සුදු බන්ඩා ආරච්චි.

මහඔය සුදු බන්ඩ ආරච්චි මහත්තය ගැන මේ දක්වා ලියපු කතා කීපෙකම සඳහන් කලා මතක ඇතිනෙ. මහඔය මගේ රාජකාරි කාලය තුලදි බොහොම සමීපව ඇසුරු කල බින්‍තැන්න වාසී ම්නිසා තමයි සුදු බන්ඩා ආරච්චි මහත්තය කියන්නෙ. සුදු බන්ඩා ආරච්චිල පදිංචිය මහඔය නගරෙමයි. මහඔය චෙන්කලාඩි පාරෙ කඩ පේලිය පහු කරනවත් එක්ක දකුණු අත පැත්තෙ තිබුන පරණ ගෙදර තමයි ආරච්චි මහත්තයගෙ ගෙදර. මේ ගෙදර ප්‍රධාන දොර උඩින් සීවලී පින්තූරයක් ගහල තිබුනා. ශ්‍රී වික්‍රම මුදියන්සේලාගේ සුදු බන්ඩා තමයි ආරච්චි මහත්තයගෙ නම. කලු පැහැයට හුරු තල එළලු, වැඩිය උස නැති ආරච්චි මහත්තය ඇන්දෙ ජාතික ඇඳුම. කුඩයක් අතේ තියන එකත් අනිවාර්‍ය අංගයක්. මම මහඔය වැඩ භාරගෙන දවස් දෙකකින් විතර මාව හම්බුවෙන්න ආපු ආරච්චි මහත්තය තමන්ව හදුන්වාදුන්නෙ මහඔය හිටපු ආරච්චි කියල. රාජකාරි කාලෙ ගැන විපරම් කරාම දැන ගත්තෙ සුද්දගෙ කාලෙ රටේ මහත්වරු එක්ක වැඩකල කෙනෙක් බව. එවෙලෙ ඉඳන්ම මට හිතට අල්ලල ගිය ආරච්චි මහත්තයව ආශ්‍රය කරන්න උනහම ඒ හිතවත් කම වැඩිවෙලා ලොකු ගෞරවයක් බවට පෙරලුනෙ එතුමා තුල දැකපු බොහොම උසස් ගතිගුණ නිසා.

ආරච්චි මහත්තයගෙ වාසගම අමුතු නිසා ඒ ගැන ඇහුවම අපූරු විස්තරයක් කලේ මෙන්න මෙහෙම.
“සර්, අපි ශ්‍රී වික්‍රම මුදියන්සෙලාගෙ පරම්පරාවෙ උදවිය. අපේ පරම්පරාව සිංහලේ අන්තිම රජ්ජුරුවන්ට නෑ සම්බන්ඳකම් සමීපව තිබුන උදවිය. 1815රජ්ජුරුවන්ව අල්ල ගත්තට පස්සෙ නෑ පරම්පරාවල අයත් ඇල්ලුවා. අපේ මුත්ත නුවරින් පැනල බින්තැන්නට ආව.බින්තැන්න ඔය කාලෙත් මහ වනන්‍ය්හර.වැද්දො තමයි වනන්තරේ හිටියෙ.අපේ මුත්තගෙ පවුලෙ අයත් එක්ක ඔමුනුගලේ ගල්ගෙවල්වල ඉදල පස්සෙන්පහු හේන් ගොවිතැනට බැස්සා.මේවැඩවලට උදව් කරේ වැද්දො.ඉන්පස්සෙ ඔමුනුගලේ පදිංචි පරම්පරාව පස්සෙ ටැම්පිටියට මාරු උනා.ටැම්පිටියෙන් තමයි මහ ඔයට ආවෙ.”

“හැබෑවටම එහෙනම් ආරච්චි මහත්තය නායක්කර් රජ පරපුරේ කෙනෙක්.”

“මේමොනව කියනවද සර්.ඒකඑහෙම නෙවෙන්නම් පේන්නෙ නැතිද හැබෑවටම මේ මමත් ටිකක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො වගේ නේද?”ආරච්චි මහත්තය හයියෙන් හිනාවෙලා ඇහුව.

“ආරච්චි මහත්තය ඕක කාටවත් ඇහෙන්න හෙම කියන්න එපා.මහ කරදරේක වැටෙන්න ඉඩ තියෙනවා.”

