යකාගෙ හැටි.

අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් කම කරපු කාලෙ අද වගේ නෙවෙයි. ප්‍රා.ලේ කාර්‍යාලෙයි කච්චේරියයි අතර රාජකාරි සම්බන්දයක් තිබුනෙ නැති තරම්. ඒක නිසා නිල උපදෙසක් ගන්න විදියක් තිබුනෙ නෑ. ඒත් වික්‍රම දිසාපතිතුමා හැම වෙලාවෙම තාත්තා වාගෙ අපිව බලාගත්තා. පුද්ගලිකව උපදෙස් දෙමින් දුක සැප බලමින් ගැටලු එනකොට දිරි ගන්වමින් අපි පිටි පස්සෙම හිටියා. අම්පාර නගරෙ ඉඩම් රාජකාරිය තමයි ප්‍රමුඛ කාර්‍යය. නගරෙ ඉඩමක් රජයේ වැඩකටවත් වෙන් කරපු විගසින් විරුද්ද පක්ෂෙ මංත්‍රීන්ගෙන් ප්‍රශ්න එනවා. ඩීසීසී එකට ඒ ප්‍රශ්න යොමු කරල ප්‍රසිද්දියේ විවේචනය කරනවා. නගර සභාව ඒ අය අතේ නිසා එතනින් ගේන්නෙ නගර සැලැස්මට එකඟ නොවේ කියන නීති ප්‍රශ්නයයි. මම අම්පාරට එන්න ඉස්සෙල්ලම මේ තත්වය දැනගෙන හිටිය නිසා පරිස්සමින් තමයි වැඩ කලේ. අම්පාරෙ ඔරලෝසු කනුව ලග තිබුන කඩ ඉඩම් තුනක් කලින් ආන්ඩුව කාලේ බලපත්‍ර අවලංගු කරල හිටපු අයව අයින් කරල තිබුනා. මේකට හේතුව හැටියට නගර සැලැස්මෙ එතන උද්‍යානයක් හදන්න වෙන්කරල තියෙන්නෙ කියන එක තමයි පෙන්නල තිබුනෙ. මේ ඉඩම් කෑලි තුන බලපත්‍ර දීල තිබුනෙ අම්පාරෙ හිටපු තුවක්කු කාර්මිකය උන කොස්තා බාස් උන්නැහෙ, ටී කේ දයාවතී සහ දලුවත්ත කියල තුන් දෙනෙකුට. මේ අය කඩ හදල වෙන අයට කුලියට දීල තිබුනා. මේ තුන්දෙනාම සෙනරත් සෝමරත්න යුගයෙ බලපත්‍ර ගත්තු ශ්‍රී ලංකා කාරයො කියලයි ටවුමෙ අය කිව්වෙ. කොහොම හරි උද්‍යානයකට නගර සැලැස්මෙන් වෙන්කල බිම ඒකට ඕන කියල ඇමති දයාරත්න මැතිතුමාගෙ උපදෙස් මත බලපත්‍ර අවලංගුකරල මේ අය ඉවත් කරා. ඒ අයගෙ කඩවල කුලියට හිටපු අය රීගල් හංදියෙ ලංකා බැංකුවෙ තාප්පෙ අයිනෙ කඩ හදාගත්තා.

1994දි ආන්ඩුව වෙනස් උනහම මේවගේ ඉඩම් බලපත්‍ර කැන්සල් කරපු අය දේශපාලන පලි ගැනීම් කොමිටියට පැමිනිලි කරා තමන්ට අසාධාරනයක් උන බව කියලා. මේ ගැන වාර්තා කරන්න ප්‍රා.ලේට ආවහම මම කරුණු හොයල බැලුවා. මේ ලිපිගොනුවල තිබුන සටහන් අතර අදාල ඉඩම් බලපත්‍ර කැන්සල් කරන්න කියල දිසා ඇමතිවරය දීපු ලිඛිත නියෝගය හමු උනා. හේතුව හැටියට පෙන්නල තිබුනෙ ගල්ඔය සංවර්දන මංඩලයේ නගර සැලැස්ම අනුව මේ ස්තානය උද්‍යානයකට වෙන්කර තිබීමයි. ඊලඟට හෙව්වා ගල්ඔය නගර සැලැස්ම. කොහේවත් නෑ. පරණ ගල්ඔය මංඩලෙ වැඩ කල අයගෙන් ඇහුවා කවුරුවත් දැකල නෑ. මේ අතර වික්‍රම දිසාපති තුමාගෙ කාර්‍යාලෙ රාක්කෙ උඩ රතු රිබන් පටියකින් බැඳපු පරණ පොත් මිටියක් තියෙනව දැක්කා.

