“උණට” කරපු වැඩ

අම්පාර කියන්නෙ මගෙ දෙවනි ගම කියල කිව්වොත් නිවැරදියි. අදටත් මගේ උපන් ගම වගේම සබඳතා තියෙන තැනක් තමයි අම්පාර. මේ තරම් බැදීමක් අම්පාරත් එක්ක ඇති උනේ දීර්ඝ කාලයක් එහෙ රාජකාරි කිරීම නිසාම විතරක් නෙවෙයි, ඒ රාජකාරි ජීවිතයෙ බොහෝ දේවල් ඉගන ගන්න අවස්තාව අම්පාරෙදි ලැබීමත් ඊට හේතු උනා. මම අම්පාරට යනකොට රාජකාරි අත්දැකීම් හැටියට තිබුනෙ පුහුණු වෙන කාලෙ මාතලේ පල්ලෙපොල උපදිසාපති කන්තෝරුවෙදි උපදිසාපති චන්ද්‍රරත්න අයියගෙන් ඉගන ගත්තු දේයි, සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරේ මාස දෙකක අත්දැකීමයි විතරයි. කොටින්ම කිව්වොත් විශ්ව විද්‍යාලයෙන් පිට උන කොල්ලෙක් වගේ අම්පාරට ගිය මම අවුරුදු දොලහකින් කොලඹට ආවෙ පැහුන මිනිහෙක් විදියට. අනිත් පැත්තෙන් තනිකඩයෙක් විදියට අම්පාරට ගිය මම ආපහු එනකොට බැඳලා ස්කෝලෙ යන ළමයි ඉන්න තාත්ත කෙනෙක්. මේ කාලෙ පුරාම විසල් අම්පාර කච්චේරි ගොඩනැගිල්ලෙත්, මහඔය ප්‍රා.ලේ කාර්‍යාලෙත්, ආපහු කච්චේරි ගොඩනැගිල්ලෙත් සෙවනෙ හිටපු මම ඒ තැන්වලට ලොකු බැඳීමක් හදා ගත්තා. එ්හින්දයි අදත් අම්පාරට ලැදිකමක් තියෙන්නෙ. මේ විදියට අම්පාරෙදි ගත්තු අත්දැකීමක් අද සටහන් කරනවා මෙන්න මෙහෙම.

හරියටම 1993 පෙබරවාරි 18වාගෙ දිනක මම මහඔය පළමුවන ප්‍රාදේශීය ලේකම් හැටියට වැඩ භාර ගත්තා. එතෙක් කච්චේරියෙ උපදිසාපති වරයා ලෙසත්, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ ධුරවලත්, සමුපකාර සංවර්ධන උප කොමසාරිස් තනතුරෙත්, වැඩ බලන පදනමින් දීර්ඝ කාලයක් කටයුතු කරල තිබුන මට, වෙනත් පරිපාලන සේවා නිලධාරි්න්ට වැඩ බැලීමට අහු නොවෙන කච්චේරියේ කාර්‍යාල සහකාර (OA) තනතුරේ හා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තනතුරෙත් වැඩ ආවරණය කරල සෑහෙන අවබෝධයක් ඇතුව තමයි මහඔය ප්‍රා.ලේ කමට ගියේ. මහඔය කාර්‍යාලය රටේ මහත්වරුන්ගෙ කාර්‍යාල හැටියට තිබිල ඉන්පස්සෙ ප්‍රාදේශීය ආදායම් පාලක කාර්‍යාල බවට 1943දි පත් වෙලා, 1974දි උපදිසාපති කාර්‍යාලය වෙලා, 1990දි පලාත් සභාව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ බවට පත්වෙලා, 1992 අංක 58 දරණ පනත අනුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාල බවට උසස් කෙරුනා. මේ කාර්‍යාලෙ පලාත් සභාවෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ කාලෙ ප්‍රාදේශීය ලේකම් උනේ යූ. පී. පියදාස මහත්තය. මම යූ. පී. කියල කතාකරන පියදාස මහත්තය සාමාන්‍ය ලිපිකාර සේවෙ නිලධාරියෙක් හැටියට රාජ්‍ය සේවෙට ඇවිත් විශිෂ්ඨ රජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරල පරිපාලන සේවාවට උසස් උන කෙනෙක්. පරිපාලන සේවාවෙ එවක අවුරුදු 2ක විතර සේවා කාලයක් සම්පූර්ණ කරල හිටපු යූ. පී, හිටපු කාර්‍යාලය අලුත් ක්‍රමයට පූර්ණ බලැති ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයක් කරන කොට එතැන ප්‍රාදේශීය ලේකම් තනතුරට පළමු පන්තියේ පරිපාලන සේවා නිලධාරියෙක් ඕනෙ උනා. ඒ වෙනකොට දිසාපති ඒ. අයි වික්‍රම මහත්තය ඇරුනම පළමු පංතියෙ නිලධාරියෙක් හිටියෙ අතිරේක දිසාපති සිරිවර්ධන මහත්තය විතරයි. එතුමා උහන ප්‍රා.ලේ උනා. මූලස්ථාන උපදිසාපති අමරසේකර අම්පාර ප්‍රා.ලේ උනා. මහඔය ඊළඟ ජ්‍යෙෂ්ඨයා වූ මට යන්න උනා. ඉතින් මම මහඔයට ගියා. යූ.පී මගේ සහකාර ලේකම් උනා.

