ගුරුපුර අන්දරය.

අම්පාරෙ රාජකාරියට ගියේ 1986 අවුරුද්දෙ මැද උනාට තවම එතනින් ගැලවෙන්න බැරුවයි ඉන්නෙ. අවසන් වතාවට අම්පාරෙ රාජකාරියෙන් සමු ගත්තෙ 2011/11/13 වෙනිද උනත් තවමත් ගම වගේ ඒ සම්බන්දෙ තියනවා. අත්දැකීම් ලියාගෙන යන මේ දවස් වල අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් කාලෙ කෙරුවාවෙ අත්දැකීම් ඉවරකරන්න තවත් කාලයක් යයි වගේ. මොනව කරන්නද “කපා ගත්තනම් කර ගහගනින්” කියලනෙ පැරැන්නො කියල තියෙන්නෙ. ඒක හින්ද ඔන්න අදත් අම්පාරෙ කථාන්දරයක් කියන්නයි කල්පනාව.

අම්පාරෙ විතරක් නෙවෙයි ලංකාවෙ කොහේ ප්‍රාදේශීය ලේකම් කම කරතත් කරන්න තියෙන ලොකුම රාජකාරිය ඉඩම් රාජකාරියනෙ. අම්පාරෙ මේ රාජකාරිය අනිත් තැන්වලට වැඩිය වැඩියි. මුලු අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙන් කොන්ඩවටුවාන කුඹුරුයාය ඇරුනම ඉතිරි සියලු ඉඩම් අයිති රජයටනෙ. කොන්ඩවටුවාන කුඹුරු යාය පුද්ගලික අයිතියේ තියෙන්නෙ. ඒ සම්මන්තුරේ ඉන්න මුස්ලිම් පිරිසකට. අමුතු දෙයක් ඇහැ ගැහුනම ඒකෙ වැලමුල ගිය තැන් හොයන ලෙඩේ උග්‍රවම තියෙන මිනිහෙක් තමයි මම. ඉතින් මේ අම්පාරෙ නගරෙ ඉදන් කිලෝමීටර් දෙකක් ඉගිනියාගල පැත්තට තියෙන කොන්ඩුවටුවානෙ කුඹුරු සම්මන්තුරේ අයට අයිති උන හැටි හොයන කොට එලිදරව් උනේ සීතාවක රාජසිංහ රජ්ජුරුවො මේ කුඹුරුයාය “රාමනාද බ්‍රාහ්මන්” කියන සම්මන්තුරේ කෙනෙකුට සන්නසකින් ලබාදීල තියෙන බවයි. මේ රාමනාද බ්‍රහ්මන්ගෙන් පැවත එන අයගෙන් තමයි මුස්ලිම් උදවිය මේ අයිතිය ලබාගෙන තියෙන්නෙ. හොඳ වෙලාවට රාජසිංහ රජ්ජුරුවො මේක සන්නසෙන්ම දීල තිබුනෙ! නැත්නම් අපේ ජාති ආලකට්ටිය මේක මංකොල්ල කනව. කොහොමහරි ඔය කුඹුරු යාය හැරෙන්න ඉතිරි සියලුම ඉඩම් ගැටලු අම්පාර ප්‍රා.ලේට තමයි එන්නෙ. කාලාන්තරයක් තිස්සෙ ඉඩම් රාජකාරිවල ඉඩම් බෙදීම කියන කොටස කරල තියෙන්නෙ දේශපාලන ප්‍රබලයගෙ කාර්‍යාලෙන් තමයි. කවුරුහරි ඉන්න දේශපාලන ප්‍රබලය නගරෙ පාරවල් දිගේ ඇවිදගෙන කෙසේ වෙතත් වාහනයක සංචාරයේ යනකොට දකින හිස් ඉඩමක් තිබුනොත් උන්නැහැට ඒක බෙදාදියයුතුයි කියල හිතුනොත් අනුගමනය කලේ අමුතු ක්‍රමයක්.

