ගාලු සයිකල් වර්ක්ස් විසඳුම කියන්න.

අම්පාරෙ ප්‍රාදේශීය ලේකම්කම ලේසිපහසු රස්සාවක් නෙවෙයි. විශේශයෙන්ම දීර්ඝ කාලයක් බලයේ හිටපු ආන්ඩුවක් වෙනස් වුන ආසන්නයේ අම්පාරෙ නගරෙ මිනිස්සු තමන්ට සිද්දවුනා කියන අසාධාරණකම් වලට පිහිටක් බලාගෙන ආවෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට. වෙන තැනකට ගියත් මේ ප්‍රශ්න ගැන කටයුතු කරන ආයතනය හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ ඒ පැමිනිලිකරුවන් තෘප්තිමත් වෙන විදියට කටයුතු කරන්න ඕන. ඉතින් මේ විදියෙ සංකීර්ණ වැඩ ගොඩක් මම අම්පාර ප්‍රා.ලේ කාලෙ කලා. අදටත් සතුටු වෙන්න පුලුවන් ඒ වගේ කතාවක් තමයි අද ලියන්න කල්පනා කලේ.

මේ කතාව ආරම්භ කරන්න මේක ලෙස්ලිගෙ ප්‍රශ්නය කියල නම් කරන්න මට හිතෙනවා. ඒ මේ ප්‍රශ්නය අම්පාරෙ ගැමුනුපුර ලෙස්ලි කියන තරුණ කෙනෙකු ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් නිසා. ප්‍රශ්නෙ ඉදිරිපත් කරේ මට නෙවෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙ ඔම්බුඩ්ස්මන් නැත්නම් දුක්ගන්නා රාල කියන තනතුර දරන්නාටයි. එතනට ප්‍රශ්නෙ ගෙනිච්චෙ වීරසිංහ මංත්‍රී තුමා. ප්‍රශ්නය උනේ ලෙස්ලිගෙ තාත්තා අම්පාර නගරෙ බයිසිකල් අලුත්වැඩියා කරන තැනක් පවත්වාගෙන ගිය කෙනෙක්. එයාට වාර්ශික බලපත්‍රයකුත් ඒ ඉඩමට තිබිල තියෙනවා. මේ ඉඩමට අයිතිවාසිකම් කිව්ව බලගතු ව්‍යාපාරිකයෙකුගෙ උවමනාවට ලෙස්ලිගෙ තාත්තව අසාධාරන විදියට ඉඩමෙන් එලවල අර ව්‍යාපාරිකයට ඉඩම ලබාදෙන්න කච්චේරියෙන් කටයුතු කරනවා. මේක නිසා තමන්ගෙ ජීවන මාර්ගය අහිමි උන ලෙස්ලිගෙ පියා රෝගීවී මිය යනවා. පැවති රජය යටතේ සිදුවුන අසාධාරනය නිවැරදි කරල ඒ ඉඩම් කෑල්ල තමන්ට ලබාදෙන්න කියන ඉල්ලීම තමයි තිබුනෙ. මේවාගෙ ඉල්ලීම් අමාත්‍යංශවලිනුත් පුද්ගල පැමිනිලි වලට අදාලව අපිට එන එක ඒ දවස්වල සාමාන්‍ය දෙයක්. මේ පැමිනිල්ලත් ඔම්බුඩ්ස්මන් බැස්ටියන් පිල්ලෙ මැතිතුමා ප්‍රාදේශීය ලේකම්ට එවලා වාර්තාවක් ඉල්ලල තිබුනා ලෙස්ලිට පිටපතක් එක්ක. තැපෑල බලපු මට මේ ලිපිය දැකල සහකාර ප්‍රාදේශීය ලේකම් අනිල් ට මීට අදාල පැරණි ගොනුව කච්චේරියෙන් භාරදුන් ගොනු අතරින් හොයාගෙන මට ඉදිරිපත් කරන්න කියලා සටහනක් දැම්මා. ඊට දවස් දෙකකට පස්සෙ අම්පාරෙ නගර සභාවෙ විපක්ෂ නායක හේමසිරි වීරක්කොඩි නැත්නම් කවුරුත් කතාකරන විදියට හේමසිරි අයියා තවත් කෙනෙක් එක්ක මාව හමු උනා. හේමසිරි අයියා අම්පාරෙ හිටපු විශේශ පුද්ගලයෙක්. සෙනරත් සෝමරත්න යුගයෙ අම්පාරට ගිහින් අම්පාරෙ ව්‍යාපාර වැඩවලට සම්බන්දවෙන හේමසිරි, සෙනරත් සෝමරත්න නියෝජ්‍ය ඇමතිතුමාගෙ සමීපතමයෙක්. අම්පාරෙ දේශපාලනේ ප්‍රාදේශීය පුද්ගලයො අතර හේමසිරි අයියා ඉස්සරහට එන්නෙ 1977ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ පරාද උනාට පස්සෙයි. පරාජයෙන් පස්සෙ ඇතිඋන කරදර මැද ලොකු ලොකු ශ්‍රී ලංකා බලවත්තු අම්පාර හැරයාම නිසා ඇතිඋන අරාජකත්වය මැද පාක්ෂිකයන්ට හයියක් උනේ හේමසිරි අයියල, වීරසින්හල, තෙවරප්පෙරුම, සුදර්මන් වාගෙ සෝමරත්න යුගයෙ පොඩි උන්. මේ අය ඇතිවන පීඩනයන්ට මූනදෙමින් දේශපාලනයෙ නිරතවෙනවා. හේමසිරි අයියා තමයි අම්පාර නගරෙ ශ්‍රී ලංකා නායකත්වය. අම්පාරෙ නගර සභාව දිනාගන්න ශ්‍රී ලංකා එකට බැරි උනාට හේමසිරි අයිය නාගරික මංත්‍රී වෙන්නෙ සභාපති වෙනකෙනා ගන්නව වාගෙ දෙගුනයක් වැඩියෙන් මනාප අරගෙන. යුක්තිය සාධාරනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න හේමසිරි අයියා ට නගරෙ හැමෝමත් රාජ්‍ය නිලධාරින්ගෙත් ලොකු සැලකිල්ලක් තිබුනා. පස්දුන් කෝරලේ මිනිහෙක් උන හේමසිරි අයියා කෝරලෙ කමටද කොහෙද මට ලොකු සැලකිල්ලක් දැක්වුවා. ඉතින් හෙමසිරි අයියා උදව්වක් ඉල්ලුවම මිනිහ ලෙඩ අරගෙන එන්නෙ නෑ සාධාරන ප්‍රශ්නයක් තමයි ගේන්නෙ කියල අපි දන්නවා. මේ දවසෙත් ඒවගේම මාව හමුවෙලා,

