ජනපති ජංගම සේවාව.

අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය මොකක්ද කියල අහල තිබුන වාර විභාගයක ප්‍රශ්නයකට මහඔය ස්කෝලෙක දරුවො ලියල තිබුන උත්තර ගැන අපූරු කතාවක් මට අහන්න ලැබුනෙ කලක් බින්තැන්නෙ උනුවතුර බුබුල ස්කෝලෙ උගන්වපු ගුරුතුමෙක් උන ස්පිටල්ගෙන් පස්සෙ බින්තැන්න ගැන ලියන්න ආරම්භ කරපු රාජ්‍ය සම්මානලාභී ලේඛක පියසේන කහදගමගේ මිත්‍රයාගෙන්. එතුමා කියාපු විදියට වැඩි දෙනෙක් ලියල තිබුනෙ ඉරිඟු කියලයි. තවත් කීප දෙනෙක් වට්ටක්කා කියලත් ලියල තිබුනලු. මහා මානව හිතවාදියෙක් වෙච්ච කහඳගමගේ මහත්තය කියපු විදියට උත්තරේ නෙමෙයි වැරදි. ප්‍රශ්නෙයි වැරදි. අවුරුද්දෙ එක කන්නයක් විතරක් හේන් ගොවිතැන් කරල ඉරිගු, වට්ටක්කා, මුං, කව්පි වවන බින්තැන්නෙ ඉන්න ළමයින්ගෙන් රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරෙ ගැන අහල උත්තර ගන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව අහපු ප්‍රශ්නයක් කියලයි එතුමා කියාදුන්නෙ.

මේ ප්‍රශ්නෙ මතක් උනේ ප්‍රාදේශීය පරිපාලනයේ දීර්ඝ කාලයක් යෙදිල ඉන්න මගෙන් හරි වෙනත් ඒවගේ කෙනෙක්ගෙන් ඇහුවොත් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද කියල දෙන්න වෙන්නෙ අර ඉරිඟු වට්ටක්කා උත්තරේ වාගෙ එකක් බව මතක් වෙලයි. ප්‍රාදේශීය පාලනේ දීර්ඝ කාලෙක ඉඳන් ඉන්න අපට ඔය යුද්දෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය, කැබිනට් මංඩලේ විශාලත්වය, ජනමාධ්‍ය නිදහස, මැතිවරණ ක්‍රමය, රාජ්‍ය සේවාවෙ ස්වාධීනත්වය, විදේශීය අත පෙවීම් වාගෙ බරපතල ගැටලු නිසා පීඩාවට පත්වෙච්ච උදවිය හම්බු වෙන්නෙ නෑ. අඩුතරමින් එහෙම එකක් ගැන අපේ ඒ කන්තෝරුවකට එන අයගෙන් ඇහුවොත් හිතන්නෙ අපූරුවට හිටපු ප්‍රාදේශීය ලේකම්තුමාට මොකක්ද අසනීපයක් හැදිල කියලයි. එහෙම ඇහුවොත් එකතෙකටම මහඔය ඇත්තොනම් ගෙදර ගිහිල්ල අඹුවට මෙන්න මෙහෙම කියාවි.

“අඩේ මහ විනන්බෑසියක්නෙ බොලා වෙලා තීන්නෙ. අර අපූරුවට හිටි මහඔයේ දිසාපති උන්නාන්සෙට ඔල්මාදෙ හැදිල මයෙත් එක්කල මොනාදෝ විකාර වගයක් දෙඩුවා නොවැ අද. මම ඉතින් විස්සෝප වෙලා මූණ දිහෑ බලාන ඉඳල ආව නොවැ. මයෙ කාරිනාව ඒ අල්ල පනල්ලෙ දොඩන්නෙ කොහොමෙයි උන්නැහැට සනීප උනාම දොඩාගන්න බැරුවැ කියල සද්ද නැතුං ආපිට ආව ඕං.”

