ඉන්දියාවට තරඟයක්

අම්පාරෙදි කරපු හැම රස්සාවටම සම්බන්ද කතන්දර ගොඩක් තියෙනවා මේව ක්‍රමානුකූලව පෙල ගස්සා ගන්න තමයි අමාරු. ලියාගෙන යන කොට මතක් වෙන හැටියට ලියනව මිසක් සිද්දීන් අනුපිලිවෙල ගැන හිතන්නෙ නෑ කියල අන්තිමට තීරණය කලා. මම අම්පාරෙ කුඩා කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ හැටියටත් වැඩබැලුව ආරම්භයේ ඉඳන්ම. මාස හයක් යනකොට පේශ කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ සහකාර අධ්‍යක්ෂ කමත් මටම පැවරුනා. මේ කාලෙ පේශ කර්මාන්ත අධ්‍යක්ෂ ආචාර්‍ය පී ඒ ටී ගුණසිංහ මැතිතුමා. දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන කාර්‍යාලෙට කැඳවලා වැඩ බලන පත්වීම දීලා කිව්වා තරුණ ළමයින්ට අලුත් දේවල් කරන්න පුලුවන් ඒකනිසා අම්පාරෙ අලුත් දෙයක් කරන්න බලන්න කියල කිව්ව. ගුණසිංහ මැතිතුමා පේශ කර්මාන්ත දෙපාර්තමේන්තුව ගැන විස්තර කියල දුන්න හැටි මතක් වෙනවා. පේශ කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ රෙදි වියන මධ්‍යස්ථාන පහලොවක් විතර අම්පාරෙ තිබුනා. පේශකර්ම පරිපාලකවරයෙක්, පේශකර්ම උපදේශකවරු දෙන්නෙක්, සහකාර අධ්‍යක්ෂ කාර්‍යාලයේ සේවය කලා. මේ අය මධ්‍යස්තානවලින් එන ඇස්තමේන්තු පරීක්ෂා කිරීම, නූල් ඇනවුම් කිරීම, රෙදිපිලි අලෙවිය ආදී රාජකාරි කලා. බොහෝ මධ්‍යස්තාන තිබුනේ වෙරළබඩ ප්‍රදේශයේ. මේ කාලෙ ත්‍රස්ථවාදී කලබල නිසා වෙරළබඩ ප්‍රදේශවල ඇවිදින්න අපහසුවක් තිබුනා. බොහොම අමාරුවෙන් තමයි මධ්‍යස්ථාන පවත්වාගෙන ගියේ. ඉතාම ඉක්මනින් අක්කරපත්තුවෙ කරුන්කොඩිතිවු මධ්‍යස්ථානය වහන්න උනා. කලබල තත්වයන් නිසා මධ්‍යස්ථානෙට කාර්මිකාවන් නැතිනම් රෙදි වියන්නියන් නොපැමිනීම තමයි හේතුව. මද්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි ජෙය්ෂ්ඨ උපදේශක එම් අයි සූටර් සිංඤෝ මහත්තයවත් කාර්‍යාලෙට අනුයුක්ත කලා.

