හේනයි පැලයි 1

අපි පුංචි කාලෙ අපේ ගම්වල හේන් ගොවිතැන ජයටම සිද්දවුනා. හේන් ගොවිතැන කියන්නෙ අවුරුදු කීපයකට සැරයක් මහමූකලාන සුද්ද කරල ගිනි තියල සම්පූර්ණයෙන් පිලිස්සුන හේනෙ ඇල් වී වපුරන එක. මේ ගොවිතැන බොහොම පිළිවෙලට කරන ගොවිතැනක්. සෑම වැඩක්ම කලේ සුදුසු වෙලාවල් එහෙම බලල. අපේ තාත්තත් අවුරුදු දෙක තුනකට සැරයක් මේ වගේ හේනක් කෙටුවා. සමහර වෙලාවට තනියමත් නැතිනම් තව කෙනෙක් හවුල් කරගෙනත් හේන් කරා. මේ හේන් ගොවිතැන ගැන මතකයේ තියන දේවල් පන්හිඳේ සටහන් කරන්න හිතුනෙ දැන් පරම්පරාවට මේ ගැන දැනගන්න ක්‍රමයක් නැති එක ගැනත් හිතලයි.

හේනක් කොටන්න නම් මුලින්ම ඊට සුදුසු භූමියක් තෝරා ගන්න වෙනව. මේකට සුදුසු කාලය වෙන්නෙ නොවැම්බර් මාසෙ විතර කාලෙ තමයි. ඉතින් මේ කාලෙ ලිත එහෙම බලල හොඳ දවසක හොඳට පනපොවාපු කැත්තකුත් අරගෙන තාත්ත මූකලන් කැලේට යනව. හොඳට වැවුන මූකලන් කැලේ වතුර පාරකට කිට්ටුව භූමිය අවුස්සල බලනව. හොඳට ගැඩවිල් පස් තියෙන, වතුරටත් ලඟ භූමිය තෝරාගෙන හා හපුරා කියල කැත්තටත් භූමියටත් නමස්කාර කරල සුද්ද කරන්න පටන් ගන්නව. මුල්ම දවසෙ පැයක් හමාරක් සුද්ද කරල එදා වැඩ අවසන් කරල ආපසු එනව. මේකට කියන්නෙ “හේනක් වැඩකම් කලා” කියලයි. මේ විදියට වැඩකම් කරපු හේන අයිතිය ඒ වැඩකම් කරපු කෙනාටයි. වෙන කෙනෙක් ගියොත් දකිනව අර සුද්දකරල තියෙන කොටස. ඉතින් ඒ කෙනා දන්නව වෙන කවුරු හරි මෙතන වැඩ පටන් අරගෙන කියල. එහෙම කෙනෙක් වැඩකම් කල හේනක් තව කෙනෙක් කරන්නෙ නෑ.

