බේත් හේත් ප්‍රතිකාර

ජනපදේ කථාවට අපේ ගුනවර්ධන අයිය දාපු සටහනෙන් මාව ගමේ තවත් පැත්තකට යොමු උනා කිව්වොිත් තමයි හරි.අපේ ගමේ ඒකාලෙ අසනීප හැදුනම ප්‍රතිකාර කරපු අන්දම මතකයි.හැම සිංහලයෙක්ම වෛද්‍යවරයෙක්ය කියල අතීතයේදි කවුදෝ කිව්ව කියන කථාව හරියට හරි කියල හිතෙන්නෙ අපේ පරන ගම්වල ප්‍රතිකාර ක්‍රම ගැන බැලුවමයි.අපේගම්වල හැදෙන අසනීපවලට මුලින්ම කලේ අත් බේත්.ඒව හුඟවෙලාවට රෝග ලක්ෂනේට ඉලක්ක කරල කරපු ප්‍රතිකාර.පොඩිකාලෙ අපි බඩ රිදෙනවා කියල කිව්වොත් සීතාරාම ගුලිය ඉඟුරුඉස්මෙන් දිය කරල පොවනවා.පොඩි එකෙකුට එක ගුලියයි ලොකු කෙනෙකුට ගුලි දෙකයි.පුංචිම උන්ට මීපැනියෙන්.ලොකු අයට ඉඟුරු ඉස්මෙන්.කිමුහුමක් දෙකක් ගිහිල්ල නාහෙ බුරුල් උනොත් පස්වගේ කසාය මුට්ටිය ලිපේ තියලා පත අට එකට හිඳලා දෙන කසාය බීල අබ ලුනුමිරිසකුත් එක්ක බත් කාල කුස්සියෙ නිදා ගන්න ඕන. බර වැඩ කරලා ඇඟපත වෙහෙසපු දවසට වෙනිවැල්ගැටේ කපල තම්බල බොනවා.දවල් දවසෙ කැලෑගාල් අස්සෙ රිංගන පොඩිඋන් වන අපේ කණ රිදෙන්නෙ මහ රාත්‍රියට.ඒකට ඖෂධේ අම්ම දන්නවා.තෙබු ගාලෙන් තෙබු දණ්ඩක් කපල ගෙනැල්ල ඒක මැදින් හාරල මීපැනි පුරෝල පාන් දැල්ලෙන් රත් කරල කණට වත් කිරීම තමයි බෙහෙත.මහ දවල්ට කැලෑවල සෙල්ලම් කරනකොට වෙන සීරීම ඇතූලු තුවාල වලට බෙහෙත තපස්සර බුලත්දලු අමුකහත් එක්ක අඹරල ගෑමයි.හිසේ කැක්කුමක් හැදුනොත් පොලෙන් ගේන මහානීල්‍යාදී තෛලය හිසගල්වා පිරිමැදීම ප්‍රතිකාරයයි.දවල් දවසෙ කනබොනදේවල් වල හැටියට හවසට ඇඟේ පලුදාල කසන්න ගත්තොත් තැඹිලිගොක්කොල කපුපු කෑලි දාලඇගට දුම් අල්ලන්ට ඕනෙ.පලු ඉවරයි.අත්දුටුවයි.සත්තයි.ලෙඩ හොඳයි.

