ගම්පහ වෙද මහත්තයගෙ ඉඩම.

අම්පාර නගරය ගල්ඔය සාංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නෙ1953නගරය ස්ථාපිත කරාට පස්සෙයි .අම්පාරනගරය ස්ථාපිත වෙනකොට මිනිස්සුන්ගෙ විවිධ අවශ්‍ය තාවයන් සැපයීමටත් වෙලඳව්‍යපාරවල යෙදීමටත් රටේ විවිධ පලාත් වලින් නානා ප්‍රකාර මිනිස්සු ගල්ඔයට එන්න පටන් ගත්තා.සමහරු ගල්බෝඩ් එකේ රස්සාවල් හොයාගෙන පස්සෙන් පහු අම්පාරෙ ස්ථිර පදිංචි කාරයෝ උනා.සමහරු සාර්තක ව්‍යාපාරිකයො උනා තවත් සමහරු රජයේ සේවකයො හැටියට ඇවිත් ස්ථිර පදිංචි කාරයො උනා.ගල් බෝඩ් එකත් පත්තර දැන්වීම් දාල සමහර ව්‍යාපාරවල යෙදෙන්න සුදුසු අයව අම්පාරට ගෙන්න ගන්න කටයුතු කරා.මෙන්න මේවගේ කාලෙක එක්තරාතරුණයෙකුට හිතුනා මේ අලුත් ශිෂ්ඨාචාරෙට ගිහිල්ල තමන් ප්‍රගුණ කරපු ශිල්පය ඔස්සේ මහජනතාවට සේවය කරන්න. මේතරුණයා වෛද්‍යවරයෙක්.1956 බණ්ඩාරනායක මහත්තයගෙ නායකත්වයෙන් පෙලගැසුණු බලවේගයක් වුන වෙද බලවේගෙ පතාක යෝධයෙක් වුන පණ්ඩිත ජී පී වික්‍රම ආරච්චි රාලහාමිගෙ ගෝලයෙක් .වික්‍රම ආරච්චිපරපුර ලංකාවෙ ආයුර්වේද වෛද්‍ය ධාරාවෙ සුවිශේශී වෙදපරපුරක්.ගම්පහ වෙද පරපුර කියල අදදක්වාම ලංකාවෙ බොහෝනගර ගම් නියන්ගම්වල ඖෂධ ශාලා පවත්තාගෙන යන්නෙ මේ වෙදපරපුරේ වෛද්‍යවරු.ඉතින් අම්පාරට ගම්පහවෙද සාප්පුවක් ලැබුනෙ මේකියන තරුනයාගෙ ක්‍රියාවනිසයි.මේ තරුණයා තමයිවෛද්‍යාචාර්‍ය ගුනසේකර මහත්තය.අපි අම්පාරට යන කාලෙ ගම්පහ වෙද මහත්තය කියල බොහොම ප්‍රසිද්දියට පත්වෙලා හිටපු මෙතුමාඒවෙනකොට වැඩිහිටියෙක්.