මුලින්ම කරන්නෙ ඒ ඉඩමට බී.ඕ.ඩී එකක් තමන් දන්න මිනින්දෝරුවරයෙක් ලවා දේශපාලන බලධාරියා විසින් හදෝව ගන්න එක. ඒ බී.ඕ.ඩී නැත්නම් කැබලි සැලැස්ම අනුව බිම්කට්ටි කීයක් තියෙනවද කියල බලල ඒකට තමන්ගෙ හිතවාදී අයගෙන් නාම ලේඛනයක් හදනවා. මේකට තම ගෝල බාලයො යොදෝල නම් එකතු කරල තෝරල බේරල ලැයිස්තුව හදල කච්චේරියෙ ඉඩම් අංශයට එවනවා. මේ කාර්‍ය විධිමත් කාර්‍යක් බවට පත්කරන්න දේශපාලන බලධාරියගෙ ප්‍රධානත්වයෙන් ඉඩම් අංශයෙ නිලධාරින්ගෙ කොට්ඨාසෙ උපදිසාපතිවරයගෙ සහභාගිත්වයෙන් ඉඩම් සාකච්ඡාව කියල රැස් වීමක් හදාගෙන තිබුනා. අර ඉඩම බෙදන ‍යෝජනාව මේ සාකච්ඡාවෙදි මතු උන එකක් හැටියට පෙන්නුම් කරල තමයි වැඩේට අත ගහන්නෙ. දැන් ඉඩම් අංශෙට ආපු ලැයිස්තුව ඉඩම් කච්චේරි ආකෘතිය, නැත්නම් එකසිය පහ පෝරමේ ලියන්න ඕනනෙ. ඒ ලැයිස්තුවෙ අයට ලියුම් දාල ගෙන්න ගෙන විස්තර විමසලා අර පෝරම් කොලේට ඇතුල් කරගන්නවා. ඊට පස්සෙ ආයිත් ඉඩම් සාකච්ඡාවෙන් ඒ නම් ටික අනුමත කරගෙන ලැයිස්තුව ඉඩම් කොමසාරිස් ගෙන් අනුමත කරවාගන්නවා. ඊටපස්සෙ ඉඩම් කට්ටිය භාර දෙනවා. ඊටපස්සෙ අර ඉඩම් ගත්තු උන් අවුරුද්දක් හමාරක් ගිහිල්ල ඉඩම් ඇත්තටම ඕන අයට අර ඉඩම් කෑල්ල විකුණනවා. ඒ සල්ලිවලට ගත්තු අයයි, අර මුල් කන්ඩායමේ ඉඩම් අවශ්‍යතාවය තිබුන අයයි ගෙවල් හදාගන්නවා. ඕක තමයි ගල්බෝඩ් එක අම්පාරෙන් ගිය 1973ඉඳන් අම්පාර නගරෙ ඉඩම් බෙදූ ක්‍රමවේදය.

මේ ක්‍රමවේදයට අනුව අම්පාරෙ ගුරුවරුන්ට ගුරුපුරයක් පටන්ගැනුනා. මේ ගුරුපුරේ ආරම්භය සිද්ද උනේ නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදෙටයි. ගුරු සමුපකාරය මඟින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව මේ සඳහා ඉඩමක් අම්පාර නගරයෙන් ලබා දීමට දේශපාලන බලධාරින් එකඟ වෙනවා. ඉඩම තෝරාගෙන ඉඩම්ලාභින් තෝරා ගැනීමේදී යම්‍ යම් මත ගැටුම් ඇතිවුනත් වැඩේ ඉස්සරහට යනවා. ඉඩම ගුරුසමුපකාරය නමින් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලාසිටීම නිසා ව්‍යාපෘතිය අතරමඟ නතර වෙනවා. ඒ අතර දේශපාලන බලධාරියාට සම්බන්ද ගුරු සංගමය මගින් ප්‍රතිලාභී ලේඛනය සකස් කර බලධාරියා මගින් කච්චේරියට දෙනවා. එතැන් සිට වරින්වර මුලින් දුන් ලේඛනයේ නම් දේශපාලන බලධාරියා මගින් වෙනස් කරනවා. මේ වෙනස්කිරීම කොච්චර දුරට වෙනවද කිව්වොත් අන්තිමට ගුරුවරු නොවන පිරිසකුත් ගුරුපුර ඉඩම් ලාභීන් ලෙස දේශපාලන නිර්දේශයෙන් නම් කරනු ලැබෙනවා. අන්තිමේදී සුපුරුදු ක්‍රමය අනුගමනය කර ප්‍රතිලාභීන්ට ඉඩම් කැබලි භාරදෙනවා. ඉඩම් නැතිකම නිසා ගෙයක් දොරක් හදාගන්න බැරුව හිටපු ඉඩම්ලාභීන් ගෙවල් හදාගෙන පදිංචිවෙනවා. වැඩිදෙනෙක් ඉඩම්ලාභින් ඉඩම භාරගෙන කිසිවක් නොකර හිටියා. මේ අය හිමිහිට ගෙවල් හදන්න ඉඩම් හොයන ගුරුවරුන්ට අතයට රුපියල් විසිතිස්දාහක් අරගෙන ඉඩම භාරදෙනවා. මේ විදියට හොරෙන් ගුරුපුරේ ඉඩම් කෑලි විකුණන අතර තමයි මම අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙලා එන්නෙ.

