ප්‍රේමසිරිගෙ හේන.

මහඔයට ගිය දවස් වලම මගේ අවධානයට ලක් උන කරුණක් තමයි ඒ ප්‍රදේශෙ අයගෙ ජීවන ක්‍රමය. අතරමැදි කෘෂි කලාපයට අයිති බින්තැන්න පත්තුව අතීතයේදී ඌව වෙල්ලස්සේ කොටසක් ලෙසයි පැවත ඇත්තේ. මහවැලි නදියේ දකුණු ප්‍රදේශය පැරණි රෝහණ රාජ්‍යට අයත් වූ බැවින් මහඔයද ඇතුලත් බින්තැන්න පැරණි රෝහණ රාජ්‍යයේ කොටසක් ලෙස සැලකිය හැකියි. එවකට බින්තැන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුනක් අම්පාර දිස්ත්‍රික්කයට අයත් බිම වූ අතර අදත් එය එසේමයි. මහවැලි ගඟත් මගලවටවාන් ආරු නැතිනම් මංගල ඔය ලෙස හදුන්වන ගංගාව දක්වා වූ බිම් කොටස බින්තැන්න ලෙස අතීතයේ සිට සලකලා තියෙන බවයි පේන්නෙ. බින්තැන්න තැනිතලාවෙන් ඉහලට එසඋන හෙනන්නේගල, කොකාගල, ඔමුනුගල, නුවරගල ආදී ක්‍රිස්තු පූර්ව යුග වලට අයත් පුරාවස්තු වලින් හෙබි කදු සහිත භූමියත් අයත් වන්නේ බින්තැන්නටමයි. බින්තැන්න පුරාවට තියෙන මේ පුරාවස්තු සහිත භූමියත් එම භූමිය පුරා විසිරී ඇති පැරණි වැව් පද්ධතියත් පෙන්නුම් කරන්නෙ බින්තැන්න සශ්‍රීක බිමක්ව අතීතයේ තිබුන බවයි.

ඒත් මම බින්තැන්න පත්තුවෙ උතුර නැත්නම් මහඔය රාජකාරි භාර ගන්න කොට ඒ පලාත බොහොම දිලිඳු ප්‍රදේශයක්. හේන් ගොවිතැන මාස් කන්නයේ විතරක් කරන බින්තැන්නෙ ගොවියන්ගෙ ප්‍රධාන බෝගය වෙලා තිබුනෙ බඩ ඉරිඟු, කව්පි වාගෙ දේවල්. වරාපිටිය වාගෙ ඇතුලු ගම්වල කෙසෙල් වගාවත් කරා. ඉතාම දිලිදු ජීවිත ගතකරපු ගැමියො අතර ඔලුව උස්සාගෙන හිටියෙ මුදලාලිලයි, රජයේ සේවකයොයි විතරයි. යම් තරමක හොද නිවාස තනාගෙන හිටියෙ ඒ අය විතරයි. අනිත් බොහෝ දෙනාගෙ නිවාස ඉලුක් සෙවිලි කල වරිච්චි ගෙවල්. අවුරුද්දකට සැරයක් කරන ගොඩ ගොවිතැනෙන් යම්තමින් ජීවත් වෙනවට වැඩිදෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මේ නිසා දුප්පත්කමෙන් වෙලී හිටිය මිනිස්සු ආණ්ඩුවෙන් බලාපොරොත්තු උනේ ආධාර විතරයි.

