රාලහාමිගෙ අලකලංචිය.

මහඔය රාජකාරිය කරන කොට මහජන සම්බන්ධතාවෙ හොඳට පවත්වගන්න එක තමයි මගෙ පලමුවැනි ඉලක්කය උනේ. කාර්‍යාල කළමනාකරණය, ගිනුම්කරණය පිලිබඳ මහා පලපුරුද්දක් සහිත සහකාර ලේකම් යූ පී පියදාස මහත්තය නිසා ඒව ගැන මට හොයන්න බලන්න දෙයක් තිබුනෙ නෑ. යූ පී සියල්ල කරට අරගෙන කටයුතු කරපු දක්ෂයෙක් නිසා මට බාහිර කටයුතුවල නිරතවෙන්න ඉඩකඩ ලැබුනා. ඉතින් මම මහඔය හෑමතැනකම ඇවිදිමින් මහජනතාව හමුවෙමින් ගැටලු සොයාබලමින් හේන් යායවල සැරිසරමින් කටයුතු කලා.

මහඔය පළමු කාර්‍යමංඩල රැස්වීමේදීම රාජකාරි වෙලාවේ මත්පැන් භාවිතය ගැන අනතුරු ඇඟවීම් කර එබඳු අවස්ථා අසු උනොත් අනිවාර්‍යෙන් වැඩ තහනම් කරන බව දැනුම් දීම් කලේ මහඔය නිලදාරීන් ගැන තිබුන ආරංචි හොද නැති නිසයි. ග්‍රාම නිලධාරින්ගේ සකච්ඡාවල මේ කාරණය යලි යලි මතක් කලේ ග්‍රාම නිලදාරීන් කීප දෙනෙක්ම රාජාකාරි අතරේ සුරාමේරය මද පමණ කරන බවට ලැබෙන දූෂමාන ආරංචි හින්දමයි. මේ විදියට තද නීති දාගෙන හිටියට අපේ ග්‍රාම නිලධාරි මහත්වරු දෙතුන් දෙනෙක්ම හොරෙන් හොරෙන් මේ වැඩේ කලා. මමත් හරියට අහුවෙනකම් හිටපන්කො කියල බලාගෙන හිටියෙ අපේ මිනිස්සු ටික හොඳට රාජකාරිය කරන අය නිසයි. මහඔය ඔය කාලෙ හිටිය ග්‍රාම නිලදාරින් අතර සුභසිංහ , මැනික්දිවෙල, පියසේන ගුණරත්න (පානම), ගුණරත්න (මංගලගම), ජයසේන, වීරසේකර, කලු බන්ඩා, කරුනාරත්න වාගෙ අය හිටියා. මේ හැමෝම හොඳට වැඩකලා. පුංචි පුංචි ප්‍රශ්න තිබුනට ඒව ගනන් ගන්නෙ නෑ වැඩකරන අයගෙ. එක් ග්‍රාමනිලදාරි කෙනෙක් හිටියා බොහොම දක්ෂ සංවිධායක කෙනෙක්. මිනිහ හොද කථිකයා. පොදු වැඩවලටත් ඉදිරිපත් වෙලා වැඩ කරා. විශේෂ සේවා නිලදාරි හැටියට රස්සාවට ආපු මේ රාලහාමි රස්සාවට එන්න පෙර ඇමතිතුමාගෙ සංවිධායකවරයෙක්. ඒ වෙනකොටත් ඇමතිතුමා මිනිහට හොඳට සලකනවා. විශේෂයෙන් ඇමතිතුමා මහඔය ඉන්න දවස් වල ලඟට ගොහින් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදාදෙන්න මැදිහත් වීමත් මේ රාලහාමි කලා. දේශපාලන බලයක් තිබුනට මිනිහ ප්‍රධානීන්ට ගරු සැලකිලි උපරිමයෙන් කලා. ඒක නිසා මෙයා කා අතරත් ජනප්‍රියයි. මේ රාලහාමිගෙ නම නොලියා ඉන්න එක හොඳයි මොකද, මේ කතාවෙ සිද්දිය ගැන නොදන්න දූදරුවන්ට ගැටලු ඇති උනොත් හොඳ නෑ.

