බින්තැනි වරුණාව.

මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ හැටියට 1993දි පරිවර්තනය උනේ සුද්දන්ගෙ කාලෙ තිබුන රටේ මහත්තයගෙ කාර්‍යාලයනෙ. සිංහලේ නැතිනම් උඩරට රාජ්‍ය යටතේ දිසාව කෙනෙක් පාලනය කල බින්තැන්න තමයි පස්සෙ කාලෙකදි රටේ මහත්තයෙකුගෙ පාලනය යටතට පත් උනෙ. මේ විදියට රටේ මහත්තයෙක් බින්තැන්න පාලනය කරන කොට තමයි ආර් එල් ස්පිටල් මහත්තය අපේ ආදි වාසී නැත්නම් වැදි ජනතාව පොල්ලෙබැද්දට මහවනන්තරෙන් අරං ඇවිල්ල පදිංචි කලේ. අපේ සුදු බන්ඩා ආරච්චි මහත්තය කියන විදියට බින්තැන්න වෙල්ලස්ස පලාත් දෙකම කලඹවමින් සුදු පොලීසියට අභියෝගයක් උන වන්නකු තිසාහාමිගෙ ප්‍රශ්නෙ විසඳෙන කාලෙ රටේ මහත්තය යටතෙ හිටපු මහඔය ආරච්චි එයා. වන්නකු තිසාහාමි නිල්ඔබ ආරච්චිට භාර උනා. නිල්ඔබ ආරච්චි මහඔය රටේ මහත්තයට තිසාහාමිව භාරදුන්නා. තිසාහාමි බදුල්ලට ගෙනියනකම් කෑම දුන්නෙ අපේ සුදු බන්ඩා ආරච්චි මහත්තය. රටේ මහත්තය තිසාහාමිව තමන් අත් අඩංගුවට ගත්ත කියල පෙන්නල ආන්ඩුවෙන් නියම කරල තිබුන තෑගි බෝග ගත්තා. මේ තමයි සුදු බන්ඩා ආරච්චි මහත්තයගෙ තිසාහාමි කථාව. කොහොම හරි මේ රටේ මහත්තයගෙ කන්තෝරුවෙ බෝඩ් එක නැත්නම් නාම පුවරුව 1993දී හොයාගන්න මට පුලුවන් උනා. ඒකට වියදම් උනේ එක පා පහරක් විතරයි.

දවසක් මහඔය කන්තෝරුවෙ ඉඩම ගැන බලන්න මිදුලට බැස්සෙ මුර කුටිය ඉදිකරන එකත් බලාගෙන සර්කිට් එක නැතිනම් සංචාරක බංගලාව පැත්තෙන් ඉඩමෙ පහලට යන්න. මුරකුටිය ලඟ ඉදන් වැඩේ ගැන බලල ගේට්ටුවෙන් එලියට යනකොට පාරෙ බදාම තහඩුව තියනවා. මේ බදාම තහඩුව මොකද පාරෙ දාල කියල ඒකට පයින් පාරක් ගැහුවා සපත්තු අඩි පා පහරට බදාම තහඩුව පෙරලුනා. මෙන්න බොලේ නාවික නිල් පාට රාජ්‍ය සලකුණ සහිත පුවරුවක් තියෙනවා බදාම ලෑල්ල වෙනුවට! මේකෙ ඉංගිරීසි භාශාවෙන් තියෙන්නෙ “ඔපිසර් ඉන්චාජ් ඔෆ් බින්තැන්න පත්තුව” කියල වගෙයි මතක. හොදටම මතකයි යටින් තියෙනව සිංහල භාෂාවෙන් “බින්තැන්න පත්තුව කරවන නිලධාරි තැන”කියල ලියලා. ඊටත් යටින් භාෂා දෙකෙන්ම මහඔය කියල ලියල තිබුනා. දෙමළ භාෂාව තිබුන කියලයි මතක. ඒක ගැන නිශ්චිතව කියන්න බෑ. යන්න ගිය ගමන නවත්තල බදාම ලැල්ල හෝදවල කාර්‍යාලෙ සෙනවිරත්න ප්‍රධාන කා.කා.ස. භාරයට පත් කරේ මේ ඉතිහාසගත භාණ්ඩයක් නිසා පරිස්සන් කරන්න කියලයි. තවම ඒක මහඔය කාර්‍යාලයේ ඇතැයි කියල හිතනවා.