මම මහඔයට යන කාලෙ ජනසවිය වැඩසටහන ක්‍රියාත්මකයි. ජනසවිය යටතේ මහඔය බොහෝ පවුල්වලට ආධාර ලැබුනා. සමුපකාරෙන් බඩු ගන්න පුලුවන් මුද්දර පවුල් වලට ලබාදීලා තිබුනා. ඒ නිසා සෑම ජනසවි පවුලක්ම සමුපකාරෙ එක්ක සම්බන්ධවයි හිටියෙ. ඒත් එක්කම මහඔය සෑම ග්‍රාම නිලදාරි වසමකම ජනසවි සමිතිය තිබුනා. සමිතිය මඟින් ප්‍රජා වැඩ ගම්වල සිදුකලා. ජනසවිය යටතේ කුඩා කන්ඩායම් ස්ථාපිත කර තිබුනා. ජනසවිලාභීන් පස්දෙනෙකු එක් කන්ඩායමකටත්, පස්දෙනාගෙ කන්ඩායම් එකතු වී ග්‍රා.නි ජනසවි සමිතියත්, ජනසවි සමිති එක්වී ඒකාබද්ධ සංවිධානයත් ඇතිවී තිබුනා. මහඔය ඒකාබද්ධ ජනසවි සංවිධානයේ ලේකම් හැටියට වැඩ කලේ ප්‍රේමසිරි.

ප්‍රේමසිරි මහඔය කෙනෙක් නෙවෙයි. මිනිහ කිව්ව විදියට කැකිරාව පැත්තෙ උපන් කෙනෙක්. විවාහවෙලා මහඔය දඹදෙනියෙ පදිචිවෙලා හිටියෙ. ජනසවිය හම්බ වෙලා ඒ වැඩසටහනට ආපු ප්‍රේමසිරි ප්‍රජා නායකයෙක් හැටියට ගොඩනැඟුනා. කුඩා කන්ඩායමක නායකත්වයෙන් ග්‍රා.නි වසම් සංවිධානයේ නායකයා උන ප්‍රේමසිරි මහඔය ඒකාබද්ධ සංවිදානයෙ නායකයෙක් උනා. දක්ෂ ප්‍රජා නායකයෙක් උන ප්‍රේමසිරි ජනතාවගේ දිලිඳුකම පිටුදැකීමේ ක්‍රියාවලිය ගැන ලොකු උනන්දුවක් තිබුන කෙනෙක් උනා. මේ උනන්දුවත් එක්ක මිනිහ විවිධ ව්‍යාපෘති ජනසවියට එක්කලා. විශේෂයෙන්ම ග්‍රා.නි වසම් මට්ටමේ ඉතිරි කිරීම් ලබාගෙන සංවිධානය කල ජනසවි බැංකුව, ඒකාබද්ධ සංවිධානය, ප්‍රේමසිරිගෙ නිර්මාණශීලී ව්‍යාපෘති වලට උදාහරණ. ග්‍රා.නි වසම්වල ජනසවි ලාභියෙක් මහඔය නගරෙට ආපු වෙලාවක හදිසි අවශ්‍යතාවයක් සදහා ඒකබද්ධ සංවිධාන අරමුදලින් මුදල් ගන්න ක්‍රමයකුත් හදපු ප්‍රේමසිරි, සුසිල් සිරිවර්දන මහත්තමයගෙ විශේෂ ප්‍රසංසාවටත් ලක් උනා. මේවාගෙ නිර්මාණශීලී ගැමි තරුණ නායකයෙක් මුණගැහුනම මහඔය වාගෙ තැනක කොයිතරම් දෙවල් කරන්න පුලුවන්ද කියලයි මම කල්පනා කලේ.