මේවාගෙ සුලුසුලු අසනීපවලට ඔය බෙහෙත් දෙන අපේ ගම් වැසියො ඊට වැඩිය ලොකු අසනීප වලට ප්‍රතිකාර වෙනවිදියකට කරනවා.මොනවද මේ ලොකු අසනීප.වර්තමානයේ අහන්නවත් ලැබෙන්නෙ නැති අසනීප අපේ ගම්වල තිබුනා ඇම්ම එහෙම අසනීපයක්.ඇම්ම ශරීරයේ ඕනෑම තැනක එන්න පුලුවන්.මේකියන්නෙ එකඑක ස්තානවල ඇතිවන වේදනාව.බොහෝවෙලාවට ඇම්මට කරන්නෙ සුදුලූනු තම්බල බොන එක.තව ඇවිලිල්ල කියල ලෙඩක් අපේ වැඩිහිටියන්ට හැදුනා.ඇවිලිල්ලට ගාන තෙල් වර්ග තිබුනා සිද්දාර්ථ තෙල එහෙම එකක්.ඇවිලිල්ල දරුණුනම් වෙදලොකු අප්පගෙන් හරි දේවරක්ඛිත හාමුදුරුවන් ගෙන් හරි කසායක් බොන්න වෙනවා.ජුලියන් බාස් ආතත් වෙදකම් කරපු කෙනෙක්.කරකැවිල්ල කියල ලෙඩකුත් තිබුනා කරකැවිල්ල හැදුනම නැගිටින්නෙම නෑ.නිදාගෙනමයි ඉන්නෙ.මට නිකං කරකැවිල්ලවගෙයි කියල කිව්ව ගමන් පොඩි කිතුල් පැලයක් කපල අරගෙන ගොබේ එන හරියත් අහුවෙන්න කිතුල් බොඩේ අරගෙන කොටල කැඳ හදල බොන්න දෙනවා.කැදවේල් දෙකෙන් කරකැවිල්ල ඉවරයි .ඉරුවාරදේ හැදෙන්නෙ උදේ පාන්දර.ඇස් දෙක උඩින් නලල යටින් උහුලන්න බැරි කැක්කුම රෝග ලක්ෂනයයි.මේක හැදුනොත් උදේරැයින් වතුර කලගෙඩියත් අරගෙන ගඟට ගිහින් කලගෙඩියෙන් වතුරවක්කරලා නාන්න ඕන. මේවගේ අත් බෙහෙතෙන් ගමේ වෙදුන්ගෙන් බෙහෙත් බීල සනීප නැත්නම් බදුරලියෙ පහලෙක්කන්දෙ වෙද ආතගෙන් එහෙම බෙහෙත් ගන්නවා.ඔය සෙංගමාලෙ වාගෙ ලෙඩක් නම් මගුරෙ ටකරං කඩේ ලොකු මහත්තයගෙන් බෙහෙත් ගන්න යනව.සෙංගමාලට විතරයි ලොකු මහත්තය ප්‍රතිකාර කලේ.සර්පයො කාපුවම විෂ වෙදකම කරන කීප දෙනෙක්ම හිටිය.ඒ දෙහිකුඹුරෙ උපාසක මාම මාදුරුහේනෙ ඇලොන් මාම අපේ වෙද ආත්ත වගේඅය.දූත ලක්ෂනේ බලල දෂ්ඨ කල සර්පයා හොයාගෙන විෂ බස්සන්න මතුරල දෂ්ඨ කල මුඛේ පාදල බෙහෙත් බැදල සනීප කරන්න ඔය කියාපු අපේ අයට පුලුවන් කම තිබුනා.අපේ ලොකුමාමව කුනකටුව කෑවම බෙහෙත්වෙන්නෙ කුන කටුවගෙ වලිගෙ අග්ගිස්ස කපල කෑ මුඛයේ ගෑම.වෙදාලොකුමාමමයි.වල්ගෙකොට කුනකටුවෙක් ඒකාලෙ කොහෙදි හරි දැක්කනම් ඒඅපේ ලොකුමාමව දෂ්ට කල එකෙක් කියල ටක්කෙටම කියන්න පුලුවන්. අපිදන්න තරමින් සර්පයො දෂ්ට කරල ඒකාලෙ කවුරුත් මැරුනෙ නැත්තෙ ඔය අපේ ගමේ සර්ප වෙදකම කරපු අයගෙ දක්ෂ කම නිසයි.

ගමේ ගෑනු උදවියට බබාල හම්බුවෙන්න තියෙනකොට ඒගැන කටයුතු කරන්න පුලුවන් ගෑනු අයත් ගමේ හිටිය.දෙහිකුඹුරෙ ජේන් නැන්දම්ම, මැදවත්තෙ බබුන් ආච්චිවගේ අය ඒසාස්තරේ දැනගෙන හිටපු අය.ජේන් නැන්දම්ම කියන්නෙ අපේ බොරලුගොඩ ඉන්දරතන නායක හාමුදුරුවන්ගෙ අම්මා.රජයේ වින්නඹු මාතාවක් ජනපදේ ආවට පස්සෙ පත්කරපු නිසා ඇයගෙනුත් මේසේවාව ගත්ත බවලත් උදවිය හිටියා.මේ ඇරුනම අසනීපවලට හිතුවක්කාරදේ කරල සනීප වුන අයත් ඉන්නව.මැලේරියා උන හැදිල වෙව්ලල උන ගන්න කොට දිගින්දිගටම බෙහෙත් කරත් සනීප වෙන්නැති කොට පහල ගෙදර කරෝලිස් බාප්පා මැරෙන්න හිතාගෙන මඤ්ඤොක්ක තම්බගෙන කාල හවස උනගන්න වෙව්ලනකොට ගඟට පැනල හොඳට නාල ගෙදර ඇවිත් නිදාගැනීමෙන්ම ලෙඩේ සනීප උනා කියල කරෝලිස් බාප්පම මා එක්ක දවසක් කිව්ව.කොහොම උනත් අපේගමේ වැඩිහිටියො අකාලෙ මැරුනෙ නෑ.අපි දන්න කාලෙ එහෙම මරනයක් උනේ කිතුල් ගහෙන් වැටිල සිද්ද උන රොම්පිලොකුඅප්පගෙ මරණෙ විතරයි.හැබැයි ලමාවයසෙ මරන කීපයක් උනා.

