කලුබණ්ඩගෙ අවුල

අම්පාර මහඔය අතර යමින් එමින් සමහර දවස්වලට වාරිමාර්ග නිවාසෙ නතරවෙමින් ගතකල කාලෙ මතක් වෙනකොටත් සතුටුයි. ප්‍රාදේශීය ලේකම් කන්තෝරුවෙන් මිනිස්සුන්ගෙ එදිනෙදා ගැටලු විසදමින් ඉන්නකොට මහඔය සමාජෙ හොදට අදුනාගන්න පුලුවන් උනා. වෙන ඕනෑ කාර්‍යාලෙක මහජන දිනේ බදාදා. ඒත් මහඔය ප්‍රාලේ කාර්‍යාලෙ මහජන දිනේ අඟහරුවාදා. ඒකට හේතුව මහඔය පොල තියෙන්නෙ අඟහරුවාදා වීමයි. කෙසෙල්, බඩ ඉරිඟු, මුං, කව්පි වාගේ තමන්ගෙ නිෂ්පාදන විකුනන්නත් හාල් පොල් ලුනු ආදී තම අවශ්‍යතා මිලදීගන්නයි අවට ගම්වාසී බොහෝදෙනා පොලට එනවා. මේ පොලට එන දවසෙම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න, පොලිසියෙ පැමිණිල්ලක් දාන්න, ඒ.ජී.ඒ ඔපිස් එකෙන් තමන්ගෙ වැඩක් කරගන්න, මිනිස්සු පුරුදුවෙලා හිටිය. ඉඩම් ආරවුල් පැමිණිලි කරන්න, ගස් කපාගන්න බලපත්‍රයක් ගන්න, වැවේ ප්‍රශ්නයක් කියන්න, ජනසවිය ප්‍රශ්න කියන්න, පිං පඩියක් ඉල්ලන්න, නියං ආධාර ඉල්ලන්න, හරකුන්ට තණකොල කවන්න තැනක් ඉල්ලන්න වගේ මෙකී නොකී අවශ්‍යතාවලට එන ජනතාව අතර වෙනස්ම අවශ්‍යතාවලට එන අපූරු මිනිස්සුත් හිටිය.

එක අඟහරුවාදා දවසක මහඔය කාර්‍යාලෙට ඇවිල්ල කාමරෙන් වාඩි උනා විතරයි එක්කෙනෙක් කාමරේට එබුනා. “මොකද?” මම අහන කොටම ඔලුව කාමරේට දාපු මිනිහ ආපහු එලියට පැන්න. වහාම බෙල් එක ගැහුව. සෙනවිරත්න ඇතුල් උනා.

“කව්ද සෙනවිරත්න දැන් එබුනෙ?”

“බලන්නම් සර්” කියාගෙන සෙනවිරත්න පිට උනා.
විනාඩි දෙක තුනකින් සෙනවිරත්න පෙනී සිටියා තවත් කෙනෙක් එක්ක.

“මුන්දැ තමයි සර් කාමරේට එබිල තියෙන්නෙ.” සෙනවිරත්න කිව්වා. අවුරුදු පනහක විතර පෙනුමක් තියෙන කලු උස බුලත් කාපු කටක් තියෙන මිනිහෙක් සෙනවිරත්න එක්ක ඉන්නවා. මිනිහගෙ ඇස්දෙකෙන් පේන්නෙ ලොකු කලබලයක්. දොරදිහා ත් මාදිහාත් බලමින් මිනිහ ලොකු අපහසුවක ඉන්න බව පේනවා.
“හා තමුන්ද ඒ කාමරේට එබුනෙ? වාඩිවෙන්න. ඇයි මාව හම්බු වෙන්න ආවෙ?”
මිනිහ තව ටිකක් කලබල උන බවක් පෙනුනා. සෙනවිරත්න දිහා බලනවා වාඩිවෙන්නෙ නෑ.
“දිසාපතිතුමා අහන එකට උත්තර දෙනව” සෙනවිරත්න හයියෙන් කිව්වා. “අනේ හාමුදුරුවනේ මගෙ අතින් වරදක් උනාද මන්ද?තමුන්නැහැ මොකදෑ කියල අහන කොට මං උන්නෙ මට ගෝලු ගත්ත කියල නොවැ” මිනිහ කිව්වා.

“හරි හරි මේ උන්නැහැ වාඩි වෙමුකො බලන්න. අනික මම හාමුදුරුවො නෙවෙයි. එහෙම කියන්න එපා” මම කිව්වා.

“හරි සෙනවිරත්න මම මුන්නැහැ එක්ක කතා කරන්නම්. දැන් මෙහෙන් වාඩිවෙන්නකො” මම කිව්ව.

