ඡන්දෙ ලිවිල්ල

  1. ආයෙත් සැරයක් ඡන්දෙ ලිවිල්ල පටන් අරන්. හැම අවුරුද්දකටම ජුනි මාසෙ ඒ කෙරුවාව අපේ ග්‍රාම නිලධරින් පටන් ගන්නවා. මේ වැඩේ මෙහෙයවන්නෙ මැතිවරණ දෙපාර්තමේන්තුව. 2015 ඉඳන් කොමිසමක් පටන් ගත්තු හින්ද දැන් මේ ඡන්ද සම්බන්ධ වැඩ මෙහෙවන්නෙ මැතිවරණ කොමිසමෙන්. හැම අවුරුද්දකම වගේ මෙදත් කොමිසම අපේ ග්‍රාම නිලධාරිීන් දැනුවත් කරනවා. ඊට පස්සෙ මේ කාර්‍ය ගැන සාකච්ඡා කරන්න ග්‍රා.නි වෘත්තීය සමිති කැඳවනවා. මේ සාකච්ඡා වලදි විවිධ ඉල්ලීම් එනවා. සමහර ඒව දෙන්නම් කියනවා. සමහර ඒව බෑ කියනවා. මොනව උනත් රාලහාමිලයි හාමිනේලයි මේ වැඩේ කරනවා. මේ ඡන්ද ලියවීම අපේ රටේ පටන් අරන් තියෙන්නෙ මැතිවරණ දෙපාර්තමේන්තුවක් හැදෙන්නත් ඉස්සෙල්ල කියලයි මේ ගැන හොයාබලන කොට හෙලි උනේ. ලංකාවෙ මුල්ම ඡන්දෙ තියල තියෙන්නෙ 1912 අවුරුද්දෙ උගත් ලාංකිකයන්ගෙ නියෝජිතයා තෝර ගන්න. මේ ඡන්දෙ පවත්වන්න ඇත්තෙ බස්නාහිර ආණ්ඩුවෙ ඒජන්ත. ඒක නිසා නාමලේඛනය හදන්න ඇත්තෙත් එයාම තමයි. ඊට පස්සෙ තැබෑරුම් වහන ඡන්දෙ තියල තියනව 1927දි. මේකට ටිකක් පිළිවෙලට ඡන්ද නාමලේඛනය හදන්න තිබුන. මේ ඡන්දෙ ඡන්ද බලය අවුරුදු 21ට වැඩි පිරිමි අයට විතරයි තිබුනෙ. ඡන්ද බල ප්‍රදේශෙ උනේ කොලඹ මහ නගර සභාවෙ නම් “වෝඩ්” එක, පිටස්තර නම් නගර සභා බල ප්‍රදේශය. මේකෙ ඡන්දෙ තිබ්බෙ දිසාපති ලේඛනය හැදුවෙ ගම්මුලාදෑනීන්. මේ ටික කිව්වෙ මේ ඡන්දෙ ලියවිල්ල වෙන කාටවත් අයිති නෑ අයිති ග්‍රාම නිලදාරින්ට. ඒක හින්ද අපේ රාලහාමිල දැන ගන්න ඕන මොනව ලැබුනත් නැතත් මේ වැඩේ කරන්න. ඔන්න ඕක කියන්න තමයි ඉස්සෙල්ල කිව්ව සේරම කිව්වෙ.
    මම දැන් කියන්න යන්නෙ මේඡන්දෙ ලියවිල්ල ඉස්සර කලේ කොහොමද කියලයි. අපේ ගමේ ඒ කාලෙ ඡන්දෙ ලිව්ව හැටි තමයි මේකට තියන හොදම උදාහරණය. අපේ ගමේ ග්‍රාම සේවක හැටියට වැඩකලේ රණසිංහගොඩේ රාලහාමි. වික්‍රමආරච්චි කොලඹගේ දොන් සිරිනේරිස් රාලහාමි ගම්මුලාදෑනි හැටියටත් වැඩකරල ග්‍රාම සේවක උන කෙනෙක්. එයාගෙ තාත්ත සුබනේරිස් ඔපිසර ආත්තත් ගම්මුලාදෑනි රස්සාව කරල විශ්‍රාම ගිoය කෙනෙක්. ඉතින් රාලහාමිට නායකත්වය උපතින්ම උරුම කෙනෙක්.

