ගල් ඔය පරණ කථාව.

ගල් ඔය වරුණෙ නවබිමක කතන්දරේ ගෙනහැර පෑවෙ මේ බිමේ රාජකාරියට ගියපු අපිට මූන දෙන්න උන අත්දැකීම් අපේ පාඨකයින්ට හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න වටාපිටාව විස්තර කරන එක හොදයි කියල හිතුන හින්දයි.මේ කියන කතාවට අර වටාපිටාවෙන් තවටිකක් විස්තරවෙන්න ඕන.ඔය මහ සේනානායක සමුද්දරේ ලංකාවෙ ලොකුම වාරිමාර්ග ජලාශෙනෙ.සමුද්දරේ අල්ලන වතුර ප්‍රමානය අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑදාහක්නෙ.මේ වතුර ප්‍රමානය ගබඩා වෙන්නෙ මතුපිට වර්ග හැතැක්ම හතලිහක වපසරියෙ.ගැඹුර වැඩිම තැන අඩි එකසිය දහයක් තියෙනවා.මේතරම් විශාල ජලාශයක් හදන කොට මිනිස්සුන්ට හානියක් උනේ නැතිද කියල හිතෙනව ඇතිනෙ.ඔව් මිනිස්සුන්ට මේ ජලාශෙට යටවෙන බිමේ ඉදල ඉවත් වෙන්න උනා.මේ අයින් උන මිනිස්සු මේ ප්‍රදේශෙ පාරම්පරිකව ජීවත් උන ගැමියො.මේ මහසමුද්දරේට ගම්මාන එකොලහක් යට උනා කියලයි කියන්නෙ.මේ ගම්මාන මොනවද කොහෙද තිබුනෙ මේවිස්තර දන්න අය අද ඇත්තෙ නෑ.අපිට දැන ගන්න තියන තොරතුරු වලට අනුව කොස්සාපොල කියනගම මේජලාශෙට යට උන ප්‍රධාන ගමක්.මායාරංජන් ලිව්ව දිගාමඩුල්ලෙ ආශ්චර්‍ය පොතේ කොස්සාපොල ගුරුතුමාගැන අපූරු විස්තරයක් තියෙනවා.මේ ගම්මාන පිහිටල තිබුනෙ ගල් ඔය ගඟ දිගට.මේ වනන්තරේ මැද්දෙ හුදකලා ගම්මාන කියල හිතුවට පලාතෙ ඉතිහාසෙත් එක්ක බැලුවම එහෙම කියන්න බෑ.

ගල් ඔය මඩොල්සිම කදුකරයෙන් පටන් අරගෙන බිබිල ප්‍රදේශය හරහා ගලාගෙන ඇවිත් නිල්ගල පහුකරලා ඉගිනියාගලට වැටිලා එතනින් කොන්ඩුවටුවානට ඇවිත් වීරයඩි ය පහුකරගෙන ඔලුවිල් වලින් මුහුදට බහිනවා.ඔලුවිල් වලින් ප්‍රධාන ගංගාව මුහුදට බැස්සාට ඉගිනියාගලින් පස්සෙ ගල් ඔය ගඟ පහලට ගලනකොට ශාඛා කීපෙකට බෙදෙනවා.කොන්ඩවටුවානෙදි මඩුගහ ඇල කියල බෙදෙන ශාඛාව මේවගේ එකක්.ඒ බෙදෙනශාඛාව අම්පාර නගරෙ පහුකරල ආපහු එකතුවෙනවා.මෙහෙම බෙදිල ගලන ශාඛා මුහුදට වැටෙන්නෙ වෙනවෙනම.එකශාඛාවක් ගල් ඔයෙන් බෙදිල උතුරු පැත්තට ගලාගෙන ගිහින් කාරතිවු අම්පාර පාරෙ මාවඩි පල්ලිය හරියෙදි පාර පැනල කරවාහු වට්ටෙ කලපුවට වැටිල කල්ලාර් වලින් මුහුදට වැටෙනවා.තවත් ශාඛාවක් නින්දවුර් වලින් මුහුදට වැටෙනවා.තවත් කොටසක් පෙරිය කලපුව හරහා අඩ්ඩාලචේන පහු කරලා දකුනු පැත්තට ගිහින් අක්කර පත්තුවෙන් කලපුවට වැටෙනවා.එතකොට ඒවතුර මුහුදට ගලන්නෙ සින්න මුත්තුවාරම පෙරියමුත්තුවාරම මෝයකටවල් දෙකෙන් .මේවිදියට ගල් ඔය මුහුදට වැටෙන්න ඉස්සෙල්ල බෙදෙන ශාඛාවල් ඔස්සේ තමයි අතීතයේ තිබුන දිගාමඩුලු මහවෙල් යාය පිහිටලතිබුනෙ.මේකුඹුරු යාය මම කලින් ලිව්ව විදියට අක්කර හතලිස් දාහකට වැඩියි.මේ ගල් ඔයේ උතුරු පැත්තට ගලපු ශාඛාව වැටෙනකලපුව මඩකලපුව දක්වාත් ඉන් උතුරුපැත්තටත් පැතිරීගිය විශාල එකක්