“සර් මොකක්ද මේ පොත් මිටිය?” මම දිසාපතිතුමාගෙන් ඇහුවා.

“ආ ඕක මට දුන්නෙ කල්මුනේ ඩේලි නිවුස් ‍රිපෝටර් කාරියප්පර්. වැදගත් පොත් වගයක් කිව්වා.”

“රිපෝටර් කාරියප්පර් අර වයසක මනුස්සයා? සර්ට කොහේදිද හම්බු උනේ?”

“මිනිහ බැරි මරගාතෙ මාව හමුවෙන්න ආව බං කල්මුනේ උගෙ නෑයෙක්ගෙ වැඩකට උදව්වක් ඉල්ලන්න. උන් කල්මුනේ වැදගත් මිනිස්සු නේද?”

“ඔව් සර්, ඔය පරම්පරාවට තමයි ග්‍රේට් මුඩ්ලියර් කාරියප්පර් අයිති. සර්ගෙ මිත්‍රයා අශ්රොෆ් ඇමතිතුමාත් ඔය පවුලට සම්බන්දයි. නැගෙනහිර පලාතෙ ප්‍රධාන පවුලක්.”

“ඒක තමයි අර යකා කියෙව්වෙ. මට බලන්න කියල ඔය පොත් මිටිය දුන්නා. උඹ දන්නවනෙ මට ඕව කියවන්න වෙලාවක් නෑනෙ. උඹ ඔය ටික ගෙනිහින් බලාපන්. මටත් කියපන් වැදගත් ඒව තිබුනොත්.” දිසාපතිතුමා කිව්වා.

පොත් මිටිය අරං ගිහින් ලිහල බැලුවා, මුල් කාලෙ ගල්ඔය සංවර්දන මංඩලේ පාලන වාර්තා. මේ ටික බලාගෙන යනකොට අම්පාර නගර සැලැස්ම ඒ වාර්තාවක තිබුනා. මේක දැකපු ගමන් මට පස්වනක් ප්‍රීතියක් ඇති උනා. කවුරුත් දැකල නොතිබුන අම්පාර නගර සැලැස්ම. වහාම කොස්තා බාස් උන්නැහැලගෙ කඩ තිබුන තැන වෙන්වෙලා තියෙන්නෙ මොනවටද බැලුවා. වානිජ කලාපයට ඇතුලත් බව දැන ගත්තා. වහාම දේශපාලන පලිගැනීම් කොමිටියට වාර්තාව සකස් කලා. “දේශපාලනික හෝ පෞද්ගලික පලි ගැනීමක් ලෙස ව්‍යාජ තොරතුරු පෙන්වමින් මේ ඉඩම් බලපත්‍ර අවලංගු කර ඇති බව නිරීක්ෂනය වේ. දැනට අදාල ඉඩම හිස් ව පවතී.” කියල. මේක යවල මාසෙකින් විතර ඉඩම් අමාත්‍යංශෙන් නියමයක් යලිත් මේ අය නමින් බලපත්‍ර නිකුත් කර භුක්තිය භාර දෙන ලෙස දන්වමින් ආවා. ඒ අනුව අදාල ඉඩම් තුනේ බලපත්‍ර යලි වලංගු කරා බලපත්‍ර ගාස්තුද හිඟ මුදල්ද සමග අයකරා. මේ ක්‍රියාව අම්පාරෙ විපක්ෂයේ මහ බලවතාට ලොකු පහරක් උන නිසා ඩීසීසී එකට මීට විරුද්ධ යෝජනාවක් ඉදිරිපත් කලා.