    අපේ ග්‍රාමසේවක කොට්ඨාශය අංක 841 අතලෙ වසම. මේ වසම අද ග්‍රා.නි වසම් පහක්. අතලෙ ස්කෝලෙ ලඟ තියෙන සයිමන් ලොකුඅප්පගෙ ගෙදර තමයි මේ වසමෙ පළමු ගෙදර. එතන ඉඳන් මගුරු ගඟ දිගේ උඩහට හැතැපුම් දහයක් විතර උඩින් තියන ගුල්පෙ ගම ඉවර වෙනකම් අතලෙ ග්‍රාම සේවක කොට්ඨාශය. මේකට අතලෙ ඉඟුරුදලුව, සුදුවැලිපොත, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්න, හරක්ගැටගැහුහේන, දික්හේන, පල්ලෙකුඹුර, කිරිමැටිවල, බටගොඩවිල කියන ගම් ඇතුලත් උනා. මොන මිණුම් දන්ඩෙන් බැලුවත් අමාරු විශාල කොට්ඨාශයක්. මේ ඇතුලෙ අතලෙ, ඉඟුරුදලුව, සුදුවැලිපොත, කිරිමැටිවල, පල්ලෙකුඹුර වාගෙ කොටස් පරණ ගම්වාසීනුත්, අනිත් තැන්වල ජනපද වාසී පිටගම් වලින් ඇවිත් පදිංචි වුන අයත් වාසය කලා. මේ මහා ප්‍රදේශෙ රාජකාරි කටයුතු කරන්න හිටියෙ අපේ ග්‍රාමසේවක රාලහාමි විතරයි. අද වාගෙ ගමට නිලදාරි පස් හය දෙනෙක් හිටියෙ නෑ. ඒත් එක්කම රාලහාමි පොලිස් රාජකාරියත් කරනව ඔය කාලෙ. හොරෙන් මැණික් ගරන අය, කිතුල් රා හදන අය, හොරු, අත්අඩංගුවට අරගෙන මාංචු දාගෙන යෑමත් රාලහාමිට තිබුන රාජකාරියක්. සතියකට වරක් වත් තම වසම ඇතුලෙ ගම් වල ඇවිදල එන එක රාලහාමිගෙ පුරුද්දක්. රාලහාමිගෙ ඡන්ද ලියන රාජකාරියට යන්නෙ එකදිගට. ජුනි මාසෙ පළමුවෙනි සතියෙ අතලෙ ස්කෝලෙ ලඟින් පටන් අරගෙන දවස් දහයක් දොලහක් එක දිගට ඡන්ද ලිවිල්ල කරන රාලහාමිගෙ ඡන්ද සංචාරය අතරතුර අදාල ගමේ සියලු රාජකාරි කරනව. අනවසර වාර්තා, සුලු ආරවුල් විසදීම, ගවහානි පරීක්ෂාව, මෙකී නොකී සියලු රාජකාරි කරමින් ගම්වාසීන්ගේ අනේකවිද සැලකුම් භුක්ති විදිමින් රාලහාමි ඡන්දෙ ලියනව. මෙන්න මේ රාලහාමිගෙ ඡන්ද ලිවීමේ සංචාරයට එකතු වෙන්න මටත් අවස්ථාව පෑදුණා.

    1977 අප්‍රියෙල් මාසෙ උසස්පෙළ ලියල ගමේ ගිය මම රස්තියාදු ගගහ ඉන්න කාලෙ දවසක රාලහාමි අපේ ගෙදරට ආව.

    “ආ ආචාර්ය සුනිල්, කොහොමද මොකද මේ දවස්වල ගම් බැහැල?”

    මම සාමාන්‍ය පෙළ හොදට පාස් උන දවසෙ රාලහාමි කියනව “කොල්වින් තමයි වැඩිම උගතා. ඒ නිසයි එයාගෙ නමට ආචාර්ය කියල තියෙන්නෙ. උඹටත් පුලුවන් ඒවගේ ඉගෙන ගෙන ආචාර්ය සුනිල් කියල නම හදා ගන්න.ඒක නිසා මම දැන්ම ඉඳන් උඹට ඒ නම කියනව” කියල ඔය විදියට කතාකරන්න පටන් ගත්තා.