හැබෑටම සර් අල්ලගෙන ගිහින් ඔටුන්න දීල මේරට පාලනය කරන්න හෙම කිව්වොත් වහටිකක් කන්න වෙන්නෙ.ඇයි මේදැන් තියෙන රට මහසෝනටවත් පාලනය කරන්න පුලුවනෑ.” ආරච්චි මහත්තය කිව්ව.

තමන්ගෙ පරපුරේ ඉතිහාසෙ එහෙම කිව්වෙ පුරාජේරුව කියන්න නෙවෙයි.පරම්පරාගත කතාව නිසයි කියල ආරච්චි මහත්තය ගෙ විහිලුවෙන් තේරුනා.

පරන ආරච්චි උනාට අපේ කතා නායකයා.මහඔය හොදම උපාසක මහත්තය.බොල්ලෑගල රජමහ විහාරෙ ප්‍රධාන දායකය.පංසලේ කෙරෙන සෑම කටයුත්තකම ගිහි ප්‍රධානිය උනේ ආරච්චි මහත්තය.වස් පිංකම් දානෙ සීට්ටු බෙදිල්ල වෙනත් පිංකම් සංවිදානය හාමුදුරුවන්ගේ කටයුතු ආදී බොහෝ කාර්‍යන් මේ යටතේ ආරච්චි මහත්තය කලා.මහඔය නායක හාමුදුරුවෝ කැකිරිහේනේ සීලානන්ද හාමුදුරුවෝත් පොඩි හාමුදුරුවො ඉද්දපොල සුමේධ හාමුදුරුවොත් එක්ක බොහොම සමීපව මේ කටයුතු කරන්න ආරච්චි මහත්තය ක්‍රියාකලා.

ආරච්චි මහත්තය මහඔය වැව යටතෙ කුඹුරු කල ගොවියෙක්.ගොවීන්ගෙත් නායකය වගේ කටයුතු කලා.වැව සම්බන්ද සියලුකාරනා බැලීම වගා කාලසටහන් වගාකරන වීවර්ග නිර්දේශ කිරීම කෘෂිකර්ම නිලදාරීන් සම්බන්ධිකරනය මේසේරම ආරච්චි මහත්තයගෙ රාජකාරි.මහඔය වැව විතරක් නෙවෙයි අහලගම් හතක වැවක ප්‍රශ්නයක් නම් ආරච්චි මහත්තය මැදිහත් වෙනවා.වැවක කුඹුරක හේනක ගොවියෙක්ගෙ කිරිගවපාලනේ ප්‍රශ්න තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න වාගෙයි ආරච්චි මහත්තයට.

ඒත් එක්කම සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් පිලිබඳව තිබූ උනන්දුව ඉතාම ඉහලයි.ආදිවාසීන්ගේ සංස්කෘතිය ජන ඇදහිලි ජන විශ්වාස දේශීයවෙදහෙදකම් කෙම් ක්‍රම ගැන හොඳ අවබෝධයක් තිබුන ආරච්චි මහත්තය ඒගැන කතාකරන්න හරි කැමතියි.වැදි ජනයාගේ ශාන්ති කර්මයක් ලෙස “ගල යකුම” නම් ශාන්ති කර්මයක් පිලිබදව එක් සන්ධ්‍යා භාගයක මට විස්තර කල ආරච්චි මහත්තයා දැන් වැද්දන් අතර ඒවා දන්න අය නොමැතිවීම ගැන මහ විස්සෝපයෙන් කතාකලා.මේසමානව බින්තැන්නෙ ගහකොල සතාසීපාවා ගැනත් පූර්න අවබෝධයක් තිබීමත් ආරච්චි මහත්තයගෙ විශේෂයක්.මේ විදියට බින්තැන්නපිලිබඳව විශේෂ දැනුමක් සහිත කෙනෙක්ගෙ ඇසුරෙන් බොහෝදේ ඉගෙන ගන්න මට පුලුවන් උනා.