සෙනවිරත්න එලියට ගියා. මිනිහ පුටුව අයිනෙන් වාඩි උනා. වාඩිවෙලත් මිනිහ හැරි හැරි දොර දිහා බලන්නෙ. දැන් මට මතක් වෙන්නෙ ශ්‍රි ලංකා සමාජසේවා විද්‍යාලෙ සමාජ වැඩ ඩිප්ලෝමාව හදාරන කාලෙ කොතලාවල මහත්තයගෙන් ඉගන ගත්තු සම්මුඛ පරීක්ෂන පැවැත්වීමේ ක්‍රම. ඉස්සෙල්ලම මෙයාව ස්ථාවර කර ගැනීම. තවම මිනිහ ඉන්නෙ කලබලෙන්.

“කොහොමද අද පොලට ආපු ගමන්ද?” මම ඇහුවා.

“එහෙනම් අයිබොවන්ඩ, ගෙදර එකීයි පැටියයි එක්ක පොලට ආව.”

“කෝ ඉතින් ඒ අය?”

“ඒකලා බඩු ගනිද්දි මං කස් ගාල එන්නං කියා මෙහෙට ආව.”

“කෝ ඉතින් මුන්නැහැ කිව්වෙ නෑනෙ ආපු කාරනේ. මොකක්ද ප්‍රශ්නෙ?”.

“තමුන්නැහැට කියන්ඩ අයිබොවන්ඩ අපේ මේ ගෙදර එකීගෙ පලහිලව්වක්. ඒක ගැන තමුන්නැහැට කියල බේරුමක් කරගන්න කියල ආවෙ”.

“මොකක්ද අප්පේ ඔය ප්‍රශ්නය? කියමු බලන්න”

“මෙන්න මේකයි ආයිබොවන්ඩ කාරනේ. අපේ එකී දැන් මං ගැන සැලකිල්ලක් නැහැ. ඒකි කවුරු එක්ක හරි කුට්ටාලිවෙලා නිච්චියටම. මං ඕක ගැන ඇහුවම බෙලිකටුමල්ල හොල්ලනව වාගෙ අඩෝඇඬියාව ඕං”

“දැන් මම මොකක්ද කරන්න ඕන එතකොට? මේක මේ දෙන්න දෙමාල්ලන්ගෙ ප්‍රශ්නයක්නෙ” මම කිව්ව.

“අනේ අයිබෝවන්ඩ එහෙම කියල කොහොමෙයි. තමුන්නැහැ අපේ එකීට අවවාදයක් කොරපුවාම හරියයි. මම උන්දැ තව ඩිංගිත්තකින් එක්ක ගෙන එන්නං”

“හා හොදයි එක්කගෙන එමු. ඒත් මට මුන්නැහැල ගැන විස්තර ඕන කරනව ඊට ඉස්සෙල්ල.”

“ආයි මක්කදැ විස්තර, මං කලු බණ්ඩා. දූමානෙ පදිංචිය. ගොවිතැන තමයි කරන්නෙ. අපේ ගෙදර එකී හුදුමැනිකා. ඒකිට එක කොල්ලයි ඉන්නෙ” මිනිහ විස්තරේ කියනව.

“දැන් සුදු මැනිකට එක දරුවයි කීව්වනෙ. මුන්නැහැට තවදරුවො හෙම ඉන්නවද?”

“එහෙනම්! මට දරුවො දෙන්නයි කලින් එකීගෙ. උන් දෙන්න පොල්ලෙ බැද්දෙ පදිංචි”

“දැන් මුන්නැහැගෙ වයස කොච්චරද?”

“ආයෙ මොකක්දෑ ඒ හැටි වයසක්. තාම හැටක් නෑ”

“එතකොට සුදුමැනිකාගෙ වයස කොච්චරද?”

“ඒකිට ඕන්නම් විසි පහක් ඇති. කවුරු දනිද්දැ ඕව. මං එක්ක එනකොටත් ගැටිස්සි ඕං.”

මට වෙස්සන්තර ජාතකේ මතක් වුනා. මහලු බමුණා සහ තරුණ බැමිණිය වර්තමාන පිටපත නේදැයි මතක් වෙලා හිනායන්නත් ආවා. අමාරුවෙන් හිනාව යටකරගෙන ඔලුව වනලා “දැන් එහෙනම් මුන්නැහැ යන්න” කියල කලු බන්ඩාට සමුදුන්නා. 

“මං ඕං කස් ගාල මුන්දැ එක්ක එනව” කියල මිනිහ ගියා.