හැබැයි මේ රාලහාමි සුරාව පාවිච්චිය ගැන ටිකක් නම් දරාපු කෙනෙක්. අවස්ථා දෙක තුනක බීමත්ව විවිධ ස්ථානවල දකින්න ලැබුනා කියන ආරංචි පිලිබඳව මගේ විමසීමට ලක් වෙලා හිටියා. යලිත් අවවාද නැති බවත් දඬුවම් විදීමට සූදානම්ව බීම කරන ලෙසට අවසාන අවවාදයත් රාලහාමි වැඩි කලක් නොගිහින් ලබාගත්තා. මේ අතර එක අඟහරුවාදා දිනයක තරුණයෙක් ඇවිත් පැමිණිල්ලක් කලා. පැමිණිල්ලෙන් කියවුනේ මේ රාලහාමි හමුවෙන්න ගියවිටදී බීමතින් බැණ වැදී එලවාගත් බව. රාලහාමි නිවසේ ඉන්න බවත් සෑමදෙනාටම බැණ වදින බවත් පැමිනිලිකරු වැඩිදුරටත් කියා හිටියා.

වහාම සහකාර ලේකම් පියදාස මහතාට කතාකලා.

“යූ පී මොකද කරන්නේ හදිසි වැඩක්ද?”

“නෑ සර් ලොකු දෙයක් නෙවෙයි. ඇයි?”

“එහෙනම් දින පොතත් අරගෙන එනවද පොඩි ගමනක් යන්න.”

“ඈතකටද නැතිනම් ඉක්මනින් එන ගමනක්ද?”

“ඕනෙනම් විනාඩි දහයක් යයි.”

“හා යමු” යූ පී කිව්ව.

වාහනේ යූ පී වත් නග්ග ගෙන රාලහාමිගෙ ගෙදර ට ගියා. යූ පී කතාවක් නැතුව ඉස්සරහ සීට් එකේ. මම වාහනය එලවනව. අදාල රාලහාමිගෙ ගෙදර මහපාර අයිනෙ. ගේ ඉස්සරහ වාහනේ නතර කරල හෝන් එක ගැහුව. කව්රුවත් නෑ. තවත් කීපසැරයක් හෝන් ගහන කොට රාලහාමිගෙ හාමිනේ වෙන ගෙදරක ඉඳල ඔලුව එලියට දැම්ම. වාහනේ අඳුන ගත්තු හාමිනේ දුවගෙන ආව.

“කෝ රාලහාමි?” මම ඇහුව.

“ගෙදර ඉන්නව සර්” හාමිනේ කියනව.

“කෝ කතාකරනව බලන්න රාලහාමිට.”

හාමිනේ නිහඬව ඇඹරෙනවා.

“කෝ මොකද ඇඹරෙන්නෙ? ඉක්මනට අපි යන්න ඕන.”

“අනේ සර් රාලහාමි ඉන්නව බීල ඉන්නෙ හොඳටම. මම ඒකට දොස් කිව කියල මාවත් පන්න ගත්ත ගෙදරින්. මම ළමයි එක්ක අර ගෙදරට වෙලා ඉන්නෙ.”

“හා එහෙමද? එහෙනම් අපි බලමු යූ පී රාලහාමිව” කියල වාහනෙන් බැහැල දෙන්න එක්ක ගෙදරට ගොඩ උනා. ඇතුලු වෙන තැන සාලේ රාලහාමි වැතිරිලා ඉන්නව බිම. ටිකක් දඟලනව. මොන
මොනවද කිය කියා කෙල ගහනව.

“යූ පී, අපේ රාලහාමිට අමාරුයි වගේ නේද”

යූ පී හිනා උනා.

“දිනපොතේ සටහනක් දාන්න යූපී රාලාහාමිගෙ තත්වය ගැන. අපි යමු” කියල එලියට ආවා.

“කෝ රාලහාමිගෙ හාමිනේ? රාලහාමිගෙ වෙරි බැස්සම කියන්න වැඩ තහනම් ලියුම තැපෑලෙ එයි” කියල. ආපසු කාර්‍යාලෙට ආවා.

