එගොඩ ආච්චි.

අපේ අම්මගෙ අම්මට එගොඩ ආච්චි කියලයි අපි කිව්වෙ.එහෙමකිව්වෙ ආච්චිගෙ ගෙදර තිබුනෙ ගඟෙන් එගොඩ නිසයි. කන්නන්ගර ගොඩේ අපේ පරම්පරා මහ ඉඩම අයිනෙන් තිබ්බ ඉඩමක ආච්චි ජීවත් උන නිවස තිබුනා.මට අවුරුදු දහයක් විතර වෙනකම් ආතාත් ජීවතුන් අතර හිටියා.මහදෙන්න ඇරුනම ඒගෙදර අපේපොඩිමාමත් හිටියා.මම ස්කෝලෙ හතරෙ විතර ඉන්න කාලෙ ආච්චිලගෙ ගෙදර නැවතිලම හිටියා.ඉස්කෝලෙ ගියෙත් ආච්චිලගෙ ගෙදර ඉදන්.අපේඑගොඩ ආච්චි උඩහ ගෙදර ආච්චි නැත්නම් තාත්තගෙ අම්මට වැඩිය වෙනස්.උඩහගෙදර ආච්චි බණකතා කවි නෙලුම්කවි තලමල්කවි භාවනා කෙම්ක්‍රම වගේ දාහක් දේවල් දැනගෙන හිටියා.හැබැයි එගොඩ ආච්චි ඒවගේ දේවල් ගැන කිසිඋනන්දුවක් පෙන්නුවෙනෑ.එගොඩ ආච්චිගෙ විශේෂඥ තාවය තිබුනෙ වගාවෙ හා සත්ව පාලන අංශවලයි.වගාවකිව්වම අලබතල එලවලු පලා වාගෙ ආහාරයට ගන්න පුලුවන් හැමදෙයක්ම ගෙදර වත්තෙ වවන්න එගොඩ ආච්චි ට තිබුනෙ ලොකු උනන්දුවක්.ඒඇරුනම අවට ඉබේවැවෙන ගහකොලවලින් රසවත් කෑම හදන විදිය ආච්චි දැනගෙන හිටියාදවල්ට උයන්න ලැහැස්තිවෙලා ආච්චි වත්ත පහලට ඇවිදගෙන යනව.ටිකක් කුදුගැහිලහිටපු ආච්චි වත්ත පහල හිමිහිට ඇවිදගෙන ගිහිල්ලා විනාඩි පහලොවකින් විතර ආපහු එන්නෙ ඔඩොක්කුවෙ ලොකු පොඩියක් හදාගෙන .

“පුතේ ඔය වට්ටිය ගනින්කො” කියල ගෙට ගොඩවෙන ආච්චි මම තියන වට්ටියට අර ඔඩොක්කුව හිස් කරනවා.වට්ටිය පිරෙන්න කොලවර්ග ගොඩක් වැටෙනවා.

“මොනවද ආච්චියෙ මේ කොල” කියල ඇහුවම හිමිහිට අරකොලටික වෙන්කරන ගමන් එකඑකවර්ගෙ වෙනම පෙන්වනවා.
“මේතියෙන්නෙ මැල්ලකොල,මේඅර වත්තපහලවැලේ දඹල කොලටිකක් මේමොනරකුඩුම්බිය,මේසුදුපාටකොල මුස්සැන්ද,”ඔහොම කිය කියා කොල හොදට පිහදාල ගොනුකරනවා.

“ඉතින් මේහැම කොලේම උයනවද?” මා අහනවා.

“නෑ පුතේ මේ මැල්ලුම හදන්න.කලවම්පලා මැල්ලුම කියන්නෙ මේකටයි.බොහොමරසයි ගුනයි.හිමිහිට මේකොලටික ගොනු කරපන් පුතේ මම හාල්ටිකක් ලිපේතියනකම්.”කියල ආච්චි හාල් ලිපේතියන්න යනවා