තවත් පැයකින් විතර කලු බන්ඩා මිනිහගෙ ඇඹේනියි, පුතයි එක්ක මං හම්බු වෙන්න ආවා. කලු මිටි ටිකක් මහත සුදු මැනිකා කලුබන්ඩගෙ දුව වාගේ. පොඩි එකාත් කලුයි. දිලිසෙන ඇස්දෙකක් තියෙන අවුරුදු හතරක පහක හුරුබුහුටි කොල්ලෙක්. අම්මගෙ ඇගේ දැවටීගෙනම ඉන්න එකෙක්.

“ඔව් මොකද මේ කට්ටිය” මං කලින් කතාව දන්නෙ නෑ වගේ ඇඟෙව්වා.

“අනේ ආයුබෝවන්ඩ අපේ මේ පුංචි ආරෝවක් විසදගන්න කියල” කලුබන්ඩා රඟපාන්නෙ කලින් නොදන්න විදියට.

“ඔව් කියමු බලන්ඩ.”

“අපේ මේ ඇත්ති මාව ගනන් ගන්නෙ නෑ දැන්. මං යමක් ඇහුවොත් ඇඟට පනිනව. හරියට උත්තරයක් දෙන්නෙත් නෑ. මං ඉතින් කිසි අඩුවක් කරන්නෙ නෑ මුන්දැට. ඒත් මොකෙක් වැහිලද මන්දා ලඟක ඉදන්” කලුබන්ඩා කියෝනව.

“හා හරි දෙන්න දෙමාල්ලො රන්ඩු සරුවල් වෙලා හරියනවෑ. කතාබහ කරල විසද ගන්න එපායැ” මම කිව්ව.

“ඒකනෙ මාත් කියන්නෙ.” කලු බන්ඩා හීල්ලුවා.

“කෝ මොකක්ද තමුන්ගෙ නම?” මම කාන්තාවට කතාකලා.

“සුදුමැනිකා හාමුදුරුවනේ.”

“හා සුදුමැනිකා මම හාමුදුරුවො නෙමෙයි. ගිහි අයට එහෙම කියන්න එපා.” මම කිව්වා.

“අඩේ මහත්තය කියල කියාප” කලුබන්ඩා උපදෙස් දෙනව.

“හරි සුදු මැනිකා මොකද මේ ප්‍රශ්නය?” මම ඇහුවා.

“ආයෙ මොන ප්‍රශ්නද මාත්තයා? මුන්දැට ඔල්මාදේ නොවැ” ගෑනි කිව්ව.

“ඔන්න දැන් තමුන්නැහැටම පේනව නොවැ මේකිගෙ හුරස් පරස්. මං කියන්නෙත් ඕකම නොවැ” කලුබන්ඩා මැද්දට පැන්න.

“මේ කලුබන්ඩා සද්ද නැතිව ඉන්නවකො. මම කතා කරන්නෙ තමුන්ගෙ භාර්‍යාව එක්කලනෙ” මම ටිකක් හයියෙන් කිව්වා.

“අනේ මහත්තයා, මේ මිනිහට මාව සැක නොවැ. ඒකනෙ මේ සේරම. මෑතක ඉඳල මම දියට ගියත්, හේනට ගියත්, බැද්දට ගියත් මේ මිනිහට හැකයි.”

“මොනවද සැක කරන්නෙ?”

“ආයෙ හැක මම වෙන එකෙක් එක්ක යයි කියල ඕං” සුදුමැනිකා කියාපි.

“ඇත්තද කලු බන්ඩා තමුන් තමුන්ගෙ බිරිදව සැක කරනවාද?”මම ඇහුව.

“මම එහෙමට සැකයක් තිබ්බෙ නෑ ඕං! ඒත් මේකි වගේ හිටපු එකියක් ඒ පැත්තෙ ආපු වෙලෙන්දෙක් එක්ක වහංවිලා ගියාට පස්සෙනං පොඩ්ඩක් හෙව්ව බැලුව ඕං” කලුබන්ඩගෙ උත්තරය.

“ඒක යස පොඩ්ඩ! මුන්දැ පිටට ගිහින් ආවේලෙ ඉදන් පැටාගෙන් අහනව කවුද නැති අතර ආවෙ කීල. ඒ මදිවට මං කොහාට ගියත් හොයනව. මට එලිබහින්න ගියත් වැරදි “ගෑනි අඬන්න ගත්ත.

“ආ හරි මට තේරුනා, මේ ඕනවට වැඩිය පරිස්සන් කරන්න ගිහින් වෙච්ච දෙයක්.”මම කිව්ව.