අපේ ගමේ මේඅසනීප වලට බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ගැනිල්ල ඇරඹුනේ ජනපදේ ඩිස්පැන්සරියත් එක්කයි කිව්වොත් වැරදි නෑ.ජනපදේ ඩිස්පැන්සරියට සතියකට දවස් දෙකක් ඇපෝතිකරි දොස්තර මහත්තයෙක් එන්න පටන් ගත්තෙ ජනපදවාසීන් ගෙ ලෙඩට බෙහෙත් දෙන්න.මේ ඇපෝතිකරි දොස්තර මහත්තයට සහායට කංකානම් මහත්තයෙක් හිටිය.දොස්තර මහත්තය එන්නෙ කාර් එකේ.කලාතුරකින් දවසක බස් එකෙත් එනවා.දොස්තර මහත්තය එන්නෙ දහයට විතර උනාට උදේඅටේ ඉදන් ලෙඩ්ඩු පෝලිමට එකතුවෙනව.පොඩි ලමයි වඩාගත්තු ගෑනු උදවිය තමයි වැඩි.ඊලඟට ලමයි ඉන්නෙ.වැඩිහිටි පිරිමි කීපදෙනෙකුත් ඉන්නවා.මේසේරමලා පෝලිමේහිටගෙන පාර පැත්තට කන දීගෙන ඉන්නෙ වාහන සද්දයක් ඇහෙනකම්.මේඅතර පොඩිඋන් අඬන්න පටන් ගෙන කිමුහුම් යන කහින හොටු හූරන ලෙඩ්ඩු ඒවකරන සද්දෙ.අමාරුලෙඩෙක් බංකුවෙ නිදාගෙන කෙඳිරි ගානවා.වැඩි අමාරුවක් නැති අසනීප වුනු පනුබෙහෙත් ගන්න ආපු පොඩිඑවුන් සෙල්ලම් කරනවා.මේගාලගෝට්ටිය රසවිඳගෙන පෝලිමේ ඉන්න කොට ගෑනු අය එකඑක අසනීප ගැන කතාව.

“ආ අක්කෙ මොකද බෙහෙත් ගන්නද?”

“අනේ ඔව්බං නංගියේ මේ අපේ පොඩි එකාට හොදටම උණ.පස්වගේ දුන්න.වෙදමහත්තයගෙන් බෙහෙත් ගුලිගෙනැත් දුන්න.ඒවෙලාවට උණ බහිනව විතරයි.ආයි උණ ගන්නවා.බැරිතැන අද ආවා දොස්තර බෙහෙත් ටිකක් වත් තීල බලන්න.උඹ මොකෝ?”

“අපේ පොඩිඑකාට බඩේ අමාරුවයි උණයි ඉස්සෙල්ල ඔයවගේ උණ තිබිල පස්සෙ බඩේ අමාරුව ආවෙ.අදමේ දොස්තර මහත්තයටවත් පෙන්නන්න කියල.”