.මේ කලපුවෙ තමයි පරණ මඩකලපු වරාය තිබුනෙ.මඩකලපුව කිව්වම අපිට මතක් වෙන්නෙ වර්තමාන මඩකලපුව නගරෙ.කල්මුනේ ඉදන් හැතැක්ම දහ අටක් උතුරින් තියෙන ප්‍රසිද්ධ මඩකලපු නගරෙ හැදෙන්න පටන් ගන්නෙ ක්‍රි.ව.1628දි.ඒ පෘතුගීසි කාරයො හොරරහසෙ පුලියන්තිවු දූපතේ බලකොටුවක් හදන්න පටන් ගැනීමෙනුයි.ඊට ඉස්සෙල්ල මඩකලපු වරාය තිබුන.මේවරාය කලපුවේ දකූනු කෙලවරේ සම්මන්තුර හරියෙ තිබුනෙ..මහ සාගරේ ගමන් කරපු යාත්‍රා කල්ලාර් වලින් කලපුවට ඇතුල් කරල දකුනු පැත්තට යාත්‍රා කරල සම්මන්තුරේ නතර කරනවා.දැන් ඔය සම්මාන්තුරෙයි කියන නම හැදිල තියෙන්නෙ ඔය වරාය මුල් කර ගෙන තමයි.සම්මාන් කියන්නෙ මුහුදෙ බඩු භාන්ඩ ප්‍රවාහනයට පාවිච්චි කරපු යාත්‍රා වර්ගයක්.තුරෙයි කියල දෙමල භාෂාවෙන් වරාය නැත්නම් තොටුපොල කියන එකයි.එතකොට සම්මාන් නතරකරපු වරාය සම්මාන් තුරෙයි උනා.ඔයවගේ සිංහලභාෂාව පාවිච්චි කරපු පලාතෙත් ඔය වගේ වරාය නගරයක් ලංකාවෙ තියෙනවා.ඒ හම්බන්තොට.එතන හම්බන් කියන්නෙ සම්මන්ම තමයි.දෙමල භාෂාවෙන් සම්මාන් කියපු එක සිංහල ඌරුවට හම්බන් උනා.දෙමලෙන් තුරෙයි කිව්ව එක සිංහලෙන් තොට උනා.ඒ අනුව හම්බන් තොට හැදුනා.