එහෙනම් රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ අපිට පේන හැටියට නම් ඉඩම් ප්‍රශ්නෙ තමයි. ඊලඟට වතුර ප්‍රශ්නෙ වියළි කලාපෙ නම්. ඊලඟට වවාගන්න දේට සාධාරණ මිලක් ගන්නෙ කොහොමද කියන එක. ඊලඟට හරකුන්ට තණ කොළ කවන්න තැනක් නැති එක. දැන් ඒක නිසා හිතාගත්තා අද මේ ඉඩම් ප්‍රශ්නෙ හින්ද වෙන දේ ගැන පරණ කථාවක් කිව්වොත් හොඳයි කියල. මේ ලංකාවෙ ගොවිතැනට ඉඩම් දෙන්න නීතියක් හැදුවෙ අපේ රට කෑවයි කියන සුද්දො. ඒ 1935 ඉඩම් සංවර්ධන පණත. මේකෙන් ගොවීන්ට, මධ්‍යම පංතියට උගත් තරුණයින්ට එහෙම කෘෂි කර්මාන්තෙට ඉඩම් බද්දට දෙන්නත්, බදුගත්තු කෙනා ඉඩම සංවර්ධනය කරහම ඒ කෙනාට ඔප්පුවකින් නැත්නම් දීමනා පත්‍රයකින් පවරල දෙන්නත් නීතිය හැදුනා. ඒ යටතේ රට පුරාම ජනපද ව්‍යාපාරවල ඉඩම් මිනිස්සුන්ට බදු දුන්නා. 1853 ඉඳන් වාරිමාර්ග සංවර්ධනය ගැන ආණ්ඩුවේ මැදිහත් වීමක් ඇතිකරපු සුද්දො අපේ පරණ වැව් අලුත්වැඩියා කරල වගාවට පහසුකම් දෙන්න පටන් ගත්තා. මේ වැඩ පිලිවෙල සඳහා අවශ්‍ය නීති හදන්නත් කටයුතු කලා. ඒ අනුව තමයි වාරිමාර්ග නීතිය 1856දි සම්මත කරේ. සුද්ද රට කෑව කියන උදවිය දන්නෙ නැතුවට මේ වාරිමාර්ග නීතිය (irrigation of agricultural land Ordinance  අනුව ඇති කරපු ක්‍රමවේදයකින් තමයි අපේ පලාත් පාලන ක්‍රමයට අදාල ගම්සභාව හැදුනෙ. ඉතින් ඉඩම් සංවර්ධන පනතින් වගාවට ඉඩම් දීම මහා පරිමානෙන් කලේ ජනපද යෝජනා ක්‍රම හරහායි. ඩී එස් සේනානායක මැතිතුමා කෘෂිකර්ම ඇමති හැටියට ආරම්භ කල ජනපද යෝජනා ක්‍රම බොහොමයක් තිබුනෙ වියළි කලාපෙ. අල්ල, කන්තලේ, මිනිපේ, ගල්ඔය වාගෙ ව්‍යාපාර වල ඉඩම් බෙදුවෙ ඉඩම් සංවර්ධන පනත යටතේයි.