කාර්‍යාලෙට ආපු විගස රාලහාමිගෙ වැඩ තහනම් කරල ලියුමක් ගැහුව. ලියාපදිංචි තැපෑලෙන් යැව්ව. කාර්‍යාලයට පැමිණීම තහනම් කරා. දෙවනි නියෝගයක් නිකුත් කලා වාචිකව. කාර්‍යාලයට සම්බන්ධ කිසිඳු නිලධාරියෙකු අදාල රාලහාමිගේ ප්‍රශ්නය පිළිබඳව මා සමඟ කතාකිරීම තහනම් බව ඒ නියෝගයෙන් දැනුම් දුන්නා. එතැනින් පස්සෙ සාමාන්‍ය විදියට දවස ගත කලා. අදාල රාලහාමිගෙ වසමට වැඩ බලන රාලහාමි කෙනෙක් පත් කලා. දෙවෙනි දවසෙ රාලහාමිගෙ වසමෙ කෙනෙක් ඇවිත් රාලහාමි සනීප නැතුව ස්ප්‍රිතාලෙ බව කියා රාජකාරියක් ගැන ඇහුවා. වැඩ බලන රාලහාමිට යොමු කලා මිනිහව. මේ විදියට දවස් දෙක තුනක් ගත උනා. දවසක් හවස අම්පාරෙ ඉන්න කොට දයාරත්න ඇමතිතුමා ටෙලිපෝන් කරා.

“ප්‍රාදේශීය ලේකම්තුමා අර රාලහාමිගෙ ප්‍රශ්නෙට මොකද කරේ?”ඇමතිතුමා ඇහුව.

“ආ සර් එයාව ඉන්ටර්ඩික් කරලනෙ තියෙන්නෙ.”

“ඇත්තටම ඉන්ටර්ඩික්ද?”

“ඔව් සර් ආයි බොරුවට ඉන්ටර්ඩික් කරන්නෙ නෑනෙ” මම කිව්ව.

“ඔය යකා හොඳ මිනිහ, හැබැයි දුර්වලකම ඉතින් ඔය බොන එක තමයි. දැන් මිනිහ අමාරුවෙනෙ එතකොට.”

“ඔව් සර් දිගටම කිව්ව ඇහුවෙ නෑ. ඉතිං මටත් වෙන කරන්න දෙයක් නෑ. දැන් ඉතින් චාජ් සීට් දීල ඉන්ක්වරියක් තියන්න ඕන”

“බලන්නකො එහෙනම්. මේ යකාගෙ ජොබ් එක බේරුනොත් ඇති” ඇමතිතුමා ටෙලිපෝන් එක තිබ්බ.

තවත් සතියකට පස්සෙ හවස්වරුවක සුදු බන්ඩා ආරච්චි මහත්තයා කාර්‍යාලෙට ගොඩ උනා. සාමාන්‍ය දේවල් ගැන අපි දෙන්නගෙ සුපුරුදු සංවාදෙ අතරදි ආරච්චි මහත්තය අහනව මෙහෙම.

“තවත් කාරණාවක් තියෙනව මට ඔබතුමා එක්ක කතා කරන්න. ඒකට පොඩි බාධාවක් තියනවනෙ.”

“මොකක්ද ආරච්චි මහත්තය බාධාව?”

“තමුන්නාන්සෙගෙ තහනම් නියෝගයක් තියනවනෙ අර රාලහාමි ගැන කතා කිරීමට. මට ඕන ඌ ගැන කතාකරන්න නෙවෙයි, උගෙ පුංචි එවුන් ගැන කතාකරන්න. ඒකට අවසරද?”

“මගේ තහනම් නියෝගෙ බලපවත්වන්නෙ මගේ කාර්‍යාලෙට සම්බන්ද නිලධාරින්ට විතරයි. ආරච්චි මහත්තය මගෙ යාලුවෙක්නෙ. රාලහාමි ගැන උනත් ආරච්චි මහත්තයට පුලුවන් මගෙ එක්ක කතාකරන්න” මම කිව්වා.

“ඌ ගැනනම් මම කතාකරන්නෙ නෑ. මගෙ ලඟ නෑයෙක් ඌ. ඒ වුනාට කරල තියෙන වැඩේ වැරදි නිසා කතා කරන්න බෑ. ඒඋනාට මූට රස්සාව නැති උනොත් උගෙ පොඩි උන් අනාථ වෙනව. ඒක තමයි මට තියෙන ප්‍රශ්නය”

“ඉතින් ආරච්චි මහත්තය, මිනිහ ඒ ගැන හිතල හැසිරෙන්න එපායැ. මිනිහගෙ පවුලට මූණදෙන්න වෙන ප්‍රශ්නෙ ගැන අපි මොනව කරන්නද?”