මේ සම්මාන් යාත්‍රා යොදාගෙන මුහුදු මාර්ගයෙන් බඩු භාන්ඩ ප්‍රවාහනය කලේ මුස්ලිම් ජාතිකයො.ඉන්දියාවෙ කොචින් වගේ කේරලයේ වෙරල තීරයේ වරායන් හා ලංකාවෙ උඩරට රාජ්‍ය යේ ප්‍රමුඛ වරාය උන සම්මාන්තුරේ නැතිනම් මඩකලපු වරායත් එක්ක කරපු වෙලදාමෙ නිරතවුන මුස්ලිම් වෙලෙන්දො හින්දයි ඔය කල්මුනේ සමන්තුරේ අක්කරපත්තු නගර මුස්ලිම් නගර උනේ.ලංකාවෙ බස්නාහිර පැත්තෙ ව්‍යාපාර කරපු මුස්ලිම් අයව පෘතුගීසි කාරයො එලව ගත්තම සෙනරත් රජ්ජුරුවො ඒඅයව නැගෙනහිර වෙරලෙ වරායවල් ආශ්‍රිතව පදිංචිකලේ ඒඅය වෙලඳාම කරපු අය හින්දයි.මෙහෙම පදිංචි උන අය වෙලඳාමයි තවලම් පිටේ බඩු ප්‍රවාහනයයි සිද්දකලා.ඒක නිසා සිංහලේ රාජ්‍යයේ භාන්ඩ ප්‍රවාහන දෙපාර්තමේන්තුව උන මඩිගෙ බද්දෙ ප්‍රධානිය හැටියට මුස්ලිම් ජාතිකයෙක් පත් කරල මුස්ලිම් ගම් මඩිගෙ බද්දෙ ගම් බවට පත් කරන්න රජ්ජුරුවො කටයුතු කලා. දැන් මේ සම්මන්තුරේ වරායට ඉන්දියාවෙන් බඩු ගෙනාපු මුස්ලිම් වෙලෙන්දො මේබඩු තවලම් බැදගෙන මහනුවරට ගෙනිච්චෙ කොහෙන්ද?දැන්නම් කල්මුනේ ඉදන් මහනුවරට එන්න පාරවල් කොච්චර තියනවද?කල්මුන අම්පාර උහන හරහා මහඔය මහියංගනය දහාටවංගුව හුන්නස්ගිරිය හරහා මහනුවර.ඔය එකපාරක් ඔයපාරෙ අම්පාර මහඔය කෑල්ල ගල් ඔය සංවර්දන මංඩලෙන් හැදුවෙ.ඒක හින්ද ඒපාර මුස්ලිම් වෙලෙන්දො එක්දාස් හයසිය ගනන්වල පාවිච්චි කර එක නෙවෙයි.අනිත් පාර අම්පාර නාමල් ඔය හරහා බිබිල මහියංගනය හරහා හෝ රන්දෙනිගල හරහා නුවරට එන පාර.මේපාර අම්පාරෙ ඉදන් බිබිලටම හැදුවෙ ගල් ඔය සංවර්දන මංඩලයෙන්.ඒක හින්ද පැරණිපාර ඒක වෙන්නත් බෑ.එහෙනම් මොකක්ද පරණ පාර.?මෙන්න මේ ප්‍රශ්නෙ මට පැන නැගුනෙ මේපරන මඩකලපු වරාය සමන්තුරේ ප්‍රදේශයෙ තිබුන කියල හෙලිදරව් කර ගත්තට පස්සෙයි.ඉතින් මේප්‍රශ්නෙට උත්තරේ හොයන්න අම්පාරෙ පැරනි ගම් වැසියන් එක්ක කතා කර කර උත්සාහ කලා.