දවසක් ආරච්චි මහත්තය කාර්‍යාලෙට හදිසියෙම ඇවිල්ල මහඔය වැවේ ජල කාන්දුවක් ගැන කිව්වා.මේජල කාන්දුවට පිලියම් නොකලොත් වැව් බැම්ම බිඳීයන බවයි ආරච්චි මහත්තය කිව්වෙ.පාලාත් වාරිමාර්ගෙ කාර්මික නිලදාරිත් එක්ක ජල කාන්දුව පරීක්ෂා කරල අලුත් වැඩියා කරන්න කිව්වම පලාත් වාරිමාර්ගෙ සල්ලි නෑ.මම මගේ කාර්‍යාලෙන් රුපියල් 10000/=වැඩේට දුන්නා.මේසල්ලි වලින් වැඩේකරත් කාන්දුව සම්පූරනෙන් නැවතුනේ නෑ.

සතියකින් විතර මහවැස්සෙ හවස හතට විතර වැව් බැම්ම කඩල ගියා.කාටවත් අනතුරක් නූනත් වැවේ වතුර නැතිඋනා.මේකෙන් මහඔය වැවේ කුඹුරුයාය පාලු උනා.වැවේ අලුත් වැඩියාවට ලක්ෂ දහයක් විතර ඕන උනත් පලාත් සභාව සල්ලි වෙන්කරලා තිබුනෙ නෑ.දැන් වාගෙ නෙවෙයි ඒ ගාන ඒකාලෙ ලොකු ගානක්.ආරච්චි මහත්තය ඇමතිතුමාටත්(පී දයාරත්න මහතා)කියල බැලුවත් මුදල් හොයා ගන්න බැරි උනා.මේවෙනකොට පලාතෙ ආණ්ඩුකාරතුමා වෙලා හිටියෙ ප්‍රවීන පරිපාලන නිලධාරියෙක් වුන ලයනල් ප්‍රනාන්දු මැතිතුමා.එතුමාමේ අතර දිනක අම්පාරෙ කච්චේරියෙ රැස්වීමකට ඇවිත් රාත්‍රියෙ දිසාපති මැදුරෙ නැවතුනා.රාත්‍රි ආන්ඩුකාරතුමා අපි කීපදෙනෙකුට මුන ගැහුණෙ දිසාපති මැදුරෙදියි.එතනදි ආන්ඩු කාරතුමා මට කිව්ව මහඔය එන්න කැමතියි සංචාරයක් සූදානම් කරන්න කියල.මම බොහොම සතුටින් ඊට එකඟ උනා.ආන්ඩුකාරතුමා මට මෙහෙම කොන්දේසියක් දැම්ම.

“හැබැයි සුනිල් මගෙ සංචාරෙ සද්ද බද්ද තියෙන්න බෑ.පොලිසීය වට කරගෙන හිරකාරයෙක් වාගෙ නැතුව නිදහසේ ඇවිදින්නයි මට ඕන”ලයනල් ප්‍රනාන්දු ආන්ඩුකාරතුමා හිනාවෙලා කිව්ව.

මම සංචාරය සූදානම් කලා මහඔය සංචාරක බංගලාව වෙන්කරල පොලිස් ආරක්ෂාව සිවිල් ඇදුමෙන් ඉන්න අය යෙදෙව්ව.ආන්ඩුකාරතුමා ගුවනින් අම්පාරට ඇවිත් කච්චේරියෙ වාහනයක මහඔය ආව.ගනේශ් සර් එතකොටත් ප්‍රධාන ලේකම් හා ආන්ඩුකාර ලේකම් එයත් ආව.උතුරු නැගෙනහිරදෙපලාතේ පූර්න බලධාරියා කිසිදුආරක්ෂාවක්නැතුව ලේක ම් එක්ක මහඔයට ඇවිත් සංචාරක බංගලාවට ගොඩ උනා.ආන්ඩුකාරතුමා එක්ක තේ බීල කතාකරකර ඉන්න කොට මට ජනේලෙන් පාර පේනවා.සුදුබන්ඩා ආරච්චි මහත්තය කුඩේ පිටිපස්සට කරගෙන පාරෙ පදියතලාව පැත්තට යනව.ආපහු මහඔය පැත්තට යනව සංචාරක බංගලාව දිහා බොහොම විමසිල්ලෙන් බලාගෙන තමයි මේ දෙපැත්තට යන්නෙ.දැන් මට කල්පනා උනේ ආරච්චි මහත්තයගෙ ඔලුවෙ තියන අදහස් ටික.මේ විපරම ඇවිත් ඉන්නෙ කව්ද කියලයි.අමුත්තෙක් ඉන්න නිසා එකපාරට එන්නත් බෑ.ඉතින් මේ පැත්ත බලබල එහාට මෙහාට යනවා.මේටික මතක් වෙලා තනියම හිනාගියා.

