මුතු බංඩ මාමගෙ තෑග්ග

අම්පාරෙ ප්‍රාදේශිය ලේකම් කම කරන්න පටන් ගන්න කොට ලොකු අභියෝගයක් තිබුනා. ඒ තමයි දක්ෂ ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ පුරප්පාඩුවට මට අම්පාරට එන්න සිදුවීම. මට කලින් අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙලා හිටියෙ පී බී අමරසේකර මහත්තය. අමරසේකර මහත්තය උහන උපදිසාපති හැටියට ඉදල මූලස්තාන උප දිසාපති හැටියටත් කටයුතු කරල අම්පාර ප්‍රාදේශීය ලේකම්වුන කෙනෙක්. අවුරුදු දෙකක් විතර ප්‍රාදේශිය ලේකම්කම කරපු අමරසේකර මහත්තයා හිටි හැටියෙ බිබිලෙ ප්‍රා.ලේ හැටියට මාරුකල නිසයි මේ පුරප්පාඩුව හැදෙන්නෙ. මහජනතාව එක්ක බොහොම සමීපව වැඩ කල කෙනෙක් උන අමරසේකර මහත්තයගෙන් ඇතිඋන පුරප්පාඩුව පුරවන එක හැබෑ අභියෝගයක් උනා. ඒත් එක්කම අම්පාර නාගරික ප්‍රදේශයෙ ඉඩම් ගැටලු බහුල වීමත් දේශපාලන උනන්දුව නගරෙ ඉඩම් වලට වැඩියෙන් තිබීමත් නිසා ඉඩම් ගැටලු නිරාකරණය ලේසි එකක් උනේ නෑ. මහජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසදුම් දීම මෙහෙම උනහම අමාරු වැඩක්. ඊලඟ ගැටලුව ඇතැම් නිලධාරින් ගේ කටයුතු පිළිබඳව විශ්වාසය තියන එක අමාරු වීම. මේ මොකක් උනත් එන හැටියට බලනවා කියල හිතාගෙන වැඩ පටන් ගත්තා. වැඩිය සේවකයින්ට සමීප බවක් පෙන්නුවෙ නෑ. හැමෝටම කිව්වා නීතිය ඉක්මවා කටයුතු කලහොත් ඒ පිළිබඳ තදින් ක්‍රියාකරන බව. උදේ  8.00 වෙනකොට කාර්‍යාලෙට යන්න පටන් ගත්තු මම මුලින්ම කලේ ඒ කාර්‍යාලෙම සහකාර ප්‍රාදේශීය ලේකම් ධුරයක් දරමින් සිටිය මගේ නෝනව කච්චේරියෙ දිලිඳු සහන අංශයට මාරු කරගත්තු එක.

සියලුම ලිපිගොනු තීරණ ගැනීම සදහා අවශ්‍ය අවස්තාවලදී ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම විෂය ලිපිකරුවන්ට පැවරීමත් ක්ශේස්ත්‍ර නිලධාරින් සපයන වාර්තා වල වැරදි තොරතුරු ඇතුලත්ව තිබුනහොත් ඒ පිළිබඳව තදින් ක්‍රියාකරන බවත් නිවේදනය කිරීමෙන් පසු යම් පාලනයකට ඇතැම් නිලධාරින්ව කොටු කර ගැනීමට හැකි උනා. මේ විදියට කටයුතු කරමින් යද්දී මා මුණගැසීමට එන පිරිසත් ටික ටික වැඩි උනා. මහජන දිනය බදාදා උනත් මම කාර්‍යාලයේ ඉන්න දින වලට මහජනතාවට මා හමු වීමට ඉඩකඩ ලබාදීමත් කලා. මෙහෙම කටයුතු කරගෙන යනකොට බදාදා දින ඉඩම් අංශයේ මහජන පෝලිමේ නිතර දැක පුරුදු කෙනෙකු ඉන්නවා අහම්බෙන් වාගෙ දැක්කා. කොන්ඩය බැඳගෙන කොටු සරමක් ඇදගත්තු මේ වැඩිහිටි කෙනා උඩට ඇදසිටි කමිසයේ උඩ බොත්තම් දෙක තුන දාල තිබුනෙ නෑ. කරේ තුවායක් දාගෙනයි හිටියෙ. මගේ කාමරයේ සිට උඩුමහලේ කච්චේරියට යන අතරතුර මේ දුටු කෙනාව හොඳට හුරුපුරුදු වුනේ කොහොමද කියල කල්පනා කරල බැලුවම කච්චේරියෙ ඉඩම් අංශෙට නිතර ආව කෙනෙක් බව මතක් උනා. ඊට පස්සෙ බදාද දවසෙත් මේ මනුස්සය ඉඩම් අංශෙ ළඟ ඉඳල ඇතුලට එන මාව දැක්ක ගමන් කරේ තිබුන තුවාය අතට අරගෙන හිනාවේගෙන අයින් උනා. ඊලඟ බදාදත් මිනිහ ඉඩම් අංශෙ ලඟ. මම ඇතුලට එනකොට තුවාය අතට අරං හිනාවෙල අයින් උනා. මම මනුස්සය ළඟ නැවතුනා.