ඔන්න ඔහොම කල්පනාකර කර මේගැන හොයන කොටතවත් අපූරු කතාවක් හොයාගන්න ලැබුනා.ඇත්තවශයෙන්ම මේකාරනේ ගැන කවුරුත් වැඩිය හොයල තිබුනෙ නෑ.ලංකාවට ලංදේසි ජාතිකයො හාහාපුරා කියල ආවෙ ක්‍රි.ව1602 මැයි මාසෙ 31වෙනිද.ඒ අද්මිරාල් ජොරිස් වෑන් ස්පිල්බර්ජන් ගෙ නායකත්වයෙන “ස්චැප්” සහ “රෑම්” කියල නැව් දෙකකින්.ඉතිහාසයෙ තියෙන්නෙ මේ අද්මිරාල් වරය “ස්චැප්” නැවෙන් මඩකලපුවට ගොඩ බැස්සා කියලයි.මඩකලපුවෙ රජ්ජුරුවො මුන ගැහිලා කන්ද උඩරට අධිරාජයා මුන ගැහෙන්න අවසර ලබාගෙන මහනුවරටත් ගිහින් විමලධර්මසූරිය රජ්ජුරුවොමුන ගැහිල සාකච්චා කරල තමන්ගෙ නියෝජිතයෙකුත් මහනුවර නවත්තල ආපසු ඇචින්(ඉන්දුනිසියාවට අයිති අචේ ප්‍රාන්තය)හරහා නෙදර්ලන්තයට ගියා කියලයි.මට වැදගත් උනේ මේ ලන්දේසි අද්මිරාල් ගොඩබැහැපු වරාය.මේකාලෙවෙනකොට වර්තමාන මඩකලපුව නගරෙ තියන තැන පාලු කලපුවක්.ඒ අනුව තේරුනා මේ ලංදේසි ගොඩ බැස්සෙ සම්මන්තුරේ වරායට කියල.හැබැයි ලංදේසි නැව් විශාලනිසා මඩකලපු වරායට ඇතුලු නොකර මහමුහුදේ න.නැංගුරම් දාල බෝට්ටුවලින් ගොඩ බැහැල තියෙන්නෙ.ගොඩ බැහැල පලාතෙ රජ්ජුරුවො හමු උනා.මේරජ්ජුරුවො විමලධර්මසූරිය රජ්ජුරුවන්ගෙ යටත් ප්‍රාදේශීය රජෙක් උන “ජානෙ සංගිති” රජ්ජුරුවො.සුදුහමතියෙන ලංදේසි අද්මිරාල් පිලිගන්න මේ රජ්ජුරුවො ආවෙ කඩුව අතේතියාගත් හයසීයක බලඇනියක් එක්කයි .ඒ පෘතුගීසින් වාගෙ සුදුහම තියෙන අයගැන විශ්වාසයක් තියන එක නුවණට හුරු නැති හින්දයි.මේවෙච්ච සියල්ලම අද්මිරාල් වෑන් ස්පිල්බර්ජන්ගෙ වාර්තාවෙ සටහන් වෙනවා.මෙතන ඉදන් මහනුවර ගිය ගමනෙ මගවිස්තරේත් හරි අපූරුවට ලියලතියෙනවා.