දැන් මගේ සහකාර අධ්‍යක්ෂ කාර්‍යාලෙ ජෙය්ෂ්ඨ පරිපාලක හනීපා මාස්ටර් එක්ක ජෙය්ෂ්ඨ උපදේශක සූටර් සිංඥෝ, උපදේශක කමලාවතී ඥානලතා යන තාක්ෂණික කාර්‍ය මංඩලයත් මධ්‍යස්ථාන 14ක කාර්‍යමංඩලයත්තෙක්ක කාර්‍යාලයේ ප්‍රධාන ලිපිකරු නුගවෙල, විෂය ලිපිකරු යූ ජී නන්දසේන, යතුරුලේඛක සුමනසිරි, කාර්‍යාල සහකාර විජේසිංහ, නිමල්, රණසිංහ වාගෙ මහ පිරිසක් පේෂකර්මාන්තෙ පාලනය කරන්න ඉන්නව. ජෙය්ෂ්ඨ පරිපාලක හනීපා මාස්ටර් ට සිංහල භාශාව හොඳට පුලුවන්. සූටර් සිංඥෝ නැත්නම් ලේකම් මහත්තයට දෙමළ භාෂාව හොදට පුලුවන්. වැඩිපුර මද්‍යස්ථාන තිබුන වෙරළ කලාපෙ යනකොට මේ දෙන්නව අරංගියහම සංනිවේදනයෙ ගැටලුවක් නෑ. අනික හනීපා මාස්ටර් හරියට තාත්තා කෙනෙක් වාගෙ මගේ ආරක්ෂාව ගැන බැලුව. වෙරළ කලාපෙදි කවුරුහරි සැකසහිත කෙනෙක් දැක්ක වහාම මාව පස්සට දාල මාස්ටර් මගෙ ඉස්සරහට එනව. මට කියල තිබුනෙ සර් කලබලයක් උනොත් සර් ආරක්ශා වෙන්න, මම ගැන බලන්න එපා. මම ජීවත්ව ඉන්නවනම් සාර්ට හානියක් වෙන්න දෙන්නෙ නෑ කියල. තව ජේය්ෂ්ඨ උපදේශක කෙනෙක් හිටිය මුස්තපා මාස්ටර්. හැමවෙලාවෙම හිනාවෙලා තමයි ඉන්නෙ. හනීපා මාස්ටර් කලබලවෙලා ඉන්නකොට මුස්තපා මාස්ටර්ගෙ හිනාව වැඩියි. හනීපා මාස්ටර්ගෙ ඇඳුම සුදු සරමයි, ටියුනික් කොලර් අත්දිග සුදු කමිසෙයි. ලේකම් මහත්තය නැත්නම් සූටර් සිංඥො මහත්තයගෙ ඇඳුම වේට්ටියයි, ජාතික ඇදුමෙ කමිසයයි. මුස්තපා මාස්ටර් කලිසම සහ කමිසෙ. මේ කට්ටියත් එක්ක පේෂකර්ම මධ්‍යස්ථාන බලන්න ගිය මම ආපහු ඇවිල්ල පොඩි සාකච්ඡාවක් හනීපා මාස්ටර් එක්ක කලා. ආණ්ඩුවේ මධ්‍යස්ථාන එක්ක විතරක් පේෂ කර්මාන්තෙ කරන්න බැරි බවත් සුප්‍රසිද්ධ මඩකලපු සරොම් වියන උදවිය මුණගැසීමට මඩ කලපු සංචාරයක් ලැහැස්ති කර ගතයුතුයි කියල මම මාස්ටෙර්ට කිව්වා. මාස්ටර් හිනාවෙලා “මඩකලපු යන්න ඕනෙනෑ. කල්මුනේට ගියහම මඩකලපු සරොම් වියන හැටි බලන්න පුලුවන්” කිව්වා. එදා තමයි දැන ගත්තෙ සුප්‍රසිධ මඩකලපු සරමෙ නිෂ්පාදකයො ඉන්නෙ මරඳමුනේ කියල. හනීපා මාස්ටර් කිව්වෙ අත් යන්ත්‍ර පේශ කර්මාන්තෙ මුලින් පටන් ගත්තෙ මරඳමුනේ, ඊට පස්සෙ ඒක කාත්තන්කුඩියටත් ව්‍යාප්ත වුනා කියල. මරඳමුනේ අත් යන්ත්‍ර දහස් ගානක් තියෙන ගමක් කියල කිව්වා. වහාම මරඳමුනේ ගමනක් සූදානම් කලා.