අම්පාරෙ ගම්පහ බෙහෙත් සාප්පුවතිබුනෙ හතරවෙනි මාවතේ.අම්පාරෙ රීගල් හන්දියෙන් පටන්ගන්න හතරවෙනි මාවතේදකුනු අත පැත්තෙ වැලිගම පොත් සාප්පුව පහු කලාම ටකරම් සෙවිලිකල ලොකු දිග ගොඩනැගිල්ලක් තියෙනවා .මේ ගොඩනැගිල්ල ගල් ඔය සංවර්දන මංඩලය මුල් කාලෙ ව්‍යාපාර කරන්න බදු පදනම මත දීපු කඩ කාමර තමයි තිබුනෙ.අම්පාරෙ ප්‍රසිද්ධ නිව්සිටි ව්‍යාපාරෙත් මුලින් තිබුනෙ මේගොඩනැගිල්ලෙ.ගම්පහ වෙදමහත්තය මුලින් චඩයන්තලාවෙ බෙහෙත් සාප්පුව කරකර ඉදල හැටේ දශකයෙ මේගොඩනැගිල්ලෙ බෙහෙත් සාප්පුව පටන් ගන්නව.එදා ඉදන්දිගටම මෙතන ගම්පහ බෙහෙත් ශාලාව කරගෙන ගියා.මම මුලින්ම ගම්පහ වෙද මහත්තය හමු උන හැටිත් හරි අපූරු කතාවක්.මම කච්චේරියෙ උපදිසාපති හැටියට වැඩ කරනකොට මගේ ආයතන අංශෙ වැඩකලා ලිපිකාරිනියක් නමින් කිව්වොත් සෝමා බමුනුසිංහ මහත්මිය.බොහොම දක්ෂ විදියට වැඩකරපු බමුණුසිංහ නෝනගෙ මහත්තයා වීරවර්ධන බමුනුසිංහ වෙද මහත්තය.අම්පාරෙ හදිසි මරණ පරීක්ෂක හැටියටත් සේවය කරපු බමුණුසිංහ වෙදමහත්තය බොහොම ඇසූ පිරූ තැන් ඇත්තෙක්.දේශපාලනය නීතිය බුදුදහම වාගෙ මාතෘකා ගැන ඔනෑම අයෙක් එක්ක කතාකරන්න පුලුවන් විදියෙ දැනුමක් තිබුන බමුණුසිංහ වෙදමහත්තය වෙදකම් කලේ ගම්පහ බෙහෙත් සාප්පුවෙ.මේකාලෙ මට තරමක් හුස්ම ගැනීම අපහසු තාවයක් ඇතිඋනා.ඇදුමට සමාන තත්වයක් කියල නඩරාජා දොස්තර මහත්තයගෙන් බේත් ගත්තට හරිහැටි සනීපයක් උනේ නෑ.චමරියෙ හවස සාකච්චාවට සම්බන්ද උන කෙනෙක් මට කිව්වා ගම්පහ වෙදමහත්තයගෙන් බේත් ගත්තනම් හරි යනව කියල.ගම්පහ වෙද මහත්තය කියල මම හිතාගෙන උන්නෙ බමුණුසිංහ වෙද මහත්තයට.මම ගිහින් උන්නැහැ හමු උනා.

“හා මොකද අපේ පොඩි දිසාපතිතුමා මේ පැත්තෙ.වාඩිවෙමු වාඩිවෙමු.” වෙද මහත්තය මාවපිලිගත්ත.

“වෙද මහත්තය මට මේ හුස්ම ගැනීම අමාරු ගතියක් දැනෙනව උදේට හවසට.ඒකට බෙහෙත් ටිකක් ගන්න.”

“කෝ බලමු එහෙනම්”. කියල වෙද මහත්තය නාඩි අල්ලගෙන විනාඩි දෙකක් විතර හිටියා.

“පොඩි දිසාපතිතුමා මේ ලකුනු පෙන්නන්නෙ ඇදුම රෝගයේ ආරම්භක ලක්ෂණ වලටයි අම්පාරට එන අයට මේ රෝග ලක්ෂණ බොහෝදෙනෙකුට ඇතිවෙනව.උක් වගාවේ බූව කොටස් වාතයේ තියෙනව අනික දූවිලි ගතිය වැඩියි.ඒත් එක්කම පිටසනීපදායක තෙත් කලාපෙන් එන අය දාහය වැඩිනිසා දවසට දෙතුන් වර නානව.මෙන්න මේ හේතු නිසා මේතත්වය ඇතිවෙනව” වෙදමහත්තය මට ලොකු විස්තරයක් කරා.

“එතකොට වෙද මහත්තය මේකට මොකද කරන්නෙ?”

“අපි බලමු පොඩි බෙහෙතක් දීල මොකෝ ඔබතුමාලට කසාය උනුකරන්න බෑනෙ.”කියල අරිෂ්ඨයක් සමග වරින්වර දිවේ ගාන්න බෙහෙතක් දුන්නා.