ස්පිල්බර්ජන් අද්මිරාල් ගෙන් පස්සෙ ඊලඟ ලංදේසි කන්ඩායම එන්නෙ උප අද්මිරාල් සීබෝල්ඩ් ද වියට් යටතෙඋප අද්මිරාල් වියට් නැව් තුනක කන්ඩායමක් හැටියටයි.ඇත්තටම මේ කංඩායම අද්මිරාල් වයිබ්‍රෑන්ඩ් වෑන් වෝවික් යටතෙ එන නැව් 14ක් සහ යොට් යාත්‍රාවකින්‍ යුතු විශාල කන්ඩායමක්.මේ කන්ඩායමේ උප අද්මිරාල් වියට් තමාගෙ අනදීම යටතේ “සියක්සී,විසින්ජන් හා ඩාර්ගෝස්”කියන නැව්තුන අරගෙන1603 නොවැම්බර් 28මඩකලපු වරායට ඇතුල්වෙනවා.ඉතිරි නැව් කෙලින්ම අද්මිරාල් වයිබ්‍රෑඩ් වෑන් වෝවික් එක්ක ඇචින් වලට යනවා.උප අද්මිරාල් වියට් ගිහින් විමල ධර්ම සූරිය මහ රජ්ජුරුවො හමුවෙලා සාකච්චාකරනවා.උප අද්මිරාල් වියට් අපේ රජ්ජුරුවො එක්ක බොහොම සුහදවෙලා කතාබහ කරගන්නෙ පෘතුගීසින් පලවා හැරීම හා වෙලඳාම් කටයුතුගැනයි.රජ්ජුරුවො තමන්වබදාගෙන පිලිගත්තු වෙලාවෙ ඉල ඇට කැඩෙන්නතරම් හයියෙන් බදා ගත්තා කියල වියට් මේ ගැන තම අද්මිරාල්ට යැවූ වාර්තාවෙ තියනවා.රජ්ජුරුවන්ගෙ පුංචි පුතා එයාලඟ තිබුන කිනිස්ස තමන්ට තෑගිදුන්නම තමන්ගෙ කඩුව කුමාරයාට දුන්නා කියලත් තියනවා.උප අද්මිරාල් වියට් ආපසු යන්නෙ ඇචින් වලට.ඇචින් ඉදන් ආපහු ලංකාවට එන උප අද්මිරාල් වියෙට් පෘතුගීසි නැවක් අල්ල ගන්නවා.අපේ විමලධර්ම සූරිය රජ්ජුරුවො වහාම පනිවුඩයක් එවනව අල්ලගත්තු නැවයි මිනිස්සුයි නිදහස් කරන්න එපා කියල.රජ්ජුරුවො සමන්තුරේට එනව.එතුමා පිලිගන්න වෙරලෙ කුටියක් හදල සරසලතියෙනවා.රජ්ජුරුවන්ට පොඩි කේලමක් තම තානාපති කෙනෙක්ගෙන් ලැබෙනවා නැවට යන්න කතාකලොත් යන්න එපා.ලංදේසි රජ්ජුරුවො රවටල නැවට අරං හිර කරගනී කියල.රජ්ජුරුවො එනකොටත් පෘතුගීසි නැව යි මිනිස්සුන්වයි නිදහස් කරල ඉවරයි.මේ ගැන රජතුමාට සැකයි.එතකොටම වියට් ආරාධනා කලා නැවට ගොඩවෙන්න.කියල රජතුමාට.රජ්ජුරුවො ඉල්ලීම ප්‍රතික්ශේප කරා.රජතුමා උප අද්මිරාල්ට දන්වනවා මුහුදෙන් ගාලු කොටුව වටලන්න.තමන් ගොඩබිමෙන් විසිදාහක හමුදාවක් එවනව කියල.රජබිසව තනියම නිසා ඉක්මනින් නුවරට යායුතු නිසා නැවට එන්න බැහැ කියනව. හොදටම බීල හිටපු වියට් රජබිසවට අපහාසවෙනවිදියටබිසව බලාගන්න ඕන තරම් පිරිමි නුවර ඉන්නබවත් කියනවා.රජ්ජුරුවො මේ බල්ලාව බැදපියව් කියල නියෝග කරල ඉවත්වෙනවා.රාජකීය භටයො වියට්ව අතඩංගුවට ගන්න හදනකොට වියට් කඩුව ඇද්ගන්නවා රාජකීය
භටයොවියට්ව මරල දාල ගෝලයො ටික අල්ලල රජ්ජුරුවන්ට සිද්දිය කියනවා.රජ්ජුරුවො අහනවා බඳින්න කිව්එකාව මැරුවෙ ඇයි කියල.මිනිහ රජ අණට විරුද්ධව කඩුව ඇද්දනිසා මරන්න උනා කියනව.එහෙනම් ගෝලයොත් මහඑකාගිය පාරෙම යවපිය කියල රාජකීය අණ නිකුත් කරනවා.ගෝලයොත් ඉවර කරනවා.රජ්ජුරුවො නැවට ලිපියක් යවනවා වයින් බොන්නා නීචයෙකි දෙවියන් යුක්තිය ඉෂ්ට කරඇත.යුද්ධයහෝ සාමය තෝරා ගන්න කියලනැවෙන් කනගාටුව පලකරල රජතුමාට ලිපියක් එවල සාමෙන් ආපසු යනවා.ලංකාවට ආපු දෙවනි ලංදේසි අද්මිරාල් කට හින්ද කල්මුනේ වෙරලෙදි නහිනවා.ඉතුරු අය මේවිස්තරේ ලංදේසි වෙලද සමාගමට වාර්තා කරනවා. මේවර්තාවල මඩකලපු මහනුවර මාර්ග විස්තරේ අපූරුවට ලියල තියෙනවා.