මේ විදියට බෙදාදීපු ඉඩම් වල වගා කටයුතු කරපු ගල් ඔය වාගෙ යෝජනා ක්‍රමවල මුල් පරම්පරාවල ගොවියො අපේ රාජකාරි කාලෙ අපිට හම්බුවෙලා තියෙනවා. මේ අය බොහෝ වෙලාවට පිට පලාත්වලින් ගල්ඔයට ඇවිල්ල තමන්ට ලැබුනු ඉඩම සරු කුඹුරු බවට පත් කල ගොවියො. තරුණ වයස් කාලෙ ගල්ඔයට දරු පවුල් එක්ක ඇවිත් දුක් විඳගෙන කුඹුරු අස්වද්දපු මේ පරම්පරාව අපේ රාජකාරි කාලෙ අතරතුර ගොවිතැන තමන්ගෙ දරු මල්ලන්ට මාරු කරමිනුයි සිටියෙ. ඒ වයස් ගතවීම නිසා. මේ වනවිට තමන්ට හම්බු උන ඉඩම දරු මල්ලො අතර බෙදීම නිසා ඇතිඋන ගැටලු අල්ලපු ඉඩමත් එක්ක තිබුනු මායිම් ආරවුල්, කුණු ඇල මකා දමා ඉඩම් අල්ලා ගැනීම් ගැටලු, රක්ෂිත අනවසරයෙන් අල්ලාගෙන වගාකිරීම්, පසු උරුමය නම් කිරීම වාගෙ ගැටලු රාශියකට මේ පලාත් වල ගොවියො මූණ දීල හිටියෙ. මේ ගැටලු විසඳගන්න අම්පාර කච්චේරියටම එන්න ඕන. ඉඩම ගැන ප්‍රශ්නයක් පැන නැඟුනම කච්චේරියට එන්න ඕන. දිසාපතිතුමාට මේ ගැන පැමිණිලි කරහම ඩී ඇල් ඕ මහත්තයට ප්‍රශ්නෙ දානවා. ඩී ඇල් ඕ මහත්තය උපදිසාපතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලනවා. උපදිසාපතිතුමා ග්‍රාම නිලදාරි ජනපද නිලදාරි වාර්තා ගන්නවා. ඒවා බලල උපදිසාපති වාර්තාව කච්චේරියට යවනවා. ඩී ඇල් ඕ මහත්තය පරීක්ෂණයක් පවත්වනවා. ආරවුලෙ පාර්ශව දෙකම කැදෝල පරීක්ෂනේ කරල ක්ෂෙත්‍ර පරීක්ෂණයකුත් කරනවා. මේ විදියට කරන වැඩ පිළිවෙල ඉවරවෙන්න අවුරුදු හතර පහක් යනවා. ඔය හැම වාර්තාවක්ම ගන්න ගොවියා ගමන් තුන හතරක් කන්තෝරුවල එන්න යන්න ඕන. සමහර ඉඩම් ආරවුල් තියෙන ගොවියන්ගෙ කාර්‍යාලයට පැමිණීම අපේ නිලධාරින්ගෙ කාර්‍යාලෙට පැමිණීමට වැඩිය සතුටුදායකයි. මේ මහා වදෙන් මිරිකිලා තමයි ගොවියො ඉන්නෙ. මේව අතරතුර අත යට ගනුදෙනු නිසාවෙන අසාධාරණත් සුලුපටු උනේ නෑ. එහෙම උනහම ආපහු මහදිසාපති තුමා හමු වෙන්න එන්න වෙනව. මේ විදියට පීඩාවෙන් ගොවියො ඉන්න කොට තමයි ජනාධිපති ජංගම සේවයක් හා හපුරා කියල පටන් ගන්න තීරණය කලේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ වැඩසටහන අම්පාරෙන් පටන් ගන්න දින දුන්න.

ජනාධිපති ජංගම සේවාව කියන එකට කලින් පූර්වාදර්ශ තිබුනෙ නැති නිසා ජනාධිපති කාර්‍යාලෙන් සියලුම කැබිනට් ඇමතිවරුන්, ලේකම්වරුන් ජනපති ජංගම සේවා කාර්‍යාලෙට ගෙන්නල මේ ගැන කියල දුන්නා. මේ පුහුණුව කලේ ජනාධිපති අතිරේක ලේකම් වයි ඩබ්ලිව් ගුනවර්ධන මහත්තය. ඇමතිවරු, ලේකම්වරු කණ්ඩායම් තුනකට ගෙන්නල කරපු මේ පුහුණුවට උපදිසාපතිවරු අම්පාරෙ අයටත් ඉන්න තිබුන. පුහුණුවේ ආරම්භයට අම්පාර ගැන ඉදිරිපත් කිරීමක් තිබුනා. අම්පාරෙ අතීත දියුණුව පෙන්වන්න කොන්ඩවටුවාන සෙල්ලිපිය පෙන්නල එහි අන්තර්ගත ජල පාලනය ගැනවූ විධිවිධාන අවධාරණය කලා.මේ ඉදිරිපත් කිරීම ඇමතිවරු කවුරුත් සද්ද නැතුව අහගෙන හිටියා. හැබැයි ගාමිණී දිසානායක ඇමතිතුමා හයියෙන් ඇහුව “දැන් අම්පාර ආපහු මේ කාලෙට ගෙනියන්නද මේ හදන්නෙ”කියලා. වයි ඩබ්ලිව් මහත්තය මොහොතක් ගොලුවෙලා ඉදල “ඔව් සර් පුලුවන් උනොත් මීට එහා කාලෙටත් ගෙනියනව. දැනට වැඩිය ඒත් හොදයි” කිව්වා. “හරි අපි බලමුකෝ මොකද වෙන්නෙ කියල” ඇමතිතුමා කිව්වා. 

