දෙවනි ස්කෝලෙ

මම නමවන ශ්‍රේණියට අතලෙ මහා විද්‍යාලයට ඇතුලු උනේ 1972/1/1 දිනයේදියි. ඒ වෙනකොට අතලෙ ස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් උගන්වපු ස්කෝලයක්.විදුහල්පති සේන විජේසේකර මහත්තය රංජිත් රුද්‍රිගු,පියසිරි ජයසිංහ,චන්ද්‍රසේන වික්‍රම ආරච්චි,විමලාගංගොඩ සෝමවීර,ඇක්මන් ආදී ගුරුවරු ස්කෝලෙ හිටියා. අතලෙ මහාවිද්‍යාලයපරණ ස්කෝලයක්. 1910 වාගෙ කාලෙ ආරම්භ කලා කියලයි කියන්නෙ. මේ විද්‍යාලයක් උනාට පංති තිබුනෙඅ.පො.ස. සාමාන්‍ය පෙළ වෙනකම් පමණයි

ජීවිතේ පළමු වතාවට විෂයයන් වලට වෙනම ගුරුවරු ඉගැන්නුවෙ මහා විද්‍යාලයෙදි. රංජිත් සර් සිංහල සාහිත්‍ය, ප්‍රජාචාරය, ඉතිහාසය ඉගැන්නුවා. විදුහල්පති සේන සර් සෞඛ්‍ය, සිංහල භාෂාව ඉගැන්නුවා. ඇක්මන් සර්ගෙන් ගණිතය, භූගෝල විද්‍යාව ඉගෙන ගත්තා.(ඒ උනාට සර් අපිට ඉගැන්නුවෙ භූගෝල ශාස්ත්‍රය) චන්ද්‍රසේන සර් බුද්ධාගම ඉගැන්නුවා. මාත් එක්ක පංතියෙ හිටියෙ එම්.කේ. සෝමපාල, රත්නසේන රණතුංග, කේ. ඩී. විජේසේන, සිරිපාල වික්‍රම ආරච්චි, රණතුංගොඩ කඩේ කරුණෙ, ජයසේන, එච්.කේ. විමලසේන, සෝමසිරි වීරසිංහ, ලොකු සුනිල් කියන පිරිමි ළමයි ටිකයි, චන්ද්‍රවතී, දයාවතී, පියවතී, සුමනා වැදිසිංහ, සුමිත්‍රා ගංගොඩ ආරච්චි, කේ. ටී. ඩී. සීලවතී යන ගැහැනු ළමයි ටිකයි. මෙයින් ලොකු සුනිල්ට ඒ නම ලැබුනෙ මම නිසයි. මිනිහ නිසා මට පොඩි සුනිල් කියන නම ලැබුන නිසා ඒක සෙපෝරු ගැහිල්ලක් උනා. මම මේ ස්කෝලෙට ගියහම
සුනිල් හිටපු පංතියටමයි වැටෙන්න උනේ. කරුමකියන්නෙ මිනිහත් සුනිල් කන්නන්ගර මමත් සුනිල් කන්නන්ගර අවුල බේරන්න සේන මහත්තය නම් පොතට මගේ නම දැම්ම කේ.සුනිල් කියල. ස්කෝලෙ කොල්ලො කෙල්ලොනම දැම්ම පොඩි සුනිල් කියල. මම පොඩි සුනිල් උනහම මිනිහ නිකම්ම ලොකු සුනිල්උනා.පස්සෙගුරුවරුත්කතාකලේඒවිදියටයි.අතලෙ ස්කෝලෙ අනිත් ගුරුවරුත් යම්‍ යම් අවස්තාවල අපිට ඉගැන්වීම කලා. විශේෂයෙන් ජයසිංහ සර් ඉංග්‍රීසි ඉගැන්නුව. සර් ඇවිත් වැඩි කාලයක් උන්නැති නිසා විභාගෙට ඒ විෂය ගන්න ලැබුනෙ නෑ. අතලෙ ස්කෝලෙදි මතක හිටින වැඩ ගණනාවක් උනා. එකක් තමයි ලක්ෂමන්ගෙ හපන්කමේ ලිව්වෙ. අපිට උගන්වපු ගුරුවරු ඔක්කොම බොහොම මහන්සි වෙලා ඉගැන්නුවා. බොහෝ දෙනා පුහුණු ගුරුවරු. රංජිත් සර්, ජයසිංහ සර් වගේ අය භද්‍ර යෞවනයෙ හිටපු අය නිසා අපේ ආකර්ශනය ලබා ගත්තු දක්ෂ ගුරුවරු. මේ කාලෙ ස්කෝලෙ අලුත් ගොඩනැගිල්ල හදල විවෘත කරන්න මහ උත්සවයක් කලා. මේකට අමුත්තො පිළිගන්න අපිව පුරුදු කලා. මේ වෙනකොට ලංකාව ජනරජයක් කරල මාස දෙකක් වත් ගිහින් නෑ. විදුහල්පතිතුමා නව ජනරජ ලාංඡනය ලස්සනට ඇඳලා බිත්තියෙ ගැහුවා. මේ ලාංඡනයෙ අර්ථය අපි හැමෝටම කියාදීල මුලු ස්කෝලෙම දැනුවත් කලා. උත්සවයෙ ප්‍රධාන ආරාධිතයා අගලවත්ත ජාතික රාජ්‍ය සභා නියෝජිත කොල්වින් ආර්. ද සිල්වා ඇමතිතුමා. එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන හා වැවිලි කර්මාන්ත ඇමති. බී. වයි. තුඩාවේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමති, දයා ටී. පැස්කුවල් මතුගම ජාතික රාජ්‍ය සභා නියෝජිත, ආචාර්‍ය ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම්, කළුතර දිසාපති, අධ්‍යාපන අධ්‍යක්ෂ, අගලවත්ත ප්‍රාදේශීය ආදායම් නිලධාරි වගේ ලොකු ලොක්කො මේ උත්සවයට ආව. වාහන වල රණතුංගොඩට ආපු ආරාධිතයො එතැන ඉදන් ගඟ ලගට ඇවිත් අඟුලෙන් ගඟ තරණය කරල ස්කෝලෙට ආව. අපේ අතලේ දේවරක්ඛිත හාමුදුරුවෝ ” විද්‍යා දදාතිවිනයං” යනගාථාව විග්‍රහ කරල කරපු අනුශාසනාව තවමත්මතක ඒ ගථාව මුලින්ම ඇහුවෙඑදානිසයි.