    “විභාගෙ ලිව්ව, දැන් ප්‍රතිඵල එනකං ඉන්නව” මම කිව්ව. 

    රාලහාමිගෙ සහෝදරයින්ට බාප්ප මහප්ප කියල නෑකමින් කතාකලාට රාලහාමිට නෑකමින් කතා කිරීම කරේ නෑ.

    “එහෙනම් පුතේ යමන්කො මාත් එක්ක ඡන්දෙ ලියන්න? මාත් මේ කවුරු හරි අල්ල ගන්න හිටියෙ” රාලහාමි කියනව.

    මට එකපාරට උත්තරයක් නැති උනා. අම්ම රාලහාමිට තේ එක දෙන ගමන් කියනව “අන්න හොදයි! නිකම් ඇවිද ඇවිද ඉන්න එකේ එක්ක යන්නකො රාලහාමි” කියල. ලේසියෙන් උත්තරයක් නොදෙන අපේ තාත්තත් කියාපි “මක්වෙනවද? ඡන්දෙ ලියන එක මහ වැදගත් වැඩක් නොවැ” කියල. “එහෙනම් පුතේ හෙට උදේ වරෙන් ගෙවල් පැත්තෙ. උදෙන්ම අපි වැඩේට යමු” කියල රාලහාමි ගියා.

    ඉතින් පහුවෙනිද පාන්දරින්ම රාලහාමිලගෙ ගෙදරට ගියා. රාලහාමිලගෙ ගෙදරින් බත් කාල වැඩේට පිටත් වෙන්න හදනකොට කටුකැන්දෙ ආච්චි, ඒ කියන්නෙ රාලහාමිගෙ අම්ම මට කියනව “පුතේ උඹ අපේ රාලහාමිය එක්ක ගියාට බොන්න එහෙම යන්න එපා ඌත් එක්ක” කියල. මේක අහගෙන හිටපු රාලහාමි කියනව “අපේ ගුණපාලගෙ ළමයි වැරදි වැඩ වලට නෑනෙ අම්මෙ” කියල. ආච්චි හිනාවෙලා කියනව “ගුණපාලගෙ එකෙක් හින්දනෙ මම මේ කොලුවට ඒවට යන්න එපා කිව්වෙ” කියල. දැන් රාලහාමියි මමයි ඡන්ද කොල බෑග් දෙකකුත් අරගෙන යනවා ඡන්දෙ ලියන්න.

    “පුතේ අද යමු ජනපදේ පැත්තෙ. ගමේ ටික ඕන වෙලාවක ලියාගන්න බැරියැ” රාලහාමි කියනවා. මමත් මට මොකදැයි කියල පස්සෙන් ගියා.හරක් ගැටගැහු හේනෙ ඡන්දෙ ලිවීම ආරම්භ කලා. මට උපදෙස් ලැබුනා ගෙදර ඉන්න පරණ ලැයිස්තුවෙ අය නම් ලියාගෙන ගෘහ මූලික අත්සන අරගෙන එන්න. රාලහාමි අනිත් ප්‍රශ්න බලනව. දවල් කෑම වෙලාවට පියදාස බාප්පලගෙ ගෙදරට ගියා. රාලහාමිගෙ ලඟ නෑයෙක් නිසා දවල් කෑම එහෙන්. රාලහාමි රා මුට්ටියකටත් වග කිව්ව. ගෙදරට ගොඩවැදුනු ගමන් මම ගැන හැදින්වීම රාලහාමි ගෙන්. “මේ අපේ වැද්දාකන්දෙ ගුණපාලගෙ ළමයෙක්. කොලඹ ස්කෝලෙක එච්.එස්.සී ලියල ඇවිත් ඉන්නෙ. මුන් ඉතින් ගුණපාල වගේම රා අරක්කු සිගරැට් බොන්නෙ නැති කොල්ලොනෙ. මගෙ උදව්වට ආව. තේ එකක් දුන්නොත් හොදයි” මේ හැදින්වීමෙ හැටියට රා පොදකට තිබුන ආසාව වාෂ්ප උනා. කරුමෙ කියන්නෙ සාක්කුවෙ හංගගෙන තිබුන සිගරැට් එක බොන්නත් බැහැ. ඉතින් ඉවසගෙන හිටිය. දවල්ට කනකොට කියනව “ලැජ්ජ නැතුව කාපන් බඩ පිරෙන්න. මේව අපේ ගෙවල්. නැත්නම් පිට එවුන්ගෙන් කන්න යන කෙනෙක් නෙවෙයි මම” කියල. දවල්ට කාල, පල්ලෙකුඹුරට බැහැල ඒ පැත්තෙ ගෙවල්වල ඡන්දෙ ලියල හවස ගෙදර ආව. ඉතුරු කොල ටික මාටින් අයියලගෙ ගෙදර තිබ්බ.