මරඳමුනේ සංචාරයට හනීපා මාස්ටර් මුස්තපා මාස්ටර් ලේකම් මහත්තය නැතිනම් සූටර් සිංඥෝ මහත්තය එක් උනා. අපි කච්චේරියෙ ජීප් එකක මරඳමුනේට ගියා. මරඳමුනේ තියෙන්නෙ නැගෙනහිර වෙරළෙ, කල්මුනේට උතුරින් මඩකලපු මහා මාර්ගයෙ දෙපැත්තෙ. කල්මුනේ පහු කරනකොට හම්බු වෙනව පාණ්ඩිරිප්පු ගම. පාණ්ඩිරිප්පුව අපේ දමිල සහෝදරයො ජීවත් වෙන ගමක්. ඒ ගම පහු කරනවත් එක්කම මරඳමුනේ ගම. මේ ගමේ ජීවත් වෙන්නෙ අපේ මුස්ලිම් සහෝදර ජනතාව. තවත් උතුරට යනකොට දෙමළ සහෝදර ජනතාව ජීවත් වෙන පෙරිය නීලාවනේ ගම. ඒ තමයි අම්පාර දිස්ත්‍රික්කෙ අවසාන ගම. එතනින් එහා මඩකලපු දිස්ත්‍රික්කෙ. මරදමුනේ මහ විශාල ගමක්. ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාශ හයක් විතර මරඳමුනේට අයිතියි. කල්මුනේ ප්‍රදේශෙ වැඩිම ඉගෙනගත්තු අය ඉන්නෙ මරඳමුනේ කියලයි කියන්නෙ. වෛද්‍යවරු, නීතීඥයො, විනිශ්චයකාරවරු, පරිපාලනසේවාවෙ අය, උපාධිධාරින්, ගුරුවරු ඇතුලු රජයේ නිලධරයින් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන ගමක්. මේ හැමෝටම පොදු දේ තමයි රෙදිවියන්න පුලුවන්වීම. අපි ගොවිතැන් කරනව වගේ මේ අය කරේ රෙදි වියන එක. හැම ගෙදරකම රෙදිවියන යන්ත්‍ර තිබුනා. අපි ගියහම ගමේ අයට හරි සතුටුයි. අවුරුදු දහයකින්වත් පේෂකර්ම සහකාර අධ්‍යක්ෂ කෙනෙක් ගමට ඇවිත් නෑ. හැමගෙදරකම රෙදි මැෂින් ගලවල ගොඩගහල. විවුර්ත ආර්තිකේ නිසා රෙදි විවීම කඩාවැටුන කියල කට්ටිය කිව්වෙ. සමහර ගෙවල්වල රෙදි විවීම කරා. එක තැනක රෙදි මැෂින් විසිපහක් විතර වැඩකලා. සේරම වියන්නො පිරිමි අය. දැනට කර්මාන්තෙ කරගෙන යන්නෙ සීයක විතර පිරිසක් කියලයි කට්ටිය කිව්වෙ. රෙදි මැෂින් තුන්සීයක් විතර නිෂ්පාදනේ තියන බවත් කට්ටියගෙන් දැන ගත්තා. මේ අයගෙ ප්‍රශ්න බැලුවම ඉන්දියානු අත්‍ යන්ත්‍ර රෙදි ගෙන්වීම, නූල් හා උපකරණ මිල අධික වීම, නිෂ්පාදන විකිනීම අපහසුව ආදී දහසක් ගැටලු කිව්වා. මේ අය අලෙවිය සිදුකලේ කොලඹ පිටකොටුවට. හැබැයි නිෂ්පාදන 90%ම කොටු සරොම්. ඉන්දියානු නිෂ්පාදන ලේබලයක් සහිතව අඩු මිලට පිට කොටුවට එවනව. ඒකාලෙ ඉන්දියාවෙ හදපු පලයකාට් සරමක් රුපියල් 250වෙනකොට ඒ ලේබලේ අලවපු මරදමුන සරම 125යි. සරමෙ ගුණාත්මක තත්වය බොහොම අඩුයි. ඉතින් ඉන්දියන් නියම සරම වගේ ඉල්ලුම මේ සරමට නෑ. දවසක් මරඳමුනේ ගතකරල මේ සේරම බලාගෙන ආපහු ආව. පේශකර්ම සමුපකාර හතරක් මරඳමුනේ තිබුන. ඒ සම්සම්, මොහොමදියා, මක්බූලියා, රහුමානියා කියන සමුපකාර.