පළමු වතාවට කොල්වින් මහත්තය දැක්කෙත් එදයි. ඉඟුරුදලුව ස්කෝලෙ යන කාලෙදිත් කොල්වින් කියන්නෙ මගේ වීරයෙක්. උසාවිය දෙදරුම් කවල නීති ගැට ලිහන කොල්වින් ගැන අපේ වැඩිහිටියො වැඩියෙන්ම කතා කලේ ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල කියපු සාක්ෂිය බොරු කරන්න ගොයම් කොලයක් උසාවියට ගෙනත් පෙන්නල විත්ති කාරය නිදහස් කර ගත්ත කථාව ගැනයි. මේව නිසයි, අපේ තාත්තගෙ තිබුන සමානාත්මතාව සහ පීඩිතයන් පිළිබඳ සාධාරණව කෙරෙන කථායි නිසා සමසමාජෙ මගේ හිතට අල්ලල තිබුනෙ. රටේ අසාධාරණයට විරුද්ධව ප්‍රසිද්ධියෙ පෙනී ඉන්න කොල්වින් මහත්තය මගේ වීරයා උනාට මගේ මිත්‍ර සෝමපාල ගේ වීරය උනේ යූ. ඇන්. පී. එකේ ඩේවිඩ් මහත්තය. එයත් බොහොම හොඳ අපේම ගම් පලාතෙ කෙනෙක්. ගෙදරවල් ගානෙ ගිහිල්ල තියෙන ඩේවිඩ් මහත්තය, මාමෙ නැන්දෙ අයියෙ අක්කෙ කියල ඒ ඒ අයට ගැලපෙන විදියට කතාකරන කෙනෙක් නිසා පක්ෂභේදෙන් තොරව බොහෝ දෙනෙක් හිතවත් කරගෙනයි හිටියෙ.
(කොහොම හරි කතාව පංච තන්තරේ වෙන්නයි ගියෙ තව පොඩ්ඩෙන්) ඉතින් අපේ ස්කෝලෙ උත්සවේ කොල්වින් මහත්තයගෙ කථාව තරම් හොදට අහපු දැකපු කථාවක් නම් තවමත් නෑ කියල කිව්ව හැකි. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී බැදීම් වලින් මුදවාගෙන නිදහස් නිවහල් රාජ්‍යක් හැටියට දේශපාලනිකව ඉස්සරහට ගෙනියන්න ආර්ථිකය ස්වාධීනව නිෂ්පාදනයට දිරි දෙමින්, ආනයන පාලනය කරමින් ඉදිරියට ගෙනියන්න, ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කරමින් පීඩිත පංතිය ඉදිරියට ගන්න රජය ගන්න උත්සාහයට එරෙහිව ධනපති පංතිය කරන කුමන්ත්‍රණ ගැන කියමින් ඒවා පරාජය කරන ආකාරය රඟපාල පෙන්නුවා කිව්වොත් හරි. ඉතාම හෙමින් කථාව පටන් ගත්තු කොල්වින් මහත්තය ටිකෙන් ටික ස්වරය වෙනස් කරමින් ඊට අනුරූපව අතපය චලනය කරමින් වේදිකාව පුරා ගමන් කරමින් කරපු කතාව මේ ලඟදි ආයිත් සිහිපත් උනේ එතුමාගේ දියණිය මනෝරි මුත්තෙට්ටුගම මැතිනිය දිසාපති සමුළුවට ඇවිල්ල සංහිදියාව ගැන කතාකරපු වෙලාවෙදියි. මේ කථාවෙදිම අපේ සේන විදුහල්පති තුමාගෙ ජනරජ ලාංඡනයට මහා ප්‍රශංසාවක් ලැබුනා. මේ විදියට සාර්ථකව උත්සවය නිමා උනා.