    ඊලඟ දවසෙ කිරිමැටිවල ගල්තුන්දොල ඒරියා එක ලියන්න පටන් ගත්තා. රාලහාමි එක්ක ගියහම ගෙවල් වලින් සැලකිල්ල හොඳයි. මම කව්ද කියල අහන අයට දෙන හැදින්වීමත් හොදයි. ඉතින් මේ වැඩේට මටත් උනන්දුව වැඩි උනා. සමහර ගෙවල්වලට මම තනියම යන්නෙ. රාලහාමි අනිත් පැත්තෙ ගෙවල් ලියනවා. මට කියනවා “ඔතන ඇතුලෙ ගෙවල් පහක් තියෙනවා. පහටම පලයන්” කියල. තනියම යන ගෙවල්වල මමත් ගරු ගාම්බීරෙට තොරතුරු අහල ලියනවා. එක තැනකදි රාලහාමි කිව්වා “ඔන්න ඔය හරස් පාරෙ ගෙවල් තුනක් ඇති ගිහින් ලියාගෙන වරෙන්. මම මේ ගෙවල් ටික ලියන්නම්” කිව්වා. මම ගියා. දෙවනි ගෙදර ගෘහ මූලිකය ආච්චි කෙනෙක්. මම කොලේ විස්තර ලියාගෙන ආච්චිට අත්සන් කරන්න කිව්ව. “අනේ මහත්තයො, මට අකුරු ලියන්න බෑනෙ. මම ගහන්නෙ කණ අත්සන” කියල ආච්චි කියාපි. මගෙ ලඟ තියෙන්නෙ කාබන් පෑන. ඒකෙ තීන්ත නෑ. මම අනිත් ගෙදරක් ලියාගෙන ආපහු ගියා. “ආ හරිද පුතේ වැඩේ ඉවරද?” රාලහාමි අහනවා.”මැදගෙදර ආච්චිට අත්සන් කරන්න දන්නෑ කිව්ව” මම ගැටලුව ඉදිරිපත් කලා. “හරිනෙ බොලේ! ඔය ගෑනි ගහන්නෙ කණ අත්සනනෙ. යමන් ආපහු” රාලහාමි කියනව. මම අපහු යන ගමන් ඇහුව “තීන්ත තියනවද?” කියල”නෑ බං. මොකක් හරි කරමු” රාලහාමි කියනව. “මොන මගුලකට ආපහු යනවද මංද?. තීන්ත නැත්නම් ඇඟිලි අත්සන ගහන්නෙ කෙල ගාලයැ” මම තනියෙන් හිතාගෙන පස්සෙන් ගියා.

    “කෝ කවුද බං ගෙදර ඉන්නෙ?” රාලහාමි ගෙට ගොඩ උනේ හයියෙන් අහගෙන. “ආ අපේ රාලහාමි නෙ” ආච්චි ගේ ඇතුලෙන් ඉස්තෝපුවට ආව. “කෝ මේ බොලාගෙ මඟුල් හින්ද කකුල් කැඩෙන කං ඇවිදින්න වෙලානෙ. උඹට අත්සන් කරන්න බෑ කියල මට මතක් උනේ මේ ළමය කිව්වමනෙ” රාලහාමි කියනවා. “කෝ ගෙනෙන් පොඩි පිහියක්” රාලහාමි ආච්චිට කිව්ව. ආච්චි ගෙට ගිහින් පිහියක් ගෙනැත් දුන්න. “මෙන්න මේක අරගෙන ගිහින් හබරල පිත්තක් කපන් වරෙං” මට පිහිය සමග නියෝගයක් ලැබෙනව. මම මිදුලෙ පහලට බැහැල හබරල පිත්තක් කපාගෙන ආව. “හබරල පිත්තෙන් අඩියක කෑල්ලක් කපපන්” ඊලඟ නියෝගය. ඒකත් කරා. දැන් රාලහාමි ආච්චිට කියනව “හොදි ඇතිලියක් ගෙනෙන්. හැබැයි හෝදපු නැති එකක්”
    ආච්චිගෙට ගිහින් හොද්දත් එක්ක ඇතිලිය අරං ආවා. පාංකඩ කෑල්ලකින් අල්ලගෙන පිරුණු හොදි ඇතිලිය ගේන කොට මට හොල්මං. මම හිතුවෙ රාලහාමිගෙ රා මත වැඩිවෙලා කියල.