මරඳමුනේ සංචාරයෙන් පස්සෙ මගෙ ඔලුවෙ කැරකුනේ පේෂ කර්මාන්තෙ දියුණු කරන්න ක්‍රමවේද හදන්නෙ කොහොමද කියල. මේ වෙනකොට පේෂකර්ම දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ විදියට පද්මසීල සිල්වා මහත්තය ඇවිත්. පේෂකර්ම දෙපාර්තමේන්තුව හොඳ තත්වයේ නූල් ලෝඩ් එකක් පකිස්ථානෙන් ගෙනැල්ල තිබුන මේ කාලෙ. මේ නූල් හොඳින් මැදපු නූල් වර්ගයක්. මිල ඉහලයි. නූලේ මානය නැත්නම් සයිස් එක 50. ඒ කිව්වෙ සරොම් වියන්න ගන්න නූල් මානය. සහකාර අධ්‍යක්ෂ රැස්වීමේදි මේ නූල් ගන්න කැමති දිස්ත්‍රික්ක ඇහුවම කවුරුත් මිල වැඩියි කියල කිව්වා. මම ගොනා වාගෙ නූල් ලොරියක් අම්පාරට ඉල්ලුව. පද්මසීල සර් මා දිහා බලල හැබැයි සල්ලි ගෙවන්න ඕන කියල කිව්ව. මමත් රෙදිවලින් හරි ගනුදෙනුව බේරන්නම් කිව්ව. මේ කථාව හනීප මාස්ටර් එක්ක කිව්වම මාස්ටර් ඔලුවෙ අත තියාගෙන කිව්ව ඔය නූල්වලින් වියල රෙදි විකුනන්න බෑ ගනන් වැඩියි කියල. සුමානයක් ඇතුලත නූල් අරගෙන පේෂකර්ම ලොරිය ආව. නූල්ටික ගබඩාවෙ බෑවම ගබඩාවෙ උපදේශිකාව කුසුමලතා ටීචර් කිව්වලු සර්ට පිස්සු හැදිලද දන්නෙ නෑ මේ අමු නූල් ලොරියක් ඉල්ලුවෙ කියල.

මුස්තපා මාස්ටර්ට කියල ඉන්දියන් සරමක් කල්මුනෙන් ගෙන්නා ගත්තු මම මරදමුනේ රෙදි වියන්නො කීපදෙනෙක් රැස්වීමකට කැඳෙව්වා. පේශකර්ම සමුපකාර සමිතිත් කැඳෙව්වා. එනකොට තමන් වියන රෙදි සාම්පල් එකක් අරං එන්න කිව්වා. නියමිත දවසෙ දහදෙනෙක් විතර ආවා. මම රැස්වීමෙදි කොලඹින් ගෙනාපු නූල් සාම්පලයක් පෙන්නුව. මේ නූල් පරීක්ෂා කරපු මරඳමුනේ වියන්නො කිව්වා නූල ඉස්තරම් කියල. මම නූල් මිල කියල කිව්වම ඒ අය කිව්වා ඒ මිලට නූල් ගත්තොත් ඒ අයට නිෂ්පාදන විකුනන්න බෑ කියල. නූල් මිල, වර්ණ ගැන්වීමේ වියදම, වියන්නන්ගේ කුලිය හා අනෙකුත් වියදම එක්ක සරමක නිශ්පාදන වියදම රුපියල් 125-130 විතරවෙයි කියල ගනන් හදල පෙන්නුව. දැන් තම නිශ්පාදනවල වියදම රුපියල් 70-75 බවත් කොලඹට රුපියල් 90–100අතර මුදලකට අලෙවිකරන්නේ ඉතා අමාරුවෙන් බවත් ඔවුන් පැවසුවා. මේ නූලෙන් නිපදවන සරමක් රුපියල්150ක මුදලකටවත් අලෙවි නොකොලොත් පාඩුවෙන බවත් එතරම් මුදලකට සරොම් විකිණීම අපහසු බවත් ඔවුන් කියා සිටියා. මම ඔවුන්ට කිව්වා දැනට කරගෙන යන නිශ්පාදනයේ තත්වය උසස් කලොත් වෙලඳපලේ තියෙන ඉන්දියානු සරොම් වලට තරඟයක් දිය හැකි බව. ඒ නිසා මේ නූලෙන් වියා අත් හදා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටියා. එක් අයෙක් ඊට එකඟවී සරොම් පනහකට අවශ්‍ය නූල් ගෙන යාමට එකඟ උනා. එහෙම හරි කරගත්තුදේ මදෑ කියල හිතල රැස්වීම ඉවර කලා. ඒ විදියටම මරඳමුනේ මජීඩ් කියන කෙනා නූල් අරගෙන ගියා. මිනිහ නූල් වර්ණ කරල සරොම් පනහක් වියල සාම්පල් එකකුත් අරගෙන මාව මුණගැහුනා. සරමේ ගුණාත්මක තත්වය ගැන මිනිහට සතුටුයි. මම ඉන්දියන් සරමත් එක්ක එකට තියල මේ සරම බැලුවා, බොහෝ දුරට සමානයි. මම මජීඩ්ගෙනුයි, හනීපා, මුස්තපා මාස්ටර්ලගෙනුයි ඇහුවා මේ සරොම් දෙකේ වෙනස මොකක්ද කියල. යොදාගෙන තියෙන නූල්වල තියෙන සියුම් වෙනස හැර බැලූ බැල්මට සමාන බවයි කිව්වෙ. සාමාන්‍ය කෙනෙකුට නූල් වෙනස හොයන්න බැරි බවයි ඔක්කොමල කිව්වෙ. මම මජීඩ්ට උපදෙස් දුන්නා ප්‍රසිද්ධ ඉන්දියානු අත්‍ යන්ත්‍ර සරමෙ වෙළඳනාමය ගහල තොගමිල රුපියල් 150වෙළඳපොලට දාන්න කියල. මිනිහ ඒ වෙනකොටත් ලේබලේ ඒ විදියට හදන්න කාත්තන්කුඩියට කියල තියෙන්නෙ කිව්වා. ඒ විදියටම වැඩේ උනා. දැන් ඉන්දියානු කොලිටි සරමක් ඒ වෙළඳනාමෙකින් පිටකොටුවට ආව රුපියල් 200/= විකුණන්න. වැඩේ සාර්තකයි. මජීඩ් ඊලඟට ගත්තෙ නූල් කිලෝ 250ක්. අනිත් අයත් වැඩේ දැනගෙන මගේ නූල් ගන්න පටන් ගත්තා. මාසහයක් යනකොට නූල් ඉවරයි. ආයිත් ලොරියක් ගෙනාවා. දිගටම මරඳමුනේට නූල් විකිනීම කලා. ඒ කාලෙ අම්පාර ස. අ. කාර්‍යාලෙ දෙපාර්තමේන්තුවෙ මාසික ආදායම ලක්ෂ හතලිහට විතර ඉහල ගියා. මේක මුලදි තිබුනෙ ලක්ෂෙටත් අඩුවෙන්.

