පැණි මුදලාලි.

බින්තැන්නෙ යම් ස්ථාවර තත්වයක් ගොඩනගාගෙන හිටපු උදවිය තමයි ව්‍යාපාරිකයො. ව්‍යාපාරික වෘත්තිය බින්තැන්නෙ වැදගත් කාර්‍ය භාරයක් කලා. ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමත්, ජනතාවට අවශ්‍ය දේ සැපයීමත් භාරව තිබුනෙ මේ ව්‍යාපාරවල නිරත උදවියටයි. සෑම කුඩා ගම්මානයකම වාගෙ මේවගේ උදවිය හිටියා. ඒ අය ඊට වඩා විශාල මට්ටමින් කටයුතු කල ප්‍රාදේශීය ව්‍යාපාරිකයො එක්ක සම්බන්දයි. ප්‍රාදේශීය ව්‍යාපාරිකයො මහඔය, පදියතලාව, සේරංකඩ වාගේ ප්‍රධාන මාර්ගයේ තිබුන කේන්ද්‍රස්ථානවල ස්ථානගත මහ ව්‍යාපාරිකයින්ට සම්බන්දයි. ඔය සබඳතා ජාලය මුලු බින්තැන්නෙ ගැමියන්ගෙ ආර්ථිකය පාලනය කලා කිව්වොත් නිවැරදියි. කොහොම අර්ථ නිරූපණය කලත් මේ ව්‍යාපාරික පද්ධතිය බින්තැන්නෙ ගැමියන්ගෙ ගැලවුම්කාරයන්ගෙ භූමිකාව රඟ දැක්වූවා කිව්වත් වැරදි නෑ. මේ ව්‍යාපාරිකයො ඇතමෙක් මිනිසුන්ගෙ නිෂ්පාදන මිලට ගැනීම හා මහා ව්‍යාපාරිකයො සමඟ එක්ව රටේ මහ වෙලඳ ජාලයට සැපයීමත් කලා. සමහරු මිනිසුන්ගේ අවශ්‍යතා සැපයීමත් කලා. තව අය ඉදිකිරීම් කර්මාන්තයට අදාල කොන්ත්‍රාත් කලා. විශාල ලෙස ඉඩම්වල විවිධ බෝග වගාකර ආදායම් ලබා ගැනීම, දැව මිලදීගෙන මොරටුවට සැපයීම, රාජ්‍ය දැව සංස්ථාවේ දැව හෙලීම් කොන්ත්‍රාත් කිරීම ආදී ව්‍යාපාර කරන අය මේ පලාතේ හිටියා.

දැව ව්‍යාපාරය බින්තැන්නෙ ලොකු ව්‍යාපාරයක්. බින්තැන්නෙ ව්‍යාපාරික වන වගාවෙ ආරම්භය 1900වගේ අතීතයක් සහිත දෙයක්. පලමුවැනි වන පාලක වරයා බවට විශ්වාස කල හැකි එෆ්.ලුවිස් බින්තැන්නේ සංචාරය කලේ ඔය කිව්ව කාලෙ. ඔහුගේ නිර්දේශ මත බ්‍රිතාන්‍ය රජය නුවරගල රක්ෂිතය ප්‍රකාශයට පත් කරල තේක්ක වගාව පටන් ගත්තා. මේ වන වගාවෙ ආභාෂයෙන් දෝ තේක්ක වගාව බින්තැන්නෙ ග්‍රාමීය ඉඩම්වල වැටට හෝ හිටවන්න පටන් ගත්තා. මේ විදියට තේක්ක වගාව බින්තැන්නෙ පැතුරුනා. එතකොටත් බින්තැන්නෙ ඉඩම්වල බුරුත, පලු, මිල්ල, කැටකෑල, මාදං (දඹ)වාගෙ ගස් වර්ග තිබුනා. බෝගමු යායෙත් රජයේ තේක්ක වගාවක් තිබුනා. රටේ දැව අවශ්‍යතාවය වැඩිවෙනකොට බින්තැන්නෙ ඇතැම් ව්‍යාපාරිකයො දැව ව්‍යාපාරෙට පිවිසුනා. ප්‍රදේශයේ පුද්ගලික දැව මිලදීගෙන මොරටුවට සැපයුම ලාභදායී ව්‍යාපාරයක් උන නිසා මේකට මහ ව්‍යාපාරිකයොත් පිවිසුනා. රජය මගින් වන වගාවල දැව ලබාගැනීමේදී පුද්ගලික කොන්ත්‍රාත් කරුවන් යොදා ගැනීමට තීරණය කිරීමත් මේ ව්‍යාපාරෙට පිවිසෙන්න හොඳ අවස්ථාවක් උනා. මේ විදියට දැව ව්‍යාපාරෙදි අපේ කාර්‍යාල වලින් ප්‍රවාහන බලපත්‍ර ලබා නොගෙන දැව ප්‍රවාහනය තහනම් නිසා අපේ කාර්‍යාල පද්ධතිය වටා මේ දැව ප්‍රවාහන බලපත්‍ර ඉල්ලුම් කල ව්‍යාපාරිකයො නිරන්තරයෙන් ගැවසුනා.

