කලු මල්ලිගෙ පෝස්ටරේ

මහඔයෙන් අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙලා ස්ථාන මාරුවක් ලැබුනෙ 1995 අප්‍රියෙල් මාසෙ අගදි. ඒ වෙනකොට රටේ අලුත් ආණ්ඩුවක් ස්තාපිත වෙලා පරණ බලවන්තයො වෙනුවට අලුත් බලවන්තයො බිහිවෙලා. අම්පාරටත් ඒ වැඩේ වෙලා. හැබැයි අනූ හතරෙ අග වෙනකම් ආණ්ඩු කරපු පක්ෂෙ පාර්ලිමේන්තු නියෝජනය අම්පාරෙදි වැඩියි ආණ්ඩු කරවන පක්ෂෙට වැඩිය. පරණ විරුද්ධ පක්ෂෙ මංත්‍රී වෙලා හිටපු තෙවරප්පෙරුම මහත්තය මනාප පොරෙන් පැරදිලා ගෙදර ගිහින්. ආණ්ඩු පක්ෂෙ හැටියට විරුද්ධ පක්ෂෙ පරිවර්තනය වෙනකොට වීරසිංහ මහත්තය මංත්‍රී වෙලා. එච්.ඇම් වීරසිංහ කියන්නෙ උහන කෝරලේ මහත්තයගෙ පුතෙක්. මායාරංජන්ගෙ දිගාමඩුල්ලේ ආශ්චර්‍යය පොතේ නෙල්ලි කැලේ ගැන කියවෙන විස්තරේ කියල තියෙන මොරගහ පල්ලමේ ලියන මහත්තයා නැත්නම් හේරත් මුදියන්සෙලාගේ තිලකරත්න කියන්නෙ වීරසිංහ මහත්තයගේ බාප්පා. මොරගහපල්ලමේ ලියනමහත්තයගෙ අයිය තමයි උහන කෝරාල නිලය දැරුවෙ. මඩකලපුවෙ සාන්ත මයිකල් විද්‍යාලෙ ඉගෙන ගත්ත කෝරලේ මහත්තයට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම හොඳට පුලුවන් කෙනෙක්. උන්නැහැ වැව්ගම් පත්තුවෙ කෝරාල කමයි, හදිසි මරණ පරීක්ෂකකමයි දෙකම කරා. වැව් ගම්පත්තුවෙත් බින්තැන්න පත්තුවෙත් හොඳ වැදගත් පවුලක් හැටියට මේ පවුල සැලකුනා. කෝරාල මහත්තය ගැමියොත් එක්ක හොඳට කාලාබීලා හිටපු මනුස්සය. ඒක හින්දම තිබුන දේපල නැති උනා මිසක් එකතු වීමක් උනේ නෑ. කොහොම හරි කෝරලේ මහත්තයගෙ පුතෙක් උන වීරසිංහ මහත්තය මිනිස්සු එක්ක හිටිය හිත හොඳ මනුස්සයෙක්. අම්පාරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා උන සෙනරත් සෝමරත්න මංත්‍රීතුමාගෙ ලඟ හිටපු වීරසිංහ මහත්තය අසූ ගණන් අවසානෙ වෙනකොට බින්තැන්න පත්තුවෙ ශ්‍රී ලංකා සංවිධායක වෙනවා. අම්පාරෙ ටවුමෙ පත්තර කඩේ ලඟ නිල්පාට කමිසයක් ඇදගෙන කොන්ඩෙ පැත්තට පීරපු මිටි මනුස්සයෙක් කට්ටිය වටකරගෙන කතාකර කර ඉන්නවා පත්තරේ ගන්න ගිය මම හැමදාම දකිනවා.