“මේ මාමා දැන් දවස් ගානක් මම මෙතනදි දැක්කා. අදත් ඉන්නෙ මොකද ආපු වැඩේ තාම කෙරුනෙ නැතිද?” මම ඇහුවා.

“අනේ අයිබොවන්ඩ, මේ කුඹුරු කෑල්ලෙ ප්‍රශ්නෙට හැමදාම එනව. තාම නෑනෙ වැඩේ කම්මුතු උනේ” වයසක මාම තුවායත් අතේ තියාගෙන උත්තර දුන්නා.

“එහෙනම් මාම මගෙ කාමරේට එන්න. අපි බලමු මොකදැයි වෙලා තියෙන්නෙ” කියල කියාගෙන මම කාමරේට ගියා.

මම කාමරේට ගිහින් ආරච්චිට කතා කලා. කච්චේරිය විමද්‍යගත කරනකොට කච්චේරියෙ හිටපු ආරච්චි මහත්තය, නැත්නම් සුලු සේවකයින්ගෙ ප්‍රධානියා අම්පාර ප්‍රා.ලේ කාර්‍යාලෙට අනුයුක්ත කරල තිබුනා. ඒ නිසා ප්‍රා.ලේ කාර්‍යාලෙ ආරච්චි කෙනෙක් හිටියා. අපේ ආරච්චි මහත්තය රිචඩ් අමරසිංහ. සිංහල දෙමළ භාෂා දෙකම එක වාගෙ ප්‍රවීණත්වයක් තිබුන ආරච්චි මහත්තය උස මහත හතර රියන් මිනිහෙක්. සුලු සේවකයො විතරක් නෙමෙයි මහජනතාවත් ආරච්චි මහත්තයට බයයි. ආරච්චි මහත්තය කියනකම් මිනිස්සු කාමරේට එන්නෙ නැති නිසයි ආරච්චිට කතා කලේ.

“ආරච්චි, ඔය ඔතන වයසක මාම කෙනෙක් හිටිය ඉඩම් වැඩකට ඇවිත්. අන්න උන්නැහෙව දැන්මම එවන්න” මම කිව්වා.

“හරි සර් මම එවන්නම්” කියල ආරච්චි එලියට ගියා.

ඒත් එක්කම වගේ අර වයසක මාමා මගේ කාමරේට ආවා.

“ආ වාඩිවෙන්නකො බලන්න” මම කිව්වා.

“නෑ අයිබොවන්ඩ මෙහෙම හොදා” මාම අතේ තියන මල්ල බිමින් තිබ්බා.

“නෑ නෑ වාඩිවෙන්න වාඩිවෙන්න. එහෙම නැතුව කොහොමද කතාකරන්නෙ?”

බොහොම අකමැත්තෙන් වාගෙ මාමා පුටුවෙ වාඩි උනා.

“මාම කොහේ ඉදන්ද ආවෙ?”

“මම ආයිබොවන්ඩ වාවින්නෙ.”

“එතකොට නම එහෙම කොහොමද?”

“මුතුබන්ඩා. එච්.ඇම් මුතුබන්ඩා ආයිබොවන්ඩ.'”

“මුතුබන්ඩා මාම වාවින්නෙ කිව්වනෙ. වාවින්නට ආවෙ කොහේ ඉදලද?” මම මෙහෙම ඇහුවෙ වාවින්න ගල් ඔය යටතෙ ඇතිකරපු ජනපදයක් කියල දන්න හින්දයි.

