමුල තිබුන රජයේ ඉඩම කන්නන්ගර අර්නෝලිස් අප්පුහාමි කියන අපේ ආතාට සුද්දගෙ ආණ්ඩුවෙන් 1937දි අවුරුද්දට රුපියලක බද්දට දුන්නෙ ඉඩම් සංවර්ධන ආපසු ආඥා පණතින්. මේ නීතිය යටතේ කළුතර දිස්ත්‍රික්කෙ දුන්න පලමු ඉඩම මේ ඉඩම නිසා බලපත්‍ර අංකය ඇල්.ඇල් 1 උනා. මේ ඉඩම මගේ ජන්ම භූමියයි.

ඉතින් ගඟේ වම් ඉවුර දිගේ පහළට යනකොට ඊලඟට පිටපාර වත්ත, පහලගෙදර වත්ත, විදාන වත්ත, පංසල වත්ත, වෙල්විදානෙවත්ත, මැදවත්ත, මහගංකන්දවත්ත ආදී වශයෙන් වතු රැසක් මුණගැහුනා. මේ ගඟේ දෙපැත්තෙ ගම් හැදෙනකොට නම් තියපු විදියෙ අපූරුව බලන්නකො, ගොඩවල් සහ වතු කියල.

මේ කොහොම උනත්, අපි හැමෝම බොරළුගොඩ අපේ ගම විදියට පිළිගත්තා. බොරළුගොඩ ගමේ හාමුදුරුවරු රැසක් හිටියා. අදත් ඉන්නවා. එදා හිටපු අය තමයි බොරළුගොඩ ගංගාරාමාධිපති හා මහරගම විවේකාරාමාධිපති බොරළුගොඩ පියරතනාභිධාන අපේ ලොකු හාමුදුරුවෝ , පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරාධිපති බොරළුගොඩ රතනසාර ලොකුහාමුදුරුවෝ, මහරගම විවේකාරාමාධිකාරී දෙහිකුඹුරේ මංගල ලොකුහාමුදුරුවෝ, මේ බොරළුගොඩ සඟ පරපුරේ ඊලඟ තලය ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන නායක හාමුදුරුවෝ, ඊදඬුකිත පෙරදිග බෙහෙත් හලේ අධිපති වෛද්‍ය බොරළුගොඩ සෝමාලෝක වෙදහාමුදුරුවෝ, දෙහිකුඹුරේ බෝධිසිරි හාමුදුරුවෝ, විචිත්‍ර භානක බොරළුගොඩ ජිනාලංකාර හාමුදුරුවෝ. මේ දෙවැනි සංඟ පරපුරේ ස්වාමීන් වහන්සේලා මාකුඹුර, කොට්ටාව, මොරවක ආදී පලාත්වල ඉඳන් රටට මහා මෙහෙවරක් කරනවා.

මේ මහා සංඝ පරපුරට මුල් උනේ අපේ බොරළුගොඩ පියරතන ලොකු හාමුදුරුවෝ යි. උස මහත නැති පුංචි ශරීරයක් තිබුනු ලොකු හාමුදුරුවන්ට අහල ගම් හතකම සකලවිධ ප්‍රාණීන්ම බයයි. එහෙම කිව්වට ලොකු හාමුදුරුවෝ කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. උන් වහන්සේගෙ කථාව කෙලින්. වැඩ කෙලින්. බොරු බෑ, හොර බෑ. ඕන නැති පණ්ඩිතම් සත පහකට ගණන් ගත්තෙ නෑ. අග්‍රාණ්ඩුකාරයත්, ගමේ දුප්පත් දායකයටත් සැලකුවේ එක විදියට. නිලය, බලය පෙන්නල මිනිස්සුන්ට හිරිහැර කරන්න හදන අයව පෙන්නන්න බෑ. මහරජ්ජුරුවො පංසලට ආවත් හාමුදුරුවන්ගෙ වැඩපිලිවෙල වෙනසකුත් නෑ, භික්ෂු විනයට අනුකූල නොවන දෙයක් මැරුණත් කරන්නෙ නෑ. ඕන නැති වැඩක් කලොත් වැරැද්දක් දැක්කොත් හැරමිටියෙන් පාර දෙන්නත් අතපසු කලේ නෑ. 

