පනජ්ජා ඔයේ තේක්ක පාලම

බෝගමුයාය කියන්නෙ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙ තියෙන ගමක්. මහඔය ඉඳන් මාදුරුඔය යන පාරෙ ගිහින් ටික දුරකදී හැරිලා පනජ්ජා ඔයෙන් එගොඩවෙලා බෝගමු යායට යන්න පුලුවන්. මම මහඔය ප්‍රා.ලේ හැටියට වැඩ කරපු 93-95 කාලෙදි බෝගමු යාය සුවිශේෂ ගම්මානයක් උනා. ඒ වනවිට බෝගමු යායට ත්‍රස්තවාදී ප්‍රාහාර තුන් වරක් එල්ල වෙලා ගම් වාසීන් තුන් පාරක් අවතැන් කරලා විශාල පිරිසක් ඝාතනය කරලා තිබුනෙ. මේ ආක්‍රමණ වෙනකොට උපදිසාපති හැටියට හිටපු ජිනසිරි දඩල්ලගේ මහත්තය මේ හැම ප්‍රහාරයකින් පස්සෙ ගම ආපහු පිහිටෙව්වා. බෝගමුයාය උතුරු නැගෙනහිර හා බටහිර පැතිවලින් මාදුරුඔය හා බෝගමුයාය රක්ෂිත වලින් මායිම් උනා. දකුණු පැත්ත මායිම් උනේ පනජ්ජා ඔය කියන මහ ඔයේ අතු ගංගාවෙන්. පනජ්ජා ඔය මොණරාගල බිබිලෙ පැත්තෙ කදු වලින් පටන් අරගෙන උතුරු දිසාවට ගලල පදියතලාවයි සේරන්කඩයි අතරින් ගලාගෙන ඇවිත් ආයිත් නැගෙනහිරට හැරී බකිනිගස්දෝව, ඉද්දපොල, කලුපැනි බැද්ද ගම් මායිම දිගේගලාගෙන ගිහින් මහඔයට එකතු වෙන්නෙ බෝගමුයායට ගොඩවෙන තැන පහු කරල මද දුරකදි. පදියතලාවෙදි ගල්ඕඩෙ ඔය කියල කියන ඔයම තමයි ඉද්දපොල හරියෙදි පනජ්ජා ඔය කියල වෙන නමක් ගන්නෙ. පනජ්ජා ඔයෙන් එතෙර මාදුරු ඔය රක්ෂිතය එතකොට මාදුරු ඔය රක්ෂිතය ඇතුලෙ තියන කුඩාගම් මානයක් බෝගමු යාය.

මම මහඔය වැඩ භාර ගත්තම කරපු මූලික සොයාබැලීම උනේ තර්ජනයට ලක් වුන ගම්මාන මොනවද කියන එකයි. බොරපොල නුවරගල තැන්න, ටම්පිටිය, පූලාවල, උනුවතුරබුබුල, රතුපස්තලාව, බෝගමු යාය වගේ ගම් තර්ජනයට ලක් උන සීමා ගම්මාන හැටියට අදුනාගත්තා. මේ අතර පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ පැල්මඩුල්ලෙ පාතකඩ විමලරතන හාමුදුරුවොත් එක්ක මහඔයට වැඩම කරල බෝගමුයාය බලන්න වැඩියා. වෝග් ජුවලර්ස් එකේ අනුර හේමචන්ද්‍ර මහත්තයත් ඒ එක්ක ආව මතකයි. හාමුදුරුවෝ දැනුම් දුන්නා බෝගමු යායෙ ගෙවල් වලට ඇස්බැස්ටෝ සීට් දෙන්න. තුන් පාරක් විනාශ කරපු ගෙවල් වල හිටපු මිනිස්සුන්ට ඒහාමුදුරුවන්ගෙ වැඩමවීමත් උදව් කිරීමේ තීරණයත් ලොකු දිරියක් උනා. ශ්‍රී ලංකා යුද හමුදාවෙ අනුඛණ්ඩයක් බෝගමු යායෙ ස්කෝලෙ නැවතිලා දිවා රාත්‍රි ආරක්ශාව ගමට සැපයුවා. සෝභිත හාමුදුරුවෝ මේ හමුදා භට පිරිස් අමතලා දිරිවඩවන දේශනයක් හෙම කලා. බෝගමු යාය පංසලේ හිටපු වයසක සාමනේර හාමුදුරුවන්ට බඩු බාහිරාදියත් එක්ක මුදලක්ද ලබා දීල සෝභිත හාමුදුරුවෝ ආපසු වැඩම කලා.