මේ විදියට ගුරුපුර ඉඩම් ලාභින් තම ඉඩම් කැබලි ගුරුවරුන්ටම විකුණන බව මම දැනගත්තෙ ගුණසේකර ගුණසෝම මහත්තයගෙන්. ගුරුවරයෙක් උන ගුණසෝම මහත්තය ලේඛකයෙකුත් වුනා. අම්පාරෙ ගුරුපුරේ ගෙය හදාගන්න ඉඩම ගත්තෙ අරවාගෙ ඉඩම්ලාභියෙකුට සල්ලි දීල. පොරොන්දු උන ගානෙන් කොටසක් දීල ඉඩමෙ ගේ හදාගත්තු හැටි මම එක්ක කියවුනෙ ගුණසෝම මහත්තය නිකම් තොරතුරු කතා කරන වෙලාවක. මේක අහගෙනහිටිය මට තේරුනා ලොකු අසාධාරණයක් ගුරුවරුන්ට වෙලා තියෙනව කියල. ගුරු වෘත්තියට කියල ඉඩමක් අරගෙන දේශපාලන ගෝලබාලයො බෙදා ගත්ත මදිවට ඇත්තටම ඉඩම් නැති ගුරුවරුන්ට ඒ ඉඩම සල්ලි දීල ගන්න උන එක මොනම අන්දමටවත් සාධාරණ නෑ කියල හිතුන මම ගුණසෝමට කිව්ව ඉතිරි මුදල් කොටස හෙම දෙන්න එපා කියල. ඊළඟට වහාම ගුරුපුර ඉඩම්ලාභි අයට පුද්ගලිකවම ලිපි යැව්වා දැනට නිවාස ඉදිකර නැති ඉඩම් වල නිවාස ඉදිකිරීම තුන්මාසයක් තුල ආරම්භ කරන ලෙසත් එසේ නොවන්නේනම් අදාල ඉඩම අවලංගු කර සුදුස්සන් අතර බෙදා දීමට ක්‍රියා කරන බවත් සඳහන් කරමින්. නිවාස ඉදිකිරීම ආරම්භ කර අත් හැර දමාසිටි අයට මාසයක් කල්දුන්නා වැඩ ආරම්භ කිරීමට.