ප්‍රාදේශීය මට්ටමට ලොකු බලය ලැබිලා මහ ජනතාවට වැඩ කරන්න පුලුවන් තනතුරක් උන ප්‍රා.ලේ කම කරන්න පටන්ගන්න කොටත් මහඔය ත්‍රස්තවාදී ක්‍රියා බහුල ප්‍රදේශයක්. මහඔය අම්පාර ප්‍රධාන සැපයුම් මර්ගයේ ආරක්ෂාව ගුවන් හමුදාව භාරයට පත්කරලා තිබුනා. බොරපොල ගම පහු උනාම නුවරගලතැන්නට යනකම් පාලු පාරෙ තමයි සුප්‍රසිද්ද අරන්තලාව තියෙන්නෙ. ගම්වාසීන්, හාමුදුරුවරු, හමුදා පොලිස් සාමාජිකයින්, සිවිල් පුරවැසියන් ඝාතනයට නම් දැරූ කොටි අරන්තලාවෙදි විතරක් තුන් හාරසීයක් මරල ඇති ඒ වෙනකොට. හැමදාම වාගෙ උදේ පාර සම්පූර්ණ සෝදිසියකින් පස්සෙ තමයි මහජනයාට විවෘත කරන්නෙ. ඒ සෝදිසියෙදි දවස් දෙකකටවත් සැරයක් කොටි ප්‍රාහාරයක් ගුවන් හමුදාවට එල්ල වෙනවා. මම වැඩ භාර අරගෙන අම්පාරෙ ඉදන් තමයි මහඔය ආවෙ. මහඔය නිල නිවාසෙ යූ.පී පවුලෙ අයත් එක්ක හිටිය. මම යූ.පීට දිගටම නිලනිවාසෙ ඉන්න කියල අම්පාරෙ ඉඳන් ආව. එක දවසක් මම දැක්ක ගුවන් භටයො 32 කණුව ලඟ පාර අයිනෙ ගෙයක් හදන්න පටන් අරගෙන වැඩ කරනව. එදා හවසම අම්පාර. ගුවන් කඳවුරේ අණදෙන නිලදාරි අපේ මිත්‍ර පේරුසිංහ ටවුමෙදි හම්බූවෙලා කතාකරද්දි මම ඇහුව “මොනවද උඹලගෙ කොල්ලො අරන්තලාවෙ හදන්න යන්නෙ? මම දැක්ක ගෙයක් අටවන්න යනව වගේ” කියල. 

පේරුසිංහ කියනව “එතන සී ඕ ගුවන් හමුදා දිනේට ගෙවල් 5ක් හදලා බොරපොල අයට දෙන්න යන්නෙ” කියල. 

“උදව්වක් ඕනෙනම් කියන්න කියපන්. මම හිතුවෙ ඒ හරියත් උඹගෙ ඒරියා එක කියලයි” මම කිව්ව. 

“නෑ ඒක වෙන සී ඕ කෙනෙක්. මට වඩා සීනියර් ඔපිසර් කෙනෙක් ස්කොඩ්න්ලීඩර් ඔබේසේකර යටතේ තියෙන්නෙ” පේරු කිව්ව.