මම බින්තැන්නට ගිය විගසම දැව ප්‍රවාහන ක්‍රමවේද හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හොදින් පරීක්ෂා කලා. එහෙම කලේ මේ අංශයේ දූෂණ අක්‍රමිකතා බහුලව ඇති බවට වූ ජන මතය. ජනතාව අතර යම් මතයක් තිබුනෙ වතුවල තියෙන ගහේ මුල පෙන්නලා කැලේ තියෙන ගස් ප්‍රවාහනයට බලපත්‍ර ගන්න උනත් පුලුවන් සල්ලි දෙනවනම් කියල. ඒ මතය බොරුවක්ම නෙවෙයි. ඉතින් මේ ගැන අවධානය යොමු කරලා ගස් එක දෙක කපාගන්න ඉල්ලන අයගෙ බලපත්‍ර කඩිනමින් දෙන්නත් ලොරි ගණන් පටවන අයගෙ ඒව දැඩිව බලන්නත් තීරණය කලා. දැව ප්‍රවාහනයට නිර්දේශ කල දැව කමිටුවක් ස්ථාපිත කර තිබුනා. බොහෝ ව්‍යාපාරිකයො පුරුදුවෙලා හිටියෙ දැව කමිටු නිර්දේශෙට අදාල කමිටු නියෝජිතයගෙ අත්සන මුණගැහිලා අරගෙන ඉල්ලුම් පත් භාරදෙන්න. මේ විදියට එන අයදුම් පත්‍රය මගින් ඉක්මනටම ප්‍රවාහන බලපත්‍රය ගන්න පුලුවන්. මේ තත්වය යූ.පී එක්ක කතා කරහම මේ ගැන තද උපදෙස් මාලාවක් නිකුත් කිරීමත්, විෂය භාර නිලදාරියාගේ කාර්‍ය දැඩිව අධීක්ෂණය කිරීමට වැඩපිලිවෙලක් සැකසීම සුදුසු බව යූ.පී කිව්වා. ඒ අනුව අයදුම් පත් භාර ගත් විගස ග්‍රා.නිට යොමු කර වාර්තා ලැබීමෙන් පසු ජනපද නිලදාරිට යොමු කිරීමත්, ඉන්පසු අවශ්‍ය අනෙකුත් නිලධාරීන්ට යොමු කර අවසානයේ නිර්දේශ ලදහොත් දැව කමිටුවට යොමු කිරීමටත්, සතියකට වරක් පවත්වන දැව කමිටු රැස්වීමේ වෙනම වාර්තාවක් මඟින් නිර්දේශ ගෙන ස.ප්‍රා.ලේ හෝ ප්‍රා.ලේ පුද්ගලිකව ස්ථානීය පරීක්ෂාවකින් පසු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට වැඩපිලිවෙල සැලසුම් කලා. මේ ගැන කටයුතු කරන්න පටන්ගත්තෙ මහඔයට ආපු මුලදීමයි. 

මේ දවස් වල මම උදේ හවස අම්පාර මහඔය සංචාරයේ යෙදුන කාලෙ. දවසක් හවස 5.00ට විතර අම්පාරෙ යන අතර අරන්තලාවෙදි ඉස්සරහට මුණගැහුන වෑන් එකක් ලයිට් ගහල අතදාල අපේ වාහනේ නතර කලා.

“සර් “පැණි” මුදලාලිගෙ වෑන් එක.නවත්වන්නද?” රියදුරු සුනිල් ඇහුවා.

