කථා මැද ස්තූතිය.

හරියටම මීට මාස තුනකට ඉස්සෙල්ල අප්‍රියෙල් මාසෙ එකොලොස්වෙනිද දිසාපති පන්හිඳ කියල බ්ලොග් එකක් පටන්ගන්න කරුණු කාරණා යෙදුනෙ අහම්බෙන්. ඵලදායිතා සම්මානෙ දෙන්න ආරාධිතයෙක් හැටියට ගියහම මම ඉගෙන ගත්තු ස්කෝලෙට ලැබුන සම්මානය එහි වර්තමාන විදුහල්පති වෙන මගේ මල්ලිට මගෙ අතින්ම දෙන්න අවස්ථාව යෙදුන එක ගැන මුහුනුපොතේ සටහන් කිරීමෙන් පස්සෙයි. ඒ සටහනට ලැබුනු ප්‍රතිචාර වලින් දිරි ගැන්වුන මම ස්කෝලෙ ගැනයි ගම ගැනයි මගේ හැගීම් මුහුනුපොතේ ලියන කොට අපේ ඩිජිටල් අමාත්‍යංශෙ ලේකම් වසන්ත දේශප්‍රිය මිත්‍රයා බ්ලොග් එකක් පටන් ගන්න යෝජනා කරා. මගේ පරිපාලන සේවාවෙ මිතුරියක් වුන විද්‍යාපෙරේරා සහෝදරිය ඒ අදහසට මාව දිරිගැන්වූවා. දැන අඳුනගෙන ටික කාලෙකින්ම මගේ අත්දැකීම් ලියන්න කියල කියල නොලියන කොට බැන බැන හිටපු අපි කාටත් දුකක් කරදරයක් උන වෙලාවක පිහිටට එන සංවේදී හදවතක්, තියුනු බුද්ධියක්, මනා පෞරුෂයක් හා මුඛරි කථිකත්වයක් ඇති අපේ මහින්ද දේශප්‍රිය සර් බ්ලොග් එකක් ඇරඹීමට මහා දිරියක් දුන්නා. බ්ලොග් ගැන මෙලෝ දෙයක් නොදන්න මම මගේ දෝනි නිරෝෂාගෙන් ඇහුවා “පුතේ බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද ඔයා දන්නවද බ්ලොග් එකක් හදන්න” කියලා. මගේ දෝණි එයාගෙ යාලුවන්ටත් කතාකරල පැයක් හමාරක් පෝන් එකට කොට කොටා ඉඳල මට මේ බ්ලොග් එක හදලා දුන්නා. හැබැයි මේ බ්ලොග් මූනුපොත් එන්න ඉස්සර ඉඳන්ම මගේ අත්දැකීම් ලියන්න කියල මට යෝජනා කලේ දෝණිගෙ අම්ම. කොහොමත් නෝනල කියන ඒවගෙ වටිනාකම කියන වෙලාවෙ දැනෙනව අඩුනෙ. අන්තිමට බ්ලොග් එනකම්ම අත්දැකීම් ලියවිල්ල උනේ නෑ.

කොහොමහරි ඔය කිව්ව සේරටම ස්තූතිවන්ත වෙන්න මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කියමුකො. ඊට පස්සෙ තමයි වැඩේ. මේක නිකං අබිං කෑව වගේ උනා. දවස් තුනකට හතරකට සැරයක් මොකක් හරි පරණ සිද්ධියක් හාරල අරගෙන ලිව්වා ලිවිල්ලක් කොහොමද දන්නවද මාස තුනක් යනකොට කථා තිස් දෙකක් ලියල. මේ ලිවිල්ලට දිරිදීපු අපේ මිත්‍රයො මේව කියවල තමන්ගෙ අදහස් දැන්නුවා. කතාකරා. යම්‍ යම් සාධනීය යෝජනා කලා. මේ හැම දේටම බොහොම පිං. බ්ලොග් ලෝකෙ දැවන්තයො මගේ ලිපි බෙදාදීලා තමන්ගෙ පාඨකයින්ට ඒව නිර්දේශ කලා. විදේශ රටවල් විස්සක විතර අපේ පාඨකයො මේව රසවින්දා. ඒ සේරම වගේ මම ඉගනගත්තු ඉඟුරුදලුවෙ ස්කෝලෙ පුන්චි දූදරුවො මම ගම ගැන ස්කෝලෙ ගැන ලියපුවා තනි තනියෙන් කියවන්න පහසුකම් මදි හින්ද මුද්‍රිත පිටපතක් දැන්වීම් පුවරුවට දාල හැමෝ එක්කම කියවනව කියල දැනගත්තම ඇති උනේ සතුට වගේම දුකක්. මහඔය ප්‍රා.ලේ කන්තෝරුවෙත් මුද්‍රිත පිටපත රසවිඳින්න සලස්වන්නද කියල මගේ ගෝලයෙක් වගේම දක්ෂ තරුණ පරිපාලකයෙක් උන සුදර්ශන ගුනසේන ප්‍රා.ලේ තුමා ඇහුවමත් මහ සංතෝශයක් දැනුනා.

