මහඔය කෙරුවාව.

මම මහඔය ප්‍රාදේශීය ලේකම් හැටියට වැඩකරන්න පටන්ගත්තෙ 1993 පෙබරවාරි මාසෙදියි. එදා ඉදන් අවුරුදු දෙකක් ඉවර කරලා තවත් මාස තුනක් යනකම් මහඔය වැඩ කරා. මේ කාලෙ වැඩි වශයෙන් අම්පාරෙ ඉඳන් දිනපතා රාජකාරියට ආවගියා උනත් රාජකාරි වැඩි දවස් වල මහඔය නවතින්න සිද්ධ උනා. මහඔය තිබුනෙ එක නිල නිවාසයයි. ඒකෙ යූ.පී පියදාස මහත්තය දරු පවුලත් එක්ක පදිංචිව හිටියෙ මම මහඔයට යන්න ඉස්සර ඉඳන්. මම ප්‍රාදේශීය ලේකම් උනහම යූ.පී මට නිල නිවාසෙ දෙන්න හැදුව. මම කිව්ව “පිස්සුද යූ.පී ඔය ඉන්න විදියට ඉන්න. මම අම්පාරෙ ඉදන් එන්නම්”   කියල. ඇත්තටම යූ.පීගෙ තියන උසස් ගුණාංග නිසා නිල නිවාසෙ මට දෙන්න ඇහුවට මිනිහට දරු පවුලෙ අයත් එක්ක යන්න තැනක් තිබුනෙ නෑ. දීර්ඝ රාජ්‍ය සේවාවක් සම්පූර්ණ කරල තිබුන යූ.පී තමන්ට වෙන පාඩුවට වැඩිය ප්‍රධානියාගෙ විතරක් නෙමෙයි, අනිත් ඕනෑම කෙනෙකුගේ ගැටලුවකදි පුලුවන් උපරිමය කරන කෙනෙක්. කොහොම උනත් මහඔය සේවක නිවාස ප්‍රශ්නයට යමක් කලයුතුයි කියල හිතාගෙන ඉන්න කොට තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා විමද්‍යගත අයවැය වැඩසටහන වෙනස් කලේ. එතෙක් විමද්‍යගත අයවැය යටතේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට ලක්ෂ25 ක මුදලක් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති වලට දුන්නා. 1993දි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලක්ෂ විසිපහක් ලබාදෙන්න තීරණය කලා. සෑම මංත්‍රීවරයෙකුටම මේ මුදලට යෝජනා දෙන්න පුලුවන්. මම දයාරත්න, ගලප්පත්ති, බක්මීවැව කියන ආණ්ඩුවෙ මංත්‍රීතුන් දෙනාටයි, තෙවරප්පෙරුම විපක්ෂ මංත්‍රීතුමාටයි කිව්ව මහඔය සේවක නිවාසයක් සදහා යෝජනාව දෙන්න කියල. නිලධාරින්ට ඉන්න නිවාස හැදුවෙ නැතොත් පරිපාලනය විමද්‍යගත වුනාට සේවය කරන්න මිනිස්සු නැතිවෙන බව පෙන්නා දුන්නම යෝජනාව අනුමත උනා. ඒ අනුව සාද නිවාසයක් මුල් කොටස හදාගන්න පුලුවන් උනා. ඒත් එක්කම මහඔය පලාත් වාරිමාර්ග කාර්‍යාලය අම්පාරට ගෙන ගියා. කාර්‍යාලය තිබුන ගොඩනැගිල්ලෙ ඉස්සරහ කාමරය පොලිසිය ඒ.එස්.පී කාර්‍යාලයට බලෙන් වාගෙ අරගෙන තිබුන. ඉතුරු ටික මහඔය එන වෙලාවට වාරිමාර්ග අයට විවේක ගන්න කියල තියාගෙන. ඒ ලඟම සුලු සේවක කාමර පෙලකුත් තිබුන. මම පලාත් වාරිමාර්ග ඉංජිනේරු බදුර්දීන්ට කතා කරල නිල නිවාසෙ ඉල්ලුව. “නිල නිවාසෙ දෙන්න බෑ ඕනෙනම් ඉස්සරහ කාමරේ පොලිසියෙන් ඉල්ල ගන්න” කියල මිනිහ කිව්ව. මම හොඳයි කියල නිහඬ උනා.