අලුත් ආන්ඩුව ආවට පස්සෙ ඩීසීසී රැස්වීම නැත්නම් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මූලාසනය ගත්තෙ ප්‍රබල දේශපාලන නායකයෙක් උන එම් එච් එම් අශ්රොෆ් ඇමතිතුමා. අතිදක්ෂ නීතිවේදියෙක් උන එතුමා ඉදිරියේදි ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නනම් හරියට කරුනු දැනගෙන ඉන්න ඕන. නැතිනම් හරස් ප්‍රශ්න දෙක තුනකින් නිරුත්තර තත්වෙට පත්වෙනවා. එතුමා විපක්ෂ මංත්‍රීවරයෙක් හැටියට ඩීසීසී එකේදි සමහර බොරු කියන නිලධාරින්ව ප්‍රශ්න කරපු හැටි දැකල තිබුන නිසා මමත් හොදට සූදානම් උනා. සුපුරුදු විදියට එතුමා මූලාසනය දරමින් අම්පාර ඩීසීසිය රැස් වුනා. මංත්‍රී ප්‍රශ්න වෙලාවෙ ගරු දයාරත්න මංත්‍රීතුමා ප්‍රශ්නය නැඟුවා.

“ගරු ඇමතිතුමා, අපේ රජය තියෙද්දි  අම්පාර නගරයේ පැරණි ගල්ඔය මංඩල නගර සැලැස්මට අනුකූල නොවන ඉදිකිරීම් ඉවත් කරලා සැලසුම් සහගත නගරයක් සදහා කටයුතු කලා. අලුතින් ආපු ප්‍රාදේශීය ලේකම් මේ ගැන නොතකා දේශපාලන ඕනෑ එපාකම් වලට ඉඩම් දෙනවා. උදාහරණ හැටියට ඔරලෝසු කනුව ලඟ මල්වත්ත ඉඩම තුන්දෙනෙකුට බලපත්‍ර දීලා. මේක නීතිවිරෝධියි. නතර කරවන්න.” දයාරත්න හිටපු ඇමතිතුමා ප්‍රශ්න කරා.

“අම්පාර ප්‍රාදේශීය ලේකම් පිළිතුරක් දෙනවද?”අශ්රොෆ් ඇමතිතුමා ඇහුවා.

“ඔව් සර් පිලිතුරක් දිය හැකියි. ගරු මංත්‍රීතුමා කිව් කරුණු ප්‍රතික්ශේප කරනවා. ඔරලෝසු කනුව ලඟ ඉඩම දේශපාලන පලිගැනීම් කමිටුවෙ නිර්දේශ මත ඉඩම් අමාත්‍යංශයේ නියමයකින් ලබාදුන් එකක්.” මම කිව්වා.

“ඒ කමිටුවට දේශපාලන පලිගැනීමක් කියල නිර්දේශ කලෙත් මේ නිලධාරියයි. නගර සැලැස්මට පටහැනි අනවසර ඉදිකිරීම් ඉවත් කරා මිසක් අපි දේශපාලන පලිගැනීම් කලේ නෑ. මේ විදියට බොරු ලියල දැන් දේශපාලන ඕනෑ එපාකම් වලට කරන වැඩ ඕවා.” දයාරත්න මංත්‍රීතුමා කියාගෙන යනවා.

“සමාවෙන්න සර්, මේ හිටපු ඇමතිතුමා මේ ඉඩම කැන්සල් කරන්න දීපු නියෝගෙ.” මම නියෝගෙ කියෙව්වා. “එතුමාගෙ නියෝගය පරිපාලන නියෝගයක් නොවෙයි ඒක දේශපාලන නියෝගයක්. අනිත් කාරනේ එතුමා එතන තියෙන එක කඩයක් අයින් කරේ නෑ. ඒ එතුමගෙ පාක්ශිකයෙක් නිසා කියලයි මිනිස්සු කියන්නෙ”. මමත් ඇරියෙ නෑ.