“අම්මප අපේ එකාටත් ඔය කිව්ව බඩේ අමාරුවද දන්නෙ නෑ එහෙනම් ඒකහින්ද මේ ගමනම බඩේ අමාරුවත් තියෙනව කියන්නෝන.”
ඔයවගේ කතා බෙහෙත් ගන්න ඉන්න අය අතර වෙනව.ඒ අතර කාරෙකේ කංකානම් මහත්තයවත් දාගෙන දොස්තර මහත්තය එනව.දොර අරින්නත් ඉස්සෙල්ල පෝලිම එලියටත් පැනල මිදුලෙත් වටයක් ගැහිලවදෙන් පොරෙන් දොර ඇරල ඇතුලට යන දොස්තර මහත්තය ලෙඩ්ඩු බලනව.ලෙඩ වර්ග දෙකයි තුනයි තියෙන්නෙ.බඩේ අමාරුව.ඒකට බොන බෙහෙත කිරිපාටයි.උදේ සවස රාත්‍රි දිනකට තුන් වරක් බෝතලය සොලවා තේ හැදි /මේසහැදි එක බැගින් බොන්න.කියල කොලයක් අලෝල බෙහෙත් බෝතලේ හදල දෙන්නෙ කංකානම් මහත්තය තව පෙති කරල් අහුරකුත් පොඩි පොඩි කවරවල දාල අරවගේම දවසට දෙවරක් තුන් වරක් නැත්නම් රාත්‍රියට කෑමෙන් පසු හෝ පෙර එකබැගින් කියල ලියල දෙන්නෙත් කංකනම් මහත්තය.උනට දෙන්නෙ රෝසපාට බෙහෙත් වතුර බෝත්ලේ ඒකත් සොලවා බොන්න තමයි තියෙන්නෙ.කලාතුරකින් කෙනෙකුට තමයි බෙහෙත් වතුර දෙකක් බොන්න දෙන්නෙ.එහෙම වෙන්නෙ අරකලින් කිව්ව දෙකෙන් එකයි පොඩි කුප්පියක පැනියකුයි දෙනලෙඩ්ඩුන්ට.පුංචිම උන්ටත් ඔය පොඩිකුප්පියෙ පැනිය දෙනවා.ඒකහරි රසයි කියල මට තේරුනෙ රන් මල්ලිට ගේන ඔය පොඩිකුප්පියෙ පැනිය හොරෙන් බිව්ව දවසෙදියි.ඊට පස්සෙ අහු උන හැමවෙලේම මල්ලිලට ගේන බෙහෙත් මමත් බොනවා.කොච්චර සෙනග හිටියත් පැයකින් සේරටම බෙහෙත් දෙන දොස්තර මහත්තය ආපහු යනවා.කංකානම් මහත්තය යන්නෙ ඊට ත් පැයකට දෙහෙකට පස්සෙ බස් එකේ.දොස්තර මහත්තය ගියාට පස්සෙ එන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නෙ කංකානම් මහත්තය.සමහරදාට දොස්තරමහත්තය නැතුව කංකානම් මහත්තය විතරක් ඇවිල්ලත් බෙහෙත් දෙනවා.දොස්තර මහත්තය නලාව තියල ලෙඩ බැලුවට කංකානම් මහත්තය නිකම්ම ලෙඩේ අහල බේත් දෙනව.මුලින් මුලින් අම්ම එක්ක බෙහෙත් ගන්න ගිය අපි අවුරුදුදහයක් දොලහක් වෙනකොට තනියම ගිහින් බෙහෙත් ගන්න පුරුදු උනා.වෙද ලොකු අප්පගෙ කසායට වැඩිය දොස්තරබෙහෙත අපිට හරිගියේ ඒකරසට බොන්න පුලුවන්නිසයි.මේබෙහෙත් ගැනිල්ලෙන් දොස්තර මහත්තයව කොච්චර අඳුන ගත්තද කියනවනම් පස්සෙවෙනකොට මම පුස්තකාලෙ යන්න මැල්ල ගහවිල හංදියෙ ඉන්නකොට බෙහෙත් දීල ආපහුයන දොස්තර මහත්තයගෙ කාර් එකට අත දැම්මම නතර කරල පුස්තකාලෙ ලගින්ම ගෙනිහින් බස්සනවා.

