ජනපදේ කථාව

එගොඩ ආච්චිගෙ කථාවෙන් පස්සෙ ආපහු ගම ගැනම ලියන්න ඕන කියාහිතුනා.එගොඩ ආච්චිගෙ ගේ තිබුනෙ මියනපලාවෙ කන්දෙ .මියනපලාවෙ කන්ද කිව්වෙ මගුරුගඟේදකුනු පැත්තෙන් එන වනන්තරේ කෙලවර.වනන්තරේ කෙරවලේ තියෙන සින්නක්කර ඉඩම කන්නන්ගර ගොඩ.ඒක අයිනෙන් රජයේ බලපත්‍ර මත දීපු ඉඩම් කීපයක් තිබුන.ආච්චිල හිටියෙ එයින් එක ඉඩමක.අපේ ආච්චි ගෙ ගම ගාලු කෝරලේ ධනවල. ධනවල ගම කියන්නෙ ගාලු දිස්ත්‍රික්කෙ නෙලුව පැත්තෙන් අන්තිම ගම.එතනින් මෙහාට කලුතර දිස්ත්‍රික්කයෙ තිනියාවල ගම.ධනවලයි තිනියාවලයි වෙන්වෙන්නෙ රන්කැට ඇල කියන ඇලෙනුයි.අපේ ආච්චිගෙ මහගෙදරට කිව්වෙ කංකානම් කඩේ කියල දැන් කංකානම් කඩේ ගෙදර ඉන්නෙ මගේ ලොකු අම්ම.ආච්චිගෙ නංගි කෙනෙක් හිටිය වඩුකඩේ ගෙදර ඒගේ තියෙන්නෙ තිනියාවලගමේ කලුතර දිස්ත්‍රික්කෙ.බස්නාහිර පලාතෙ.මහගේ දකුනුපලාතෙ ගාලු දිස්ත්‍රික්කෙ. ධනවල ගමේ.හැබැයි හයියෙන් කතා කරහම මේගෙවල් දෙකට ඇහෙන දුරින් තිබුනෙ.අපිට පුංචිකාලෙ හරි පුදුමයි.මේ පිහිටීම ගැන.ලොකුඅම්මලගෙ ගෙදර අය රාජකාරියකට ගාලු යන කොට ඉස්සරහ ඇලෙන් එගොඩ වඩුකඩේ මාමල රාජකාරි කරගන්නෙ කලුතර කච්චේරියෙන්.තිනියාවල ගම අපිපුංචිකාලෙ බොරලුගොඩ ග්‍රාමසේවක කොට්ටාසෙටම අයිති ගමක්.බොරලුගොඩ ඉදන් කැලේ මැද්දෙන් කොටේවත්තෙ කන්ද නැගල මහමිල්ලෙ තිබුනා කැකිල්ල මානානදිගේ ගිහින් බබරවැල්දොලෙන් ගොඩවෙලා නිල්ගහ හේනෙට ගොඩවෙන්න පුලුවන්.එතනින් එහාපැත්ත තිනියාවලගම. එකම ග්‍රාම සේවක කොට්ඨාශෙ උනාට මැද්දෙන් ඝනවනාන්තරයකින් වෙන්වෙලා තිබුනෙ.මේ මහවනන්තරේ සිංහරාජෙට මායිම වන පරිවාර වනන්තරේ කොටසක් මයි.ඒක බොරලුගොඩ තිනියාවල අතරින් ගිහින් ඉහල හෙවෙස්ස පහලහෙවෙස්ස ගම් එක පැත්තකටත් බොරලුගොඩ අනිත් පැත්තටත් එනවිදියට මැද්දෙන් ඇවිත් කලුගල කැලෑවට සම්බන්දවෙලා දිගටම බස්නාහිරට විහිදිලා යකුපිටිය ගමදිහාවටම පැතිරිලා තිබුනා.ඒවිදියට බැලුවම මේවනන්තරේ එකපැත්තක ලත්පඬුර කඹුරාවල බදුරලිය මගුර මිරිහාන කන්ද රණතුංගොඩ බොරලුගොඩ වාගෙ ගම් වලිනුත් අනිත් පැත්ත ඉහල හෙවෙස්ස පහල හෙවෙස්ස පැලවත්ත කුම්බදූව මීගහතැන්න රත්මලේ වාගෙ ගම් වලට මායිම්වයි තිබුනෙ.

