ගමේ විත්ති

බොරළුගොඩ වරුණ ලියද්දි අපෙ පාරම්පරික භූමිය ඒ කියන්නෙ කන්නන්ගරගොඩ ගැන සටහන් කලා මතක ඇතිනෙ. මේ කියන කන්නන්ගරගොඩ අක්කර හතකට වැඩි ඉඩමක්. විසිවෙනි ශත වර්ෂය පටන් ගත්තු කාලෙ මේ ඉඩම එකම ගම්මානයක් කියලයි අපේ ආච්චි කියල තියෙන්නෙ. ආච්චි කන්නන්ගර ගොඩට දීග එන්නෙ 1915-1920 අතර කාලෙ. එතකොට මේ ඉඩමෙ ගෙවල් විස්සකට වැඩිය තිබුන කියල ආච්චි කියනව. අපේ බොරළුගොඩ රතනසාර ලොකු හාමුදුරුවෝ එක එක්ගෙනාගෙ ගෙවල් තිබුන හැටි ඒ ඒ පවුල් වල හිටපු අය ගැන අපූරුවට සජීවී විස්තර ප්‍රචාරය වගේ මට කියල දීල තියෙනවා. අපේ තාත්තටත් මේ විස්තර හොදට මතකයි. තාත්ත තවමත් මේ විස්තර අපිට කියනවා. මම දැන් කියන්න යන්නෙ මේ විදියට මම දැන ගත්තු අපේ කථාන්දරයයි.

කන්නන්ගරගොඩේ ඉඩම අපේ මීමුත්තට දෑවැද්දට හම්බු වුන එකක්. බොරළුගොඩ මුල්ම කන්නන්ගර එහාට ඇවිත් තියෙන්නෙ උඩරට රජ්ජුරුවන් එක්ක ඇතිවුන අලකලංචියක් හින්ද පණ බේරගෙන පැන්න ගමන්ලු. (දැනුත් මේ ලොක්කො එක්ක කෙල ගන්නම හිතෙන්නෙ ඔය පරම්පරා උරුමෙ නිසා වෙන්න ඇති!) මේ කාලෙ බොරලුගොඩ අයිතිවුනේ ඉංග්‍රීසි පාලනේට. මෙහෙම ආපු අපේ මුත්ත බොරලුගොඩ හතරසිංහ පවුලෙන් කසාදයක් කර ගන්නව. මේ කසාදෙ දෑවැද්දට ඉඩම් තුනක් ලැබෙනවා. ඒ මැදගොඩ වත්ත, දූව වත්ත හා නුග කඳවත්ත කියන ඉඩම්. මෙයින් මැදගොඩවත්ත තම පදිංචියට තෝරා ගත්තු කන්නන්ගර මුත්ත නිසා මේ ඉඩමට කන්නන්ගරගොඩ කියන නම වැටෙනවා. මේ මුත්තට පිරිමි දරුවො දෙන්නෙක් විතරයි හිටියෙ. ඉන් එක්කෙනෙක් වුන “වෙළුන් පොලිස් කන්නන්ගර”අවිවාහකව ඉදල තම ඉඩම් කොටස හපුහෙට්ටි පරම්පරාවෙ කෙනෙකුට විකුනනව 1845 අවුරුද්දෙදි. මේ විකුණපු ලියවිල්ල අදත් හපුහෙට්ටි පරපුරේ සන්තකයෙ තියෙනවාලු. ඉතින් මේ විදියට කන්නන්ගරගොඩ ගම්මානයක් වෙලා හපුහෙට්ටි පරපුරත් එක්ක ව්‍යාප්ත වෙනවා. 