හොඳටම අමාරු ලෙඩෙක්ව ගෙනියන්නෙ පිඹුරෙ ස්පිරිතාලෙටයි.එතනින් නාගොඩ ස්ප්‍රිතාලෙට යැව්වොත් ඉතින් ලෙඩා ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවත් කමක් නෑ.අපේගමේ ස්පිරිතාලෙ ගෙනියන තරම් කෙනෙක් අසනීප උනොත් මහ බරපතල කාරනයක්.ලෙඩා ගෙනියන්න වෙනම පුටුවක් බඳින්න ඕන.පුටුවක් බඳිනවා කියන්නෙ සාමාන්‍ය වාඩිවෙන පුටුව දෙපැත්තෙන් උස්සන් යන්න පුලුවන් විදියට උන ලීයක් හරි වෙනත් බර අඩු ලීයක් පුටුවෙ අස්සෙන් දාල බැද ගන්න ඕන.මේපුටුවෙ ලෙඩාව වාඩි කරල දෙපැත්තෙන් දෙන්නෙක් අර ලීය කරට ගන්නවා එතකොට අර කෝටු කෑල්ලකොක්කු දෙන්න කටින් ගත්තම ඉබ්බ මැද එල්ලුනාවාගෙ ලෙඩා මැද වාඩිවෙලා දෙපැත්තෙන් උස්ස ගෙන තව දෙන්නෙකුයි භාර කාරයයි එක්ක වාහනයක් එන්න පුලුවන් තැනකට ගේන්න ඕන.දැන් ඉස්ප්‍රිතාලෙට අමාරු ලෙඩෙක් අරං යනකොට ගෙදර කෙනෙක් භාරකාරය හැටියට ගියස්ට මදි.ඒ එක්ක ඔය කාරනා කාරනා දන්න කෙනෙක් යන්නත් ඕන නැත්නම් දොස්තර මහත්වරු නේස් නෝනලා කියන දේවල් තේරෙන්නෙ නෑනෙ.ඔය දැනමුත්තගෙ ජොබ් එක ට යන්න වෙන්නෙ අපේ මද්දහෙට්ටි මහත්තයට තමයි.ඒකිව්වෙ අපේ ඉස්කෝලෙ නිර්මාතෲ ගුරුතුමා.කලාතුරකින් රාලහාමිත් ඔය වැඩේට යනවා.බොහෝවෙලාවට හදිසි ලෙඩා ගෙනියන වාහනේ ගාස්තුව ගෙවන්න වෙන්නෙත් මද්දහෙට්ටි මහත්තයට.එහෙමනැත්නම් ලෙඩා හදිසියෙ අන්ත්‍රා උනොත් එම්බාම් පෙට්ටි වියදම් සේරමත් දරන්න වෙනව.ඒත් කවම දාකවත් ලෙඩෙක් එක්ක යන එක මග ඇරියෙ නෑ අපේ මද්ද හෙට්ටි මහත්තය.පුටුවකහරි ඇඳක හරි බැඳගෙන ගිය ලෙඩෙක් මලමිනියක් හැටියට ඔයසියලු වියදම් දරාගෙන ගේන්න උනත් ඒ ගැන අහනකොට මහත්තය කියන්නෙ”මොනව කරන්නද උන්දැව ඉස්පිරිතාලෙ ගානෙ නොදන්න තැනක වලදාන්න දෙන්න පුලුවනෑ” කියලයි.මේ හින්දම අපේගමේ බොරලුගොඩ හරියෙ ලොකු අසනීපයක් උනහම ලෙඩාව මද්දහෙට්ටි මහත්තයගෙ ගේලඟට ගේන එකයි කෙරුවෙ.ඉතුරුහරිය මහත්තයගෙ මූලිකත්වයෙන් හා බොහෝවිට වියදමෙනුත් උනා.මේවගේ ගම්වාසින් වෙනුවෙන් උදව් පදව් කිරීමගැන කිසිදු මැසිවිල්ලක් නොකරන නෝන කෙනෙක් හිටි හින්දම හොඳට ගියා.මහත්තයගෙ නෝන තැපැල් පුංචි අම්මත් ගම්වාසින්ට උදව් කරේ මහත්තය වගේමයි.