සෝභිත හාමුදුරුවෝ පොරොන්දු උනා වාගෙම බෝගමු යායට ඇස්බැස්ටෝස් තහඩු එව්වා. අපි ඒවත් පාවිච්චි කරල ත්‍රස්තවාදීන් විනාශ කල ගෙවල් ප්‍රතිසංස්කරණය කෙරෙව්වා. යුධ හමුදාව මේ කටයුත්තට විශාල සහායක් දුන්නා. මේ වර බෝගමුයාය පාසැලෙන් මෙපිට ගෙවල් මිනිස් පරිහරණයට අරගෙන කෙලවරට හමුදා කදවුර එන විදියට ගම සංවිධානය කලා. ගම වටා බංකර් ස්ථාපිත කරල රාත්‍රි ආරක්ෂාවට යුධ හමුදාව අනතුර වැඩි පැතිත්, ගම්වාසි තුවක්කුකරුවන් අනතුරු අඩු පැති බංකර් වලට යෙදවීමත් යුධ හමුදාවෙන් කලා. බංකර් වලින් වට වූ ගම තුල වගා කටයුතු සිදුකිරීමට පුනරුත්ථාපන ආධාර ලබාදුන්නා. වියළි සලාකයකුත් ලබාදුන් නිසා ආහාර සුරක්ෂිතතාවත් ලැබුනා. මේ කටයුතු කරන්න ගමට වාහන ගෙනියන්න බාධාවක් උනේ නැහැ. පනජ්ජා ඔයේ බෝගමු යායට පිවිසෙන්න තිබුනු පාලම ගංවතුරට කැඩී ගොස් බොහෝ කලක් ගතවී තිබුනා. ඒ උනාට පායන කාලෙ ඔයේ වතුර නැති නිසා වාහන වලට ඔය තරණය කිරීමේ බාධාවක් උනේ නෑ. ඒ නිසා හමුදාවාහන, අපේ වාහන, වලට බෝගමු යායට යාමේ හැකියාව තිබුනා.