මෙයින් මාස කීපයකට පස්සෙ හිටි ගමන් අපේ විදුහල්පතිතුමාව මීගහ තැන්නෙ ලිහිනියාව ස්කෝලෙට මාරු කරනවා. අපි හැමෝටම මේකට කනගාටුයි. මේක දේශපාලන මාරුවක් කියලයි කිව්වෙ. විදුහල්පතිතුමා නම් කිව්වෙ “මගේ අයිය දේශපාලනේ කලාට මම මොනව කරන්නද?” කියල. විදුහල්පති තුමාට සමු දෙන්න ස්කෝලෙ තියපු උත්සවයෙ වේගවත් කථාවක් කරපු ජයසිංහ සර් සමාජවාදයට යන ගමනේ මෙහෙම කැත වැඩ කරන්න එපා කියල බලධාරින්ගෙන් ඉල්ලුවෙ තමනුත් සමාජවාදය වෙනුවෙන් කැප උන කෙනෙක් කියල කියන ගමන්. මුලු ස්කෝලෙම හඬවමින් සේන විජේසේකර සර් ලිහිනියාවට ගියා.
සේන සර් ගිහින් ටික දවසකින් ජී. සී. බී. ද ෆොන්සේකා කියල විදුහල්පතිවරයෙක් අතලෙ පාසලට පත් වුනා. ෆොන්සේකා සර් ගෙ ගම පානදුරේ. පදිංචි දෙහිවල. කොලඹ පලාතෙ ස්කෝලවල විදුහල්පති ධුර දරපු උපාධිධාරී එතුමා වැඩභාර අරගෙන ව්‍යක්ත දේශනයක් කලා. හිටපු විදුහල්පතිතුමා කරපු සේවෙට ඇතැම් අය දක්වපු ප්‍රතිචාරය විවේචනය කරල තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බවත් ළමයින් ට අධ්‍යාපනය ලබාදීම ලංකාවේ ඕන තැනක කරන්න පසුබට නොවෙන බවත් හිරමණේ කොහේ ගෙනිච්චත් කරන්නෙ පොල් ගාන එකත්ය කියල එතුමා කිව්වම අපිට තේරුනේ එතුමාවත් දේශපාලන පළිගැනීමකට අතලෙට දාල කියලයි.