පැණි මුදලාලි බින්තැන්නෙ බලවන්තයෙක්. එවක පාලක පක්ෂයෙ බලවන්තයෙක් වගේම චන්ඩියෙකුත් උන පැණි මුදලාලි මහ ව්‍යාපාරිකයෙක්. ධනය හා බලය තිබුන නිසාම ලොකු පිරිසකුත් මිනිහ වටා හිටිය. රජයේ කොන්ත්‍රාත්, දැව ව්‍යාපාර, වී මෝල්, භාන්ඩ ව්‍යාපාර ආදී සියලු දේ කල පැණි මුදලාලි අකුරු සාස්තරේ යම්‍තම් තමයි දැන ගෙන තිබුනෙ. සමහරු නම් කිව්වෙ අකුරු සාස්තරේ මිනිහට බෑ කියල. හැබැයි පෑන අරං අත්සන ගහන්න නම් පුලුවන්. ඒ කොහොම උනත් මිනිහ දක්ෂ පාලකයෙක්. මේ කාලෙන් පස්සෙ රජය මඟින් නියාමනය කරන වෙළඳ ව්‍යාපාරයකුත් මිනිහ පාලනය කලා. මට කලින් හමු වෙල තිබුනෙ නෑ. බින්තැන්නෙ කෙරුවාව කරන්න නම් මිනිහත් එක්ක බේරුමක් කර ගන්නම වෙනවා.

“නවත්වනවා” මම ඩ්‍රයිවර් සුනිල්ට කිව්වා.

පැණි මුදලාලිගෙ ලයිට් ගැහිල්ලයි මගේ තීරණයයි වාහනේ වේගෙයි අතර කාල පරතරය මීටර් සීයක විතර දුරකට පරිවර්තනය වෙලා මගේ වාහනේ නැවතුනා.

“ඔන්න “පැණියම” දුවගෙන එනවා” ඩ්‍රයිවර් සුනිල් කිව්වා.

පැණි මුදලාලි හතිදාගෙන මගේ වාහනේ ලඟට ආවා. මම වීදුරුව පාත්කලා.

“ඔව් මොකද? කරදරයක්ද?” මම ඇහුවා.

“සමාවෙන්න සර් මම හිතුවෙ වෙන කෙනෙක් කියල. මට පොඩ්ඩක් වැරදුනා.”

“ඔයා කව්ද? මාව දන්නවද?” මම ඇහුවා.

“මම පැණි මුදලාලි. සර් මාව දන්නෙ නැතුවට මම සර්ව හොදට දන්නවා. සර් බින්තැන්නට ආ එක හොඳයි. මම සර් මුණගැහිල කතාකරන්න එන්න හිටියෙ. පොඩි උවමනාවකුත් තිබුන.”

“ඔව් මොකක්ද උවමනාව?”

“නෑ ඒක හම්බු වෙලා කථාකරමු. සමාවෙන්න සර් දැන් යන්න”

“නෑ පස්සෙ හම්බු උනාම කතාකරන උවමනාව දැම්ම කියන්න”

“නෑ සර්, මගේ ලී පර්මිට් එකක් තියෙනව. මේ කමිටුවෙ අත්සන සම්පූර්ණ කරන්න බැරි උනා. සර් අලුත් නියෝගයක් දාලලු මේ කමිටුව රැස්වෙල මිසක් අත්සන් කරන්න එපා කියල. දැන් ඒ ඩී ඒ මැනේජර් අත්සන් කරන්න බෑ කියනව. ඒක හින්ද ඔය අලුත් වැඩපිලිවෙල කැන්සල් කරල දෙන්න බැරිද කියල කතාකර ගන්න එන්න හිටියෙ. සමාවෙන්න මහපාරෙදි මේක කිව්වට”

“මුදලාලි, මගේ කන්තෝරුවෙ රාජකාරි ගැන පිළිවෙල තීරණය කරන්නෙ මම. ඒක මම තීරණය කරල ඉවරයි. බොහෝම අක්‍රමිකතා තිබුන ක්‍රමය උඩ කෙරෙනවා කියල ලැබුන තොරතුරු මතයි මේ අලුත් පිළිවෙල කියල මුදලාලි කියන පිළිවෙල හැදුවෙ. හරියට බැලුවොත් ඒක තමයි රජය නියම කරපු පිළිවෙල මහඔය දී එක එක්කෙනාගෙ පහසුවට වෙනස් කරගෙන තිබුනට. ඒක හින්ද මට බොහොම කණගාටුයි මුදලාලි ඉස්ඉසෙල්ල ඉල්ලපු කාරණාව ඉෂ්ට කරන්න බැරිවීම ගැන.”