“ඒයි මොකද ගෙදර මතක් උනාද?”ආන්ඩුකාරතුමා අහනකොට තමයි ආයිත් සිහිය ස්තානගත උනෙ.

“සොරි සර්” මමකිව්වා.

“සොරි නෙවෙයි ගනේශ් මූ බර කල්පනාවක හිටියෙ හිනාත් ගියා. මොකද උඹ හිනාඋනේ මොකක් හරි හොරයක් තියෙනවා”.

“නෑ සර් අර පාරෙ ඇවිදින කෙනා පේනවද?”මම ඇහුව.

කවුද අර මාටින් වික්‍රමසිංහ ශෛලියෙන් කුඩේ තියන් යන කෙනාද?”ආන්ඩුකාරතුමා ඇහුව.

“ඔව්සර් එයා මෙහෙ සුද්දන්ගෙ කාලෙ ආරච්චි. දැන් ආපහු අනිත් අතට එයි. ඔය ඇවිදින්නෙ මේ ඇවිත් ඉන්නෙ කව්දකියල විපරමින් මට හිනා ගියේ එයාව දැකල.

“හැබෑටම යකෝ ආරච්චි ගෙන් අවසරගන්නත් ඕනද මෙහෙ එන්න.”

“නෑසර් මේදවස් වල එයාඉන්නෙ වැව හදාගන්න විදියක් නැතුව කනගාටුවෙන් ඒකට උදව් ගන්න කෙනෙක් ඇවිත්ද කියලයි ඔය බලන්නෙ.”

“බොරු කියන්න එපා අම්මප එහෙමද?”

“නෑ සර් ආරච්චි මහත්තය මගෙ යාලුව එයා කතාකරන්නෙ පොදු වැඩ ගැන තමයි දැන් ගෙන්නල ඇහුවොත් වැව හදාගන්න උදව් ඉල්ලයි.”

“එහෙනම් ගෙන්නපං බලන්න. හැබැයි මෙතන ඉදන් කතාකරපං මිනිහට”.

මමජනේලෙ ලඟටගිහින් අත්පුඩියක් ගහල ආරච්චි මහත්තයට අත වැනුවා.ආරච්චිමහත්තය කඩිසර ගමනින් ඇතුලු උනා පෝටිකෝවට එනකොට ඇතුලට එන්නැයි කියල කතාකලා.ඇතුලු වෙනකොට දොර ලඟට ගියමම
“එන්න එන්න ආරච්චිමහත්තයා මේ අමුත්තෙක් අදුන්වාදෙන්න” මමකිව්වා.

“මාත් ඒකතමයි බැලුවෙ මේ කව්දැයි ඇවිත් ඉන්නෙ කියල” ආරච්චි මහත්තය කියනවා.

“ආරච්චි මහත්තය මේ උතුරු නැගෙනහිර ආන්ඩුකාර තුමා අර ඉන්නෙ ප්‍රධාන ලේකම්තුමා.”
ආන්ඩුකාරතුමා “ආයු බෝවන් ආරච්චි මහත්තයා කියල ආචාර කලා”.
ආරච්චි මහත්තය කුඩෙ බිමදාලා නැමිල ආචාර කරා.
“අම්මප සර් දෙයියො දුන්න වගේ තමුන්නාන්සෙ යහපත් උනේ .අපේ වැව හදාගන්න උපකාරයක් කරගන්න පුලුවන් වෙයි අදනම්” කියල කියන ගමන්ම.

