අධ්‍යාපනයේ ගමේ කථාව

පිලිපීනයේ මැනිලා නගරේ තරු පහේ සුඛෝපභෝගී මාර්කෝපෝලෝ හෝටලයේ තිස්වෙනි තට්ටුවේ කාමරයකට කොටු වෙලා ඉන්න මේ දවස්වල ගම මතක් වෙනව වැඩියි. ඇයි ගෙදරදොරින් ඈත්වෙලා දුර රටක ඉන්න කොට හැම වෙලේම කල්පනා වෙන්නෙ අපේ රට ගැනනෙ. රට ගැන හිතෙනකොට ඉතින් ගම ගැන මතක් වෙන එක අහන්නත් දෙයක්ද? පාලුව යන්නත් එක්ක මූණු පොතට රිංගලා බලනකොට මෙන්න හොද කතාවක්. පුංචි කොල්ලෙක් අහනවා ගුරුවරයගෙන් “විෂයන් ඔක්කොම උගන්වන්න එක ගුරුවරයට බැරිනම්, එක ශිෂ්‍යයා කොහොමද ඔක්කොම විෂයන් ඉගනගන්නෙ” කියල. අද ඒ ප්‍රශ්නය සිසුවෙකුට අහන්න පුලුවන් වුනාට අපි ඉඟුරුදලුව කනිෂ්ඨ විද්‍යාලයට ගිය කාලෙ ඔය වගේ ප්‍රශ්නයක් අහන්න හැකියාවක් තිබුනෙ නෑ. මම ඉඟුරුදලුව ස්කෝලෙට ඇතුලු උනෙ 1964/1/1 දින වයස අවුරුදු හතර සම්පූර්ණ කරපු ළමයෙක් හැටියට. අවුරුදු හතරෙන් ස්කෝලෙට ඇතුලු කර ගත්තෙ කොහොමද කියන කතාව වෙනම කතාවක්. ඒක පස්සට තියල, මේ කතාව ඉස්සෙල්ල ඉවර කරමුකො. ස්කෝලෙන් මම අයින් වුනේ 1971/12/31 දින. මේ අවුරුදු අටක කාලෙම විදුහල්පති පී වී ගාරලිස් මහත්තය. අවුරුද්දක් එකහමාරක් යනකොට දෙවෙනි මහත්තයත්, ඉංග්‍රීසි මහත්තයත් (තිලකරත්න ගුරුතුමා සහ විජේනායක ගුරුතුමා) ගුරු පුහුණුව සදහා ස්කෝලෙන් අයින් වෙනව. එතකොට විදුහල්පතිතුමා විතරයි ඉතුරු වෙන්නෙ. දැන් පංති අටක ඉගැන්වීම, ලියුම් කියුම් වැඩ, විදුහල්පති රැස්වීම්,  පුහුණු සැසි ආදී සියලු දේත් කරන්න ඕන. මෙන්න මේ කාර්ය කරපු හැටි මගේ මතකයට නැගුනෙ මූණු පොතේ අර කිව්ව ප්‍රශ්නය දැක්කමයි.