“හරි එහෙම කියමු. හැබැයි මගේ ලියුමෙම තියනවා නගර සැලැස්මට අනුකූල නොවන නිසා ඉවත් කරන්න කියල. එතකොට තේරෙන්නෙ නැතිද මේක නීත්‍යානුකූල ඉල්ලීමක් කියල? කොහොමද ඒක දේශපාලන පලි ගැනීමක් උනේ? අනික අයින් නොකර. එ්ක ස්තිර ඉදිකිරීමක් නිසයි අයින් නොකරෙ.” හිටපු ඇමතිතුමා කියනවා.

“සර් මේ ඉඩම මේ අයට දීල තිබුනෙ නගර සැලැස්මට අනුකූලවයි. මෙතුමා එහෙම අනුකූල නෑ කිව්ව එක වැරදියි.” මම කිව්වා.

“ගරු ඇමතිතුමා, මේ නිලධාරියා අමූලික බොරු කියනවා. මෙයා දන්න නගර සැලැස්මක් නෑ. තව එනව මගේ වැරදි කියන්න.” දයාරත්න මැතිතුමා කියනකොට මම නැගිට්ටා. “අයිසෙ වාඩිවෙනවා බොරුකාරයා.” එතුමා මට කෑගැහුවා.

මටත් හොදටම කේන්ති ගියා. මූලාසනයට කතාකර “සර් මම බොහොම වැදගත් විදියටයි මෙතන කතාකරේ. මේ මංත්‍රීතුමා මට නොගැලපෙන වචන වලින් කතා කරනවා. කරුණාකරල ඉල්ලා අස්කර ගන්න කියන්න ඒ වචන. නැත්නම් මමත් එතුමට ඒ විදියටම ආමන්ත්‍රණය කරලයි වාඩිවෙන්නෙ.” කියල වේගෙන් කිව්වා.

“අපි මහජන නියෝජිතයො. මේ අය ඒක දැනගන්න ඕන.” දයාරත්න මැතිතුමා කියනවා.

“අපි මහජන සේවකයො. ඒකත් ඔය නියෝජිතයො දැනගන්න ඕන. අපේ ආත්ම ගෞරවය නැති වෙන්න කතාකරොත් ඒ ජාතියෙන්ම උත්තර ලැබෙනව කියලත් ඔය නියෝජිතයො දැන ගන්න ඕන” මමත් ඇදල ඇරියා.

වහාම අශ්රොෆ් ඇමතිතුමා දයාරත්න මහත්තයට දැන්වුවා තම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න. එතුමා එය ඉල්ලා අස්කරගත්තා. මමත් වාඩි උනා.

“හරි, දැන් ප්‍රශ්නය මේ ඉඩම දීම නගර සැලැස්මට අනුකූලද නැතිද යන එකනෙ. ඒ ගැන මොකද ප්‍රා.ලේ කියන්නෙ?”අශ්රොෆ් ඇමති තුමා ඇහුවා.

“සර් ඔය නගර සැලැස්ම යකා වගෙයි” මම කිව්වා. හැමෝම හිනාඋනා.

“ඒ කියන්නෙ නරකයි කියන එකද?” ඇමතිතුමාත් හිනාවෙල ඇහුවා.

“නෑ සර් ඕක ගැන කියනව විතරයි. දැකපු කෙනෙක් නෑ. යකා ගැනත් එහෙමනෙ, කවුරුත් දැකල නෑනෙ.” හැමෝටම හිනා.

“ඒ කියන්නෙ ඔයා දැක්කෙත් නෑ.”