මේවිදියට අපේ ගමනැගෙනහිර හා දකුනු පැතිවලින් මහ වනන්තරයකින් මායිම් වෙලා තිබුනා.උතුරු පැත්ත අපි උපදින 1950දශකයෙ ආරම්භයෙදි ගම අයිනෙන්ම මහවනන්තරෙන් මායිම්වෙල තිබුන කියලයි අපේ තාත්ත කියන්නෙ.මගුරු ගඟේ ඉදල මීටර් හය හත්සීයක් දෙපැත්තට බොරලුගොඩ අතලෙ ඉඟුරුදලුවකියන ගම් තිබුනට 1950 පටන්ගන්න කොටත් උතුරුපැත්තෙන් ඉතිරි කොටස් මහවනන්තරයක්.දැන් හැඩිගල්ල ජනපදය බට ගොඩවිල කිරිමැටිවල කියන ගම් මහා වනන්තරයක්.බදුරලියෙ ඉඳන් හැඩිගල්ල ගමට තිබුන ගම්සභා පාරදිගේ එනකොට තුනේ කනුව හරියට විතර ගම තිබුන බවත් ඉන් පස්සෙ වනාන්තරය පටන් ගන්න බවත් තමයි ඔය කියන කාලෙ වෙන කොට තිබුන තත්වය.අපේ ගමේ අපේගෙවල් වලින් එහාට තිබුනෙ වැද්දාකන්දෙ ලොකු අම්මලගෙ ගේ විතරයි.ඉන් එහාට වනන්තරේ.හැබැයි මේ වනන්තරේ මැද්දෙන් පාරක් තිබුනා පාරක් කිව්වට අඩි පාරක් .මේ අඩිපාර තමයි දකුනු පලාතෙ බස්නාහිර මුහුදුතීරයේ අම්බලන්ගොඩ ඉදන් බෙන්තර ඇල්පිටිය වාගෙ පලාත් සබරගමුවට සම්බන්ද කරපු පාර.අපේ ගම පහුකරහම ආයෙත් ගෙයක් හම්බු උනේ පල්ලෙ කුඹුරෙ.ඉන් එහාට ගුල්පෙ.එතනින් එහා දෙනිහේන මන්නාවත්ත වාගෙ කැලෑවෙන් වට උන කුඩා ගම් තිබුනා.ගුල්පෙ දෙනිහේන පැත්තෙන් ගිහින් සබරගමුවෙ කොඩිප්පිලි කන්දට වැටෙනකම් මේ අඩිපාර තිබුනා.කොඩිප්පිලි කන්දෙන් කුකුලෙ කලවාන කරවිට පැත්තෙන් මුද්දුව දක්වා පාරතිබුනා.මේ ඔස්සෙ තමයි දකුනු පලාතෙ අම්බලන්ගොඩ ඉදන් ඇතුලට තියෙන ගම්වල ඇත්තො ශ්‍රිපාදෙ ගියේ.ඒ ගැන මීට කලින් ලියල තියෙනවනෙ.