නම්දරාපු රටේ මහත්තයගෙ කන්තෝරුවෙ නාම පුවරුව බදාම ලෑල්ලට ගත්තු බින්තැන්නෙ තිබුන ඊලඟ වටිනා ස්ථානය තානායමයි. ස්පිටල් මහත්තය ඇවිල්ල වැද්දො මුණගැහෙන්න කුරුදුවින්න, ඉඩම්බෝව, පොල්ලෙබැද්ද වගේ ගම් වල ඇවිදින්න ඉස්සෙල්ල විවේකගත්තු මහඔය තානායම තිබිල තියෙන්නෙ හරියටම දැන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ හදල තියෙන තැන. මම මහඔය ඉන්න කාලෙ මේ ඉඩම පොලිසිය හදන්න කියල පොලිසිය බාරෙයි තිබුනෙ. මේ බ්‍රිතාන්‍ය යුගයෙ තානායම ගරාවැටිලා තිබිලා 1978 මහා සුළි සුලඟින් විනාශ වුනා. ඊට පස්සෙ 1989 පී දයාරත්න ඇමතිතුමා මහවැලි ඇමති හැටියට මහඔය සංචාරක බංගලාව හදනකම් පිටින් යන කෙනෙකුට නවතින්න තැනක් මහඔය තිබුනෙ නෑ. මහඔය ඉස්පිරිතාලෙ බ්‍රිතාන්‍ය යුගයෙ තිබුන තැනම මම යනකොටත් තිබුනා. අද නම් හුගක් දියුණුයි. මේවාගෙ පරණ තැනක් තමයි බින්තැන්නෙ ගම්සභාව. බින්තැන්න පත්තු ගම්කාර්‍ය සභාව කවද පටන් ගත්තද කියන්න බෑ. ඒත් අතීතයේදි මහඔය සතිපොලක් හෙම සංවිධානය කරල, ගම්මාන වලට පාරවල් හදල සෑහෙන සේවයක් ගම්සභාවෙන් වෙලා තියෙන බවනම් කියන්න පුලුවන්.

මීලඟට වැදගත් ස්ථානයක් හැටියට තිබුනෙ උණුවතුර ලිං හත. මහඔය නගරෙන් හැරිල මාදුරු ඔය පාරෙ ටිකදුරක් ගිහින්, දකුණු අත පැත්තට හැරිල පොඩි දුරක් යනකොට පාරෙ දකුණු අත පැත්තෙ මේ උණුවතුර ලිං හත තියෙනවා. මුලින්ම මේ ගැන පොතක සදහන් වෙන්නෙ “ඩේවි දුටු ලංකාව” පොතේ කියලයි මට මතක. එකිනෙකට වෙනස් උෂ්නත්වයන්ගෙන් යුක්ත මේ උණුවතුර ලිං ලඟ ඒකාලෙ පාලුවට ගිය ස්වභාවයක් තිබුනෙ. ඉඳල හිටල ගැමියො ඇවිත් නාල යනව. මම මහඔය නැවතිල හිටපු හැම දවසකම වගේ මෙතනින් නෑව. දැන්නම් ආරංචි වෙන හැටියට මේ ස්වාභාවික සම්පත කොටුකරගෙන සල්ලි අයකරනව මහඔය ප්‍රාදේශීය සභාව. ඒව ඉතින් මහඔය බින්තැන්නට නිසා හොඳයි. නැත්නම් උණුවතුර ලිං බලන්න ටිකට් කඩන්නෙ මොන නීතියෙන්ද කියල අහල ස්වභාවධර්මයේ දායාද වූ පොදු මහජනතාවට අයිති ස්ථානයක් පරිහරණයට ඇති කල බාධාව ඉවත් කරවන්න පුලුවන්නෙ. වෙන රටවල එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑනෙ. ඒ වුනත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරල තීන්දු දීපු ගෝල්පේස් එක බදු දෙන්න නාගරික සංවර්ධන අධිකාරිය කරපු උත්සාහයට එරෙහිව පවරපු නඩුව පිලිබදව අධ්‍යනය කරල බැලුවොත් ස්වභාවධර්මයේ දායාද වල අයිතිය එක එක ආයතනවලට නෙමෙයි මහජනතාවට පොදුවෙ අයිතියි කියල තේරුම් ගනීවි.