“ඒකනෙ මහත්තයා, මට රුස්සන්නෙ නැත්තෙ මාව හැක කොරන එකනෙ. මං අපේ අප්පොච්චිගෙ කීම අහල මුන්දැ එක්ක ආවෙ ආයෙ වෙන එකෙක් එක්ක යන්නයැ. අප්පොච්චි කිව්වෙ උඹ කලුබන්ඩ එක්ක පලයං මා දූ, උඹට කාලාබීල අහේමක් නැතුං ඉන්න පුලුවන් කියලනෙ. අප්පොච්චි කීව එක අහල එන්නැතුං වෙන එකෙක් එක්ක ගියානම් මුන්දැ මොනා කේන්නද? කිව්වත් වාගේ මුන්දැ මට හොදින් සැලකුව. කිසිදුකක් දුන්නෙ නෑ. මේ ලඟදි ඉදන් හැදුන ඔල්මාදෙ නෙවෙන්න.” ගෑනි හයියෙන් අඬනව.

“හරි ඇහුන නේද කලුබන්ඩ තමුන්ගෙ භාර්‍යාව කියන ඒව. තමුන් අනිවාරතේ භාර්‍යාව සැක කරන්නෙ නැතුව දෙන්න දෙමහල්ලො ආදරෙන් ඉන්න එපායැ. මේ දරුවට හොදට උගන්නල අනාගතේ හොද මහත්තයෙක් කරන්න පුලුවන් ජෝඩුවක්නෙ මේ බොරුවට රන්ඩුවෙන්න හදන්නෙ. මීට පස්සෙ හෙම තමුන් සුදු මැනිකාව සැක කරන්නෙනෑ හරිද?”කලු බන්ඩා ඔලුව වනනව.

“සුදුමැනිකත් දැනගන්න ඕන තමන්ගෙ ස්වාමි පුරුෂය ප්‍රශ්නයක් ඇහුවම ඒකට තරහ නොගෙන ඉන්න. ඇහුනද? මින්පස්සෙ එහෙම රන්ඩු වෙන්න බෑ හරිද?” සුදුමැනික ඔලුව වැනුවා. ආයෙත් දෙන්න එක්ක රන්ඩු නොකරන පොරොන්දුව උඩ දෙන්නම මට ආචාර කරලා සමුගත්තා

ඊට මාසෙකට විතර පස්සෙ ආයෙත් කලු බන්ඩ ආවා.
“හා කොහොමද?” කියල ඇහුවම,

“අනේ ආයුබොවන්ඩ දැන් ගෙදර එකී හා පැංචි වාගෙ කීකරුයි. තමුන්නැහැට පොතිපලේ කියල යන්නයි ආවෙ. හිස් අතින් එන්න බැරි හින්ද මීපැණි ටිහකුත් ඇන්න ආව”  කියල මීපැණි බෝතලයක් මල්ලෙන් එලියට ගත්ත. මේක ප්‍රතික්ෂේප කලොත් මිනිහගෙ හිත සවුත්තු වෙන බව තේරුන නිසා “මට තෑග්ගක් අරං ආපු කලු බන්ඩව හිස් අතින් යවන්න හොඳ නෑනෙ” කියල වාහනේ තිබුන කෑලි තුනේ එවරෙඩි ටෝච් එක කලුබන්ඩට පරිත්‍යාග කලා.

මේ කථාව මම සුදු බන්ඩා ආරච්චි මහත්තයට කිව්වා. ආරච්චිමහත්තය හිනාවෙලා මෙන්න මෙහෙම කිව්වා.

“සර් මේ බින්තැන්නෙ ඉන්න උන් අහිංසක මිනිස්සු. උන් ඔය එක එක විච්චූර්න දන්නෙ නෑ. උන්ගෙ ලෝකෙ තියෙන්නෙ හේනයි ගෑනියි ලමයියි විතරයි. ඔය කාරනා තුනට අනතුරක් වෙයි කියල ඒකෙන් පරිස්සන්වෙන්න බලන එක තමයි බින්තැන්නෙ මිනිස්සුන්ට තියෙන ලොකුම වැඩේ. මේ කාරනා තුන ගැන ප්‍රශ්නයක් මතු උනහම එදා රටේ මහත්තය ලඟට ආවා. ඊට පස්සෙ ඩීආරෝ උන්නාන්සෙ ලඟට ගියා. ඊටත් පස්සෙ කාලෙ උපදිසාපතිතුමා ලඟට ගියා. දැන් මහ ලේකම් හැටියට ඉන්න තමුන්නාන්සෙ ලඟට එනවා. රජයෙන් මොන තනතුරු හැදුවත් මෙහෙ කරන්න තියෙන්නෙ හේනයි ගෑනියි ලමයියි සම්බන්ද ප්‍රශ්න විසදන එක තමයි. ඔබතුමාට ඉස්සරහදි තේරෙයි ඔය මිනිස්සු ගේන ප්‍රශ්න බොහොමයක් ඔය කාරනා තුනට සම්බන්ද බව. කොහොම උනත් දෙන්නටම අවවාද කරල බේරුමක් කල එක වටිනවා”

