පලාත් සභා ඡන්දෙ.

උතුරු නැගෙනහිරට මුලින්ම පලාත් සභාවක් පිහිටැව්වේ මම අම්පාර කච්චේරියෙ උපදිසාපති හැටියට ඉන්න කොට. ඒ කාලෙ දිසාපති ඩී එම් නන්දිසේන මැතිතුමා. අර තමන්ට ගන්න තිබුන 108000/=ඇරියස් එක එක පෑන් පාරෙන් කපාහැරල මට ලොකු පාඩමක් කියාදුන්න දිසාපතිතුමා. මේ කාලෙ වෙනකොට ඉන්දියානු සාම හමුදාව උතුරු නැගෙනහිර සේවය කරනවා. අම්පාර නගරෙ ඇතුලත් වෙන සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශ වල කටයුතුවලට ඉන්දියානු හමුදාව සම්බන්ද උනේ නෑ. ඒත් අම්පාර ගුවන්තොටුපොල ආශ්‍රිතව ඉන්දියානු හමුදා කඳවුරක් තිබුනා. ඉන්දියානු ගුවන්‍ යානා වලින් අම්පාරට භට පිරිස් උතුරෙ ඉඳන් ප්‍රවාහනය කලේ මේ ගුවන් තොටුපොල හරහා නිසා ආරක්ෂාවට ඉන්දියානු හමුදා කඳවුරක් ස්තාපිත කර තිබුනා. මෙතන හිටපු මේජර් ගුප්තා අපි එක්ක බොහොම මිත්‍රයි. ඒ කාලෙ කොලඹ එන්න ඕන උනහම ගුප්තට කෝල් එකක් දුන්නම අම්පාරෙන් උතුරට යන ඉන්දියානු ගුවන් යානයක රත්මලානට එන්න ක්‍රමයක් යොදනවා. ඉඳල හිටල රාත්‍රි කෑමකට එන්න කියල චපාති පුරි එහෙම එක්ක ඉන්දියානු කෑමත් දෙනවා. මිනිහ බොහෝ විෂයක් ගැන අවබෝධය තිබුන කෙනෙක්. ඒත් එක්කම සිංහල ප්‍රදේශවල බරපතල නොසන්සුන් තත්වයක් පැන නැඟිලයි තිබුනෙ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය හමුදා විරෝධයක් එක්ක ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් දියත් කරල තිබුනෙ. ආණ්ඩු කරපු පක්ෂෙට සම්බන්ද ප්‍රාදේශීය නායකයො කීප දෙනෙක් ඝාතනය කරල ඒ වෙනකොටත්. දෙමළ භාෂාව කථාකරන ප්‍රදේශවල රහසිගතව එල්ටීටීඊ කාරයො ක්‍රියාත්මක උනා වගේ සිංහල ප්‍රදේශවල දේශප්‍රේමියො රහසිගතව ක්‍රියාත්මක උනා. අපි මේ දෙගොල්ලටම බයේ තමයි රාජකාරිය කලේ.

මේ වෙනකොට අම්පාරෙ මැතිවරණ සහකාර කොමසාරිස් හැටියට වැඩකලේ අපේ නිශ්ශංක. ඩබ්ලිව්.ඒ.පී.ඩී.යූ.වී. නිශ්ශංක පරිපාලන සේවාවේ මගේ කන්ඩායමේ සාමාජිකයෙක්. අනික අම්පාරට ඇවිල්ල නිශ්ශංකගෙ ගෙදර තමයි මාත් හිටියෙ. හරියටම අරන්තලාවෙ ඝාතනය කරපු හාමුදුරුවරුන්ගෙ ආදාහනය දවස වෙනකම් අපි එක නිල නිවසෙ ඉඳල එදා මම වීරසේකර චමරියෙ පදිචියට ගියේ එදා නිශ්ශංක විවාහවෙලා රේණුකාව කැන්දන් ආව නිසයි. ඒ වුනාට චමරිය අල්ලපු වත්තෙ නිසා ආශ්‍රය කලින් වාගෙම තිබුනා. පලාත් සභා වලින් ඌව ඡන්දෙට අපි අම්පාරෙ ඉඳන් මොනරාගල රාජකාරි වලට ඇවිත් තිබුන නිසා පලාත් ඡන්දෙ තිබුන අමාරුව දැනගෙන හිටිය. අම්පාරෙන් මොනරාගල ඡන්දෙට ආපු මගේ ලිපිකරු නිලධාරියෙක් එහෙ ඡන්ද මධ්‍යස්තානෙ රාජකාරි ඉවරවෙලා මොනරාගල කච්චේරියෙදි මාත් එක්ක කිව්වෙ පොඩිකාලෙ දණ ගෑවට පස්සෙ ඊයෙ රෑ තමයි සර් ආපහු දණ ගෑවෙ කියල. එහෙම උනේ ඡන්ද මධ්‍යස්තානෙට දේශප්‍රේමින් බෝම්බ ගැසූ නිසාලු. මේ විදියට තැනින් තැන තියාපු පලාත් සභා ඡන්දෙ නිසා අපේක්ශකයො, සහාය දක්වන්නො, ඡන්ද දායකයො වගේ අය මැරුණ හැටියට පලාත් සභා චන්දෙ කියන්නෙ යුද්ධයක් කියලයි අපිට හිතුනෙ.