“සර් මේ තමයි ගැමුනුපුර ලෙස්ලි. මෙයාගෙ තාත්තාගෙ වින්කලේ කඩල ගිය ආන්ඩු කාලෙ ඉඩම වෙන කෙනෙකුට දුන්න. දැන් අපේ වීරසිංහ මහත්තය පාර්ලිමේන්තුවට පෙත්සමක් දුන්න. ඒක සර්ට එවල තියෙනවලු වාර්තාවක් ඉල්ලලා. ඒ වාර්තාව ඉක්මනට යවල දෙන්න” කියල ඉල්ලුවා.

“හරි හේමසිරි අයියා මට මතකයි ඔම්බුඩ්ස්මන් කන්තෝරුවෙන් ලියුම එවල තිබුනා. මම ඒකට අදාල පයිල් එක ඉඩම් අංශෙන් ඉල්ලුවා. මම ඒක බලලා ඉක්මනට වාර්තාව යවන්නම්” මම කිව්වා.

“අනේ ඔව් සර් ඕක මොකක් හරි කරල දෙන්න. මෙයාගෙ තාත්තා අපෙ යාලුවා. මිනිහ ඔය ඉඩම නැතිවීම ගැනම හිතල මැරිල ගියා. අපි ලමයෙකුට හරි ඉඩම් කෑල්ල අරං දෙන්නයි බලන්නෙ.”

“හරි අපි බලමුකො පුලුවන් දෙයක් කරල දෙන්නම්. හොඳට බලලා වර්තාව යවන්නම්කො” මම කිව්වා.

තවත් දේවල් ගැන කයිවාරුවකුත් ගහල තේ එකකුත් බීල හේමසිරි අයියා ගියා.
ඊට ටිකවෙලාවකට පස්සෙ මාව හමුවුන සහකාර ප්‍රාදේශීය ලේකම් අනිල් මහත්තය මේ ගැන සාකච්ඡා කරා.