ඒ කාලෙ අම්පාර නගර සභාවෙ විපක්ෂ නායක වෙලා හිටියෙ නගරෙ ශ්‍රී ලංකා බල කණුව උන හේමසිරි අයියා. පස්දුන් කෝරලේ වරකාගොඩ මනුස්සයෙක් උන හේමසිරි අයියා ගමේ කමටද කොහෙද මාත් එක්ක බොහොම හොඳයි. අසූනමයෙ ජන්දෙ වෙලාවෙ හේමසිරි අයිය මට අඳුන්වා දුන්නා අර නිල්පාට කමිසෙ ඇඳන් හිටපු මිටි මනුස්සයව. “සර් මේ තමයි වීරසිංහ මහත්තය බින්තැන්නෙ සංවිධායක” කියලා. අසූ නමයෙ ඡන්දෙදි වීරසිංහ මනාප ජන්ද හැත්තෑ අටකින් තෙවරප්පෙරුමට දෙවෙනි උන නිසා පාර්ලිමේන්තු යන්න බැරි උනා. ඒත් මෝටර් සයිකලෙන් බස් එකෙන් බින්තැන්න පත්තුවෙ ඇවිදිමින් බඩ ඉරිඟු කරලින් වට්ටක්කා කෑල්ලෙන් කුසගින්න නිවාගනිමින් ඈත බින්තැන්නෙ මිනිස්සු හමු වෙමින් වීරසිංහ මහත්තය මිනිස්සු සංවිධානය කරා. මම මහඔය ප්‍රා.ලේ කාලෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න අරගෙන වීරසිංහ මහත්තය මාව හම්බු උනේ අම්පාරෙදි.

“සර් මෙන්න මේ මිනිහ අපේ මිනිහෙක්. මහ අසාධාරනේකට ලක්වෙලා ඉන්නෙ. පුලුවන් දෙයක් කරල දෙන්න.” කියල මිනිස්සුන්ගෙ ප්‍රශ්න කියනවා.

“හරි වීරෙ,  මිනිහට මාව හම්බු වෙන්න කියන්නකො අඟහරුවාදට” මම කියනවා.

වීරසිංහ මහත්තය කියන්නෙ බොහොම සාධාරණ ප්‍රශ්න විතරයි. මහඔය කාර්‍යාලෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ. අම්පාරෙදි හමු උනහම, “වීරෙ මහඔය ඉන්නකොට ඔය මිනිස්සුත් එක්ක කන්තෝරුවට ආවනම් හරිනෙ ඕක කතාකරල බේරුම් කරන්න පුලුවන්නෙ” කිව්වම

“අපොයි සර් මම ඔය පැත්තෙ ආවම තමුන්නැහැට මඩකලපුවට යන්නයි වෙන්නෙ. ඔබතුමා මෙහෙ ඉන්න ඕන මම අපේ එකාව එවන්නම් කවුරුත් නැති වෙලාවක ඌට සාධාරණයක් කරල දෙන්න” කියල මිනිහ කියනවා.

ඉතින් මේ කිව්ව වීරසිංහ මංත්‍රීවෙලා ආන්ඩුවකුත් හැදුවට පස්සෙත් මාව හම්බුවෙන්න ආවෙ කොහොඹානෙ ධර්මපාල මහත්තය එක්ක රාත්‍රියක. ඒ ඇවිල්ල පරණ ක්‍රමෙට සර් කියල මට කතා කරහම මුලින්ම කරන්න උනේ මීට පස්සෙ මට සර් කියන ආමන්ත්‍රණයෙන් ඇමතිය යුතු නැති බව පෙන්වා දීමයි. “දැන් ඔබතුමා පාර්ලිමේන්තු මංත්‍රී වරයෙක් බව මතක තියා ගන්න. මට සුනිල් මහත්තය කියල කතාකලාම ඇති” කිව්වම “ඒ මොනව උනත් මේ පරණ වීරසිංහමයි. මම මුල මතක තියෙන මිනිහෙක්” කියල ඔලුව වැනුවා.

මේ කාලෙ අම්පාර විවිධ සේවා සමුපකාර සමිතියෙ හිටියෙ පත් කරපු අධ්‍යක්ෂ මංඩලයක්. රජයෙන් පත්කල සාමාජිකයො තුන් දෙනෙක් අධ්‍යක්ෂ මංඩලය හැටියට ක්‍රියාත්මක උනා. සභාපති ධූරය දැරුවෙ වීරසිංහ මංත්‍රීතුමාගෙ පුද්ගලික ලේකම් වරයෙක්. සමුපකාර පාලනය පිලිබඳ බලතල පලාත් සභාව යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දීල තිබුනා. ප්‍රාදේශීය ලේකම් තම කොට්ඨාශයට නියෝජ්‍ය සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයෙකුගෙ බලතල පවරලා තිබුනා. ඒ අනුව මම අම්පාර විවිධසේවා සමුපකාර සංගමය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයයි. මගේ සහායක කාර්‍ය මංඩලය සමුපකාර පරීක්ෂකවරු කීපදෙනෙක්ම හිටියා. සමිතියේ අධ්‍යක්ෂ මංඩලයට පුද්ගලිකවම උපදෙස් දුන්නා නිසියාකාරව සමිතියේ කටයුතු කරගෙන යන ලෙසට. යම් හෙයකින් අක්‍රමිකතා වෙනවා කියල වාර්තා උනොත් දැඩි පියවර ගන්නවා කියල කියනකොට සභාපති ඔලොක්කුවට වාගෙ හිනා උනා. ටික දවසකට පස්සෙ දවල් කන්තෝරුවෙ ඉන්න කොට දුරකතන පණිවුඩයක් ආවා. පණිවිඩෙන් කියවුනේ සමුපකාරෙ සභාපති සිමෙන්ති කොට්ට 40ක් මුදල් නොගෙවා ණය බිලක් හෝ නොදමා අරංගියා කියලයි. සමුපකාර පරීක්ෂක සෝමරත්න මහත්තයව යැව්වා සමිතියට මේ ගැන බලන්න. මිනිහ ගිහින් පැයකින් විතර ඇවිත් කාරණය ඇත්ත බව පැවසුවා.