“අපි අයිබෝවන්ඩ කොස්සපොල. මහ සමුද්දරේට අපේගම යට උනානෙ. ඉතින් මුලුසනුහරේම මෙහාට ගෙනත් දැම්ම.”

“ඉතින් උපන් ගම්බිම් යට වෙනකොට දුක හිතුනෙ නැතිද?”මම ඇහුවා.

“මොකෑ නැතුවා ආයෙ. ඒ වුනාට මොනව කොරන්නද. අපිට පාඩූ උනාට දෙනෝදාහකට බත් කන්න ලැබුනනෙ. සමුද්දරේ ජල කඳෙන්.”

“ඉතින් මාමටත් පාඩුවක් නෑනෙ. ගොඩ මඩ ඉඩම් හම්බු උනානෙවැ නේද?”

“ඔව් ලැබුන තමයි. ඒ ලැබුනු ඉඩම් කෑල්ල පරිස්සම් කොර ගන්න බැරුවනෙ මේ වද විදින්නෙ.”

“හැබෑටම මොකද්ද ඔය ඉඩම් ප්‍රශ්නෙ? මම දැකල තියනවා කච්චේරියෙ ඉඩම් අංශෙ ලඟදිත් මාමව ඉස්සර මේ කන්තෝරුවෙදිත් අදට දවස් තුනක් දැක්කා.”

“අනේ අයුබොවන්ඩ අපි ගම්වල ඉන්න කාලෙ ඉඩ කඩම් හරක බාන තිබුන මිනිස්සු. හේන් කරහම ඉතින් තුන්වේල කන්න සෑහුනා. අපි ලොකු අහේමක හිටපු අය නොවෙයි. අපේ පාඩුවෙ නිදහසේ හිටපු මිනිස්සු. ඉතින් අපේ ඉඩකඩම් කවදාවත් කවුරුවත් අල්ලන්නෙ නෑ. සටකපටකම් කරෙත් නෑ කවුරුවත් අපේ ගම් රටවල. ඒකට මෙහාට ආපු දා ඉදන් මහ කරදරේ. පුලුවන්තරන් හිරිහැර කොරනවා. මට හම්බුඋන කුඹුරෙන් අක්කර භාගයක් එකෙක් අල්ලගෙන දැන් අවුරුදු අටක් දහයක් උනා. මේ කකුල් ගෙවෙනකම් කච්චේරියට ආවා. කෝ නෑනෙ බේරුමක් කලේ”. මාම කියෝගෙන යනවා.

“හරි දැන් කච්චේරියෙන් මොකද කලේ ප්‍රශ්නෙට?”

“අපොයි! මගෙ බරට රපොර්තු අරං ඇති. ආරච්චි මහත්තයයි සී ඕ මහත්තයයි ඩීඅාරෝ උන්නාන්සෙයි කීසැරයක් නම් රපෝර්තු ගත්තද?විභාග කොලාද? ඒත් කෝ මගේ කුඹුරෙ කෑල්ලක් අල්ලපු එකා තමයි වැඩ කරන්නෙ.”

“හරි දැන් අපි බලමුකො. මෙහෙන් යවපු ලියුමක් තියෙනවද?” මම ඇහුවෙ පයිල් අංකෙ හොයාගන්න ඒකෙන් පුලුවන් නිසා.

” අපොයි ලියුම් නම් එමට. තමුන්නාන්සෙ ඇබින්දක් ඉන්ට” කියල මාම බිම තිබ්බ සාගත මල්ල ඇවිස්සුවා.

“මෙන්න ලියුම් කරදහි ටික” කියල ලොකු ලියුම් මිටියක්ම මගේ අතට දුන්නා. මම ලියුමක් බලලා පයිල් අංකෙ හොයාගෙන ආරච්චිට කියල සීසී මහත්තයව පයිල් එකත් එක්ක ගෙන්න ගත්තා.

“සීසී මහත්තය මේ මාමගෙ ඉඩම් ප්‍රශ්නෙට හැමදාම එනවලු. මමත් දැන් තුන් දවසක් දැක්කා. අද මේ ගෙන්නගෙන පොඩ්ඩක් කතාකලා. මොකක්ද මේ කේස් එක දන්නවද?”

“ඔව් සර්, මුන්නැහෙගෙ කාර්‍යාලෙට පැමිණීම නම් අපේ වැඩකරන අයටත් වැඩිය හොඳයි. කොච්චර කිව්වත් හැමදාම එනවා.”