මේ කාලෙ නොවැම්බර් මාසෙ නිසා හොඳට පායනව. ඉතින් සුමානයක් දෙකක් ඇතුලත හේන සුද්ද කරගන්න පුලුවන්. මුලින් හේන් භූමියෙ තියන පොඩි කැලේ සුද්ද කරනවා. පොඩි කැලේ සුද්දකරල දින දෙක තුනකින් මහ ගස් බිමදාන්න ඕන. මේකට තව කීප දෙනෙක්ගෙ උදව්වත් ගන්නවා. මහ ගස් බිම දැමිල්ලට කියන්නෙ “ගස් ගහනවා” කියලයි. ගස් ගැහිල්ල ඉවර උනාම හේන් භූමිය මහ කැලෑවෙන් වෙන්වෙලා පේනව. මීලඟට හේන වේලෙන්න අරිනවා. හේන හොඳට වේලුනහම ගිනි තියන්න ඕන. ගිනි තියන්න කලින් වැටුනු ගස්වල අතු පාත් කරන එකත් කරන නිසා හොඳට වේලුනු හේන වේලුනු කැලෑ තට්ටුවක් වගේ තියෙන්නෙ. ඉතින් හේන ගිනි තියන්න කලින් සත්තුන්ට දන්නන වැඩේ කරන්න තියෙනවා. මේ සුද්ද කරපු හේන් භූමියෙ රැදී ඉන්න සතා සීපාවාට ඉවත් වෙන්න දැනුම්දීම බොහෝම වැදගත් කාර්‍යක් හැටියටයි තාත්තලා සැලකුවෙ. ඒක නිසා ගිනි තියන්න දවස් තුනකට කලින් ඉදල හවසට හේන වටා සංචාරය කරමින් “මගේ දරු මල්ලන්ගේ ජීවත්වීමට කරගෙන යන මේ හේන් භූමිය වී වැපිරීමට හරියන විදියට හදා ගන්න හෙට අනිද්දා ගිනිදානවා.මේ භූමියේ ඉන්නා අපා, දෙපා, සිව්පා, කුරගාන, බඩගාන, පියාඹන සියලූම සත්වයින්ටයි මම කියන්නේ, මේ භූමියෙන් ඉවත් වෙයල්ලා. ඔන්න මම කියනවා, මගේ අතේ වරදක් නෑ උඹලා අයින් වෙයල්ලා” මේ වාගෙ හෑල්ලකින් මේ දැනුම් දීම කරනවා. ඉතින් මේ සත්තු මේ දැනුම් දීම අහලා අයින් වෙනව කියල හේන් කරපු අපේ තාත්තල වගේ ගමේ අය විශ්වාස කලා. දැන් අපි ආපදා පූර්ව අනතුරු ඇඟවීම කරහම යන්න තැනක් හදා දෙනකම් කොහේ යන්නද? කියල පණ්ඩිතකම් කිය කියා ඉඳල, ආපදාවෙන් විපත් වුනහම කෝ මේ නිලදාරි අපිට මේ ගැන කියන්න තිබුන නේද කියල කියන, ලියන බකමූණන් වගේ නෙවෙයි, මේ සත්තු තාත්තලගෙ දැනුම්දීම අහන්න ඇති කියලයි අපිත් හිතන්නෙ. මේ විදියට ගිනිතියන හේන හොඳට පිලිස්සුනාට පස්සෙ, නොපිලිස්සුනු අතු ලීකොට වාගෙ දේ පුච්චන්න මැල ගහනවා. මේ විදියට වී වැපිරීමට හේන සූදානම් කරන්නෙ දෙසම්බෙර් මාසෙ විතර.

හේනෙ වපුරන්නෙ ඇල් වී. ඇල් වී වර්ග ගොඩක් තියනවා. බිබිලි ඇල්, රත් ඇල්, කැටි රත් ඇල්, සුවඳැල්, පොල ඇල් වාගෙ විවිධ වී වර්ග වලින් එකක් භූමිය අනුව තෝර ගන්න ගමේ අය දන්නවා. වී ටික හේන පුරා ඉහල, උදලු කෙටි වලින් බිම කොටල වී ඇට වහන එකට තමයි හේන වැපිරිල්ල කියන්නෙ. තාත්තල වී ඉහින්න ඉස්සෙල්ල වී පෙට්ටියට අබ,තල ඇටත් මිශ්‍ර කලා. අර ලී කොට පුච්චපු ගිනිමැල වල අලු ගොඩේ කැකිරි, පුහුල්, තියඹරා වාගේ ඇට ජාති හිටෙව්වා. ඉතින් දුරුත්තෙ වැස්ස ආවහම හේන පැලවෙනවා.

මේ වෙනකොට හේනෙ පැල හදල ඉවරයි. අපේ හේන් වල පැල හැදුවෙ බිම. මොකද අලි අපේ කැලෑ වල නොහිටි නිසා. ටික දවසකින් හේනෙ කරන්න තියන වැඩවලට පැල අත්‍යාවශ්‍යයි.