මහඔය බින්තැන්නෙ පුරාවිද්‍යාත්මක අගය බොහොම ඉහලයි. ක්‍රිස්තු පූර්ව යුගයෙ ඉඳන් මහවැලි ගඟෙන් දකුණෙ තිබ්බ ප්‍රදේශ අයිති උනේ රෝහණයට. ඒ අනුව බින්තැන්න තමයි අනුරාධපුර යුගයේ අගනුවර පැත්තෙ ඉඳන් එනකොට රුහුණෙ මුලින්ම හමු වෙන ප්‍රදේශය. මේ ප්‍රදේශය පුරාම පුරාණ නටඹුන් විසිරිලා තියෙනවා. ප්‍රධාන ස්ථාන හැටියට හෙනන්නේගල, ඔමුනුගල, කොකාගල, නුවරගල, පෙන්වන්න පුලුවන්. මෙයින් හෙනන්නේගල කාවන්තිස්ස රජතුමා සහ රුහුනු රජ පරපුරේ රජ කෙනෙක්ගෙ සෙල්ලිපියක් රුහුනු රජ පරපුරේ මත්ස්‍ය ලාංඡනය එක්ක තියෙනවා. ඔමුනුගල නන්දිමිත්‍ර යෝධයගෙ පුතෙකු වූ තානාපති සුමන පූජාකරපු බව සදහන් ගල්ලෙන් තිබෙනවා. මේ තානාපති සුමනගෙ බිරිඳ දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දියණියක් බව රජගල පියංගල සෙල්ලිපියකින් අනාවරණය වෙනවා. නුවරගල සද්ධාතිස්ස රජතුමාගෙ පුතා වූ ලජ්ජිතිස්ස රජුගේ පූජාවන් ගැන සදහන් සෙල්ලිපි තියෙනවා. කොකාගලත් ඉපැරණි ශිලාලේඛන සහිත භූමියක්. වෙල්ලස්ස මහ කැරැල්ලෙදි ඔටුනු පළඳවනු ලැබූ විල්බාවේ මුදියන්සේ වැදි ආරක්ෂකයන් විසින් ආරක්ෂිතව තබාගත්තේ කොකාගලයි. මේ කිව්ව ස්ථාන හැර බින්තැන්න පුරා නටඹුන් සහිත ස්ථාන දහස් ගණනක් තියෙනවා. මේවා නිදන් හොරුන්ගෙන් බේරා ගන්න එක තමයි බින්තැන්නෙ දුප්පත් ගැමියන්ට තියෙන ලොකුම අභියෝගෙ. ඒක එහෙම කිව්වෙ මේ නිදන් හෑරිල්ලට සම්බන්ධ බලවන්තයො නිසයි. මේ බලවන්තයො අතර අනිවාර්‍යෙන්ම ආයුධ දරන බලවන්තයො, සල්ලි තියෙන බලවන්තයො, බලය තියෙන බලවන්තයො ඉන්නවා. මේ කාලකන්නි ඔක්කොම හොඳ බෞද්ධයො කියල පෙනී ඉන්න උන්. ඒක නිසා නැගෙනහිර පුරාවස්තු විනාශ කරනවෝ කියල බෙරිහන් දීල වෙන වෙන ආගමිකයින්ට ඇඟිල්ල දික් කරගෙන කෑගහන උන්නැහැල මේ ප්‍රදේශවල නිදන් මංකොල්ලකාරයො කරන විනාශෙ ගැන කතාකරන්නෙ නෑ. මම මහඔය ඉන්න කාලෙ මේ පුරාවිද්‍යා ස්තාන පිළිබඳව සොයා බැලුව නිසා ගැමියො නිදන් කොල්ලයෙන් මේ වැදගත් ස්ථාන ආරක්ෂා කරගන්න කරන අහිංසක උපායක් ගැන දැන ගත්තා. එක්තරා ගමකදි තිබුන ගල්කණු සහිත බිමක් පරීක්ෂා කල වෙලාවෙ එතන ආරක්ෂා කල ගම්වාසීන් දෙතුන්දෙනා මට කිව්වෙ ඒ ගල්කණු දෙක තුන එතනට ගෙනත් තිබ්බෙ තමන් කියලයි. නියම වශයෙන් ගල්කණු තිබ්බ තැනින් මීටර් තුන්සීයක් විතර ඈත තැනකයි ගල් කණු දැන් තියෙන්නෙ. පුරාවස්තු තියෙන ස්ථාන වෙනස් කිරීම වරදක් කියල මම කිව්වම ඒ ගැමියො මට කියනව මේව තිබුන තැන හාරල නිදන් හොයන එක නවත්වන්නයි ඒක කලේ කියල. මේකෙන් නිදන් හෑරීම නවත්වන්නෙ කොහොමද ඇහුවම කියනව “දැන් ඒ උන් ඇවිල්ල හාරන්නෙ මෙතනනෙ. මෙතන හාරල මොනව කරහම අපේ මොකද? මෙතන ඔය පැරණි දේ නෑනෙ. ඒව තිබ්බ නියම තැන ආරක්ෂා වෙනවනෙ” කිව්වා. “දැන් මෙතන හාරන එවුන්ට අපි කිසි බාධාවක් කරන්නෙ නෑ. ඔහෙ හාරපන් කියල අපි කුදහනවා” කියල හයියෙන් හිනාවුනා.

