ගමේ පාලනය.

කලුතර දිස්ත්‍රික්කයේ කෙලවරේ ගාල්ල රත්නපුර දිස්ත්‍රික් මායිම කිට්ටුව තිබුන අපේ ගම්වල පාලනය තිබුනෙ කොහොමද කියල කල්පනා කරල බලන කොට හරි අපූරු පාලන ව්‍යුහයක් ඒ කාලෙ තිබුන නේද කියල හිතෙනව. වර්තමානෙ පාලන බලය වෙනුවෙන් මහා අරගල කරන මිනිස්සු ඉන්න සමාජෙ දිහා පේන කොට අපිට එදා තිබුන සරල පාලනයයි ඒ පාලනය බලය පාවිච්චි කල අයයි කොයි තරම් වටිනවද කියල හිතෙනවා. අපේ ගම්වල මිනිස් වාසය 1800 විතර වෙනකොටත් තිබුනු බව කියන්න පුලුවන්. අපේ ගම් ගැන කියන කොට වීදියෙ බන්ඩාර ගැනයි, පැලෑන්ද නුවර රාජධානියයි ගැන කියවෙනවා. බොහෝ දෙනා කට කථාවට කියන්නෙ වීදියෙ බන්ඩාරත් එක්ක ආපු අයගෙන් පැවත එන්නො අපේ ගම්වල පදිංචිකරුවෝ බවයි. මේ ගැන හරි අධ්‍යයනයක් වෙලා නැතත් මට පෙනෙන සාධක අනුව නම් වීදිය බන්ඩාර පරාජය කල රාජසිංහගෙ ප්‍රදේශය උන සීතාවකට අපේ ගමේ යම් යම් සම්බන්දකම් පෙන්නන්න පුලුවන්.

අපේ ගම බොරළුගොඩ. සීතාවකත්, අවිස්සාවේල්ලයි, හංවැල්ලයි අතර බොරළු ගොඩක් තියෙනවා. ඒ එක්කම අතලේ ගම ගැන බැලුවොත් සීතාවකට අයිති අටාල ගම ඊට සමානයි. ඒ එක්කම මේ ගම්වල පදිංචි අයගේ වාසගම් බැලුවොත් ඒව වීරසිංහ, ජයවීර, රණසිංහ, රණතුංග වගේ වාසගම්. මේ වායේ නම් කියනකොටම පේන්නෙ යුද භටයින් හදුන්වන නම්. අනික පත්තිනි ඇදහිල්ල. අපේ ගමේ බොරළු ගොඩ මකල වැල්ලෙ පැරණි පත්තිනි දේවාලයක් තිබුනා. සීතාවක රාජධානියෙ පුරාම පත්තිනි ඇදහිල්ල තිබුනා. කබලුමුල්ල, නවගමුව, කඩදොර, අරන්දර ආදී පත්තිනි දේවාල වලින් පේන්නෙ සීතාවක ප්‍රධාන දෙවියො පත්තිනි වූ බවයි. ඒ අනුවත් හිතන්න පුලුවන් සීතාවක රාජ්‍යයේ ආභාෂය අපේ ගම් පලාතට තිබුනු බව. වීදියේ බන්ඩාර අල්ලා ගැනීම සදහා සීතාවක හමුදාවන් කරන ලද ආක්‍රමණයෙන් පසුව, පස්‍ යොදුන් කෝරල සීමාවේ සීතාවක හමුදා පිරිස් ආරක්ෂාව තර කිරීමට උපක්‍රමයක් ලෙස බොරළුගොඩ අතලේ වැනි තම ප්‍රදේශයේ ගම්වල නමින් ගම් හදාගෙන පදිංචි වුනායැයි සිතිය හැකියි.

මේ විදියට ආරම්භ වුනායැයි සිතිය හැකි අපේ ගමේ අපිට මතක කාලෙ වෙනකොටත් එච්චර සංකීර්ණ බවක් තිබුනෙ නෑ. ගමේ පාලනයට සම්බන්ද වෙලා හිටපු පවුල් කීපයක් තිබුනා. හොරවප්පිටියෙ ඔපිසර ආතා කලක් ගම්මුලාදෑනි ධූරය දරපු කෙනෙක්. අද වාගෙ නෙවෙයි, තමන්ගෙ වසමෙ නීති විරෝධී වැඩ පාලනය කලේ නෑ කියල කලුතර දිසාපතිතුමා ආතාව ගම්මුලාදෑනිකමෙන් අයින් කරනවා. මේකට හේතුව දිසාපතිතුමා ගමේ රාජකාරි හොයා බලන්න එන වෙලාවෙ එක තැනක කැලෙන් කපාපු රිටි 25ක් තිබීම. ඊලඟට මැදවත්තෙ ඔපිසර ආත්ත. ගම්මුලාදෑනි ක්‍රමය අවසන් කරන්න 1963දී රජය ගත්තු තීරණය මත විශ්‍රාම ගිය කෙනෙක්. බොහොම පිළිවෙලට හිටිය මේ ආත පස්සෙ කාලෙක කඩයක් දාගෙන හිටිය. රනහිංගොඩේ ඔපිසර ආත්තත් විශ්‍රාම ගිය කෙනෙක්. බොරළුගොඩ රනහිංගොඩේ හිටියා. එයාගෙ පුතා තමයි අපේ ග්‍රාම සේවක රාලහාමි. 