මට වයස අවුරුදු 10ක් විතර වෙන කාලෙ තාත්තා හවුල් 5ක හේනකට සම්බන්ධ වුනා. තාත්තා, පොඩිමාමා, ජෝන්මාමා, ඔලීගොඩ වෙදලොකු අප්පා, මාදුරුහේනෙ ඇඩ්ඩින් අයියා මේ හේනෙ හවුල් කාරයෝ වුනා. හේන කෙටුවෙ අපේ ගමේ ඉඳන් හැතැප්ම අටක් විතර දුරින් මහ කැලේ මැද්දෙ වැලෑනෙ හේන කියන හරියෙ. මේ හේනට යන්න කැලේ හැතැක්ම හතක් විතර යන්න ඕන. කිරිමැටිවල කුඹුරු යාය දිගේ ගිහින් හල්ලින්න ඇලෙන් ගොඩවෙලා, මහ වනන්තරේට ඇතුලුවෙලා පැයක් හමාරක් යනකොට හම්බු වෙන මගුරු ගඟේ මිල්ල කඳ වල ලඟින් එගොඩ වෙලා, කොලඹ කන්දට ගොඩවෙලා, එතැනින් එහා පැත්තෙ පල්ලමට බැහැලා තවත් පැයක් විතර ගියහම හේන මුන ගැහෙනවා. හේනෙ එක පැත්තක් ජලාශ්‍රිත දෙනියක්. අනිත් පැත්ත ගොඩ භූමියක්. හේන මැද්දෙන් ලොකු දොලක් ගලා බැස්සා. මෙන්න මේ හේනෙ ලොකු පැලක් හදලා තිබුනා. මේ පැලේ 20දෙනෙකුට විතර ඉන්න පුලුවන්. ගෑනු, පිරිමි කොටස් වෙන්කරල හදලා තිබුනා. පැලේ වහලෙ එක පලයක් බිමටම හේත්තු කරලා අනිත් පලේ අඩි අටක් විතර උසයි. පැල ඉස්සරහ අඩි හයක් විතර තීරුවක් ඇරලා අඩි අටක් විතර පලලට ලී බැදපු මැස්සක් ගහල තිබුනා. මුලු පැලම අඩි තිහක් විතර දිගයි. පැල ඉස්සරහ තීරුවෙ තමයි ගිනිමැල දෙක තියෙන්නෙ. ගිනිමැල දෙකට උඩින් තාවකාලික දුම් මැස්සකුත් තිබුනා.

මේ හේන පැලවෙලා වල් නෙලන කාලෙ, හවුල්කාර ගෙවල් වල ගෑනු පිරිමි ඔක්කොම හේනෙ වැඩට ගියා. දවස් දෙක,තුන නතරවෙලා මේ හේනෙ වල් නෙලපු කාලෙ හරිම සුන්දරයි. වල් නෙලන අපේ උඩහගෙදර ආච්චි ප්‍රමුඛ කාන්තා නඩයෙ නෙලුම් කවි සද්දෙ වැලෑනහේන මහ වනන්තරේ සිසාරා පැතුරුනේ අමුතුම මිහිරියාවකින්. වල් නෙලන ගමන් මයියොක්ක දඬු හිටවමින් කොනක ඉදන් මුලු හේනෙම වල් නෙලිල්ල සතියකින් දෙකකින් නිමකලා. මේ කාලෙ මම මගේ මිත්‍රයා සෝමපාල, ජෝන් මාමගෙ පුතාල ජයසේන, ඔපිසර වගේ කොල්ලන්ට හරිම විනෝදජනක වුනා. වල් නෙලන අයට වතුර සැපයීම අාදී සහාය සේවාවන් අතර දොලේ මාලු ඇල්ලීම, ගඩාගෙඩි සොයාගෙන අසල කැලේ පීරීම කරන අතරේ නෙලුම් කවි සද්දෙ රස විදීම හරිම අපූරුවට සිද්දවුනා. හවසට වල් බූටෑව ගෑවිල කසන ශරීර දොලට පැනල හෝදාගෙන කට කට ගගා වෙව්ලද්දි පැලට එන අපිට උනු තේ කහට පොල්කටුවයි ලොකු කිතුල් හකුරු බෝලෙකුයි ලැබෙනවා. මේ සංග්‍රහයෙන් පස්සෙ ගිනි ගොඩ සරු කරන්න කිට්ටු වෙන කොලු නඩේ හීතල නිකම්ම මැකිල යනවා.