ගාරලිස් විදුහල්පතිතුමාගෙ ගුරු මණ්ඩලය “එකා වාගෙ” වැඩ කරන මේ කාලෙත් අපි හය හමාර වෙනකොට ස්කෝලෙ. පෙ.ව.8.00ට සීනුව ගහල පංසිල් අරගෙන ස්කෝලෙ පටන් ගන්නව. පලමු පීරියඩ් එක සංවිධානය වෙන්නෙ මෙහෙමයි. හත,අට ශ්‍රේණි දෙක වතු වැඩ සදහා යොදවනව. හයවන ශ්‍රේණිය සිංහල රචනාව ලියනව. පස්වන ශ්‍රේණිය චිත්‍ර ඇදීමට යොදවනව. හතරවන ශ්‍රේණිය ගණන් හැදීමට දානවා. තුන්වන ශ්‍රේණිය කියවන විට ලිවීමට සූදානම් කරනවා. දෙවන ශ්‍රේණිය බලා ලිවීම කරනවා. පළමුවන ශ්‍රේණිය විදුහල්පතිතුමා ඉගැන්වීම භාර ගන්නවා. මේ විදියට වැඩ පවරලා කෙරෙන පළමු කාලපරිච්ඡේදය පුරාම හෝඩියෙ පංතියට උගන්වන විදුහල්පතිතුමාගෙ ඇස් දෙක අනිත් පංති වල වෙනදේ ගැනත් සෙවිල්ලෙන් ඉන්නෙ. පවරපු වැඩේ ඇර වෙන දේවල් කරනව දැක්කොත් වේවැල් පාර ෂුවර්. නියමිත පරිදි සීනුව ගහල, පළමු කාලපරිච්ඡේදය නිම කරල දෙවෙනි කාලපරිච්ඡේදය පටන් ගන්න කොට විදුහල්පතිතුමා වෙන පංතියක් භාරගන්නවා. අනිත් පංති වලට සුදුසු ලෙස වැඩ පැවරෙනවා. පොඩි පංතිවල වතු වැඩ හැටියට මිදුලෙ කලාදුරු ගැලවීම,  අතුගෑම වගේ සැහැල්ලු වැඩ වලට මාරු වෙනවා. සමහර වෙලාවට හෝඩිය, දෙක වාගෙ පුංචි පංති බලා ගැනීමට අටේ පංතියෙ අයියල අක්කල යොදෝනවා. කොහොම බැලුවත් කාලපරිච්ඡේද අටම ස්කෝලෙ හැම පංතියක්ම වැඩ කෙරෙනවා. අද නම් මෙහෙම නෙවෙයි වෙන්නෙ. ගුරුවරු දෙනතුරු අකුරට වැඩ ව්‍යාපාරයි, වර්ජනයි, උද්ඝෝෂණයි තමයි එහෙනම්. හොද වෙලාවට අපේ ගාරලිස් විදුහල්පති තුමා අකුරට නෙවෙයි තිතටම ස්කෝලෙ වැඩ කලා.

දැන් මේ විදියට වැඩ කරගෙන යන අතර, පාසැල් පරිපාලනයට අයිති වැඩත් විදුහල්පතිතුමා කලා. ලියුම්-කියුම් ටික රාත්‍රියේ හදලා, උදේට ළමයි දෙන්නෙක් අත බොරලුගොඩ තැපැල් කන්තොරුවට යැවීම කලා. ඒ කාරණය වෙන අන්දම මීට කලින් විස්තර ඇතුව සටහන් කරානෙ. විදුහල්පති රැස්වීම යෙදෙන දවසට ස්කෝලෙ නිවාඩු. හැබැයි ඒ වෙනුවට නිවාඩු දවසක ස්කෝලෙ පවත්වනවා. සමහරදාට සඳුදා අපි ස්කෝලෙට යනකොට විදුහල්පතිතුමා ඇවිත් නෑ. දැන් අපේ අදහස ලොකු මහත්තය එන පෙරමගට යන්න. මමත්, මිත්‍රයා සෝමෙත් ඇතුලුව පස් හය දෙනෙක් මැල්ලගහවිලට එනවා. දෙවෙනි බස් එකේ විදුහල්පතිතුමා එනවා. අපිව දැකල හිනාවෙලා “ආ, මාව බලන්න ආවද?ඊයෙ එන්න බැරි වුනානෙ මේ ගෙදර පොඩි වැඩකට ඉන්න උනානෙ” කියනව. අපි එක්කෙනෙක් බෑග් එක ඉල්ල ගන්නවා. ඊටපස්සෙ කතා කර කර පයින් ස්කෝලෙට එනවා. සමහරදාට දෙවනි බස් එකේ මහත්තය නෑ. අපි ටක්කෙටම දන්නවා එහෙනම් අධ්‍යාපන කන්තෝරුවට ගිහින් ඇති,  බයිසිකලේ තමයි අද එන්නෙ කියල. අපි කොල්ලො ටික කෙලින්ම බස් එක එන පාරදිගේ තවත් හැතැක්ම එකහමාරක් ගිහින්, හැඩිගල්ලෙ දොලේ පාලම ගාවට යනවා. එතන මානානෙ දං පඳුරු, හිඹුටු වැල් බරු ගහමින් ලොකු මහත්තය එනකම් ඉන්න අපි ගෝල පිරිස දකින පාරෙ යන අය අහනව “කොහේද මේ ළමයි? ඇයි මෙතන පාලු පාරෙ ඉන්නෙ?” කියල. අපි ලොකු මහත්තය එනකම් ඉන්නව කිව්වම හරි. දවල් එකොලහහමාර විතර වෙනකොට ලොකු මහත්තය බයිසිකලේ පැදගෙන වංගුවෙන් මතු වෙනව. හැමෝම පාලම ලඟටම ඇවිල්ල පේලියට ඉන්නෙ බොහොම කීකරුව. මහත්තය බයිසිකලෙන් බැහැල හිනාවේගන ඉස්සරහට එන්නෙ බයිසිකලේ තල්ලු කරගෙන. අපි බයිසිකලේ ගන්න පොරකනව. “හා හා පරිස්සමින් පෙරල ගන්න එපා” කියල මහත්තයා බයිසිකලේ අත අරිනවා. එතන ඉඳන් ගුරුතුමයි, ගෝල පිරිසයි පයින් ස්කෝලෙ දක්වා ගමන් කරනවා. එන මඟදිගට ගමේ වගතුග අපෙන් අහනවා. ඒ අතර වටාපිටාව ගැන, ගහකොළ ගැන පුංචි පුංචි කරුණුත් කියල දෙනවා. එදා එනකොට ස්කෝලෙ තියන්න වෙලාවක් නැති නිසා ඊලඟ සෙනසුරාදා ස්කෝලෙ තියන්න ලොකු මහත්තය තීරණය කරනවා. 