මම කොලටික ගොනුකරල ඉවරවෙන කොට ආච්චි පොඩි පිහියක් අරගෙන ඇවිත් කොලටික හිමිහිට ලියන්න පටන් ගන්නවා.ඒ අතර තව එකඑක කොලවර්ග වලින් කොල දෙකතුන කඩාගෙන එන්න කියන්නෙ මට.මේවිදියටආච්චිකොල මැල්ලුම හදනවා.ඒඅතර තව වෑංජනයක් හදල කරෝල හොද්දකුත් හදනවා.කරෝල හොද්දලිපේ තියල බලාගන්න මටභාර දීලා ආච්චි ගිහින් පැදුරක් වියන්න ගන්නවා.ආච්චි මලු පැදුරු මාගල් වියන්න දක්ෂයි.හොද්ද ඉදෙන වෙලාව අතරතුර පන්ගස් දහයක් වත් වියන්න පුලුවන්කියලයි ආච්චි හිතන්නෙ.හොද්ද හිදිල සුවඳ ගහනකොට ගින්දර ඇදල දාල ආච්චිට වාර්තා කලාම ඉතිරි කොටස එයාභාරගන්නවා.

“පුතේ බත් කන්න කලියෙන් ඇලට ගොහින් නාගෙන වරෙන්කො.ඔයගාල් අස්සෙ රිංගල කොන්ඩෙත් වලහැඩියගෙ වගේ වෙල තියෙනඑකේ.”ආච්චි කියනව.එහෙම නාන්න මම කැමති නෑ.මම නාන්නෙ හපු හෙට්ටිත් එක්ක ගඟේ.ඒහින්දම

“නාන්න බෑ වගේ උගුරත් කහනව” කියල මම ආච්චිට උත්තර බඳිනව.

“එහෙනම් හෙම්බිරිස්සාව හැදෙන්න වෙන්නැතිකොහෙද අර කොලුවත් එක්ක ඇලෙයි කැලෑවෙයිනෙ හැම වෙලේම.”
ඔහොම කියල ආච්චි කුස්සියට ගිහින් මොනමොනවදෝ අවුස්සනව.මගෙ ඕනෑකම තියෙන්නෙ කාල ඉක්මනට හපු හෙට්ටිත් එක්ක සෙල්ලමට යන්න.ඒත් ආච්චි කුස්සියෙ මිරිස් ගල ගාව මොනවද අඹරන්න හදනව.මම කුස්සියට එබෙනවා.

“මොකද පුතේ බොට බඩගිනිද?පොඩ්ඩක් හිටපං මම උඹේ උගුර කහනව කිව්වනිසා අබ ලුණු මිරිසක් හදනව බත් කන්න.”

“අබ ලුණු මිරිසක්?තිත්ත ඇතිනේ ආච්චියෙ” මම කෙඳිරි ගානවා.

“ඩිංගක් හිටහංකො හදල දෙන්න බලපං එතකොට තිත්තදකියල”

කිව්වත්වගේ අබලුණු මිරිසත් එක්ක ආච්චි බෙදල දෙන බත් පිඟාන මාර රසයි.ලෝකෙ රසම කෑම උයන්නෙ ආච්චිල කියලයි මට හිතෙන්නෙ එතකොට.

“කොහොමද අබලුණුමිරිස රසද?”ආච්චි අහන්නෙ හිනාවෙවී.

“රසයි රසයි දිවියලෝක රසයි”මමත් හිනාවෙලා කියනව.

“හා එහෙනම් කාල කොහෙවත් යන්නෙ නැතුව හිටිං අද සෙල්ලමට එහෙම යන්නෙ නෑ ඕං”ආච්චි නියෝගයක් දානවා.මම බත්කාල ඉවරවෙල අඹගහ යටට ගිහින් හපු හෙට්ටිගෙ ගෙදිහා බලාගෙන .

“හුහ් හූ,හූඌ” කියල හූවක් තියනවා.විනාඩිදෙකක් යන්න ඉස්සෙල්ල “හුහ් හූ හූඌ” කියල පිලිතුර එන්නෙ හපු හෙට්ටිගෙන්.ආයෙත් පාරක් “හුහ් හූ හූඌ” කියල සංඥාව යැව්වෙ හපුහෙට්ටිට මෙහාට එන්න කියලයි.මුලින් හූව තියපු කෙනා පිලිතුරු හූවට පස්සෙ ආයිත් හූවක් තියන්නෙ උඹ මෙහෙට වරෙන් කියලයි.ඒ අපි දෙන්නගෙ සම්මුතිය ඒකාලෙ.එහෙම වෙන්නෙ තමන්ට වැඩිහිටියෙක්ගෙන් එලියට යෑමට විරුද්ධ නියෝගයක් ලැබුනම.ආච්චි ගෙන් ලැබුනු කොහෙවත් නොයෑමේ නියෝගෙ නිසා මමත් අර කැඳවීමේ සංඥාව යැව්වා.