මේවනන්තරේ මැද්දෙ දියසීරාව තියෙන ඉඩම්වල හේන් කොටල කුඹුරු අස්වද්දාගෙන තිබුනෙ අපේ ගමේ අය.ඒඅනුව තමයි ගල්ලනවිල,බටගොඩවිල,කිරිමැටිවල පල්ලෙ කුඹුර වාගෙ පැතිවල කුඹුරු ඉඩම් අපේ ගමේ අයට අයිතිවෙලා තියෙන්නෙ.1950දශකයෙ අපේ ගමෙන් උතුරු පැත්තෙ නව ජනාවාසයක් හැදෙන්නෙ රජයේ අනුග්‍රහයෙන්.ඒ හැඩිගල්ල ජනපදේ ආරම්භය.බදුරලිය හැඩිගල්ල ගම්සභා පාරෙ හතරෙ කනුවෙ ඉදන් මද්‍යම පංති ඉඩම් බෙදා දීමක් තමයි මුලින්ම වෙන්නෙ.ඒඅනුව පානදුරා වත්ත, සී අයිඩී වත්ත, ඩීආර්ඕ වත්ත, ගම්මන්පිල වත්ත, බටුවත්ත, වනිගතුංගවත්ත, ආංගිරියෙ වත්ත, කෝවිස් වත්ත,තවබොල්ලුන්න පැත්තට තියෙන වතු ඉඩම් බෙදෙන්නෙ ඔයකාලෙ.මේ අතර වර්තමානෙ කවුරුත් දන්නෙ නැති අතුරුදහන් වෙලා ගිය වත්තකුත් තිබුනා.ඒවත්ත තිබුනෙ හරියටම මැල්ලගහවිල හංදියෙන් සුදුවැලිපොතදි පුවක් දොලට එකතු වෙන්න ගලන පුංචි දොලපාරෙ රක්ෂිතය මායිම් කර ගෙනයි .ඒ වත්ත මැල්ල ගහවිල හංදියේ ඉදන් පුවක් දොලේ රක්ෂිතය දක්වාම තිබිල තියෙනවා.අක්කර හතලිහක් හෝ හැටක් මේ වත්තට තිබුන කියලයි අපේ තාත්ත කියන්නෙ .මේවත්ත දීල තිබුනෙ යාපනේ මහත්තයෙකුට.උන්නැහැවත්තෙ මැල්ලගහවිල කොටසකුයි පුවක්දොල අයිනෙ කොටසකුයි රබර් වගාකරා.ජනපදේට යන පාරෙ ඉදන් ඉඩමෙ පුවක්දොල කොටසට එන්න පුංචි පාරක් මේ මහත්තය හදාගත්තලු.මාසෙකට විතර සැරයක් ඇවිල්ල වත්ත බලල පඩිනඩි බේරල යන මහත්තය ටිකටික වත්ත වවන්න වැඩ කරමින් හිටියලු.එකදවසක් වත්තට ඇවිල්ල බලල ආපහු යන්න මැල්ල ගහවිලට ආපු මහත්තය ඒකාලෙ එතන තිබුන ගිනිගත් හේනෙ ලියන මහත්තයගෙ කඩේ ලඟ තිබුන බංකුවෙ වාඩි වුනා.ඒකාලෙ මිනිස්සු ගමන් ගියෙ කලුමහත්තයගෙ වෑන් එකේ. වෑන් එක කිව්වට ඒකලොරියක් සීට් ගහල හදාපු එකක්.ඉතින් වෑන් එක එනකම් වාඩිඋන මහත්තය සද්ද නැතුව ඉන්නෙ මොකද කියල බලන කොටයි මහත්තය මැරිල කියල දැන ගෙන තියෙන්නෙ.

මේ මරනෙ ගැන ලොකු කසුකුසු යද්දි පොලිසියත් ඇවිත් මහත්තයගෙ නෑදෑයොත් ආවලු..මහත්තයගෙ දරුවො කිව්වලු එයාට පපුවෙ අමාරුවක් තිබුන කියල මරනෙ ගැන සැකයක් නෑකියලත් ඒඅය කිව්වලු.දොස්තර මහත්තයෙක් ඇවිල්ල මිනිය කපල තහවුරු කරාලු පපුවෙ අමාරුවක් කියල.ඒදරුවො මිනියත් අරන් ගියාට පස්සෙ ආයෙ මේ පැත්තෙවත් ආවෙ නැහැ.වත්තට දීපු ඉඩම් කැන්සල් උනා.මේ ඉඩම තමයි දැන් මැල්ල ගහවිල ඉඳන් පුවක් දොලට යනකම් සුදුවැලිපත පාරෙ වම් පැත්තෙන් මිනිස්සුන්ට බෙදල තියෙන්නෙ.ඒ යාපනේ දෙමල මහත්තය තමන්ගෙ ඉඩමෙ කෙලවරට එන්න හදාපු පුංචි පාරතමයි දැන් සුදුවැලිපතහරහා අපේ ගමටත් ඉනුත් එහා ගාලු කෝරලේටම සම්බන්ධ පාරට වැටෙන්න දියුණු වෙලාතියෙන්නෙ.