ඔන්න ඔහොමයි මහඔය ප්‍රාදේශීය ලේකම් කමට තිබුන රාජකාරි. මාසෙකට හමාරකට දවස් කීපයක් ඔය වාගෙ ආරවුල් බේරන එක පස්සෙ සාමාන්‍ය දෙයක් උනා. දැන් මේ කතාවෙ කලුබන්ඩනම් නැතිව ඇති. සුදු මැනිකත් ඉන්නවනම් වයසට ගිහින් ඇති. හැබැයි අර ඇස් දෙක දිලිසුන කලු කොල්ල ගජ ඉලන්දාරියෙක් වෙලා කොහේහරි ඇති.

අද කල්පනා කරන කොට තේරෙනව සුදුබන්ඩා ආරච්චි මහත්තය කිව්ව හේනෙයි, ගෑනිගෙයි ලමයින්ගෙයි ප්‍රශ්න විසදපු එක නේද හැබෑවටම බින්තැන්නෙ මහඔයදි මම කරේ කියල. බලාගෙන යනකොට කලු බන්ඩල සුදුමැනිකෙල වාගෙ අහිංසක චරිතයි ඔවුන් මූණ දීපු ගැටලු සරලව විග්‍රහ කරන්න පුලුවන් අපේ සුදු බන්ඩා ආරච්චි මහත්තය වාගෙ ගැමි නායකයොයි එක්ක ගතකරපු කාලෙ කොච්චර වටිනා කාලයක්ද කියල අද කල්පනා වෙනවා.

Advertisements

9 thoughts on “කලුබණ්ඩගෙ අවුල

  1. පොල්ලෙබැද්ද මතක් වුනා……කස් ගාලා එන හැටියි, කුටාලි වෙන හැටියි…..ඉස්සෙල්ලාම සැරේ එහෙට ගිහිල්ලා මට එයාල කිව්ව දේ කිසිවක් තේරැණේ නැහැ. පස්සේ තමයි යාන්තං වත් වැටහුණේ.
    දිසාපති තුමාට නම් හොදටම හුරැයි වාගේ!!
    තව තවත් ලියන්න…. එයාලව මතක් වෙනකොට දුක හිතෙනවා……තව ගොඩ හරියක් කළ යුතුව තියෙනවා එයාලට…….රජයෙන්!!

    Liked by 1 person

    1. ඔව් මැඩම් ඔබතුමිය බින්තැන්නෙ අහිංසකයින්ට ගෙවල් හදල වරාපිටිය බකිනිගස් දෝව වගේ මහ පාලම් දාල දැන් ක්‍රියාත්මක රඹකැන් ඔය යෝජනාක්‍රමය පටන් ගන්න මූලික ඉල්ලීම කරල කරපු මහ මෙහෙවරෙන් පස්සෙ ඒඅය ගැන බලන්න කෙනෙක් නෑ.අපේ රටේ අවාසනාව අවංකව වැඩකරන අය වෙනුවට කපටින් ඉදිරියට ඇව්ත් රඟපෑම අම්පාරෙත් හොදටම වෙනවා.

      Like

    1. ඒකනෙ කියන්නෙ.මේකොලඹ කන්තෝරුවල පයිල් ගොඩවල් බදාගෙන කරනදේටවැඩියකොච්චර සුන්දරද ඒරාජකාරි.

      Like

  2. එක අතකින් එහෙම ආරවුල් බේරණ එක ලේසියි. දැංකාලෙ තියෙන ආරවුල් කෙලවර වෙන්නෙ සමහර වෙලාවට වැරදිකාරය අහක ඉන්දැද්දි අපේ පිට වරද පැටවිලා.

    ඔය වගේම තවමත් හේනට, පවුලට, දරුවට තනිවෙච්ච ජීවිත තියෙනවා. රිදීමාලියද්දෙ සමහර ගම්වල දරුවො තවමත් පරිගණකයක් අතිං අල්ලල නෑ කියලා මගේ හිතවතෙක් කිව්වා.

    Like

    1. මට හිතෙන්නෙ සුරංග ඒතනිවීමක් නෙවෙයි අවශ්‍යතා අඩුවීම මත තෘප්තිමත්ව සිටීමක් කියලයි

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s