මේ වාගෙ ඡන්දයක් උතුරු නැගෙනහිර කරන බවට රජය ප්‍රකාශයට පත් කරහම අපි ඔක්කොම කලබල උනා. අපේ චමරියේ ප්‍රධානියා උන වීරසේකර මහත්තයා මුලින්ම චන්දයෙන් අයින්වුනා. නාමයෝජනා ගන්න ඉස්සෙල්ල දිසාපතිතුමා ඡන්දෙ සංවිධානය කරන්න මාණ්ඩලික නිලධාරින්ගෙ සාකච්ඡාවක් කැඳෙව්වා. මේ වෙනකොට ග්‍රාම නිලධාරින්ට තර්ජනය ලැබිලා. ඡන්දෙට සම්බන්ද වුනොත් මරණ දඩුවම නියම කරල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරෙන්. ප්‍රාදේශීය උපදිසාපතිවරු සිංහල ප්‍රදේශවල අය කිව්ව ග්‍රාම නිලදාරින් මේ ඡන්දෙට යොදාගන්න බෑ කියල. ඒ අනුව ඡන්ද නිලදාරින්ට ආහාර ලබා දීම කරන්නෙ කොහොමද කියන එක සාකච්ඡා කළා. කාටවත් උත්තරයක් නෑ. ඒ අතර දෙහිඅත්තකන්ඩියෙ උපදිසාපති විජේසිංහ නැඟිට්ටා.

“දිසාපතිතුමනි, මේ මැතිවරණය කොහොම හරි පවත්වනවනෙ නේද?”යි ඇහුවා.

“ඔව් රජයෙන් කියන්නෙ එහෙමතමා” දිසාපතිතුමා උත්තර දුන්නා.

“එහෙනම් මේ ඡන්ද නිලධාරින්ගෙ කෑම ප්‍රශ්නෙ විසඳන්නම ඕනනෙ.”

“ඔව් කොහොමහරි ඒක කරන්න වෙනවා”.

“මා ළඟ තියෙනවා විසදුමක්” විජේ කියනවා.

“මොකක්ද විසඳුම?” දිසාපතිතුමා උනන්දුවෙන් ඇහුවා

“ඔය එන නිලධාරින්ට බිස්කට් පැකැට් අරං එන්න කියන්න.” කියල විජේ වාඩි උනා.
හැමදේම විහිලුවට ගන්න විජේට මේකත් විහිලුවක්. හැමෝම හිනාවුනා.

“විජේසිංහට කට්ටිය හිනා උනාට මේ තත්වෙ හැටියට ඒක හොද යෝජනාවක්” කියල දිසාපතිතුමා කිව්වා.