මෙන්න මේ මගවිස්තරේ තියෙනවා මඩකලපුවෙ ඉදන් මහ නුවර ගිය පරණ පාර.මඩකලපුව ඉදන් හැතැක්ම 6ක දුරින් aldea de more තියෙන බව මේ ගමන් විස්තරේ සදහන් වෙනවා.මේ කියන්නෙ සම්මන්තුර නගරය.එතන ඉදන් හැතැක්ම 8ක දුරින් oncattoty කියන තැන ගැන කියනවා.මේකෙන් කියන්නෙ කොන්ඩවටුවාන වියයුතුයි.මීලඟට viado කියන ගම.මේ වඩිනාගල වියයුතුයි.එහෙම කියල හිතුවෙ කොන්ඩවටවාන ඉදන් හැතැක්ම 8දුරක් තියෙනවා කියල තියෙන නිසයි.මෙතැන ඉදල හැතැක්ම 20කින් naguritti තියෙනවා.මේ නිකහැටිය නැත්නම් බදුලුවෙල කියන තැන වෙන්න ඕන.එතැන ඉඳන්තවත් හැතැක්ම 20කින් nilvaele කියන තැන.මේකියන්නෙ නිල්ගල ගැනයි..මෙතැන ඉඳන් හැතැක්ම 8ක් දුරින් vegammeකියන ගම.මේවෑගම කියල අදත් තියෙන ගම.මෙතැන ඉදන් හැතැක්ම 24කින්vintaneකියන ස්තානය.මේවිදියට ලන්දෙර්සින් ලියල තියෙන්නෙ බින්තැන්න නැතිනම් මහියංගනය කියල හොදටම තේරුනා. මෙතැන ඉදල හැතැක්ම 20කින් vendroනැත්නම් වෙඬරුව කියනගම.එතැන ඉඳල හැතැක්ම 16කින් candyනැත්නම් මහනුවර පිහිටලා තියෙනවා.දැන් මේ මාර්ග විස්තරේ තියෙන නම් ටිකයි දුරයි ගලපල බැලුවම බොහෝකොට ගලොය ආසන්නයෙන් බිබිලට ඇවිත් එතනින් මහියංගනේට ඇවිත් මහවැලි ගඟෙන් එගොඩවෙලා හුන්නස්ගිරි කඳුවැටිය තරණය කරලා මහනුවරට ආපු හැටි හිතාගත්තා. තවත් පැත්තකින් කල්පනා කරල මනසින් තවලමක් අරගෙන ඔයපාරෙ එන හැටි හිතාගත්තා.මේ එන තවලම් නවත්වලා රාත්‍රිය ගතකරපු තැන්වල මුස්ලිම් ගම්මාන තියෙනවා.බිබිලෙ කොටබෝව බකිනිගහවෙල කනුල්වල මේ තවලම් රාත්‍රිය ගතකරපු තැන්.මේතැන් වල ඉදල පස්සර හරහා බදුල්ලටයි මහියඟනය හරහා මහනුවරටයි මේතවලම් වෙලෙන්දො ගියබව තේරුනා.මහනුවරට යනකොට ගැඟේ වතුර වැඩි වුනාම දවස් කීපයක් නතරවෙලාඉන්න තැන පඟරගම්මන කියල මුස්ලිම් ගමක් හැදිල තියෙනවා..මේගැන අවබෝධ උනහම කල්පනා උනා වර්තමාන උඩුනුවර නගරයෙන් හුන්නස්ගිරිය පැත්තෙන් යනකොට දකුනු පැත්තෙ පහල මුස්ලිම් ගමක් හෝ කීපයක් තියෙන්න ඕන කියල තේරුනා.තාම යන්න බැරි උනාට එහෙම තියෙනව කියල කීපදෙනෙක්ම කිව්වා. මෙන්නමේ පරන මඩකලපුව මහනුවරපාර සේනානායක සමුද්දරේට යට උනා.මෙ පාරම තමයි වඩිනාගල හරියෙදි බෙදිල පානමට යන්නෙත්.මේ පානම දක්වා ගිය පාර දේවාලහිඳ වඩිනාගල පාඩාගොඩ කොක්නහර මොරගහපල්ලම දමන මඩාන තොට්ටම බක්මිටියාව හුලංනුගේ ලාහුගල රද්දැල්ල පානම දක්වා ගියා.මේ ගම්මාන අතර අවාහවිවාහ සිද්ද්වෙලා නෑසම්බන්දකම් වලින් බැදිලයි හිටියෙ.මේ පානම මහනුවර පාර මොනරාගල හරහා වැටෙන්නෙ සුද්දො A4 පාර හැදුවට පස්සෙයි.

