ඤාණලාගේ කථාව

කලු මල්ලිගේ පෝස්ටර් කථාවේ ඤාණා අක්කාගේ කඩයක් ගැන කිව්වානෙ.ඒකත් විස්තර කරන්න කියල හිතුනෙ ඒ පිටිපස්සෙ ලොකු කථාවක් තියෙන හින්දයි.ඤාණා ගලප්පත්ති කියන්නෙ අම්පාර ටවුමෙ පුංචි බත් කඩයක් කරපු කාන්තාවක්.හතරවෙනි මාවතේ ගල්ඔය සංවර්දන මංඩලය හදපු ගොඩ නැගිල්ලක ගල්ඔය මංඩලේ තියෙන කාලේ මහජන එක්සත් පෙරමුනේ කාර්‍යාලය දාගෙන හිටපු ටකරන් ගොඩ නැගිල්ල පස්සෙ දිසාපති යටතෙ නාගරික අංශය භාරයට පත් වෙනවා.ඒ 1973දි.ඊටපස්සෙ මේ ගොඩ නැගිල්ල බදු පදනම මත තුන් දෙනෙකුට දෙනවා නාගරික අංශය මගින්.ඒතුන් දෙනා අම්පාරෙ විදුලි මෝටර් කාර්මිකයෙක් උන ඔන්ඩච්චි,ඤාණා ගලප්පත්ති,බන්දුල ලර්නර්ස් ජිනදාස කියන තුන් දෙනා.ඔන්ඩච්චි අම්පාර තරුන බෞද්ධ සංගමය පිහිටුවාගෙන ලේකම් හැටියට කටයුතු කරන ගමන් විදුලි මෝටර් රෙපයාර් කිරීම කරා.මිනිහගෙ වැඩපොල මේ ටකරම් ගොඩනැගිල්ලෙ තිබුනා.ඤාණා ගලප්පත්ති මේ ගොඩනැගිල්ලෙ බත් කඩයක් දාගෙන හිටියා ඇගේ ජීවනෝපාය උනේ මේ පුංචි ව්‍යාපාරය.ජිනදාස තම කොටස තම ව්‍යාපාරයේ කොටසක් හැටියට පාවිච්චි කරා.මේ අය කච්චේරියට බදු ගෙවාගෙන මේගොඩ නැගිල්ල පාවිච්චි කරා.අම්පාරනගර සභාව පිහිටෙව්වම බදු ගෙව්වෙ නගර සභාවට මොකද නාගරික අංශය හැටියට තිබුන සියලු කටයුතු නගරසභාවට භාර දුන්න නිසා.නගරසභාවට කඩකුලිය ගෙවාගෙන මේ ගොඩ නැගිල්ල වාගෙ පරණ ගොඩනැගිලි පාවිච්චි කරපු අයට ඒ ගොඩනැගිලි බදු පදනමෙන් ලබා දීල තිබුනෙ අම්පාරෙ සෙනරත් සෝමරත්න යුගයෙ.මේ යුගයෙ මෙහෙම ව්‍යාපාර ස්ථාන පටන් ගත්තු අය ශ්‍රීලංකා කාරයො හැටියටයි හිටියෙ.ඒත් නගරසභාව මේඅය එක්ක දිගටම කටයුතු කලා.මේ හතරවෙනි මාවත ගොඩනැගිල්ලෙ හිටපු අය තමන් හිටි තාවකාලික ගොඩනැගිල්ල පිහිටි බිමට වානිජ දීර්ඝ කාලීන බදු කච්චේරියෙන් ඉල්ලුම් කරා.ඒ අනුව අදාල බිම් කොටසට සැලැස්මක් මේතුන් දෙනා නමින් වෙනවෙනම සකස් කරල බලපත්‍ර දීමේ මූලික වැඩත් කච්චේරියෙන් කරල තිබුනා.