මේ කාලෙ උතුරු නැගෙනහිර එක් පලාත් සභාවක් හැටියටයි තිබුනෙ. ආණ්ඩුකාරවරයගෙ පාලනේ තිබුන පලාත් සභාව පාලනය කලේ ආණ්ඩුකාරවර ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්න. ප්‍රධාන ලේකම් ගනේෂ් සර්. ආන්ඩුකාරතුමා මාත් එක්ක බොහොම හිතවත්ව හිටියෙ අම්පාර කච්චේරියෙ පලාත් සභාව යටතෙ තිබුන කර්මාන්ත අංශය බලාගත්තෙ මම නිසා. එතනදි ආපු අභියෝග වලදි ආණ්ඩුකාරතුමා එක්ක සමීපව කටයුතු කල නිසා එතුමා මට බොහෝ හිතවත් උනා. ප්‍රධාන ලේකම් ගනේෂ් සර් පරිපාලන සේවාවෙ ඉහලම ජේ‍යෂ්ඨ නිලධාරියෙක් උනාට මට සැලකුවෙ යාලුවෙකුට වගේ. මේ දෙන්නා එක්ක තිබුන ලඟ සම්බන්දෙ නිසා පලාත් සභාවෙ අනිත් අමාත්‍යංශවලිනුත් යමක් කර ගන්න මට හැකියාව තිබුනා. මේ වෙනකොට තවත් ප්‍රශ්නයක් තිබුනා. මහඔය ප්‍රාලේ කාර්‍යාලෙ වාහන තිබුනෙ එකයි. ඒ වාහනේ මම පාවිච්චි කරනකොට කාර්‍යාලෙට වාහනයක් නෑ. මේ සේරම ගැන හිතල දවසක් ත්‍රිකුණාමලේ පලාත් සභාවට ගියා. පලාත් සභාවෙ ප්‍රධාන ලේකම් කාර්‍යාලෙට ගිහින් ගනේෂ් සර් ඉන්නවද බැලුව. “සර් ගවනර් ඔපීස් ගියා” එතැන හිටපු පොට්ටුකාරි කිව්ව. මම “සර් එනකොට පරක්කු වෙයිද?”කියල ඇහුව. “ඒක කියන්න බෑ. සර්ට පුලුවන්නම් ගවනර් ඔපිස් ගිහින් හමුවෙන්න”පොට්ටුකාරි කිව්ව. ඕන එකක් කියල ආන්ඩුකාර කාර්‍යාලයට ගියා. ආන්ඩුකාරතුමාගෙ ආරක්ෂකයො මාව දන්න නිසා වැඩි කරදරයක් නැතුව ඇතුලට ගියා. ගනේෂ් සර් ගැන ඇහුවම ආණ්ඩුකාරතුමා ලඟ සාකච්ඡාවක් කිව්ව. මම වාඩිවෙලා හිටියා. පැය භාගෙකින් විතර ගනේෂ් සර් එලියට ආව. මම නැගිටින කොට මාව දැක්කා. සර් අහනව “ආ සුනිල්, ආන්ඩුකාරතුමා දැන් මතක් කලා ඔයාව. ආපු එක හොදයි, යමු ඇතුලට” කියල ආණ්ඩුකාරතුමා ලඟට එක්ක ගෙන ගියා. 

මාව දැකපු ආණ්ඩුකාරතුමා “හා අයිසේ සුනිල්, තමුසෙ අද මාව බලන්න ආවද? මම දැන් ටිකකට කලින් තමුසෙව මතක් කලා. කොහොමද? now you became a big man in mahaoya no? how is mahaoya? you can be there as a king no?” කියල වාඩි වෙන්න කිව්ව.

මමත් බොහොම ස්තූතියි කියල වාඩිවෙන ගමන් කිව්ව, “yes sir I became a king of mahaoya but the problem is I’m suffering without palace there” කියල.

“ඕ අයිසේ තමුසෙට ඔපීසියල් බංගලාවක් නැතිද මහඔය? ඇයි ඒ.ජී.ඒ බංගලාවට මොකද උනේ?”

“ඒ.ජී.ඒ බංගලාව සහකාර ලේකම් පවුලෙ අයත් එක්ක ඉන්නව. එයා දිගටම එතන හිටිකෙනානෙ සර්. එයාට යන්න තැනක් නෑනෙ. මම ඉතින් දිනපතා අම්පාරෙ ඉදන් එනව” කිව්ව.

“What? you are daily travalling from ampara? It means you are daily travelling through Aranthalawa no?”