“සර් හේමසිරි අයියා ආවා තවත් කෙනෙක් එක්ක. සර්ටත් කිව්වා කිව්වා. මිනිහගෙ වැඩේ ගැන ඉඩම් අංශෙන් හොයල බැලුවා”.

“ඔව් අනිල් මොකද තත්වය ඒක ගැන?”

“වැඩක් නෑ. මිනිහගෙ ඉල්ලීම ගැන අපිට කරන්න දෙයක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවකින් තමයි ඒ ඉඩම රජයට අරගෙන තියෙන්නෙ. ඉතින් ආයෙ මොනව කරන්නද?”ස.ප්‍රාලේ කිව්වා.

“මොනවා? සුප්‍රිම් උසාවිය මේ ඉඩම රජයට ගන්න කියලා? නඩුව මොකක්ද? මූලික අයිතිවාසිකම්ද?නැතිනම් ඇපෑලක්ද?”

“දන්නෙ නෑ සර් ඒකනම්. සීසී මහත්තය කිව්වෙ එහෙම තමා.”

“කෝකටත් අනිල් සීසීට කියන්න ඒ ඉඩමෙ පයිල් එකයි නඩුවට අදාල තීන්දුවයි මට දෙන්න කියලා. මම හොයල බලන්නම් නඩුව මොකක්ද කියල”

“හරි සර් මම කියන්නම්”

එදා හවසම මට මේ කාරනයට අදාල ගොනු කීපයක්ම අනිල් ගෙනැත් දුන්නා. මමත් සේරම ටික ගෙදරට ගෙනැල්ලා හිමිහිට එකිනෙක බැලුවා. උසාවි කීපයක නඩුවලට අදාල කඩදාසි රාශියක් තිබුනා. ප්‍රධාන ගොනුව විතරක් සෑහෙන්න ලොකුයි. මේවා පිලිවෙලක් කරගන්න හොඳම ක්‍රමය සිදුවීම් අනුපිලිවෙල අධ්‍යනය ක්‍රමය තමයි කියල හිතාගෙන සෑම ගොනුවක්ම අධ්‍යනය කරමින් සිද්දීන් අනුපිලිවෙලට සටහන් කරා. එදා රාත්‍රියෙන් වැඩි කොටසක් කරේ ඔය වැඩේ තමයි. ඊට පස්සෙ තවත්‍ රාත්‍රි දෙකක් ගතකරලා තමයි වැඩේ අහවරක් කර ගත්තෙ. මේ ටික පිලිවෙල කරාම හමු උන කතාව මේකයි.