ඊට පහුවෙනිද මම හාඩි ආයතනයේ නිලධාරි පුහුණුවක දේශනයක ඉන්න අතරෙ ගුවන් හමුදා නිලදාරියෙක් තවත් ගුවන් හමුදා සාමාජිකයො කීපදෙනෙක් එක්ක මා හමු උනා. ඒ පියාසර ලුතිනන් පාලිත අබේසිරිවර්ධන. අරන්තලාව 32 කණුව ගුවන් කදවුරු අණදෙන නිලධාරී. බොහොම ප්‍රියමනාප තරුණයෙක් උන පියාසර ලුතිනන් පාලිත අබේසිරිවර්ධන මම පේරුසිංහට කිව්ව පනිවිඩේ ලැබුන ගමන් ඇවිත් තිබුනෙ ආරාධනාවකට. ඒ පහුවෙනිද මහඔය යන ගමන් පුලුකුනාවෙ ගුවන් හමුදා ප්‍රධාන කඳවුරේ අණදෙන නිලධාරි බලඝණ නායක පාලිත ඔබේසේකරත් සමග උදේ තේ පානය කිරීමේ ආරාධනය. මහඔය අම්පාර පාරෙ උදේ හවස යන මටත් ගුවන් හමුදාව එක්ක සබඳතා තර කර ගන්න ආපු අවස්ථාව මම කැමැත්තෙන් බාර ගත්තා. පහුවදා උදේ පුලුකුනාවට ගියා. ගුවන් කඳවුරේදි අණදෙන නිලධාරි මුණ ගැහුනා. පුලුකුනාව සිට බොරපොල දක්වා කදවුරුවල ඕ.සී ලත් ඇවිත් හිටියා. ඒ මේ අය, 32 කණුව පියාසරගම පියාසර ලුතිනන් පාලිත අබේසිරිවර්ධන, නුවරගලතැන්න පියාසර ලුතිනන් ඩිල්ෂාන් වාස්ගේ, කොහොඹගස්තලාව පියාසර ලුතිනන් සම්සුදීන් යන අය. මේ අයත් එක්ක තොරතුරු කතාකරමින් තේ බීල ඉවර උනාට පස්සෙ පාලිත ඔබේසේකර ලොක්ක සිතියම් පෙන්නමින් මාර්ගයේ ආරක්ෂාව ගැන ලොකු ඉදිරිපත් කිරීමක් කලා. මිනිහ මට මිස්ටර් කන්නන්ගර කියල තමයි කතා කලේ. ටික වෙලාවකින් මම කිව්ව “මට සුනිල් කියල කතාකරන්න. මම ඔයාට පාලිත කියන්නම්. ඒක අපි දෙන්නටම පහසුවෙයි” කියල. මිනිහ හිනාවෙලා ඔලුව වැනුව.මිනිහ කියනව “අපේ කොල්ලො පාලු පාරක් රකින්න දවල් රෑ මාන්සි වෙනව. මේ පාලු පාරෙ කැලෑ ගාල්වල ඉන්නකොට මුන්ට මේක එපාවෙනව. අපි මේ පාරදිගට මිනිස්සු ටිකක් පදිංචි කරන්න බලනව මේකට උදව් කරන්න” කියල ඉල්ලුව. මම ගත් කටටම කිව්ව “ඔයාල උදව් කරනවනම් වැඩේට මම සල්ලි හොයල දෙන්නම්” කියල. පුනරුත්ථාපන අමාත්‍යංශයෙන් දෙන නැවත පදිංචි කිරීමේ ආධාර පැකේජය මේ අයට සූදානම් කරන්න මම එකඟ උනා. මේ යටතේ එක් නිවසක් සඳහා 25000/=ක ආධාරයක් ලැබෙනවා. ඊට අතිරේකව රුපියල් 6000/=මුදලක් නැවත පදිංචි වීමේ හා ආර්ථික ආධාර හැටියට ලැබෙනවා. මම කිව්ව පදිංචි වෙන පවුල් අවට ප්‍රදේශ වලින් හොයා ගන්න. ඒකට ගුවන් හමුදාව කැමති උනා.

දැන් මහඔය ප්‍රා.ලේ – ගුවන් හමුදා ඒකාබද්ධ අරන්තලාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ උනා. ගුවන් හමුදාව උහන, මංගලගම වගේ අවට ගම්වල ඇවිදිමින් මේ ප්‍රදේශයේ පදිංචි වීමට සුදුසු කලින් පදිංචි වී සිට අතහැර ගිය පවුල්වල අනුපවුල් සොයාගත්තා. ඔවුන් දිරි ගැන්වීමට මගේ සහන පැකේජ් එක ගැන කිව්වා. විශාල පිරිසක් අරන්තලාවෙ පදිංචි වීමට කැමති උනා. ප්‍රධාන මාර්ගය දෙපස පැරණි ගම්මානයට අයිති ඉඩම් මේ අයට බෙදා දුන්නා. මෙසේ පැමිණෙන අයගේ පළමු කාර්‍ය තාවකලික නිවස සෑදීම. ඊට අවශ්‍ය ලී දඬු අසල කැලයෙන් කැප්පවීම කලා. වහලට ඉලුක් ප්‍රදේශයේම තිබුනා. තාවකාලික නිවාස හදන අයට කෑම බීම ගුවන් හමුදාවෙන් සංවිධානය කලා. ඒ සඳහා පාලිත ඔබේසේකර අම්පාරෙත් අවට පලාත් වලත් සති පොලවල් වලින් ද්‍රව්‍ය ආධාර එකතුකිරීමක් කරා. 