කොහොමහරි නාමයෝජනා බාරගන්න පටන් ගන්නකොටම දිසාපතිතුමාට රතු පාටින් තර්ජන ලියුම ආවා. පලාත්සභා මැතිවරණය රාජකාරි කලොත් මරණ බවට තර්ජනයේ තිබුනා. ඊට අතිරේකව දුරකතනයෙන් එතුමගෙ ගෙදර තියෙන තැන, ළමයි යන ස්කෝලෙ ආදී තොරතුරුත් කියමින් කරපු තර්ජනේ නිසා දිසාපතිතුමා ඡන්ද රාජකාරි අත ඇරියා. රජයේ තීරණයක් අනුව යුධහමුදා මේජර් පෙරේරා නම් අයෙක් සහකාර තේරීම් භාර නිලධාරි ලෙස පත්කරා. ඒ අනුව නිල සියලු ලියවිලි ඔහුගේ අත්සනින් කෙරුනා. ඉන්දියානු හමුදා ආරක්ෂාව යටතේ පැවති දෙමළ කථාකරන ජනතාව ඉන්න පළාත්වල මුස්ලිම්, දෙමළ රජයේ සේවකයින් ට එල්ටීටීඊ තර්ජන තිබුනා. යම් පිරිසක් මැතිවරණ රාජකාරි වල යෙදවිය හැකිව තිබුනත් ප්‍රමාණවත් ඡන්දපොල කාර්‍ය මංඩලයක් හිටියේ නෑ. සිංහල ප්‍රදේශයේ කිසිවෙක් ඡන්දපොල රාජකාරි පංතිවලට ආවේ නෑ.

මේ තත්වය උඩ කච්චේරියෙ මාණ්ඩලික නිලධාරින් ඇතුලු බොහෝ පිරිස් ඡන්ද රාජකාරි ප්‍රතික්ශේප කලා. නිශ්ශංකගේ මිත්‍රත්වය සලකා මම මැතිවරණ රාජකාරි වලට එකඟ උනා. නිශ්ශංකටයි මටයි මේ පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනඟා ගන්න පුලුවන් උනේ තර්ජනය කරන්නන් ගේ ඇතැම් තොරතුරු රහසිගත අන්දමට අපිට ලැබෙන ක්‍රමයක් අපි ලඟ තිබුන නිසයි. තර්ජන එවන පැත්තේ අයට අපි දෙදෙනාම ගැටලු සහගත අය නොවූ බැව් ආරංචි වූ නිසා කරදරයක් නොවෙතැයි විශ්වාසයක් අපිට තිබුනා. නාම යෝජනා අවසන් වනවිට ඊ.පී.ආර්.එල්.එෆ් මුස්ලිම් කොංග්‍රස්, යූ.ඇන්.පී ප්‍රධාන තරඟකරුවන් උනා. ඡන්දපොල කාර්‍ය මංඩල කොලඹින් ඉල්ලා ඔවුන් ගුවනින් ප්‍රවාහනය කර ගැනීමට ක්‍රමවේදයක් ඉන්දියානු හමුදාව සමග කථාකර සංවිධානය කලා.

මේ මැතිවරණයේ ඡන්දපොල සදහා ද්‍රව්‍ය නිකුත් කිරීම් හා කර්‍ය මංඩල පිටත්කර හැරීම් මධ්‍යස්ථානය උනේ අම්පාර හාඩි කාර්මික විදුහලයි. ඒ අනුව මැතිවරණ කාර්‍යාලය මීට අදාලව ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ආදිය හාඩි ආයතනයට ගෙනවිත් තබා තිබුනා. නිකුත් කිරීම් භාර සහකාර තේරීම් භාර නිලධාරිවරයෙකු ලෙස මාවත් පත්කර තිබුනා. අනිකුත් කාර්‍ය මංඩල නම් කර තිබුනේ පැමිණීම තහවුරු කල අයගෙන්. උදයේම කච්චේරියට ගියේ පොත අත්සන් කරන්න. මාණ්ඩලික නිලධාරි පැමිණීමේ ලේඛනයේ රතු පාට පෑනකින් ලියූ ලිපියක් අමුණා තිබුනා. ලිපියෙන් කියඋනේ පලාත්සභා ඡන්ද රාජකාරිවල යෙදෙන නිලධාරින්ට දඬුවම මරණය බවයි. සාමාන්‍ය නිලධාරින්ටද මේ තර්ජනය මීට පෙර ප්‍රසිද්ධ කර තිබුනා. මේ සිද්ධියෙන් කාර්‍යාලය තුල පිරිසක් තර්ජන වලට සම්බන්ධ බව තේරුනා. ඕන කෙහෙල්මලක් කියල අර ලියුම පැත්තකින් තියල පොත අත්සන් කළා. මගේ ප්‍රජා සංවර්ධන අංශයේ වැඩකරපු සංස්කෘතික නිලධාරි සුමතිපාල , බන්ඩාර, විමලරත්න තුන්දෙනයි, දයාරත්න හා දිසානායක කියන ලිපිකරු මහත්වරු දෙන්නයි මාත්තෙක්ක ජන්ද රාජකාරි වලට ආවා. 