“ඉතින් පොලීසියට කියල තිබ්බම හරිනෙ” කියල මම කිව්වම ඒ ගැමියො හයියෙන් හිනාවෙලා මා දිහා අනුකම්පා සහගත බැල්මක් දාල “ඊට වඩා මේක හොදා” කියාපි. බලාගෙන ගියහම ඒකත් ඇත්ත කියල ටික වෙලාවකින් මටත් තේරුනා.

ඊලඟට බින්තැනෙ රාජකාරියට එනකොට මට විශේෂ වගකීමක් පැවරුවා ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙ බොහොම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උන ආර්.අයි.සී කුරුප්පු මහත්තය. ඒ මහඔය පොල්ලෙබැද්ද වැදි ජනතාව බලා ගැනීම සහ ඔවුන්ගේ පණිවුඩ තමන්ට ලබාදීම. රසල් කුරුප්පු සර් වනජීවී අමාත්‍යංශෙ අතිරේක ලේකම්, .පොල්ලෙ බැද්දෙ වැදිජනතාව බලාගැනීමේ වගකීම තමන් පිටට පවරගත්ත විතරක් නෙවෙයි ඒ පිලිබදව උපරිම ශක්තියෙන් ක්‍රියා කලා. මේ උදවියගෙ ප්‍රශ්න කුරුප්පු සර්ට සම්බන්ධ කරන්නෙ තුතා බන්ඩාර පොල්ලෙබැද්දෙ විදුහල්පතිතුමා. තම සහෝදර ජනතාව වෙනුවෙන් බොහොම ලොකු උනන්දුවකින් කටයුතු කල තුතා බන්ඩාර විදුහල්පතිතුමා, ආදිවාසි සමාජයෙන් රජයේ රැකියාවකට ආපු ප්‍රථමයා. 

පොල්ලෙබැද්දෙ ආදිවාසි ජනතාව පැවත එන්නෙ දානිගල මහ බන්ඩාර පරම්පරාවෙන්. තව කට්ටියක් තලා බන්ඩාර පරම්පරාවෙන්. දානිගල මහ බන්ඩාර වැදි පරපුර රජ්ජුරුවො එක්ක කෙලින්ම ගනුදෙනු කල වැදි පරපුරක්. ඔවුන් දානිගල වැදි පරම්පරාවෙ අය කියල අභිමානයෙන් කියන අය. සිංහලේ රජ්ජුරුවන්ට හදිසි සතුරු ආක්‍රමණ වලට මුහුණ දෙන්න උනහම රජ පවුලෙ ආරක්ෂාවට කැඳවන්නෙ දානිගල මහ බන්ඩාර පරම්පරාවෙ වැදි ජනයා. මහ වනන්තරේ දිවි නොතකා රජ පවුල රැකගන්නෙ දානිගල වැද්දො. වෙල්ලස්සෙ බින්තැන්නෙ මේ වැදි පරපුරුවලට තිබුන ඔය කාර්‍ය නිසා තමයි මහ වෙල්ලස්ස කැරැල්ලෙ විල්බාවෙ රාජ ප්‍රතිරූපකයා රැක ගැනීමට ඔවුන් ක්‍රියා කලේ. ඒකත් අකුරටම කල බව පේන්නෙ 1830වෙනකම් විල්බාවෙ අත්අඩංගුවට ගන්න සුද්දො අසමත් වීමෙනුයි. මේ අභිමානවත් දානිගල තලා බන්ඩාර වරිගවල නායකයා උනේ ගෝඹා ඇත්තො. බොහෝම ජවසම්පන්න ගෝඹාඇත්තො පොරෝ කෙටියත් උරදරාගෙන මගේ කාර්‍යාලෙට ඇවිදින් “මාම කැච්චක් හොදමැයි දිසාකාරිලාඇත්තො” කියල අත්දෙක අල්ලලා හොලෝනව.