මේ විදියට බොරපොල ඉදන් නුවරගල තැන්නට පවුල් සීයක් පාර දෙපැත්තට පදිංචි කරවීම මාස තුනකින් නිමකලා. දිවා රාත්‍රි ප්‍රදේශය ආරක්ෂාව ගුවන් භටයින් ලබාදුන්නා. මේ හා සමානව උහන ප්‍රා.ලේ කොටසටත් වැඩසටහන දීර්ඝ කලා. මංගලගම සිට පුලුකුනාව දක්වා උහන කොටසෙ පවුල් සීයයක් පදිංචිකරා. ඒකට උහන ප්‍රා.ලේ සිරිවර්ධන මහත්තය උදව්කලා. මේ සමස්ත වැඩසටහනේ සැලසුම්, ප්‍රගති සමාලෝචනය හා ගැටළු නිරාකරණය හැමදාම හවසට ගුවන් හමුදා කඳවුරකදි සිදුකරා. එක දිනකදී ආරංචි උනා තාවකාලික ගේ හදන්න උනන්දු නොවන දෙතුන් දෙනෙක් ගැන. ඒ අය ලබාදෙන ආධාර මුදල අරගෙන ඉවත්වෙන්න බලාගෙන ආපු අය බවත් දැන ගත්තා. යම් හෙයකින් ආධාර මුදල් අරගෙන පිරිස් අයින් වුනොත් සමස්ථ වැඩ පිලිවෙලම අසාර්ථක වන බව තේරුණ මම තීරණය කලා මුලින් ලබාදෙන 6000/=ක මුදල මුදලින් නොගෙවා ප්‍රතිලාභීන් නමින් ස්ථාවර තැන්පතුවකට බැර කරන්න. අම්පාර ග්‍රාමීය සංවර්ධන බැංකුවෙ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් හැටියට මම හිටි නිසා වැඩේ පහසු වුනා. බැංකුවෙ නිලධාරින් අරන්තලාවට එක්ක ඇවිත් ප්‍රතිලාභීන්ගෙ තොරතුරු අරගෙන සීයක් දෙනාටම රුපියල් 6000/- ස්ථාවර තැන්පතු මහඔය ග්‍රාමීය සංවර්ධන බැංකුවෙ පටන් ගත්තා. හතරපස් දෙනෙක් මේ ගැන පොඩි කසු කුසුවක් පටන් අරගෙන වගා කටයුතුවලට සල්ලි නැති බවත් මේ මුදල් ඊට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා. වහාම අරන්තලා වාසින්ගෙ මහ සභාවක් කැඳවල වගා කටයුතු සදහා මුදල් අවශ්‍යතාවය සාකච්ඡා කලා. බිම් සැකසීම සඳහා යන මුදල වෙනුවට පදිංචිකරුවන්ගේ ග්‍රාම සංවර්ධන සමිතියට ට්‍රැක්ටර් ණයක් ග්‍රාමිය සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ට්‍රැක්ටරයක් මිලදීගෙන සමිතිය මගින් බිම් සැකසීමට යෝජනා සම්මත උනා. ප්‍රතිලාභීන්ගේ ස්ථාවර තැන්පතු ඇප ලෙස තබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කලා. මේ අනුව වගා වැඩසටහන දියත් උනා. පදිංචි කරුවන් ස්ථිර ගෙවල් හැදීම පටන් ගත්තා. නිවාස ආධාරය ඉදිකිරීම් ප්‍රගතිය අනුව නිදහස් කෙරුනා. මේ අතර කීප දෙනෙක් මේ සල්ලි අතට නොලැබීම ගැන මැසිවිලි කියන බව දැන ගන්න ලැබුනෙ ගම්වාසී පිරිසගෙන්මයි. අපි ඒක සත පහකට ගණන් ගත්තෙ නෑ. මහජනතාව අති මහත් බහුතරය අපේ වැඩපිළිවෙල අනුමත කලා. මේ විදියට පියාසර ගමත්, නුවරගල තැන්නෙත් ගෙවල් ස්ථිරව ඉදිවුනා මුලින්ම. මේ අතර ත්‍රස්තවාදීක්‍රියා මේ මාර්ගයේ නැති උනා. නිල වශයෙන් පාර හවස 5ට වැහුවත් මම රාත්‍රි හතටත් වාහනේ එලවගෙන කි.මී. 57 අම්පාරට එන්න මහඔයින් පිටත් වෙනවා. ගුවන් හමුදාවේ මාර්ගය ආරක්ෂක බල ඝනයේ අණ දෙන්නා වන පාලිතගෙ සහතිකය ත්‍රස්තයින්ට හීනෙන්වත් පාර කිට්ටුවට එන්න බෑ කියන එකයි. මුලු ගුවන් අනුඛණ්ඩ 4ම 75% රාත්‍රිය ගතකරන්නෙ පාරෙන් ඇතුලෙ කැලේ. මිනිස්සු ගෙවල්වල බය නැතුව සිටියා. අපේ වැඩසටහන සාර්ථකයි.