මේ ප්‍රතිකාරෙන් ලෙඩේ සුව උනා.ඒත් ආපහු මාසතුනකින් විතර හුස්ම ගැනීමේ අපහසුව දැනෙන්න උනා.ආපහු මේගැන ගම්පහවෙදමහත්තය ගෙන් බෙහෙත් ගන්න යෝජනාව ආවහම මම කිව්වා එතනින් බෙහෙත් ගත්තා හරිගියේ නෑ කියල.එහෙමකියල බමුනුසිංහ වෙදමහත්තය කියපු කරුණු මම කිව්වා.ගම්පහ ලොකු වෙදමහත්තය ගුණසේකර කියල කෙනෙක් කියල දැනගත්තෙ ඒවෙලාවෙ තමයි.ඒ ගමන ගියා ගුණසේකර වෙද මහත්තය හම්බුවෙන්න.වෙදමහත්තය බොහොම උස මහත කෙනෙක්.බොහොම ප්‍රසන්න විදියට කතාකරල නාඩි බලල බමුනුසිංහ වෙදමහත්තය වගේම ඇදුම රෝගයෙ මුල් ලක්ෂණ බව කියල.තේවෙනුවට බොන්න කුඩු වර්ගයක් සමග අරිෂ්ඨ වර්ගයක් දුන්නා .දවස් තුනක් කුඩුමුල් තේ වාගෙ වක් කරල බිව්වම ලෙඩේ අවසන් වුනා.අද වෙනකම් ආපහු ඒ ලෙඩේ මතු උනේ නෑ.එදා ඉදන් ගම්පහ වෙද මහත්තය අදුනාගත්තා.හදිසියෙ සෙම්ප්‍රතිශ්ශාවක් හැදුනොත් වෙද මහත්තයගෙ කුඩුමුලේ පිහිට ලැබුවා.වෙද මහත්තය හිටියොත් කුඩුමුල්වලට සල්ලි ගන්නෙ නෑ තව දත් මදින කුඩකුත් නොමිලෙම දෙනවා.