“ඒ කියන්නෙ සෝමරත්න සභාපති සිමෙන්ති හොරෙන් පටෝලා?” මම ඇහුවා.

“ඔව් සර් හරියටම කොට්ට හතලිහක් උදේ දහයට ලොරියකින් ගෙනිහින් තියෙන්නෙ.”

“හරි. කෝ බලන්න වාර්තාව?”

“තවම ලිව්වෙ නෑ සර් ලියන්න ඕනද.?”

“ලියන්නෙ නැත්නම් තමුසෙලා ඉන්නෙ මලවන්නද? වහාම පැය භාගයක් තුල වාර්තාව මට ඕනෙ හරිද!”

“හරි සර් මම දෙන්නම්.”

සෝමරත්න පැය භාගයක් විතර ඇතුලත වාර්තාව දුන්නා. වාර්තාව කියවා අවසන් කර යටින් ලිව්වා නියෝගයක්. “ස.ප්‍රාලේ/ස.ස.ප, වහාම ක්‍රියාත්මකවෙන පරිදි අධ්‍යක්ෂ මංඩලය ඉවත් කර ලිපි සකසා ඉදිරිපත් කරන්න. රාජ්‍ය සේවකයින් තුන් දෙනෙක්වූ ව්‍යාපාර අධිකාරි,කෘෂි සහකාර අද්‍යක්ෂ සහ තවත් රජයේ සේවකයෙකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මංඩලය පත් කර ලිපි සකසා ඉදිරිපත් කරන්න.” නියෝගයේ සටහන් කරා. කාර්‍යාලයේ වැඩිහිටි ලිපිකරුවන් දෙතුන් දෙනෙක් ඇවිත් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවත් මංත්‍රීතුමා අමනාප විය හැකි බවත් කිව්වා. ඒකට ප්‍රශ්නයක් නෑ ඒ වගකීම මම ගන්නව කියල ලිපි නිකුත් කරා. එදා හවස මුලු අම්පාරම කතාව මංත්‍රීතුමාගෙ ලේකම්ව ඉවත් කිරීම ගැන. සමහරු සතුටු උනා. සමහරු මං ගැන අනුකම්පාවෙන් කතාකලා. මංත්‍රීතුමා කොලඹ ගිහින්. මංත්‍රී කාර්‍යාලෙන් කෙනෙක් කතා කරල අපේ නෝනට කියල තිබුන මංත්‍රීතුමාට කෝල් එකක් ගන්න කියල කොලඹ නොම්මරයකට මට කියන්න කියල. “වීරසිංහ මංත්‍රී මගෙ නොම්මරේ දන්නවා. එයාට ඕනෙනම් කතාකරයිනෙ.” මම නෝනට කිව්වා. ත්‍රිකුණාමලේ සමුපකාර කොමසාරිස් පට්කුනම් මහත්තය කතාකරා. පරිපාලන සේවාවෙ මට වැඩිය අවුරුදු විස්සක් විතර ජ්‍යෙෂ්ඨ පළාත් කොමසාරිස්තුමා හොඳටම බයවෙලා. කොමසාරිස්තුමාට තත්වය කියලා කිව්වා මේ ප්‍රශ්නය මෙහෙන් බලාගන්නම් අතදාන්න එපා කියල. මිනිහ ඒක පිළිඅරගත්තා.