“ඔබතුමා කියන දේ ඇත්ත. මූ ඒ ගැන හිතන්න ඕන. ඒත් ඌ ඒ ගැන හිතුවෙ නැති එකට අර නොදරුවො දුක් විඳින්න ඕනද? ඉගනගෙන රටට වැඩකරන්න පුලුවන් දරුවන්ට ඉගෙන ගන්න සල්ලි භාගෙ නැතුව, කන්න බොන්න නැතුව කාලකන්නි වෙනකොට අරූ නම් තව ගිනිවතුර ටිකක් බීල මැරිල යයි. එතන වාවන්න බැරි ප්‍රශ්නයක් ඉතුරු වෙනවනෙ මම කියන්නෙ. අනික ඔය කොයි ප්‍රශ්නෙකදිත් විඳවන්නෙ අම්මලනෙ. අරකි අඬා ගත්ත ගමන් ළමයින් ගෙ අනාගතේ ගැන හිත හිතා” ආරච්චි මහත්තයගෙ කරුණු දැක්වීම උඩ මගෙත් ගල් හිත පොඩ්ඩක් සැලුන.

“හරි ආරච්චි මහත්තය මම මොකක්ද කරන්න ඕන?”

“මොකවත් නෙවෙයි සර් මූ කල වැඩේ හැටියට ආයි මොකුත් ඉල්ලන්න බෑ. මූට පෙන්ෂන් එක ගන්න පුලුවන් විදියට පෙන්ෂන් යවන්න බැරිද?”

“ඒත් ආරච්චි මහත්තය දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ පළාත් සභාවෙ. ඊලඟ පියවර ගන්නෙ එතනින්නෙ. මම නෙවෙයිනෙ” (මේ යුගයෙ ග්‍රාම නිලදාරි සේවාව පළාත් සභා යටතෙ තිබුනෙ)

“තමුන්නාන්සෙ යම් රෙකමදාරුවක් කොලොත් ඒ ගැන ඒ ඇත්තො බලනවනෙ. එහෙම කරන්න බැරිද?”

“හරි ආරච්චි මහත්තය, ඒකටත් කරුණු ඕනනෙ. මම රාජකාරි වෙලාවෙ බීමතින් හිටිය කියල වැඩ තහනම් කරල, ඊළඟට සහන සලසන්න කියල කියන්නෙ මොකක් පදනම් කරගෙනද?”

“මිනිහ බීමට කෑදරයි. ඒක අපි ඔක්කොම දන්නව. උගෙ බීම ගෙදරටත් කරදරයක්. හැබැයි රාජකාරි වෙලා වල බීම බොහෝම අඩු කරගෙනයි ඕක හිටියෙ තමුන්නාන්සෙගෙ අවවාද නිසා. එදා මූට බොන්න වෙලා තියෙන්නෙ ඔයේ ගිලුණු මිනියක් ගන්න කිමිදෙන්න උන නිසයි”

“ඒ මොකක්ද ඒ මිනියක් ගොඩ ගත්තු කතාව.මම ඒක දන්නෙ නෑනෙ.”

“කෝ ඉතින් තමුන්නාන්සෙගෙ තහනම් නියෝගෙ නිසා කවුරුවත් මේව කියන්න ආවෙ නෑනෙ. ඊට දවස් දෙකකට කලින් මුගෙ කොට්ටාසෙ මිනිහෙක් ගඟේ ගිහින්. මිනිය ගොඩගන්න කිමිදෙන්න කෙනෙක් නැතුව මූ තමයි කිමිදිල මිනිය අරං තියෙන්නෙ. ඒ පිළිකුල යන්න ගහපු ගැහිල්ල තමයි තමුන්නාන්සෙට අහු උනේ.”