ජිනදාස කියල කෙනෙක් 1965විතර ගල් ඔය අම්පාරට එන්නෙ අලුතින් දියුනුවෙන පලාතක් නිසා කර්මාන්තයක් පටන් ගන්න. මේ ජිනදාස දැනගෙන හිටියා බයිසිකල් අලුත්වැඩියා කරන්න. මිනිහ අම්පාරෙ උහන පාරෙ නගරාසන්නයෙන්ම තිබුන ගල් ඔය මන්ඩලේට අයිති ඉඩමක අනවසරයෙන් වින්කලයක් හදනවා. මේකට ගල්ඔය සංවර්ධන මංඩලයෙන් ප්‍රශ්නයක් එන්නෙත් නෑ. සාමාන්‍යෙන් අනවසර අයට ගහන ලිපිය මගින් අනවසර අල්ලාගැනීම ඉවත් කරගන්න කියන අවවාදය විතරක් දීල ගල්බෝඩ් එක නිහඬවෙනවා. ඉතින් ජිනදාස වින්කලේ දිගටම කරනවා. වින්කලේ ලොකු වෙනකොට “ගාලු සයිකල් වර්ක්ස්” කියල නමකුත් දානවා. ටික කාලෙකදි ජිනදාස ගල්බෝඩ් (ගල්ඔය සංවර්ධන මංඩලය) එකෙන් මේ වින්කලේ තියෙන ඉඩමට බලපත්‍රයක් ඉල්ලනවා. නගරයේ වානිජ ඉඩම් වෙන්දේසිය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවින් එහිදී අදාල ඉඩමද වෙන්දේසි කිරීමට නියමිත බැවින් ඒ අවස්තාවේදී ලංසු ඉදිරිපත් කර ලබාගන්නා ලෙස ගල්බෝඩ් එක පිලිතුරු එවනවා. ඒ විදියටම වානිජ ඉඩම් වෙන්දේසිය 1968දී පැවැත්වෙනවා. මේ වෙන්දේසිය විවෘත වෙන්දේසියක් හැටියට නොතියා කැබිනට් තීරණයකින් අම්පාරෙ පදිංචි අයට විතරක් සීමා කරනවා. ඒ අනුව ජිනදාස තමා ගේ වින්කලය පිහිටි ඉඩම් කැබැල්ලට වෙන්දේසියෙදි ලංසු තියනවා. ඒත් මිනිහ එක්ක තරඟෙට උහන ව්‍යාපාරික සයිමන් සිල්වා මුදලාලි තරඟ කරනවා. ජිනදාසගෙ ලංසුව අභිබවා මුදලාලිගෙ ලංසුව වැඩිවෙනවා. අවසානයේ රුපියල් 750/=මුදලකට බිම්කොටස සයිමන් සිල්වා මුදලාලිට තීන්දුවෙනවා. ඉන්පස්සෙ ජිනදාස වෙනත් ඉඩම් කොටසක් වෙන්දේසියෙන් ගන්නවා. ඒකට ජිනදාස රුපියල්250/=ගල්බෝඩ් එකට ගෙවනවා. හැබැයි ජිනදාස ගත්තු ඉඩන් කෑල්ලෙත් අනවසරකරුවෙක් ඉන්නවා. එයා ගල්බෝඩ් එකේ වැඩකරන කෙනෙක්. දැන් සයිමන් සිල්වා මුදලාලි සල්ලි ගෙව්ව ඉඩමෙ ජිනදාස ඉන්නවා.ජිනදාස සල්ලි ගෙව්ව ඉඩමෙ ගල්බෝඩ් එකේ වැඩකරන කෙනා ඉන්නවා. සයිමන් සිල්වා මුදලාලි තමන් මුදල් ගෙවූ ඉඩම ඉල්ලුවා. ගල්බෝඩ් එක ජිනදාසට දැන්වුවා වහාම ඉඩම භාරදෙන්න කියල. ජිනදාස පිලිතුරු දුන්නා තමන් මුදල් ගෙවූ ඉඩම් කැබැල්ල භාරදෙන්න එවිට තමන් පරිහරණය කරන ඉඩම භාර දෙන්නම් කියලා. ගල්බෝඩ් එක නිහඬ වෙනවා. ඉන්පස්සෙ 1970ආන්ඩු පෙරලිය සිදුවී අම්පාරෙ සෙනරත් සෝමරත්න යුගය එනවා. ටික කලකින් ජිනදාස තමා පාවිච්චි කරන ඉඩමට බලපත්‍ර ඉල්ලා සෙනරත් සෝමරත්න මහතාට (වාරිමාර්ග නියෝජ්‍ය ඇමති) ලිපියක් දෙනවා. ගල්බෝඩ් එක ජිනදාසට වාර්ෂික බලපත්‍රයක් නිකුත් කරනවා. ජිනදාසට පලමු වරට වින්කලය තියෙන ඉඩමට නිත්‍යානුකූල බලපත්‍රයක් ලැබෙනවා. තවත් අවුරුද්දකින් විතර සයිමන් සිල්වා මුදලාලි තමන් මුදල් ගෙවූ ඉඩම කියා ඒ ඉඩමට පිරිසක් සමග ඇතුල් වෙනවා. ජිනදාස කන්ඩායමක් එක්ක ඒකට විරුද්ධව රණ්ඩුවක ඇති කරනවා. දෙපැත්තෙම අය ගහ ගනිද්දි පොලීසිය දෙගොල්ලන්වම අත් අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා. කල්මුන උසාවියෙන් ඇපපිට දෙපාර්ශවයම නිදහස් උනාට ගහගත්තු නඩුවට දින නියම වෙනවා. රංඩුවෙ නඩුවෙ පලමු දවසෙ නඩුකාරතුමා අපූරු නියෝගයක් කරනවා. ඒ නියෝගය අනුව ඉඩමේ භුක්තිය ජිනදාස විසින් දින 14ක්තුල සයිමන් සිල්වා මුදලාලිට භාරදිය යුතුයි. රණ්ඩු නඩුව කල්තැබීමටත් නඩුකාරතුමා ක්‍රියාකරනවා.