දවස් දෙකක් ගියා. මම පත් කරපු අලුත් අධ්‍යක්ෂවරු වැඩ භාර ගත්තා. තුන්වෙනි දවසෙ උදේ දිසාපති වික්‍රම මහත්තය මට කතාකරා.
“යකෝ ඔන්න ටවුම පුරාම මට විරුද්ධව පෝස්ටෙර් ගහලලු. උඹ කරන වැඩ හින්ද බලාපන් අහක ඉන්න මට වෙන දේ.”

“ඇයි සර් සර්ට විරුද්ධව මොකටද පෝස්ටෙර් ගහන්නෙ?”

“යකෝ පෝස්ටෙර් ගහල තියෙන්නෙ දිසාපති පිස්සු කෙලී. සමුපකාරෙ අනතුරේ කියලලු. සමුපකාරෙ හිටපු වීරසිංහයගෙ ගෝලයො වෙන්න ඇති. ඒත් උන්ට කෙලෙව්වෙ උඹ. මුන් මට විරුද්ධව පෝස්ටෙර් ගැහුවෙ මොකද?”

“හරි සර් මම හොයන්නම් මොකද වෙලා තියෙන්නෙ කියල!”

“හොයපන් වහාම! ඇයි මේ අහක ඉන්න මාව ඇල්ලුවෙ මොකද කියල. උඹට විරුද්ධව ගැහුවනම් අපිට හිනාවෙන්නවත් තිබුනා. බලාපන් මූල මාව මේවට අල්ලගත්තෙ ඇයි කියල.”

“සර් මාව කොන්ට්‍රෝල් කරන්නෑ කියල වෙන්නඇති.”

“තොගෙ මොනව කොන්ට්‍රෝල් කරන්නද යකෝ! සමුපකාරෙ එකාල හොරකම් කරහම කෙලවන්නෙ නැතුව …….ද?

“හරි සර්, මම දවල් වෙනකොට හොයා ගන්නම්. කව්ද මේක කරේ කියල.”

දිසාපතිතුමා සුපුරුදු විදියට කුනුහරුපෙකුත් කියල හිනාවෙලා ටෙලිපෝන් එක තිබ්බා. ටවුම පැත්තෙ ගිහින් බැලුවා හෑම පෝස්ටරයක්ම දිසාපති ඉලක්ක කරපුවා.”සමුපය රැක ගමු! පිස්සු කෙලින දිසාපති පන්නමු” වාගෙ ඒවත් තිබුනා. මටත් හිතාගන්න බෑ වචනයක් ප්‍රාදේශීය ලේකම් ගැන නෑ. ඔෆීස් එකට ගියා. එතනත් කතාව පෝස්ටර් ගැනමයි. හැමෝටම පුදුමෙ දිසාපතිට විරුද්ධව පොස්ටර් ගැහීම ගැන. දවල් වෙනකොට දිසාපතිතුමා කතාකලා. ටෙලි පෝන් එකෙන් මට කියනවා “කලු මල්ලි කියල එකෙක් පෝස්ටෙර් ගැහිල්ලට සම්බන්දයි. හොයාපන් ඌව” කිව්වා. මම ලඟ එතකොටත් මිනිස්සු පිරිලා වැඩවලට ආපු අය. මම පුංචි බන්ඩා රාලහාමි ගෙන්නල ඇහුව “කව්ද ටව්මෙ කලු මල්ලි?” කියල.

“ගහ යට කලුව වෙන්නැති සර් ඇයි?” කියල රාලහාමි ඇහුවා.

“අන්න ඌ තමයි දිසාපතිතුමාට විරුද්ධව පෝස්ටෙර් ගැහුව කියන්නෙ. හොයන්න” කියල රාලහාමිට කිව්වා. දවසම කාර්‍යාලෙ ගතකරල හවස දිසාපතිතුමාවත් හමුවෙලා ආවා. දිසාපතිතුමාගෙ කේන්තිය බැහැල. මෙහෙම උනේ ඇයි කියල හොයාගන්න කුතුහලය විතරයි ඉතුරු වෙලා තිබුනෙ.

හවස ගෙදර ඇවිත් තේ බීල ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට යම්තම් බිම් කලුවර වැටුනා විතරක් ඇති වෙලාව. ඉස්සරහ පාරෙ ඉඳන් මිනිහෙක් “ෂර් ඇතුලු වෙන්න අවසරද?” කියල ඇහුවා.