ඉතින් මේගම්පහ වෙදමහත්තය දශක තුනක් ඉක්මවා අම්පාරෙ ජනතාවට ප්‍රතිකාර කරමින් ඉන්න කොට වෙනස් නොකරපු ප්‍රතිපත්තිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට තියෙන බැදීම.බමුනුසිංහවෙදමහත්තයත් ඒවගෙයි. මේ අයගෙ දේශපාලනේ ඇල්ලුවෙ නැති ඒකාලෙ බලධාරින් වෙද මහත්තයව මෙතනින් අයින් කරන්න වැඩ පිලිවෙලක් හැදුවා.මේ බෙහෙත් සාප්පුව ගල් ඔය මංඩලේ හදාපු ගොඩනැගිල්ලක තිබුන නිසා නගරසභාව මගින් යෝජනාවක් ගේනවා හතරවන මාවත වෙලඳ සංකීර්ණය ඉදිකිරීම සදහා. ඒකට තෝරාගන්නෙ වෙද මහත්තයගෙ බෙහෙත්සාප්පුව තියන ඉඩම.මේ ගොඩනැගිල්ලෙ ඉන්න කාටවත් බලපත්‍ර නෑ දීර්ඝ කාලීන භුක්තිය විතරයි තිබුනෙ.ඒඅතර වෙද මහත්තයගෙ ඉල්ලීම මත බලපත්‍රයක් ලබාදීමට මැනුම් පිඹුරක් සකස් කරතිබුනත් නගර සභාව නිර්දේශය ලබා නොදීම නිසා එතනින් නතරවී තිබුනා.ඊට පස්සෙ අදාල භූමිය නගර සබාවට ලබාදෙනලෙසට දේශපාලන නායකත්වය කච්චේරියට නියමකරතිබුනා.වෙලද සංකීර්ණ යෝජනාව ගෙනාවෙ මීට පස්සෙයි.මම ප්‍රාදේශීය ලේකම් අම්පාර වෙනකොට වෙද මහත්තයල මේකාරණය දේශපාලන පලිගැනීමක් හැටියට ඉඩම් අමාත්‍යංශයට පැමිනිලි කරලා.සුපුරුදු පරිදිපැමිනිල්ල වාර්තාවක් එවීමට ප්‍රාලේට එවාතිබුනා.මේ අවස්තාවෙ මේ ගැන පූර්ණ අද්‍යනයක් සිදු කලාවෙද මහතා ඇතුලු කීපදෙනෙක් පරිහරණය කල ගොඩනැගිල්ල ගල් ඔ ර්දන මංඩලය ඉදිකල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බවත් එහිව්‍යාපාර කටයුතුකල ව්‍යාපාරිකයින් වාණිජ ඉඩම් රැගෙන තම ව්‍යාපාර ස්තාන ගොඩනගා ගැනීමෙන් පසුව කුලී පදනම මතවෙද මහතාට ලබාදී තිබී ගල ඔයමංඩලය ප්‍රදේශෙන් ඉවත් වූ පසු කුලී ගෙවීමද නතරවී භුක්ති විදිඅයගේ පරිහරනයේම අඛන්ඩව පැවතී ඇති බවත්පෙනීගියා.නගරසභාව වෙලද සංකීර්ණයක් සදහා මේ ඉඩම ඉල්ලා සිටියද මෙමෙගොඩනැගිල්ල ආසන්නයටම තුන්වන මාවත වෙලද සංකීර්ණය ඉදිකර ඇතිනිසා තවත් වෙලඳ සංකීර්ණයකට ඉඩකඩ නොමැති බවත් පෙනීගියා.එබැවින් වඩාත් උචිතවන්නේ දීර්ඝ කාලීන බදු මත මේ බිම පරිහරණය කරන්නන්ටම ලබාදීම බව පෙනී ගියා මේසියලු විස්තර සහිතව යැවූ වාර්තාවෙ මගේ නිර්දෙර්ශය උනේ නාගරික සංවර්ධන අධිකාරිය අනුමත සැලැස්මක් යටතේ වානිජ ගොඩනැගිලි ඉදි කිරීමේ කොන්දේසියට යටත්ව පදිංචි කරුවන්ට දීර්ඝ කාලීන බදුදීම සුදුසු බවයි.

මේ වාර්ථාව යවා ටික දිනකින් ඉහත නිර්දේශ පරිදි ඉඩම බදුදීම ට උපදෙස ලැබුනා.ඒ සදහා මැනුම් කටයුතු කිරීම් කරන අතරතුර නගරසභාවෙ සභාපතිතුමා දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවට මීට විරුද්ධව යෝජනාවක් ගෙනාවා.සම්බන්ධිකරණ කමිටුව මේයෝජනාව සාකච්චාවට ගත්තා.

“ගරු අමාත්‍ය තුමනි හතරවන මාවත වෙලඳ සංකීර්ණය ඉදි කිරීමට නගර සභාව වෙන්කල ඉඩම ප්‍රාදේශීය ලේකම්තුමා එහි සිටින අනවසරකරුවන්ට බදු දීමට යනවා .මේ උත්සාහය නතර කර ඉඩම නගරසභාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”නගර සභාවෙ සභාපතිතුමා අශ් රොෆ් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියා.

“මේ ගැන මොකද ප්‍රාදේශීය ලේකම් තුමා කියන්නෙ”.ඇමතිතුමා ඇහුවා.