හදිසියෙ කාවහරි ගහකින් වැටුනොත් තුවාලයක් උනොත් ඉතින් කෙලින්ම ඉස්පිරිතාලෙ තමයි .කකුලක් අතක් තුනටිය බිඳීමක් උනොත් වෙද ආතලගෙ ගෙදර.එහෙම ලෙඩාට ඇවිදින්න බැරිනම් වෙද ආතගෙ ගෙදර තියාගෙන බෙහෙත් කරනවා.සාත්තුව කෑමබීම වෙද ආත ගානෙ.දැන් ඔය මිනිස්සුන්ට වාගෙම සතුන්ට වෙදකම් ඕනවෙනවා.හරක් අසනීප උනහම බෙහෙත් හේත් කරන්න හරක් ඇති කරපු අය දැනගෙන හිටියෙ.හරක්ගෙ තුවාල හැදුනම කරන කෙම්ක්‍රමයක් අපේ උඩහ ගෙදර ආච්චි දැනගෙනහිටිය.අහල පහල ගම් වලිනුත් ඔය කෙම කරවගන්න ආච්චි හමු වෙන්න කට්ටිය ආව.අබ අහුරයි හරකගෙ නමයි තුවාලෙ තියන පැත්තයි විතරයි ආච්.චිට ඕන.අබටික මතුරල උදේපාන්දර ලිපිට දාන එක කරන ගමන් අරසතාගෙ නමසිහිපත්කරල තුවාලෙතියන පැත්ත කියල සුවපත් වේවාහි කියන්න ඕන.ඉන්පස්සෙ ඉර බහිනකම් ආච්චි නිශ්ශබ්දව ඉන්නවා.පහුවෙනිදවෙනකොට හරක අයිතිකාරය දැනගන්නවා ආච්චි කෙම කරපු බව.ඒදැනගන්නෙ අරතුවාලෙ ඉන්න පනුවො ඉවත් වීමෙන් දවස්තුනකින් තුවාලෙ වේලෙනවා අත්දුටුයි සත්තයි. අලිඅසනීප උනහම වෙදකම් කරන්න දන්නෙ හෙන්දිරික් බාස් උන්නැහැ.බොහොම ප්‍රසිද්ද අලිබාස් උන්නැහැ.නම්දරාපු සැර අලි නිකම් එලදෙන්නුවාගෙ කීකරුකරගෙන වැඩගත්තු බාස් උන්නැහැ අලින්ගෙ අසනීප වලට බෙහෙත් කරා එච්චර නම් දරාපු හෙන්දිරික් බාස් උන්නැහැ තමන් බලමින් හිටි කෝවිස් රාලහාමිගෙ අලිය උදේ ගහෙන් ලිහන්න ගියවෙලාවෙ අලිය ගහල එලොව ගියා.”ඔහොම තමයි පූරුවෙ කරුමෙ වලක්වන්න බෑ.”ඒඔය මරණෙ ගැන අපේ ආච්චිගෙ මතය.

ඔන්න ඔහොම තමයි අපේ ගමේ මනුස්සයින්ටයි සතා සීපාවටයි බේත් හේත් කරේ. දැන් තරම් දැගලුවෙ නැතුවට ඔය අපේ උදවිය මේ ක්‍රමෙටත් බේත් හේත් ප්‍රතිකාර කරල ජීවත් උනා.

මේව අහන අද ඉන්න පරම්පරවල උදවිය පුදුමවෙන්න ඉඩතියෙනවා.අද අසනීපකාරයො ගෙනියන්නෙ වාහනවල.නාගොඩවිතරක් නෙවෙයි නවලෝක ආසිරි වගේ තැන්වලිනුත් බේත් ගන්න අය අපේගම්වල ඉන්නවා..දෂ්ට කරන සරුපයෙක් හොයා ගන්න අමාරුයි කුනකටුවා අහු උනොත් විසිදාහට විකුනන්න බලනවා.ගෝනුස්සා පන්දාහට විකුනන්න හොයනවාදැන් ඉන්න මිනිහෙකුට නයා ගැහුවොත් මැරෙන්නෙ නයාවඒතරම් මිනිහ විසයි.කසාය අරිෂ්ට ගුලි කල්ක බොන්නෙ නෑ.ඩිස්පැන්සරියෙ තියනවද දන්නෙ නෑ.බෙහෙත් දෙන කංකානම් මහත්වරු නෑ.බබාල හම්බුවෙන්නෙ නර්සිං හෝම්වල.හරක් කියල ඉතින් ඉතුරුවෙලා ඉන්නෙ ගමේ පැරණි වරුණාව කියන අපිකීපදෙනෙක් විතරයි “මොනව කරන්නද එහෙමෙයි කියල ගම අමතක කරන්න පුලුවන්ද?”

8 thoughts on “බේත් හේත් ප්‍රතිකාර

  1. මාතෘ සහ ළදරු මරණ ඒ දවස් වල අදට වඩා බොහොම සුලභයි කියල තමයි අහල තියෙන්නෙ, උපත් වීමට අමතරව පඩිපෙළ වගේ ළමයි හදන්න ඒකත් හේතුවක් උනාලු. කොහොම නමුත් ඔය පඩි පේළි කෙස් එක හින්ද වෙන්න ඕන අද රටට දරන්න බැරි තරම් ජනගහනයක් ඉන්නෙත්.