“කෝ කවුද? තමුන් ඇයි මේ කලුවර වැටෙන වෙලාවෙ?” මම ඇහුවා.

“බුදුසර්, මම ටවුමෙ කලු මල්ලි. මට සර්ට කතාකරන්න ඕනා” මිනිහ කියෝනවා.

“ආ හරිහරි එනවා ඇතුලට” මිනිහ ඉස්තෝප්පුවට ඇතුලුවෙලා දණගහලා වැන්දා.

“මට සමාවෙන්න සර්. මම සර්ට කිසිවරදක් කරේ නෑ.” මේ යකා කනමදය වගේ බීල ඉන්නෙ.

“ඉතින් මොකද තමුන් වරදක් කරේ නැත්නම් සමාවෙන්න කියන්නෙ?” මම ඇහුවා.

“මගේ බුදු සර්, ඔබතුමාට විරුද්ධව පෝස්ටර් ගැහිල්ල භාරගත්තෙ මම. ඒත් මම සර්ට විරුද්ධව පෝස්ටෙර් ගැහුවෙ නෑ.”

“එතකොට කවුද එහෙනම් දිසාපතිතුමාට විරුද්ධව පෝස්ටෙර් ගැහුවෙ?”

“ඉන්නකො සර් මම කියනකම්. ඒ පෝස්ටෙර් ගැහුවෙ මම. වැඩේ භාරදුන්නෙ සර්ට විරුද්ධව පෝස්ටෙර් ගහන්න. සර් ගැන ටවුමෙ පොඩිඋන් වෙච්ච අපේ භක්තියක් තියෙනවා පොඩිඋන්ට සර් හිතවත් කියල. අපි ටවුමෙ බජාර් එකේ මිනිස්සු. පොඩි එකාට හිතවත් අයට අපෙන් දෝසයක් නෑ. ඒක හින්ද පොඩ්ඩක් වෙනස් කරල ගහල දැම්මා. එච්චරයි කතාව.”

“මල කෙලියයි! යකෝ ඉතින් පැත්තක හිටපු දිසාපතිතුමාව අල්ල ගත්තෙ මොකටද?”

“ඔය පුංචි මිස්ටේක් එකක්නෙ සර්. දිසාපතිතුමත් හොඳ පොරක් කියල දන්නෙ අදනෙ සර්. ආයිනම් උන්නැහැට එහෙම කරන්නෙ නෑ.”

“හරි ඉතින් තමුන් දිසාපතිතුමා හම්බු වෙල එපායැ සමාව ගන්න. ඇයි මාව හම්බු උනෙ?”

“මේකනෙ සර් උනෙ. සර් අද ඔෆිස් එකේදි ටවුමෙ කලුව තමයි පෝස්ටර් ගහල තියෙන්නෙ කියල රාලහාමිට කිව්වනෙ. එතන අපේ ඥාණ අක්ක හිටිල තියෙනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අක්ක බනිනවා සර් කොච්චර හොඳ කෙනෙක්ද, අක්කගෙ බත්කඩේ නගර සභාවෙන් සීල් තියන්න හදන එක තහනම්කලේ සර් කියල. ඒවාගෙ කෙනෙකුට විරුද්ධකම් කරනවනම් සහෝදරයෙක් නෙවෙයිලු. වහාම සර් හම්බුවෙලා සමාව ගන්නලු. බුදුසර් අක්ක කියන්නෙ අම්ම වගේනෙ සර්. ඉතින් මම සමාව ගන්න ආවා”

“හරි තමුන්ට තිබුනනෙ වැඩේ භාර නොගෙන ඉන්න ඉතින් මම පොඩිඋන් ගැන හිතවත් කියල දන්න නිසා. ඇයි එහෙනම් වැඩේ භාරගත්තෙ?”

“අන්න සර් ප්‍රශ්නෙ. සර්ල අපි වගේ නෙවෙයි, උගත් ලොකු මහත්වරු. පින්වන්තයො. නරක වැඩ භාරගන්නෙම නෑ. අපි එච්චර උගත් නෑ. සර්ට හිතවත් හින්දයි මේක මම භාර ගත්තෙ බුදුම්ප!”

“යකෝ පුදුම කතාවක්නෙ! ඒක මට හිතවත්ලු. ඒත් මට විරුද්ධව පෝස්ටර් ගහන්න භාර ගත්තෙ හිතවත් නිසාලු. මොකක්ද මේ කතාව?”