මේ අපේ පරම්පරාවෙ අරනෝලිස් කන්නන්ගර තමයි අපේ තාත්තගෙ තාත්ත. ආතගෙ සහෝදරයො දෙන්නෙක් ගමෙන් පිටට ගිහින් බින්න බහිනවා. ඒ රත්මලේ සහ කුකුලෙගම. මේ ගම්වල ඉන්න කන්නන්ගරල අපේ පරපුරේ අය. කන්නන්ගරගොඩේ උසම තැන අපේ ආතගෙ ගේ තිබුන. අනිත් නෑදෑයන්ගෙ ගෙවල් අවට තිබුනා. මේ කන්නන්ගරගොඩට යාබද ඉඩම තමයි අම්මගෙ මහ ගෙවල් තිබුනෙ. අපේ ආත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න හොද ගොවියෙක්. අපේ ආච්චි කසාද බඳින්න කලින් මොරපිටියෙ ආච්චි කෙනෙක් ආතා එක්ක විවාහ වෙලා හිටිය. ඒ පවුලෙ දුවක් හිටිය. අපි කඹුරාවල නැන්දම්ම කියල කිව්වෙ. මොරපිටියෙ ආච්චියි ආතයි වෙන් උනාට පස්සෙ අපේ ආච්චි එක්ක විවාහය සිද්ද උනා කියලයි ආච්චියි රතනසාර ලොකු හාමුදුරුවොයි කිව්වෙ. හැබැයි කඹුරාවල නැන්දම්ම දීග දෙන වෙලාවෙ ඒ කියන්නෙ 1924 අවුරුද්දෙදි ඒ විවාහ මංගල්‍යෙ වැඩ ඔක්කොම කලේ මොරපිටියෙ ආච්චි කියල ආච්චි කියනවා.”අනේ අපරාදෙ කියන්න බෑ, මම අපේ නෝන හම්බු වෙන්න ඉන්දැද්දි තිබුන කඹුරාවල නෝනගෙ මංගල්ලෙ වැඩ සේරම මොරපිටියෙ අක්ක තමයි කලේ” මේ ආච්චිගෙ වචන. මේ විවාහ මංගල්ලෙ දෑවැදි පත්තරේ අපේ තාත්ත ලඟ අදත් තියෙනවා. ඒකෙ තියෙන්නෙත් කන්නන්ගර අර්නෝලිස් අප්පුහාමිගේ රිදිවිටගේ බබුන් නෝනා යන යුවලගේ ප්‍රිය දියනියගේ විවාහය කියලා, ආතගෙයි මොරපිටියෙ ආච්චිගෙ නමයි දාල. අද නම් කසාදෙ කැඩුනම “රුචිරානනී අහන්න එකපාර මා මරන්න” කියනව. ඒත් ඒකාලෙ එකට ජීවත් වෙන්න බැරුව අයින් වුනාට දරු මල්ලන්ගෙ කටයුතු වලදි අඩුපාඩු නොවෙන්න වැඩ කලා. අනික ඒ අය අතර තිබුනු සමඟියට බාදාවුනෙත් නෑ. අපේ කඹුරාවල නැන්දම්ම ඉන්දැද්දි එයාගෙ කුඩම්ම උන ආච්චි බලන්න එනව. දෙන්න අක්කයි නංගියි වාගෙ බොහෝම ගැඹුරු බැදීමකින් හිටිය.