“මේ ස්ථානය අවුරුදු හතලිහකට ආසන්න කාලයක් පරිහරණය කරන කීපදෙනා නමින් බදුදෙන ලෙස ඉඩම් අමාත්‍යංශය උපදෙස් දීතියෙනව.මෙතනවෙලඳ සංකීර්ණයක් හදන්න තරම් ඉඩමක් නෑ”

“මේවිදියට නගරයේ තියෙන ඉඩම් පුද්ගලික අයිතියට පත් කිරීම සුදුසු නෑඅනික් කරුණ අනවසරභුක්තිය නියමානුකූල කිරීමෙන් සියලු ඉතිරි ඉඩම් අනවසර අල්ලාගැනීමේ තර්ජනයට ලක් කරවන්නක්.ඒනිසා වැරදි පූර්වාදර්ශ දෙන්න ඉඩ දෙන්න එපා ඇමතිතුමනි”. සභාපතිතුමස් කියෝනවා.

මේ එක්කම වීරසිංහ මංත්‍රීතුමස මගේ අදහසට පක්ෂවත් දයාරත්න හිටපු ඇමතිතුමා සභාපතිතුමාට පක්ෂවත් කථාකලා.

“ගරු ඇමතිතුමනි මේගොඩනැගිල්ල පරිහරණය කරණ ගුණසේකර වෙදමහත්තයට නගරෙ තවත් තැනක වානිජ ගොඩ නැගිල්ලක් තියෙනවා.නගරෙන් ඉඩම් කැබලි දෙකක් එක් අයෙකුට දීල නෑ..අනවසරකරුවෙකු වීම හා වෙනත් ඉඩමක් නගරයෙන්දී තිබීම යන කරුණු මත මෙය අත් හිටුවන තීරණයක් ගන්න.”සභාපතිතුමා යෝජනා කලා.

“ගරු ඇමතිතුමනිඑහෙම තීරණයක් ගත්තොත් ඊලඟ සභාවට සභාපතිතුමා යෝජනාවක් ගේනවා එතුමට මම පුද්ගලික හිරිහැර කරනව කියල. ඒකනම් ස්තිරයි. මම කිව්වා.

“ඇයි එහෙම වෙන්නෙ?”කොහොමද කියන්නෙ හරියටම එහෙම?ඇමතිතුමා හිනාවෙල ඇහුවා.

“සර් සභාපතිතුමත් අනවසරයෙන් භුක්තිවිදපු ඉඩමක් තමන්ගෙ ඉඩමට අල්ලගෙන ඉන්නෙ.එතුමත් ඉඩම් කැබලි දෙකක් අරගෙන තුන්වෙනිඑකත් ඉල්ලලයි තියෙන්නෙ.ඔයතීරනේ ගත්තොත් මට ඒව එතුමගෙන් ඉවත් කරන්න වෙනව.”මම කිව්වා.

“ගරු ඇමතිතුමනි මේව අපහාසාත්මක ප්‍රකාශ.ප්‍රාදේශීයලේකම්තුමා මේසභාව නොමගයවමින් අසත්‍ය ප්‍රකාශ කරනවා මේවට ඉඩදෙන්න එපා. “සභාපතිතුමා කෑගහනව.සභාවත් නොසන්සුන් මම නැගිට්ටා.

“ගරු ඇමතිතුමනි මම කිව් ප්‍රකාශය ඔප්පු කිරීමට අවසර දෙන්න “කියල ඉල්ලුවා.

“ඕඩර් ප්ලීස්” “ඕඩර් ප්ලීස්” කියල සභාව නිහඬ කරෝල “ඔව් දැන් කතාකරන්න”කියල මට කිව්ව ඇමතිතුමා දිසාපතිතුමාගෙ කණට කිට්ටු කරල මොනවද කිව්වා.