“මම දැක්කා. දැක්ක නිසයි කියන්නෙ මෙතන ඉන්න ඕන කෙනෙක් මේ ඉඩම දීම ඔය නගර සැලැස්මට අනුකූල නෑ කියල ඔප්පු කරොත් මම බලපත්‍රය කැන්සල් කරල ඉඩම ආපහු ගන්නවා.” මම කිව්වා.

“මම ඔය යකා දැක්ක හින්දයි කියන්නෙ. ඔය කියන තරම් යකා කලු නෑ සර්.” කියල මම වාඩි උනා. හැමෝම හිනාඋනා.

අශ්‍රොෆ් ඇමතිතුමා හිටපු ඇමතිතුමාට දැන්නුවා නගර සැලැස්මට අනුකූල නොවන බවට සාධක තියෙනව නම් ඊලඟ රැස්වීමට ඉදිරිපත් කරන්න කියල. ඒ සාධක කවදාවත් ඉදිරිපත් උනේ නෑ. ඒ වෙනුවට නගර සභාව මේ ඉඩම් කට්ටිකරුවන්ගෙ ඉදිකිරීම අනුමැතිය දීම නතර කරගෙන හිටියා. අවුරුදු ගානකට පස්සෙ ඒ අයට කඩ ඉදි කර ගන්න පුලුවන් උනේ නගර සභාවට විරුද්ධව උසාවි ගිහිල්ල තීන්දුවක් අරගෙනයි. අද අම්පාරෙ ඔරලෝසු කනුව ලඟ ඉඩම්වල කඩ හැදිලා. හුඟක් දියුණුවෙලා තියෙන්නෙ. ඒකට මෙහෙම උදව්වක් කරන්න ලැබුන එක ගැන සතුටුයි. දයාරත්න ඇමතිතුමත් වැදගත් දේශපාලනයක් කරපු මහත්මයෙක් නිසා මගෙන් කියවුනු හිත රිදෙන දේවල් අමතක කරලා අදත් මාතෙක්ක හිතවත්ව කථාබහ කරනවා. ඒ කාලෙ තරුණ මදයෙන් මත් වෙලා සකලවිධ දේශපාලන බලධාරිත්වයන් නොසලකා පරිපාලන තීන්දු ගත්තු මට ඒ ක්‍රියාවන් නොදැමුණු තරුණයෙකුගේ අවංක ක්‍රියාවන් සේ සලකා මාහට පුද්ගලිකව උපදෙස් දෙමින් දැමුණු මිනිසෙක් කිරීම සදහා මහත් උත්සාහයක් දැරූ එම් එච් එම් අෂ්රෆ් යන ශ්‍රේෂ්ඨ ජනතා නායකයාත්, විටෙක බැන වදිමින්ද තවත් විටෙක දරුවෙකුට මෙන් ආදරයෙන් කරුණු කියාදෙමින්ද, යහපත් සෑම ක්‍රියාවකටම පැසසුම් කරමින්ද හරිමඟ පෙන්වාදුන් ඒ අයි වික්‍රම නම් පරමාදර්ශී දිසාපතිතුමාත් මේ සිද්ධීන් සිහිපත්වන සෑම මොහොතකම මතක් වෙන එක නවත්වන්න බෑ.

10 thoughts on “යකාගෙ හැටි.

  1. බොහොමයක් දේසපාලුවෝ කියන්නෙ දිව නැවෙන නැවෙන පැත්තට කිසිම තොරතුරක් නොවිමසා කතා කරන උන්, එවන් උන් ගැන තියෙන්නෙ හිරිකිතයක්. නමුත් පුද්ගලික ලාබ ප්‍රයෝජන සඳහා උන්දැලට විසිල් ගහන බයියෝයි ටෝයියෝයි ජාතිය ඉස්සරහට දාගෙන දඟලන දේශප්‍රේමියෝ ටිකයි සිරි ලංකාවේ ඉන්නකන් මේ රටට සෙතක් නැහැ

    Like

  2. වික්‍රම දිසාපති තුමා කිව්වේ ඒ.අයි.විකුම මහත්තතයාද? එක රැස්විමට සිගරට් පෙට්ටිකේ ඉවර කරන. පස්සේ කළුතර දිසාපති උන.