“මරනව නම් අපි ඔක්කොම එකටනෙ. පරලෝකෙත් සංස්කෘතික කටයුතු කරතැකිනෙ” කලුතර දිස්ත්‍රික්කෙම මාකලන්දාවෙ ගම් වැසියෙක් උන සුමතිපාල මහත්තය කිව්වා.

මේ කට්ටිය හාඩි එකට යවල මම අම්පාර ගුවන්තොටුපලට බස් හයක් අරගෙන ගියේ කොලඹින් ගුවන් මඟින් එන ඡන්ද නිලධාරින් අරං එන්න. ඒත් කොලඹින් ආවෙ නිලධාරින් හතලිහයි. එතනින් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු දහයක්වත් නෑ. මේ අය අතර හිටිය කොලඹ පේෂකර්ම දෙපාර්තමේන්තුවෙ ලිපිකරු මහත්තයෙක්. මම අම්පාරෙ වැඩ බලන පේෂ කර්ම සහකාර අධ්‍යක්ෂ නිසා මාව දන්නව. මිනිහ මට කිව්වෙ ඡන්ද පොලකට නොදා නිදහස් කරන්න කියල. මිනිහ මීට පෙර කවදාවත් ඡන්ද රාජකාරි කරල නෑ. මමත් බලමු කිව්වා.

හාඩි එකට එදා ඡන්ද රාජකාරි යන්න වාර්තා කලේ බොහොම ටික දෙනෙක් විතරයි. වාර්තා කල මුලු සිවිල් නිලධාරින් සංඛ්‍යාව කල්මුන, සම්මන්තුර, පොතුවිල් ඡන්ද ප්‍රදේශවල මුලු ඡන්ද මද්‍යස්ථාන ගණනට සමානයි. සහකාර මැතිවරණ කොමසාරිස් නිශ්ශංකට ප්‍රධාන කාර්‍යාලෙන් ලැබුන උපදෙස් එක්ක ඒ සියලු දෙනා වහාම ජේයෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරු හැටියට සලකල, ඉහත ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්තාන වලට පිටත් කලා, අදාල ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය සමඟ. වෙනද වගේ ගෝලයත් නෑ, කාර්‍ය මන්ඩලත් නෑ. කොලඹින් ආපු අර නවක ලිපිකරු මහත්තය අඬ අඬා කිව්ව මීට කලින් ඡන්ද රාජකාරි කරල නෑ කියල. සහකාර මැතිවරණ කොමසාරිස්තුමා වහාම එස් පී ඕ පංතියක් කරල කට්ටියටම උපදෙස් දුන්නා. එතකොට අම්පාර දිස්ත්‍රික්කෙන් හතරෙන් තුනක් ඡන්ද නිලධාරින් පිටත් කලා. දැන් බරපතලම ප්‍රශ්නෙ අම්පාර, පොතුවිල් සිංහල ප්‍රදේශෙ ඡන්ද මධ්‍යස්තාන තුන්සීයකට විතර ඡන්ද කාර්‍ය මංඩල යැවීම. නිලධාරින් නැත! අපිට උදව්වට ආපු ගුරුවරයෙක් හා අපේ මිත්‍රයෙක් උන පත්තර සොයිසා කුමන ඡන්ද මධ්‍යස්තානෙ බාර ගත්තෙ හෙලිකොප්ටරයකින් යන්න එන්න පුලුවන් කිව්වම. මිනිහ බඩුත් අරං පිටත් උනා. සෑම ඡන්ද ස්ථානාධිපතිවරයෙකුටම ආහාර මල්ලක් දුන්නා. ඒ යුධ හමුදාව පාවිච්චි කරන ටින් කළ කෑම.