ෆොන්සේකා විදුහල්පතිතුමානමය, දහය, එකොලහ පංති එකතු කරලා දෙවනි දවසෙ දේශනයක් කලා. ඒ “විෂයයන්ගේ ආරම්භය හා විකාශය” කියන මාතෘකාව යටතේ. ලොව මුල්ම විෂය දර්ශනය බවත් එම විෂයෙන් අනිකුත් විෂයන් බිහිවූ බවත් පෙන්වා දෙමින් කල ඒ දේශනයෙන් තමයි සියලු විද්‍යාවන්ට මුල දර්ශනය බව අපි ඉගෙනගත්තේ. ස්කෝලෙ පරිපාලනය ඉගැන්වීම ආදී සියලු දේ කල පොන්සේකා සර්, පළමු වතාවට අධ්‍යාපන ගමනක් සූදානම් කලා. ස්කෝලෙ ළමයි බස් දෙකක් අරගෙන කොලඹ වරාය, සත්තුවත්ත, කටු ගේ, අලියා බීම පැක්ටරිය, විහාර මහාදේවී උද්‍යානය, නගර ශාලාව ආදී ස්ථාන පෙන්නල එක්ක ආව. අපිට පළමු වතාවට කොලඹ බලන්න අවස්ථාවක් ලැබුනෙ මේ චාරිකාවෙන් තමයි. අලිය බීම සමාගමේදී හැමෝටම එක ගානෙ නෙක්ටෝ බෝතල් නොමිලේ බොන්න ලැබුන එකත් එදා පුදුමයට හේතු උනා. පස්සෙදි තමයි තේරුනේ අපේ හිත් වල නෙක්ටෝවලට තවමත් තියෙන ආසාව හැදුනෙ ඒ සිද්දියෙන් බව. ඒ එක්කම ගුරුවරුත් එක්ක විනෝදෙන් සිංදු කිය කියා ගමනක් යාමෙන් ඇති උන බැඳීම. ෆොන්සේකාසර්සර්පිනාවත් අරගෙන පිරිමි ළමයින්ගෙ බස් එකේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙලා සංගීතය සපයද්දි, රංජිත් සර්, ජයසිංහ සර් වගේ තරුණ ගුරුවරු ගායනයෙනුත්, අපි අත්පොඩියෙන් හා නර්තනයෙනුත් දායකත්වය දුන්නා. මේ කොලඹ සංචාරය නොමැකෙන සටහනක් උනා. ඒ එක්කලම ෆොන්සෙකා සර් පාසැල් ළමයින් නාට්‍ය කටයුතු වල යෙදෙව්වා. රණතුංගොඩේ මෙතියෙස් කට්ටාඩි මාමවත් සම්බන්ධ කරගෙන බෙර පදේට පා තියල රංගනය යෙදෙන හැටි කියල දීල, වාර අවසාන විවිධ ප්‍රසංගයෙ නාට්‍ය තරඟයක් දැම්ම. “අගනුවර” නිෂ්පාදනය කල ප්‍රසිද්ධ නාට්‍ය සර් අපිව යොදාගෙන ස්කෝලෙ විවිධ ප්‍රසංගෙට නිෂ්පාදනය කලා. පොතෙන් මිසක් ඇඟෙන් වැඩ පෙන්නන්න බැරුව හිටි මට මේ නාට්‍ය කෙරුවාව අල්ලල ගියා. “සක්කායදිට්ථි” නාට්‍යයෙ ගුරුන්නාන්සෙගෙ ගෝලය හැටියට මගේ රඟපෑමත්, ගොවියා හැටියට ජයතිස්සගෙ රංගනයත් විශිෂ්ඨ මට්ටමේ තියනව කියල අගය කලා. මේ රංගනයෙ ප්‍රතිඵල හැටියට මට සර්ගෙන් නියමයක් ලැබුනා. ශිෂ්‍ය සමිතියට කෙටි නාට්‍ය ඉදිරිපත් කිරීම. මමත් ජයතිස්සත් දෙන්න මේ කාර්‍ය හොඳින්ම කලා