මේ වැඩෙන් පෙනුනෙ හොඳ නූල් සපයන්න පුලුවන්නම් ඉන්දියානු නිශ්පාදන එක්ක තරඟ කරන්න අපේ මරඳමුනේ වියන්නන්ට පුලුවන් කියලයි. මජීඩ් කියන නිෂ්පාදකයා අපේ දිරිදීම මත පේෂකර්ම නිශ්පාදන තරඟෙන් හොඳම සරොම නිෂ්පාදනය කරල ස්වර්ණ සම්මානයත් පස්සෙ වතාවක් ගත්තා. අපේ ප්‍රදර්ශනවලට මරඳමුනේ නිශ්පාදන එන්න පටන් ගත්තා. මේ සම්බන්දෙ නිසා මරඳමුනේ අත්‍ යන්ත්‍ර පේශකර්මාන්තෙ දියුණුවට ඊට පස්සෙදිත් සම්බන්දවෙන්න පුලුවන් උනා. ඒ ගැනත් මීටත් වඩා රසවත් කථා තියෙනවා. අපේ රජයේ මධ්‍යස්ථාන දිරි ගන්වන්නත් මේ වැඩේ හේතු උනා. කොලඹ බීඑම් අයි සී එච් එකේ ප්‍රදර්ශනවල අම්පාරෙ කුටියට ස්තාවර ගනුදෙනුකාරයො හදාගන්නත් අපිට පුලුවන් උනා.

මරඳමුනේ වාසීන් වුන වෙල්ලතම්බි, සලාහුද්දීන් , මජීඩ් , සම්සුදීන්, ඩාවුඩ් මරික්කාර් යන අයත්, රහුමානියා, මොහොමදියා, මක්බූලියා, සම්සම් වගේ සමිති එහෙම තාමත් මතකයි. මේ සේරටම උදව්කල මාවඩිපල්ලියෙ අපේ හනීපා මාස්ටර්, නයිපට්මුනේ මුස්තපා මාස්ටර්, අම්පාරෙ ලේකම්මහත්තයා නැත්නම් සූටර් සිංඥෝ මහතා, විශය භාර නිලධාරි යූ ජී ඒ නන්දසේන, යතුරුලේඛක සුමනසිරි වාගෙ මගේ කන්ඩායම කවදාවත් අමතකවෙන්නෙ නෑ.