මේ කාලෙ තමයි අම්පාර නගරසභාවට නව පාලනයක් එන්නෙ 1994මාර්තු මාසෙ තිබ්බ චන්දෙන්.ඒ පාලනය සාමාන්‍ය විදියට ගියත් අවුරුද්ද අවසානයේ රටේ ආන්ඩුව වෙනස්වෙලා පොදුජන එක්සත් පෙරමුන බලයට පත් වෙනවා.අම්පාර නගරසභාව පාලනය කලේ එක්සත් ජාතික පක්ෂය.මේවිදියට රටේ බලයයි අම්පාර නගරෙ බලයයි එකිනෙකට ප්‍රති විරුද්ධ දේශ පාලන පක්ෂ වලට යාම නිසා අලුත් තත්වයක් ඇති වෙලා තියෙන පරිසරයෙදියි මම අම්පාර ප්‍රාලේ හැටියට පත්වෙලා එන්නෙ.අම්පාරෙ දිස්ත්‍රික්කයෙඅලුත් ආන්ඩුවෙ දේශපාලන නායකයා උනේ ප්‍රබල නායකයෙක් වුන අෂ්රොෆ් ඇමතිතුමා.අම්පාර නගරය අයිති අම්පාර ආසනයේ ආන්ඩු පක්ෂ බල ධාරියා උනේ වීරසිංහ මහත්තය.විපක්ෂය නියෝජනය කරන්න අම්පාර.ආසනයට මංත්‍රීවරු තුන් දෙනෙක් හිටියා.ඒ හිටපු ඇමතිවරයෙක් උන දයාරත්න මහත්තයයි.අම්පාරෙ නගරසභාවෙන් ජාතික මට්ටමට කෙලින්ම ගිය ගලප්පත්ති මහත්තයයි.උතුරු නැගෙනහිර පලමු පලාත්සභාවෙ හිටපු එකම සිංහල මංත්‍රී කමෙන් ජාතික මට්ටමට ආපු බක්මීවැව මහත්තයයි.මේ හින්දම අම්පාරෙ දේශපාලන බලය වාසිය තිබුනෙ විපක්ෂෙ පැත්තටයි.ජාතික මට්ටමේ තමන්ට අඩු උන බලය වෙනුවට නගරසභාවෙ බලය උපරිමයෙන් පාවිච්චි කරන්න විපක්ෂෙ අම්පාර නායකත්වය කටයුතු කලා කිව්වොත් නිවැරදියි.බොහෝවෙලාවලට අනිත් පැත්තෙ කෙනෙක්ගෙ ගොඩ නැගිලි ඉදිකිරීමේ අයදුම් පත්‍රයක් වත් අනුමත කරගන්න ලොකු මහන්සියක් ගන්න උනා.වීරසිංහ මහත්තයත් හොදටම හිර උනා.නගරසභා බලය ඉස්සරහ.