හාමුදුරුවන්ගෙ තනිවට හිටියෙ ඇස් නැති ආත. ආතට පේන්නෙ නෑ.ඉතින් හාමුදුරුවෝ පංසලේ නවත්තගෙන හිටියා. මේ දෙන්න හරි යාලුවෝ. හාමුදුරුවෝ දානෙ වළඳලා, ආතගෙ පිඟානට බත් බෙදලා දං ගෙයි තියන තහඩුවට ගහල සිග්නල් එක දුන්නම ආත ඇවිත් කෑම කනවා. සමහර දාට දානෙ ගේන කොල්ලො හාමුදුරුවො දානෙ වළඳනකොට අර තහඩුවට තට්ටු කරල පනිනවා. ආතා හැරමිටි ගගහ දංගෙට එනව දකින ලොකු හාමුදුරුවෝ අහනවා, “මොකද බොට පේන්නැද්ද හාමුදුරුවෝ වළඳනවා තාම?” ආතටත් කේන්තියි. ඉතින් අහනවා “වළඳනව නං මේ ටකේ ගැහුවෙ මොකද?” කියල. දැන් හාමුදුරුවන්ට තවත් කේන්තියි. “මොකද තවත් බලා ඉන්නෙ තොට පේන්නෙ නැද්ද? ගිහින් වළඳලා ඉවර උනාම වර” කියනව. ආතටත් කේන්තිය හොදටම නඟිනවා. “පේන්නෙ නැති හින්ද නේන්නම් මේකෙ ලගින්නෙ” කියනවා. හාමුදුරුවෝ නිහඬ වෙන්නෙ හැබෑම නේන්නම් මූට පේන්නෙ නෑනෙ කියල.

අපි ස්කෝලෙන් තැපැල් කන්තෝරු යනකොට සමහරදාට ලොකු හාමුදුරුවෝ ගෙදරක දානෙට වඩිනවා හමු වෙනවා. මහ පාරෙම දණගහල වැන්දම “සුවපත් වේවා!” කියල වඩිනවා. එදාට කෙලින්ම පංසලේ ලොවි ගහට නගිනවා. ඇස්නැති ආත හැරමිටිය ගගහ මිදුලට බැහැල කව්ද කියල අහනවා. “අපි ලොවි අහුලන්න ආව ස්කෝලෙ ළමයි” කියල උත්තර දුන්නම, “අහුලනව නං ඔය ගහේ නැග්ගෙ මොකද?” කියල ඇහුවම සුරුස් ගාල ගහෙන් බහින අපි ආත දැක්කෙ කොහොමද ගහේ ඉන්නව කියල හිමින් කතා කරනවා. “මොකද කුටු කුටු ගාන්නෙ? ලොවි අහුලගෙන පලයල්ල විගහට!” කියනවා. මගේ නිගමනය ආතට ටිකක් හරි පේනව කියලයි. මේක බලන්න මිදුලෙ ඉද්ද ගහෙන් අතු කෑල්ලක් කඩලා අාතගෙ මූණ ලඟට අල්ලල හෙලෙව්ව. සද්දයක් නෑ. එ් මොහොතෙම ආත නැගිට්ටා. අතු කෑල්ල මූණෙ වැදුනා. ආත “චෙප්!” කියනකොටම අපි පැනල දිව්වා.

Advertisements

2 thoughts on “බොරළුගොඩ වරුණ

  1. හෙහ්..හෙහ්.. ගහ උඩ ඉඳන් උත්තර දුන්නම පේන්නම ඕනෙද? මේක මුල්ම පොස්ට් එක නේද? මිට කලින් පොස්ට් තියෙනවනම් ලින්ක් දාන්න ආකයිව් එකේ. මේ ෆෝමැට් එකනම් ටිකක් කරදරයි.. ඒත් ඔක්කොම පොස්ට් ටික එක දිගට කියෙව්වා.. දිගටම ලියන්න..

    Liked by 1 person

    1. මේක මුල හරියෙදි ලිව්වෙ.පොඩි කාලෙ හරියට තේරෙන්නෙ නෑනෙ ගහේ ඉදන් කතාකලබව ආතට දැනෙනව කියල.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s