උදේ ඉඳන්ම අපේ උදව්වට අම්පාරෙ යුධ හමුදා සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර එයාගෙ කට්ටියත් එක්ක ඇවිත් හිටියා. සිවිල් නිලධාරි අතරත් ජනප්‍රිය බ්‍රිගේඩියර් වීරසේකර අපේ හොඳ හිතවතෙක්. අපිට කෑම බීමත් එයාගෙන් ලැබුනෙ. ඡන්ද නිලධාරි තුන්සීයක අඩුව ගැන රසල් කුරුප්පු මහත්තය (කොලඹින් ඡන්දෙ උදව්වට ආපු මැතිවරණ කොමසාරිස් තුමාගෙ නියෝජිතය) කොලඹ කොමසාරිස්තුමා චන්දානන්ද සිල්වා මහත්තය එක්ක කතාකලා. ප්‍රශ්නය කොලඹට භාර උනා. දවල් දොලහට විතර නිශ්ශංක කියනව

“මචං සුනිලො, එස් පී ඕ මහත්වරු තුන්සීයක් තව පැය භාගෙකින් එනවා. ඒක හින්ද ප්‍රශ්නෙ විසඳුනා” කියල.

“කොහෙන්ද ඔය ඉක්මනට? කොලඹින්ද එන්නෙ?”මම ඇහුවා.

“නෑ මින්නේරියෙන්.  දැන් ඉන්දියන් ප්ලේන් මින්නේරියට එනව. එතනින් අම්පාරට ඇවිත් මෙහාට එයි.” නිශ්ශංක කිව්වා.

“එහෙනම් බස් ඕනවෙයි උදේ වගේ”

“නෑ ඒ සේරම ආමි එකෙන් කරයි.” කියල හිනාඋනා.

මට හිතාගන්න බෑ. මින්නේරියෙ කොහෙන්ද එස් පී ඕ ලා? හිමිහිට නිශ්ශංකයගෙන් ඇහුවා,
“කව්ද බං ඔය මින්නේරියෙන් එන එස්පීඕ ලා?” කියල.

“යකෝ කෑගහන්න එපා, ඔක්කොම ආමිකාරයො එන්නෙ! මේව ඉහළ තීරණ. වෙන මොකාද මේ වෙලාවෙ මේවට එන්නෙ.”නිශ්ශංක කිව්වා.

“යකෝ ආමිකාරයින්ට ඕව කලෑකිද? ඕකුන් ඡන්දෙ දාන්න එන උන්ට වෙඩි තියයි.” මම කිව්වා.

“නෑ නෑ ඡන්දෙ දාන්න එන උන්ට දේශප්‍රේමියො වෙඩි තියනව, උන්ට මුන් වෙඩි තියනව, මුන්ට එල්ටීටීඊ කාරයො වෙඩි තියනව, එල්ටීටීඒ කාරයින්ට ඉන්දියන් හමුදාව වෙඩි තියනව! ඔය අතර අපි ඡන්දෙ තියනව! ඕක සංසාර චක්‍රේ වගෙයි මචං.” නිශ්ශංක හිනාඋනා.

කොහොමින් හරි පැයක් ඇතුලත නිශ්ශංක දෙවනි එස්පීඕ පංතිය හාඩි ශාලාවෙ කලා යුධ හමුදා එස්පීඕ මහත්වරුන්ට. ඊලඟට බ්‍රිගේඩියර් වීරසේකර උපදෙස් දුන්නා සියලුදෙනා සිවිල් ඇඳුමින් සැරසී දුන් උපදෙස් අනුව අකුරටම මේ රාජකාරිය කලයුතු බව. ඊට අතිරේකව වෙනම රහසිගත උපදෙස් ටිකකුත් සිවිල් නිලධාරින් නැතුව දුන්නා. දැන් අපි සූදානම් එස්පීඕ වරුන්ට නිකුත් කිරීම් කිරීමට. නිකුත් කිරීම් කවුන්ටර් වල එස්පී ඕ මහත්වරු පෝලිමේ ඉන්නවා. එස්පීඕ මහත්වරු ටී පනස් හය කරේ දාගෙන, බෝම්බ වැලක් ඉනේ බැඳගෙන, මිනීඔලුවයි කටුදෙකයි තියෙන “වස” ලකුණ ගහගෙන පෝලිමේ ඉන්නවා. “වස” ලකුණ අපිටත් අමුතුයි. ඒතෙක්කම සමහරු කොන්ඩ වවාගෙන රැවුල වවාගෙන අමුතු පිරිසක්. පෝලිමේ ඉන්න එස් පී ඕ මහත්තයෙක් ගෙන් ඇහුවම යුද හමුද්වේ ආර් ඩී එෆ් බලකාය නැතිනම් ක්ෂනික විහිදුම් බලකායෙන් තමයි මේ අය. මේ අය දුෂ්කර තත්වයන්ට මුහුණදීමට විශේෂ පුහුණුව ලත් පිරිසක්.