වික්‍රමආරච්චි කොලඹගේ දොන් සිරිනේරිස් රාලහාමිත් ගම්මුලාදෑනි හැටියට පත්වීම් ලබල පස්සෙ ග්‍රාම සේවක උන කෙනෙක්. මිටි කළු, මහත කොණ්ඩෙ උඩට පීරපු රාලහාමි ඇන්දෙ ජාතික ඇඳුම. බොරළුගොඩ පියරතන ලොකු හාමුදුරුවන් හැර වෙනත් කිසිදු මනුස්ස පරාණයකටවත්, මහසෝනා, රීරියකා ආදී භයානක යක්ෂ භූතයිටවත් රාලහාමි බය නෑ. රාලහාමි දවල්ට ඉන්න තැන හොයාගන්න පුලුවන් වුනාට රෑට කොහේ ඉන්නවද කියල යකෙකුටවත් හොයන්න බෑ. එක්කො මිනී වළලපු තැනක තුවක්කුවත් අරං ඉන්නවා, නැතිනම් පාරේ, එහෙම නැත්නම් පොල්වත්තක. ඝන අන්ධකාරේ ටෝච් එක නොගහ යන්න රාලහාමිට පුලුවන්. තමන්ගෙ වසමෙ වෙන කටයුතු සොයා බලමින් දිවා රෑ ගමේ ඇවිද්දා. මම සාමාන්‍ය පෙළ කරන කාලෙ කොල්ලො එක්ක නාට්‍ය කරන්න ගිහින් මහ රාත්‍රි ගෙදර එනකොට ස්කෝලෙ කන්දෙදි රාළහාමි හම්බු වුන දවස් තියනවා. කරුවලේ ඉදගෙන ඉටි පන්දම් එළියෙන් යන මගෙන් “උඹ කොහේ ගිහින්ද මහ රෑ” කියල ඇහුවම මාව උඩ ගිහින් බිම වැටුනා. “නාට්‍ය පුරුදු වුනා. ඉවරවෙනකොට රෑවුනා” මගේ උත්තරය. ඊට පස්සෙ හරස් ප්‍රශ්න රාශියක් අහල මාව නිදහස් කරන රාළහාමි, පහුවෙනිදම තාත්තට කතාවකියනව. ඒකෙන් චෙක් කරල බලනව ගෙදර දැනගෙනද අපි මේව කරන්නෙ කියල. මේ විදියට ගමත්, සියලු ප්‍රාණීනුත්, දේපලත්, රාලහාමි පාලනය කලා.

ඊලඟ පාලකයා හාමුදුරුවෝ. සියලු මිනිසුන් (රාලහාමිද සහිතව) හාමුදුරුවන්ගේ පාලනයට යටත්. හාමුදුරුවෝ පංසලෙන් පිටට වඩින්නෙ පාංශුකූලෙකට බණකට වඩින්න විතරයි. ගමේ අය පරාණබය නිසා නිකං කයිවාරු ගහන්න ගියෙ නෑ. ඒත් ගමේ වෙන සියල්ල හාමුදුරුවෝ දන්නවා. මොකක් හරි වැරැද්දක් ගමේ කෙනෙක් කලොත් උන්දැට හාමුදුරුවන්ගෙන් හම්බු වෙන්නෙ ලුනු ඇඹුල් සහිතව! මේකට තැනක් වෙලාවක් නෑ. හාමුදුරුවන්ට වැරදිකාරය අහුවෙන්නෙ කොතනදිද, කොයි වෙලාවෙද, ඒ සැණෙන් දඬුවම ලැබෙනවා. හාමුදුරුවෝ මිනිස්සුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට උනත් එහෙමයි. එක අවස්ථාවක පංසලේ තිබුන වටිනා දෙයක් නැතිවෙලා. මේ ගැන කතාකරපු කෙනෙක් විෂ්ණු දෙවියන්ට පානක් තියල අවනඩුව කියන්න උපදෙස් දුන්නා. හාමුදුරුවන්ට දෙවියො මතක් වුනේ එතකොටයි. වහාම විහාර මන්දිරේ දොර ඇරගෙන දේවාලෙට ගිහින් මෙන්න මෙහෙම අවනඩුව කිව්වා. “ඈ බොල පාහරයො, තෝ මෙතන ඉඳන් කිරිබත් ගිල ගිල ඉන්නවා විතරද? පංසලේ ඒව හොරු ගෙනියනකන් තෝ මෙතන දිව්‍යාංගනාවො එක්ක බම්බු ගැහුවද?එක එකා ගැටගහන පඬුරුයි, ගේන කිරිබතුයි ගිල ගිල නිකං ඉන්න තොට ලැජ්ජාවක් නැද්ද බොල? ආයෙහෙම මෙහෙම උනොත් තෝවත් පෙරලනව ගඟට දැනගෙන හිටු!” ඔන්න අපේ ලොකු හාමුදුරුවන්ගෙ විෂ්ණු දෙවි යාතිකාව. ඒකෙන් හිතාගන්න පුලුවන්නෙ මිනිස්සුන්ට කොහොමද කියල. හැබැයි වැරදි නොකරන අයට ලොකු හාමුදුරුවො බැන්නෙ නෑ. මේ ක්‍රමේට ගමේ මිනිස්සුන්ව හාමුදුරුවෝ පාලනය කලා.