මට සෑහෙන අපහසුවක් දැනුන. මෙතෙක් වේලා මගේ පැත්තෙ ඉන්නව කියල හිතාපු යුක්තිය ඇත්තටම රාලහාමිගෙ පැත්තෙ ඉන්න බවයි දැන් තේරෙන්නෙ. කුණු උන මිනියක් දිය යට කිමිදලා අරං දීපු රාලහාමි ඒ පිළිකුල පහවෙන්න අඩියක් ගහල වැඩිවෙල ඉන්නකොට වැඩ තහනම් කරන එක මොනම විදියකටවත් සාධාරණීකරණය කරන්න බෑ කියල තේරුනා.

“හරි ආරච්චි මහත්තය රාලහාමිට බංගලාවට එන්න කියන්න හවසට. මම මොකක් හරි කරන්නම්.”

ආරච්චි මහත්තය මට පිං දීල ගියා. හවස රාලහාමි බුලත් අතකුත් අරගෙන මම හම්බුවෙන්න ආවා. මිනිහ රාජකාරි වෙලාවෙ බීම ගැන සමාව ඉල්ලුව. මම රාලහාමිට උපදෙස් දුන්න අභියාචනයක් ලියන්න. මිනී ගොඩගැනීමේ සිද්දිය කියල අභියාචනය හදල නැවත සේවයේ පිහිටවන්න කියල පළාත් ප්‍රධාන ලේකම්ට අභියාචනය හැදුව. රාලහාමි ඒක මගේ නිර්දේශයත් එක්ක පලාත් සභාවට අරං ගියා. ඒත් මේ ගැන උත්තරයක් නෑ. මාස දෙකක් ගියා රාලහාමි තවම ගෙදර. පස්සෙ මම පළාත් සභාවට ගියා. විනය කටයුතු භාර සහකාර ලේකම් ජේහම්බරම් මහත්තය හමු උනා.

“මිස්ටර් ජේහම්බරම්, අයෑම් ඩිවිසනල් සෙකට්‍රි මහඔය” මම හඳුන්වා දුන්නා.

“ඕ මිස්ටර් සුනිල්, වාඩිවෙන්න වාඩිවෙන්න.”
මිනිහට හොඳට සිංහල පුලුවන්.

“මගේ රාලහාමි කෙනෙක් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන බලන්නයි ආවෙ.”

“ඕ අර ඉන්ටර්ඩික් කේස් එක නේ.”

“ඔව් ඔව් ඒක තමයි. මිනිහගෙ ඇපිල් එකට මොකද කරේ?”

“ඒක තියනව තමා මොකුත් කරන්න බැරුව”.

“ඇයි ඒ?”

“ඇයි තමා. එයාගෙ ඉන්ටර්ඩික් එක කෑන්සල් කරන්න පුලුවන් හැබැයි චාජ් සීට් දෙන්න ඕන. එතකොට ඔයා කියල තියෙනවා චාජ් සීට් එපා කියල. එතකොට ඉන්ටර්ඩික් පීරියඩ් එකට පඩි දෙන්න ඕන. එතකොට නිකං පඩි දුන්න කියල ඔයා අමාරුවේ.”

“දැන් මොකද කරන්නෙ? මේක මට ලොකු ප්‍රශ්නයක්.”

“නොට් ඔන්ලි යූ. අපිටත් ලොකු ප්‍රශ්න තමා”

ජේහම්බරම් ලාච්චුව ඇරිය. පොඩි පෙට්ටියක් අතට අරගෙන ලාච්චුව වැහුව. වාඩිවෙලා ඉන්න ගමන් පුටුවෙ කෙලින්වෙලා අර පෙට්ටි පොඩ්ඩ ඇරල ඇඟිලි දෙකට මොනවද අරගෙන නහයට ඉරුව. උරල හයියෙන් කිමුහුම් ටිකක් යවල පෙට්ටි පොඩ්ඩ ලාච්චුවට දැම්ම. මම කට ඇර ගෙන බලා ඉන්නව දැකලද කොහෙද, “ඕ යූ ඕල්සෝ නීඩ් ලිටිල්?” කියල ලාච්චුවට අත යැව්ව.

“එපා එපා මට එපා” මම කිව්ව.

“යූ නෝ දිසිස් ගුඩ් ෆොර් හෙල්ත්” කිව්ව.

“නෝ තෑන්ක්ස්.” මම කිව්ව.

මිනිහ ඔලුව වන වනා කියනව, “ඕ කේ අයිල් පුට් දිස් ටු චීෆ් සෙකට්‍රි. යූ බෙටර් ටෝක් ටු හිම්.”