මම ලිපිගොනුවක් අරගෙන”මේතියෙන්නෙ සභාපතිතුමා පදිංචි නගරෙ ඉඩමෙ ලීපිගොනුවඑතුමා ඒකාලෙ හිටපු නියෝජ්‍ය ඇමතිතුමාට ලියුමක් ලියල පර්ච්ස් විස්සක් නිවසක් හදාගන්න ඔතනින් ඉඩම්කෑල්ලක් අරගෙනතියෙනව.ඊට පස්සෙ මෙන්න දිසා ඇමතිතුමාට ලියුමක්දීල ඊට යාබද තවත් පර්චස් විස්සක් ඒකට එකතු කරගෙනතියෙනව.ඊට පස්සෙ ගෙට පිටිපස්සෙ තියෙන අනිත් පාරටතියෙන පර්චස් පනහක කොටස තමන්ගෙ ඉදිකිරීම් කර්මාන්තෙට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කරන්න කියල හිටපු ගරු ඇමතිතුමාගෙන් ඉල්ලපු ලියුම ඒකට තවම බලපත්‍ර දීල නෑ හැබැයි මෙතුමා ඒකත් අල්ලල තාප්පෙ බැදල.ඕනෙනම් මේලියුම් කියවන්නම් .අත්සන් කරල තියෙන්නෙ මෙතුමා හැබැයි එතකොට සභාපති නෙවෙයි.දැන් සර් ගම්පහ වෙදමහත්තයට පර්ච්ස් හයක ඉඩම් කෑල්ලක් නගරෙ තියෙනව කියල අවුරුදු හතලිහකට ආසන්න කාලයක් පරිහරණය කල පර්ච්ස් හයදෙන්න බැරිනම් සභාපතිතුමාට නගරෙන් පර්චස් අනූවක් දෙන්නෙ කොහොමද?”

සභාව මුලුමනින්ම නිහඬවෙලා එකපාරටම හැමෝම හෙමින් කතා කරන්න ගත්තා සභාපතිතුමා බොහොම අසරණ වෙලාවාගෙ බිම බලාගෙන.

අශ් රොෆ් ඇමතිතුමා එකපාරටම ඕඩර් ප්ලීස් කියල ඊලඟ මාතෘකාව සාකච්චාවට යොමුකරා.මම දිසාපතිතුමා දිහා බැලුව එතුමගෙ මූනෙ ලොකු එලියක් වැටිල .එදාරැස්වීම ඊට පස්සෙසභාපතිතුමා කතාකලේම නෑ.ආයි ගම්පහවෙද මහත්තයගෙ ඉඩම ඩීසීසී එකේ කතාකලේනෑ.දීර්ඝ කාලීන බදු මේඉඩමට වෙද මහත්තය හා අනිත් අය නමින්දෙන එට නගර සභා නිර්දේශය දුන්නෙ නෑ.මම වෙද මහත්තයට ලිපියක් දුන්නා යථාකාලයේ ඔබ නමින් දීර්ඝ කාලීන බදු දීමට ක්‍රියකරමින් පවතී කියල.දෙදාස් දෙක අවුරුද්දෙ ආණ්ඩු වෙනසත් එක්ක වෙද මහත්තයව ඉවත් කරන්න හදන කොට වෙද මහත්තය මාවහොයාගෙන කොලඹ ආවා.මම කිව්වා වෙන කරන්න දෙයක් නෑ ඇපිල් උසාවියට ගිහින් තහනම් නියෝගයක් තාවකාලිකව ගන්නවහැර කියල.වෙදමහත්තය එකඟ උනා .මගේ මිත්‍ර යාසින් මහත්තය එක්ක කථා කරලා උපරිම කාලයක් ඇදගැනීමේ අරමුනෙන් ඇපිල් උසාවියට ගියා රජයට හානගරසභාවට එරෙහිව .තාවකාලික තහනම ගත්තා.අවුරුදු පහකට පස්සෙ වෙද මහත්තය නඩුව පැරදුනා.එතකොට මම අම්පාර දිසාපති.නගරසභාවෙයි දේශපාලනෙයි තත්වය ඒවෙනකොට වෙදමහත්තයගෙ වාසියට හැරිලා.ඒකනිසා වෙද මහත්තයට කරදරයක් උනේනෑ.