“සීසී මහත්තය ඉඩම් ප්‍රශ්නෙ මෙයාගෙනෙ. ඉතින් ඒක විසඳගන්නකම් එයා එනවනෙ. අපි ඇයි මේක ගැන තීරණයක් දෙන්නෙ නැත්තෙ? මට දැනගන්න ඕන මේ ප්‍රශ්නෙ මුල ඉදලම අපේ පැත්තෙන්.”

“සර් මේගැන කච්චේරි කාලෙ විභාග කරල තීරණයක් දීල තියෙනවා. මුන්නැහැ ඒක පිලිගන්නෙ නෑ ඒකයි ගැටලුව.”

“ඇත්තද මාම මේකට කච්චේරියෙන් දීපු තීන්දුව පිළිගන්නෙ නැතිලු. ඒ මොකද?”

“කොහෙ පිලිගන්නද ආයිබොවන්ඩ? මගෙ ඉඩම අරකා අල්ලගෙන නෑ කියද්දි. මමනෙ දන්නෙ ඒකා කුණු ඇල මකල මගෙ ලියැදි දෙකේම භාගෙකට වැඩිය අල්ල ගත්තු එක. මේක කියනකොට මගෙ තන්නාසෙ කියල මහත්තුරු හිනාවෙනවා. මාව කොලොප්පොමට අරං මෙහෙ මහත්තුරු. මම ඉඩම්කෑල්ලට තන්නාසෙ පහල කොරගත්තෙනෑ. ඔයිට වැඩිය අපේ ඉඩකඩම් ගම්බිම් යට කොරනව බලාහිටපු ඇත්තො අපි. එහෙව් අපිට කොරන අසාධාරනේ උහුලන්නෙ කොහොමද?” මාමගෙ කට අඬ වෙනස් උනා.

“හරි මාම, මම මුල ඉදල මේ පයිල් බලල බලන්නම්කො මොකද කරන්න පුලුවන් කියල. හැබැයි තව සතියක් මට ඕනෙ”.

“අපොයි තමුන්නාන්සෙ මට කරුණාවෙන් කතාකොලා. කවදාවත් මට එහෙම කතාකොරල නෑ කච්චේරියෙ මහත්තුරු. ඉතින් තමුන්නාන්සෙට ඕන කාලයක් අරගෙන මේ ගැන බලන්න. තමුන්නාන්සෙට රත්නත්තරේ පිහිටයි. මම ආයේ එන්නම්කො” කියල මුතුබංඩා මාම ගියා.

මම මුතුබංඩ මාමගෙ ගැටලුවට අදාල ලිපිගොනු දෙක හොඳින් අධ්‍යනය කරා. සාමාන්‍ය ඉඩම් ආරවුලක් උන මේ ප්‍රශ්නය විසදීම සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගෙනන් නැති බව පැහැදිලිව පෙනුනා. තම කුඹුරු ඉඩමෙන් කොටසක් අල්ලාගැනීම පිළිබඳ පැමිණිල්ලට පෙර ඉඩම මායිමේ කුණු ඇල ගොඩකරන බවට මුතුබංඩා කල පැමිණිල්ලක තොරතුරුද ගොනුවේ තිබුනා. සුපුරුදු වාර්තාවක් කැඳවීම විනා ඒ ගැන වෙනත් ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවත් පෙනුනා. මේ අනුව මේ ගැටලුව විසදීම සදහා යලි මැනුමක් කලයුතු බව පෙනීගියා. එසේ කරන මැනුමක් මඟින් ඉඩම් දෙකේ නිවැරදි මායිම යලි විවුර්ත කර පෙන්නා දීමෙන් මේ ගැටලුව නිරාකරණය කල හැකිබව පෙනුනා. මේ අනුව කච්චේරි මිනින්දෝරු මහරුෆ් මහතා සමග කතාකර දිනයක් මැනුම් කිරීමට වෙන් කලා. සුපුරුදු විදියට මුතුබංඩා මාමා ඊලඟ බදාදා මා මුණගැහීමට ආවා.

“ආයුබෝවන් මුතුබංඩ මාමා කොහොමද?වාඩිවෙන්න.” මම මිනිහව පිලිගත්තා.

“වාඩිවෙන්න දෙයක් නෑ ආයිබොවන්ඩ. තමුන්නාන්සෙ මගෙ වැඩේ ගැන බැලුවද?”