“ඕකේ තෑන්ක් යූ” කියල මම ගියා චීෆ් සෙකට්‍රි ගනේශ් සර් හම්බු වෙන්න.

ගනේශ් සර් ට කතාව කිව්ව. ගනේශ් සර් ඔලුවෙ අත ගහගත්ත කතාව අහල. ජේහම්බරම්ට එන්න කියල පයිල් එක ගෙන්නල වැඩේ ඉවර කරා. රාලහාමි සේවයේ පිහිටුවන්න නියෝග දුන්නා. මම මහඔය ඇවිත් රාලහාමි සේවයේ පිහිටෙව්වා. රාලහාමිටත් අනිත් කාටත් මේ විදියට ප්‍රශ්නෙ විසඳුන එකට සතුටුයි. ඒත් මගේ හිතට වරදකාරි හැඟීමක් තිබුන නිසා දිසාපතිතුමා එක්ක කතාව කිව්ව. කතාව බොහොම ඕනකමෙන් අහගෙන හිටිය ඒ අයි වික්‍රම දිසාපතිතුමා මෙහෙම කිව්වා.

“යකෝ අපි තීරණයක් ගන්න ඕන හොඳට හොයල බලල. නිකං බැලු බැල්මට පේන දේ අනුව තීරණ ගන්න ගියාම හරි තීරණයක් ගන්න බෑ. පස්සෙ පසුතැවෙන තීරණ අපිට ගන්න අයිතියක් නෑ. උඹේ රාලහාමිය බීපු එක බැලූ බැල්මට වැරැද්දක්. ඒත් වැරැද්දකට දඩුවම් කරන්න ඉස්සෙල්ලා වැරැද්ද කරපු එකාට කරුණු කියන්න අවස්තාවක් දෙන්න ඕන. උඹ කරල තියෙන්නෙ ඌට වෙරි බහිනකොට සිහි නැතිවෙන වැඩක්. මේ රටේ රජයේ සේවකයෙක් කියන්නෙ දරු පවුලක් නඩත්තු කරන එකෙක්. බොහොමයක් වෙලාවට ඌ ඉඳල හිටල පිස්සු කෙලියම උගෙ හිස ගසා දැම්මොත් දරු පවුලක් අනාථ වෙන්න ඉඩ තියෙනව. ඒක නිසා ප්‍රධානිය කියන්නෙ ගහලයෙක්ගෙ රෝල් එක කරන එකෙක් නෙවෙයි කියල හිතපං. ගෝලයො හදන්න ඕන දරුවෙක් හදනව වගේ. ඒක හින්ද ඉන්ටෙර්ඩික්ට් ලියුම ඌට යවල අනිත් කොපි ටික දවස් කීපයක් ලඟ තියා ගන්න තිබුනා. එහෙම උනානම් කරුණු හොයල ලියුමෙ ඌට යැව්ව කොපිය අරගෙන වැඩේ ඉවර කරන්න තිබුනා. තවත් වැරැද්දක් තමයි කාටවත් ඌ ගැන කතා කරන්න එපා කියල දාපු තහනම. ඒක හරියට විරේක බෙහෙත් දීල පස්ස පැත්ත මැහුව වාගෙ වැඩක්. ඒක හින්ද ඉස්සරහදි ආවේගෙට තීන්දු ගන්නෙ නැතුව මොලේ පාවිච්චි කරල වැඩ කරපං.”

දිසාපතිතුමාගෙ අවවාදෙ අන්තිමට කිව්ව උපමාව මතක් වෙන කොට තාමත් හිනා යනව. රාලහාමිල කවුරුත් ආයෙ එහෙම දේවල් කරේ නැහැ. සිද්දියට සම්බන්ධ රාලහාමි මම මහඔයෙන් සමුගන්න දවසෙ කතාවක් පවත්වලා මට ස්තූති කලා ජීවිතේට අමතක නොවෙන පාඩමක් ඉගැන්නූ එකට. ඒත් රාලහාමි දන්නෙ නෑ මමත් ඒ සිද්දියෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තු බව! අදින් පස්සෙ ඒකත් දැන ගනියි.

Advertisements

9 thoughts on “රාලහාමිගෙ අලකලංචිය.

