දිරිදීමනා සටන

හැමදාම පුංචි කාලෙ ගැනම ලිය ලිය ඉන්න එපා, රාජ්‍ය සේවාවෙ ගැනත් ලියන්න කියල අපේ හුඟක් මිත්‍රයො ඉල්ලා සිටියා. බලාගෙන ගියහම ඒ ඉල්ලීම හරි. ඒක නිසාදෝ කොහෙද හර්ද සාක්ෂිය කියන මගේ නඩුකාරය තීන්දුවක් දුන්න. ඒ අනුව ඉඩ තියෙන තියෙන හැටියට රාජ්‍ය සේවාවෙ ගතකල කාලය ගැනත් ලියන්න ඕන. කොහොම උනත් මම ඔය නඩුකාරය දෙන තීරණ වලට අභියාචන කරන්නෙ නෑ. ඒ නිසා ඔන්න අද ලියනව රාජ්‍ය සේවා කාලෙ සිද්ද උනු සිද්දියක් ගැන.

1987 ජුලි මාසෙ 19වෙනිද වගේ අම්පාර කච්චේරියෙ උප දිසාපති හැටියට වැඩ භාර ගත්තා. මගේ රාජකාරිය උනේ ප්‍රජා සංවර්ධන අංශය භාර උප දිසාපති ලෙස කටයුතු කිරීම. ඊට අතිරේකව කච්චේරියේ කාර්‍යාල සහකාර තනතුරේ වැඩ ආවරණය කිරීමත් මට පැවරුනේ ඒ තනතුර පුරප්පාඩුව තිබුන හින්දයි. කච්චේරියක කාර්‍යාල සහකාර නැතිනම් O.A තනතුර එවක සාමාන්‍ය ලිපිකාර සේවාවෙ අධි පන්තියෙ තනතුරක් වුනත් බලගතු තනතුරක් උනා.මේ තනතුර බ්‍රිතාන්‍ය යුගයෙ සිවිල් සේවාවෙ නිලධාරින් විසින් දරණ ලද වැදගත් තනතුරක්. කච්චේරි ක්‍රමය ආරම්භ කල අවධියේ දේශීය නිලධාරින් වෙනුවෙන් තිබූ මුදලි තනතුරත් එක්ක මිශ්‍ර වී නිර්මාණය වූයේ යැයි සිතිය හැකි මේ තනතුර සමස්ථ කච්චේරියේ පරිපාලන බලතල ක්‍රියාත්මක කල කේන්ද්‍රස්ථානය වී තිබුනා. මෙහි වැඩ කිරීමෙන් පරිපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැකි උනා. කච්චේරියට සම්බන්ධ වෙනත් පරිපාලන සේවා තනතුරුවල නිලදාරින්ගේ නිවාඩු වෙනුවෙන් වැඩ ආවරණය කිරීමේ බලය මේ තනතුරට තිබුනා. ඒ නිසාම සහකාර ආහාර පාලක, අභ්‍යන්තර වෙළඳ සහකාර කොමසාරිස්, මැතිවරණ සහකාර කොමසාරිස් වගේ තනතුරුවල රාජකාරි ගැනත් අවබෝධයක් ලබා ගැනීමට පුලුවන් උනා.

ඉතින් මම අම්පාර කච්චේරියෙ කාර්‍යාල සහකාර පුටුව නිත්‍ය වාසස්ථානය කරගෙන කච්චේරියෙ උප දිසාපති කමත් කරගෙන හිටිය. මගේ සමීපතම අධීක්ෂණ නිලධාරියා ජේ.එම්.ජී.සී. ජයසුන්දර අතිරේක දිසාපතිතුමා. එවක අම්පාර දිසාපති ධූරය දැරුවේ ඩී. එම්. නන්දිසේන මැතිතුමායි. මේ වනවිට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උතුරු නැගෙනහිර පළාත්වල ආරම්භ වී පැතිරෙමින් තිබුනා. මම අම්පාරට යන්න මාස කීපයකට පෙර මහඔය අම්පාර මාර්ගයේදී මංගලගම නායක හාමුදුරුවන් වහන්සේ (පූජ්‍ය ඇකිරියන්කුඹුරේ ඉන්දරතන නාහිමි) ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබ තිබුනා. එම සිද්දියේදී නන්දිසේන දිසාපතිතුමාවත් ත්‍රස්තයින්ට අසු උනත් (එතුමාගේ රියදුරුගෙන් වාහනයේ පැමිණියේ කව්දැයි ත්‍රස්තයින් ප්‍රශ්න කලවිට මහඔය සිට අම්පාරට යන මහත්තයෙක් තමන්ගේ තනියට රැගෙන ආ බව කීමෙන්) අඳුනාගත නොහැකිව මංගල මුදුව සහ වාහනය පැහැරගෙන මුදා හැර තිබුනා. මේ සිද්දිය නිසා අම්පාර පළාතම කැලඹීමට පත්ව තියෙන අවධියේ තමයි මගේ අම්පාර රාජකාරිය ඇරඹුනේ.