මේ විදියට අපි සතුටෙන් ඉගෙන ගන්නකොට ෆොන්සෙකා;සර්ට විරුද්ධව කැරැල්ලක් මතුවුනා. කැරැල්ලට හේතුව අපේ පංතියෙ ජයසේනගෙ කන් අඩිය පැලෙන්න පහරදීම.පහරදෙන්න හේතුව ගුරුවරුන්ට ගේන තේ බෝතලය විසිකරල තේ ගෙනාපු අබේවර්ධනට ජයසේන පහරදීම. මේ කැරැල්ලෙදි එක පැත්තක්වත් පස්සට ගියේ නෑ. කැරැල්ලට ආසන්න හේතුව පහරදීම උනාට යටින් තිබුනෙ ෆොන්සෙකා සර් යූ. ඇන්. පී. කාරයෙක් වීමේ විරෝධය. කොහොම උනත් මේකෙ ප්‍රතිඵලය උනේ දෙහිවල ශාස්ත්‍රානන්දයේ විදුහල්පති හැටියට ෆොන්සෙකා සර් පත්කිරීමයි. අවුරුද්දක විතර කාලයක් අතලෙ හිටපු ෆොන්සේකවිදුහල්පතිතුමා, අපිව නවමංපෙත් ගණනාවකට යොමුකල ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. මුලු ස්කෝලෙ ඔක්කොම එකතු වෙලා උත්සවයක් තියල තෑගිබෝග දීල පොන්සේකා සර්ට සමු දුන්න. ගුටිකාපු ජයසේනත් අඬ අඬා සර්ට වැඳල සමුගත්ත. මම දණගහල වැන්දම නැගිට්ටවල ඔලුව අතගාල, “පුතා, ඔයා දක්ෂතා ගණනාවක් තියෙන කෙනෙක්. කලා ක්ශේස්ත්‍රයේ ඉදිරියට යන්න. ඔයා හොද නළුවෙක්” කියල කිව්ව මතකයි.