ඉතින් අපේ ආතයි, ආච්චියි කන්නන්ගරගොඩේ මහගෙදර ජීවත් වුන මේ කාලෙ, කන්නන්ගර ගොඩ ඇතුලු බොරලුගොඩ හුදකලා ගම්මානයක් නෙවෙයි. දකුණු පලාතෙ ඉඳන් ශ්‍රීපාද වන්දනා යන ගමන් මාර්ගයෙ තිබුන එක් නැවතුම් ගම්මානයක්. මේ වන්දනා නඩ නවාතැන් ගත්තෙ කන්නන්ගරගොඩේ ගෙවල්වල. මේ සෑම ගෙදරකම වන්දනාකරුවන්ට නාවාතැනට වෙනම ගොඩනැගිල්ලක් තිබුනා. අපෙ පරම්පරා මහගෙයි අත්තිවාරම ලඟින් තිබුන අනිත් ගොඩනැගිල්ලෙ අත්තිවාරම පෙන්නල තාත්ත කිව්වෙ ඒ වන්දනාකාරයින්ගෙ නවාතැන කියලයි. මේ වන්දනා නඩ පටන් ගැනෙන්නෙ අම්බලන්ගොඩ පැත්තෙන්. එතනින් ඇල්පිටිය, පිටිගල, පැලවත්ත හෙවෙස්ස හරහා අපේ ගමට එතනින් මොරගහකැටේ තොටුවෙ පඬුරු බැඳල, මගුරු ගඟෙන් ගොඩවෙලා, කිරිමැටිවල පල්ලෙකුඹුර ගුල්පෙ දෙනිහේන හරහා බමරබොටුවට ගිහින්, එතනින් කොඩිප්පිලිකන්ද, කලවාන, නිවිතිගල, කරවිට හරහා මුද්දුවට ඇවිත්, කලුගඟෙන් ගොඩවෙලා මල්වල, පලාබත්ගල පාරෙ ශ්‍රී පාදෙට යනවා.

මේ වන්දනා නඩ එන කාලෙට ගමේ අය නවාතැන් පොල සූදානම් කරල, ඒ අයට උයන්න ඕන හැලිවලං සකස් කරල තියනවා. ඒ ඇරුනම වැල වරකා ඉදවල සූදානම් කරනවා. මේ සේරම කරන්නෙ වන්දනාවෙ යන අයට සලකල පිං රැස්කර ගන්න. මුලු වන්දනා කාලෙම වන්දනා නඩ එනව. පද්මෙ කරුණා කරන්න යන නඩ වගේම ආපහු එන නඩත් ගමේ රැයක් නතර වෙනව. මේ නඩ නිසා ඒ ඒ පලාත්වල තොරතුරු ගමට ලැබුනා. මේ එක්කම විවිධ වෙළෙන්දො ගමත් එක්ක සම්බන්ද වුනා. ගමේ අවශ්‍යතා වුන ලුනු, කරවල, ජාඩි, රෙදි පිළි, වලං-පිගන්, මනිබඩු, දුංකල, හුණු අරගත්තු වෙළෙන්දො, තමන්ගෙ වෙළඳ බඩු කඳක දාගෙන ගමට ආව. අපි දන්න කාලෙත් මේ වෙළඳ පරම්පරාවෙ එක වෙලෙන්දෙක් කඳ අරගෙන එනව මතකයි. ගමේ අය මේ වෙළෙන්ඳට කිව්වෙ “වෙළෙන්දයියා” කියල. මිනිහගෙ ඇස් දෙක රතු පාට හින්ද “ඇටිකුකුළ” කියලත් කිව්ව. ගමේ නිශ්පාදන මිලට ගත්තෙ මේ වෙළෙන්දො තමයි. කිතුල් පැණි හකුරු, වේවැල් කූඩ, පුවක්, කරුංකා, ගොරකා, දුම්මල, එනසාල් වාගෙ කැලෙන් එකතු කරන දේවල් මේ වෙළෙන්ඳන්ට අලෙවි කලා.