ලයනල් ප්‍රනාන්දු ආන්ඩු කාරතුමාගෙ හැමදාම ලස්සන හිනාව ඒ වෙලාවෙ විතර ලස්සනට ආයි කවදාවත් දැක්කෙ නෑ. මම කියාපු දේ හරියටම හරිගියා. මේ අතර ආන්ඩුකාරතුමයි ආරච්චි මහත්තයයි කතාවට වැටුනා.දෙන්න බරට මහඔය ගැන සාකච්චාව.ආදිවාසී ජන සංස් කෘතිය ගැන ආරච්චි මහත්තය මනමේ නාට්‍යයෙ දෙටු වැද්දට විස්තර කරපු අපූරුව දැනුත් සිහිපත් වෙනවා.කොහොමෙන් කොහොමහරි බිදීගිය මහඔය වැව සහ කුඹුරු යාය බලන්න ආණ්ඩුකාරතුමා ව එක්කගෙන යන්න ආරච්චි මහත්තයට පුලුවන් උනා විතරක් නෙවෙයි ආන්ඩුකාර අරමුදලින් වැව හදන්න සල්ලිත් දෙන්න ආන්ඩුකාරතුමා පොරොන්දු උනා.ආන්ඩුකාරතුමා දින දෙකක් මහඔය හිටියා.එතුමා මට කිව්වා ආරච්චි මහත්තයගෙ නම වැවට දාමු කියල.මමත් එකඟ උනා.වැවහදල ඉවරවෙන්න කලින් ලයනල් ප්‍රනාන්දු මැතිතුමා කොලඹ ජනමාධ්‍ය ලේකම්කමට පත් වී පලාතට සමු දුන්නා.වැවහදල ඉවර කරල ආරච්චි මහත්තයගෙ නම ඒකට දාන්න ආන්ඩුකාරතුමා හිතාහිටි බව මම ආරච්චි මහත්තයට කිව්වෙ එතුමා කොලඹට ගිය පුවත කියන අතරෙදියි.බොහොම ප්‍රීතියෙන් ආරච්චි මහත්තය ආන්ඩුකාරතුමාට ස්තූති කරල ලිපියක් යැව්වා.එතුමා ආරච්චි මහත්තයගෙ දුක සැප අහල ලියුම් එව්වා.මේව පෙන්නල ආරච්චි මහත්තය හරියට සතුටු උනා.

දවසක් හවස මගෙ නිලනිවාසෙ ඉන්න දිනක ආරච්චි මහත්තයසුපුරුදු හවස සකච්චාවෙදි මට කිව්වා වැවටඑයාගෙ නම දාන්න එපාකියල

“ඇයි ආරච්චි මහත්තය බොහොම කැමැත්තෙන් හිටිය කියලයි මම හිතුවෙ මේ වැඩේට.”

“සර් පෘතජ්ජනයෙක් හැටියට මම ඒක අහනකොට සංතෝසයක් දැනුන එක ඇත්ත.ඒත් මම මේ ගැන හුඟක් හිතල බැලුව.මේ පොදුයහපතට යම්‍යම් කර්මාන්ත කරහම ඒවට කරවපු ඇත්තන්ගෙ නම දාන එක කරන්නෙ පස්සෙන් පහු එන පරම්පරාවල අයනෙ.දැන් මේ වැඩේ බැලුවම වැව මම හදපු එකක් නෙවෙයිනෙ.මේක අලුත් වැඩියාවත් මම කරනව නෙවෙයි. මම කරේ කැඩුන වැවහදන්න සල්ලිදෙන්න කියල ඉල්ලපු එක විතරයි.අපේ ආන්ඩුකාරතුමාට බුදු බව අත් වෙන්න එතුමා සල්ලි දුන්න.තමුනනාන්සෙ මම ගැන ආන්ඩුකාරතුමාට කිව්ව නිසා එතුම පැහැදුන.මේ සල්ලි පලාත් ආන්ඩුවට මහ ආන්ඩුව දුන්න.මහ ආන්ඩුව මිනිස්සුන් ගෙන් මේ සල්ලි එකතුකරා.දැන් එතකොට මගේ නම දාන එක හරියි කියන්නෙ කොහොමද?මේ වැවත් ඔය අනිත් වැව් වාගෙ ගමේ නමින්ම තිබ්බාදෙන්. ඕකට මගේ නම දැම්මොත් මේ සේරම කරන්නෙ මට වාසියකට කියල හිතන්නත් බැරි නෑ.අනික ඔයවැව හදල වතුර පිරිල අරවෙල්‍ යාය පැහෙනව දැක්කම ඇතිවෙන සංතෝසෙ ටත් බාධාවක් වෙනව මේකට මැදිහත් වෙච්ච හිලව්වට නම දාගත්ත නේද කියල කල්පනාවෙන කොට.දැන් අපි කාට කාටත් සමෝසමේ සංතෝස උනහැකි නොවැ.”