ජිනදාස මේ නියෝගයට විරුද්ධව අභියාචනා අධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලා නඩු පවරනවා. අභියාචනාධිකරණයේ නඩු විභාගයෙන් කල්මුන නඩුකාරතුමාගෙ නියෝගය නිශ්ප්‍රභා කරනවා. ඒ විතරක් නෙවෙයි රණ්ඩුවට අදාල නඩුවත් වෙනත් විනිශ්චය කරුවෙක් ඉදිරියේ විභාග කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරනවා. ඒ අනුව රන්ඩුවට අදාල නඩුව විභාග කල නව විනිසුරුතුමා දෙපාර්ශවයම එක් අවුරුද්දක් ඇඟ බැදීමකට යටත් කර නඩුව අවසන් කරනවා. මේ නඩුව නිසා ජිනදාසගෙ වාර්ශික බලපත්‍රය දීර්ඝ කිරීම නතරවෙනවා. ගල්බෝඩ් එක මේ වෙනකොට තමන්ගෙ යටතෙ තිබුන බලතල කච්චේරියට භාර දීල අම්පාරෙන් සමු අරගෙන. දැන් ජිනදාස එදිරිව සයිමන් සිල්වා ආරවුල කච්චේරියට පැවරුනා. කච්චේරිය ටික කාලෙකින් ජිනදාස ඉවත් කරන්න අම්පාර උසාවියෙ නඩු පවරනවා. ඒ නඩුව විභාගකල නඩුකාරතුමා දිසාපතිගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නඩුකාරතුමා හේතුන් හැටියට දක්වන්නෙ ඇයි මේ දිසාපතිවරයා සයිමන් සිල්වගෙ නියෝජිතය වගේ ක්‍රියා කරන්නෙ. සයිමන් සිල්වා ට අසාධාරණයක් වෙලානම් ඔහු සුදුසු අධිකරනයකට නොගොස් දිසාපතිවරයා මගින් ජිනදාස ඉවත් කරන්න කටයුතු කරන්නේ මන්දැයි ප්‍රශ්න කරමින් නඩුව නිෂ්ප්‍රභ කරන්නෙ. දිසාපතිවරයා ඊට එරෙහිව නීතිපති මගින් අභියාචනාධිකරණයට යනවා. ජිනදාසගෙ පැත්තෙනුත් අභියාචනාධිකරනයේ කරුනු දක්වනවා. අභියාචනය ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් ජිනදාසට කරදරයක් නෑ. ආයිත් හැත්තෑහතේ පෙරලියත් එක්ක ජිනදාසට ප්‍රශ්න එනවා. මේ වෙනකොට රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ නීතිය රජයෙන් ගේනවා. මේ නීතිය සම්මත උනහම දිසාපතිවරයා ජිනදාසව අනවසර කරුවෙක් සේ සලකා ඉවත් කිරීමට නඩු දානවා. මහේස්ත්‍රාත්තුමා මෙවරත් නඩුව නිශ්ප්‍රභ කරනවා. නීතිපති මගින් දිසාපතිවරයා ඊට එරෙහිව අභියාචනාධිකරනයට අභියාචනය කරනවා. දීර්ඝ නඩු විභාගයකින් අභියාචනය පිලිගැනීමට අභියාචනාධිකරනය තීරණය කරනවා. ජිනදාස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් කරනවා. එහිදීත් දීර්ඝ නඩු විභාගයකින් පස්සෙ ජිනදාසගෙ අභියාචනය ප්‍රතික්ශේප කරනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරනය පෙන්වාදෙන්නේ රජයේ ඉඩම් සන්තකය ආපසු ලභා ගැනීමේ පනතින් මහේස්ත්‍රාත්වරයෙකුට නඩුවිභාග පැවැත්විය හැක්කේ අනවසරකරු වලංගු බලපත්‍රයක් ඉදිරිපත් කලහොත් එහි වලංගු අවලංගු භාවය නිශ්චයකර ගැනීම සදහා පමනක් බවයි. ඒ අනුව ජිනදාසට සිදුවන අසාධාරනයක් වැලැක්වීමේ බලයක් පනත යටතේ අධිකරනයට ලබාදී නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරනවා. ඒ අනුව දිසාපතිවරයා පිස්කල් නිලධාරින් මගින් ජිනදාසව ඉවත් කර ඉඩම සයිමන් සිල්වා මුදලාලිට භාර දෙනවා. මේ ඉවත් කිරීම වෙන්නෙ 1986 මම අම්පාරට ගිය අලුත.