“ඒකෙ ඇති දෙයක් නෑ සර්. සර්ල අපි වගේ නෙවි උගත් උදවියනෙ. සර්ල සාධාරණව හිතල කා ගැනත් බලල කරන ක්‍රමෙට අපි කැමති වෙන්න එපායැ. සර් කෙලින් වැඩ කරන කෙනෙක් නෙ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. සමාවෙන්න මේ මහමඟ නැවැත්තුවට” කියල දෙකට නැවිල ආචාර කලා.

දැව බලපත්‍ර වලට අදාල වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙන්න ලොකු බාධාවක් ආවෙ නෑ. තමන්ට විධිමත්ව අයදුම්පත එනතුරු දැව පරීක්ෂණ සඳහා යාමත් නිලධාරීන්ට තහනම් කලා. පරීක්ෂණය අවසන් වී පසු දිනම තම නිර්දේශ සටහන් කර ආපසු භාරදීම අනිවාර්‍ය වුනා. මේ විදියට පිළියෙල වුන වැඩපිළිවෙලේ මම හෝ යූ.පී ස.ප්‍රා.ලේ පුද්ගලිකව දැව ඉඩම පරීක්ෂාව සිදුකලා. මේ වැඩපිළිවෙල ආරම්භවෙලා මාසයක් විතර ගියාට පස්සෙ දවසක් ටිකක් තරුණ පෙනුමක් තියෙන වැඩි උසක් මහතක් නැති සරමකින් හා කමිසයක් ඇඳපු කෙනෙක් කාර්‍යාලෙදි මාව හමු උනා. එයා එන්න ඉස්සෙල්ලම සෙනවිරත්න මට තොරතුර දුන්නා “කිරි” මුදලාලි මාව හමුවීමට ඇවිත් ඉන්න බව.

“සර් මම කිරි මුදලාලි. සර් මේ දැව බලපත්‍ර වැඩේ පිළිවෙලක් කලා. දැන් එක එකාගෙ හොර වැඩ වලට ඉඩ අඩුයි. පොඩි සර් ඕක පිළිවෙල කරන්න උත්සාහ කරා. ඒ උනාට යටින් ඉන්න උන් හොරෙන් හොරෙන් පගාවට වැඩකල හින්ද පොඩිසර්ට ඕක හදන්න අමාරු උනා. මේ සැරේ වැඩේ හරි” මිනිහ කියෝගෙන යනව.

“හරි මුදලාලි, බොහොම ස්තූතියි. මුදලාලිත් දැව ව්‍යාපාරෙ කරනව නේද?”

“ඔව් සර්. මම ඉල්ලන පර්මිට් ගැන ඕන තරම් පරීක්ෂණ කරාට කමක් නෑ. මම ඕක බොහොම සාධාරණව කරන්නයි උත්සහ කරන්නෙ. සමහර වෙලාවට මට පාඩුයි මිනිස්සුන්ගෙ ගස් අරං බිස්නස් කරන එක. මම ඕක නොකොලොත් මේක කරන එවුන් ඔය “පැණියල” හෙම තුට්ටු දෙකට මිනිස්සුන්ගෙ ගස් ගන්නවා. මට ඕන සාධාරණ මිලක් දෙන්න”

“බොහොම සංතෝසයි මුදලාලි මුණගැහීම ගැන. මොනවහරි ඕනකමක් උනොත් කියන්න.”

“මගෙ ඕන එපා කම් ගැන මම සර්ගෙන් කිසිම අතිරේක උදව්වක් ඉල්ලන්නෙ නෑ කවදාවත්ම. හැබැයි මම මේ අසරණ උන්ගෙ ප්‍රශ්න වලට නම් සර්ගෙ උදව් ඉල්ලනවා ඒවට මට උදව් කරන්න. මට සාමාන්‍ය විදියට රාජකාරි කර දුන්නම ඇති අනික් කාටත් වගේ” මේ අපූරු මුදලාලි සමු අරන් ගියා.

“පාලිත, මේ කිරි මුදලාලි කොහොම කෙනෙක්ද?” මම කුතුහලය නිසාම පදියතලාවෙ ප්‍රා.ලේගෙන් ඇහුවෙ කිරි මුදලාලි ඒ පැත්තෙ කෙනෙක් නිසා.