    ඒ ඇරෙන්න What doesn’t kill you, will make you stronger කියන්න වගේ, මේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීපු උදවිය බොහොම කාලයක් ජීවත් උන බව අහල තියනව 🙂

    Like

  2. මට දොස්තරගේ නම කියලා එවපන්. ඔය ඇඩ්ම්ඩ් කරන්න ඇත්තේ 19 වාට්ටුවට විය යුතුයි.. දොස්තරගේ නම FB හරහා හරි ලියන්න මෙතන ලියන්න බැරිනම්.මොකද ඔතන වෛද්‍යවරුන් දෙදෙනේක ඉන්න හින්දා. ඔබ ඔතනට නොගියා නම් ඇයි රෝහල් අධ්‍යක්ෂකට පැමිණිලි නොකරේ? ඒක තමිය කරන් ඔනම දෙය.. වාට්ටුවට ඇතුලක් කර නම් ආයේ දින දෙන්නේ මොකකටද?

    Like

    1. අපිට ඕන කලේ ලෙඩා බේරගන්න. රෝහල් අධ්‍යක්‍ෂකතුමාට කියන්න ගිහිං දොස්තර මහත්තුරුන් එක්ක වාද කරගන්න තරං උනන්දුවක් අපට තිබ්බෙ නෑ. එහෙම ගියහම වෙන්නෙ දොස්තරවරු සේරම තරහ කරගෙන හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් ගන්න නැතිවෙන එක නෙවැ. කොටිම්ම අපි අම්බානක බයවෙලා උන්නෙ. මුන්දෑ මැරෙයි කියලා. ඉතිං අපිට හැකි දේ කරගත්තා.

      වාට්ටුවට ඇතුලත් කලේ ලෙඩේට බෙහෙත් ගන්ට ගියකොට. ඔය දොස්තර මහත්තය එනකං තියං ඉඳල තමා පෙන්නුවෙ. එයිං පස්සෙ ලෙඩා බලල තමා එතුමා කිව්වෙ ඔපරේසන් කරන්න ඕනෑ, ඒකට පිලිප්ස් එකට ඇතුලත් වෙන්න එහෙම බැයිනං ලබන අවුරුද්ද වෙනකං ඉන්න කියල.

      දැං ගියදේ ගියා. අපි ඔව්වා ඇදලන්ට ගිහිං ආයි වැඩ වර්ජන ඇතිකරවන්නෙ මොකටද?

      Like

  3. මට දොස්තරගේ නම කියලා එවපන්. ඔය ඇඩ්ම්ඩ් කරන්න ඇත්තේ 19 වාට්ටුවට විය යුතුයි.. දොස්තරගේ නම FB හරහා හරි ලියන්න මෙතන ලියන්න බැරිනම්.මොකද ඔතන වෛද්‍යවරුන් දෙදෙනේක ඉන්න හින්දා. ඔබ ඔතනට නොගියා නම් ඇයි රෝහල් අධ්‍යක්ෂකට පැමිණිලි නොකරේ? ඒක තමිය කරන් ඔනම දෙය.. වාට්ටුවට ඇතුලක් කර නම් ආයේ දින දෙන්නේ මොකකටද?

    Like

  4. හරක් කියල ඉතින් ඉතුරුවෙලා ඉන්නෙ ගමේ පැරණි වරුණාව කියන අපිකීපදෙනෙක් විතරයි . ලිපියේ හොඳම ටික.

    Like

  5. හැබැයි අදටත් වලංගු එක කතාවක් මෙතන තියෙනව. ඒ තමයි /නාගොඩ ස්ප්‍රිතාලෙට යැව්වොත් ඉතින් ලෙඩා ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවත් කමක් නෑ? කියන කොටහ. එතන දැන් පිලිප්ස් එකට සෙනග අදින ඒජන්සියක් වගෙයි. ලෙඩෙක් ගෙනිච්චට ඇහැක් ඇරලා බලන්නෑ. අපේ නැන්දම්මගෙ කකුල කැඩිච්චි වෙලාවෙ වරුවක් විතර නිකම්ම ඔහේ ඉන්න ඇරලා නේස් නෝන කෙනෙක් ඇවිල්ලා නිකම්ම ගල් බැන්ඩේජ් එකක් එතුවලු. අනේ දැං උන්දැගෙ කකුල වක ගැහිලා. අපේ නැන්දම්මගෙ බරපතල සැත්කමකටත් ඊළඟ අවුරුද්දෙ එන්න කියලයි කිව්වෙ. එතකං හිටිය නං වැලිගම්පිටි තමා. පස්සෙ උන්දැව මං බදුල්ලෙ ගෙනැහ්ලා මෙහෙ මහ ඉස්පිරිතාලෙට ඇතුලත් කෙරෙව්වා. සති දෙකෙං උපරේසන් එක කරල ගෙදරත් යැව්වා.