“Yes sir, one day in last week I have spent four hours to go to Ampara through Bibila, Monaragala and Siyabalanduwa due to terrorist attack in Aranthalawa” කියල හතරැස් පචයකුත් ඇදල දැම්ම.

“Ganeesh, we have to help this poor fellow to find a place to stay in mahaoya” කියල ආන්ඩුකාරතුමා ගනේශ් සර්ට කියන කොට මට තේරුනා දැන් යකඩෙ ගානට රත්වෙලා කියල.

“සර් මම අද ආවෙ මහඔය තියෙන අතඇර දාපු වාරිමාර්ග කාර්‍යාලෙ ඉල්ලගන්න පුලුවන්ද බලන්න කියල” ඉල්ලීම දැම්ම.

“ආ එහෙම අපේ තැනක් තියනවද? ඒක අතඇරල දාල නම් තමුසෙ ගන්නව. අපිට ප්‍රශ්නයක් නෑ නේද ගනේශ්?” ආන්ඩුකාරතුමා ඇහුව.

“සර් ඒකෙ ලොකු රෙපයාර් තියෙනව. ඉන් රයිටින් ගත්තෙ නැත්නම් මට ආන්ඩුවෙ සල්ලි වලින් රෙපයාර් කරන්න බෑ. මම ලියුමක් හදාගෙන ආව ප්‍රධාන ලේකම් තුමාට” කියල මම ගෙනාපු ලියුම ගනේශ් සර්ට දුන්න.

ගනේශ් සර් මම යන්න ඉස්සෙල්ල ඔපීස් එකට ඇවිත් ලියුම ගන්න කිව්වා.

“මම තමුසෙව අද මතක් කරේ තව වාසියක් තමුසෙට කරන්නයි. අපි පලාත් සභාවෙන් වාහනයක් තමුසෙට එවනව. ඒකත් කතා කර ගන්නව ගනේශ් එක්ක” කියල ආන්ඩුකාරතුමා කිව්වා.

“ආ කෝ අපිට බොන්න දෙයක් ගේනවා ළමයි” කියල තේත් බොන්න දීල මට සමු දුන්නා.

මම එන ගමන් වාරිමාර්ග කාර්‍යාල ගොඩනැගිල්ල මහඔය ප්‍රා.ලේට භාරදීමේ ආන්ඩුකාරවර නියෝගය වාරිමාර්ග පලාත් ලේකම්ට දැන්වූ ප්‍රධාන ලේකම් ගේ ලිපිය හා ඩබල් කැබ් රථයක් වෙන්කිරීමේ ලිපිය අරගෙන මහ ඔයට ආව. ඊලඟ සතියෙම 31 ශ්‍රී 8212 අලුත් කැබ් එක මහඔයට ගෙනාව. තවත් සතියකින් විතර ඉන්ජිනේරු බදුර්දීන් කාර්‍යාලය මට භාරදුන්න. “අපිට එක කාමරයක් දෙන්න?” මිනිහ බොහොම හිමින් ඉල්ලුව. මම ඉස්සරහ ඒ.එස්.පී ඉන්න කාමරේ පෙන්නල ඒක ගන්න කිව්ව. මිනිහ කරබාගෙන යන්න ගියා.

ඊලඟ අදියර ඒ එස් පී කාර්‍යාලය ඉවත් කිරීම. මේ ගොඩනැගිල්ලත් එක්ක තව වටිනා චරිතයක් මට ලැබුනා. ඒ නන්දසේන අන්කල්. එයා වාරිමාර්ගෙ ආදේශක මුරකරු. කාර්‍යාලය අම්පාරට ගෙනිච්චම මිනිහගෙ රස්සාව නැති උනා. මම නන්දසේන අංකල්ව මහඔය ප්‍රා ලේ කාර්‍යාලෙ ආදේශක මුරකරු කරල අර ගොඩනැගිල්ලෙ භාරකරු කලා. මිනිහ ඒ ගොඩනැගිල්ලෙම නතර උනා. පිටිපස්සෙ සුලු සේවක කාමර ටික අපේ සුලු සේවකයින්ට දුන්නා. දැන් ඒ.එස්.පී පැන්නීම මෙහෙයුම දියත් කරා. මේ දවස් වල හිටපු ඒ.එස්.පී එක්ක මට පොඩි කොක්කකුත් තිබුනා. මුලින්ම ලියුමක් ගැහුවා වහාම ඉදිරිපස කාමරේ ආපසු දෙන්න කියල. සද්දයක් නෑ. ඊලඟට ගෙයි අලුත්වැඩියාව පටන්ගත්තා. විවෘත ඉස්තෝප්පුව තිබුන එකට ජනෙල් දාල ආවරණය කලා. ඉස්සරහට දොරක් දානව කිව්වම ඒ.එස්.පී නන්දසේනගෙන් ඇහුවලු අපිට යතුරක් දෙනවද කියල. මේ කතාව මට නන්දසේන අංකල් කිව්වම මම කිව්ව ඒ.එස්.පීට වහලෙන් තමයි බහින්න වෙන්නෙ කියල කියන්න කියල. මිනිහත් ඒ විදියටම කිව්ව. ඊට පහුවෙනිද ඒ.එස්.පී කාර්‍යාලය එතනින් ඉවත් කරා.