මේ විදියට අපේ පී වී ගාරලිස් ගුරුතුමාගෙ ගුරු මණ්ඩලය “එකා වාගෙ” අවුරුදු පහක් හයක් විතරම ඉගැන්නුවා. ඊට පස්සෙ ඩි. ඩබ්ලිව්.කේ. හෙයියන්තුඩුව කියල තරුණ ගුරුතුමෙක් පානදුරෙන් ආවහම එකාවාගෙ හිටිය ගුරු මණ්ඩලය දෙන්න වුනා. මේ දෙන්න සුලු කාලයක් හිටිය. ඊටපස්සෙ හෙයියන්තුඩුව මහත්තය ගිහින් විමලාවතී ගුරුතුමිය ආව. එතුමිය අපේ අටේ පංතියට ඉගැන්නුවෙ. බොහොම මහන්සිවෙලා අපිට ඉගැන්නුව එතුමිය ගුරු පුහුණුවට ගියා. ආයිත් ගුරු මණ්ඩලය “එකා වාගෙ” වැඩකලා. 1971 /12/31 වෙනිද පී. වී. ගාරලිස් කියන අපේ ලොකු මහත්තයා විශ්‍රාම ගත්තු එකෙන් එවක ඒ ස්කෝලෙ ඒක පුද්ගල ගුරු මණ්ඩලයම විශ්‍රාම ගත්තා. ජී. ක. සේනානායක කියල ගුරුතුමෙක් ස්කෝලෙ භාර ගත්ත. මමයි මගෙ මිත්‍රයා සෝමපාලයි ඇතුලු අටේ පංතියම අතලෙ ස්කෝලෙට ගියා.

මෙතෙක් වෙලා මේ පිලිපීනයේ මැනිලා නුවර තරුපහේ හෝටලයක නවාතැන් අරගෙන රටවල් 16ක රාජ්‍ය සේවාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මහ වැඩමුළුවක් අතරෙ මේ ටික සටහන් කරේ මේ වාගෙ ජාත්‍යන්තර වැඩ වලට එන්න මුලින්ම පාර එලි කරපු ගුරුතුමා සිහිපත් උන නිසා. නිදහස් අධ්‍යාපනය ඇති කරාපු කන්නන්ගර මැතිතුමා කරපු මෙහෙවරින් අපිට ප්‍රයෝජන ගන්න පුලුවන් උනේ අපේ ඩී. ටී. මද්දහෙට්ටි විදුහල්පතිතුමා ගමේ ස්කෝලෙ පටන් ගැනීමෙනුයි. තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන බලන්න තිබුන කාලෙ, ඈත හද්ද පිටිසර ගමක අපි වාගෙ අහිංසක දරු පිරිසක් වෙනුවෙන් කැපකරාපු උතුම් මිනිසෙක් උන ගාරලිස් මහත්තය ඒ ස්කෝලෙට නොඑන්න අපි අතරමං වෙන්න ඉඩ තිබුනා. එතුමා අපිට මඟපෙන්නුව නිසයි අපි මෙච්චර දුර ආවෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනේ කතාන්දරේ මේ මද්දහෙට්ටි මහත්තයල, ගාරලිස් මහත්තයල වාගේ ගුරු පරපුරේ කතාවත් සටහන් විය යුතුමයි. අපිට මඟ පෙන්වන්න මහා වෙහෙසක් ගත්තු දිසාපාමොක් පරපුරේ ගුරුතුමන්ලා හැම දෙනාටම අනේක වාරයක් පිං සිදුවේවා!