අවුරුදු හතලිස්පහක් විතර අම්පාරෙ මිනිස්සු සුවපත් කරපු වෛදායාර්‍ය පණ්ඩිත ගුණසේකර මැතිතුමාට 2007අවුරුද්දෙදිස්ත්‍රික් සාහිත්‍ය උත්සවේදී අග්නිදිග විශ්වවිද්‍යාලෙ උපකුලපතිතුමා අතින් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්ශේස්ත්‍රයෙන් අම්පාරට කල මෙහෙවර උදෙසා “දිගාමඩුලු අභිමානී සම්මානය” ප්‍රදානය කරවන්න මට වාසනාව ලැබුනා.ඒක වටිනාකම දැනුනෙ ඊට ටික කාලෙකට පස්සෙ එතුමා හදිසියේ අපි අතරින් සමුගත්ත වෙලාවෙදියි .අවුරුදු හතලිස් පහක් විතර දස දහස් සංඛයාත දිගාමඩුලුවාසින් සුවපත් කල ඉසිවරයකු ජීවත්ව සිටියදී අගයන්න ලැබීම වාසනාවක් නෙවෙයිද හැබෑටම.අදත් මේ භූමියෙ වෙද මහත්තයගෙ පුතා ඉන්නව මම හිතන්නෙ.තවත් එකක් අච්චර අපහසුතාවයකට මා අතින් පත් උන නගරසභාවෙ සභාපතිතුමා මාත් එක්කතරහ උනේ නෑ.හැමදාම හමු උනහම කියනව අපේ වාද බේද රාජකාරියට විතරයි කියල.එතුමත් දැන් අපි අතර නෑ.

15 thoughts on “ගම්පහ වෙද මහත්තයගෙ ඉඩම.

  1. පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා ආයතනික සහ දේශපාලන බලය අව භාවිතා කිරීම අද බොහොම සාමාන්‍ය දෙයක් නිසා. මට හිතෙනවා ආයතන සංග්‍රහය වෙනස් කරා නම් හරි නිලධාරීන්ට සහ දේසපාලුවන්ට කැමති විදිහට වැඩ කරන්න පුළුවන් කියල. එතකොට ඔක්කොම කුප්ප වැඩ නීත්‍යානුකුලයි නෙව 😀

    Like

    1. අපේ රටේ දේශපාලකයව සම්පූර්නයෙන්ම නරක් කරල තියෙන්නෙ නිලධාරින් විසිනුයි.දේශපාලකයා ගේ කාර්‍ය මහජනතාවගේ ප්‍රශ්න රජයේ නිලධාරින්ට ගෙන ඒමයි.නිලධාරින් ඉන්නේ ඒප්‍රශ්න විසදන්න.ප්‍රශ්න විසදන්න ඕනකරන පුහුනුව දැනුම එහෙම ඔය නිලධාරිට දීල තියෙන්නෙ.අදක්ෂ නිලධාරීන්ට ප්‍රශ්නවිසදන්න බැරිවෙනකොට දේශපාලකයට ඒක තේරෙනව.මිනිහ ඊලඟට ප්‍රශ්නෙඅරගෙන එන්නෙ එයාට ඕන උත්තරෙත් එක්කයි.මිනිහ කිය්නව මෙන්න ප්‍රශ්නෙ මේකට මේඋත්තරේ තියනව ඒකට අත්සන ගහල දෙන්න කියල.අර මෝඩ නිලධාරිය අත්සන් කරල දෙනව.එහෙම උනාම දේශ පාලකයට සතුටුයි.ඇයි තමන්ට ඕන උත්තරේ මේකියන නිලධාරින්ගෙන් ගත්තැකිනෙ.ඊට පස්සෙ නිලධාරියටත් සලකනවා.ඒකට රැවටිලා වැඩිවැඩියෙන් ඕන උත්ත්‍ර වලට අත්සන් කරනවා.ඕකතමයි තත්වෙ.