“නැතුව. මම මුලු පයිල් දෙකක්ම කියෝල බැලුවා.”

“අම්මපා. එහෙනම් තමුන්නාන්සෙට තේරෙන්නෑති මට වෙලා තියෙන අයුක්තිය.”

“ඔව් මේ ප්‍රශ්නෙ පිලිබඳ තීන්දුවක් නොදී අවුරුදු ගානක් ගත්ත එක බරපතල අයුක්තියක් තමයි.”

“එහෙනම් දැන් තමුන්නැහැට පුලුවනිනෙවැ තීන්දුවක් දෙන්න.”

“මේ ප්‍රශ්නෙ ගැන එහෙම එකපාරට තීන්දුවක් දෙන එක සුදුසු නෑ. මේ ආරවුලෙ අනිත් පාර්ශවයත් සම්බන්දකරගෙන තමයි තීරණයක් කලයුත්තේ.”

“ඔන්න ඕක තමයි ආයිබොවන් මෙච්චර කාලයක් කච්චේරියෙන් කලේ. රපෝර්තුයි විභාගයි විතරයි.”

“මේසැරේ එහෙම නෙවෙයි. මම ඊලඟ සෙනසුරාදා ඉඩම බලන්න එනවා මිනින්දෝරු මහත්තයා එක්ක. එදාට විභාගෙ පවත්තල තීන්දුවත් දෙනවා.”

“අම්මපා අන්න වැඩේ! බොහොම හොඳයි. එදාට මම මොකද කොරන්න ඕන? තමුන්නැහැලට බත් ඩිංගිත්තක් සූදානම් කොරන්නම්.”

“අපොයි එපා! අපි කෑම බීම අරගෙන එන්නෙ. නැතිනම් අනිත් පැත්තෙන් කියයි මාමගෙන් කාල බීල වැඩේ හරියට කරේ නෑ කියල.”

“ඔව් එහෙම කියන්නත් බැරි නෑ තමයි. මම තමුන්නැහෙලට කෑම ටිකක් සූදානම් කරන්නම් කිව්වෙ එහෙම හිතල නෙවි. අපේ වැඩකට එන ඇත්තන්ට කෑමබීම දෙන එක චාලිස්තරේ නිසයි.”

“ඕනෙ නෑ මාම. අපි මේ ප්‍රශ්නෙ ගැන බලමුකො” මම කිව්වා.

කිව්ව විදියටම මිනින්දෝරු මහරුෆ් මහත්තයයි මිනුම් කන්ඩායමයි, ග්‍රාමසේවා නිලධාරියි, විෂය ලිපිකරු, ජනපද නිලධාරි ඇතුලු නඩේ පිරිවරාගෙන අපි මුතුබංඩාමාමගෙ කුඹුරට ගියා. අනිත් පාර්ශවයත් ඇවිත් හිටියා. මුලින්ම ආරවුල් ඉඩම් දෙකේ මායම ගැන දෙපාර්ශවයෙන් ඇහුවා. ඒකමතිකභවක් නෑ. කුණුඇල මැකූ බව අනිත් පාර්ශවය පිලිගත්තා. ඒ අනුව දෙපාර්ශවයටම දැන්වුවා මිනින්දෝරු මහත්තය මැනුමක් කරල පෙන්වන මායිමට එකඟවී මේ ආරවුල අවසන් කලයුතු බව. දෙපාර්ශවයම එය පිළිගත්තා. මහරුෆ් මහත්තය පැයදෙක හමාරක් විතර මහන්සිවෙලා මැනලා කුඹුරු මැද්දෙ මායිම් කෝටු හිටවල ළකුනු කරා. මායිම් ළකුනු කරනකොට මුතුබංඩා මාම නියර උඩ ඉඳගෙන තනියම හිනාවෙනවා. අනිත් පාර්ශවයෙ මූණු මැලවෙලා. මැනුමෙන් ඔප්පු උනා මුතුබංඩ මාම කියපු විදියටම උන්දැගෙ ඉඩම අල්ලගෙන කියල. දෙපාර්ශවයම විසඳුම පිළිගෙන අත්සන් කලා. ආරවුල ඉවර උනා.