මෙහෙම තිබුන කන්නන්ගර ගොඩේ විස්තරේ අහන අපි ඊලඟට අහන්නෙ ඇයි මේ ගම නැතිවුනේ කියල. අපේ ආච්චි කියන්නෙ අමුතු කතාවක්. ආච්චිට දරුවො අටක් හෝ නමයක් ලැබුනලු. හිටි ගමන් මාස තුන හතරකට එක්කෙනා ගානෙ මැරෙන්න ගත්තලු. මේ විදියට දෙන්නෙක් තුන් දෙනෙක් මැරුනට පස්සෙ ආත ගිහිල්ල නිමිත්තක් බැලුවලු. නිමිත්ත බලල තියෙන්නෙ බොහොම ඈත පන්සලක හාමුදුරු කෙනෙක්. නිමිත්තට මේ වෙලා තියන විපත හාමුදුරුවො හරියටම කියල. එහෙම වෙන්න හේතුව කියල, මාසෙකට වරක් බලගතු යක්ෂයෙක් ආතගෙ ගෙදර උඩින් ගමන් කරන්න පටන් අරං තියනවා. ඒක නිසා මේ ගෙදර ප්‍රාණීන් බිල්ලට ගැනීම යක්ෂයා විසින් කරන දෙයක්, ඉතිරි අය හරි බේර ගන්න ඕනෙනම් වහාම ගේ අත ඇරල වෙන තැනකට යන්න ඉතින්, කියල හාමුදුරුවො කිව්වලු. මේ අතරම තවත් මරණයක් වුනාලු. ඒ ගමන ඉතිරි ළමයි ටික බේරගන්න ගේ අත ඇර දාල ගඟෙන් මෙගොඩ ඉඟුරුදලුව ගමේ වැද්දා කන්දෙ ආත කොටල තිබුන හේනෙ පැලට පදිංචියට ආවලු. මේ පැල තිබුනු තැන පස්සෙ පොඩි ගෙයක් හදාගත්ත කියල ආච්චි කියනව.

මේ විදියට පදිංචිය මාරු කලේ 1935 විතර කියලයි අපේ තාත්ත කියන්නෙ. සිංහල උළු හෙවිල්ලපු විශාල ගෙයක් අත ඇරල හේනෙ පැලට ආවයින් ළමයි තුන් දෙනෙක් හරි ඉතුරු කරගත්තා කියලයි ආච්චි කියන්නෙ. ඉතින් අපි අහනව, “ආතගෙ මන්ත්‍ර වලින් යකා එලෙව්ව නම් හරිනෙ” කියල. ආච්චි කියනව, මේ යක්ෂයා වෙසමුණි රජ්ජුරුවන්ගෙන් තමන්ගෙ ගමන් මාර්ගෙ ඉන්න අය බිල්ලට ගන්න වරම් ගත්තු බලගතු යකෙක් නිසා ඒක බැරි වුනාලු.(හරියට දැන් තියෙන ප්‍රයිවෙට් බස් යකා වාගෙ!) අලුත් තැනට ඇවිල්ලත් කාලයක් යනකම් ආත අළු මතුරල ගේ වටේ ඉහල ආරක්ෂාවක් කරා කියලත් ආච්චි කියනව. මේ විදියට ඉන්න මිනිස්සු මැරිලා ඉතුරු අය ගඟේ මෙහා ගොඩට පදිංචිය වෙනස් කරලා කන්නන්ගරගොඩ පාලුවට ගියා. ඉඟුරුදලුව ගම ජනාකීර්ණ වුනා. අපේ අම්මගෙ මහගේ විතරක් කන්නන්ගරගොඩට අල්ලපු වත්තෙ ඉතුරු වුනා. 1990 දශකෙදි පොඩිමාම මහගේ අත ඇරල කිරිමැටිවල පදිංචි වීමෙන් මියනපලා කන්දත් පාලු වෙනව. කනන්ගරගොඩ පුරාවටම තියෙන අත්තිවාරම්, නටඹුන් මේ ගමේ ඉතිහාසෙ ජනාකීර්ණ ගමක්වෙලා තිබුන කියල නිහඬව කියාපෑව.

Advertisements

3 thoughts on “ගමේ විත්ති

  1. ඉතාමත් වටිනව සර්ගේ ලිපි. අපි පුංචි කාලේ සර් ගමේ එනකොට අපේ අම්මලා හරි ආඩම්බරයෙන් කියනවා අන්න සුනිල් මහත්තයා යනවා කියලා… මට මතක හැටියට සුදුපාට මොටර් රථයකින්. ඉතිහාසය හරිම වටිනවා සර් දිගටම ලියන්න. මම ඉගෙන ගත්තෙ විජේසිරි සර් ගෙන්.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s