මගේ මේ නියමයෙන් සමස්ත ගුරුපුරේ හිස් ඉඩම් තියාගෙන හිටපු අයත් අතිවාරම් විතරක් දාල හිටපු අයත් කලබල උනා. ඉඩම බෙදූ දේශපාලන බලවතා සහ එම පක්ෂයේ ගුරුසංගමය හදිසි සාකච්ඡා පවත්වා මේ ගැන ගතයුතු ක්‍රියාමාර්ග හොයනව කියලත් ආරංචි උනා. ගුරුපුරේ පදිංචි අයගෙන් කීපදෙනෙක්මත් ඉඩම් අපේක්ශාවෙන් ඉන්න ගුරුවරු විශාල ප්‍රමාණයකුත් මගේ තීරණේ අගය කරා. ඔවුන් අනිත් පැත්තෙන් මට විරුද්ධව කරන සංවිධානය ගැන තොරතුරු මට කිව්වා. සුපුරුදු විදියට දිසාපතිතුමාට පැමිණිල්ලක් එව්ව දේශපාලන බලවතා මගේ තීරණයට විරුද්ධ උනා. මම දිසාපතිතුමාට තත්වය පැහැදිලි කලා. එ්කෙන් වැඩක් නොවුන නිසා ඉඩම් කොමසාරිස්ට පැමිණිලි කලා. මම තත්වය පිලිබඳවාර්තාවක් යවමින් මේ ඉඩම් ලාභින් විධිමත්ව තේරුන අය නොවෙන බවත් ඔවුන් ඉඩම් නීති විරෝධී ලෙස විකිණීම කරණ බැවින් එය වැලැක්වීමට මේ පියවර ගත් බව පෙන්වා දුන්නා. අවසානයේදී දේශපාලන බලවතුන් මේ ගැන පැමිණිල්ලක් උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයාට කලේ මගේ නීතිවිරෝධී නියෝග නිසා ගුරුවරුන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත් ඉඩම් අරබයා හිතුවක්කාරව කරන රාජකාරි වලින් අසාධාරණ සිදුවන බවත් සඳහන් කරමිනුයි. ඒ වෙනකොට ලයනල් ප්‍රනාන්දු මහතාගෙන් පසු ආණ්ඩුකාරවරයා ලෙස පත්වී සිටියේ ප්‍රවීණ සිනමා නළු ගාමිණී පොන්සේකා මහතායි. එතුමා පැමිණිල්ල විභාග කිරීමට උතුරු නැගෙනහිර පලාතේ ඉඩම් අමාත්‍යංශ ලේකම් කාදර් මොහිදීන් මහතාව පත් කරා.

මේ පැමිණිල්ල සම්බන්ධ පරීක්ෂණයට දින නියම කර අදාල ලිපිගොනු සමග පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස ලිඛිත දැනුම් දීම මට ලැබුනා. දිසාපති කාර්‍යාලයේ කාමරයක් පරීක්ෂණයට සූදානම් කර තිබුනා. මට තොරතුරු දෙන ඔත්තුකරුවෙක් ඒ වනවිට පැමිණිලිකාර දේශපාලන බලධාරියෙකු ගේ කාර්‍යාලයේ සිටියා. පරීක්ෂණය දවසේ උදේ කාදර් මොහිදීන් මහතා අදාල දේශපාලන බලධරයාව ඔහුගේ නිවසේදී මුණගැසුනු බව ඔත්තුකරු මට දැන්වූයේ තැපැල් කාර්‍යාලයට පැමිණ දුරකතනයෙන්. මේ ආරංචිය ලැබුනු මම දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු සේඋනා කිව්වොත් තමයි හරි! මගෙ කල්පනාව මේක පෙන්නලා පරීක්ෂණය ඉවර කරන්නයි. අදාල ලිපිගොනු රැගෙන පරීක්ෂණ කාමරයට ගියා. පරීක්ෂණ නිලධාරියා සහ යතුරු ලේඛිකාව සිටියා. මට නියමිත ස්ථානයේ වාඩිවී නියම කල වේලාව වූ පෙරවරු දහය වනතුරු හිටියා. හරියට පෙරවරු දහයට මම පුටුවෙන් නැගිට්ටා.

“පරීක්ෂණ නිලධාරිතුමා පාරීක්ෂනයට නියමිත වෙලාව හරි. මම පරීක්ශණයට සූදානම්” මම කිව්වා.

“හරි හරි පැමිණිලිකරු එන්න ඕනනෙ, අපි පොඩ්ඩක් ඉමු.” පරීක්ෂණ නිලධාරි කිව්වා.

“නියමිත වෙලාවට එන්න බැරි පැමිණිලිකාරය කවුද? මගේ කාලය මට වැදගත්. වහාම පරීක්ෂණය ආරම්භ කරණ ලෙස ඉල්ලා සිටිනවා” මම ටිකක් හයියෙන් කිව්වා.

“හරි හරි අප්පා පොඩ්ඩක් ඉන්නකෝ” මොහිදීන් මහත්තය කාරුණිකව ඉල්ලුවා.

“හොදයි උපරිම විනාඩි පහලොවයි බලන්නෙ” මම වාඩිඋනා .