මධ්‍යම පංතියෙ ඉඩම් බෙදීමක් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩම් දෙන්න ජනපදේ පලමුවැනි පියවර පටන් ගැනුනා.අපේ ගමට උතුරින් තිබුනු මහ වනන්තරේ එලි කරල ජනපදේ මිනිස්සුන්ට ඉඩම් දෙන්න සූදානම් කලේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව.මේ කැලෑ එලිකිරිල්ලට අපේ ගමේ තරුන පිරිස් දවස් කුලියට වැඩට ගියා.කැලෑ එලිකිරිල්ල අපේ ගමේ අයට අමුතු දෙයක් උනේ නෑ .අවුරුද්දකට සැරයක් හේනක් කොටන එක සාමාන්‍ය දෙයක් .ඒකනිසා මේ එලිකිරිල්ලට ගිය අය බොහොම විනෝදෙන් වැඩ කරා.අපේ වෙලේ ගෙදර බීටන් මාමාත් මේවගේ කොලනියෙ කැලෑ ඉඩම් එලිකරන්න ගිය කෙනෙක් .බීටන් මාම කැලෑ එලිකරේ දවසයි දෙකයි.ඊට පස්සෙ වැඩට ගියාට කැලෑ එලිකරේ නෑ.නිකම් ඇවිද ඇවිද හිටියා.හැබැයි නියමිත පඩිය ලැබුනා.ඒ වෙනස උනේ තුන්වෙනි දවසෙ ඉඳන් වැඩ බලන මහත්තයට රා කැටයක් ගෙනගිය නිසයි.මේ රා කැටේ දීල ගත්තු පඩියෙන් බීටං මාමා පැට්‍රෝ මැක්ස් ලාම්පුවක් ගෙදරට ගෙනාවා.මේ විදියට එවක ගමේ තරුන පිරිසට හොද මුදලක් උපයගන්නට අවස්තාවක් ලැබුනා.