මේ කතාව ලිපි ගොනු වලින් හෙලිදරව් කර ගත්තම මේ ගැටලුව විසඳන්න මම යවපු වාර්තාවගැන පස්සෙ කියන්නම්. අපේ පරිපාලන සේවෙ අයටයි,  මගේ ලිපි කියෝන අනිත් අයටයි මේ ගැටලුවට විසඳුම් යෝජනා කරන්න කියල ඉල්ලන්න කැමතියි. මොකද මම යෝජනා කරල, මගේ අනුප්‍රාප්තික දක්ෂ ප්‍රා.ලේ වරියක් උන නිලධාරිනියකට ක්‍රියාත්මක කරන්න උන විසඳුමට වැඩිය හොඳ විසදුම් තිබෙනවනම් දැන ගන්න පුලුවනිනෙ. එහෙනම් දවස් තුනක් ඇතිනෙ. ඔන්න ප්‍රශ්නය, දෙන්න විසඳුම්!

Advertisements

9 thoughts on “ගාලු සයිකල් වර්ක්ස් විසඳුම කියන්න.

  1. සන්තකය ආපසු ගැනීම යටතට අදාල වීමටජිනදාස අනවසර කරුවෙකුනොවේනේද ? .ඔහු වාර්ෂික බදු කරයකින් එය භුක්ති විද ඇත. වෙන්දෙසියෙන් ඔහු ලබාගත් ඉඩමට අදාල ගාස්තු ගෙවා ඇත්නම් ඔහුට එම ඉඩම ලබා ගැනීමට හිමිකමඇත.වෙන්දේසියට අනුව ඉඩම් වෙන්කිරීමට ඉඩම්දෙකේ අනවසර කරුවන් ඉවත්නොකිරීමෙන් හා එහි ඉදිරි කටයුතු සිදුනොවීම නිසා ජිනදාස ට අසාධාරණයක් සිදුකරඇත.

    Like

    1. ජිනදාසට නිකුත්කරතිබූ වාර්ශික බලපත්‍රය වලංගු භාවය අභියාචනාධිකරනයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී බරපතල ලෙස සලකාබලා ඇත.ඒඅනුව වාර්ශික අවසර පත්‍රය යනු එහි කොන්දේසිවල සදහන් අන්දමට තාවකාලික එකකි.එයවලංගු වන්නේ නිකුත් කල වර්ශයට පමනි.නිකුත් කලවර්ෂය ඉක්මවා වලංගු වීමට නම් ගාස්තු අයකර දීර්ඝ කර තිබිය යුතුය.ජිනදාසගේ වාර්ෂික අවසරය දීර්ඝකර නොතිබීම නිසා ඔහු සතුව ඉඩම භුක්ති විදීමට වලංගු අවසර පත්‍රයක් නොතිබුනි.එබැවින් ඔහු අනවසරකරුවෙකු බවත් රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත යටතේ ඔහු ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයාදුන් නියෝගය නීත්‍යානුකූල බවත් ඉහල අධිකරණ දෙකේම තීරණයවිය.

      Like

      1. Government took the money from Jinadasa and didn’t provide goods or services promised to him. This is the root cause of the problem. It seems court didn’t evaluate the full facts and objectivity. There were 10 instances but court stop at #2 and didn’t consider #1.
        If he had the opportunity to use this land even for temporary, he will continue to pay his due and he could have been the owner of this land. What is the likely scenario for similar cases (if you have statistics)?
        1. More than 50% of chance to become the owner
        2. 50% of chance to become the owner
        3. Less than 50% of chance to become the owner

        Like

  2. 1968 වානිජඉඩම් වෙන්දේසියෙන් රජයට ලැබුනු රු.750 වෙනුවෙන් මේ වෙනකොට රජයටත් ඊට සම්බන්ධ අනෙක් පාර්ශවවලටත් වියදම් වී ඇති මුදලත්, කාලය, ශ්‍රමය නඩුහබ, සිත් රිදවීම් දේශපාලන ඇඟිලිගැසීම් ආදිය සලකා බලන විට වැරදීම සිඳුවී ඇත්තේ මුල්ම ක්‍රියා පටිපාටියේ බව මගේ අදහසයි..ගල්බෝඩ් එක ප්‍රථම වෙන්දේසියේදී හා ඊලඟ මොහොතේ ඇතිවූ ප්‍රතික්‍රියා සඳහා නිසි ඇමතීමක් නොකල හෙයින් ජිනදාසටම ඉඩමේ අයිතිය තබාගැනීමට ඉඩදීම යෙහෙකි…