“නියම බඩුව! කිසිම වැරදි නොකරන කෙනෙකුට කරදරයක් නෑ. බොහොම හොඳ කෙනෙක්.  මිනිහගෙ ප්‍රශ්න වලට උදව් බලාපොරොත්තු වෙන්නෑ. මිනිස්සුන්ගෙ ප්‍රශ්න තමයි මිනිහගෙ ලොකුම ප්‍රශ්න. හැබැයි පැණි මුදලාලිගෙ පරම හතුරා. පැණියත් කාට ජාති දාන්න ගියත් කිරි මුදලාලිට මොකුත් කියන්නෙවත් නෑ..” පාලිත කිව්වා.

මේ කාලෙ මහඔය දැව ගබඩාවෙ වෙන්දේසියක් තිබුනා. බෝගමු යායෙන් කපාපු හොදම තේක්ක තොගයක් වෙන්දේසියට තියල තිබුන හින්ද මොරටුවෙන් ව්‍යාපාරිකයො පිරිසක් වෙන්දේසියට සහභාගි වෙන්න ඇවිල්ල හිටිය. මේක මහඔය ගබඩාවෙ පළමු වෙන්දේසිය. පැණි මුදලාලි බින්තැන්නෙ දැව ව්‍යාපාරිකයො පිරිසක් සංවිධානය කරල, ලංසු ඉහළ නොදා, වැඩිය නොඉල්ල, දැව අරගෙන තොගේම එතනදි විකුණල ලාබෙ බෙදාගන්න සංවිධානය කරගෙන. හරහට ඉන්නෙ කිරි මුදලාලි විතරයි. එයාටයි එයාගෙ ගෝලයන්ටයි එච්චර සල්ලි නැති හින්ද මුල්තොග කීපය ඒගොල්ලන්ට ගන්න දීල වැඩි ප්‍රමාණය පැණි මුදලාලි ගන්නයි සැලසුම. පස්සෙ මොරටුවෙ ලොකු ව්‍යාපාරිකයෙකුට තොගේම ලාභයක් තියාගෙන දීල ලාබෙ කට්ටිය එක්ක බෙදාගන්න තිබ්බ සැලසුමට දැව සංස්තාවෙ සමහරුත් සම්බන්දයි. මේ සේරම තොරතුරු දැනගත්තෙ මාවත් දැව වෙන්දේසි අධීක්ෂණ කමිටුවෙ සභාපති හැටියට පත්කරල තිබුන නිසා ඒ ගැන තොරතුරු හෙව්වමයි. අපේ සී.සී බොතේජු මහත්තය මුලු විස්තරේම මට කිව්වා. මමත් මේව හිතේ තියාගෙන, වෙන්දේසිපොලට යන්න කලින් කාර්‍යාලෙ ඉන්න කොට, කලබලෙන් ආපු දැව සංස්ථාවෙ ගබඩාවෙ නිලදාරිය මොරටුවෙ මුදලාලිල විශාල පිරිසක් ඇවිත් තියෙන බවත්, ඒ අයට විරුද්ධව පැණි මුදලාලි ගෝරියක් දාන්න යන බවත්, පොලිසියත් ආරක්ෂාව දෙන්න අදිමදි කරන බවත්, වෙන්දේසිය කල් දැමීම සුදුසු බවත් කියල කලබලෙන් කතාකලා. වෙන්දේසිය කල් දැමීමට මම ඉඩ නොදෙන බවත් මේ ගැන අවශ්‍ය පියවර ගන්නා බැවින් වෙන්දේසියට සූදානම් වන ලෙසත් දැනුම් දී ඔහුව පිටත් කලා. පොලිසියේ ඕ.අයි.සීට දුරකතනයෙන් කතාකර වෙන්දේසිපොලේ සාමය අරක්ෂා කිරීමට පිරිසක් එවන ලෙසත්, වෙන්දේසිය කරන්නේ මම බැවින් කිසිදු ප්‍රශ්නයක් ස්ථානයේ නොවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නා. ඒත් එක්කම මොරටු මුදලාලිල කීප දෙනෙක් ඇවිත් ඔවුන්ට කරදර කිරීමට සූදානමක් ඇති බැවින් ආරක්ෂාව සලසන ලෙස ඉල්ලුවා. ඒ ගැන බිය නොවන ලෙස පවසා ඔවුන් පිටත් කලා.