    “යකෝ මුන්ට කියනදේ තේරෙන්නෙ නෑනෙ හොදි නැතුව ඇතිලියක් ගෙනෙන් හෝදපු නැති” රාලහාමි හිනාවෙල කියනව. ආච්චි හොද්ද අරගෙන ගිහිල්ල ටිකකින් ඇතිලියක් ගෙනාව. රාලහාමි පාංකඩ කෑල්ලෙන් ඇතිලිය අල්ලල පිට පැත්ත හරවල බලල “හොදයි මේක හරියටම හරි” කියල අර හබරලපිත්තෙ කැපු කොන ඇතිලියෙ පිටපැත්තෙ එක තැනක ඇතිල්ලුවා. ටික වෙලාවක් හබරල පිත්ත අතුල්ලල “හා වරෙන් මෙහාට” කියල ආච්චිට කතා කෙරුව. ආච්චි ලඟට ආව. රාලහාමි මට කියනව “ගනින් අර කොලේ. දිග ඇරපං මුන්දැගෙ අත්සන ඕන තැන” කියල. මම කොලේ දිග ඇරල අත්සන ඕන තැන මතු කරා. තාමත් මේ වැඩේ මට හිතාගන්න බෑ. රාළහාමි ආච්චිට කියනව “මෙන්න මේ හබරල පිත්ත අතුල්ලපු තැන උඹේ වම් මහපට ඇඟිල්ල තියපං” කියල. ආච්චි ඇඟිල්ල ඇතිලියෙ හබරල පිත්ත ගාපු තැන තිබ්බ.  “හා දැන් කොල්ලො ගහගනිං මුන්දැගෙ ඇගිලි අත්සන උඹේ කොලේට”මම උපදෙස් පරිදි වැඩේ කලා. කිව්වට විශ්වාස කරන්න බෑ අම්මප කලු තීන්තෙන් ඇඟිලි අත්සන ගැහුව වගේමයි. ඔන්න අපේ රාළහාමිගෙ වැඩ!

    මුලු ඡන්දෙ ලිවිල්ලම සුමානෙකින් ඉවරයි. වැඩේ ඉවරවෙලා, රා මුට්ටියක් බොල්ලුන්නෙ කට්ටිය එක්ක සප්පායම් වෙලා, රාළහාමි මාත් එක්ක ජනපදේ මනං මුදලාලිගෙ ගෙදර රාත්‍රි කෑමට ගොඩ උනා. රාළහාමිගෙ නංගි තමයි මනං මුදලාලිගෙ නෝන. කෑම කනකොට වෙනද වගේම කියනව “ලැජ්ජ නැතුව කාපන් මේ අපේ තැන්. පිට තැන්වලට කන්න මම යන්නෙ නෑනෙ” කියල. මට “හිහ්” ගාල හිනාවක් ගියා. “මොකද උඹ ඔලොක්කුවට හිනාවෙන්නෙ?”. මම කිව්ව “රා බොනකොට බිව්වෙ කා එක්කද? ඒත් අපේ තැන්ද කියලයි හිනා ගියෙ” කියල. “යකෝ පුතේ, සුරාව වෙනයි. ඒ සුර අසුර මනුස්ස යක්ෂ ඔක්කොම සමානව පාවිච්චි කරන දෙයක් නෙ! ඒකෙ ඔය කුල ගෝත්‍ර බෙදිල්ලක් නෑ. කොහෙද බොලාගෙ තාත්ත බොන්නෙ නෑනෙ ඉතින්. බොල කොහොමද ඕව දන්නෙ? බීම ඇවිල්ල සම සමාජ. කෑම යූ. ඇන්. පී. කතාබහ ශ්‍රී ලංකා. ඒ ඒ වැඩේ ඒකට ගැලපෙන විදියට කරන්න ඕන.” ඔන්න රාලහාමිගෙ විග්‍රහය!