මේ කාලෙ අම්පාර දිසාපති ඒ.අයි වික්‍රම මැතිතුමා. ප්‍රාදේශීය ලේකම් ක්‍රමය සකස් කරපු ලොක්කො කල්පනා කලේ පැරණි කච්චේරි ක්‍රමය මුළුමණින්ම අවලංගු කරන්න. ඒ නිසා ආරම්භයේදි ප්‍රාදේශීය ලේකම් සහ දිසාපති අතර පරිපාලන සම්බන්ධයක් නිල වශයෙන් තිබුනෙ නෑ. ප්‍රාදේශීය ලේකම් නිවාඩු ගන්නත් ස්වදේශ කටයුතු ලේකම්ට ඉල්ලුම් කරන්න ඕන. ඉදිරි වැඩසටහන් දිනපොත් පිටපතත් කෙලින්ම ස්ව. ලේකම්ට එවිය යුතුයි. දිස්ත්‍රික් ලේකම් කියල කිසිදු නීතියකින් ස්ථාපිත නැති තනතුරු නාමයකින් හදුන්වල ගණකාධිකාරී හැර වෙනත් මාණ්ඩලික නිලධාරියෙකුත් නැතුව 20ක විතර කාර්‍ය මණ්ඩලයක් එක්ක ප්‍රතාපවත් දිසාපති තනතුර මුලු ගන්වන්න සියලු කටයුතු කරලයි තිබුනෙ. ඒත් අම්පාරෙ අපි අපේ ප්‍රධානියා ලෙස දිගටම දිසාපතිතුමා එක්ක හිටිය. නිවාඩු ඉල්ලුම් පත්‍රයෙ පිටපතක්, කොට්ඨාශෙන් බැහැරයාමේ දැන්වීමේ පිටපත්, දිනපොත් සටහනේ පිටපත දිසාපතිතුමාටත් යැව්ව. මාසෙකට සැරයක් දිසාපතිතුමා හමුවෙලා සාකච්ඡා කලා. කොට්ඨාශෙ වෙන වැදගත් සිද්ධීන් දැනුම් දුන්න. මේ වගේ ලඟ සම්බන්ධයක් තියාගත් නිසා වික්‍රම දිසාපතිතුමා කියනව විමධ්‍යගත උනා කියල දැනෙන්නෙ නෑ කියල. මේ වෙනකොට අම්පාරෙ යුධ හමුදාවෙ අණ දෙන නිලධාරියා උනේ බ්‍රිගේඩියර් නීල් ඩයස්. අපිත් එක්ක සිවිල් පාලනේ පවත්වගෙන යන්න සහයෝගෙන් කටයුතු කල බ්‍රිගේඩියර් ඩයස් ට පස්සෙ ඒ තැනට පත් උනේ බ්‍රිගේඩියර් නිහාල් ජයකොඩි. රජයේ තීරණයක් පරිදි යුධ හමුදා අම්පාර මූලස්තානය මහඔයට ගෙනාව. බ්‍රිගේඩියර් ජයකොඩි මහඔය හැට නමයෙ හංදියෙ කඳවුරේ ස්ථානගත උනා. අම්පාරෙ දකුණු ප්‍රදේශ පොලිස් විශේෂ කාර්‍ය බලකාය භාරයට පත් උනා. දැන් මහඔය සිවිල් පාලනයෙ ලොක්ක මම. යුධ හමුදා ලොක්ක නිහාල් ජයකොඩි. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු වූ බ්‍රිගේඩියර් ජයකොඩි මට වැඩිමල් සහෝදරයෙක් වගේ තමයි. තරුණ සිවිල් නිලදාරියෙකු වූ මට පරිණත හමුදා බ්‍රිගේඩියර් වරයා සැලකුවේ සමීප මිත්‍රයෙකුට වගෙයි. බොහෝ දිනවලට ඔහු සමඟ දිවා භෝජනයට ඇරයුම් ලැබෙනවා. විශේෂ කෑමක් තිබුනොත් මගෙ කොටස සංචාරක බංගලාවට එවනවා. ප්‍රදේශයේ ආරක්ෂාව පිලිබද යුධ හමුදා නිලධාරි සාකච්ඡාවට මටත් ඇරයුම් ලැබෙනවා. දිසාපතිතුමාත් ඇතැම් සාකච්ඡාවලට එනවා. සිවිල් ජනතාවගෙන් අපිට ලැබෙන තොරතුරු හමුදාවට ලබාදීම, යම්‍ යම් ආරක්ෂක උපායයන් සැලසුම් කිරීමට සහාය දීම අපෙන් කෙරුණා.