අතලෙ විදුහල්පති හැටියට මීලඟට එන්නෙ ජයතිස්ස ද සිල්වා විදුහල්පතිතුමා. ජාතික ඇඳුම අඳින එතුමා මහා තේජසක් තිබුන කෙනෙක්. පුහුණු විදුහල්පතිවරයෙක්. මුල් සතියෙම අපේ පංතියට ආපු නව විදුහල්පතිතුමා, අංක ගණිතය පොතේ තිබුනු විවිධ අභ්‍යාසවලින් ගණන් පහක් තෝරලා හදන්න දුන්නා. විනාඩි කීපයකින් ගණන් ටික හදල ඉවර කරපු මම පොත වහල පැත්තකින් තියල වටපිට බල බලා හිටිය. පංතිය පිටිපස්සෙන් ආපු විදුහල්පතිතුමා මගේ පිටිපස්සෙන් ඇවිත් මාව නිරීක්ෂණය කරනව මම දන්නෙ නෑ. වටපිට බල බලා හිටපු මට කණ හරහා පාරක් වැදුනම ඉබේම පුටුවෙන් නැගිටුනා. විදුහල්පතිතුමා අහනව “මොනවද කරන්නෙ වටපිට බලබලා? ගණන් හදන්න බැරිද?” කියල. මට පූර්වාපර සන්ධි ගැලපිලා තේරුණා විදුහල්පතිතුමා හිතන්නෙ මට ගණන් හදන්න බෑ කියල බව. “සර් මම ගණන් හදල ඉවරයි” කියල පොත දිග ඇරල දුන්න. සර් පොත බැලුව. ටික වෙලාවක් පොත දිහා බලා ඉඳල, “පුතා ඔයා ගණන් ටික ඔක්කොම හරියට හදල මදිවට මටත් ලොකු පාඩමක් ඉගැන්නුව” කියල කිව්වා. මට සර් කිව්ව දෙවනි එක තේරුනේ නැහැ. ආයිත් සර් කියනව “තමන්ට පෙනෙන දෙයින් විතරක් තීරණ ගන්න එපා කියල ඔයා මට ඉගැන්නුව” කියල. එදා ඉස්සෙල්ලම ගණන් හදල අවසන් කරපු පස් දෙනා මම, සෝමපාල, රත්නසේන, සිරිපාල, කරුණාරත්න යන අයයි. ඒ අය ශිෂ්‍ය නායකයො ලෙසයි සැලකුවේ. මීට පස්සෙ වෙලාවක සිංහල භාෂාව පාඩමක් කරපු ජයතිස්ස සර් මම ලියපු රාජකාරි ලිපියක ආකෘතියට ලොකු හරියක් දාල, “පුතා තමුසෙට නම් දිසාපති කෙනෙක් වෙන්න පුලුවන්” කිව්වෙ ඒ ලියුම උපදිසාපති විසින් පුද්ගලයෙකුට යවන ලිපියක් ලෙස ලියල තිබුන නිසයි. තවත් වෙලාවක මම බදුරලියෙ පුස්තකාලෙන් පොත් අරං පයින්ම එනකොට අතර මඟදි පයින්ම ගමේ යන ගුරුවරුන් මුණ ගැසුනා. එදා ස්කෝලෙ එන්නැතුව ගියේ කොහේද කියල මම ගේන පොත් ටික ජයතිස්ස සර් බැලුවා. “මිනිසා හඳට යයි” කියන පොත බලල මට කියනවා, “මිනිහා ඈත තියෙන හඳට ගියා තමයි. හැබැයි ලඟ තියෙන හඳට යන්න තාම බැරි වුනා. මේව කියවලා විතරක් මදි කවදහරි තමන් ලඟ තියෙන “හදට” යන්න ඉගෙනගන්න ඕන” කියල කිව්ව. මේ විදියට මම අතලෙ ස්කෝලෙ ගොඩ නැගුනෙ ඔය කියාපු විදුහල්පතිවරු, ගුරුවරුන්ගෙ මඟ පෙන්වීම යටතෙ. මේ ගුරුවරු තමන්ට පැවරුණු කාර්‍ය භාරය නොඅඩුව ඉටුකලේ ඒ අයට හරියට ඉන්න තැනක්වත් නැතුව. බාඳුරා ගෙදර මේ ගුරුවරුන්ට කෑමබීම සැපයුවා. මේ ගුරුතුමන්ලගෙ අධ්‍යාපනයෙ ප්‍රතිඵල හැටියට මම අ.පො.ස. සා.පෙළ විභාගෙ හොඳට සමත් වෙලා 1974/12/31 අතලේ විද්‍යාලයෙන් ඉවත්වෙලා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලෙට 1975/4/27 දින ඇතුලු වෙනව.
පස්සෙ මේ ගුරුවරුන්ගෙන් මට හමු වුනේ චන්ද්‍රසේන සර් විතරයි. මම රත්නපුරේ ඉන්නකොට සිද්ද උන රත්නසේනගෙ මල්ලිගෙ මළගෙදරදි ටිකක් වයස කෙනෙක් ඇවිල්ල අහනව “අදුනන්න පුලුවන්ද?” කියල. කටහඩේ පුරුදු ගතියක් තිබුණට රූපෙන් කවුද කියල හොයන්න බෑ. “යම්තම් හුරු බවක් දැනෙනවා, පොඩ්ඩක් ඉන්න” කියල මම කිව්වා. එතකොටම මතක් උනා මේ කටහඬ අපිට බුද්ධාගම උගන්වපු සර්ගෙ වගේ කියල. “මේ අපේ සර් ද?” කියල සැකෙන් ඇහුව. එතකොටම සර්ගෙ මූණෙ විදිල්ලක් කෙටුව වාගෙ එළිය වැටුනා. සෑහෙන වෙලාවක් කතා කර කර ඉඳල එන්න ලැහැස්තිවෙලා සර්ට වැඳල මූ බලනකොට සර්ගෙ ඇස්වල කදුලු පිරිලා.ඒ සතුටු කදුලු.අනිත් ගුරුවරුත් හමු උනොත්…..
.