ටිකවෙලාවක් අඹගහ ලඟ ඉඳන් පහල කුඹුරෙන් එගොඩ හපු හෙට්ටිගෙ ගෙවල් දිහාබලාඉන්න කොට මෙන්න මිනිහ කුඹුරෙ නියරදිගේ එනව.නියරවල්දිගේ කුඹුර පහු කරල මියනපලාවෙ ඇලට බැහැල ඇලෙන් ගොඩවෙලා කන්දනගින හපු හෙට්ටි විනාඩි ගානක් ඇතුලෙ අපේ ආච්චිලගෙ ගෙදරට එනවා.මිනිහටත් මටත් සමාන කම් ගණනාවක් තියෙනවා.අපි දෙන්නම සමානවයසෙ මිනිහ මට වැඩිය් පොඩ්ඩක් වැඩිමල්.දෙන්නම ආච්චිලගෙ ගෙදර තමයි ඉන්නෙ.එකම ස්කෝලෙට යන්නෙ.මමපොතේ පතේ වැඩට දක්ෂය නිසා මිනිහට වැඩිය ඉහල පංතියෙ.දක්ෂතාපැත්තෙන් මම ඉහල පොතේපතේ වැඩවලින් විතරයි.අනිත් සියලු දෙයින් මිනිහ මට වැඩිය දක්ෂයා.මොනවද මේ සියලු දේ කිව්වොත් ගස්නැගීම කුරුම්බකැපීම,හිඹුටුවැල්දිගේ එල්ලීගෙන ඉහලට යාම,දෙබරෙට වදින්න ගල් ගැසීම, දිවීම,කැටපෝලයෙන් ඉලක්කෙට විදීම,පහුරු බැඳීම හා පැදීම,දඬොල් වදකැඩීම වාගෙ දේවල්. ඒ වගේ අපේ විනෝදාංශ වලදි නායකය වෙන්නෙ හපු හෙට්ටි.මම කීකරුව මිනිහ ගෙ නියෝගවලට ක්‍රියාකරනවා.හැබැයි ඒමොකක් හරි වැරදිලා ලොකු අයට උත්තර සපයන්න උනොත් මම එතනදි ලොක්ක වෙලා බොරු උත්තර ගෙතීම තිගැස්සීමක් නැතිව ඒවා කීම වාගේ දේවල් සැලසුම් කරනවා.

හපු හෙට්ටි ඇව්ල්ල ගල් වැටිය උඩ වාඩි උනා.අද මොකද කරන්නෙ කියල කතා උනා.අද එලියෙ ඇවිදීම තහනම් නිසා ආච්චිට කියල වෙරලු කන්න යමු කියල කතාඋනා.මම ආච්චිට කිව්වා වෙරලු අහුලන්න යනව කියල.වෙරලු ගහ තියෙන්නෙ කන්දෞඩින් .ගේ ලඟමයි.ඒක හින්ද ආච්චි අවසරය නිකුත් කලේ ගහට නැගීමෙන් තොරව වෙරලු අහුලා ගැනීමට පමනයි. හපු හෙට්ටිටත් තද අවවාදයක් දෙනවා ගස් නොනැගීමට.අපි දෙන්නසැනෙන් වෙරලු ගහමුල.විනාඩි පහෙන් වෙරලු ගහමුල සෝදිසි මෙහෙයුම අවසන්.ඊලඟ අදියර වෙරලු ගහට පොලු ගැසීම.ඒකෙන් වෙරලු ගැටටිකක් කඩාගෙන එතනම වාඩිවෙලා වෙරලු ගැට කනවා.