මේතත්වයතෙක්ක වානිජ බදුකර යෝජිත ඉඩම් වලට බලපත්‍ර දෙන්න නිර්දේශ ඉල්ලනකොට නගරසභාව හේතුවක් නැතුවම නිර්දේශ නොකරමි කියල එවන්න පටන් ගත්තා.මිනිස්සුන්ගෙ ඉඩම් ගැටලු ගොඩනැගිලි ගැටලු ගැන නිර්දේශයන් දෙන්න ඉස්සෙල්ලා දේශපාලන බලධාරිත්වය එක්ක කතාකරල අනුමැතිය පරිදි කටයුතු කරන්න සභාපති කටයුතු කරනව කියල ආරංචි වෙන්න පටන් ගත්තා.සභාපතිතුමා මාත් එක්ක නම් කිව්වෙ එයාටත් තනිවම තීරන ගන්න දෙන්නෙ නෑ කියලයි.කොහොම හරි හතරවෙනි මාවත කඩබිම් තුනේ ප්‍රශ්නෙ නගර සභාවට නිර්දේශෙට ගියහම නගර සභාව තදින් විරුද්ධ උනා.නගරසභාව සතු දේපලක් පුද්ගලයින්ට පැවරීම නිර්දේශ කල නොහැක කියල ලියුම ආවා.මේ ගැන පුද්ගලයො තුන් දෙනාට දැන්වූවහම ඒඅය නගර සභාවත් එක්ක කතාකරා.සභාපතිතුමයි ඔන්ඩච්චියි අතර කතාව වාදයක් බවට පත් වෙලා බැන ගැනීමක් උනා කියල ඔන්ඩච්චි මාත් එක්ක ම කිව්වා.වහාම අදාල කඩ කාමරයේ භුක්තිය නගර සභාවට භාරදෙන ලෙසට ඔන්ඩච්චිට නගර සභාව දැන්වූවා.මේවිදියටම අනිත් දෙන්නටත් දැන්වූවා.මේඅයට යන්න තැනක් නෑ.මාව හමු උනා විස්තරේ කිව්වා.මටපෙනුන හැටියට නගර සභාව ඔන්ඩච්චිව සහ ඤානා ගලප්පත්තිව මෙතනින් ඉවත් කරන්න හදන්නෙ තමන්ගෙ දේශ පාලනයට විරුද්දව ඒඅය ප්‍රසිද්දියේ කටයුතු කරන නිසයි.මේ ක්‍රියාව බරපතල අයුක් තියක් හින්දා ඊට විරුද්ධව මේ අයට උදව් කරන්න තීරනය කරා.මම දෙන්නටම කිව්වා තමන් රජයේ දේපලක මිස නගර සභාව සතු දේපලක් පරිහරනය නොකරන බව ලිඛිතව නගර සභාවට දන්වන්න කියල මටත් පිටපත් සහිතව.ඒ දෙන්නම එහෙම කරා.ලියුමෙ මගෙ පිටපතට මම ඒදෙන්නට පිලිතුරු යැව්වා ඔබ පරිහරනය කරන භූමියනගර සභාව වෙත පවරා දී නැති බවත් එය රජය භාරයේ පවතින දේපලක් බවත් ඔබවිසින් කරන ලද ඉල්ලීම අනුව ඔබ නමින් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට ක්‍රියා කරමින් පවතින බව සදහන් කර නගර සභාවට පිටපත් සහිතව. නගර සභාපති හැරෙන තැපෑලෙන් ලිපියක් එව්වා අදාල භූමිය නගර සභාව සතු බව සදහන්කරමින් පුද්ගලයින්ට බදුදීමට ඉඩ දිය නොහැකි බවත් සදහන් කර තිබුනා.මම පිලිතුරු යවමින් නගර සභාවට මෙම ඉඩම අයත් නම් ඊට අදාලව නගර සභාව සතු පැවරුම් නියෝගය ඉදිරිපත් කරන ලෙස දැන්වූවා.නගර සභාපති තුමා හිර උනේ එතකොටයි.අම්පාර නගරයේ කිසිදු දේපලකට අදාලව පැවරුම් නියෝග නගරසභාවට නැතිබව මම දැනගෙනයි හිටියේ.මගේ ලිපියෙන් පස්සෙ මේඅය නගරසභාවට බදු ගෙවීම නතර කරා.

නගරසභාපතිතුමා කේන්ති ගිහින් ඔන්ඩච්චි නැති වෙලාවක මිනිහගෙ කඩකාමරයෙ තිබුන බඩු සේරම නගරසභාවට ගෙනිහින් කාමරය සීල් කරා ඔන්ඩච්චි ඇවිත් මේගැන කියනකොට මම මිනිහට ලියුමක් හදල දුන්නා විදුලි මෝටර් කර්මාන්තයට අදාල උපකරන අමුද්‍රව්‍ය ඇතුලු විශාල භාන්ඩ ලේඛනයක් සමග නගර සභාපතිට යවන්න නීතිවිරෝධීව ඔබ භාරයට ගෙන ඇති මෙම දේපල වහාම ආපසු භාර දෙන ලෙසත් කඩකාමරයේ මුද්‍රා ඉවත් කර තම රැකියාව කරගෙන යාමට ඉඩදෙන ලෙසත් ඉන් සභාපතිට දැන්වූවා සභාපති ඔන්ඩච්චිට පිලිතුරු එව්වා හිගකුලිය ගෙවූපසු මුද්‍රා ඉවත් කරන බවත් අදාල භාන්ඩ ආපසු දෙන බවත් දන්වමින්.මම කොලඹ නීති ආධාරසේවාවකට (එස් ජී පුංචිහේවා මහතාගේ)ඔන්ඩච්චිව යොමු කරලා අභියාචනාධිකරනයේ රිට් ආඤා නඩුවක් නගරසභාපතිට එරෙහිව ගොනු කෙරෙව්වා.