“බුදුසර් කේන්ති ගන්න එපා. මම ගහයටින් තමයි හුඟක් දේවල් ඉගෙන ගත්තෙ. මම මේ වැඩේ අත ඇරියනම් වෙන එකෙක් භාරගෙන වැඩේ කරනවා. එතකොට පෝස්ටෙර් යන්නෙ සර්ට විරුද්ධව. මගේ භාර නොගැනිල්ලෙන් සර්ට යහපතක් නෑ. දැන් වැඩේ මම භාර ගත්ත. වැඩේ කලා. භාරදීපු අයට කියනවා පුන්චි මිස්ටේක් එකක් උනා. අපි ඉතින් නූගත් බජාර් කාරයොනෙ, වරදින්න පුලුවන්නෙ සර්”

කලුමල්ලිගෙ කතාවට මට උත්තර නැතුව ගියා. මුගෙ මොලේ තමයි මොලේ! මට හිතුනෙ එච්චරයි.

“හරි බුදු සර්, එහෙනම් මට සමාවෙන්න.”ආයිත් පාරක් දණ ගහල වැන්ද කලු මල්ලි ගියා.

මම මුලු විස්තරේම දිසාපති තුමාට කිව්වා. එතුමටත් හොඳටම හිනා වැඩේට. වීරසිංහ මංත්‍රීතුමා මැරෙනකනුත් මගෙන් ඇහුවෙ නෑ ඇයි තමන්ගෙ ලේකම් සමුපකාරෙන් අයින් කලේ කියල. 1996 අවසානෙ මම කොලඹට යන්න හදන්නෙ කියල ආරන්චිවෙලා රෑ බෝවෙලා ගෙදරටම ඇවිත් “ඇයි යන්න හදන්නෙ?” කියල ඇහුව. දරුවන්ගෙ අද්‍යාපනය නිසා කිව්වම තව එක අවුරුද්දක් ඉන්න කියල ඉල්ලුවා. ඒ අවුරුද්දත් හිටියෙ වීරසිංහ කියන යහපත් මනුෂ්‍යට සලකලයි. අදත් ගියහම කලුමල්ලි අම්පාර ටවුමෙදි හම්බුවෙනවා. “අයිබෝන් සර්” කලුමල්ලි පුරුදු හිතවත්කමෙන් කතා කරනවා.

Advertisements

2 thoughts on “කලු මල්ලිගෙ පෝස්ටරේ

  1. පහුගිය දවස් ටිකේ දිසාපතිතුමාගෙ පන්හිඳේ තින්ත වේලිලා ගිහිංදෝ කියලා විස්සෝපෙං ඉද්දි අද තමයි මේක දැක්කෙ. තව ටිකදොහක් බලලා ඔෆිස් එකටම කතාකරලා අහන්න හිටියේ ලිවිල්ල නැවැත්තුවද කියලා. දවස් පහක් යනකං මේක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් නොවුණ එකත් පුදුමයක්. කොහොම නමුත් ලිපිය ඉස්තරම්. කලු මල්ලි කියන්නෙ වීරසිංහ වගේම ඉස්තරම් මනුස්සයෙක් කියලා පේන්න තියෙනවා. කොහොමත් දුප්පත් සහ සම මට්ටමේ මිනිස්සු මිසක් ඉහළ මිනිස්සුංවයි පෝසත්තුංවයි වැඩිය ආස්සරේට ගන්න හොඳ නෑ. පෝසත්තුයි, ඉහළ මිනිස්සුයි අපිට ලංවෙන්නෙ අපෙං වැඩක් ගන්න හරි එහෙමත් නැතිනං තමුංගෙ ලොකුකම පෙන්නන්නයි විතරයි. මටත් ඒක තේරුං ගන්න අවුරුදු තුනක් විතරම ගියා.

    ඔබතුමා සතියට එක ලිපියක්වත් නොලියා හිටියොත් මේ කතන්දර ටික ලියාගන්න අවුරුදු තිහක්වත් යයි. ඒ හංදා වැඩේ අතෑරගන්න එපා.

    Liked by 1 person

    1. පහුගියටිකේ අම්ම සනීප නැතුව රෝහල් ගත කලා. ඒනිසා මේගැන අවධානය යොමුකරන්න බැරි උනා.දැන් හරි අම්මට සනීපයි. ඊට පස්සෙතමා මේපැත්ත බැලුවෙ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s