ජංගම සේවෙට සුමාන දෙකකට කලින් රැස්වීමකට කොලඹ ආපු මාව කොලඹ හිර උනේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බස් වර්ජනයක් පටන් ගත්ත නිසයි. “බස් දිව්වොත් මරණය” තේමාවෙන් පටන්ගත්තු බස් වර්ජනය නිසා අම්පාර කොලඹ බස් නැවතුනා. මට උනේ කොලඹට වෙලා ඉන්න. දිසාපතිතුමාට ටෙලිපෝන් කරල පාරෙ වෙන වාහනයක හරි කඩින් කඩ ඇවිත් එන්නම් කිව්වම “පන්ඩිත වැඩ කරන්න හදන්නැතුව ඔහොම ඉන්නවා මෙහෙන් වාහනයක් කොලඹ එනකම්” කිව්වා. පස්සෙ ජංගම සේවෙට යන වාහනේක ජංගම සේවාව පටන් ගන්න දවස් දෙකකට කලින් අම්පාරට යන්නයි මට සිද්ද උනේ.

දැන් ඔන්න අපි හැමෝටම අලුත් අත්දැකීමක් උන ජනාධිපති ජංගම සේවාව පටන් ගත්තා. අම්පාර අලුත් උසාවි ගොඩනැඟිල්ලෙ හැම අමාත්‍යංශෙකටම කාර්‍යාල වෙන්කරල තිබුනා. හෑම ඇමතිවරයෙක්ම රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති ආදී අයත්, ලේකම්වරයත් අනිවාර්‍යෙන්ම සහභාගි වියයුතු උන නිසා ඒ හැමෝම ආවා. සෑම දවසකම රත්මලානෙන් යන ප්ලේන් දෙකක ඇමතිවරු ලේකම්වරු අම්පාරට ආවා. හවස කොලඹ ගියා. පළමු දවසෙ උදේම මහා සෙනඟක් අම්පාරෙ හතර දිග් භාගෙන්ම ජංගම සේවෙට ආවා. කච්චේරියෙ ඉඩම් අංශයට ආපු සෙනඟ දහස් ගණනක් පෝලිම අම්පාරෙ නිව්සිටි කඩේ දිහාවට දිග උනා. ජනාධිපතිතුමා මුලු දවසෙම පැයෙන් පැයට විසඳූ ප්‍රශ්න සංඛ්‍යාව බලමින් මුල් දවස ගතකලා. දෙවනි දවස ඇමතිවරු පටන් ගත්තෙ ජනාධිපතිතුමාගෙ රැස්වීමකින්. උදේ අටහමාරට පටන්ගෙන දහයට අවසන් උන රැස්වීමෙන් පස්සෙ බුද්ධ ශාසන රාජ්‍ය ඇමති ලාල් ගමගේ ඇමතිතුමා එතුමගෙ කාර්‍යාලෙට ආවා. අපේ ගම්පැත්තෙ කිතුල්ගොඩ ඩේවිඩ් මහත්තයගෙ පුතෙක් උන ලාල් ගමගේ ඇමතිතුමා මාව අඳුනගෙන ගමේ කෙනෙක් කියල යාලු වෙලා හිටියෙ. එතුමගෙ විෂය භාරව අම්පාරෙ වැඩකලේ මම නිසා මමත් ඒ කාර්‍යාලෙ හිටියෙ. රැස්වීම ඉවරවෙලා කලබලෙන් ආපු ඇමතිතුමා මාව පැත්තකට අරං ගිහින්
“අයියෙ කව්ද ඔයගොල්ලන්ගෙ දිසාපති” කියල ඇහුවා.