දවසක් මාව කාර්‍යාලෙදි මුණගැහුන ප්‍රේමසිරි ඒ සති අන්තයෙ මහඔය ඉන්න පුලුවන්ද ඇහුවා. ඇයි කියලා ඇහුවම මහඔය එළවලු, දුංකොල වගා බිම් නිරීක්ෂන වැඩ සටහනකට කිව්වා. මමත් ඉන්නම් කියල සිකුරාදා මහඔය නතර උනා. සෙනසුරාදා උදේ නමයට විතර සංචාරෙ ආරම්භ කලා. මහඔය පාලම ලඟ ඉදන් ගඟදිගේ උඩහට තියෙන බිම්තීරුව එකම වගා බිමක්. එළවලු, දුම් කොල, මිරිස් වගාව ජයටම සිද්ධ වෙන්නෙ අක්කර එකක පමණ බිම් කැබලි වල. පායන කාලෙ මෝටර් යොදාගෙන ගඟේ වැල්ලෙ හාරපු වලවල් වලින් වතුර අදිමින් කරන වගාව ඉතාම පියකරු දර්ශනයක්. හැම ඉඩම් කැබැල්ලකම කුඩා වාඩියක්. මේ කුඩා වාඩියෙ කන්තාවනුත් හිටියා. හැබැයි එක විශේෂයක් උනේ සේරම ගොවි පවුල් මුස්ලිම් ජාතිකයින් වීමයි. කතා කරපුවම එරාවුර් ප්‍රදේශෙ ඉදන් මාර්තු මාසෙ විතර එන මේ කණ්ඩායම් ගොවිතැන් කරල අස්වැන්න විකුණල ඔක්තෝම්බෙර් මාසෙ ආපහු එරාවුර් ගමට යනව. ඊලඟ අවුරුද්දෙ ආපහු එනව. මේ ඉඩම් ගත්තෙ කොහොමද ඇහුවම මහඔය අයගෙන් බද්දට ගන්නව කිව්වා. එක අක්කරයක් පහලොස් දාහක් විතර බද්දක් තමයි ගෙවන්නෙ. මේ ගොවිතැනෙන් ලාභයක් තියෙනවද ඇහුවම ඔවුන් කිවේ රුපියල් ලක්ෂයකට කිට්ටු ආදායමක් ගන්න අතර වියදම රුපියල් හතලිස් දාහක් පමණ යන බවයි. ඒ අනුව අවුරුද්දකට රුපියල් හැටදාහක විතර ලාභයක් ලබන බවත් තම එකම ආදායම එය බවත් පැවසුවා. මාගේ නිරීක්ෂණයට අසුවූ ප්‍රදේශයේ ගඟ දක්වාම වගා කිරීම සිදු නොකර ගඟ රක්ෂිතය ඉතුරු කර වගා කටයුතු කරන ලෙස උපදෙස් දී සංචාරය නිමාකලා. අාපසු එන අතර එතෙක් වැඩි කතාවක් නොකල ප්‍රේමසිරි කතා කලා.

“සර් මොකද හිතන්නෙ මේ වගාව ගැන?” ප්‍රේමසිරි අහනව.

“මොනව හිතන්නද ප්‍රේමසිරි? බොහොම හොඳ වැඩක්.” මම කිව්වා.

“ඔව් සර්, ඒ ගොවියො බොහොම ආදර්ශමත් ධෛර්‍ය සම්පන්න මිනිස්සු. ඔය ගමන එරාවුර් ඉදන් එන්නෙ පයින් ගඟ දිගේ.”

“බැලුවම මේ මිනිස්සු ජීවිකාව ගෙවන්න කොච්චර දුක් විදිනවද?” මම කිව්වා.

“ඔන්න ඔතන තමයි සර් අපිට ඉගෙන ගන්න තියන තැන.”

“ඔව් ඉතින් ජීවත්වෙන්න මහ දුක් කන්දරාවක් ගෙවන්න ඕනනෙ. ඒක ඉතින් ඉගෙනගත යුතු දෙයක් තමා”

“නෑ සර්, මම කිව්වෙ ඒක නෙවෙයි. සර් දන්නවනෙ අපේ මේ බින්තැන්න පත්තුවෙ වැහි කන්නෙ විතරයි වගාවක් කරන්න පුලුවන් කියල. ඒ කාලෙදි වගා කරන දෙයින් තමයි මුලු අවුරුද්දම යැපෙන්න තියෙන්නෙ. මේ නිපදවන ප්‍රමාණය අවුරුද්ද යැපෙන්න මදි. ඒක නිසා මුදලාලිට ණය වෙනව. ණය ගෙවා ගන්න ඕන නිසා මුදලාලිලට අස්වැන්න දෙනව මුදලාලි නියම කරන මිලට. අස්වැන්නෙන් ණය හිලව් කරනව. ආයිත් ටික දවසකින් ජීවත් වෙන්න ණය ගන්නව. ඕක තමයි බින්තැන්නෙ ජීවිතේ” ප්‍රේමසිරි විග්‍රහ කරනව. 