හරියට 9.45ට වෙන්දේසි බිමවූ ගබඩාවට ගියා. දැව සංස්ථා නිලධාරින් සමග ප්‍රාදේශිය කළමනාකරුත් සිටියා. පොලිස් ස්ථානාධිපති පොලිසි කණ්ඩායමක් සමඟ ආවා. වෙන්දේසියට ඇතුලුවීමට මුදල් ගෙවූ රිසිට්පත සහිත අය හැර ඉතිරි සියලු දෙනා ගබඩා භූමියෙන් එලියට යවන ලෙස ශබ්ද නගා පොලිසියට දැන්වූවා. පොලිසිය පිරිස එලියට දාන කොට පැණි මුදලාලි මා ලඟට ආවා.

“සර් පොඩි අසාධාරණයක් වෙනව මෙතන බින්තැන්නෙ අයට.”

“ඔව් මොකක්ද මුදලාලි කියන්න.”

“මේ වෙන්දේසියෙ ලන්සු තින්දු වෙන අය එවෙලෙම සල්ලි බඳින්න කියල කියනවා. එතකොට මෙහෙ අයට අසාධාරණයක් වෙනවා. ඒක නිසා සල්ලි දවස් දෙකක් ඇතුලත බඳින්න කියල සීයට විසිපහක් දැන් අරගන්න කියන්න.”

“දැව සංස්ථාව මොකද කියන්නෙ? ඒක පුලුවන්ද?”

“සර් වෙන්දේසි දැන්වීම අනුව මුලු වටිනාකම ලන්සු තීන්දු වූ වහාම ගෙවිය යුතුයි.”

“ඇහුනද මුදලාලි, ඔයාගෙ ඉල්ලීම කරන්න තිබුනෙ මේ දැන්වීම ගහන්න කලින්. දැන් ඒක කරන්න බෑ. තේරුනාද?”

“සර් මේ වෙන්දේසියට ආපු පිට අය ලක්ෂ ගණන් සල්ලි දීල ලී ඉල්ලනකොට, බින්තැන්නෙ ලී බඩු හදන අයට ලී කෑල්ලක් ගන්න මොරටුවට යන්න වෙනවා.”

“ඒකනම් අසාධාරණයි. බින්තැන්නෙ අය ලීබඩු හදාගන්න ලී ගන්න ඕනෙ මෙතනිනුයි. ඒකට වැඩපිලිවෙලක් ඕන. බොහොම ස්තූතියි මෙහෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් මතක් කලාට. මම ඒක විසඳන්නම්.”

“අන්න හරි! අපේ ප්‍රශ්නෙ සර්ට තේරුනා. මේ වෙන්දේසිය බින්තැන්නෙ අයට සීමාකරන්න” පැණි මුදලාලි ලොකු හිනාවක් දැම්මා.

“නෑ මුදලාලි, මුදලාලිගෙ ප්‍රශ්නෙ සාධාරණයි, උත්තරේ නීති විරෝධියි. මේ වෙන්දේසිය ප්‍රසිද්ධ වෙන්දේසියක්. නියමිත මුදල් ගෙවන ඕනෑම කෙනෙක් මේකට ඇතුල් වෙන්න සුදුසුකම් ලබනවා. ඒක නැතිකරන්න බෑ. හැබැයි මම බින්තැන්නෙ ලීබඩු හදන අයට තරඟයක් නැතුව මේ වෙන්දේසියෙන් ලී ගන්න ඉඩ හදනවා. පොඩ්ඩක් ඉන්න” කියල වෙන්දේසියට ඇතුලු වී ඉන්න ඔක්කොම එක තැනකට කැඳෙව්වා.

“දැන් මේ වෙන්දේසියෙදි බින්තැන්නෙ ලීබඩු හදන අයට වෙන්න පුලුවන් අසාධාරණයක් ගැන අපේ පැණි මුදලාලි මහත්තය මතක් කලා. මේ පැණි මුදලාල රටේ ආණ්ඩු කරන පක්ෂෙ මේ ප්‍රදේශෙ සංවිධායකතුමෙක්. ආණ්ඩුවට දොසක් එන දේ වලක්වන්නයි උන්නැහැ ගෙ කාරිය. මමත් රජයෙ නිලධාරියෙක්. රජයට මහජන අප්‍රසාදයක් එන කාර්‍යක් ගැන විසඳුමක් දෙන එක මගේත් යුතුකම. ඒක නිසා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා බින්තැන්නෙ වඩු කාර්මිකයො තියන ලංසු වලට වැඩි ලංසු නොතියන ලෙසට” කිව්ව විතරයි මොරටුවෙ මුදලාලි කෙනෙක් කතා කලා.