මෙන්න මේ පරන පාරවල් වතුරෙන් යට කරගෙන සේනානායක සමුද්දරේ හදන්න ඉස්සෙල්ල මිනුම් කටයුතු කරල වතුරෙන් යටවෙන ගම් අඳුන ගත්තා.ඊලඟට එවායෙ ජීවත් උන ගැමියන්ට මේ ගැන කිව්වා.මේ කිව්වදේවල් මේ ගැමියන්ට තේරුම් කරන එක ලේසි උනේ නැහැ.මහම ගංවතුරකටවත් යටනොවෙන ඉසව්වල තියෙන ගම්මාන වතුරෙන් යටවෙනව කිව්වම මේ අහිංසක ගැමියො මුලින් කොහොමටවත් පිලිගත්තෙ නෑ ඒකතාව.අස්සෙන්පහු මේඅයට අලුත් ජනපදවල ඉඩම් ගෙවල් දෙනව කියල පැහැදිලි කරල බොහොම අමාරුවෙන් ඉවත් වෙන්න කැමති කරගත්තා.මේ ගම් වැසියො සේරම ගල් ඔය අංක 1හා2 ජනපද දෙකේ පදිංචි කරා.ඉඩම් ගොඩ දෙකයි මඩ තුනයි හැටියට අක්කර පහක් දුන්නා ගෙවල් හදල දීල ආධාරත් එක්ක මේ අය පදිංචි කරා.අදත් වාවින්න පරගහ කැලේ ගම් දෙක අර කිව්ව එක හා දෙක ජනපද.ගලොය ආසන්නයේ අවුරුදු දහස් ගානක් ගත කරපු පරම්පරාවල නිදහස් ජීවිත ගතකල ගම් වැසියන්ට මේඅලුත් වෙනස ආර්තික පැත්තෙන් වාසියක් උනාට මුල් පරම්පරාවල ගැමියො හැමදාම පශ්චත්තාපයක් තිබුනා තමන්ට අහිමි උන පැරනි ජීවිතය ගැන.මේ අයට අර නිලධාරි පාලනේත් වැඩිය ඇල්ලුවෙ නෑ.සමහර නිලධාරි ගොල්ලත් මේ ගැමියො දිහාබැලුවෙ අවඤාවෙන්.කිව්වෙ බයියො කියල.ඉතින් මොකඛරි වැඩකට කාර්‍යාලෙකට ආපුවම බරපතල නොසැලකිල්ලකට ලක් උනා.මෙන්න මෙහෙම අය ගැන අපූරු අත්දැකීම් අම්පාරෙදි අපිට ලැබුනා ඉදිරියෙදි ලියන ඒව ගැන තේරුම් ගන්නයි මේ විස්තරේ ලිව්වෙ.