7 thoughts on “ඉන්දියාවට තරඟයක්

  1. චීන්නු කරන වැඩේම තමයි දිසාපතිතුමාත් කරන්න කියල තියෙන්නෙ අර ලේබලේ සම්බන්ධයෙන් 🙂

    නමුත් අපිට මුළු නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ම චීනය අනුගමනය කරන්න පුළුවන් නම් ?

    Like

    1. ඔබ හරි.ඒත් එසේවී ඇත්තේ පොතේනීතිය අවශ්‍යතාවය මත වෙනස්කිරීමට ලක් නොවනනිසයි.පොතවෙනස් කරගැනීමට අප උත්සාහ නොගැනීමත් ඊට හේතූන් කියලයි මට හිතෙන්නෙ.

      Like

  2. තුති! මඩකලපු සරම හැදෙන නියම ඉසව්ව දැනුවත් කලාට .

    Like

  3. අපේ ගමේ පන්සලට පල්ලෙහා ගොඩනැගිල්ලක තිබුණා අරුම පුදුම ඉස්කෝලයක්. ඒකට කිව්වෙ “රෙදි ඉස්කෝලෙ” කියල. ඒකට ගියේ වැඩිහිටි කාන්තාවො විතරයි. අපේ අම්මත් ඒකෙ ශිෂ්‍යාවක්. ශිෂයාවක් කිව්වට ඉතිං කාටත් තිබුනෙ රෙදි මහන්න. දිග ලීයක් උඩ ඉඳගෙන කකුල් දෙකෙනුත් පොලු දෙකක් පද්දන ගමං අතිනුත් ලණු දෙකක් මාරුවෙන් මාරුවට අදින එක තමයි රෙදි විවිල්ල. ඔය යන්තරේ වැඩ කරද්දි ඒකෙ මැද හරියෙ තියෙන හාරපු ලී කොටයක් දිගේ දෙපැත්තම උලට තියෙන කොල්ලෑවක් වගේ එකකුත් දෙපැත්තට ගමං කලා. අම්මත් එක්කම ඒ මැසිමෙ නැගල හිටිය මං ඒ කොල්ලෑව දුවත්දි ඒක අල්ලන්න ගිහිං අත තලාගත්තා. අපේ අම්මා බෙස්සීට්, සාලු එහෙම මැහුවා. ඒකෙ තව දහදොලොස් දෙනෙක්ම හිටියා.

    කාලෙකදි ඒක වැහිල ගියා. අපේ අම්මත් රෙදිවියන මැසිම සල්ලිදීල අරගෙන ගෙදර ගෙනාව. තාත්තා ඒක ගලෝල අටුවට දැම්මා. පස්සෙ කාලෙකදි එයිං ලී කෑලි අරං මට ඉස්කෝලෙට ගෙනියන්න ඩෙස්සෙකක් පුටුවක්, බංකුවක් එහෙම හදාගත්තා. දැන්නං රෙදි ඉස්කෝලෙ බිමටම සමතලා වෙලාලු. ඒකෙ වැඩකරපු අයගෙනුත් ඉතුරු කීපදෙනයි. ඒ දවස්වල මැසිං කැන්නහම හදාදීපු වඩුඉස්කෝලෙ මහත්තයත් පහුගිය කාලෙ නුහුගුනේ හැදිල කියෝ කියෝ ඇවිද ඇවිද හිටියා. දැන්නං එයත් ඉන්නවද දන්නෑ. දැං අපේ ගංවල සාපෙල පාස්වෙලා උසස්පෙල ඇනගත්තු ගෑල්ලමයින්ට යන්න රස්සාවක් නෑ. දලු කඩන්න කැමති නෑ. අත් සවුත්තු වෙනවනෙ. ගාමන්ට් යැව්වොත් අයාලෙ යනව. ඒ හංදා ගෙදරිං යවන්නෑ. ඒ හංදා ඒ හුඟක් අය වැඩ කරන්නෙ Facebook එකේ.

    Like

    1. ඔය රෙදි මැසිමෙ දුවන කොල්ලෑවට කියන්නෙ ෂටල් එක කියල.පාපොලු දෙකක් පාගල වියන්නෙ සරල මෝස්තර මෝස්තරේසංකීර්නවෙනකොට පාපොලු සංඛයාව වැඩි වෙනවා.උපරිම පාපොලු දොලහයොදාගෙන සංකීර්ණමෝස්තර වියන අය අම්පාරෙ හිටියා.විවෘත ආර්ථිකේ නිසා මේව විනාශ උනා.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s