කොහොමහරි අපි නිකුත් කිරීම් ආරම්භ කලා. එස්පීඕගෙ නම ඇහුවම “කෝප්‍රල් ගුනසේන ඩබ්ලිව් ඇම් සර්” කියල, “වැරදුනා! පෙරේරා ජී ඇම් කියල ලියන්න” කියනවා. ඊට පස්සෙ දිගටම පෙරේරල එන්නෙ. අපිට පෙරේරා ලියල ඇති උනහම ඊලඟ එස්පීඕගෙන් නම අහල පෙරේර කිව්වම ඇත්ත කියන්න කියනවා. එතකොට “ලාන්ස් කොප්‍රල් සුමනසිරි ආර් එම්” වාගෙ නමක් කියලා “නෑ නෑ සිල්වා බී ඩී කියල දාන්න” කියනවා. මේ අතර ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඇතුලත්මුදලි වගේ එස්පීඕ මහත්වරුත් හිටියා. මේ එස්පී ඕ මහත්වරු ඡන්ද පෙට්ටිය කරඋඩ තියාගෙන, ටින් ආහාර මල්ලයි, තුවක්කුයි, බොම්බයි, පතුරම් වැලුයි එල්ලගෙන රාජකාරියට ගිය අපූරුව දකින්න ලැබුනු එකම මදෑ!

එදා නිකුත් කිරීම් ඉවර කරල ඡන්ද රාජකාරි නැවැත්තුවා. නිශ්ශංකට කිව්වා “ඉතිරි හරියට නම් බෑ. දැන් ඉතින් ගණින්නනෙ තියෙන්නෙ. ඒකට කොලඹින් වෙනම කට්ටිය එනවනෙ. උන් එක්ක කර ගනින්” කියල. ඡන්දෙ දවස චමරියට වෙලා හිටිය. හවස හයට විතර කෝල් එකක්. නිස්ශංකගෙන්.

“මචන් සුනිලො, උඹේ කැම්පස් එකේ යාලුවෙක් මෙතන ඉන්නවා. ආමි කැප්ටන් කෙනෙක් නිශ්ශංක කියල” කිව්වා.

කවුද මේ කැම්පස් එකේ යාලු ආමි කැප්ටන් කියල හිතල “දීපන් බලන්න මිනිහට” කිව්වා.

ටෙලිපෝන් එකෙන් කථාකල කෙනා,

“මචන් මම කෑගල්ලෙ නිශ්ශංක. ජූනියර් බැච් එකේ. බෞද්ධ සංගමයෙ හිටියෙ” කිව්වා.

“යකෝ බෞද්ධයා, තෝ කොහොමද කැප්ටන් උනේ? බොරු නේද?” මම ඇහුවා.

“නෑ මචන්, මම ආමි ජොයින්ට් උනා. උඹ ඉන්නෙ කොහේද?”

“ඔය නිශ්ශංකගෙන් පාර අහපන් ටවුමෙ ඉන්නෙ. වරෙන්.”

ටික වෙලාවකින් බෞද්ධ නිශ්ශංකයා තවත් ලුතිනන් කෙනෙක් එක්ක චමරියට ආවා. උන්දෙන්නම චමරියෙන් නාලා, අඩියකුත් ගහන ගමන් ඡන්දෙ වෙච්ච දේ කිව්වා.