මේ අන්දමේ යුධ හමුදා සාකච්ඡාවකදී බෝගමු යායේ ආරක්ෂක තත්වය සමාලෝචනය කෙරුනා. සාමාන්‍ය අවස්ථාවකදී ත්‍රස්තවාදීන්ට බෝගමුයායට පහරදිය නොහැකි ලෙස ශක්තිමත් කඳවුරක් හා සහායක හමුදා සැපයීමේ හැකියාව තිබුනත්, පනජ්ජා ඔයෙ වතුර මට්ටම වැඩි කාලවලදී බෝගමු යාය කදවුර සෙසු කඳවුරු වලින් හුදෙකලා වෙන තත්වයක් ඇති බව බ්‍රිගේඩියර් ජයකොඩි ට පෙනුනා. මීට පිළියම් නොයෙදුවහොත් නුදුරේ එන වැසිසමයේ බෝගමයාය හතරවන ප්‍රාහාරය වන බව වැටහුනු ඔහු මීට කලයුතු ප්‍රතිකර්මය සොයා බැලුවා. පනජ්ජා ඔයට පාලමක් කඩිනමින් අවශ්‍ය බව වැටහුනු බ්‍රිගේඩියර් ජයකොඩි යුද හමුදාවෙන් බේලිබ්‍රිජ් එකක් ඉල්ලුවා. අවසනාවට ඊට වඩා වැදගත් ස්ථානවල සවි කර තිබූ තාවකාලික පාලම් ගැලවීමේ හැකියාව යුධ හමුදාවට තිබුනේ නෑ. විසඳුම යළිත් මහඔයටම භාර උනා. එදිනම මා මුණ ගැසීමට පැමිණි බ්‍රිගේඩියර් ජයකොඩි මේ ගැන දීර්ඝව සාකච්ඡා කලා. මේ වෙලාවෙ මෙතනට ආව මහඔය සුදුබණ්ඩා ආරච්චි මහත්තය. ශ්‍රී වික්‍රම මුදියන්සේලාගේ සුදු බන්ඩා ආරච්චි මහත්තය බ්‍රිතාන්‍ය යුගේ ගම්මුලාදෑනි ලෙස කටයුතු කරල ග්‍රාමසේවක ක්‍රමය එනකොට විශ්‍රාම ගිය කෙනෙක්. මම සමීපව ඇසුරුකල කෙනෙක්. ආරච්චි මහත්තය බොහොම ඇසූපිරූ තැන් ඇති වැඩිහිටියෙක්. ආරච්චි මහත්තයගෙ පැමිණීමෙන් අපේ කතාව නැවතුණා. මම බ්‍රිගේඩියර්ට එයාව හඳුන්වලා දුන්නා. ආරච්චි මහත්තය ආවෙ එන වැහි කාලෙ පේරවැල්තලාව වැව කැඩීයයි කියල ඒකට පිළයමක් කරන්න කියල කියන්න. මේක කිව්වම මම මෙහෙම කිව්ව.

“ආරච්චි මහත්තය, වැව ගැන මොකක් හරි කරමු. ඊට වැඩිය ගැටළුවක අපි හිරවෙලා බෝගමුයායෙ. පනජ්ජා ඔය ගලන කොට බෝගමු යායට කොටි ගැහුවොත් පිටින් උදව්වට යන්න හමුදාවට බැරි වෙනව. එතකොට කෑම්ප් එකයි ගමයි දෙකම ඉවරයි. ඒක ගැනයි අපි දෙන්නා කතා කර කර හිටියෙ.”

ආරච්චි මහත්තය කලබල උනා. “අම්මප සර් එහෙම උනොත් වස වැරැද්දනෙ වෙන්නෙ. ඇයි අප්පච්චියේ අහිංසක උන් ට මැරෙන්න වෙනවනෙ! වැව කැඩුනොත් හදා ගත්තැකි. මුන් මලොත් එහෙම මොකද කරන්නෙ?” දැන් අපි දෙන්නට වැඩිය ආරච්චි මහත්තය කල්පනා කරනව.

“පූලවල පාලම වාගෙ තාවකාලික පාලමක් දාමු පනජ්ජා ඔයට. හමුදාවෙ කොලඹ රටේ ඒව තියනවනෙ” ආරච්චි මහත්තය කියනව.

“නෑ ආරච්චි මහත්තය හදිසියට එහෙම එකක් හොයන්න බෑ. ලබන අවුරුද්දෙනම් ඒකක් ගන්න පුලුවන් වෙයි” නිහාල් ජයකොඩි කිව්ව.

“ඒකත් එහෙමද?” ආරච්චි මහත්තය කල්පනා කලා. ටික වෙලාවක් කල්පනා කල ආරච්චි මහත්තයගෙ මූණ එලිය වැටුනා.

“ඕකට ලී වලින් හොඳ පාලමක් දාන්නකො සර්. ඔය වටාපිටාවෙන් හොද ගස් ටිකක් හොයා ගත්තනං අලින්ට යන්න පුලුවන් පාලමක් හැදුව හැකිනෙ.” ආරච්චි මහත්තය කිව්ව.

“හරි අපි බලමු ඒ ගැනත්” කියල නිහාල් ජයකොඩි බ්‍රිගේඩියර් සාකච්ඡාව හමාර කලා.