    Advertisements

19 thoughts on “ඡන්දෙ ලිවිල්ල

    1. රාලහාමි ට දේශපාලනේ තහනම්නෙ.ඒකහින්ද හැම පක්ෂෙටම සමාන සැලකිල්ල වෙන්නැති.

      Like

  1. ඌගේ අම්මගේ විග්‍රහය යක්නේ යකෝ ඒක …. හෙක් හෙක් …. රහයි රහයි ….. කාලෙකින් බ්ලොග් රහ දැනුනා ….. අර නිහාල් ගොයියගේ ..දොන කුසුමාවති …එකොලොස්වෙනි …කොටස පරක්කුයි මොකද දන්නැ

    Like

  2. සුනිල් මහත්තයත් දන්න ජාති 😊 දිසාපතිකමටම කියලා පුහුණු කරලා ව‍‍ගේ…………. දැන් ඉතින් මේ සියලු අත්දැකිම් එක්ක හරිහැටි යමක් රටට කරන්න නම් ලොකු පුටුවට යතාර්තය පැහැදිළි කර සහය දෙන තැනට යවන එක තමා සුදුසු වන්නේ!!

    Like

  3. ඇත්තටම අපේ අතීතයේ රාජකාරි කළ ආකාරය ගැන අපූරු පාඩමක්. දැන් රාළහාමි කෙනෙකුට එහෙම ප්‍රායෝගික දැනුමක් තියෙනවා නම් ඒ කීදෙනෙකට විතර ද? ඉල්ලීම් ඉල්ලන හැමෝම කියවිය යුතුම කතවක්. අපේ සාහිත්‍යය පෝෂණය උනේ මේ වගේ අත්දැකීම් සහිත නිර්මාණ වලින්. අද සමහරු ගමෙන් බිහි උනේ කියලා කියන්න ලැජ්ජාවේ අත්දැකීම් හිතේ ගුලි කරගෙන ඉන්නවා.

    Like

    1. මේවා සජීවී අත්දැකීම් අජිත්.මේව බෙදාහදාගන්න ලියන්නෙත් දැන් පරපුරේ දැනුම උදෙසාමයි

      Like

  4. දැනට අවුරුදු දෙක තුනකට කලිං අපේ ඔෆිස් එකට ආවා හිටපු ගම්මුලාදෑනි සීයෙක්. අපිත් ඉතිං කයිවාරුවට අල්ලගත්තා. එයා කියපු විදිහට ඒ දවස්වල කොරනේල් රාලහාමි ඩියුටිය කරල තියෙන්නෙත් එයාම තමයි. අපි ඒ විස්තර ඇහුවා.

    “ඔන්න ඉතිං මරනෙ සිද්දඋනාම පිරිස එනව මාව එක්ක යන්න. ඉතිං මාත් ඒ නඩේ එක්ක යනව. එදාට ඉතිං වෙනම ගෙයක් එහෙම සුද්ද කරල වතුර එහෙම උණුකරල තියනව නාන්න. එදා ඉතිං හවස නාකියාගෙන රෑට දඩමසක් එක්ක හොඳට වළඳලා එහෙම ඒ ගෙදර නිදාගන්නව. තව ඉතිං වයිෂ්යාවක් එහෙමත් ලෑස්ති කරල තියන්න ඕන. නැත්තං ඉතිං රපෝර්තුව මට ඕන හැටියට දෙන්න ඇහැක්නෙ”

    ඔන්න ඔය අගම හරිය කියද්දි ඒ සියගෙ ඇස්දෙක අලුත්ම අලුත් ටොනික් පියං දෙකක් වගේ දිලිසෙනව මං බලාගෙන.