රාජකාරි කරගෙන සිටින අතර 1987 වර්ෂය ඇරඹුනා. ඒ අවුරුද්දේ පෙබරවාරි නිදහස් දිනයට එලිවෙන්න තිබියදී මාන්තොට්ටම ගමේ අහිංසක ගම්වාසීන් දහතුන් දෙනෙක් කපා කොටා ඝාතනය කල ත්‍රස්තවාදීන් තවත් දින හතරක් තුල අරන්තලාවේ ගමේ විසිනවදෙනෙක් කපාකොටා මරා දැම්මා. ඊළඟට මාස හතරක් යන්න පෙර 1987/6/2 දින අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා 31නමක් කපාකොටා ඝාතනය කලා. මේවාත් සමඟ අපේ ප්‍රධාන රාජකාරිය ත්‍රස්තවාදී ක්‍රියා වලින් විපතට පත්වූවන් පිළිබඳ කටයුතු ලෙස මාරු උනා. ඒත් එක්කම බොහෝ නිලධාරීන් ස්ථාන මාරු ලබාගෙන වෙනත් පළාත් වලට ගියා. පුරප්පාඩු තනතුරු වලට නිලධාරින් පැමිණීම නැවතුනා. මේ විදියට ත්‍රස්ත බිය සීඝ්‍රයෙන් වැඩිවෙන විට මේ ප්‍රදේශවල රාජකාරි කරන අයට විශේෂ දීමනාවක් ගෙවන ලෙසට රජයට බලපෑම් එල්ල කෙරුනා. එම බලපෑම්වල ප්‍රතිඵල ලෙස ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන ප්‍රදේශවල නිලධාරීන්ට වැටුපෙන් 50% දිරි දීමනාවක් ගෙවීමට චක්‍රලේඛනයක් රජයෙන් නිකුත් උනා. මේ වනවිට නිත්‍ය තනතුරට අතිරේකව කුඩා කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ, පේෂ කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තනතුරු වලද වැඩ බලමින් සිටි මා ඇතුලු පිටතින් සේවයට ගිය උපදිසාපතිවරුන් ඇතුලු සියලු දෙනා මේ ගැන සතුටට පත් උනා.

අපි හැමෝම දිරි දීමනාව ගන්න ඉල්ලීම් කලේ මහ සතුටකින්. මේ කාලෙ අපේ මාසෙ පඩිය රුපියල් තුන්දාස් ගණනක්. ඉතින් අවුරුද්දකට වැඩි ඇරියස් එකක් කියන්නෙ අපිට ලොකු ගානක්. අපි උපදිසාපතිවරු 10දෙනෙක් මේ දීමනාව ඉල්ලුවා. පී.බී. අමරසේකර, දඩල්ලගේ, ජයම්පති, මුනිදාස දිසානායක, පාලිත වීරකෝන්, විජේසිංහ ආරියරත්න එදිරිසිංහ වගේ ප්‍රාදේශීය උප දිසාපති නඩේ සහ කච්චේරියේ උප දිසාපතිවරු උන එල්. එස්. සී. සිරිවර්ධන, සුනිල් කන්නන්ගර දෙන්නත් එකතුවෙලා කරපු ඉල්ලීම දිසාපතිතුමාගෙන් ප්‍රතික්ෂේප කෙරුනා. මේකට හේතුව ලෙස සදහන් කෙරුනේ “චක්‍රලේඛනය අනුව ඔබ මෙම දීමනාවට සුදුසුකම් ලබා නැත” යන්නයි. චක්‍රලේඛනයේ දීමනාවට නුසුදුසු කම්ලෙස සදහන් උනේ,

ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් වීම.
ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද දායකයෙක් වීම.

අදාල දීමනාව ගෙවන ප්‍රදේශයට සිය කැමැත්තෙන් ස්ථාන මාරුවී තිබීම.