1995 මැයි මාසෙ මම අම්පාර ප්‍රා.ලේ හැටියට පත් උනා. ගුවන් හමුදාව වව්නියාවට මාරු උනා. යුද හමුදා බලඇණියක් මාර්ග ආරක්ෂාවට පත් උනා. මාර්ග ආරක්ෂක හමුදා සහ පදිංචිකරුවන් අතර සබඳතාවය නැති උනා. ත්‍රස්තවාදීන් යලි පහරදීම් ඇරඹුවා. පදිංචිකරුවන් ප්‍රදේශයෙන් ඉවත් උනා. ඒත් පියාසරගම හා නුවරගලතැන්න ගෙවල් 30-35ක් පදිංචිකරුවො ඉතිරි උනා. යලිත් අරන්තලාව කොටස ජනශුන්‍ය උනා. 1997දී පමණ මට ආරංචියක් ලැබෙනවා කොලඹ පුනරුත්තාපන අමාත්‍යංශයෙන් අල්ලස් කොමිසම අරන්තලාවෙ පදිංචි කිරීම් ගැන විමර්ශනය කරන බවට. මට ආරංචිය දුන්නු නිලධාරිය කිව්වෙ මගේ ක්‍රියාකලාපෙ ගැනත් විමසන බවයි. මම කිව්ව “ඔහෙ විමසුවාවෙකො. මගෙනුත් අහයිනෙ” කියල. එතැන ඉඳන් දිගටම එන්නෙ අල්ලස් නිලධාරින් මහඔය කාර්‍යාලෙන් ලිපිගොනු ගෙන්න ගත්තා, ඉතිරි පදිංචිකරුවන්ගෙන් කට උත්තර ගත්තා වගේ තොරතුරුයි. ඒ අතර පියාසරගම ජයවර්ධන සභාපතිතුමා මාව හොයාගෙන ආවා. එයා අපේ වැඩසටහනේ ගම්වාසී නායකයා. ජයවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරලා. මිනිහට කිව්වලු මිනිස්සුන්ට ගෙවන්න තියෙන සල්ලි ප්‍රාදේශීය ලේකමුයි, ගුවන් හමුදාවෙ පාලිත ඔබේසේකරයි අරගෙන, මේකට උදව් කරේ ජයවර්ධනයි කියල. තොරතුරු තියෙනව ඇත්ත කිව්වොත් රජයේ සාක්කිකරු කරල එයාව බේරන්නම් කියලා. මිනිහ කිව්වලු, “නෑ සර්ල කිසිවරදක් කරන අය නෙවෙයි. ඒ දෙන්නම අපිට පිහිට උනේ දෙවිවරු වගෙයි. ඒක වරදක් නම් ඒ වෙනුවට තමන් හිරේ යන්නම්” කියල. මට කියනවා “කවුරු හරි අපේ මිනිහෙක් තමයි පෙත්සම් ගහල තියෙන්නෙ. අර මුලදි සල්ලි ඉල්ලපු කීපදෙනා දැන් කියනවා ලඟදිම ප්‍රාදේශිය ලේකම්ටයි, ගුවන් හමුදා ලොක්කටයි බඩු හම්බු වෙයි කියල”. මම කිව්ව “ජයවර්ධන කලබල වෙන්න එපා. මගෙනුත් අහයිනෙ, එදාට බලමු” කියල.