රාත්‍රී කෑම ඉක්මනින්ම කන අපි, පැලේ පිරිමි කොටසෙ මැස්ස උඩට නැගලා ගෝනිය ඔලුවට තියාගෙන ඇලවෙනවා. ඊලඟට එන්නෙ තේරවිලි තරඟය. පැලේ පිරිමි පැත්තෙන් තුන් තේරවිල්ලක් ගෑනු පැත්තට යොමු වෙනවා. ඒක තෝරල තුන් තේරවිල්ලක් පිරිමි පැත්තට එවනවා. මෙහෙම තුන් තේරවිලි තෝරලා තරඟය උණුසුම් වෙනකොට ඔලීගොඩ වෙද ලොකුඅප්ප රැල් බුරුල් අරින්නෙ තේරවිල්ලක් කියන්න. 

වෙදලොකු අප්ප ප්‍රසිද්ද වෛද්‍යවරයෙක්. ආයුර්වේදය කොලඹ මාලිගාකන්දෙදි හදාරල සම්පූර්ණ කල වෙද ලොකු අප්පගෙ හිත ගියෙ බලි යාගයට. සම්පූර්ණ බලියාග ශාන්තිය ඉගෙන ගත්තු වෙදලොකුඅප්ප, වෙදකම අතැරල බලිම කරා. පළාතෙම ප්‍රසිද්ද බලි ඇදුරෙක් වුන වෙද ලොකුඅප්පට ගමේ කවුරුත් ගරු කලා. මේ නිසාම උන්දැගෙ කතාවට කවුරුත් අවධානය යොමුකරා. “එහෙනම් තෝරමු බලන්න කවුරුත්, ‘කොබුරුහලේ’?” වෙද ලොකු අප්ප කියනවා. දැන් හැමෝම එක එක විදියට තෝරන්න බලනවා. ඒ එක්කම වෙදලොකුඅප්ප කියනවා “ඒක බැරිනම් තෝරමු බලන්න, ‘කලවැන්නම් කරකවන්නම්’?” මුලු සභාවම නොසන්සුන්. එක එක විදියට තුන් තේරවිල්ල තෝරන්න බලනවා. හරියන්නෙ නෑ. “එහෙනම් ඔන්න තේරුවා” කියල වෙදලොකු අප්ප කියනවා “හබුරුකොලේ”, “වැල කන්නම්, වරක කන්නම්” කියල. එහෙම බෑ තුන්තේරවිලි අස්සට වෙන ඒව කියල බෑ කියල දෙගොල්ලොම කෑගහනවා. “එහෙනම් ගණිත තේරවිල්ලක් කියන්නද?”වෙදලොකුඅප්ප අහනවා. හැමෝම එකඟයි. “එහෙනම් අලි පනහ ගස් නමයෙ බඳිමු බලන්න, හැබැයි බැඳල ඉවර උනහම හැම ගහකම ඔත්තෙ ගානක් අලි ඉන්න ඕන ” කියලත් කොන්දේසිය දානවා. දැන් හැමෝම අලි පනස් දෙනෙක්ව ගස් නමයක හැම ගහටම ඔත්තෙ ගානක් එන විදියට බඳින්න විවිධ ක්‍රම හදනවා. හරියන්නෙ නෑ. ඊලඟට එක්කෙනෙක් සීපදයක් පුරනවා. ඒක බොහෝ වෙලාවට අපේ ආච්චිගෙන්. මේකට තව අය සම්බන්ද වෙනවා. මේ අස්සෙ ජෝන් මාම තේ මුට්ටිය ලිපට කරනවා. පොල්කටු ටිකේ සද්දෙට නිදා හිටි අයත් නැගිටිනවා. කොටසක් නිදියන, කොටසක් අවදියෙන් සිටින පැලේ අපි හොදට නිදියගෙන හීනෙන් අලි පනහ ගස් නමයෙ බඳිනවා. එදා ඉදන් අවුරුදු හතලිස් පහක් ගිහිල්ලත් තාමත් මේ අලි පනහ ගස් නමයෙ බැඳ ගන්න බැරි වුනු හැටි හැබෑටම!

Advertisements

5 thoughts on “හේනයි පැලයි 1

  1. Sir ලියන ඒවා අපි බොහොම අසාවෙන් කියවනවා. මගේ අම්මා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්. එයා මේවා කියවන්න හරි කැමති. එත් අම්ම internet පාවිචි කරන්නේ skype වලින් මට කතා කරන්න විතරයි. මන් පුලු පුලුවන් විදිහට screen shot ගහල skype වලින් අම්මට යවනවා. එයා ඒවා කියවල මාත් එක්ක අපහු සාකච්ච්චා කරනවා, අගය කරනවා. ගොඩක් ස්තුතියි sir.