අපි කිසිවෙක් ඉහත නුසුදුසු කමකට අයත් උනේ නෑ. ඉතින් මේ ගැන දිසාපතිතුමාගෙන් විමසීම සිරිවර්ධන මහත්තය භාර ගත්තෙ ජේෂ්ඨයා විදියට. දිසාපතිතුමා එක්ක කතා කල සිරිවර්ධන මහත්තය කිව්ව කතාවෙන් අපි තවත් කළකිරුනා. අපි හැමෝම අම්පාරට ස්ථාන මාරු කලහම විරුද්ධව අභියාචනයක් දීල නැති නිසා කැමැත්තෙන් ස්ථාන මාරුවූ අය ලෙස සැලකෙන නිසා දීමනාවට නුසුදුසුයි කියල දිසාපතිතුමා කියනව කියල තමයි සිරිවර්ධන මහත්තය කිව්වෙ.

“මේක යකාගෙ කතාවක්නෙ! අම්මොප අපිට කැමැත්තෙන් අම්පාරට එන්න මොකටද? අපේ මහ එකා ඉන්නවයැ අම්පාරෙ”අමරසේකර කෑගහනව.

“කණ්නාඩිකාරය නීතියට පිට වැඩ නෑ බං. ඒක හින්ද ඕක ගන්න හම්බු වෙන්නෙ නෑ බොලාට” ඩී. ඇල්. ඕ. වීරසේකර කියනව. කණ්නාඩිකාරය කිව්වෙ දිසාපතිතුමාට.

ටික දවසක් යනකොට අනිත් දෙපාර්තමේන්තු මේ දීමනාව ගෙවන්න පටන් ගත්ත. ආහාර පාලන, මැතිවරණ, සමුපකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තු තර්ක විතර්ක නැතුව තම නිලධාරින්ට මේ දීමනාව ගෙව්ව. සහකාර ආහාර පාලක පී. දිසානායකට ජන්දෙ ලියල තිබුනත් දීමනාව ඒ දෙපාර්තමේන්තුවෙන් ගෙව්වා. හොඳටම තදවුන මම සියලු තොරතුරු ඇතුලත් අභියාචනයක් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට යැව්වා. වෙනත් දෙපාර්තමේන්තු දීමනාව ගෙවද්දි අපිට අඩු සැලකීමක් කරන බවට චෝදනාත්මක අභියාචනයට පිළිතුරු ලැබුනෙ නෑ. දැන් අපි ඔක්කොම හොදටම කේන්තියෙන් ඉන්නෙ. වැඩියෙන්ම කේන්ති යන්නෙ පී. දිසානායක හැමදාම අහනව “කෝ දිරි දීමනාව ගත්තෙ නැතිද?” කියල. ඒක නිසාම අපිට මේ ගැටලුව වදයක් උනා.

දැන් මේකට මොකද කරන්නෙ කියල හිත හිතා ඉන්න අතර දවසක් පත්තර සොයිසා චමරියට ආවා. පත්තර සොයිසා උපාධි ගුරුවරයෙක්. අපිට සමකාලීන කැළණි සරසවියෙ කෙනෙක්. ගුරුකමට එන්න කලින් දවස පත්තරේ කතෘ මණ්ඩලයේ වැඩ කරල තියෙන මාධ්‍ය කරුවෙක්. වරුස හැන්නැදිගේ ඥාණසේන සොයිසා පානදුරේ වැසියෙක්. අම්පාරෙ උහන දිවයින වාර්තාකරු හැටියට අඛණ්ඩව පත්‍ර කලාව කලා.

“කෝ උඹලගෙ දිරිය ගත්තද? අපිත් ඉන්නෙ ගුරුවරුන්ටත් මේක ඉල්ලන්න ඔය ප්‍රශ්නෙ විසඳෙනකන්”සොයිසා බොන ගමන් අහනවා.

“කෝ දෙන්නෙ නෑනෙ බං මේ යක්කු. බැරිද මේක පත්තරෙන් අදින්න?” මම ඇහුව.

“මම හෙට හවස තුනට විතර ඔපීස් එකට එන්නම්. කථා කරමුකො” කියල සොයිස බීමට ප්‍රමුඛත්වය දුන්නා.

පහුවෙනිද ස්කෝලෙ රාජකාරිය අහවරවෙලා සොයිසා මගේ ඔපීස් එකට ආව.

“දැන් කොහොමද මේ දිරි දීමනා කේස් එක උඹ පත්තරෙන් අදින්නෙ?” මම සොයිසගෙන් ඇහුව.

“මොකක් අදින්නද? උඹලට දිරි දීමනා ගෙවන්නෙ නෑ කියල ලිව්ව හැකි. හැබැයි ඒක පත්තරේ ඇතුල් පිටුවක කොනක යයි..එතකොට ඒක බලන්නෙ ලියාපු මම විතරයි හරියට නයිසයි ආඥාව වගේ. ඒකෙන් වැඩක් නෑ”සොයිස කියනවා.