ටික වේලාවකින් පැමිණිලිකරු ආවා. පැමිණිලිකරු බලවත් නිලයක් දැරූ දේශපාලකයෙක්. ඔහු එනවිට පරීක්ෂණ නිලධාරියා අසුනෙන් නැගිට ඔහුව පිලිගත්තා. පරීක්ෂණය ආරම්භ කිරීමට සූදානම් උනා. මම නැගිට්ටා.
“මේ පරීක්ෂණය පිලිබඳ මූලික විරෝධතාවයක් වාර්තා කරන්න තියෙනවා. ඒ සඳහා මට අවස්තාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

“ඔවු මොකද්ද අප්පා විරෝධය?” පරීක්ෂන නිලධාරි විමසුවා.

මම යතුරු ලේඛිකාවට වාර්තාකරන ලෙස විරෝධය කියෙව්වා.
.
“මේ පරීක්ෂණයේ සාධාරණත්වය ගැන බරපතල සැකයක් මා තුල ඇතිවී තිබෙනවා. එයට හේතුව උනේ මට දැනගන්නට ලැබුන විශ්වාසවන්ත තොරතුරකට අනුව පරීක්ෂණ නිලධාරියා අද උදයේ පැමිණිලිකරු මුණගැසීමට රහසිගතව ඔහුගේ නිවසට ගියබව. එය සනාථ වෙන සිද්දීන් දෙකක් මේ ස්ථානයේදී නිරීක්ශණය උනා .ඒ පැමිණිලිකරු එනතුරු පරීක්ෂණය පටන් ගැනීමේ වෙලාව කල් දැමීම, අනික පැමිණිලිකරු කාමරයට ඇතුලුවෙන අවස්තාවේදී අසුනෙන් නැගිට බෑගෑපත්ව කීකරු ස්වභාවය ප්‍රදර්ශනය කිරීම. ඒ නිසා අපක්ෂපාතී නොවන පරීක්ෂණ නිලධාරියෙකු ඉදිරියේ පරීක්ෂණයට ඉදිරිපත්වීම ප්‍රතිශේප කරනවා. පරීක්ෂණ නිලධාරියාගේ ක්‍රියා කලාපය ගැන සුදුසු පියවර ගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමින් පරීක්ෂණයෙන් ඉවත් වෙනවා.” මේ ටික යතුරු ලේඛිකාව ටයිප් කලා. අවසානයේ කඩදාසිය ඉල්ලාගෙන අත්සන් කර පිටපතක් රැගෙන පයිල් ටික අතට ගත්තා. දැන් පරීක්ෂණ නිලධාරිට දාඩිය දානවා. පැමිණිලිකරු උඩබිම බලමින් සිට “පේනව නේද හිතුවක්කාර කමේ හැටි! හැම වැඩේදිම ඔහොමයි” ආදී ආඩපාලි කිව්වා. මම එතනින් පිටවී පහල මගේ කාමරයට ආවා.

පැයකින් විතර අභ්‍යන්තර දුරකතනයෙන් දිසාපතිතුමා කතාකලා.

“මොකක්ද යකෝ උඹ මේ මොහිදීන් කාරයට කලේ?” දිසාපතිතුමා සුපුරුදු විදියට ඇහුවා.

“ඇයි සර් මම මගේ අයිතිවාසිකම පාවිච්චි කලා විතරයි.”

“තොගෙ රෙද්ද! අන්න ඌ මෙතන අඬ අඬා ඉදල ටොයිලට් එකට ගියා. ඌට බඩයන්න හැදිලද දන්නෙ නෑ?”

“ඉතින් සර් ඒ මිනිහ මොටද පැමිණිලිකාරය හම්බු වෙන්න ගියේ? ඔය සෙට්වෙලා මට වැඩේ දෙන්නනෙ. ඊට ඉස්සෙල්ල මම උන්දැට දුන්නා වැටෙන්නම.”

“හරි හරි මේ නාකියට වැඩේ දීල හරියන්නෙ නෑ. මම මේක ශේප් කරන්නම්. උඹ වරෙන් මෙහාට.”

මම දිසාපතිතුමා ලඟටගියා. කාදර් මොහිදීන් ලොක්කත් ඉන්නවා.