“යමුද හිඹුටු කඩන්න?” මේලඟමතියෙනවා.යෝජනාව හපුහෙට්ටි
ගෙන් .ආච්චිව අමතක වෙන මම ඒකට එක පයින්.එතනින්ම කැකිල්ල මානානෙ ඉහලට යනවා.ඇකිල්ල ගාල එකදිගට අක්කර තුන හතරක පැතුරුන එකක්.තැනින්තැන දං හිඹුටු කැලෑකුට්ටි තියෙනවා.හිඹුටු වැලක් දෙකක් බරුගහගෙන දං කමින් කැකිල්ල මානානෙන් එහාට ඇතුල් වෙන්නෙ දන්නෙම නැතුව. එහායින් තියෙන කැලේ ගස් අස්සෙන් අන්ද පහලට යන්නෙ ගඟට බහින්න බලාගෙන.කැලේ දි අලුබෝ ගහක් අහු උනොතින් හපු හෙට්ටි ගහට බඩ ගානව .පොඩිඅතු දෙකක් තුනක් කපල බිම දාලා එතනම ඉදගෙන අලුබෝ කනවා.තවපුලුවන් තරම් අලුබෝ ගෙඩිත් එක්ක රිකිලි මිටියකුත් බැඳගෙන පල්ලමට බහිනවා.ඔයකැලේතියන ගහකොල වැල්වර්ග බලබලා පල්ලම් බහින කොට දඬු ලේන්නු වඳුරො වාගෙ උඩින්‍යන සත්තු මීමින්නො හාවො වගේ බිමින් යන සත්තුත් මුනගැහෙන වෙලාවල් තියෙනවා.ඔය අතර වතුර තිබහ හැදුනම කරන්නෙ කොරොස වැලක් උඩින් කපල කටට අල්ලන එකයි.නැත්නම් බාඳුරාවැලේ වැහුනු පියන එක්ක තියෙන බොකු දෙකතුනක් ඇරල බොනඑකයි.පැයක් හමාරක් යනකොට ගඟේ මහ ඕකන්දට බැහැල.එතන ඉඳන් ගඟ දිගේ ඇවිත් කන්නන්ගර ගොඩේ පශවුලෙ සිදලන් ගහ ලඟට කිට්ටු කරනව.සිදලන් ගහෙන් ගෙඩිදෙකකුත් කඩාගෙන කකා ආච්චිලගෙ ගෙදරට කිට්ටු කරන්නෙ බයෙන් බයෙන්.

ආච්චිලගෙ ගේ තියෙන්නෙ පාරෙ ඉඳන් ටිකක් උසින් නිසා ගල් වැටියෙන් ගොඩ වෙනකම්ම මිදුල පේන්නෙ නෑ.පහලින් යන අපි දෙන්නට ඇහෙනවා ආච්චි කවුරු හරි එක්ක කථා කරනව.තවත් බයයි අම්මඑහෙම ඇවිල්ලද කියල.ආච්චිගෙ තහනම කඩලා කැලේට වැදිලා දැගලුව මදිවට ගඟදිගේ ඇවිල්ල තෙමිල තවත් නීති විරෝධී වැඩ කරලනෙ ඉන්නෙ.නීතිකඩපු එකා බයෙන් ඉන්නව කියන එක අපිට තේරුනේ පොඩිකාලෙදිමයි.ඉතින් හෙමිහිට ගිහින් ගල්වැටිය පහල ඉඳන් ආච්චි ගෙ කථාව අහගෙන ඉන්නෙ කථාකරන්නෙ කා එක්කද කියල දැන ගන්න.අපිට ඇහෙන්නෙ මෙහෙම කථාවක්.