“සර් ඔබතුමා කියන ඕනෑම දේකට අපි මොරටුවෙන් ආපු අය එකඟයි.” 

මම පැණි මුදලාලිට ලඟට කථාකලා. පැත්තකට මිනිහව අරං මම ඇහුවා “ලියාපදිංචි වඩුකාර්මිකයො කීදෙනෙක් ඉන්නවද?” කියල මිනිහ ඔලුව කහල කියනව කවුරුත් නෑ කියල.

“මේ මුදලාලි, තමුන්ගෙ ඉල්ලීමට උදව් කරන්න ගිහින් මමත් අමාරුවෙ වැටෙන්න යන්නෙ. අනික තමුන් ආණ්ඩු පක්ෂෙ මෙහෙ ලොක්කෙක්. මම දැන් ලියාපදිංචි වඩු කාර්මිකයො කව්ද ඉන්නෙ කියල ඇහුවම කවුරුත් නෑ කියල දැනගත්තොත් ඔහෙයි මමයි දෙන්නම සවුත්තුවෙනව. මොකද කියන්නෙ?”

“හරි සර් ඕනදෙයක් කරන්න. මම යන්නම් අපේ උන් ටිකත් අරගෙන. එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ.” 

“හරි මම තමුන්ට සවුත්තුවක් නැතුව යන්න මොකක් හරි කියන්නම්. එතකොට යනවකො එහෙනම්.”

“හරි සර්.”

“හා හරි, අපේ පැණි මුදලාලි කියනවා ලැහැස්ති කරපු විදියට වෙන්දේසිය කරන්න. ඊලඟ වෙන්දේසියකදි උන්නැහැ කියපු ප්‍රශ්නෙ ගැන බලන්න කියල. අපි වෙන්දේසිය කරමු එහෙනම්.”

එතකොටම කිරි මුදලාලි දුවගෙන ආවා.

“මේ වෙන්දේසිය නවත්වන්න එක එකා කරන කුමන්ත්‍රණ වලට ඉඩදෙන්න බෑ. අපිත් බින්තැන්නෙ. කාටත් මේකට සහභාගි වෙන්න දෙන්න ඕන කොහෙන් ආවත්ම” මිනිහ කෑගහනව.

“කිරි මුදලාලි, එහෙම මෙතන ප්‍රශ්නයක් නෑ. දැන් වෙන්දේසිය පටන්ගන්න පුලුවන්” මම කිව්වා.

“හරි සර්, සර් වැඩේ කරන්න. මේ චන්ඩිකම් පෙන්නල, පිටින් ආපු අය බය කරල මේ වැඩේ නවත්වන්න යනව කියල ආරංචි උනා. ඒකයි මම ආවෙ බලන්න.”

“හරි මුදලාලි පැත්තකට වෙන්නකො මමනෙ වැඩේ කරන්නෙ.”

“හරි හරි මගෙන් ප්‍රශ්නයක් නෑ.” මිනිහ අයින් උනා. පැණි මුදලාලි එලියට ගියා. වෙන්දේසිය හොඳින් කෙරුනා. පැණි මුදලාලි හවස ඇවිත් මාතෙක්ක කතා කලා.

“සර්, අද වෙන්දේසියෙදි මාව සවුත්තු කරන්නෙ නැතුව මට නම්බු දීල කතා කරල ලොකු ප්‍රශ්නයක් නැවැත්තුව. මට ඕනකරේ වෙන්දේසිය අපිට විතරක් කරන එකක් කරගන්න මොරටුවෙ අය අයින් කරන්න. ඒත් සර් මම මේ පැත්තෙ ආණ්ඩු පක්ෂෙ ලොක්ක කිව්වම මට කරගන්න දෙයක් නැතුව ගියා” කියල හිනා උනා.

“මුදලාලි, ඔයා දැන් මේ පැත්තෙ වැදගත් මිනිහෙක්. වැදගත් අය තුට්ටු දෙකේ වැඩ කරනවද?”