ඤාණා ගලප්පත්තිගේ කඩය සීල් කිරීමට සභාපති පොලිසිය සමග ගියා.ඤාණා කැත්තක් අරගෙන සභාපතිට අභියෝග කරා.තමජීවනෝපාය කරගෙන යන ස්ථානය අහිමි කිරීමට කටයුතු කරන ඕනෑම කෙනෙකුට කැති පහර දෙන බවත් හැකිනම් ඉදිරියට පැමින සීල් තැබීමට උත්සාහ කරන ලෙසත් ඤාණා ගලප්පත්ති අභියෝග කරා.පොලිසිය නීතිය ට ගරු කරන ලෙස ඉල්ලා සිටිය විට මුලින්ම නීතියට ගරු කල යුත්තේ පොලිසිය බවත් නගර සභාව සතු දේපලක් නොවන තම කඩය සීල් කිරීමට නගර සභාවට බලය නැති බවත් ඊට සහය දීමද නීති විරෝධී බවත් නොබියව පෙන්වාදීම නිසා පොලිසිය පසු බැස්සා.එවිට බදු මත මෙම ඉඩම තමන්ට දෙන බවට මම දුන්ලිපිය ඤාණා පොලීසියට පෙන්නුවා.පොලිසිය මගෙන් දුරකථනයෙන් විමසූ විට අදාල දේපල නගර සභාවට අයිති නැතිබව පෙන්වාදී අභියාචනාධිකරණයේ ඔන්ඩච්චිගේ නඩුව ගැනත් කිව්වා. ඒ අනුව පොලිසිය මේ කාරනෙන් ඉවත් උනා.ඤාණා දිගටම කඩේකරා. ඔන්ඩච්චි අභියාචනාධිකරන නඩුවදිනුවා.මිනිහට කඩේ ආපසු ලැබුනා භාන්ඩ ආපහු දුන්නෙ අර ලේඛනයේ තිබුන ඒව නෙවෙයි.කඩේ තිබුන ඒවයි.නීති විරෝධීව නගර සභාපති වරයා විසින් ඉවත් කරන ලද තම භාන්ඩ සම්පූර්නයෙන් ආපසු ලබා නොදීම තුලින් තමන්ට සිදුකල පාඩුවට එරෙහිව නඩු පැවරීමට නීතීවේදියෙකු මගින් එන්තරවාසියක් යවන ලෙස මා උපදෙස් දුන්නා.එහෙම එන්තරවාසිය ගියහම නගරසභා සභාපතිතුමා මට කතාකරා.

“සුනිල් මහත්තයා මාව හිරේ යවන්නමයි බලන්නෙ නේද?”

“ඇයි සභාපතිතුමා මොකක්ද ප්‍රශ්නය.”

“නෑ අර ඔන්ඩච්චිය මට විරුද්ධව මිනිහගෙ බඩු ඔක්කොම දුන්නෙ නෑ කියල නඩුදාන්න එන්තරවාසි එවල.”

“ඔව් ඔව් මිනිහ මාඑක්කත් කිව්වා නගර සභාව ගත්තු බඩු දුන්නෙ නෑ කියල.මමත් කිව්වා එහෙනම් නඩු දාල තමයි අලාබෙ ගන්න වෙන්නෙ කියල.”

“නෑ සුනිල් මහත්තය ගත්තුටික ඔක්කොම දුන්න.හැබැයි මට වැරදුනේ මිනිහ ගත්තු බඩු කියල එවාපු දිග ලැයිස්තුවට හරියට උත්තරයක් නොදීහිග මුදල් ගෙව්වම ලැයිස්තුවේ බඩු ආපහු දෙන්නම් කියල උත්තරයක් ලියල ඇරපු එකෙන් .දැන් මිනිහ එව්ව ලැයිස්තුව මම පිලිඅරගෙන කියල ලෝයර් කියනවා.”

“හරි ඉතින් මම මොකක්ද කරන්න ඕන.”

“ඒක තමයි අපි කවුරුත් දන්නවනෙ මුන්ට සපෝට් එක දෙන්නෙ ඔබතුමා කියල.ඒක හින්ද දැන් උන්ගෙ වැඩේ හරිනෙ.මේක ඉවර කරන්න කියනවද?ඔබතුමා කිව්වොත් මේක ඉඅවරයිනෙ.”

“සභාපතිතුමා කාටහරි අසාධාරනයක් වෙනව කියල මට ඇවිල්ල කියල මගෙන් උදව් ඉල්ලුවොත් මම අනිවාර්‍යෙන්ම උදව් කරනවා.ඔන්ඩච්චිටයි,ඤාණටයි උදව් කලෙත් එහෙමයි.හැබැයි ඔබතුමාගෙන් ලැයිස්තුවෙ බඩු ඉල්ලන එකත් අසාධාරනයිනෙ.මමත් ඔන්ඩච්චිට කියන්නම්.මොනව උනත් අපි දෙන්නත් යාලුවොනෙ” .