ඊටපස්සෙත් මුතුබංඩා මාමා අම්පාරට ආවොත් කන්තෝරුවට ඇවිත් මාව මුණ ගැහිල කතාබහ කරල යන පුරුද්දක් ඇති උනා. මෙහෙම ඉඳල 1998 ජනවාරි මම කොලඹට මාරුවෙලා එන්න සූදානම් වෙනකොට මුතුබංඩා මාමා කන්තෝරුවට ඇවිත් මාව හමු උනා.

“මේ තමුන්නාන්සෙ කොලඹට යන්න හදනවා කියල ආරංචියි ඇත්තද?”

“ඔව් මාම දැන් අවුරුදු දොලහක් විතර අම්පාරෙ හිටියනෙ”

“ඉතින් මෙහෙ නාකද? ඔය කොච්චර කට්ටිය ඉන්නවද පිටින් ඇවිත්. තමුන්නාන්සෙ සාධාරණව වැඩ කල ඇත්තෙක්. යන එක අපිට මහ පාඩුවක්.”

“මමත් ආසයි මෙහෙ ඉන්න. ඒ උනාට මාම ළමයින්ට උගන්න ගන්න ඕන නිසයි යන්නෙ.”

“ඔව් ඉතින් දරුවන්ගෙ ඇහැපාදන එක දෙමව්පියන්ගෙ යුතුකමනෙ. ඒක මගාරින්න බෑනෙ. කොහොම උනත් මාව සිහිපත් වෙන්න තෑග්ගක් ගෙනාව තමුන්නැහෙට” කියල ඔඩොක්කුවෙන් ලොකු පොට්ටනියක් එළියට ගත්ත.

“හැබැයි මාම මම තෑගි ගන්නෙ නෑ කාගෙන්වත්.”

“ඒ වුනාට මේ තෑග්ග තමුන්නාන්සෙට කැප තෑග්ගක්. මම හොදට කල්පොනා කරල මේක ගෙනාවෙ. මේන් දිගෑරල බැලුවනම්” කියල මගෙ අතට පොට්ටනිය දුන්න. දිග ඇරල බැලුවම ලොකු පුස්කොල පොතක්. මට නිකං කරන්ට් වැදුන වගේ හැගීමක් ඇති උනා. මුතු බංඩා මාමා හිනාවෙනවා.

“ඇයි මාමට හිතුනෙ මට මේ විදිහෙ තෑග්ගක් දෙන්න?”

“මම තමුන්නාන්සෙ ගැන විපරම් කොල්ල බැලුවම දැන ගත්ත පොත පතට බොහොම මනාප කෙනෙක්ය කියල. ඒ ගමන හිතුන මේ අපේ පරම්පරාවෙන් ආපු වෙදපොතක් තමුන්නැහැට දුන්නනම් හොඳා කියල. ඉතින් ගෙනාවා”

“මුතුබංඩා මාමා ආයෙ කවදාවත් කෙනෙකුට දෙන්න බැරි විදිහෙ තෑග්ගක් තමයි මට දුන්නෙ. මේ පොත මම බොහොම හොදට ආරක්ශා කරනවා. මාමව මට හැමදාම මතක් වෙයි.”

මේ වෙලාවෙ මගේ රියදුරු චන්ද්‍රතිලක කාමරේට ආවා. මම චන්දරේට පෙන්නුවා මුතු බංඩා මාමගෙ තෑග්ග. චන්දරේ මුතුබංඩ මාමගෙන් ඇහුව,

“මංත්‍ර ගුරුකම් පොතුත් තියෙනවද?” කියල.

“එමට තියෙනව” කියල මාම කියනවා.

“එයින් එකක් දෙනවද?” චන්දරේ ඇහුව.

“පරම්පරාවෙ පොතපත පිට දෙන්නෙ නෑ” කියල මාම කියාපි!

“එහෙනම් මට දුන්නෙ? මමත් පිටනෙ” මම ඇහුවා.

“තමුන්නාන්සෙ මේ පොතපතට ආදරේ කෙනෙක් එහෙම අය පොතපත ආරක්ෂා කරනව. අපි පරම්පරාවෙන් පිට පොතපත ශාස්ත්‍රය දෙන්නෙ නැත්තෙ ඒකට හානියක් වෙයි කියල. තමුන්නාන්සෙට පොත දුන්නෙ ඒකට හානියක් වෙන්නෙ නැති හින්දයි. නරක මංත්‍ර ගුරුකම් පොත්නම් මගෙන් පස්සෙ අයින් කරනවා.”