“මාම කැච්චක් හොදමැයි ගෝඹිලාඇත්තො. ඈදිගත්තනම්” කියල මම කියනවා.

“මේ ඇත්තො දිසාකාරිල ඇත්තන් මුණ ගැහෙන්න මංගැච්චුවෙ මෙඇත්තන්නේ ඇත්තන්ට මන්දො වෙලා තියෙන ප්‍රශ්න පොජ්ජවල් ටිකක් ගැන කතා දමන්න.”

“ඔව් ගෝඹිලා ඇත්තො. කතා දැම්මනම් බලන්න.”

හැමදාම ගෝඹිලාඇත්තන්ට තිබුනෙ එකම ප්‍රශ්න. පිටින් එන උන් කෙල්ලන්ව රවට්ට ගෙන ගැබ්බර කරල අතරමං කිරීම, තමන්ගෙ මිනිස්සුන්ට කන්න බොන්න හිඟකම, පරම්පරාවෙ අයව පිටස්තර පළාත්වල වැඩට ගෙනයාම වාගෙ ඒවා. මේවාට පුලුපුලුවන් තාවකාලික සහන දීල පිටත් කරනව. යන්න පුටුවෙන් නැගිටින ගෝඹා ඇත්තො “දිසාකාරිල ඇත්තො කුරුප්පු හූරට පණිවුඩ පොජ්ජ මන්දො කලොත් ඒ ඇත්ත මේ කොන මංගච්චලා බලයි” කියනවා.

“හොදා ගෝඹිලාඇත්තො මං පණිවුඩ පොජ්ජ මන්දො කරන්නම්” කිව්වම ගෝඹාඇත්තන්ගෙ මූණ එලිය වැටිල ඇස්දෙක පුන්චි වෙන්නෙ හිනාවෙන නිසයි. මූණ පුරා තියෙන කලු රැවුල නිසා හිනාව පේන්නෙ ඒ විදියටයි.
මම එදාම කුරුප්පු සර්ට පනිවුඩේ දෙනවා. ඒ සතිඅන්තෙදි සර් කෑම-බීම, බුලත්-පුවක්, දුංකල ගොඩකුත් එක්ක ඇවිල්ල ගෝඹිලාඇත්තන්ගෙ පරපුර බලන්න යනවා. මම දිසාපති හැටියට අම්පාරට පත්වෙලා මහඔය ගෝඹා ඇත්තො බලන්න ගියා. අර අභිමානවත් ගෝඹා ඇත්තො වෙනද වගේම කවි කීපයක් කියලා දුක ප්‍රකාශ කලා. හැබැයි ඇස්දෙක සම්පූර්ණයෙන් නොපෙනී ගිහින්. එදා කිව්ව ප්‍රශ්න අතර අලුත් එකක් තිබුනෙ ඇස්දෙක නොපෙනෙන්න වරිගෙ එකෙක්ම කොඩිවිනයක් කලා කියන එක විතරයි.

ඉතින් මම එදා දැකපු බින්තැන්න ඔහොමයි. දැන් බින්තැන්න එදාට වඩා දියුණුයි. රඹකැන් ඔය ජලාශෙ හැදිලා හීතවන්නිය ගොරිකාන කඳු පාමුල මහ සාගරේ වාගෙ ජලාශෙ. ගෝඹිලා ඇත්තො තවත් දුබලවෙලා. එදාට වැඩිය වටිනා පැරණි තැන් විනාශ කරලා වස්තුව හොයනවා. එදා නිදහසේ ගිය උණුවතුර ලිඳත් වටකරගෙන ටිකට් කඩනවා. විකුණන්න පුලුවන් ඔක්කොම විකුණන සමාජයක් එහෙත් හැදිලා. මේ සේරම මැද්දෙ බින්තැන්නෙ ගැමියො අපි වාගෙ අය දිහා අනුකම්පාවෙන් බල බල “ඊට වඩා මෙහෙම හොදා” කිය කියා බින්තැන්න බේරගන්න මොන මොනවහරි කරමින් ඉන්නවා. ඔන්න ඔහොමයි මගේ බින්තැනි වරුණෙ ඉතින්!

Advertisements

4 thoughts on “බින්තැනි වරුණාව.