“ඔව් ඔව් මම අපේ හිටපු ඇමතිතුමාටත් කියල තියෙන්නෙ අපි දෙන්න රාජකාරි වැඩවලදි රන්ඩු කර ගත්තට පුද්ගලික අමනාපයක් නෑ කියල”.

“හරිහරි මම කියන්නම්කො.”

මමඒගමන ඔන්ඩච්චිට කිව්වා නඩු දාන්න එපාකියලා.වැඩේ එතනින් ඉවරයි.මම අම්පාරෙ ඉන්නකම් මේඅයට නගරසභාවෙන් ආයෙත්.කරදර කලේ නෑ.

මේමුලු කාලපරිච්චේදයම සභාපතිතුමා එක්ක රැස්වීම් වලදි ඕවගැන වාදවිවාද කරා.හැබැයි මිනිහ මාත් එක්ක තරහ උනේ නෑ.සාමාන්‍ය වෙලාවට හිතවත්ව කතාකලා.සමහරදාට කොලඹ එනකොට බිබිලෙ තේබොන හෝටලයෙදි හමු උනාම මාත් එක්ක ආපු ඔක්කොම එක්ක තේ බීල එයාම බිලත් ගෙවනවා.මම 1998මාරුවෙල එනකොට කාර්‍යාලෙටම ඇවිත් හමු වෙලා අත්දෙකම අල්ලාගෙන සුභ පතන ගමන් අපි රාජකාරි වලට ගැටුනට තරහවෙන්නෙ නැතුව ඉන්න පුලුවන්වීම ගැනසතුටු වෙනව කියල ත් කිව්වා.දැන් ඔන්ඩච්චිත් නෑ ඤාණාගලප්පත්තිත් නෑ.සභාපතිතුමත් නෑ.ඒත් ඔන්ඩච්චිල ඤාණලවගේ අය තව හුගක් රටේ ඉන්නවාඒවගේ අයට වෙන අසාධාරන කම් නැවතිලනම් නෑ.ඒගැන අහන්න අපේ සහෝදර නිලධාරින් කීදෙනෙක් සූදානම් ද කියන එක ප්‍රශ්නයක්.ඒවගේම අසාධාරනයකදි අධිකරනෙ පිහිට පතන්න යන මිල බොහොම ඉහලයි ඒක නිසා පුරවැසියන්ට රජයේ ආයතනවලින් අයුක්තියක් වෙනකොට ඒක ගැන විභාග කරල සහන සලසන්න පුලුවන් ක්‍රමයක් රජයෙන් හැදුවොත් ඉතාම හොදයි කියලයි මට හිතෙන්නෙ..

Advertisements

One thought on “ඤාණලාගේ කථාව

  1. රාජ්‍ය ‍සේවකයෝ එක්ක ටික කාලයක් වැඩ කළායින් පස්සේ මගේ අත්දැකිම වුනේ අපේ රටේ තියෙන ගොඩක් ගැටළු වලට හේතුව සමහරවිට විශාල ගැටළුවලටත්, තිරණ ගැනිමට තියෙන නොහැකියාව හෝ මැලි කමයි. ප ලේ කෙනෙකු නොගන්නා පැහැදිළි තිරණයක් නිසා ගැටළු රටේ ජනාධිපති දක්වා ඇදගෙන ගිහිල්ලා ඒවට දේශපාලන මුහුණුවරකුත් දිලා අන්තිමට විසදුම් නැති ජාතික පරස්න බවට පත්වෙලා මහා ලෙඩ බවට පත්වෙනවා මමත් බලාගෙන හිටියා.
    ඔබතුමාගේ මේ කතාව කදිම උදාහරණයක් ගැටළු නිරාකරනය ගැන.
    රජයේ සේවක මහත්ම මහත්මින් තමන්ගෙ කොටස නිසි ලෙස කරාවි නම් රටේ ගැටළු විශාල ගානක් විසදගන්න පුළුවන් වේවි පහසුවෙන්ම.
    ඔබතුමාගේ මෙවන් අත්දැකිම් කාට කාටත් අගනා නිදසුන්ම වේවා!!!
    👍

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s