“ඉතින් මොනවද මේකට කරන්නෙ? මේක අපිට නොදෙන එක හරි අසාධාරණයි” මම කිව්වා

“එහෙනම් මෙහෙම කරමු. මේ නිව්ස් එක හයි ලයිට් වෙන එකක් වෙන්න ඕන. උපදිසාපතිල ටික උපවාසයක් කරන්න ලැහැත්ති කරපන්. මම හොඳට පත්තරෙන් සපෝට් එක දෙන්නම්”සොයිස යෝජනා කරනවා.

“ඒක හරියන්නෙ නෑ. අපේ උන් උපවාස කරන්න ස්ට්‍රයික් කරන්න එන්නෙ නෑ. මේ පඩිය නොගෙවෙව්වත් වැඩ කරනව මිස ඒව කරන්න බෑ.” මම කිව්වා.

“එහෙනම් ඔහොම ඉඳපල්ලා. දෙන දෙයක් අරගෙන කෑ ගහන්නෙ නැතුව මට කරදර නොකර”සොයිසට ටිකක් තද වෙලා.

“එහෙම නෙවෙයි, අපි අමාත්‍යංශෙන් අයින් වෙන්න ඉල්ලුවොත් කොහොමද උපදිසාපතිවරු ඔක්කොම?” මම ඇහුව.

කලුපාට සොයිසගෙ මූණ හරහා සුදුපාට දත් පේන්න හිනාගිය සොයිසා කියනව, “එහෙම නෙවෙයි, සේවයෙන්ම අස්වෙනව කියල ලියුමක් යවපන් අමාත්‍යංශයට. අන්න ඒක නම් ලොකු නිව්ස් එකක් වේවි” කියල.

වහාම අමරසේකරත් එක්ක කතා කරල පොදු ලියුමක් සකස් කරා, දිරිදීමනා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්ට නොගෙවීම අසාධාරණ බැවින් රාජ්‍ය සේවය ගැන කලකිරී සිටින අපට ඉල්ලා අස්වීමට අවසර ඉල්ලමින් ලේකම් තුමාට. ඊළඟ සතියෙදි අත්සන් ගත්තා. කච්චේරිය හරහා අමාත්‍යංශයට යැව්වා. අතිරේක දිසාපති ජයසුන්දර මහත්තයත් ලියුම අත්සන් කරා ඉල්ලා අස් වෙන්න. සොයිසාට ලියුමෙ කොපියක් දුන්නා. පහුවෙනිද දිවයින පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය “අම්පාරේ අතිරේක දිසාපති හා උපදිසාපතිවරු 10ක් ඉල්ලා අස්වෙති” “දිරිදීමනා නොගෙව්වාට විරෝධය” කියල වැටුනා. ඒ මදිවට අයිලන්ඩ් පත්තරෙත් ප්‍රධාන නිව්ස් එක මේක. ඊළඟ දවසෙ දිවයින, අයිලන්ඩ් කතෘ වාක්‍ය මේ ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයට රිදෙන්න ගහලා. දෙවනි දවසෙ දිසාපතිතුමා මට කතාකරල කිව්වා “අන්න තමුසෙලට සෙකට්‍රි එන්න කියනවා හම්බු වෙන්න. ඔක්කොමල හෙටම යනව” කියල.
“මොකද දන්නෙ නෑ නේද සර්?” මම ගොනා වාගෙ ඇහුවා.

“මොකටද? තමුසෙලාට අස්වීමෙ ලියුම් දෙන්න! දැන් මට තමයි කට්ටිය හොයාගන්න වෙන්නෙ වැඩ කරන්න” දිසාපතිතුමා හිනාවෙලා කිව්වා.

ඉල්ලා අස්වෙන්න අවසර ඉල්ලපු උප දිසාපතිවරු නම දෙනයි, අතිරේක දිසාපතියි කොලඹ ආව. කොලඹ එතකොට ඇඳිරි නීතිය. හැබැයි ආණ්ඩුවෙන් දාපු එකක් නෙවෙයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරෙන් දාපු ඇදිරි නීතිය. ඒකෙන් වුන දේ පැත්තක තියල ස්වදේශ කටයුතු ලේකම් සිරිල් ගමගේ මැතිතුමා මුණ ගැහුනා. සිරිල් ගමගේ ලේකම්තුමා බොහොම කාරුණික, දක්ෂ සැබවින්ම මහත්තයෙක්. ප්‍රාදේශීය පාලනේ දිසාපති කෙනෙක් හැටියට මාතලේ ඉඳල ලේකම් පුටුවට ආව එතුමා උප දිසාපතිවරුන්ට බොහොම ලැදියි. ඉතින් දඟ වැඩක් කරපු දරුවො තාත්ත ලඟට යනව වාගෙ අපි ලේකම්තුමා ලඟට ගියා. අපිට වාඩි වෙන්න කියපු ලේකම්තුමා අමාත්‍යංශෙ නිලධාරිත් ගෙන්න ගත්ත.