“මචන් මෙහෙ ඉන්න දේශපාලන ලොක්කෙක් මම හිටපු උහන ඡන්ද පොලට ආවනෙ. පොර කට්ටියක් එක්ක ඇවිල්ල මේ ඡන්දෙදි සිංහල අය ඡන්දෙ නොදැමීම නිසා පලාතෙ සිංහල නියෝජනය නැතිවෙනව කියල ඡන්ද ටික දාන්න ඉල්ලුවනෙ” කිව්වා.

“ඉතින් උඹ මොකද කලේ දුන්නද?”මම ඇහුවා.

“පිස්සුද මචන්, මම කිව්වා මම හමුදා නිලධාරියෙක්. මම මට ලැබුන නියෝග අනුවයි වැඩ කරන්නෙ. මට ලැබුන නියෝග අනුව මෙන්න මේ ලේඛනයෙ නම තියෙන අයට ඡන්ද කොලයක් නිකුත් කරල ඒක ඒකෙනා රහසිගතව ලකුණු කලහම අර සීල් කරපු පෙට්ටියට දාගෙන හවස හතරට පෙට්ටිය සීල් කරල කච්චේරියට භාර දෙන්නයි තියෙන්නෙ. තමුන්ගෙ නම මේ ලේඛනයෙ නැතිනම් වහාම ඉවත් වෙන්න” කියල.

“ඉතින් ඉතින් මොකද මෑන් කිව්වෙ?”

“පොර කිව්ව යුධ හමුදාවෙ නම් මේ ජාතියට වෙන අනතුර ගැන හිතල මේකට ඉඩ දෙන්න ඕන” කියල.

“මල කෙලියයි! ඉතින් උඹ ඡන්දෙ ටික දාන්න දුන්නා?”

“පිස්සුද මචං, මට එහෙම කරන්න පුලුවන්ද? මම කිව්වා මම කලින් කිව්වෙ මට ලැබුන සිවිල් පාලන නියෝග. ඒව ඉටුකරන්න බාදා වෙනවනම් මට හමුදා නියෝග ක්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ කියල, විනාඩි දෙකක් තුල මෙතනින් පිට උනේ නැතිනම් වෙඩි තියනව කියල වෙපන් එක අරං කොල්ලන්ට ඕඩර් එකක් දුන්න රෙඩී කියල. කොල්ලො හතරදෙනා වෙපන් කොක් කරා විතරයි ආපු උන් දිව්වෙ ලොක්කව දාල! ලොක්කත් පැනල ගියා.”

මම නිශ්ශංකයටයි, උගේ ලෙප්ටිනන්ටයි කන්නත් දීල පිටත් කලා. 

හමුදා එස්පීඕ මහත්වරු තිතටම ජර්නල් හදල වාර්තා ලියල තිබුන කියල නිශ්ශංක ස.මැ කො. කිව්වා. ඡන්දෙන් වරධරාජා පෙරුමාල් මහ ඇමති උනා. හසන් අලි විපක්ෂ නායක උනා. අම්පාරෙ නගරසභාවෙ උප සභාපති නිහාල් බක්මීවැව එජාපයෙන් පත් උන එකම සිංහල මංත්‍රී උනා. අපිත් වැඩිම සිල්වල පෙරේරල එස්පීඕ හිටපු ඡන්දයක් කරල නිමකලා.

කපිතාන් නිශ්ශංක මේජර් කෙනෙක් වෙලා හදිසි අනතුරකින් මියගිය බව පස්සෙ කාලෙක ආරංචි උනා.

Advertisements

6 thoughts on “පලාත් සභා ඡන්දෙ.

  1. සර් RO ඉද්දිනම් චන්ද දෙකකට ද කොහෙද අම්පාරේ ආවා

    Like

  2. සමහර බොහො දේ වරින් වර මා ඔබෙන් මීට පෙර අසා තියෙනවා. සෑම දෙයක්ම ඉතා හොදින් මතක තබා ගෙන සිටිමත් එය ඉතා අපූරැවට ගලපා ලීවිමට ඔබට ඇති හැකියාව අති විශිෂ්ටයි මචෝ..!!!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s