මේ විදියට හදාගත්තු නිල නිවසෙ මම පාවිච්චි කලා. මගේ කෑමබීම සකස් කිරීම නන්දසේන අංකල් කලා. නැවතිල ඉන්න දවසට මගෙ රාත්‍රි කෑම හදල මේසෙට ඇරල වහල හවස 6.00වෙනකොට ටෝච් එකත් අරගෙන කාර්‍යාලෙ මුරට යන නන්දසේන අංකල් උදේ 6.00වෙනකම් අකුරටම වැඩකරා. ඉතාම හොඳට වැඩ කරන නන්දසේන අංකල්ගෙ සේවාව ස්තිර කරන්න බලනකොට උප්පැන්න සහතික අධ්‍යාපන සහතික මොකක්වත් නෑ. ස්කෝලෙ හතරට පහට ඉගනගත්තත් ඒ ස්කෝලෙ ඒ වෙනකොටත් නෑ. ගම ගාල්ල පැත්තෙ. සේවය ස්තිර කරන්න බැරුව අපි කනගාටුවෙන් ඉන්න කොට නන්දසේන අංකල් කියන්නෙ “මොන ස්තිරයක් ද සර්? මේ හැම එකක්ම ස්තිර නැති ලෝකෙ ඕක විතරක් ස්තිර කරන්නෙ කොහොමද? ඔය ස්තිර ජොබ් එක උනත් මලොත් ඉවරයිනෙ! ඒක හින්ද මෙහෙම හොදා” කියල. ඊට පස්සෙ මම ස්ථාවර නියෝගයක් පැනෙව්ව නන්දසේන අංකල්ට ඇති වෙනකම් මේ ජොබ් එක කරන්න දෙන්න කියල. මම මහඔයෙන් එන දවසෙ නන්දසේන අංකල් මට කිව්වෙ “සර් මගේ වයස යාම නැවැත්තුවනෙ. පුලුවන් තරම් කල් මෙහෙම ඉදල ගමට යනව” කියල.

අදත් එදා ගත්ත නිල නිවාසෙ සහකාර ලේකම් නිල නිවාසෙ හැටියට මහඔය තියනව. එදා පටන්ගන කොටසක් කරපු සාද නිවාසෙත් තියෙනවා. සුලුසේවක නිවාසත් තියෙනවා. මහඔය මේ යුගය මතක් වෙනකොට ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්න ආණ්ඩුකාරතුමා, ගනේෂ් ප්‍රධාන ලේකම්තුමා, නන්දසේන අංකල් මතක් වෙනව. මගෙ විශ්වාසවන්ත, දක්ෂ සහකාර ලේකම් යූ.පී විශ්‍රාම සුවයෙන් සාහිත්‍යකරණයේ යෙදෙනව. යූ.පීගෙ පුතාල තුන් දෙනෙක් ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙ දක්ෂ ලෙස රාජකාරි කරනවා. යූ.පීගෙ ඒ කාලෙ මොන්ටිසෝරි යන්නෙත් නැති වයසෙ සුරතල් දියණිය, මහඔය මගේ මේසෙ ලඟ වාඩිවෙලා ඉඳගෙන තොරතෝංචියක් නැතුව ප්‍රශ්න අහමින් මගේ පාලු මැකුව පුංචි දෝණි, අද රාජ්‍ය සේවෙ ඉන්න අම්ම කෙනෙක්. කොච්චර කාලයක් ගතවෙලාද හැබෑටම!

Advertisements

2 thoughts on “මහඔය කෙරුවාව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s