9 thoughts on “ගල් ඔය පරණ කථාව.

  1. ඔබේ අත්දැකීම් එක්ක මතු කරන ඉතිහාස කථාව ඉතාමත් වටිනවා. පොතපතින් පාර මතු කර ගත්ත එකේ, පුළුවන් කොටසෙ හරි ගිහින් බලමු.
    ඔබ තුමාගේ මතකයන් නම් විශිෂ්ටයි.

    Like

  2. හම්බන්තොට නම හැදුණු විදිහ දැන හිටිය නමුත් සමන්තුරේ ගැන දැනගත්තෙ අද, බොහොම ස්තුතියි, එහෙම බලනකොට හම්බන්තොට දෙකක්ම තියනව නෙව. අපේ ජාතියේ අප්පොච්චි දැනන් හිටිය නම් එහෙත් තව ජාත්‍යන්තර වරායකුයි ගුවන්තොටු පොළකුයි දානව.
    ඒ වගේම හම්බන් වලින් ආපු සහ ඒ ගනුදෙනු කරපු මුස්ලිම් උදවිය හඳුන්වන්න “හම්බයෝ” කියන වචනය යොදා ගැනීමටත් ඔරුවෙ නම මුල් උනා කියල තමයි මම අහල තියෙන්නෙ.
    පහළින් දාල තියෙන්නෙ ඔය ගැන විස්තර හොයපු වංගියක මට හමුවුණු දේ, ඒ අනුව හම්බන් ඔරු වල ආරම්භය තියෙන්නෙ චීනයෙන් :
    සම්බාන් යාත්‍රා පැමිණි තොටුපොළ
    හම්බන් ඔරු

    විස්තර කරලා තියන විදිහ දැකපුවම ලන්දේසි නුවර ගිය පාරෙ ආපහු යන්න හිතුන 🙂

    Like

    1. මටත් ඔය ආසාව තිබෙනවා.ඉගිනියාගල මහසේනානායක සමුද්දරේ වතුර යටින් හැතැක්ම ගානක් යන්න වෙනවනෙ.ඒකට දියයට යන්න බැරි හින්ද නිකං හිටිය.😊
      හැබැයි නිල්ගල ඉඳන් මහ වනන්තරේ මැද්දෙන්බිබිලත් මැදගමත් අතර කනුල්වලට එන්න අදත් පුලුව න්.එතන ඉදන් වෑගමටත් එතනින් මහියංගනේ පඟර ගම්මනටත් ඉන්පස්සෙ වෙඬරුව හරහා හුන්නස්ගිරි කන්දහරහට ගිහින් පරණ තෙල්දෙනියට උඩින් නුවරටම පාර හොයාගෙන යතහැකි.ලංදේසිකාරයින්ගෙන් පස්සෙ ඔයපාර ශ්‍රීවික්‍රම රාජසිංහ කාලෙ වෙනකම්ම භාවිත කරල තියෙනවා.සුද්ද අලුත් පාරවල් හැදුවම මේපාරවල් අමතක උනා.ශ්‍රීවික්‍රම රජ කාලෙන් පස්සෙ ඔය පාර හොයාගෙන වාර්තා කරේ මේ මංතුමා තමයි.😊

      Liked by 1 person

      1. එහෙනං යටින් යනවට වඩා වටෙන් යන එක තමයි ලේසි, මෙච්චර දෙයක් කරපු එකේ යන්නම එපැයි වැඩේ කරමු හමු වුණු දවසක 😀

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s