ඔයාකාරයෙන් කැලෑව ශුධ කරල අක්කර දෙක හමාර ගානෙ කෑලි වලට ඉඩම් කඩල පදිංචියට දෙන අක්කර භාගෙ ඉඩම් වෙන්කරල ඒවායෙ ගෙවල් හදල ඉඩම් ලාභීන් එක්කගෙන ඇවිල්ල පදිංචි කරන්නෙ 50දශකයෙ අග කොටසෙදියි.කලුතර දිස්‍ත්‍රික්කයේම හොරන,කලුතර අගලවත්‍ත වාගෙ ප්‍රදේශ වලින් තමයි ඉඩම් ලාභීන් එක්කගෙන ආවෙ ජනපදෙත් එක්ක ගොඩක් පහසුකම් ප්‍රදේශෙට ලැබුනා..සමුපකාර ප්‍රාදේශිකයක්,බෙහෙත් ශාලාවක්,පාසැලක්,මහාමාර්ගයක්, ප්‍රවාහන පහසුකම්වාගෙ දේවල් අපේගම් පලාතට ලැබුනෙ හැඩිගල්ල ජනපදේ හින්දයි.ජනපදේ පලමු පියවර යටතේ මැල්ලගහවිල සිට මඩිත්තවිල දක්වාසැතපුමක දුර ඉඩම්ලාභින් පදිංචි කරා.ජනපදේ මේකොටසෙ මධ්‍යස්ථානය හැටියට සමුපකාරය රබර් රොටි සකසන මධ්‍යස්ථානය ජනපද නිලධාරි කාර්‍යාලය බෙහෙත් ශාලාව ස්ථාන ගත කරපු ස්ථානය වුනේ දෙපැතෙන්ම පාරෙ පල්ලමක් තියෙන දැන් තේ පැල තවාන තියෙන තැනයි.මේකොටසෙ ආපු ඉඩම්ලාභින් බොහොම දක්ෂ ගොවීන් හිටියා.ඇල්බට් බාස් උන්නැහැ ආයුපාල උන්නැහැ වෙල්ගම ඇක්මන් මාම ගාරලිස් මාම සභාපති උන්නැහැ, ජයසේනමුදලාලි,චලෝ මුදලාලි,ලිඳලඟ ජේමිස්මාම,සමරවීර මුදලාලි,විලියම් අප්පුහාමි මාම කොන්දොස්තර මාම,කංකානම් උන්නැහැ මේ අයගෙන් කීප දෙනෙක්.ජනපදේ මේවාගෙ උදවිය ගම එක්කත් හොඳ සම්බධයක් ගොඩනගා ගන්නව.ගමත් එක්ක ජනපදේ ලොකුම සම්බන්දෙ හදන්නෙ දේවරක්ඛිත හාමුදුරුවො.පූජ්‍ය අතලේ දේවරක්ඛිත හාමුදුරුවෝ අපේ බොරලුගොඩ ගංගාරාමේ ලොකු හාමුදුරුවෝ වුන පියරතන ලොකු හාමුදුරුවන්ගෙ ශිෂ්‍යයෙක්.අතලෙ ගම්වාසී පවුලක කෙනෙක් උන දේවරක්ඛිත හාමුදුරුවෝ බොරලුගොඩ පංසලේ ලොකු හාමුදුරුවොත් එක්ක වැඩහිදිමින් දායකයින්ගෙ කටයුතු බොහෝම හොඳට කරපු හාමුදුරු නමක්.ගමේ උතුරු පැත්තෙ ඇතිවුන නව ජනාවාසෙ ආගමික කටයුතුවලට අවශ්‍ය විහාරස්ථානය පටන් ගන්න ලොකු හාමුදුරුවන්ගෙත් ආශිර්වාදය ඇතිව අපේ දේවරක්ඛිත හාමුදුරුවෝ කටයුතුකලා.ජනපදේ පදිංචි කරුවන්ට ලොකු ආශිර්වාදයක් වුනේ මේවිහාරස්තානයයි.හාමුදුරුවෝ පටන්ගත්ත දහම් පාසැල ජනපදවාසී දරුවන්ගෙ සදාචාර සංවර්දනයට ලොකු පිටුවහලක් උනා.හාමුදුරුවෝ ගමත් ජනපදයත් වෙනසක් නැතුව තමන්ගෙ සේවාව සැපයුවා.දේශීය වෛද්‍යවරයෙක් හැටියටත් කටයුතුකරපු අපේ දේවරක්ඛිත හාමුදුරුවෝ සැතපුම් ගනන් පයින් වඩිමින් දායකයින්ගෙ දානෙ පිරිත ධර්මදේශනා,වගේ ආගමික අවශ්‍යතාවය ඉෂ්ට කරල දුන්නෙ සැබෑ බුදු පුතෙක් විදියටයි.පංසලට ආපු කාටත් තේ කෝප්පයක් හරි නොවැරදීම දුන්නා.මේ විදියට හාමුදුරුවන්ගෙ සේවාව නිසාම ගමත් ජනපදයත් අතර හොඳ සබඳතාවයක් හැදුන.

ජනපදය ආපු එකෙන් අපේ ගමේ නගරෙත් එක්ක සබඳතාවය වැඩිවුනා.වෙනදට අතලෙ දෙහිපිටිය පැනිගල මගුර හරහා පයින් යන ගමන මැල්ලගහවිලට හරි මඩිත්තවිලට හරි ගිහින් වාහනයක යන්න පුලුවන් උනා.බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න පහසුවක් ආවා.කලින් බදුරලියෙ මහ කඩෙන් ගත්තු හාල්පොත්වල හාල්ටික ජනපදේ සමුපකාරෙන් ගන්න පුලුවන් උනා.මේසේරටම වැඩිය අලුත් ලෝකයක් ජනපදෙත් එක්ක අපේ ගම්වලට ඇතුලු උනා.ජනපදේටත් පැරණි ගමනිසා ලොකු මෙහෙවරක් උනා.ඒතමයි පුවක් බුලත් වාගෙ ජනපදවාසින්ගෙ අවශ්‍යතා පහසුවෙන් ගමෙන් සපය ගන්න පුලුවන් වීම.ආහාර බෝග වන කොස් දෙල් පොල් වාගෙ දේවල් ගමෙන් ගන්න පුලුවන්වීම,කැඩුම් බිඳුම් සර්පදෂ්ට වැනිදේට වෙද හෙදකම් ගමේ තිබීම,යක්කු පෙරේතයින්ගෙන් වන අතුරුඅන්තරාවලට මන්ත්‍ර ගුරුකම් වල පිහිට ගමෙන් ගන්න පුලුවන්වීම,මේවාගෙ සේවාවල් දෙපැත්තටම කෙරුනා.සේරටම වැඩිය සමසමාජ දේශපාලනේ ගමට ආවෙ ජනපදෙත් එක්කවීමත් විශේෂයක්.අනිත් විශේෂම දේ තමයි ජනපදේට කිතුල් රා පුරුදුවීමත් ගමට අරක්කු පුරුදුවීමත් ජනපදේ සම්ප්‍රාප්තියේ ප්‍රතිපලයක් වීම.ඒත් එක්කමගමට ආර්ථික බෝගයක් ලෙස රබර් වගාව හදුන්වාදුන්නෙත් ජනපදයෙන්වීම ගමේ ආර්ථිකයෙ වෙනසකටත් හේතු වක් උනා.