ඔයින් මෙයින් සර්කිට් එකට ආවා. තේ එකක් බොන අතරත් ප්‍රේමසිරිගෙ කථාව නැවතුනේ නෑ.

“අද මම සර්ව මේ වගාබිම් පෙන්වන්න එක්ක ගියෙ ලොකු අදහසක් ඇතුව. බලන්න මේ මිනිස්සු වවන්නෙ මහඔය අයට වවන්න බැරි කාලෙ. ඉඩම මහඔය අයගෙ. දැන් අවුරුදු ගානක් මේ අය ඉඩම බදු අරගෙන වගාකරල ආදායමක් ගන්නව. අපේ මහඔය අය ඉඩම බද්දට දීල. නියං කාලෙ කියල ගෙදරට වෙලා නිදියනව. මේ මුස්ලිම් මිනිස්සු කරන වැඩේ පොඩ්ඩක් තේරුම් ගත්ත නම් මහඔය, පනජ්ජාඔය, රඹකැන් ඔය දෙපැත්තෙ ඉඩම් නියං කාලෙ සරු වගාබිම් වෙලා ආදායම් දෙනව. පායන කාලෙට ඔය මතුපිට වතුර නැතුවට වැල්ල යට ඕසෙට වතුර මෝටරයක් දාල ඇදගත්තනම් එලවලු විතරක් නෙවි කව්පි බඩ ඉරිඟුත් වවන්න පුලුවන්.”

මේ ටික අහන කොට මට ලොකු අදහසක් ආවා.

“ප්‍රේමසිරි ජනසවියෙන් ඔය වැඩේ කරමුද?”

“හරි සර් මම බලන්නම් වැඩේ ලැහැස්ති කරන්න.”

“ඔව් බලන්න ප්‍රේමසිරි. ගඟ අයිනෙ සුදුසු ඉඩමක් එක්ක වැඩේ කරන්න මිනිස්සු ටිකදෙනෙක්. ඕනකරන සල්ලි ග්‍රාමීය සංවර්ධන බැංකුවෙන් ණයක් ගමු.”

“පොඩි මුදලක් අපෙ ජනසවි බැංකුවෙන් ගත්තැකි සර්. මම වැඩේ ලැහැස්ති කරන්නම්”

තවත් ටිකක් වැඩසටහන ගැන කතාකරපු ප්‍රේමසිරි සමු අරගෙන ගියා. මම අම්පාරට ආවා. සුමාන දෙකක් යන කොට පනජ්ජා ඔය අයිනෙ ලොකු ඉඩමක් සොයා ගත්තු ප්‍රේමසිරි දඹදෙනිය වසමෙම කීපදෙනෙක් වැඩේට ලැහස්ති කර ගත්තා. ඔය එක්කම ප්‍රේමදාස ජනාධිපතිතුමා ව්‍යාපෘති 15000වැඩසටහන ප්‍රකාශයට පත් කලා. ඒ වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලදාරි වසමකම ජනතාවගේ යෝජනා අනුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අරමුණ උනා. වියදම් කරන මුදල සීමා කලේ නෑ. ව්‍යාපෘති යෝජනාවලට කිසිදු නිලදාරියෙකුට හෝ දේශපාලකයෙකුට සම්බන්ධ වීම තහනම් උනා. දඹදෙනියෙ වසමෙ ව්‍යාපෘතියට යෝජනා දෙකක් ඉදිරිපත් උනා. එකක් ප්‍රේමසිරිගේ ආදර්ශ ගොවිපල යෝජනාව, අනික සත්ව ආහාර කම්හලකට ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. ජනතා රැස්වීමෙදි තම යෝජනව සම්මත කර ගන්න ප්‍රේමසිරි සමත් උනා. ඒකෙන් වගා වැඩසටහනේ මුදල් ප්‍රශ්න විසඳුනා.