    නීති ප්‍රතිපාදන කුමක් දැයි නොදනිමි…සමහරවිට ජිනදාසටත් සයිමන්ටත් මරණීය දන්ඩනය නියමකර ගුනපාලට ඉඩම ලබාදිය හැක,… අපේ රටේ නීතිය එහෙමය…

    Like

  3. දුක්ගන්නා රාළ (සිංහල රජකාලෙ හිටි කෙනා නොවේ)= ඔම්බුඩ්ස්මන් වරයා විසින් සලකා බැලියයුතුයයි හැඟෙන කරුණු

    ගැටළුව: ස්වකීය ජීවන වෘත්තිය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ ඉඩමින් ජිනදාස නෙරපා හැර ඇත.
    ජිනදාසට වී ඇති අසාධාරණය:
    1. ජිනදාසට දෙවන ඉඩම් කට්ටිය (1968 දී වෙන්දේසියෙන් පවරා දෙනලද ඉඩම් කට්ටිය= ඉඩම් කට්ටි 2) භාර දෙන ලද්දේ නම් මෙවැන්නක් සිදු නොවේ. (වරද:ගසම=රජයේ පාර්ශ්වය ගිවිසුම උල්ලංඝණය කිරීම)
    2. ඉඩම් කට්ටි 1 සම්බන්ධ ගැටුම නිසා වූ අධිකරණ තීන්දුව ජිනදාසට ඉඩම් බලපත්‍රය දික් නොකිරීමට හේතුවක් වන්නේ කෙසේද? (වරද 2.)
    3. ජිනදාස ඉඩම් කට්ටි 1 තබා ගැනීම සඳහා දිගටම උත්සාහ කොට ඇත්තේ ඉඩම් කට්ටි 2 ඔහුට නොලැබීම නිසාවෙනි. එම උත්සාහය මගින් ඔහු එහි දීර්ඝාකාලීන භුක්තිය තහවුරු කොට ඇත.
    4. ඉඩම් කට්ටි දෙකෙන් එකක් ඔහුගේ ජීවන වෘත්තිය සඳහා වන ව්‍යාපාරය කරගෙන යාමට අත්‍යවශ්‍යය.
    5. දිසාපතිවරයා ජිනදාසට විකල්ප ස්ථානයක් සිය ව්‍යාපාරය කරගෙන යාමට නොදී නෛතික බලය යොදා ඔහුගේ ඉඩම අහිමි කර ඇත. (වරද 3)
    එනිස රජයෙන් ඉඩම් කට්ටියක් ලබාගැනීමට ඔහු හිමිකම් ලබයි.

    පරිශිෂ්ටය
    කාලවකවානු අනුව පෙළගස්වනලද සිද්ධිදාමය සහ නිරීක්ෂණ
    1.0. 1965 හෝ ඒ ආසන්න කාලයේ සිට ජිනදාස මෙම ඉඩමේ ව්‍යාපාරයක් අනවසරයෙන් පවත්වා ගෙන ගොස් ඇත. ඉඩම් කට්ටි 1
    ( ගල් ඔය සංවර්ධන මණ්ඩලය (ගසම) ඔහුට ඉන් ඉවත්වන ලෙස යවන ලද දැන්වීමෙන් ඒ බව තහවුරු වෙයි)
    1.1. 1968 දී වූ ඉඩම් වෙන්දේසියෙන් ඔහු ලබාගත් ඉඩම ගසම මගින් ඔහුට නීත්‍යනුකූලව භාර දී නො මැත. ඉඩම් කට්ටි 2
    1.1.2. ඉඩම් කට්ටි 1 න් ඉවත්වීම සඳහා තමන් වෙන්දේසියෙන් ගත් ඉඩම් කට්ටිය භාරදෙන ලෙස ඔහු දන්වා යවා ඇති මුත් ඔහුට එය ලබා දී නොමැත.
    1.1.2.3. 1970 හෝ ඒ ආසන්න කාලයකදී ඔහුට ඉඩම් කට්ටි 1 සඳහා බලපත්‍රයක් ලැබී ඇත.
    1986 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ජිනදාසට ඉඩම කට්ටි 1 අහිමි වෙයි.

    2. නඩු තීන්දු

    2. 1. 1971 තරම සයිමන් සිල්වා ඉඩම් කට්ටි 1 සඳහා හිමිකම කියා ඉඩමට බලයෙන් ඇතුළු වෙයි.
    2.1. 2. එහිදී ඇතිවන ගැටුම අනුව දෙන ලද අධිකරණ තීන්දුව ජිනදාසට ලැබී තිබුනු බලපත්‍රය නොසලකා දේපල අයිතිය තීන්දු කරන්නකි.