ඔන්න ඔහොමයි ආරච්චි මහත්තයගෙ කල්පනාව.ඉතින් ඒකට විරුද්ධ වෙන්න පුලුවන්ද හැබෑටම.අදත් ඔය කියන වැව මහඔය වැවමයි.ආරච්චිමහත්තය දෙවිකෙනෙක් වෙලා බින්තැන්නෙම ඇති.

Advertisements

6 thoughts on “සුදු බන්ඩා ආරච්චි.

  1. සුදු බණ්ඩා ආරච්චිල “මනමේ” වගේ නාට්‍ය ගැන ලයනල් ප්‍රනාන්දු මහත්තයා එක්ක කතා කෙරුවාම ලයනල් මහත්තයා තවත් සන්තෝෂ වෙන්න ඇති.
    දැන් නම් කොහෙද “සුදු බණ්ඩා ආරච්චිල ලා” දැන් ඉන්න තරමක් ඉන්නේ “නිශ්ශංකමල්ල ලා”

    Like

  2. මේ සටහන් කියවන එක දැං මගේ ‘ඊලඟ බලාපොරොත්තුව ‘ වෙලා.. සුදු බණ්ඩා ආරච්චිල ලා වගේ අය දැන් හොඳ හිතවත්තු.. ඊලඟට බලං ඉන්නේ අෂ්රෆ් මහත්මියගේ කමෙන්ට් එක කියවන්න.. :))

    Like

    1. මම මේ උත්සාහ කරන්නෙ මම ඇසුරු කල මේ චරිත ගැන වර්තමානයට හදුන්වා දෙන්නයි.අෂ්‍ රෆ් මැඩම් 2000-2010වකවානුවේ බින්තැන්නේ ජනතාවට බොහෝ උපකාර කල කෙනෙක් .ඒ5මාර්ගයේ පමනක් තිබූ ප්‍රවාහන පහසුකම් බින්‍තැන්න ඇතුලු ගම්වලට ගෙන යාම ඇරඹුවේ ඇයයි.බින්තැන්නේ පමනක් නිවාස 2500කට අදික ප්‍රමානයකට සංවර්දනය කිරීමට උදව් කලේඇයයි.

      Like

  3. “අසුවල් මැතිතුමාගේ ආරාධනයෙන්, අසුවල් මැතිතුමාගේ මග පෙන්වීමෙන්, අසුවල් මැතිතුමාගේ අනුශාසකත්වයෙන්, අසුවල් මැතිතුමාගේ විමධ්‍යගත අරමුදලින් වෙන්කල මුදලින් අසුවල් මැතිතුමා විසින් අසුවල් දින මුල්ගල් තැබූ මේ බෝක්කුව අසුවල්පතිතුමාගේ “@#%&*$%&” සංකල්පය අනුව ඉදිකරනු ලදුව අසුවල් දින, අසුවල් මැතිතුමාගේ මූලිකත්වයෙන් හා අසුවල් මැතිතුමාගේ ආරාධනයෙන් අසුවල් මැතිතුමා විසින් විවෘත කරන ලදී. මේ සඳහා අසුවල් අසුවල් මැතිතුමන්ලාද සහභාගී විය.”

    කියලා කොටපු සමරු ඵලක මතක් වෙනවා.

    Like

    1. මේ වැඩේ ක්‍රිස්තු පූර්ව කාලෙ ඉදන් තියෙන එකක් වල්ලිපුරම් රන්පත ලියල තියෙන්නෙ මෙහෙමයි .”සිධ මහරජ වහයභ සමේ අමෙත ඉසිගිරිය නකදිව බොජෙමිනි බදකර අතනහි පියඟුකුතිස විහෙර කරිත.”
      “යහපතක්මවේවා වසභ මහරජුගේ කාලයේ ඉසිගිරිය අමාත්‍ය වරයා නාගදීපය පාලනය කරමින් බදකර අතන නම් ස්තානයේ පියංගුක තිස්ඩ විහාරය කරවන ලදී”මේතමයි තේරුම එදාට වැඩිය අදවෙනස එදා තම පුද්ගලික ධනය යොදවා කලදේ අද පොදු ධනයෙන් කර තමාගේ නම ගසා ගැනීමයි.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s