      Liked by 1 person

      1. මං මේකට විසඳුමක් විදිහට යමක් යෝජනා කරා ලියපු එක ලියපු එක කමෙන්ට් එකකට, තරහ වෙන්න එපා 😀

        Like

  2. අම්පාර ගැන කතා ඔක්කොම හරිම රසවත්. මම අම්පාරෙ ගිහින් තියෙන්නේ එක ගමනයි.රජයෙ සේවකයන් වුන දෙමව්පියන්ගේ වොරන්ට් එකතු කරලා ගුවන් ටිකට්පත් ගන්න පුලුවන් පහසුකම අරගෙන එයාර් සිලෝන් ඩැකෝටා DC 3 එකේ අම්පාර ගියා 1970 .ඔබ සඳහන් කරන බොහෝමයක් තැන් බලන්න ගියා.ඩිලීෂියා ටුවර්ස් බස් එකක් වෙන්කරවා ගෙන. සේනානායක සමුද්‍රය, ඉගිනියාගල පවර් හවුස් එක, හිගුරාන සීනි කර්මාන්ත ශාලාව, ඉරක්කමාම් උළු කම්හල එහෙම.ආපහු එනකොට ප්ලේන් එක උහනෙ ඉදලා මඩකලපුවට ගිහින් රත්මලාන ට ආවා මතකයි.

    Liked by 1 person

  3. මම ඔබතුමාගෙ සියලුම ලිපි කියෙව්වා. තවත් පළ කරන තුරු දිනපතාම ඇවිත් බලනවා. නවක අපට මේ සටහන් SLIDA පාඨමාලාවක් වගේ.

    Liked by 1 person

  4. බලාගෙන ගියාම ඉඩම් නඩු වගේ කල් අදින ප්‍රශ්න විසඳාගන්න කොච්චර සරල ක්‍රම තියෙනවාද ?වෙලා තියෙන්නේ ඒවා හරියට කිසිවකු විසින්වත් අධ්‍යනය නොකිරීමයි.තීන්දු තීරණ ගන්න ඉන්න අනෙකුත් ඔබ වැනි ඉහළ නිලධාරින් එහෙමත් මේ විදියට කටයුතු කරනවා නම් මේටත් වඩා කාර්යක්ෂමතාවක් ඇතිව රට ගොඩ ගන්න පුළුවන් වේවි.

    Like

  5. දේශපාලන තරහා, පුද්ගලික තරහා නිසා සාධාරණය යටපත් වීමට නොදී රාජකාරිය කිරීම තමයි රජයේ නිලධාරියෙකුගේ අභිමානය.. ස්තූතියි !

    Like

  6. මට එක පාරටම හිතුනෙ “මාර යකෙක්නෙ” කියන එකයි.

    මං හිතන්නේ සභාපති තුමා තරහ නොවී උන්නෙ ඉඩමෙ වටිනාකම එක්ක ඒක ආපහු ගන්න ඔබතුමාට තිවුන බලයත් දැනං වෙන්න ඕන

    Like

    1. ඒ කාලෙ තරුන වයසනෙ.සාධාරණයි කියල හිතුන දේවෙනුවෙන් දිවි නොතකා පෙනී හිටියා.ඒත් එක්කම නීතියට විතරයි ඔලුව නැමුවේ.බලාගෙනගියහම ඒකත් නරක නෑ.අදත් අම්පාරෙ මට සැලකිල්ලක් තියෙන්නෙ ඒ හින්දයි.

      Like

  7. ලංකාවේ රාජ්‍ය සේවයේ රාජකාරි කරද්දි නීතිය වගේම නීති විරෝධී නොවන උපක්‍රමත් පාවිච්චි කරන්න වෙනවා. ඔබතුමා කල කොයි වැඩෙන් කරල තියෙන්නේ පොඩි මිනිසුන් ගේ යහපතට නිසා සතුටු විය හැකියි. වෙනදා වගේම ලියවිල්ල අගෙයි. ස්තුතියි

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s