දවසක් බදාද දවසක මට කෝල් එකක් එනව අල්ලස් කොමිසමේ නිලධාරියෙක්ගෙන් ඊලඟ සිකුරාදා කාර්‍යාලෙ රැදී ඉන්න පුලුවන්ද අහල ප්‍රකාශයක් ගන්න එන්න. මම කිව්ව එන්න කියල. නියමිත දවසෙ මහඔය බැංකුවෙන් මම ගත්ත ස්ථාවර තැන්පතුවල තත්වය. ඒ වනවිට රුපියල් 9000/=කට ආසන්න අගයක් දක්වා වැඩිවෙලා. ට්‍රැක්ටර් ණය නොගෙවා ඉතිරිය එක් අයෙකුගෙන් 3000/=විතර අයවෙන්න තියෙනවා. ඊලඟ අවුරුද්දෙ මැද වෙනකොට තැන්පතුව 10000/= විතර වෙන බවත් දැන ගත්තා. අල්ලස් නිලධාරිය ආවා. උප පොලිස් පරීක්ෂකවරයෙක්. මට හොඳට කථාකලා. ප්‍රකාශය ගන්න නම ගම ආගම වයස ආදී මූලික විස්තර ලිව්වා. අරන්තලා ව්‍යාපෘතිය දක්වා ලිව්වා. ඊලඟට මෙහෙම ප්‍රශ්න කලා.

“ඔබතුමාට නැවත පදිංචි කරන අයට ගෙවන්න ප්‍රතිපාදන පුනරුත්ථාපන අමාත්‍යංශයෙන් ලැබුනද?”

“ඔව් ලැබුනා.”

“ඒ මුදල කොච්චරද?”

“එක් පවුලකට 6000/=බැගින් පවුල් සීයට ලක්ෂ හයක් ලැබුනා”

“එම මුදල් ගෙවූ බවට අරන්තලාවේදී පුද්ගලයින්ගෙන් අත්සන් ගත්තාද?”

“ඔව්. සියලු දෙනාම අරන්තලාව පියාසරගම ප්‍රජා ශාලාවට කැදවා අත්සන් ගත්තා.”

“එම මුදල් ඔවුන්ට ගෙව්වාද?”

“ඉතා පැහැදිලිව මතකයි, ගෙව්වෙ නෑ.”

අපේ නිලධාරිය මට කියනව, “හරියටම කල්පනා කරල කියන්න ඔය ඇත්තද?” මම කිව්ව “හරියටම මතකයි ගෙව්වෙ නෑ”.

“එහෙනම් මම ඒක ලියනව” කියල ලිව්ව.

ඊලඟ ප්‍රශ්නය “ඇයි මිනිස්සුන්ගෙන් අත්සන් අරගෙන සල්ලි ගෙව්වෙ නැත්තෙ?”

“ඒ සියලුදෙනාම ලියුම් දුන්නා ඔවුන්ගේ මුදල මහඔය ග්‍රාමිය සංවර්ධන බැංකුවෙ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට හැකිවන පරිදි බැංකුවට යවන්න කියල. ඒකයි එදා නොගෙව්වෙ”

“ඉතින් බැංකුවට ගෙව්වද?”

“ඊට පහුවෙනිදම අදාල මුදල ප්‍රතිලාභීන් නමින් ස්ථිර තැන්පත් ආරම්භ කිරීමට බැංකුවට යැව්ව. මම ඊයෙ බැංකුවෙන් ඇහුව. දැන් ඒ හයදාහ දහ දාහට ඔන්න මෙන්න කිට්ටු වෙලා. ඔබට දැන ගන්න තැන්පතු අංක කීපයක් මෙන්න (අංක කීපයක් කිව්ව)”

නිලධාරිය ලිවීම නතර කලා. “සර් මට කෝල් එකක් ගන්න පුලුවන්ද කාර්‍යාලෙන්?” කියල ඇහුව.

මම ආරච්චිට කිව්ව කෝල් එකක් අරගෙන දෙන්න කියල. නිලධාරිය විනාඩි දහයකින් විතර ආපහු ඇවිත් අායිත් ප්‍රශ්න කලා.

“ඔබතුමා පිළිගන්නවද මේ මුදල් ගෙවීමට අදාල චක්‍රලේඛනයක් නිකුත් කරල තියෙන බව?”

“ඔව් පුනරුත්ථාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කරල තියෙනවා.”

“මේ විදියට සල්ලි බැංකුවෙ දාන්න කියල චක්‍රලේඛනයෙ නෑ කියල පිළිගන්නවද?”

“පිළිගන්නවා.”

“එහෙනම් චක්‍රලේඛනය උල්ලංඝනය කරමින් මේ ගෙවීම කලේ ඇයි?”