හරියටම සතියකින් බෝගමුයායෙ කඳවුරේ අණදෙන නිලධාරි මම හම්බු වෙන්න ආව. පනජ්ජා ඔයට ලී වලින් පාලමක් දාගන්න උදව් ඉල්ලුව. මට කරන්න තිබුනෙ පුංචි දෙයක්. ඒ තමයි බෝගමු යාය තේක්ක වගාවෙන් ගස් කීපයක් මේ වැඩේට කපාගන්න ඉඩ දීම. ඉතිරි බර වැඩ හමුදාව ගම් වාසින්ගෙ සහාය ඇතිව කර ගන්නව කිව්ව. බෝගමුයාය තේක්ක වගාව වන දෙපාර්තමේන්තුව සතුයි. වන දෙපාර්තමේන්තුවෙ ඉඩම් ප්‍රා.ලේගෙ පාලනේ නෙමෙයි තියෙන්නෙ. ඒ සඳහා කොලඹ වන සංරක්ෂකගෙන් අවසර ගත යුතුයි. නීත්‍යානුකූලව එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ. ඒත් මේ වැඩේ නොකර බෑ. ටිකක් කල්පනා කරල බීට්ටු වන නිලධාරිට පණිවුඩයක් යැව්ව හමු වෙන්න කියල. බීට්ටු වන නිලදාරිය තරුණයෙක්. මිනිහට විස්තරේ කියල “තේක්ක ගස් ටිකක් කපාගන්නව, දැක්කෙ නැතුව වාගෙ ඉන්න” කිව්ව. ප්‍රශ්නයක් උනොත් මම උත්තර දෙන්නම් කිව්වම මිනිහ කැමති උනා. යුධ හමුදාව තේක්ක ගස් දොලහක් කපල, ශක්තිමත් පාලමක් දැම්ම. වර්ශා කාලෙදි පාලම උඩින් වාහන ගමන් කලා. බෝගමු යාය කඳවුර බලාපොරොත්තු පරිදිම ප්‍රාහාරයට ලක් උනා. ඒත් නියමිත සහායක කණ්ඩායම් පැමිණ ප්‍රතිප්‍රහාර වැඩිකරන කොට ත්‍රස්තයො පලාගියා. බෝගමු යාය හතරවන ඝාතන උත්සාහය ව්‍යර්ථ කෙරුණා. අපි හැමෝටම සතුටුයි.

මීට මාස හයකට විතර පස්සෙ කොලඹ වන දෙපාර්තමේන්තුවෙන් කණ්ඩායමක් මහඔය ආවා. බෝගමුයායට ගියා. පාලමට කපපු තේක්ක දැකල බොහොම කේන්ති ගියා. ඇයි වන දෙපාර්තමේන්තු නීතිය බිඳල රජයේ තේක්ක කැලේ කපල. බීට්ටු වන නිලධාරියට දෝස්මුරේ දැම්ම. ආපහු ගියා. නිලධාරියෙක් එව්ව පරීක්ෂණයට. පරීක්ෂණය බීට්ටු වන නිලධාරිට එරෙහිව. බීට්ටු වන නිලධාරිය රාත්‍රියෙ ඇවිත් මාව මුණගැහිල කතාව කිව්ව. ඔහුව වැඩ තහනම් කිරීමට යන බවත් උදව්වක් කරන ලෙසත් ඉල්ලා හිටිය. මම ගිහින් පරීක්ෂණ නිලධාරිය හමුවෙලා විස්තරේ කිව්වට මිනිහ මනුතාපයෙ ජන්තු වගේ නීති කතාකලා. මිනිහට දෙකක් මවුබස මිශ්‍රව කියල ආව. මගේ කල්පනා ඊලඟට මොකද කරන්නෙ කියලයි. මම දිසාපතිතුමා හමුවෙලා විස්තරේ කිව්වා.

“සර් මේ බී.එෆ්.ඕ කොල්ලව අමාරුවෙ වැටෙන්න දෙන්න බෑ. ඌ කලේ මම කිව්ව එක. මට උදව්වටයි ඌ සද්ද නැතුව හිටියෙ. අනික බෝගමුයාය බේරුනේ මේකෙ නිසයි මෙදාපාර”මම දිසාපති තුමාට කිව්ව.