මෙන්න මේ විදියටයි 1950දශකයෙ අපේ ගම්වල පරිවර්තනයකට මුල්පිරුව ජනපදයේ පැමිනීම සිද්ද උනේ.ඒ පරිවර්තනය දෙපැත්තටම හොදට උනා කියලයි මට හිතෙන්නෙ.

13 thoughts on “ජනපදේ කථාව

  1. පහසුකම් වැඩි වෙනකොට ජන ගහනය වැඩි වෙනව, පරිසරය රැකීම ගැන තියන උනන්දුව අඩු වෙනව. මේ විස්තර කරන ගමේ තිබුණු සුන්දරත්වය අද වෙනකොට තියනවද ?

    Like

    1. අද මුලුමනින්ම තේවගාවෙන් වැහිල. ගමේ ඉන්න මිනිස්සු තේගස්වටේ දවසම කැරකෙනව.කඩේ ලඟ බලු බල්ලෙක් නෑ.ගෙවල්වල ඉස්තෝප්පුවෙ තිබුනු සාකච්චානෑ.හැමෝම සල්ලි හොයන්න වෙහෙසෙනව මිසක් මෙලෝවගක් නෑ.මගුරුගඟ විතරක් වෙනදවගේම නිශ්ශ්බ්දව ගලාගෙන යනව.ඉඳල හිටල දෙගොඩතලාගෙන ගිහිල්ල පොඩොතරවටුවකුත් කරනව.

      Liked by 1 person

    1. කරුමෙ කියන්නෙ මේසේරම මතක් වෙනවනේ.එකතැනකින්ලියන්න පටන් ගත්තම.එතකොට තමයි දන්නෙ මේසේරම මතකගබඩාවෙ තියනව කියල.

      Like

    1. එකක් නෙවෙයි දෙකක්ම පල කලයුතුයි කියල ලොකු ඉල්ලීමක් තියෙනවා.බලමු.අදහසට ස්තූතියි.

      Like

  2. සුනිල් මහත්තයා සිංහරාජ අද්‍යානය හැදුවේත් ඔය කාගේම නේද? ඇ..ෲ සි..වා ගේ රෙස්ට් හවුස් එක තිනියාවල 10 කණුවට මෙහා ඩබල් වැලමිට වංගුවට පහලින් අද ග්‍රාමිය ලේකම් කාර්යාලය විදිහට තියෙනවා. ඕකේ තව පැත්තක් තියෙනවා. දුක ඒක තමයි. රටක් හැටියට අපි දියුණ නොවන්න හේතුවක් ඔය රා කැටයේ කථවේ තියෙනවා

    Like

    1. සිංහරාජ උද්‍යානය හැදෙන්නෙ 1972න් පස්සෙ.ඒපැත්තෙ කැලෑව එලි කරල වැල්දොඩම් වගා ජනපද හැදුවවෙලාවෙ.ඔය රෙස්ට් හවුස් කියන්නෙ පැරණි තිනියාවල සංචාරක බංගලාවනෙ.