    Like

    1. ඔබටත් ඔබගේ ආදරනීය මෑනියන්ටත් බොහොම ස්තූතියි.ඔබලාගේ ප්‍රතිචාර මාව දිරිගන්වන සුලුයි.

      Like

  2. මං දැක්ක විශේෂම දේ තමයි සුනිල් සර් ඒ සිද්ධි නිකම්ම නොකියා වර්තමානා රාජකාරි ජීවිතය හා රාජකාරි අද්දැකීම් සමග බද්ධ කිරීම. ලංකාවේ න්‍යාය ඉගෙන ගන්නා බොහෝ දෙනෙකුට තියෙන අවුල තමයි ඒක ප්‍රා යෝගික කාරණා එක්ක බද්ධ කරලා, විශ්ලේෂණය කර ගන්න බැරිකම.

    මට මගේ මිතුරෙක් කිව්වා, සූර්ය බලශක්තිය ප්‍රධාන විදුලි පද්ධතියට එක් කරන නෙට් මීටරින් ක්‍රමයට විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවෝ කැමැති නෑ වගේ අදහස් පල කරනවා කියලා. හේතුව විදිහට ඒ ධාරාවන් දෙකේ මොකක්දෝ නොගැලපීමක් ගැන කිව්වලු. දැං මේ කතාව කියපු ගමන්ම ඒ විද්‍යාත්මක කරුණ ඇත්තද බොරුද කියලා කව්රුවත් හිතන්නේ නෑ, පටස් ගාලා කියලා දානවා සෝලා පවර් හයි කළාම ඉංජිනේරුවන්ට කොමිස් ගහන්න තියෙන චාන්ස් එක නැති වෙන නිසා මේකට විරුද්ධයි කියලා. මේ චෝදනාවෙන් ගැලවෙන්න ඉංජිනේරුවන්ට කරන්න තියෙන්නේ අර නොගැලපෙනව නම්, එක ඇත්ත නම්, ඒකට විද්‍යාත්මක විසඳුමක් දෙන්න නේද? මොකද, විදුලි බල මණඩලයේ වෙනමම පර්යේෂණ හා සංවර්ධන අංශයක් තියෙනවා විතරක් නෙවෙයි, මාස්ටර්වලින් උඩ අධ්‍යාපන සුදුසුකම්වලට වෙනම ගෙවීමකුත් කරනවා. ඉතින් එයාලා මේ චෝදනාවට උත්තර හොයනව නම් අර ජාතියේ චෝදනා කරන්න අමාරු වෙනවා. මේක අපේ සේවාවටත් පොදුයි (හොයලා තියෙනවා නම් සමාවෙන්න). මං කියන්නේ, මේ වගේ මත සමාජයේ පැතිරෙන්න හේතුව, මිනිස්සු මුහුණ දෙන ප්‍රායෝගික ගැටළුවලට විද්‍යාත්මක විසඳුම් දෙන්න අපි වෘත්තීයවේදීන් විදිහට අසමත්වීම.

    ඉතින් සුනිල් සර් තව තවත් පෞද්ගලික අද්දැකීම් මිනිස්සුන්ගේ ප්‍රා යෝගික ගැටළු එක්ක පටලවලා විග්‍රහ කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

    Like

  3. ඔය අලි පනහ ඔත්තේ ගණන්වලින් ගස් ඔත්තේ සංඛ්‍යාවක ලොවෙත් බඳින්න බෑ කියල මම සිය දෙනෙක් එක්ක විතර තාරක කරලා ඇති.. ඒ එකෙක්වත් තාම මාව හරියටම විශ්වාස කරලා නෑ.. :)))

    Like

  4. අලි 50 කවදාවත්ම ගස් 9ක, එක ගහක ඔත්තේ සන්ක්යාවක් එන විදිහට බඳින්න බැහැ.. ඒ උනාට වෙද ලොකු පප්පා නියම වැඩේ කරලා තියෙන්නේ. ඉන්නවා ඔය වගේ වැඩ කරන.. ඔය කතාව කියවද්දී මට මතක් උනේ ඒ යාළුවව.. ලස්සන මතකයන්..

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s