    මේ ළඟදි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගානෙ ගියා ග්‍රාමනිලධාරීවරු ලව්වා ග්‍රාම නිලධාරී මායිම් පෙන්නගෙන සිතියම්ගත කරන්න. යාබද ග්‍රාම නිලධාරි කොට්ඨාශ දෙකක් අඳිද්දි ඒ දෙකේම රාලහාමිල දෙන්නම තියාගෙන තමයි චන්ද්‍රිකා පින්තූරෙ දිගේ පොදු මායිම අඳින්නෙ. ඔන්න එතකොට එක්කෙනෙක් කියනව

    “මෙතනනෙ මල්ලි මේ අර ඔයා තේක්ක කපාපු හරිය. මීට පහලිං ගඟ දිගේ යන්නෙ මායිම”

    “නෑ අයියෙ. ගඟේ ඔච්චර දුරට යන්නෑ. මෙතන මේ වංගුවෙනෙ ඔයාගෙ වැලි තොටුව. එයිං පහල මේ අයින දිගට යන්නෙ මේ මේ ටික මං රිසිවේසම දිගේ තේක්ක හිටෝපු හරිය.එයිට උඩිං මායිම රක්‍ෂිතේට හැරෙනව.”

    ඕං ඔය විදිහට රාලහාමිල දෙන්නා කරන සේරම ජාවාරං මයෙ කනට වැටුනා. හැැබයි ඒ අතරේ කලාතුරකින් සමහරු හිටියා මුළු කොට්ඨාශෙම ගහක් ගලක් ගානෙ දන්න අය. මට හිතෙනවා ඒ අයත් ටිකෙං ටික තමුංගෙ රස්සාවෙ බලතල අතෑරලා කියලා. සමහර ග්‍රාම නිලධාරී නෝනලා හිටියා වසමෙ ඇවිදලවත් නැති. හැබැයි ඉතිං ග්‍රාම නිලධාරිල වෙන මහන්සිය බලන්න ඡන්දයක් එන්නම ඕනැ.

    ඒක නෙමෙයි අද ඔබතුමාව ටීවියෙකේ දැක්කා. දන්න කෙනෙක් ටීවියෙකේ දකින එකත් අමුතුම මෙව්ව එකක් තමයි.

    Like

    1. ගම් මුලාදෑනින අතර ඉතාමත් අසාධාරන ලෙස ජනතාව පීඩාවට පත් කල අය සිටියා.ඔහුන් නිසාමයි ගම් මුලාදෑනි ක්‍රමය වෙනස් කිරීමට රජය කටයුතු කලේ1963දී.ඒඅතර විශිෂ්ඨ ළෙස කටයුතු කල නිලදාරින්ද සිටියා.අද ග්‍රාම නිලදාරින්ද එසේමයි.හොද නරක දෙකම ඉන්නවා.1977ට පසුව රාජකාරිය සල්ලි බවට පත්කරන අය වැඩිඋනා.
      ගංවතුර,කුනුකන්ද,වාගේ ඒවා කඩා වැටෙන කොට මාද්‍ය වලින් අපිට ඉල්ලුමක් එනවනෙ.

      Like

  5. පහුගිය දවස් ටිකේ මේ පැත්තේ එන්න බැරිඋනා සර්.. දැන් තියෙන චන්ද කතන්දර වලට වඩා සෑහෙන්න වෙනස් කතන්දර නෙ ඉස්සර තිබිලා තියෙන්නේ. ඒ කාලේ ගෙවල් ගානේ ගියාට දැන් ඉන්න සමහර ග්‍රානි මහත්තුරු නෝනලාට කොලේ එයාලගේ ඔෆිස් එකට ගෙනල්ලාම බාර දෙන්න එපැයි.

    Like

    1. ඔව් එදා හිටපු අයට තිබුන පහසුකම් එක්ක ගත්තම අද ඒපැත්තෙන් හුඟක් ඉදිරියට ඇවිත් .හැබැයි වැඩ වලින් ඒ ප්‍රගතිය නෑ.

      Like

  6. නියමයි. ඒ කාලෙ රස කතා අහන්න තව බ්ලොග් එකක්. අදමයි ආවෙ දිසාපතිතුමාගෙ බ්ලොග් එකට. හරිම රසවත්. ඡන්දෙ ලියන එකනං අනිවාර්යයෙන්ම ජූනි – ජූලි අතර කරනවමයි. නැත්තං කොහොමද අපේක්ෂකයන්ට බනින්නෙවත්…

    Like

    1. සාදරයෙන් පිලිගන්නවා.කියවලා අදහස් ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙනවා.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s