මේ සේරම චූර්නිකාව කිව්වෙ විශේෂ අවස්තාවක් නිසා. ඒ විශේෂය තමයි අද මගේ බ්ලොග් එකේ කියවන්නන් සංඛ්‍යාව 10000 ඉක්ම වූවා. මාසතුනක් තුලදි එච්චර කියවන්නො මේ බ්ලොග් එක කියෙව්වෙ මොකක් හරි යමක් ඇතිනෙ. ඉතින් මෙච්චර හරියක් කරන්න මට පුලුවන් උනේ මගේ තාත්තා අම්මා මාමා නැන්දා උගන්වපු ගුරුවරු නෝනා දෝණි ඇතුලු බොහෝ දෙනා දීපු හයියෙන්. පාඨක ඔබ සැමදෙනාගෙන් ලැබුනු දිරියට සෑම දෙනාටම බොහෝම පිං. ඉස්සරහටත් පුලුවන් තාක් කල් ලියන්නම්. ස්තූතියි!

21 thoughts on “කථා මැද ස්තූතිය.

  1. ඔබතුමාගේ බ්ලොග් අඩවියට සූචියක් එහෙමත් නැතිනම් Index එකක්‌ දාන්න පුළුවන් නම් පහසුයි පැරණි ලිපි කියවන්න. දැනට “Old Posts” භාවිතයෙන් ආපස්සට ගමන් කිරීම තරමක් කරදරයි.

    Like

  2. ලියවිලි කොතරම් රසවත් ද කියනවනම්.හැම ලියවිල්ලක්ම කොපි කරලා වෙනම ෆෝල්ඩර් එකක සේව් කරං ඉන්නෙ..කියවන්න..ආසයි පොතක් විඳිහට දකින්නත්.මං හිතන්නෙ මට එකම ලියවිල්ලක්කත් මඟ ඇරිලා නෑ..සුබපැතුම් ….

    Liked by 1 person

  3. සුභ පැතුම් සර්, ඔබේ ලියවිල්ල අම්පාරේ උපන් අපිටද ඉතා වටී. ඔබ අම්පාර දිස්ත්‍රික්ක යට කල සේවය තනතුර වගකීම් ඉක්මවා යන්නක් බැවිනි .

    Like

  4. හදවතින්ම සුබ පැතුම්! ඔබේ අත්දැකීම් රසවත් පමනක් නෙමෙයි ඒවායින් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. හරියට සන්වර්ධන පරිපාලනයේ අත් පොතක් වගේ. රසවත්ව ලියන නිසා නැවත නැවත කියවන්න හිතෙනවා. ඉදිරියේදී පොතක් ලෙස එළිදැක්වීමට සැලසුම් කරමු. ජය වේවා!

    Like

  5. පලවූ ලිපි හැම එකක්ම වගේ කියවා තිබෙනවා කමෙන්ට් එකක් නොදැම්මාට මෙතුවක් දවස්. වර්ඩ් ප්‍රෙස් වලට විතරක් කාර්යාලයේ අන්තර්ජාල සබඳතාවයෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් නිසා පොඩ්ඩක් නිදහස් වෙලාවක කියවල එන එක පුරුද්දක් වෙලා.
    ලියන රටාව බොහොම සිත්ගන්නා සුළු නිසා අනායාසයකින් කියවලා ඉවර කරතහැකි.
    දිගටම ලියවිල්ල කරගෙන යන්න කියල කාරුණික ඉල්ලීමක් කරනවා.

    ලසන්ත

    Like

    1. බොහොම ස්තූතියි බංදුල මහත්මයා ඔබවැනි අය මාගෙලිපි රසවිඳීම මට ලොකු ශක්තියක් වුනා.

      Like

  6. මේ ලියවිලි ටික පුවක්දොල හන්දියෙ ටීවිල්වල ඉන්න කොල්ලො ටිකයි හැන්දෑවට හන්දියට එන අයයි එහෙමත් කියෝනවනං තමා වටින්නෙ. කරුමෙට ගාත් හතරයි කියන්නෙ අපේ අය ගාව කඩවසං දුරකථන (Smart phone) තියෙන්නෙ පොටෝ ගහන්නයි ෆේස්බුක් බලන්නයි විතරයිනෙ. අායිමත් ගමේ ඉස්කෝලෙ රැස්සීමකට යන්න ලැබුනොත් ඔය Smart phone එකෙං ගන්න පුළුවං සේවා ගැන කියාදුන්නොත් ඒකම ඇති ඔබතුමාට මතු උඵදින ආත්මෙයක් ගානෙ යහපත් අධ්‍යාපනයක් ලබන්න.

    ලියාපු ලිවිල්ලට සුභ පැතුම්. අපේ හයියත් අරගෙන තව දශකයක් මේ බ්ලොග් එක ලියාගෙන යන්ට ලැබේවා!

    Like

    1. බ්ලොග් ලෝකයේ නම රැන්දූ ඔබ බඳු උදවිය ලබාදුන් සහායට මගේ ප්‍රණාමය ඔබ ඇතුලු බ්ලොග් ලියන්නන් සියලුම දෙනාට.

      Like

  7. ඉඩ ලද හැම විටම ඔබව කියවමි….ලියන ඔබටත්…ඔබට අත්දැකීම් සැපයූ මගේ රටේ හැමදෙනාටමත් ස්තුතියි….

    Like

  8. Im not in your field. Totally a different person. But had a great “pina” of making a friendship with you being your doctor. But from the very first meeting, i felt you like a teacher, father, brother and a friend.

    Like

  9. ඔබ අත්දැකිම් ලියන විදිය හරි රසයි.කියවන්න ප්‍රියයි.එකයි පාඨකයෝ මෙහෙම රැදී ඉන්නේ.තවත් බොහෝ අත්දැකීම් ඔබ සතුව ඇති එව්වත් මේ විදියට අකුරු කරන්න.

    Like

Leave a comment