“තෝ ඉතින් කලොත් ඔහොම වැඩක්නෙ! මටත් හිතෙනව අර බී.එෆ්.ඕ කොල්ල අමාරුවෙ දාන එක වැරදි බව. ඇයි මේ කරපු වැඩේට හිස ගසා දාන්න ඕන තොගෙනෙ! බය නැතුව හිටපිය, මම වන සම්පත් ලේකම්ට කියන්නම්” කියල වික්‍රම දිසාපතිතුමා හයියෙන් හිනාවුනා.

මම ආපහු මහඔයට ඇවිත් ඉඩම් හා කෘෂිකර්ම ලේකම්ට ලිව්ව දිග ලියුමක්. වෙච්ච සිද්දිය සම්පූර්ණයෙන් ඇත්ත කියල, ඒකෙ ප්‍රතිඵලයක් හැටියට බෝගමු යායෙ මිනිස්සුයි, හමුදා කදවුරයි බේරුණ එකත් කියල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් කියල. මිනිස් ජීවිතවලට වඩා තේක්ක ගස් වටින බවට කල්පනා කරන නිලධාරින් ඔබතුමාගේ අමාත්‍යාංශයේ සේවය කරතැයි සිතීම පවා විශ්වාස කල නොහැකි බවත්, ගස්වල අලාභය මා සහ බෝගමුයාය ජනයා එකතුව පියවීමට සූදානම් බැවින් බීට්ටු වන නිලධාරියාට දඬුවම් නොකරන ලෙසද ඉල්ලා සිටි ලිපිය තැපැල් කර නිහඬව සිටිය. සතියකට පමණ පසු බදාදා දිනෙක පෙරවරුවේ කාර්‍යාල දුරකතනය හැඬවිණි.

“හලෝ මහඔය ප්‍රා.ලේ කාර්‍යාලය” මම පිළිතුරු දුන්නා.

“ඉස් දැට්‍ ඩිවිසිනල් සෙක්‍රටරි?”ගොරෝසු හඩක් ඇහුව.

“යෙස් යූ ආර් ස්පීකින්ග් ටු හිම්” මමත් කට අඹරෝල දුන්න.

“අයිසෙ කන්නන්ගර, මම ආරියරත්න. සෙක්‍රටරි ඇග්‍රිකල්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්”

“ගුඩ් මෝනින් සර්!” මගෙ උගුර කට වේලුනා. ඩි. එම්. ආරියරත්න නම් දරාපු අම්පාර හිටපු දිසාපති. අම්පාරෙ සකලවිධ රාජ්‍ය නිලධාරීන් තවමත් නම ඇසූ පමණින් වෙව්ලුම්කන ගොවියන් දෙවියන්ට මෙන් සලකන ප්‍රතාපවත් ප්‍රතිරූපය. කිසිදාක කතාකර නැතත් අනන්ත විස්තර අසා ඇති යෝධ මිනිසා. මගෙ හිතේ ඇදුනෙ ඕවගේ අදහස්.

“අයිසෙ තමුසෙ මාර වැඩක් නෙ මේ කරල තියෙන්නෙ පාලමක් දම්මල!”

“සමාවෙන්න සර් බෝගමු යාය ගම බේර ගන්න……….”

“අල්ලල දානව අයිසෙ. මේ ලියුමෙ තමුසෙ කියල තියනවනෙ විස්තරේ. දැන් මොකක්ද තමුසෙට තියන ප්‍රශ්නය?”

“සර් බී.එෆ්ඕ. ව ඉන්ටර්ඩික් කරන්න හදන්නෙ. පව් සර් මිනිහට මමයි කිව්වෙ සද්ද නැතුව ඉන්න කියල. ෆොරස්ට් එකේ පරීක්ෂණ කරන කෙනා කියනව බී එෆ්.ඕ බරපතල වරදක් කරලලු. රාජකාරි පැහැර හැරලලු.”