ඊලඟට මිනිස්සුන්ගෙ තව පැත්තක් පාලනය කරන්න සම්බන්ධ වුනේ වෙද ආත, වෙද ලොකු අප්පල, කට්ටාඩි ලොකු අප්ප වාගෙ ශාරීරික, මානසික ප්‍රතිකාර කරපු අය. මේකෙදි සර්ප වෙදකම කරපු ඇලොන් මාම, දෙහිකුඹුරෙ උපාසක මාම වාගෙ අයත් සම්බන්ධ උනා. මේ අයගෙ වචනෙට පිටින් ගිහින් ගමේ ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා එතනිනුත් පාලනයක් වුනා.

තව විශාල කොටසක පාලන වගකීම දැරුවෙ ඉස්කෝලෙ මහත්වරු. අතලෙ අබේජීව මහත්තය, බොරලුගොඩ කොතලාවල මහත්තය, මුල් පරම්පරාවෙ ගුරුවරු. ඊටපස්සෙ අපේ මද්දහෙට්ටි මහත්තය වගේ ගමේ ගුරුවරුත්, අතලෙ ලොකු ස්කෝලෙ හාමිනේ, දුමිදුදාස මහත්තය, ගාරලිස් මහත්තය වගේ අයත් මීට සම්බන්ධ වුනා. මේ අය තමන්ගෙ දරුවන්ට උගන්වපු ගුරුවරු නිසාත්, ගමෙන් එහා ලෝකේ සබඳතා සහිත අය නිසාත් ඔවුන්ට ගම්වාසීන් අසීමිතව ගරු කලා. ඒ අයගේ මූණ බැලීමට බැරි දෙයක් කිරීමෙන් වැළකීමට ගම්වැසියන් කටයුතු කලා.

මෙන්න මේ විදියට තමයි අපේ ගම පාලනය උනේ. රාජ්‍ය බලය සහිත නායකත්වයත්, ආධ්‍යාත්මික අංශයේ නායකත්වයත්, දැනුමේ නායකත්වයත්, කායික මානසික සෞඛ්‍ය බලාගත් නායකත්වයත් සම වගකීමෙන් ගම බලා ගත්තා. මේ ගමේ පොඩි පොඩි ප්‍රශ්න වැඩිය කරදරයකින් තොරව විසඳුනා. මිනිස්සුන්ට අවශ්‍යතා බොහෝ දුරට පිරුණා. දේශපාලනය තිබුනට ලොකු තැනක් ඊට ලැබුනෙ නෑ. ඡන්ද කාලෙට ඒවා සීමා උනා. එහෙම පසුබිමක අපි ඉගෙන ගත්තා. ඊට අවශ්‍ය පරිසරය අපේ පරපුරේම කෙනෙක් උන කන්නන්ගර මැතිතුමා හදලා තිබුනා. තවත් නායකයෙක් උන බණ්ඩාරනායක මැතිතුමා ස්වභාෂාවෙන් ඉගනගන්න ඉඩ හැදුවා. මේ විදියට ගමක ඉපදුණ අපිට මහා දුරක් එන්න මහා පිරිසක් උපකාර කරල තියෙනවා. එක විදියකට ගත්තම අපි මේ හැමෝටම ණයවෙලා ඉන්නෙ. ඒක නිසා අපි දැන් බලන්නෙ මෙන්න මේ ණය කන්දරාවෙන් ටිකක් හරි මැරෙන්න ඉස්සෙල්ල ගෙවන්න වැඩ කරන්නයි!

Advertisements

4 thoughts on “ගමේ පාලනය.

  1. අපොයි දිසාපති තුමාගේ මතකයේ තරම නම් පුදුම සහගතයි 😊
    හාමුදුරැවෝ විෂ්ණු දෙවියන්ට අවනඩුව කියපු හැටි නම් අපුරැයි😀

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s