“නන්දිසේන සර් තමයි දිසාපති. ඇයි ඇමතිතුමා මොකක් හරි උවමනාවක්ද?” මම ඇහුවා.

“නෑ නෑ අයියෙ, ලොක්ක කිව්වා දිසාපතිවයි අතිරේක දිසාපතිවයි වහාම මාරු කරන්න කියල.”

“ඒ මොකද අප්පා එහෙම කිව්වේ?”

“අනේ දන්නෙ නෑ. මේ දිස්ත්‍රිකෙ ඉඩම් රාජකාරි කෙරිල නැතිලු. මිනිස්සු මෙච්චර ඉඩම් අංශෙට එන්නෙ ඒකලු. නිකං ඉන්න ලොක්කො මෙහෙට වැඩක් නෑ කියල වහාම මාරු කරන්න කිව්වා.”

“අපරාදෙ ඇමතිතුමා. දෙන්නම බොහොම හොඳ අය.”

“කෝ අයියෙ මෙහෙ ඉන්න දේශපාලකයො කථාකලේ නෑනෙ. දන්නවනෙ ලොක්කගෙ හැටි. ආයෙ කාගෙන්වත් අහල නෙමෙයි නෙ තීරණ ගන්නෙ.”

මම වහාම කච්චේරි යට තිබ්බ කාර්‍යාලෙට ගිහින් අමරසේකර මහත්තයට ඔත්තුව කිව්වා. අමරෙ උහන උපදිසාපති. ඕන දේකට ඉස්සරහට යන මිනිහ. මේ ආරංචිය අහල කලබල උනා.

“මළ කෙලියයි! යකෝ මෙච්චර නැහිල මේ සේරම කොරපු මිනිහව මාරු කරල. හෙණගහන්න එපායැ. වරෙන් බලන්න යමු ජී ඒ ව බලන්න.” කියල අමරය මාවත් ඇදගෙන ජී ඒ හොයාගෙන ගියා. දිසාපතිතුමා නිලධාරින් එක්ක කතා කර කර රාජකාරි වැඩ. කිසිම ලකුණක් නෑ මේ වාගෙ දෙයක් උන බවට. ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු අමරෙ මගෙන් අහනවා,

“මචං අර ආරංචිය බොරුවක් වෙන්න බැරිද?ලොක්ක පුල් වැඩනෙ.”

“නෑ බං ලාල් ඇමතිතුමා මොකටද මට බොරු කියන්නෙ.”

“ඒත් ඉතින් එහෙම දෙයක් උන බවක් ලොක්කගෙන් පේන්නෙ නැත්තෙ ලොක්ක තවම දන්නැතුව ඇති එහෙනං. අපි අහමුද?”

“මටනම් බෑ! උඹ අහපන් එහෙනම් ”

තව පොඩ්ඩක් ඉදල සෙනඟ අඩු උනහම අමරය දිසාපතිතුමාට කිට්ටු කලා.

“ආ මිස්ටර් අමරසේකර කොහොමද? අදත් සෙනග නේද ?” දිසාපතිතුමා ඇහුව.

“ඔව් සර් හරියට සෙනඟ. මේ නරක ආරංචියක් හම්බු උනා ඒකයි මේ අපි ආවෙ “අමරෙ කිව්වා.

“ඇයි මොකක්ද? මොකක්ද?” දිසාපතිතුමා ඇහුවා.

“නෑ මේ සර් ගැන අපිට නරක ආරංචියක් ආවෙ.”

“ආ මේ මාව මාරු කරපු එකද? ඒක මොකක්ද ඒක සාමාන්‍ය දෙයක් නෙ”

“නෑ, සර් මෙච්චර මහන්සිවෙලා වැඩ කරලා හදිසියේ මාරු කරන්න හේතුව මොකක්ද? එහෙම පුලුවන්ද?”