Advertisements

10 thoughts on “දෙවනි ස්කෝලෙ

  1. හරිම කෙටියි ඒ නිසා රසවත් සමහර ලේඛකයෝ කරැණු සරල කරන්න කියලා කප්පරක් ලියනවා. පාඨකයාට එපා වෙනවා එතකොට .ඒ ලේඛකයින්ට වඩා මේ ලියමන් ඉහළයි. මම කලිනුත් කිව්වා අම්පාර ඉතිහාසයේ පළමු මාධ්‍ය සංගමය බිහි කරන්න සර් උදව් කල හැටි මතකද

    Like

      1. අටම්
        මේක සින්ඩියේ එල්ලන්න වටින බ්ලොග් එකක් කියලයි මට හිතෙන්නේ.. එක හුස්මට කියවගෙන යන්න පුලුවන්

        Like

  2. ඒ කාලෙ ඩයරි එකක් ලිව්වද? මතකයෙන්ද? කොහොමවුනත් ඔබ පොතක් ලිවිය යුතුයි නේද? අපි හුඟක් අයට නොස්ටල්ජියා ලොකුවට තියනවා. ඒත් හැමෝටම ඒක ඒ විදිහට ලියන්න කියන්න බෑ. ඔබට හොඳට පුලුවන්

    Like

    1. බොහොම ස්තූතියි.සාමාන්‍යෙන් මගේ මතකය හොදට මේවා ලියවෙලා තියෙනවා.කෙලවරක සිට සිහිපත් කරන විට සියල්ල මතකයට එනවා.පොතක් ලිවීම ගැන දීර්ඝ කාලයක සිට අවශ්‍යතාවය තිබුනා කාර්‍ය බහුලත්වය නිස නොහැකි වුනා.දැන් නම් ඒ පාරට වැටිල වගේ.

      Like

      1. මමත් බැලුවේ මේ පුදුම මතකය ගැන .ගුරුවරුන්ගේ සම්පුර්ණ නම් පවා මතකයිනේ.

        Like

      2. මේ මතකයට ප්‍රධාන හේතුව කුඩාකාලයේ සිට කියවීම සහ කට පාඩම් කිරීම කියලයි මට හිතෙන්නෙ.නම් ගම් වගේ ඒව කට පාඩම් නොකලට ඒවහිතට තදින් සටහන්වෙලා.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s