මේ විදියට දඹදෙනිය වසමේ පනජ්ජා ඔය අයිනේ ආදර්ශ ගොවිපොල පටන් ගන්න යෙදුනා. ප්‍රේමසිරි ඇතුලු දස දෙනෙක් හේනට සම්බන්ද උනා. අක්කර දහයක් දොලහක් විතර ශුද්ධ කරල හේන සකස් කලා. ගඟ අයිනෙන් පැලකුත් හදලා බොහොම සාර්ථකව වැඩ කටයුතු කලා. වතුර මෝටර්, ජල නල පද්ධති, ව්‍යාපෘති සල්ලිවලින් ගත්තා. වැඩ කරපු ප්‍රමාණෙට යැපීම් සදහා සුලු මුදලක් ගෙව්වා. පලමු වතාවට ණය නොවී හේනක් කල බවයි හවුල් කරුවො කිව්වෙ. මාස් කන්නෙ වී වගාවෙන් පටන්ගෙන ඊට පස්සෙ එලවලු, කෙසෙල් වගාව ජල සැපයුම එක්ක කරගෙන යනකොට හේන් කරුවන්ට හොඳ ආදායමක් ලැබුනා. මේකෙ සාර්ථකත්වය නිසාම මහවැලි ප්‍රජා ගුවන් විදුලිය හේනෙ ඉඳන් ගුවන් විදුලි වැඩසටහනකුත් කලා. ජනසවි කොමසාරිස් සුසිල් සිරිවර්දන මහත්තය කොලඹ ඉදන් හේන බලන්න ආවා. ප්‍රේමසිරිගෙ අදහස අනුව ගං ඉවුර සංරක්ෂනයට උණ පඳුරු සිටුවීමේ වැඩ සටහනකුත් කලා. දෙවනි අවුරුද්දෙත් හේන සරුසාරයි. හේනට සම්බන්ද පවුල් දහය ආදායම ස්ථාවර උනා. ඒ ඇර හේනෙ කුලී වැඩ කරන කීපදෙනෙකුත් ඇති උනා. දෙවනි අවුරුද්දෙන් පස්සෙ වගා කරන දේ ගැන ඇතිවුන මත ගැටුමක් මත කට්ටිය දෙකට බෙදුනා. කීපදෙනෙක් ඉවත් උනා. ඊටපස්සෙ ඒ අර්බුදය විසඳලා දුන්නා. ඒත් මම අම්පාරට ආවහම යලිත් අර්බුදය මතු උනා. හේන පොදු අයිතිය වෙනුවෙන් රැක ගැනීමට උත්සාහ කල ප්‍රේමසිරිට විරුද්ධව කීපදෙනෙක් පොලිසි ගියා. මේ කලබල මැද හේන අසාර්ථක උනා. කට්ටිය විසිරුනා. හේන කැලේට ගියා. මේ වෙනකොට ජනසවිය ඉවරයි. නව රජයක් යටතේ සමෘද්ධිය ඇවිල්ලා. ඒ නිසා මේ අර්බුද වලට රාජ්‍ය මැදිහත්වීමක් උනේ නෑ.

මම අම්පාරෙ ප්‍රා.ලේ. ප්‍රේමසිරි ඇවිත් මාව හමු උනා. මම ප්‍රේමසිරිගෙ උත්සාහය අසාර්ථක වීම ගැන කණගාටුව පල කලා.