“මාරුවීම් කියන ඒව රාජ්‍ය සේවාවෙ ඔහොම තමයි මිස්ටර් අමරසේකර. මම අම්පාරට ආවෙත් ඔය වගේ හදිසියෙ. දැන් යන්නෙත් හදිසියෙ. ඒගොල්ලන්ට මාව අම්පාරෙන් මාරු කරන්න හේතුවක් නෑ. මට මාරු නොවී ඉන්න හේතුවකුත් නෑනෙ.” කියල දිසාපතිතුමා හයියෙන් හිනාඋනා.

මේ විදියට හදිසියේ මාරු කලා කියල කිසිම ගණනකට ගත්තෙ අපේ දිසාපති තුමා නෙමෙයි. සුපුරුදු විදියට එදා වැඩ කලා. හවස ඔක්කොලම බංගලාවට ගිහින් දිසාපතිතුමා මුණ ගැහුනා. මේ විදියට දිසාපතිතුමාව මාරු කිරීම ගැන අපි බොහොම කලබල උනත් දිසාපතිතුමා ඒක බොහොම සැහැල්ලුවෙන් ගත්තෙ. අතිරේක දිසාපති ජයසුන්දර මහත්තය කණගාටු උනේ එයාව මාරු කරපු එකට නෙවෙයි දිසාපතිතුමාව මාරු කරපු එකට.

“මමනම් කාලාබීලා ඉන්න මිනිහ. මට දුක සර්ව මාරු කරපු එකට. මමනම් කොහේ ගියත් එකයි”මේ ජයසුන්දර මහත්තයගෙ වචන.

“මිස්ටර් ජයසුන්දරත් දැන් ගෙදරින් පිට හිටිය මදෑ. මේ ගමන නුවර පලාත් සභාවටවත් හදා ගන්න. ඔයා ඈතක ඉන්න එක ඔයාටම නරකයි.” දිසාපතිතුමා කිව්වෙ ජයසුන්දර මහත්තයගෙ බීම ගැන හිතල වෙන්න ඕන.

ජංගම සේවාව අවසන් උනා. මිනිස්සුන්ගෙ ප්‍රශ්න අවසන් උනේ නෑ. දිසාපතිතුමයි, අතිරේක දිසාපතිතුමයි පූල් එකට ගිහින් නුවරට ආවා. දෙන්නට සමු දෙන්න අපි කොන්ඩවටුවාන සංචාරක බංගලාවෙ උත්සවයක් කලා. මුනිවරයෙක් වගේ සියලු ප්‍රශ්න දුක්ගැහැට දරාගෙන ආදර්ශවත් සේවාවක් කල ඩී ඇම් නන්දිසේන මහදිසාපතිතුමා සමු ගැනීමේ කතාව මෙහෙම කිව්වා. 

“රාජ්‍ය සේවාවේ යෙදී ඉන්න අපි ලැබෙන ඕනෑම තනතුරක රාජකාරි කල යුතුයි. කියන කාර්‍යන් ඉටු කල යුතුයි. යවන ඕනෑම තැනකට යා යුතුයි. කරන ඕනෑම දේක වගකීම ගත යුතුයි. අහන ඕනෑම දේකට පිළිතුරු දිය යුතුයි. බනින ඕනෑම බැනුමක් ඇසිය යුතුයි. මේවායින් කම්පාවීම හෝ සතුටු වීමක් නොකර උපේක්ෂා සහගත වියයුතුයි. මේ ස්ථාන මාරුව මා සලකන්නේ මට කරනු ලැබූ මහා උපකාරයක් ලෙසයි”

මේ මුනිවරයාගේ සමු ගැනීම ගැන අපේ මිත්‍ර පත්තර සොයිසා “මංගල මුදුවත් අහිමිව අම්පාරෙන් සමුගත් දිසාපති” මාතෘකාව යටතේ දිවයින පත්තරේ අපූරු සටහනක් ලිව්වේ අරන්තලාවෙදි කොටි ත්‍රස්තයින් ගලවගත්ත මංගල මුද්ද ගැන සිහි කරලයි.

ඔන්න ඉඩම් ප්‍රශ්නෙ තියන බැරෑරුම්කමේ තරම!