  1. ඔයිට වඩා මිනිස්සුංගෙ පවුල් පිටිං වළපල්ලට යවාපු ලොක්කො මගෙ ජීවිතේට ඉසකෙයියා ගස් ගානට හම්බෙලා තියෙනව. ඒ වුනාට එයිං කවුරුවත් තමුංගෙ අතිං වෙච්චි වරද පිලිගන්නෑ. ඔබතුමා අතිං වෙච්චි සුලු අතපසුවීම වුනත් මෙතන ලියලා තියපු එක හරි වටිනව. මං හිංදත් එක ගමනක් ගෑල්ලමෙක්ගෙ රස්සාව නැතිවුනා. ඒ ගැන මගේ හිතේ තාමත් කනස්සල්ලක් තියෙනව.

    අපේ ගමේ නං ගඟේ ගිලිච්චි මිනී ගොඩගන්නෙ නිලෙම්මාමා. කොටිම්ම මිනිහා ගඟේ කිමිදිලා ඉල්ලං පවා කඩනව. එක ගමනක් පොලිසියෙං පැනලා මිනිහව අල්ලන්න. නිලෙම්මාමා ඉල්ලං කූරයි කූඩෙයි දෙකම ඇරං දිය යටිම්ම ගිහිං රාලාමිට නොපේන්න අනික් ඉවුරෙං ගොඩවෙලා ගෙදර ගිහිං. රාලාමි කෑ ගහනවලු “නිලමෙයා ගිලුනෝ” කියල.

    Liked by 1 person

    1. අපි යම් දෙයක් කරන්න පුලුවන් ශක්තියක් ගොඩනගා ගත්තනම් ඒ මැජික් එකක් නිසා කරන දේ හරියන හින්ද නෙවෙයි.වැරදිලා පැරදිලා ඒවදිහා ආපහු බලලා ආයිත් වරද්දන්නෙ නෑකියලා එයින් ඉගන ගත් නිසාමයි.අපි හපන්කම් වලට වැඩිය වැරදුන තැන් ඉගන ගත්තු තැන් ගැනයි කථා කලයුත්තෙ.තවකාටහරි ප්‍රයෝජනවත් වෙන්නෙත් ඒවයි සුරංග.

      Like

  2. හරිහැටි කරැණු පැහැදිළි කරදෙන කට්ටියක් ඇසුරැ කිරිමට ලැබිමයි මහා පින!!!

    Liked by 1 person

    1. මට ඇසුරට ලැබුනේත් බොහෝයහපත් අය මැඩම් .ඉතින් නිරන්තරයෙන් ඒ අයගේ ගරුත්වය රැකීමට යහපත්ව ක්‍රියා කලයුතුයිනෙ.

      Like

  3. සුනිල් සර්, මේ වගේ අත්දැකීමක් මටත් තියෙනවා පුද්ගලික අංශයේ වැඩ කරන කලේ. සර්ට දිසාපතිතුමා දුන්න උපදේශය ඔය විදිහටම මගේ ලොක්කත් මට දුන්න. වෙනසකට තියෙන්නේ “මේ රටේ රජයේ සේවකයෙක් කියන්නෙ දරු පවුලක් නඩත්තු කරන එකෙක් ” මේ කොටසේ ‘රජයේ සේවකයෙක්’ කියන කැල්ලට ‘රස්සාවක් කරන මිනිහෙක්’ කියල කියපු එක විතරයි.
    මෙවැනි අත්දැකීම්, මේ විදිහට බෙදා හදා ගැනීම ලොකු පිනක්.

    Like

  4. ප්‍රාදේශීයපාලනය තුළ ඇතුවත් බැරි නැතුවත් බැරි ඹය වගෙම නිලධාරින් තාමත් ඉන්නවා. සර් උගන්නපු පාඩම අපිටත් කවදාහරි ප්‍රායෝගිකව අත්විඳි න්න වේවි . එදාට ඒ දිහා මනුස්සකමත් එක්ක බලන්න.

    Like

  5. මේ ලියවිලි වලින් අපි ඉගෙන ගන්න පාඩම් නම් නිමක් නෑ සර්. මෙව්වා ස්ලීඩා එකේ උගන්නන්න කේස් ස්ටඩි විදියට පාවිච්චි කරනවා නම් හරිම වටිනවා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s