“දැන් මම මේ අම්පාරෙ ඔය ගොල්ලන්ට එන්න කිව්වෙ දිවයින පත්තරේ ගිය නිව්ස් එකට මුල් උන කතාව අහන්න. මොකද, මේ ගැන කතෘ වාක්‍ය ලියල අපේ අමාත්‍යංශයට සෑහෙන විවේචනයක් එල්ල කරල තිබුන. ඉතින් ඇමතිතුමාත් මේ ගැන කලබලවෙලා ජනාධිපතිතුමා ඇමතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලල තියෙනව. ඒ වාර්තාව හදන්න නම් ප්‍රශ්නෙ තියන අය එක්ක කතාකරන්න ඕන කියල මම හිතුව. දැන් කියන්න මේ ප්‍රශ්නය. ඇයි ඉල්ලා අස්වෙන්න තරම් කලකිරුනෙ?”ලේකම් තුමා දිගටම කිව්වා.

මමත් අමරසේකරත් දඩල්ලගේත් ආටානාටිය දේශනා කරනව වාගෙ මේ ප්‍රශ්නය පැහැදිලි කරා. වෙනත් ආයතන මේ දීමනාව ගෙවද්දි අපිට නොගෙවීම අසාධාරණ බවත්, අපිට නොගෙවන්නෙ ස්ථාන මාරුව අම්පාරට දුන්න වෙලාවෙ ඊට විරුද්ධ නොවීම හේතුවක් කරගෙන බවත්, අපි අම්පාරට ස්ථාන මාරු නොඉල්ලූ බවත්, රජය අපිව ස්ථාන මාරු කිරීමට ගත් තීරණයට පක්ෂව කටයුතු කිරීම නිසා අපිට අවාසියක් කර ඇති බවත් අපි පෙන්වා දුන්නා. සියල්ල සාවධානව අහගෙන හිටපු ලේකම් තුමා “හරි. අසාධාරණයක් වීම ගැන මට කියන්න තිබුනනෙ. මම කවදාවත් උපදිසාපතිවරුන් ගෙ ප්‍රශ්නවලදි මඟ ඇරල නෑනෙ. මේ පත්තර වලට කියන්න ඉස්සෙල්ල මට නොකිව්ව එක තමයි ගැටලුව” කියල කිව්වා. මම ආයිත් නැගිටලා “මම සර්ට අභියාචනයක් එව්ව මේ සේරම කියල. ඒකට අද දක්වා උනේ මොකද කියල පිළිතුරක් ලැබුනෙ නෑ” කියල කිව්වා.

“වෙනත් ආයතන ගෙවද්දි ගෙවන්නෙ නෑ කියල පැහැදිලිව ලිව්වද?”

“ඔව් සර් මගෙ අභියාචනයෙ ඒ ඔක්කොම පෙන්නුව.”

“බලන්න ඒ ඉල්ලීමට අපි මොකද කලේ?” කියල ලේකම් තුමා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පරණමාන මහත්තයට කිව්ව.
පරණමාන මහත්තය මගෙ අභියාචනය හොයා දෙන්න කියල ලොකු පයිල් එකක් මට දුන්න. මම පයිල් එක පෙරලල අභියාචනය හොයාගත්ත. ලේකම්තුමා මට අභියාචනය කියවන්න කිව්වා. මම අභියාචනය කියොල ඉවර උන ගමන් කිව්ව “මම මේ ඉල්ලීම දැක්කෙ නෑ. දැක්කනම් මේ ප්‍රශ්නෙ එදාම විසඳනව” කියල. ඒ එක්කම අමරසේකර නැගිටලා කිව්ව “අපි ලියන ඉල්ලීමක් සර්ට ලැබෙන්නෙ නැත්නම් මේ අමාත්‍යංශෙන් ඉල්ලා අස්වෙනව ඇර වෙන මොනව කරන්නද? අනික අපි මේව පත්තර වලට කිව්වෙ නෑ. පත්තර කාරයො මේව ගැන හොද හෝදිසියෙන් ඉන්නෙ” කියල.