“හිමිහිට කාපන් මොකෝ බොට ලොකු රාජකාරියක යන්නයැ.මොකෝ නියවන්නෙ.කොල්ලො ගල් ගැහුවද?උන් එහෙම කරන්නෙ කොලොප්පමටනෙ.උඹට පුලුවන්නෙ පැනල බේරෙන්න.හා හා ඔය අවුස්සන්නෙ නැතුව එකඑක අරගනින් උඹත් එක්ක බෑනෙ”… ඔයවිදියෙ කථාවක් ඇහෙනව හිතාගන්න බෑ මොකද උත්තර දෙන කෙනෙක් නෑ.කවුරු හරි ඇවිල්ල ආච්චි මොනවහරි කන්න දීල බවනම් පැහැදිලියි.හිමිහිට ගල් වැටියෙන් ඉස්සිල බලන කොට පේන්නෙ ආච්චි කොස් වට්ටියෙ කොස් මදුලු ශුධ කරල දානවා.කිරා කියල අපි කිව්ව වඳුරු තඩියා ආච්චිට අනිත් පැත්තෙන් වාඩිවෙලා ආච්චි ශුධකරලවට්ටියට දාන කොස් මදුලු කනවා.කිරාකැලෑ වඳුරෙක් වුනාට ඉන්නෙ ගමේවතුවල.අපිට අහු උනහම ටිකක් උඩ අතුවලට පැනල අපිට නියෝනවා.අපී හිඹුටු ගෙඩි අඹකෑලි වලින් වීසිකරල ගහන කොට අල්ලගෙන කනවා.කාල ඉවරවෙලා අපි අතේ තියෙනව දැක්කම අත දික්කරගෙන ඉන්නවා.ඉතින් අපි මේකව රවට්ටන්න ගලක් අරගෙන කාට ලඟට කරල කනබව පෙන්නල කිරාට වීසි කරනවා.ඌ ඔලුවපාත් කරල ගලෙන් බේරෙනවා.මෙන්න මේ කිරා ආච්චිගෙ කොස්වට්ටියෙන් කොස් කනවා.වටපිට බලනවා එක අතකකොස් මදුලු අනිත් අතින් ඇලපත කහනවා.ආච්චිගෙ දිහා බලනවා.කොස්මදුලු ගන්නවා. මරු වැඩේ.

හපු හෙට්ටියි මමයි මේසෙල්ලම හොරෙන් බලා ඉඳල අපිට අනතුරක් නැතිනිසා මිදුලට ගොඩ උනා අපිවදැක්කගමන් කිරා වට්ටියෙන් කඩිමුඩියෙ කොස්මදුලු මිටක් ගත්තා මිදුලදිගේ ගිහින් පේර ගහට පැන්නා.එතකොට තමයි ආච්චි හැරිල බැලුවෙ.

“හා මේ එන්නෙ වෙරලු අහුලන්න ගිය ජෝඩුව කැලෑපීරල හඩු ගැහිල මදෑමම හෙම්බිරිස්සාවට අබලුණු මිරිස් කවල පරිස්සම් කලා”

“ආච්චිට අලුබෝ ගෙනාවා” කියල අලුබෝ රිකිලි ටික ආච්චි ලඟින් තිබ්බා.

“අනේ පුතේ අර කිරාටත් කිනිත්තක් දීපන් කොස්මදුලුකකා ඉඳල බොලගෙ සද්දෙට පැනලගියා ඔයපේරගහ හරියෙ ඇති ඌට පේන්න තියල මෙහාට වරෙන් ඌඅරගනියි.”ආච්චි කිව්වා.

ඔන්නඔයවගේ තමයි අපේ එගොඩ ආච්චි.කතාන්දර කවි බණ භාවනා දන්නෙ නැතුවට සියලු සත්වයින්ට ආදරෙන් කරුනාවෙන් සකන ආච්චි වටාපිටාවෙ කිරිකපන අය කාටත් තේ බොන්න දුන්නෙ මොනව හරි කෑමක් එක්ක.එක්කො බතල ටිකක් හරි තම්බනව. රොටි පුච්චනවා.හුලංකීරිය තම්බනවා බත් වේලල කොටල පැනිදාල ගුලි හදනවා.මොනවහරි ආච්චිගෙ තේවතුරට කෑමක් තියෙනවා කීදෙනෙක් ආවත් හැමෝටම ටිකටික හරි දෙනවා.පොලේ ගියොත් එනකොට පාරදිගට ඉන්න මීදෙන්නු එලදෙන්නුබැදපු කඹේලිහල වතුරට ගෙනිහින් වතුර පොවල කන්න තියෙන තැනකින් බැඳල තමයි එන්නෙ.අයිතිකාරයො අඳුනන අයවත් නොවෙයි.එහෙම ආවහම අපි අහනවා

“ඇයි ආච්චියෙ පරක්කු උනේ?”