Advertisements

4 thoughts on “ජනපති ජංගම සේවාව.

  1. ඔය ජංගම සේවාවෙදි වෙන්ටෝනැ ජනාධිපතිතුමාට ඒ භූමියෙ තිවිච්චි ගසුත් සිතියමක ලකුණු කරලා ඕනැ කිව්වේ.

    ඉඩම් ප්‍රශ්න ගැනනම් කියන්න තියෙන්නේ බොහොම දුක හිතෙන දේ තමයි. අදටත් මිනිස්සුන්ට තමුං උපන්දා හිට වවාගෙන, ගේ දොර හදාගෙන ජීවත් වුනු ඉඩමට ඔප්පුවක් නෑ. දවසකට එන ඉඩං ප්‍රශ්න ටික කල්පනා කලාම ඇති මිනිහෙක්ට සසර කලකිරෙන්න. කොටිම්ම ඉඩමකට ඔප්පුවක් දෙන වැඩේට ඕන ලිපි ලේඛන ටික හදාගන්න වැඩේට වඩා ලේසියි චෙස් ඇදලා ගැරී කැස්පරෝවිච් පරද්දන එක.

    මට පේන හැටියට රටේ තියෙන වැඩිහරියක් ඉඩංවලට ඔප්පු නෑ. රාජ්‍ය සේවකයෙක් වෙන එකත්ඉඩමක් අහිමිවෙන්න හේතුවක්නෙ. සාමාන්‍යයෙං රජයේ සේවකයෙක්ට ආණ්ඩුවෙං දෙතොත් දෙන්නේ පර්චස් විස්සයි. ඒකත් දීර්ඝ කාලීන බදු. ගන්න පුළුවං නේවාසික කටයුත්තකට විතරයි.

    Like

  2. “රාජ්‍ය සේවාවේ යෙදී ඉන්න අපි ලැබෙන ඕනෑම තනතුරක රාජකාරි කල යුතුයි. කියන කාර්‍යන් ඉටු කල යුතුයි. යවන ඕනෑම තැනකට යා යුතුයි. කරන ඕනෑම දේක වගකීම ගත යුතුයි. අහන ඕනෑම දේකට පිළිතුරු දිය යුතුයි. බනින ඕනෑම බැනුමක් ඇසිය යුතුයි. මේවායින් කම්පාවීම හෝ සතුටු වීමක් නොකර උපේක්ෂා සහගත වියයුතුයි. මේ ස්ථාන මාරුව මා සලකන්නේ මට කරනු ලැබූ මහා උපකාරයක් ලෙසයි”

    මේ වගේ කතාවක් අහන්න පුළුවන් රාජ්‍යසේවේ සේවකයෝ අද ඉන්නවද මහත්තයෝ? මාරුවීම එන්න කලින් ඉඳන්ම මිනිස්ටර් ඔෆීස් එකේ නෙව අද කාලේ රාජ්‍ය සේවකයෝ.

    Like

    1. “රාජ්‍ය සේවාවේ යෙදී ඉන්න අපි ලැබෙන ඕනෑම තනතුරක රාජකාරි කල යුතුයි. කියන කාර්‍යන් ඉටු කල යුතුයි. යවන ඕනෑම තැනකට යා යුතුයි. කරන ඕනෑම දේක වගකීම ගත යුතුයි. අහන ඕනෑම දේකට පිළිතුරු දිය යුතුයි. බනින ඕනෑම බැනුමක් ඇසිය යුතුයි. මේවායින් කම්පාවීම හෝ සතුටු වීමක් නොකර උපේක්ෂා සහගත වියයුතුයි. මේ ස්ථාන මාරුව මා සලකන්නේ මට කරනු ලැබූ මහා උපකාරයක් ලෙසයි”

      මේ වගේ කතාවක් අහන්න පුළුවන් රාජ්‍යසේවේ සේවකයෝ අද ඉන්නවද මහත්තයෝ? මාරුවීම එන්න කලින් ඉඳන්ම මිනිස්ටර් ඔෆීස් එකේ නෙව අද කාලේ රාජ්‍ය සේවකයෝ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s