“හරි. මම කණගාටු වෙනව ඔයගොල්ලන්ට උන අසාධාරණය ගැන. ඒ විතරක් නොවෙයි රජයේ අවශ්‍යතාවයට මාරුවීම් දීපු හැමෝටම දීමනාව ගෙවනව. ඉදිරියෙදි මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මට කියන්න. ගිය ගමන්ම ඕන මුදල් ප්‍රමාණය දන්වන්න” කියල සාකච්ඡාව ඉවර කරා.

රටක් දිනාගත්ත වීරයො වාගෙ අම්පාරට ආපු අපි දිසාපතිතුමාට විස්තරේ කිව්වෙ බොහොම උජාරුවෙන්. දිසාපතිතුමා මට පැවරුවා අවශ්‍ය මුදල් ගණනය කරල, හිමි නිලදාරින්ගෙ ලැයිස්තුව අමාත්‍යංශයට යවන රාජකාරිය. මමත් කඩිනමින් ලැයිස්තුව හැදුව. උඩින්ම දිසාපතිතුමාගෙ නම. ලැබිය යුතු හිඟ මුදල 108000/=යි. මටත් 38000/=ක් හිඟ මුදල. ලැයිස්තුව හදාගෙන අත්සනට දිසාපතිතුමා ලඟට අරගෙන ගියා. කෙටුම්පත් ලියුම කියෝල බලල ලැයිස්තුව බලනකොට නළල රැලි ගස්සලා මා දිහා බලපු දිසාපතිතුමා අහනව,

“මේකට කොහොමද මේ මගේ නම වැටුනෙ?”

“සර්ටත් මේ දීමනාව හිමියි. ඒකයි නම දැම්මෙ” කියල මම කිව්වා.

“නෑ අයිසෙ මම ඡන්දෙ ලියලනෙ. මට මේක හිමි නෑ.”

“සර් ඡන්දෙ ලියල තියෙන්නෙ 1987. මේ දීමනාව පටන් ගන්නෙ 1986 ඉඳන් දැන් 1988. සර් 86,88 අවුරුදු දෙකම ඡන්දෙ ලියල නෑ. ඒ නිසා මේක හිමියි” මම පැහැදිලි කලා.

මා දිහා කණ්නාඩියට උඩින් බලපු දිසාපතිතුමා මෙහෙම කිව්වා.

“මගෙ නම අයින් කරල ගෙනාවොත් අත්සන් කරල දෙන්නම්. නැත්නම් මම ඔය ලැයිස්තුව අත්සන් කරන්නෙ නෑ. මගෙ පොඩි උන්ට ආපහු ගෙවන්න වෙනව ඕව ගත්තොත්”

මම ආපහු ඇවිත් දිසාපතිතුමාගෙ නම අයින් කරල ලැයිස්තුව හදල යැව්වා. අපි සල්ලි ගත්තා. සල්ලි වලට වැඩිය වටින පාඩමක් ඩී. ඇම්. නන්දිසේන දිසාපතිතුමාගෙන් ඉගෙන ගත්තා. ඒ තමයි තමන්ට අයිති නැතිදේ කොච්චර වටිනවා උනත් ප්‍රතික්ෂේප කරන්න පුලුවන් ශක්තිය හදාගන්න කියන එක. 1988 දිසාපතිතුමා ප්‍රතික්ෂේප කලේ විශාල මුදලක්. අදත් මොනව හරි දීමනාවක් ගන්න කොට මේක මට හිමිද කියල මගේ හදවතේ ඉන්න නඩු කාරයගෙන් අහන්නෙ නන්දිසේන දිසාපතිතුමා සිහි කරමිනුයි.

20 thoughts on “දිරිදීමනා සටන

  1. ඒසේමැයි. මේ කියන ප්‍රදේශයේ එවකට කටයුතු කල පරිපාලන ප්‍රධානියාගේ මුදල් බෙදීම අධීක්ෂනයට ද එවැනි ප්‍රධානින් දෙපලක්ම පැමිණිය වගට සියුම් මතකයක් ඇත.
    එසේම අදාල ලිපියේ පිටපතක් සිහිවටනයකටත් වටා මතු ආරක්ෂාව පතා තවමත් ලග තබාගෙන සිටිය බවටයි පැවසෙන්නෙ.

    Like

    1. එසේ ආ ඇත්තන්ද එවූ ඇත්තන්ද ඉහලින් ඉහලට ගමන් කලාහුය.ඒම ප්‍රතික්ශේප කලාහුද විවේචනය කලෝද තවම සංසාරේ දුක් විදින්නාහුය.