මෙහෙම සමුගත්තු මුතුබංඩ මාම මම කොලඹට ආවට පස්සෙ අවුරුදු දෙක තුනක් ලියුම් ලියල දුකසැප හුවමාරු කර ගත්තා. 2006අගදි දිසාපතිවෙලා ගිහින් බැලුවම මුතුබංඩ මාම අපෙන් සමු අරන් ගිහින්. අර පුස්කොල වෙදපොත මගේ පුස්තකාලෙ උඩින්ම තියෙනවා. ඒක නිසා හේරත් මුදියන්සෙලාගේ මුතුබංඩා මාම මගේ පුස්තකාලෙ ඉන්නවා වගේ දැනෙනවා.

13 thoughts on “මුතු බංඩ මාමගෙ තෑග්ග

  1. සාධාරන්ව කෙලින් තීරණ අරන් ප්‍රශ්න විසදන්න හැම නිළධාරියාටම පුළුවන් උනානම්, අද වෙනකොට විසදන්න ප්‍රශ්න නැති තරම්.
    ඔබතුමගෙ විසදුම් සෙවීමේ හැකියාව නිසා, ප්‍රශ්න තිබුන අයත් සතුටින්, එවා විසදපු ඔබත් සතුටින්. අවුරුදු ගානකට පස්සෙ එවා අහන අයත් සතුටු වෙනවා.
    හරිම අපූරු මනුස්සයෙක් ඔබ.

    Like

  2. ඒ මනුස්සයට ඒ පුස්කොළ පොත මසුරං වලට වඩා වටින්නැති කියන එක විශ්වාසයි, එයින් පේන්නෙ ඒ මනුස්සය කොයිතරම් නම් හිතේ ගින්දරකින් ඉන්න ඇද්ද වගේම ඒ ගැටලුව විසඳුනු නිසා ඒ මනුස්සයගේ හිතේ ඔබතුමා කෙරෙහි ඇතිවුණු පැහැදීම.

    ඒ හිතවත්කම් සල්ලි වලට ගන්න නෙමෙයි !

    Like

  3. ඔබ තුමා වගේ ලන්කාවෙ හැමතැනම රාජ්‍ය අන්ශයේ ඉන්න මහත්තුරුත් වැඩ කටයුතු කරානම් කොච්චර හොඳද……….

    Like

  4. රටක නීතියේ ආධිපත්යය පිහිටුවන්න සාධාරණ, බුද්ධිමත්, අපක්ෂපාතී, කාර්යක්ෂ්ම උගත්, නිළධාරීන්ගේ ස්වාධීනත්ත්වයට බලපෑම් නැති පරිපාලන සේවාවක් ඕනැයි කියන්නෙ ඒකයි. ඔබතුමාට ඒසුදුසුකනුත් තිබෙනව. පරාධීනත්වයට පත්කරන ලද පරිපාලන සේවාවෙදිත් තම ස්වාධීනත්වය රැකගන්න අවංක අභීතකමකුත් තියෙනව. ඒනිසා මහජනතාවට ඔබතුමා කල සේවය අගය කරන්න වශන මදි.

    Like

    1. අපි අද මේතැන්වල ඉන්නෙ ඔය දුප්පත් මිනිස්සුන් නිදහස් අද්‍යාපනයට ආයෝජනය කලනිසානෙ.තවම මම මිනිස්සුන්ට ණයයිමැරෙනකොට ඒණය ගෙවෙන්න වැඩ කරන්න ඕනිනෙ.

      Like

  5. මේවා කාට කාටත් හොද පාඩම් අපේ දිසාපති තුමනි……. මේවා මෙහෙම කියනවාට පින් ගොඩයි 👍

    Like

  6. රාජකාරිය ගැන නං ඉතිං කතා දෙකක් නෑ. ඒ මනුස්සයගෙ වෙලාවට ඔබතුමා මුනගැහුනෙ.

    සමහර පරණ ලිපි ලේඛන එහෙම මිනිස්සු අරන් එනව රාජකාරි වලට. එහෙම එව්ව අහුවුණාම මාත් එව්වා ස්කෑන් කරගන්නව

    Like

    1. මමත් හිතන්නෙ මුතුබන්ඩා මාම වගේ පරණ ගැමියෙකුට උදව්වක් කරන්න ලැබුන එක හොඳම අත්දැකීමක් කියලයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s