    2.1.2.1. අභියාචනාධිකරණ තීන්දුව අනුව වෙනත් විනිසුරුතුමෙකු විසින් දෙනලද තීන්දුව:
    රන්ඩුවට අදාල නඩුව විභාගකල නව විනිසුරු තුමා දෙපාර්ශවයම එක් අවුරුද්දක් ඇග බැදීමකට යටත් කර නඩුව අවසන් කරනවා.

    2. 2. මේ නිසා ඉඩම් කට්ටි 1 සඳහා වූ ජිනදාසගේ බලපත්‍රය දික් නොකිරීම –
    එවැන්නකට නෛතික පදනමක් සකස් කොට දෙන පරිපාලන රෙගුලාසිය කුමක්ද ?

    ගසමේ අනුප්‍රාප්තික දිසාපති කාර්යාලය ජිනදාසගෙන් ඉඩම ලබාගෙන සයිමන් සිල්වාට පැවරීමට අධිකරණයේ පිහිට පැතීම. අධිකරණය එය නිෂ්ප්‍රභ කිරීම

    2.2.1 රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තහවුරුකොට ගෙන දිසාපතිවරයා විසින් පාවිච්චි කරනු ලැබ ඇත්තේ රජයේ ප්‍රයෝජනය සඳහා ඉඩම ආපසු පවරා ගැනීමට නොව සයිමන් සිල්වාට ඉඩම ලබා දීම සඳහාය.එමගින් සයිමන් සිල්වාට සාධාරණය ඉටුකරන දිසාපතිවරයා තම ජීවන වෘත්තිය පවත්වාගන්නා එකම ස්ථානය ජිනදාසට අහිමි කර ඇත.
    3. නිරීක්ෂණ: ජිනදාසට වී ඇති අසාධාරණය:

    3. 1. මේ අනුව ජිනදාසට ඉඩම් කට්ටි දෙකෙන් එකක්වත් හිමි වන්නේ නැත .
    3.2. ජිනදාසට ඉඩම් කට්ටි 2 (1968 දී වෙන්දේසියෙන් පවරා දෙනලද ඉඩම් කට්ටිය) භාර දෙන ලද්දේ නම් මෙවැන්නක් සිදු නොවේ. (වරද 1 (ගසම=රජයේ පාර්ශ්වය ගිවිසුම උල්ලංඝණය කිරීම.))
    3.3. ඉඩම් කට්ටි 1 සම්බන්ධ ගැටුම නිසා වූ අධිකරණ තීන්දුව ජිනදාසට ඉඩම් බලපත්‍රය දික් නොකිරීමට හේතුවක් වන්නේ කෙසේද? (වරද 2.)
    3. 4. ජිනදාස ඉඩම් කට්ටි 1 තබා ගැනීම සඳහා දිගටම උත්සාහ කොට ඇත්තේ ඉඩම් කට්ටි 2 ඔහුට නොලැබීම නිසාවෙනි. එම උත්සාහය මගින් ඔහු එහි දීර්ඝාකාලීන භුක්තිය තහවුරු කොට ඇත.
    3.5. ඉඩම් කට්ටි දෙකෙන් එකක් ඔහුගේ ජීවන වෘත්තිය සඳහා වන ව්‍යාපාරය කරගෙන යාමට අත්‍යවශ්‍යය.
    3. 6. දිසාපතිවරයා ජිනදාසට විකල්ප ස්ථානයක් සිය ව්‍යාපාරය කරගෙන යාමට නොදී නෛතික බලය යොදා ඔහුගේ ඉඩම අහිමි කර ඇත. (වරද 3)

    Like

    1. Solution: If this is in USA, Jinadasa will receive 100% current market price of the land #2 (or land) and punitive damage (up to another 100% of the current value) from the government for breach of contract.

      Like

      1. Kosinna again! Also, Government should reimburse any unpaid taxes and fees related to land #2 from above settlement.
        Concept:
        – There are primary and secondary (subsequent) errors.
        – The separation of primary and secondary (subsequent) errors is key to the decision making.
        – Secondary errors should not supersede primary errors.
        – The correct judgement should be based on;
        -Who did the primary errors and against whom?
        -What is the reasonable restitution?

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s