      Like

  2. සර් මේකත් දිමනා ඉල්ලීමක් සම්බන්ද කතාවක්. හැබැයි වෙනත් දූපතක.
    මේ දූපට වසර කිහිපයකට කලින් ටිකක් දරැණු නියගයක් අවිල්ලා දිස්ත්‍රික්ක කිහිපයක්ම ආපදාවට ලක්වුනා. ඒ උනාට රටේ එක දිස්ත්‍රික්කයකට පමණක් වැඩි දුකක් හිතුන පාලකතුමන්ලා විසින් පාලිතයන්ට විශේෂ මුදල් ප්‍රධානයක් කරන්න තීරණය කලා. අදාල මුදල් “අසරණ” පාලිතයන්ගේ ගිණුම් වලට පහසුවෙන්ම බැර කිරීමේ හැකියාව තිබුනත් දුකට පත් පාලිතයන්ගේ මුහූණු බලාගෙනම දුකට පිහිට විය යුතු බවට තීරණය වීම නිසා එක් දිනක් තුල සියලුම දෙනාටම මුදලින් දීමනාව ගෙවීමේ “අතිශය ප්‍රායෝගික තීරණයකට” පාලිතයින් පැමිණියා.
    ඒ අනුව අදාල දිනයේ උදෑසන 8.30 පමණ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යටතේ තෝරා ගත් ස්තාන වලදි මුදල් බෙදීමට කොට්ඨාශ බාර ප්‍රධාන පරිපාලන නිලධාරීන්ට සිදුඋනා. මේ කියන කොට්ඨාශය තුලත් පෙ.ව.8.30 සිට රාත්‍රි 11.30 පමණ වනතෙක් කෝටි 1.8 ආසන්න මුදලක් බෙදීම සිදු කෙරැනා. (හවස 3.15 පස්සේ මේ දූපතේ රඡයේ මුදල් ගෙවීම් කලේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා සර්). සමහර ස්තාන වල රාත්‍රියේ 7 න් පමණ පසු පොලීසිය ඇතුලු අනෙකුත් නිලධාරින්ට අලි එලවන්නත් සිදු උනා.
    කෙසේ වෙතත් සියලුම නිලධාරීන්ගේ අසීමිත කැපවීම මත නියමිත පරිදි කටයුතු අවසන් කලත් එදින කටයුතු සම්පාදනය වෙනුවෙන් පරිපාලන ප්‍රධානියාට මෙන්ම ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරියට සැලකිය යුතු මුදලක් පෞද්ගලිකව දැරීමට සිදුඋනා.
    පසුව මේ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ද සහිතව දූපතේ චක්‍ර ලේඛනවලටද අදාල වන ලෙස සම්පූර්ණම මුදලම නොවුනත් 37,000 කට ආසන්න මුදලක් අදාල නිසි ආයතනය මගින් ඉල්ලීමක් කර සිටියා.

    එහිදි ලද පිලිතුර උනේ අදාල ඉල්ලීම සලකා බලා ගෙවීමට තරම් ප්‍රතිපාදන නොමැති බවයි.

    Liked by 1 person

      1. මහා මහේන්ද්‍ර පුර ලෙස සිතා සිටි දේශයේ” මාව”යනුවෙන් එන්නට විරුද්ධ අරුත් ඇති දනව්වේ මයුරගිරි දිසාවේ දනව් මැති තරඟ සමයේ ඔබඳු දීමනාවන් බෙදිල්ලක් ගැන සවන් ගතවූවා මතකයි.ඒ.දීමනාව දීම අධීක්ෂනය කිරීමට මහාමහේන්ද්‍ර පුරයේ දිසාකාරින් සිව් දෙනෙකුත් හිටියා කියලත් ආරංචියි

        Like

  3. තමන්ගේ නම නැති දීමනාවකට අත්සන් කරන්නත් මැලි වෙන ආයතන ප්‍රධානීට නන්දිසේන දිසාපතිතුමා ඔබතුමා වගේ අය ආදර්ශයක්

    Like

  4. සුරංගගේ පාරෙන් මේ පැත්තට ආවේ . ආශ්වාදජනක හමුවීමක් . ජයවේවා!!

    Like

  5. සුරංගගෙ ඔත්තුවකට ආවෙ… වටිනා අත්දැකීම්. //කාර්‍යාල සහකාර නැතිනම් O A// මම හිතන හැටියට මෙය AO (පරිපාලන නිලධාරී) ලෙස වෙනස් විය යුතුයි.