“සර්, මම අද මේ විදියට හිටියට එදා වේල හොයාගන්න බැරුව හිටපු කෙනෙක්. අද මෙහෙම ඉන්නෙ මගේම ක්‍රමෙට වැඩ කරල. මම සල්ලි හම්බු කරන්න නොකල දෙයක්නෑ. දැන් මට කවුරුත් සලකන්නෙ මගෙ තියෙන සල්ලි හින්ද. නැත්නම් මට බය හින්ද. මේ සැලකිල්ල තියාගන්න නම් සල්ලියි, චන්ඩිකමයි තියා ගන්න ඕන. ඉතින් ඒකට ඕන දෙයක් කරන්නයි මට වෙලා තියෙන්නෙ. සර් අද කරපු දෙයින් මගේ හිතේ ලොකු වෙනසක් උනා. මම නූගත් මිනිහෙක් සර්. මට උදව් කරන්න” කියල මිනිහ ගියා.

මේ මුදලාලිල දෙන්න නමින් ලියුවෙ නැතුවට මම දාපු අන්වර්ථ නාමෙන් දන්න අයට අඳුරගන්න බැරි කමක් නෑ. දෙන්නම අපි අතර අද නෑ.

Advertisements

2 thoughts on “පැණි මුදලාලි.

  1. ඔය විදිහටම බදුල්ලෙත් ඉන්නව ගස්කාරයො. මට නං පේන්නෙ මහා කපටියො විදිහට. සමහර දවස්වලට ප්ලෑන් ගන්න කියලා උස්සං එනව ආතක් පාතක් නැති ජයභූමි ඔප්පු. එව්වෑං බාගෙට බාගෙටත් වඩා මැනල ප්ලෑන් තියෙන එව්ව නෙවෙයිනෙ. ඉතිං ඔව්වයෙ ප්ලෑන් හොයලා බැලුවම එව්වා මැනල නෑ කියල හොයාගත්තැං පස්සෙ ඒ මිනිස්සුන්ට අපි කියනවා “මෙව්වා මැනල නෑ. මේක ආපහු මිනින්දෝරුවෙක්ට කියල මැනගන්න වෙයි. මේං මේ චක්කර ලේඛනේ තියෙනව ඒක බලයලත් මිනින්දෝරුවෙක් ලව්වා කරගන්න විදිහ”. සමහර වෙලාවට නොතේරෙන කෙනෙක් වෙතොත් කොලෙයක් අරං පිලිවෙලට අංක දාලා කරන්න ඕන පිළිවෙල ලියලම දෙනව (මිිනිස්සුන්ට අමතක වෙනවනෙ). අනේ ඉතිං එහෙමත් කොරලා හිත සතුටිං පිටත් කොරන්න බැලුවහම අර මනුස්සයා මේසෙ වටෙං ඇවිල්ලා කන ගාවට කරලා අහනවනෙ “සර් මේ මං මොකුත් උදව්වක් කරන්නං. බැයිද මේකට තව මොකුත් උනන්දුවෙං හොයල බලල දෙන්න” කියලා. ඒ මිනිස්සු හිතන්නෙ මං මිනිහගෙං ගානක් අත යටිං ගන්න ප්ලෑන යට ගහනව කියලා. ඒ වෙලාවට මං අපේ ලොකු මැඩම්ගාවටම ඒ මනුස්සයව යවනව. එතුමිත් ඉතිං මං කියපු එකම කියනවා.

    ඔබතුමාට හම්බවුන කිරියයි පැනියයි අහලකිංවත් තියන්න බෑ අපිට හම්බවෙන යෝගට් අප්පුලා.

    Like

    1. ඔය මිනිස්සු ආන්ඩුවෙ කන්තෝරු විශ්වාස කරන්නෙ නෑ.උන් හිතන්නෙ කරන්න පුලුවන් වැඩ ගානක්ගන්න හිතාගෙන නොකර ඉන්නව කියල.ඒකයි ඔය දීර්ඝ කාලයක අත්දැකීම් මත සියලු නිලධාරින් පගා කාරයෝය යන නිගමනේ ඔය මිනිස්සු ඉන්නෙ.හැබැයි ඔබ වගේ කරුනු කාරනා කියලදුන්නම ටික කලකින් ඔය මතය වෙනස් වෙයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s