“සර් මේ වැඩසටහන මතුපිටින් අසාර්ථක බවක් පේනවා. හැබැයි මම දිනුම්. මොකද මේ මහඔය කන්න දෙකම ආදායම් ගන්න පුලුවන් වගාවෙන් කියල ඔප්පු කරල පෙන්නුවා. අවුරුදු දෙකක් ඒක සාර්ථක උනා. මේක අසාර්ථක උනේ අපේ අය අතර ආරවුල් උන නිසා මිස වගාව අසාර්ථක වෙලා නෙවෙයි. මම උත්සාහ ගන්නෙ තනි තනියෙන් හරි කන්න දෙකම ආදායම් ගැනීම කරන්න පුලුවන් මේ වගා ක්‍රමය ඉස්සරහට ගෙනියවන්නයි. මේක හරියට කරන්න පුලුවන් උන දාට බින්තැන්න ගොඩ.”
මේ කතාවෙන් පෙනුනෙ ප්‍රේමසිරි වැටිල නෑ කියලයි. අනුන්ගේ යහපත පතා කරපු වැඩවලින් තමන්ට කොච්චර හිරිහැර උනත් ඒ අරමුණින් අයින් වෙන්න නොහිතපු ප්‍රේමසිරි පුලු පුලුවන් විදියට තනියමත් පරාර්ථයෙ යෙදුනා. අන්තිමේදි ගමෙන් පිට රැකියාවකට යන්නත් උනා. මම පුනරුත්ථාපන අමාත්‍යංශෙ ඉන්නකොට කොහේදෝ පඩියට රස්සාවක් කරන බව කියූ ප්‍රේමසිරි මාව බලල යන්න කියල ආව. එදත් කතා කලේ බින්තැන්න සංවර්ධනය ගැන. සමස්ත බින්තැන්න ආවරණය වන මාර්ග පද්ධතියක අවශ්‍යතාවය, එබඳු මාර්ග පද්ධතියක් හරහා බින්තැන්නේ නිෂ්පාදන වලට මිලක් ලබාගැනීම ගැන කතාකරල බ්‍රිස්ටල් වීදියෙ කන්තෝරුවෙදි මාත් එක්ක දවල් ආහාරයත් අරගෙන සමු ගත්තෙ “බින්තැන්නට මොනවහරි කරමු සර්” කියල. ඉන් පස්සෙ ප්‍රේමසිරි කවදාවත් හමු උනෙ නෑ. ඊට සති දෙකකට පස්සෙ යතුරුපැදි අනතුරකින් ප්‍රේමසිරි ජීවිතෙන් සමුගත් බව දැන ගත්තෙ තවත් මාස හයකට විතර පස්සෙ. ඒ උනාට අදත් මගේ හදවතේ ඒ වැටෙන්නෙ නැති, සැලෙන්නෙ නැති, අධිෂ්ඨානශීලී ප්‍රේමසිරි ජීවත් වෙනවා.

Advertisements

2 thoughts on “ප්‍රේමසිරිගෙ හේන.

  1. මේක කියෙව්වම මතක් වුනේ අපේ ගම්වලත් මිනිස්සුන්ට නැගිටින්න ඉඩ දෙන්නැත්තෙ ගමේම අය නේද කියන එකයි. ඒ අතිං තෙත් කලාපෙ අපි වාසනාවන්තයි. අපිට වැස්ස තියෙනවා. දලු ටික ගෙනියන්න දලු ලොරිය ගෙදර දොරකොඩටම එනවා. අපිට තියෙන්නෙ ලිබ්බොක්කෙ හිටම්ම තේ ගස් හිටවන්න විතරයි. දැං දලු කිලෝ එකත් රුපියල් සීයක් විතරනෙ. තේ අක්කර දෙකක් හිටෝපුවහම හරියට කොලොත් මාසෙට ලස්සයක් අතේ. ඒ අතිං බලාපුහම වියලි කලාපෙ මිනිස්සු දහදුක් විඳිනහැටි පේනවා. වට්ටක්කා ගෙඩ්ඩක්, බඩඉරිඟු කරලක් ඉහ අරෝගන්න ඒ මිනිස්සු විඳින දහදුක බැලුවහං අපේ ගංවල මිනිස්සුන්ට සැප වැඩියි කියලයි මට හිතෙන්නේ.

    කොහොමත් තමුංගෙ ගමේ කෙනෙක් ඔලුව උස්සනවට ගමේ අය අකමැතියි. හැබැයි පිටගංකාරයෙක්ට එහෙම නෑ. මං බදුල්ලට ඇවිල්ලා ඒ අත්දැකීම හොඳටම ලැබුවා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s