    Like

    1. මෙය A O බවට පත් උනේ 1992පසුවයි.ඊට පෙර කච්චේරි වල සිටියේ OA කෙනෙක්.ඊට අතිරේකව කච්චේරියේ ආදායම් අංශය භාරවEOA(අතිරේක කාර්‍යාල සහකාර)තනතුරක්ද තිබුනා.

      Like

  6. දිරිදීමනා කියන එක දැං කාලෙ වහක්. රැපියල් එක්දාස් පන්සීයක් සිය ගානක් අතරෙ බෙදන්න අපි රුපියල් තුන්දාහක විතර කඩදාසියි තින්තයි නාස්ති කරනව. ඒ මදිවට කාලෙත් අපතෙ. දිරිදීමනා බෙදන ක්‍රමයත් එහෙමයි. එව්ව බෙදන්නෙ ලොක්කට වැඩියි පහලට යන්න යන්න සිය ගුණයකිං අඩුයි කියන ක්‍රමයට. සමහර වෙලාවට ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම කරගහල කරපු කෙනාට වඩා ඊට ඉහල ඉඳං ඒ ගැන හාංකවිසියක්වත් නොදන්න කෙනාට වැඩියි.

    ඔය දිරිදීමනා ගැන කියද්දි මට මතක්වුනේ මැතිවරණ සීමා නිර්ණයට සිතියම් හැදීම. ඒකෙ සිතියම් හැදුවෙ අපේ ආයතන ප්‍රධානියා. මම තමයි මේ දිස්ත්‍රික්කෙම කොට්ඨාශවලට මායිම් උපලේඛන ලිව්වෙ. හැමදාම රෑ අට වෙනකං ඔපිිස් එකේ වැඩ කලා. පාන්දර ගෙදරදිත් වැඩ කලා. ඒ සේරම අදාල පෝමැට් වලට දාලා ටයිප් කරලා කච්චේරියට දුන්නෙ. සිතියම් හදාපු අපේ ආයතන ප්‍රධානියට දිරිදීමනා ලොකු ගානක් ලැබුනා. මම ලියපු උපලේඛණ දෙමළට හරවපු කච්චේරියෙ කෙනාටත් පරිවර්තන ගාස්තු වගේම අතිකාල දීමනාවත් ලැබුනා. තව ආයතන බරගානකට ඒ විදිහට ගෙව්වා. මේ සේරම සම්බන්ධිකරණය කරපු කච්චේරියෙ පරිපාලන නිලධාරි රණතුංග මහත්තයට මොනවත් ලැබුනෙ නෑ. මං වැඩ කරපු පැයගානට ඉල්ලපු අතිකාල දීමනාව ප්‍රතික්‍ෂේප වුනා. කලකිරීම පැත්තක ගුලිකරං මං නිහඬ වුනා. අපේ ආයතන ප්‍රධානි තුමත් තමුංගෙ ගාන සාක්කුවෙ ගුලිකරගෙන නිහඬ උනා.

    පස්සෙ එවකට දිසාපතිතුමා – රෝහණ කීර්ති මහත්තයා එතුමගෙ දීමනාවෙන් විසිදාහක් කච්චේරියෙ පරිපාලන නිලධාරී රණතුංග මහත්තයට දීලා තිබුණා. පරිපාලන නිලධාරී තුමා මට කච්චේරියට එන්න කියලා එයිං පන්දාහක් මට දුන්නා. එතුමා ඉතුරු ගාන දිරිදීමනා නොලැබූ තමුන්ගෙ කාර්ය මණ්ඩලයට බෙදුවා.

    පහුගියදාක මට ලැබුණු රුපියල් තුන්දහක දිරිදීමනාවක් එහෙම්මම ගංවතුරෙං විපතට පත්වූ අයට ආධාර දෙන්න වියදං කරා.

    Liked by 1 person

      1. සුරංචිය සිතියම් අඳින්නෙ කරන්නෙ බළල් හමුදාවකට කන්න බොන්න දෙන්න නෙව, අනිත් ඔක්කොම පිං තකා 😀

        අද කාලෙ නම් තමන්ට කලින් තමන් යටතෙ ඉන්න සේවකයො ගැන හිතන ප්‍රධානියෝ හරි අඩුයි. ගොඩ වෙලාවට මොකක් කරත් ඒ අයගෙ නම යනව යට ඉන්න අයගෙ හම යනව. අනික මම ගුරුවරයෙක් සලකන සහෝදරයෙක් නිතර කියනව පෙරහැරේ යන අලි වැඩියි කොටන් අදින්න අලි නෑ කියල, ඒ කතාව සම්පුර්ණ ඇත්ත.

        Liked by 1 person

Leave a comment