      Like

  3. ඔබතුමා කියන සිරීපාදෙට යන පාරෙ ඉතුරු කොටහ කලවානෙං කරවිට කන්ද පාරෙංලු වැටිල තිවුනෙ. අපේ ආතා එලොව යන්න කලිං මට ඔය කතාව කියා තිවුනා. කොහොමත් පිටිං එන ජනපද කාරයින්ට අරියාදු කරන්නෙ නැතුව සම්බන්ධකං ගොඩනගාගන්න එක කොයි තරම් වටින දෙයක්ද. ඒ වුනාට ගොඩනැගිලා අවුරුදු සීයකට වැඩිය ගතවෙච්චි මම ජීවත්වෙන මේ අවට තියෙන ජනාවාස ටික මැදිං ගමනක් ගිහිං එන්නත් අපිට ජීවිත රක්ෂණයක් ඕන.

    දැන් වෙනකොට නං “හැඩිගල්ල ජනපදය” කියන බස් බෝඩ් එක ගැලවිලා “හැඩිගල්ල” විතරක් වෙලා. හැඩිගල්ලෙ ඉඳං කොළඹ ඉගිලෙන බසුත් තියෙනව මං දන්න විදිහට. ඒ විතරක් නෙවෙයි හැඩිගල්ලෙන් කොළඹට යන කිතුල්(සීනි) හකුරු පැණි කන්දරාවත් සුළුපටු නෑ.

    //යක්කු පෙරේතයින්ගෙන් වන අතුරුඅන්තරාවලට මන්ත්‍ර ගුරුකම්// කරන එක අපේ ආතගෙ “ඉස්කෝලෙ මලෙයා”ගෙ රාත්‍රී කාලෙ රස්සාවක්ලුනෙ. ඒ දවස්වල අතලෙ ඉස්කෝලෙ ළමයි එයාට කිව්වෙ “කට්ටඩි සර්” කියලලු. අපේ ආතටත් කිතුලක් හරිගිය කාලෙට ගෙදර බිත්තියෙ එල්ලලා තියෙන තොවිල් බෙරේ මතක් වෙනවා. හැබැයි ඉතිං ඒ ගහන පදවලට නටන්නත් යක්කුම එන්න ඕනැ.

    වේපනාවේ ආරන්‍යයෙ පාරෙ ටික දුරක් ගියාට ආරණ්‍යයට යන්න බැරිවුනා.

    Liked by 1 person

    1. දැන් හැඩිගල්ලත් හැලිල ගමනාන්තය දික් හේන වෙලා.එදා දවල් දොලහටත් රැහැයියො ට්‍රික් ට්‍රීංංංං කියල සංගීතනාදෙ දුන්න පල්ලෙකුඹුරෙ කුඹුරුයායට මෙහාපැත්තෙ දික් හේන කැලේ දැන් රාත්‍රියටත් පීප් පිප් පිප් කියල වාහන හෝන්ගහගෙන යනවාසුරංග කියන හකුරු නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර ගමේ තියෙනවා.ඒවායෙ අමුද්‍රව්‍ය කිතුල් පැනි බෝතලයයි සීනි මිටියයි අනුපාතෙට එක්‍ රැස් කෙරෙනවා.

      අපේ පියදාස අයිය ගුරුවරයෙක් වෙන්න කලිනුත් යක්කු එක්ක ගනුදෙනුකලා.ගුරු රස්සාවෙ ඉන්න කොටත් ඒ පරණ සම්බන්දෙ අත ඇරියෙ නෑ.පබිලිස් අයියත් සමහර අමාරු යකෙක් දමනය කරගන්න ඕන උනොත් පියදාස අයිය එක්ක ගියා.වේපනාවෙ ඉන්න ගුනදාස අයිය ඔය යක්කු එක්ක කිසි සම්බන්දයක් නෑ.මණික් ගරමින්තමයි කාලය ගෙව්වෙ.මේලඟදි මම ගෙදරට ගියා.”දැන් කකුලෙ අමාරුවක් හින්ද ගැරිල්ල අතැරිය මල්ලියෙ” කිව්වෙ මම “කොහොමද අයියෙ “කියල ඇහුවමයි.ඔය මිනිස්සුටික ඉන්නකම් ගම තියෙයි.ඊට පස්සෙ මොකක් හරි තියෙයි හැබැයි ඒගම නෙවෙයි.

      Liked by 1 person

      1. “ඊට පස්සෙ මොකක් හරි තියෙයි හැබැයි ඒගම නෙවෙයි”

        සැහෙන කණගාටුයි. අපිට අහිමි ඒ සුන්දර ගම පිළිබඳව

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s