“කොහෙදපුතේ එන්නෙ අර එනපාරෙ එලදෙනක් බැදල හිටිය. ඒකිට පිපාසෙ දිව ඇදිල හිටියෙ.මගෙ මූනදිහා බලල වතුර ඉල්ලද්දි දාල එන්න පුලුවනෑ.මම ඇලට අරංගිහින් වතුර බොන්න දීල තනකොල තියන තැනකත් ගැට ගහලයි ආවෙ” කියනවා

“ආච්චිගෙන් වතුර ඉල්ලුවෙ කොහොමද එලදෙන.?”අපි අහනවා.

“උන් බලනවිදියෙන් තමයි පුතේ තේරෙන්නෙ වතුර ඉල්ලනවද? බඩගිනිද? පැටියට කිරිදෙන්න ඕනද? කියල.බොලාට ඕවතේරෙන්නෙ නෑ.”

ඔන්න ඔහොම ආච්චියෙක් තමයි මගෙ එගොඩ ආච්චි මිරිහාන කම්කානම්ගේ බේබිනෝනා කියන අපේ ආච්චිඑයාගෙ පවුලෙ මද්දුමී.ආච්චිගෙ සහෝදරයගෙයි සහෝදරියො තුන්දෙනාගෙයි දරුවන්ගෙ මද්දුම අම්මා තමයි අපේ ආච්චි.ඒ ගොල්ලො ඔක්කොම අපේ ආච්චිට කතාකලේ එහෙමයි.මම මේරස්සාවට ඇවිත් මුල් කාලෙ ගමේ ගියහම ආච්චි බලන්න යෑම අනිවාර්‍යෙන්ම කරනවා.ආච්චිගෙ ආදරසංග්‍රහ භුක්ති විඳලා එන්න හදන කොට රුපියල් 50/= දෙනවා ආච්චිට බෙහෙත් තෙල් ගන්න කියල.

“හප්පච්චියේ පුතේ රටක් ගන්න සල්ලි නෙවැ මෙයාකාර මක්කටෙයි බේත් තෙල් ගන්න ඔය සුපියල් දෙකක් ඇත්නම් මදෑ.”ඔන්න අපේ ආච්චිගෙ ආර්තික දැනුම.ආච්චි හිතන් ඉන්නෙ ඒකාලෙවගේ තමයි තාම කියලයි.ඔහොම ඉදල වයස්ගත උන මගේ එගොඩ ආච්චි දිවියලෝකෙ ගියේ 1987අවුරුද්දෙ.අදත් හැබැයි එදාවගේම අපේ හදවත්වලජීවත් වෙනවා.

12 thoughts on “එගොඩ ආච්චි.

  1. අද නම් දානව දිසාපතිතුමාට වරුවක නිවාඩුවක් කාරිය දාල උත්තර දෙන්න ඕන ප්‍රශ්ණ පත්තරයක් 😀

    දඬොල් වද කියන්නේ අපි කනමී කියන විදින්නෙ නැති උනාට ඇවිස්සුනම කොණ්ඩෙ පුරා ඇලෙන, කන් අස්සේ රිංගන පුංචි මී මැහි විශේෂයද ?

    හිඹුටු හම්බ වෙච්චි මේ ලිපිය අමුණනව මන් වගේ කොලඹ කාක්කන්ට පේන්න 😀

    පළතුරු බෝග පර්යේෂණ අයතනය

    අලුබෝ ගෙඩි කියන්නේ මොනවද ?

    කොරොස වැලක් කියන්නේ මොනවද ?

    බාඳුරා බොකු මොන රහද ?

    සිදලන් කියන්නේ මොනවද ?

    ඔය පළතුරු ගඩා ගෙඩි වල පින්තූර දැම්මොත් පිං 🙂

    Like

    1. හත් ඉලව්වයි දැන් ඉතින් පොටෝ ගහන්න අලුබෝගහක් හොයා ගන්නත් වෙනවනෙ
      අලුබෝ ගහ මධ්‍යම ප්‍රමානයේ ගහක්.ලී එහෙමත් වහලවල් වලට ගන්නවා.ගෙඩි මාදං ගෙඩිවගෙයි.ඉදුනම කලු පාටයි.මාදංවලට සමාන රසක් තියෙන්නෙ.තෙත් කලාපීය වනාන්තරවල හැදෙන ගහක් වට අඩි හයක් හතක් විතර මුල හරිය මහත් වෙනවා.උස අඩි 30-40විතර ඇති.