“චක්‍රලේඛනයේ කියල තියෙන විදියට කරන්න නම් මහඔය ප්‍රාදේශීය ලේකම් හැටියට පරිපාලන සේවයේ මම වගේ කෙනෙක් ඕනෙ නැහැ. අකුරු කියවන්න පුලුවන් කා.සේ.සේ සෙනවිරත්නව දැම්මම ඇති. මම හිතන්නෙ ප්‍රා.ලේ ගැලපෙන නිවැරදි දේ කල යුතුයි. චක්‍රලේඛනයට කරානම් සල්ලි අරගෙන භාගයක් මිනිස්සු ආපහු යන්න ඉඩ තිබුන. අපි අරන්තලාවෙ පදිංචි කරන්න පටන් ගත්තෙ පාර ආරක්ෂා කරන්නත් එක්කයි. ඒ අනුව මම විශ්වාස කරනව මම කලේ නිවැරදි දේ බව”

ප්‍රකාශය සටහන් කිරීම නිම වී අල්ලස් නිලධාරියා ආපසු ගියා. මහඔය බැංකු කළමනාකරු හමුවී තොරතුරු විමසා ප්‍රකාශයක්ද ගත් බවක් ආරංචි උනා. පදිංචිය හැරගිය අය වරින් වර ඇවිත් බැංකුවෙ ඉතිරි මුදල් බොහෝ කාලයක් යනතුරු ලබාගත් බවත් ආරංචි උනා. අල්ලස් කොමිසමෙන් මටත් මගෙන් අල්ලස් කොමිසමටත් කරදරයක් උනේ නෑ.


මේ කථාවේ චරිතවලින් බලඝන නායක පාලිත ඔබේසේකර පසුව ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිහින් පුද්ගලික අංශෙ රැකියාවක් කරනව. ඉඳල හිටල කෝල් එකක් දුන්නට හිතවත්කම එදා වගේමයි. ඩිල්ෂාන් වාස්ගේ තවම ගුවන් හමුදාවෙ ඉහළ නිලදාරියෙක්. පාලිත අබේසිරිවර්ධන ගුවන් හමුදාවෙන් විශ්‍රාම අරගෙන පුද්ගලික අංශෙලු. හමූ උනේ නෑ. පේරුසිංහ මිත්‍රයා අප අතහැර ගිහින්. මම කොලඹ ඇවිත් ආයෙ අම්පාරෙ දෙවනි වටයත් සම්පූර්ණ කරලා දැන් රත්නපුර හරහා කොලඹට ඇවිත්.

Advertisements

22 thoughts on ““උණට” කරපු වැඩ

  1. රාජ්‍ය සේවයේ ඉන්න අපි හැමෝම සර් ගෙ බ්ලොග් එක ෆලෝ කරන්න ඕන කියලා මම හිතනවා.. මේවා අපිට ඉතාම වටිනා පාඩම්…

    Liked by 1 person

  2. සුනිල් මහත්තයා. මේ ලංකාවට අඩුවක් නැහැ ඔය වගේ නිලධාරීන්. ඒත් ඒ අයගේ කොන්ද කඩන සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.. ජය වේවා..

    Like

    1. අපේ සිස්ටම් එකේම වැඩ කරන්න ප්‍රතිපාදන තියෙනවා වෙලා තියෙන්නේ හැමෝම අල්ලන්නේ වැරදි අඬුවෙන්..
      උඩින් සජෙස් කරා වගේ රාජ්‍ය සේවයේ සමහර නිලධාරින්ට අතිකාල ගෙවල හරි මේවා කියවන්න අවස්තාවක් දෙන්නෝනි..

      Like

      1. වෙලා තියෙන්නෙ මේරෙගුලාසි චක්‍රලේඛන වැඩේ නොකරන්න තියන හේතු හැටියට බැලීමේ අපේ නිලදාරි ලඟ තියන පුරුද්ද.ඒක නැති කරන්න වෙන කාටවත් බෑ.තමතම නැණ පමනින්කරගත යුතුයි.

        Like

    2. ඔබ කියනදේ හරි.නිලදාරින් කරන වැඩට අකමැති බොහෝ බලවේග කොදු බිදීමේ වැඩ කරනවා.හැබැයි එය වැලැක්වීමට නිලදාරි සමගිය වැදගත්.

      Like

  3. චක්ර. ලේඛන කතාව නම් නියමයි! හැබැටම මෙතරම් විභාග සමත් වෙවි තරගකාරිව පරිපාලන පත්විම් මොකටද,තියෙන්නේ හිතන්නේ නැතිව,චක්ර ලේඛන කියන්නාක් ‍සේ පමණක් කළ යුතු නම්….

    Liked by 1 person

  4. දේශකයා බුකියෙ ශෙයා කරපු ලින්ක් එක දැකල ආවෙ. මේවා කියවනකොට ට්‍රේනිං එකකට ගියා වගේ.දිගටම කියවනවා.
    ජයවේවා..!!

    Liked by 1 person

    1. පත්තර සොයිසා එක්ක නේද?ඒඅවස්තාවේ මම කරපු කතාවෙදි මාධ්‍යට ආන්ඩු වෙනස් කරන්න පුලුවන් කිව්ව කියල මට විරුද්දව පෙත්සමක් ගහල තිබුනා අමාත්‍යංශෙට.