  1. මට මං ගැනම අනුකම්පාවක් ඇති උනා.. අවුරුදු හතලිහක් විතර ඌවේ ජීවත්වෙලා වෙල්ලස්ස ගැන බිංතැන්න ගැන මං මොනවද දැනගෙන උන්නේ.. අනික ආසාවට මහඔය පැත්තේ අඩිය තියලා නෑ..
    සෙහ්. මොන ජීවිතයක්ද අප්පා මේක..

    Like

    1. අතීත බින්තැන්න දැන්දකින්න වෙන්නෙ ස්පිටල්,පියසේන කහදගමගේ සදරුවන් ලොකුහේවාගේ පියඩාස උඩවත්තගේ පොත්වලින් තමයි.

      Like

  2. පුරාවස්තු දැක්කහම ඇඹලයා සීනි ගොට්ටට ඇදෙන්න වගේ ඇදෙන එක මගෙත් සිරිතක්. අපේ ඔෆිස්සෙකත් පුරාවස්තු ගොඩක්නෙ. එකදාස් අටසිය ගනංවල ප්ලෑන්, පොත් එහෙම පිරිච්ච ලේඛනාගාරෙ ඇතුපට වැදුනම ඉතිහාසෙ හාරන්න හරිම ලේසියි. මගෙ පුරාවස්තු ලෝලීකම දන්න අපේ ලේඛනාගාර සහායකලත් පරණ ලේඛනයක් දැක්ක ගමං මට පෙන්නනව. ඒ විදිහට පරණ කහල ගොඩක් අවුස්සලා ඉස්සර කාලෙ සුද්දංගෙ පොටෝ, එංගලන්තෙ සිතියමක්, පලවෙනි නිදහස් උස්සවේ පොටෝ වගයක්, කොම්පාසුවක් දාගෙන යන හං පොකට්ටෙකක් එහෙම හොයාගන්න අපිට පුලුවං උනා. අපි එව්වා සුද්ද කරල ඔපිස්සෙකේ එල්ලා තිබ්බා. ඒ වගේම තමයි ආදි කාලීන ඔප්පු තිරප්පු එහෙම අරං එන මිනිස්සුංගෙං අවසර අරං ඒවයෙ ස්කෑන් එකක් කරගන්නත් අපි අමතක කරන්නෙ නෑ. 1912 විතර කාලෙ ඩිරෙක්ටරියක් වගේ පොතක් එහෙමත් තිවුනද කොහෙද. ඒකෙනං ඉන්දියාවට යන්න නැවු ටිකට්ටෙහෙක ගානත් තිවුනා.

    ආයි අපේ ඔපිස්සෙකේ තියෙනව හෙනම තඩි ලාඩප්ප ගහක්. එව්වට මෙහෙ අය කියන්නෙ නංචි කියලනෙ. ලාඩප්ප ගහ අවුරුදු එකසිය පනහකට වඩා පරණ ඇති. අපේ මැනුං සහායකලා ඔය ගහෙං අත්තක්වත් කපන්න දෙන්නෑ. ඒ තරං ආදරෙයි ඒකට. වටේට ගල්වැටියක් එහෙම දාලා තියෙන්නෙ. ඉස්සර යටත්විජිත කාලෙ ගෙනා සීලිං පෑන් (එව්වා හදල තියෙන්නෙ ජෙනරල් ඉලෙක්ට්‍රිකල්ස්ලා) එහෙමත් තාම වැඩකරන තත්වෙන් තියාගෙන ඉන්නවා.

    හැබැයි ඉතිං ඔය යටත්විජිත පුරාවස්තු වලට වඩා පරණ රජකාලෙ පුරාවස්තු තියෙන්නේ වියලි කලාපෙ තමයි. සංවර්ධන ව්‍යාපෘති කියලා මහපොලව බිඳලනකොට අහුවෙන පුරාවස්තුත් පස් ගොඩවල්, ගල් කෑලි හැටියටම යටකරන්නෙ නැතුව එව්වා වෙනිං තැනක හරි තැම්පත් කරන්න පුළුවංනං ඒක තමයි හොඳ.

    Like

    1. පරණ ලියකියවිලි අවුස්සල ඉතිහාසෙ හාරන ල්‍ර්ඩේ මටත් තියෙනවා.1929ඉපදුන අපේ තාත්තටත් ඔයල්‍ර්ඩේ තියනවා.තාත්ත එකතුකරපු ලේඛන අතර 1924ලියාපු දෑවැදිපත්‍රයක්,1910පසලේ පිංඒ ආඪාර පොතක් පැරණි කාසි එහෙම තියෙනවා.ඕව හැමෝටම හැදෙන්නෙ නැති ලෙඩ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s