      කොරොස්ස වැල ගස්වල එතිල ඉහලට හැදෙන වැලක්.පුස්වැල් විතර ලොකු වෙන්නෙ නෑසාමාන්‍යෙන් අත් දන්ඩක් විතර මහතයි.වතුර තිබහවෙලාවට වැල කපල ඉහලින් තියෙන කෑල්ලට කට ඇල්ලුවහම ටැප් එකෙන් එනවවගේ වතුර කටට වැටෙනවා.

      බාඳුරා බොක්ක වතුර තමයි තියෙන්නෙ.හැබැයි වතුර රසට වැඩිය පුංචි වෙනසක් තියෙනවා.

      සිදලන් කියන්නෙ දොඩම් අයිති පවුලේ ගහක්.ජම්බෝලවලටවඩා කුඩා පැනි දොඩම්වලට වැඩිය ලොකුපැනිදොඩම් තරං පැනිරස නැති ඇඹුල් දොඩංතරං ඇඹුල් නැති සිදලන් බික් ගලවගෙන දොඩම් වගේ කෑ හැකි.

      Like

    2. හත් ඉලව්වයි දැන් ඉතින් පොටෝ ගහන්න අලුබෝගහක් හොයා ගන්නත් වෙනවනෙ
      අලුබෝ ගහ මධ්‍යම ප්‍රමානයේ ගහක්.ලී එහෙමත් වහලවල් වලට ගන්නවා.ගෙඩි මාදං ගෙඩිවගෙයි.ඉදුනම කලු පාටයි.මාදංවලට සමාන රසක් තියෙන්නෙ.තෙත් කලාපීය වනාන්තරවල හැදෙන ගහක් වට අඩි හයක් හතක් විතර මුල හරිය මහත් වෙනවා.උස අඩි 30-40විතර ඇති.

      කොරොස්ස වැල ගස්වල එතිල ඉහලට හැදෙන වැලක්.පුස්වැල් විතර ලොකු වෙන්නෙ නෑසාමාන්‍යෙන් අත් දන්ඩක් විතර මහතයි.වතුර තිබහවෙලාවට වැල කපල ඉහලින් තියෙන කෑල්ලට කට ඇල්ලුවහම ටැප් එකෙන් එනවවගේ වතුර කටට වැටෙනවා.

      බාඳුරා බොක්ක වතුර තමයි තියෙන්නෙ.හැබැයි වතුර රසට වැඩිය පුංචි වෙනසක් තියෙනවා.

      සිදලන් කියන්නෙ දොඩම් අයිති පවුලේ ගහක්.ජම්බෝලවලටවඩා කුඩා පැනි දොඩම්වලට වැඩිය ලොකුගෙඩියක්.

      Liked by 1 person

      1. බොහොම ස්තුතියි ඔබතුමාට !

        කොරොස්ස වැල් කියන්නෙ ඔය පහළින් දාල වීඩියෝ එකේ ජාතිය එක්ක වෙන්න ඕන එහෙනම් :

        Like

  2. ඔබතුමාගේ අත්දැකීම් පැරණි සිංහල නව කතා සිහිපත් කරයි. නමුත් ප්‍රබන්ධ වලට වඩා සැබෑ ජීවිතයේ විවිධ සිදුවීම් ඉතා රසවත්. මටත් කුඩා කල කරපු වැඩ මෙය කියවන විට මතක් වෙනවා.
    හපු හෙට්ටිගේ දක්ෂතා වලට අදාල වැඩ දැන් කාලේ අපේ ලමයි දන්නේ නෑ. මගේ ගම හිඹුටානේ කොළඹින් කි.මි 10 ක් උනාට පොඩි කැලෑ ගතියක් ඒ කාලේ අපේ ගම් වලත් තිබුණා. හිඹුටුත් තිබුනා. 😃
    දිගටම ලියන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!

    Like

  3. ධර්මානුකූල ව ජීවත්වෙච්ච ‘එගොඩ ආච්චි’ට හිටිය මුණුපුරාලයි, කිරාලයි ගැන කතාව නම් මරු. ඉස්කෝලෙ පාඩම් පොතකට දාන්න පුලුවන් නම් බොහෝ දෑ උගන්නන්න මේ රසවත් ලියවිල්ලෙන් පුලුවන් කියලයි මට හිතෙන්නෙ ‘ලොකු සර්’. කලින් තිබුන නෑයින් සොයා’ කතාවට වඩා මේක රසවත්.