      Like

      1. ඔව් ඔව් සොයිසා මහත්තයා ඒ කාලේ පතාක යෝධයෙක් පත්තර කලාවේ. අපි ලිලිපුට්ටෝ වගේ .එදා අපට රැස්වෙන්න තැනක් නැතිව සර් තමා කච්චේරි සර්කිට් එක දුන්නේ. මගේ මතකයේ හැටියට ඒ1991 හෝ 1992 වගේ අම්පාරේ සියලුම මාධ්‍යව්දීන් ආවා වසන්ත චන්දපාල හැර. සොයිසා මහ්තයලා රණවීර මහත්තයලා මුල් තැන් ගන්න එකට එයා කැමති වුනේ නෑ.එයාට ඔන වුනේ එයාට මුල් තැන. එදා හිටපු සිසිර ගුණරත්න ගුණරත්න ග්‍රාම සේවක පානමෙන් ආව එයාගේ පුතා කැකිරිහේනේ ඉද්දි මිය ගියා .ඉතින් සිසිර දැන් මාළභේ ආදර්ශ කණිෂ්ටේ පි්‍රින්සිපල් කියලා මතකයි කාලෙකින් කතා කලේ නෑ සොයිසා මහත්තයා මිය ගියා බක්කි ඇල්ලේ අමරසේන වීරසිංහ මිය ගියා.තව කෙනෙක් මහන වුනා. රණවිර මහත්තයා ලියන්නේ නෑ. කච්චේරි සර්කිට් එක දුන්නට පෙත්සම් නොගහපු එකයි පුදුමේ. සර්ගේ කතාවට පෙත්සමක් ගහපු කතාව මටත් යාන්තම් මතකයි. එත් එතැනින් එහාට මොකද වුනේ— දන්නේ නෑ පරීක්ෂනයක් කලාද එකත් පොතකට ගන්න. පරන මතකය අවදි කරන්නේ ඩයරි වලින්ද නැත්නම් මතකයෙන් ද කොහොම වුනත් මතකය විශිෂ්ඨයි.

        Like

  5. තවත් රාජ්‍ය සේවකයෙකුගේ උත්තමාචාරය ඔබතුමාට

    Like

  6. ඉඳලා හිටලා හරි බ්ලොග් වලට එබෙද්දි මේ වගේ සටහන් කියවන්න ලැබුනම දැනෙන්නේ තාමත් අපි මිනිසුන් අතර ජීවත් වෙනවා කියලා. ඔය සමාජ ජාල අස්සේ සැරිසරද්දි ලංකාවේ මිනිසුන් තවදුරටත් ඉන්නවා කියලා විස්වාස කරන්න අමාරු වෙලයි තියෙන්නේ. එහෙන් ජාති ආගම් බේද. එහෙමත් නැත්නම් පොලිටිකල් බේද අරවා මේවා හින්දා.

    බොහොම ස්තුතියි මහත්තයා. මට මතක විදියට ඔබව රත්නපුර හෝ බලංගොඩදි හමුවෙලා තියෙනවා.

    ආපහු කතාවට ආවොත් අපි පොඩි කාලේ හා මීට වසර විස්සකට විතර එහා ටෙක්නොලජි කාලෙට කලින් අපි අතර බොහොම වටින කියන රාජ්‍ය සේවකයෝ හිටියා. ඔවුන්ට නිළධාරි පදමට වඩා වැඩක් කරන්න උණක් තිබුනා. අපි ළමා කාලේ එහෙම නිළදාරියෝ අනන්තවත් දැකලා තියෙනවා. දැණ් නම් මම හිතන්නේ ඒ වගේ නිළදාරියෝ කියන්නේ හීනයක් විතරයි.

    Like

    1. අපි වඳවී යනපරපුරකට අයත් අය ල්‍ර්සයි මම හිතන්නෙ.අපිට වර්තමන ඇතැම්චින්තන වලට අනුගත විය නොහැකි කමක් තියෙනවා

      Like

  7. අපේ ජීවිත වලට ඉගෙනගන්න පුළුවන් පාඩම් බොහෝමයි. කියවන්න ආස විදියට ලියනවට ඔබට බොහෝ පිං.

    Like

  8. සර්ගෙ අත්දැකිිම් වලින් ඊළග පරපුරක් ශක්තිමත් වෙනවා. දැනුමෙන් ,සන්නද්ධ වෙනවා.ඒක ගැන උදාහරන ඕන තරම්.ජයවේවා ..!!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s