Advertisements

16 thoughts on “අධ්‍යාපනයේ ගමේ කථාව

  1. මට ඉස්කෝලේ එපා කරේ ගුරුවරයෙක්…

    Like

    1. මානව සමාජය සැකසීඇත්තේ දෙවි වරුන්ගෙන් පැවතෙන්නන් හා යක්ෂයින් ගෙන් පැවතෙන්නන්ගෙනි.ගුරුවරු අතරද දෙවනි වර්ගය සිටිති.

      Like

  2. කෙමෙන්ට් වලට උත්තර දෙන්න ඒක කෙමෙන්ට් කරුවෙකුට වටිනවා

    Liked by 1 person

  3. මම .//මැණික් සොයා// පෝස්ට් එකේ කමෙන්ට් කල දේම මතක් වුනා මේක කියවනකොටත්.

    අශ්රෆ් (nee ඉස්මායිල් ) මහත්මිය, ගම්පහ සහිරා හා බද්යුද්දීන් මොහමද් මහතා ගැන ලියා තිබෙන්නේ “ගම හැරදා ගියා නොවේ” – චන්ද්‍රසේකර මහතා තම තම ගුරු, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ ජීවිතය ගැන ලියපු පොතක්

    Like

  4. ඉස්සර මං ඔය හැඩිගල්ලෙ බොල්ලුගොඩ ගමට යන්නෙ අවුරුදු කාලෙට. අපේ අම්මගෙ මල්ලි බැන්දෙ ඔය බොල්ලුගොඩිංනෙ. මං ඉතිං ඒ නෑ කමට මාමගෙ බිරින්දෑගෙ ගෙදර යනව. ඔය අතලෙ ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන කට්ටඩි ගුරුතුමා අපේ ආතගෙ මලයා. දැන්නං පැංසං ගිහිං මං හිතන්නේ. කැම්පස් එකේ උගන්වන කන්නංගර කෙනෙක් ගැන නං අපේ ආතා කිව්වා වගේ මතකයි.

    ආතගෙ ජීවිතේ හරි සරලයි. හවසට මල් පහං පූජා කරලා බුදුන් වැඳලා මිදුල කොනේ තියෙන මායිං ගලට හිං වැලි ඩිංගක් හලලා මල් පිහියත් මැදල ඉනේ ගහගෙන, බිලී පිත්තයි මුට්ටියයි අරං පල්ලං බහින උන්දෑ ආපහු ගෙදර එන්නෙ තෙල්දිය මුට්ටියත් අරං. කොළපතක ඔතාපු ආඳෙක්, මගුරෙක් එහෙමත් ආතා එක්ක ගෙදර එනව.

    තවම වේපනාවෙ ආරන්නෙ පැත්තෙනං යන්න බැරිවුණා.

    Liked by 1 person

    1. ඔය ගුරුතුමා මගේ මාමාකෙනෙකුගෙ බාලපුතා.අපේ පියසේන විදුහල්පතිතුමා.මම කතාකරන්නෙ පියදාස අයිය කියල.එහෙනම් අපේ පබිලිස් අයියගෙ දුවක් බැදල ඉන්නෙ ඔබෙ මාමා.

      Like

      1. සුරංග ඔබේ නැන්දා නම දිල්හානි.වැඩකලේ කලවානෙ.දැන් බදුරලියෙ.ඒ අපේ පබිලිස් අයියගෙ දුව.කලවානෙ ගෙදරත් මම දන්නවා.පබිලිස් අයියගෙ අම්ම කොඩිප්පිලිකන්දෙ.පියදාස අයිය ඉඟුරුදලුවෙ අපේ ස්කෝලෙ විදුහල්පති හැටියට විශ්‍රාම ගියා.අපේ ගෙදර ඉදන් හූ භාගයෙක දුරින් ඉන්නෙ.අපේ සමීපතම නෑදෑයො.

        Like

      2. බ්ලොග් හරහා නෑදෑ සබඳ කම් අලුත් වෙනවා දැක්කම සන්තෝෂයි

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s