    Like

    1. බොහොම පිං මට දෙන දිරියට.ඔහොම පරම්පරාවක් රටේ ජීවත් උනා කියල අනිත් පරපුරට දැනගන්නයි මේව ලියන්නෙ.

      Like

  4. මං අපේ ආච්චම්ම ගැන ලියපුව ඉතිං ඔය අහලකිංවත් තියන්න බෑ. අපේ ආච්චම්මා (අම්මගෙ අම්මා) තනිකර ඕකෙ අනික්පැත්ත. හැබැයි ඒකටත් එක්ක හැඩිගල්ලෙ ආච්චම්මා, ඒ කිව්වෙ ඔබතුමා පබිලිස් අයියා කියන අපේ හැඩිගල්ලෙ ආතගෙ බිරින්දෑ. උන්දැ අපේ අම්මට වැඩිය අවුරුද්දයි වැඩිමල්. හැබැයි උණ්දැගෙ හිනාවට බඩ පිරෙනවා. අවුරුද කාලෙට මහගෙදරට පිරෙන අපි රංචුවටම කන්න හොදි මාලුපිනි අට දහයක් හදලා හැමෝටම අඩුපාඩු බෙදනවා. ඉස්සර මං සිංහල අවුරුද්දට දවස් දෙක තුනක් ඔය ගමේ තමයි. ඔබතුමා හපුහෙට්ටි එක්ක කරක්ගහපු ගඟේ මාත් නාලා තියෙනවා පැය දෙක තුන. ආතගෙ විදිලි බලාගාරෙ වතුර බට ඇඹරුනාම ඒක බලන්න ඔය කැලේ රිංගලත් තියෙනව අනන්ත. මාලු බාන එකයි, ඉස්සො අල්ලන එකයි විතරයි නොකලෙ. මං සත්තු මැරිල්ලට අකමැති හන්දා. ආතනං සමහර දවසට ගල් හැක්කවල් අස්සෙ ඉන්න ඉස්සං එහෙම අල්ලං එනව. ඒ කිට්ටුවම ගෙදරක ආච්චිඅම්මෙක් කිව්වා උන්දැව පිඹුරෙක් වෙලාපු හැටිත්.

    පවුලෙං දොට්ට විසික්ක වුනාට පස්සෙ අවුරුදු හත අටකිං හැඩිගල්ලෙ පැත්ත පලාතෙ යන්න බැරිවුනා. තාමත් ගමක් කියලා යමක් ඉතුරු වෙලා තියෙන්නෙ ඔය ඩිංග විතරයි. කනක් ඇහිල ඉන්න තියෙන්නෙත් ඔය ටිකේ විතරයි. ඒකත් හබක් වෙයිද කියල බයයි.

    Liked by 1 person

    1. අපේ පබිලිස් අයියගෙ හාමිනේ සුදු අක්කා.සුදු අක්කගෙ ගම කොඩිප්පිලි කන්ද මගෙ හිතේ.පබිලිස් අයියගෙ ඇවැස්ස නෑනා.බොහොම කරුනාවන්ත කෙනෙක්.පබිලිස් අයිය පුංචි කාලෙ අපේ වීරයෙක්.කරදඬු උස් වුනාට පස්සෙ පබිලිස් අයියත් එක්ක රාත්‍රි දඩයම් සංචාරවල ගිය හැටි ගැන අපූරු අත්දැකීම් මට තියෙනවා .ඉදිරියෙදි ඒවත් ලියවෙයි.දැන් පබිලිස් අයියයි සුදු අක්කයි මහගෙදර පුතාටදීල කන්දෙන් පොඩි ගේපොඩ්ඩක් හදාගෙන අපූරුවට ඉන්නවා.

      Liked by 1 person

    2. අනේ පලයන් සුරන්චියෝ යන්න බොලැයි ආත්තම්මටයි දැතිහුළහ නැන්දටයි මොකුත් කියනවා නෙමෙයි 🙂

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s