    Like

    1. ඔව් එතුමා තමයි.කහටක් හිතේ නැති ඕන එකක් මූනටම කියල දාන මව් භාෂාව(අර අම්බලංගොඩ පැත්තෙ තියෙන ප්‍රාදේශීය ව්‍යහාරයේ)කෙල පැමිනි එතුමා තමයි.

      Like

      1. වයස 21 නිලධාරියෙක් වශයෙන් මගේ අායතනය වෙනුවෙන් පළමු දිස්ත්‍රික් කෘසිකර්ම කමිටු රැස්විමට ගියදවසෙම අහගන්න උනා එතුමාගෙන්. මෙහෙම නිලධාරියෙක් මගේ දිස්ත්‍රික්කයේ ඉන්නවා කියාලා මම දන්නේ නැහැ. දිස්ත්‍රික්කයටම ඉන්නේ එකා නම් උඹ ඉන්න ඔන කළුතර ප්‍රාලේ නෙමේ මංගාව. මෙහෙට වරෙන්. බොහෝ රාජකාර් කටයුත වලදි අපිට බැහැ කියන ලොකු අතුවලට මම වෙනුවෙන් මේ කථා කරන්නේ කළුතර දිසාපති කයලා ඉල්ලිම නෙමේ කලයුතදේ ‍කයලා තියෙනවා. අනෙක කුරුමිණි අඩු දෙකයි ඉරි දෙකෙයි අත්සන ජිවිතේට අමතක වෙන්නේ නැහැ. දැනට කළුතර දිලේ විශාල රැස්විම ශාලාව හැදෙව්වේත එතුමා.මට ඕන වෙලාවක එතුමාව හමුවෙන්න අවසරය, අවශ්‍ය මොහොතක ෆැක්ස් පහසුකම් පූර්ව අවසරයකින් තොරවගන්න ලැබුනා.. ඊට පස්සේ ආපු ඩයිවර්ව පුරෝහිත කරගත්තු පතෝල වැල් වලට එතුමාට කිට්ටු කරනන්වත් බැහැ. මව් බාසාවෙන් නම් අපට අමතලා නැහැ. සමහර විට ප්‍රාලේලාටම වෙන්න ඇති. ආයේ හම්බ උනොත සමුපකාර අමාත්‍යාංහයේ ලේකම් උන කරුණාරත්න මහත්තයාගෙන් අහලා බල්නන ඕන.මොකද එයා තමයි එතකොට සදිලේ. ඔබේ එක ලිපියක තේක්ක ගස් කැපපු ගැන . වික්‍රම මහත්තයා නැත්නම් අපේ ජි.ඒ නැතිවිම ඇහට කදුළු උනනවා. බෝඹුල සේවා සංස්කරණයට යද්දි අපිව දැකලා වා‍හනේ දාගෙන යාමත් තවත් එක් මතකයක්. මොකද සාමාන්‍යයෙන් දිසාලතිලා එහෙම කරන්නේ නැති හින්දා

        Like

  3. ඔබතුමානම් යකෙක් නෙමෙයි යක්ෂ සේනාධිපතියෙක්. නැත්නම් ඔහොම කරල බේරිල ඉන්න නං බෑ.

    Liked by 1 person

    1. ඒ කාලෙ මාරු කරයි කියල බයක් තිබුනෙ නෑ.කොටි ගහන අම්පාරෙන් මාරු කරත් හොඳයිනෙ.හිතට එකඟව සාධාරනදේ කලා.

      Like

  4. අම්පාර DCC එක මතක් වුනා මේක කියෙව්වම….. මං තුලම මං හිනාවෙනවා! කතාව නම් අපුරැයි, සුනිල් මහත්තයෝ 👍

    Like

    1. මැඩම් ඩීසීසී සභාපති කාලෙ අපි කවුරුත් විදුහල්පතිතුමිය ලඟ ගෝලයො වගේනෙ හිටියෙ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s