මාව දැක්ක ගමන් “අප්පා ඔයා මාර මිනිහ තමා ඇයි අප්පා මට අරෙහෙම කිව්වෙ. මම ඔයාට මොකුත් වරදක් කරේ නෑනෙ. දැන් ගවනර් අහනකොට මම මොකක්ද කියන්නෙ.” කියල අඳෝනාව කිව්වා.

දිසාපතිතුමා හයියෙන් හිනාවෙලා “ඒයි මොහිදින් කාකා, උඹේ ඔය පරීක්ශනේට මූ කියන ටික අහල ලියාගෙන පලයන්. මූ මේ එසේ මෙසේ එකෙක් නෙවෙයි. ඕන ලොක්කෙකුට මූණටම කියන එකෙක්. හැබැයි වැරදි වැඩ කරන එකෙක් නෙවෙයි. ඕක ඉවරයක් කරගනින්. නැත්නම් මූ අද ඉඳන් උඹට අදින්න පටන්ගනී.”

“ඕකේ සර්. මම එහෙම කරන්නම්. මෙයා භය නැති කෙනා. පැමිණිලිකාරයටත් අප්සෙට් තමා. එයා ලියුමක් දුන්න විතරයි. මිස්ටර් සුනිල් මට වෙලාව දෙන්න. මම ඔයාගෙ ඔපීස් එකට එන්නම්.”

මම මොහොදින් ලොක්කත් එක්ක ඔපිස් එකට ඇවිල්ල ප්‍රකාශයක් දුන්නා. ඒකෙදි පෙන්නලා දුන්නා ගුරුපුර ඉඩම් බෙදීම නීත්‍යානුකූලව නැතුව පැමිණිලිකරුගේ ලැයිස්තුවකට බෙදාදී ඇතිබව. ඒව විකුණා ඇති අවස්තා හා නීතිවිරෝධී අන්සතුකිරීම් නතර කිරීමට මම ගෙන ඇති තීරණ නීත්‍යානුකූලභාවය ආදී කරුණු. මිනිහ ඒ ටිකත් ලියාගෙන ගියා. පරීක්ෂණේ එච්චරයි. ඒ අතර ඉඩම් කෑල්ල විකුණපු කෙනෙකුට විරුද්ධව පොලිසියට පැමිණිලි කලා. පොලිසිය විමර්ශණ පටන් ගත්තා. විකිණීම නතර උනා. බයට ගෙවල් හදන්න පටන් ගත්තු අය ගෙවල් හදාගෙන පදිංචිඋනා. පස්සෙ බලනකොට ගුරුපුරේ ඉඩම් බෙදූ කැබලි සැලැස්ම මිනුම් සිතියම්වලටවත් අරගෙන නොතිබූ බව හෙලිඋනා. ඒකත් නිවැරදි කරා. අර ඉඩමෙ ඉතුරු සල්ලි හෙම දෙන්න එපා කියල මම දීපු උපදෙස ගුණසෝම හොරෙන්ම කඩල.

“අර යකා ඇවිල්ල සල්ලි ඉල්ලුව සර්, මම ඉතින් දුන්නා. කිව්ව වචනෙ තියෙන්න ඕනනෙ.” ගුණසෝම මහත්තය කිව්වා.

Advertisements

10 thoughts on “ගුරුපුර අන්දරය.

  1. ඔබ තුමා ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති බෝධි ලියනගේ මහතා සමග අම්පාරෙදි වැඩකලාද? වැඩ කලානම් හෝ ඔහු ගැන දන්නේ නම් මගේ බ්ලොගයට ගොඩ වැQදී කොමෙන්ටුවක් දමන මෙන් ආරාධනයකරමි.

    Like

  2. ඉඩම් සම්බන්ධයෙන් වන අක්‍රමිකතා නම් කියලා වැඩක් නැහැ. මේ ඇස් දෙකට අවුරුදු හතක් තිස්සේ ඔව්වා දකිනවා. ගොවි පන්තියේ අයට ඉඩම් දෙන ඉ.සං.ආ පනත යටතේ බලපත්‍රයක් ගෙන ඉං පස්සෙ ඔප්පුවකුත් හදාගත්තු ඉහළ පරිපාලන නිලධාරියෙක්වත් මම දැක්කා.