“අයිසෙ, රජය තියෙන්නෙ මිනිස්සු ජීවත් කරන්න. මිනිස්සු මරන්න ඇරල ගස් බේරගෙන වැඩක් තියෙනවද? මිනිස්සු ඉතුරු උනොත් ගස් හිටව ගන්න පුලුවන්. ඔය පැත්තෙ ඉන්නෙ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට උදව් කරනව ජීවිත බේරගන්න. තමුසෙත් පරිස්සමින් වැඩකරනව ජීවිතේ ගැන. මට වික්‍රම කිව්ව තමුසෙ හොඳට වැඩකරන කෙනෙක්, කිසි පරිස්සමක් නැතුව අරන්තලාව පාරෙ යන එක තමයි වරද කියල” ලේකම්තුමා හිනාවෙනව වගේ දැනුන.

මට ලොකු සතුටක් දැනුන. එතුමත් මම ඉන්න මතේමයි. “බොහොම ස්තූතියි සර්. මම මොකද්ද ෆොරස්ට් එකට කියන්නෙ?” මම ඇහුව.

“ආස්ක් දෙම් ටු ගෝ ටු හෙල්! දේ විල් නොට් ආස්ක් එනිතිංග් ෆ්‍රොම් යූ ඕර් දිස් බී.එෆ්.ඕ බගර්.” (කියපන් උන්ට නරකාදියට යන්න කියල. උන් උඹෙන්වත් මේ බී.එෆ්.ඕ කාරයගෙන් වත් මොකුත් අහනෙකක් නෑ.)

“බොහොම ස්තූතියි සර්.”

“හ්ම්.”

සංවාදය ඉවරයි. ප්‍රශ්නයත් ඉවරයි. වික්‍රම දිසාපතිතුමාටත් කතාව කිව්ව.

අදත් මතක තියනව මිනිස්සු නැති කරල ගස් බේරගෙන වැඩක් නෑ කියන ඩී.එම්. ආරියරත්න ලේකම්තුමාගෙ ගොරෝසු හඬ. ජනප්‍රිය ගායක භාතිය ජයකොඩිගෙ තාත්ත එවක බ්‍රිගේඩියර් පසුව මේජර් ජෙනරාල් නිහාල් ජයකොඩි, ඩී.එම්. ආරියරත්න මැතිතුමා, අපේ සුදුබන්ඩා ආරච්චි මහත්තයා, ඒ.අයි ව්ක්‍රම දිසාපතිතුමා, අවසානයේ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ අප අතහැර ගිහින්. බෝගමු යාය ගම්මානයට ඉන් පස්සෙ කවදක්වත් කොටි ගැහුවෙ නෑ.

Advertisements

8 thoughts on “පනජ්ජා ඔයේ තේක්ක පාලම

  1. 👍👍👍
    අද ඔය විස්තරේ කියවද්දි මාත් එහෙට ගියා වගේ.
    ඒ පලාතේ අසරණ ගම්වාසින්ව නිකම් පේනවා වගේ. මම බොහෝම සතුටෙන් වැඩ කළ පෙදෙසක්.
    බකිනිගස්දෝවෙ මාමාවයි, සේරන්කඩ උක්කු මුදලාලිවයි අමතක වෙන්නෙ නැහැ.
    දුකයි සුනිල් මහත්තයෝ ඒ පලාතෙන් මට ඇත් වෙන්න වුනු එක ගැන.
    සංවර්ධනයෙන් ඇත්වු අසරණ ජනතාව. දැන්වත් ජයද දන්නේ නැහැ.

    Like

    1. බකිනිගස්දෝවෙ පුංචි බණ්ඩා මාමා ගම්වාසින්ගෙ දුක කිව්වෙ ඔබතුමියටයි.උන්නැහැගෙ ඉල්ලීමට බකිනිගස්දෝවෙ මුලුගමේම ගෙවල් හැදුව උක්කුං මුදලාලිගෙ ඉල්ලීම බකිනිගස් දෝවෙ පාලම දුන්න ඒව සේරම කලේ ඔබතුමිය.ඒව හිතල සය්හුටු වෙන්න මැඩම්.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s