    මටත් ඉන්න හිටින්න බිං අඟලක් නැති හංදා මීට අවුරුදු හතරකට විතර කලිං එල්.ආර්.සී එකට අයිති මූකලන් ඉඩමකින් කොටසක් ඉල්ලලා ඉඩං ප්‍රතිසංස්කරණ කොමිසමේ කාර්යාලයෙන් ඉල්ලීමක් කරලා ලියුමක් දුන්නා. මං ඒකෙන් ඉල්ලුවේ අසුවල් තැන ඔබගේ සභාවට අයත් ඉඩමක් තිබෙනවාය. මට වාසය කිරීමට එයිං කොටසක් ලබාදෙන්නටය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පහදන්නය කියලයි. අද වෙනකන් උත්තරයක් නෑ. මේ ගැන අහන්න ගිය අපේ මාමණ්ඩිව දවස් ගානක් රස්තියාදු කරලා අන්තිමට කාගෙද මන්දා ජංගම දුරකථන අංකයක් දීල තිවුනා. මං වැඩේ අතෑරියා. හැබැයි ඒ අහිමිවීමේ දුක මට තදින් දැනුනා. ඒ හංදා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දාහතේ එක මනුස්සයෙක්ටවත් ඒ දුක දැනෙන්න ඉඩ දෙන්න මට දුකයි. ඒක මගෙ රස්සාවට ඈඳුනේ ඒ විදිහට.

    දිගටම දිගාමඩුල්ලේ කතා ලියාගෙන යං. එතකොට අපිට අම්පාරේ මෑත පරපුරේ ලියන්නෙක් වන ‘සඳරු‘ ගෙ hisahasa.blogspot.com බ්ලොග් එකේ තියෙන කතාවල අක්මුල්වලට ඔබතුමාගෙ කතාවල අග්ගිස් පුරුද්දාගන්න පුළුවං වෙයි.

    Like

    1. අපොයි ඔය නීති රෙගුලාසි කොමිසමට( LRC ) ඒගොල්ලන්ගෙ ඉඩම් තියෙන තැන කිව්වනම් වැඩි කලක් නොගිහින් ඉඩම දෙනවා පෙන්නපු මිනිහට නෙවෙයි.ඒගොල්ලන්ට ඕන කෙනෙකුට.රත්නපුරේ කොලින් ක්‍රෙසන්ට් ආන්ඩුවේ නිල නිවාස තියෙන ඉඩමෙ කෑලි ඉ සං ආ බලපත්‍ර වලින් ගත්තු පස්සෙ ජයභූමි ඔප්පු හදා ගත්ත කච්චේරියෙ ලොක්කොත් ඉන්නවා.සාමාන්‍ය මිනිහ පදිංචි ඉඩම් කෑල්ලට බලපත්‍ර ගන්න අවුරුදු ගනන් කච්චේරිය්ස්ට බඩගානවා.

      Like

  3. //මූමේ එසේ මෙසේ එකෙක් නෙවෙයි.ඕන ලොක්කෙකුට මූණටම කියන එකෙක් හැබැයි වැරාදිවැඩ කරන එකෙක් නෙවෙයි// ඒ මදැයි.. අදනම් කතාව කියෙව්වේ හිනා වේවි.. 🙂

    Like

    1. ඕව කල කාලෙ ඉතින් ගල් පස් උනත් කාල ඉන්න පුලුවන් තරුන කාලෙනෙ.අද මතක් වෙනකොටත් හිනායනව.

      Like

  4. අනේ අනේ සුනිල් මහත්තයෝ, මාර කතාවක්නෙ මේක…. මං දැනගෙන හිටියේ නැහැ 😀
    මට මේ කතාව රසවත් වුනේ ඩහදිය දාන මොහිඩි්න් මහත්තයවයි හයියෙන් හිනාවෙන අනේ අපේ දිසාපති තුමාවයි මට
    නිකං මැවිලා පෙනුන නිසයි!
    අගෙයි වැඩේ එවුනත් කියන්න තියෙන්නේ අනේ අනේ සුනිල් මහත්තයගේ වැඩ කියලයි!
    👍👍👍

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s