    බඩේ අමාරුවට දෙන කිරිමරාජ ගුලි පැකැට්ටෙකයි, දනිස් ලෙලිගහගත්තම ගාන දෑකැත්ත ලකුණ දරන නාහල්ලේ තයිලයයි ඉසේ අමාරුවට බොන ඩිස්ප්‍රීන් එකයි උණට බොන පැන්ඩෝල් එකයි කියන මේ ඔක්කොම ඒ දවස්වල කඩවල් ඔල ගන්න තිබුණා. දැං ඩිස්ප්‍රින් පෙත්ත නෑ. අනික්වා නං තියෙනවා. තුවාලවලට කෝපි දල්ල තලලා කහට ටික ගාන එකත් බෙහෙතක්නෙ. අපේ තාත්තටත් දොස්තර බෙහෙත් අල්ලන්නෙ නෑ. උණ හැදිලා පණ යන්න වැටිල හිටියත් පස්වගේ තම්බල බොනව ඇරෙන්න වෙන බෙහෙතක් බොන්නෑ. ඒ ඉන්න ගමනුත් කියන්නෙ කසිප්පු වේල බීගන්න බැරිවෙච්ච හින්දයි ලෙඩේ හොඳ වෙන්නෙ නැත්තෙ කියලා. උන්දැ කියන හැටියට කසිප්පුවලිං ඇඟේ තියෙන ඕන ලෙඩක් පුච්චල අරිනවලුනෙ.

    සත්තුන්ට කරන වෙදකං හැටියටනං අපි දන්නෙ බළල්ලුන්ට කුප්පමේනියා දෙන එක විතරයි. බළල්ලුංගෙ සරීරෙ හැදෙන ගුල්ම පණුවාට ප්‍රතිකාරෙ හැටියට කියන්නෙ කලුවර ලීයෙ කුඩු බතට අනල කන්න දෙන එකනෙ.

    Like

    1. කට තිබ්බ පලියට කෙබර ඇද බාන්න එපා. අන්තිමට නාගොඩ ගියේ ඉපදිච්ච දවසේද? දෙයක් විවේචනය කරන කොට සාධාරණව කරපන්. බදුලු යන්න කලින් නැන්දම්මා එක්ක නාගොඩ ගිහින් බැලුවාද? ඔබ පවසන දේ 99% අසත්‍ය බව පැවසිය හැක. 1% ඉතුරුව ඇත්තේ ඔබ කියනදේ සතය නිසා නොව අධික තදබදය හා ඉල්ලුම හ හැටියට සේවා ලබා දිමට ඇති අපහසුතාවය නිසා මෙවැන්නක් සිදු විමට ඉඩ ඇති බැවින්ය. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට දේස් පැවරිමට බොහෝ දෙනා පෙරට ආවත් කරන සෙවය ගැන කිසිම තැකිමක් නම් නැති බව පෙනේ. ඔබ පවසන්නේ සත්‍ය නම් සාක්කි ඇතුව ඔප්පු කරන්න. නාගොඩ ඇතැම් සේවා නවලෝක රෝහලට වඩා බහළ මට්ටමින් පවතින බව අත්දැකිමෙන් කිව හැකිය.

      Like

      1. මේක සිද්ධවුනේ 2015 වසරෙ. නාගොඩ රෝහලේ සතියක් විතර නවත්තගෙන හිටියා. ඊට පස්සෙ හිටපු කාන්තා රෝග වෛද්‍යවරයා කෙලින්ම කිව්වා පිලිප්ස් එකට ඇඩ්මිට් වෙන්න කියලා. ඒ දොස්තර මහතාම තමයි පිලිප්ස් එකේදිත් ලෙඩාව බලන්නෙ. අපට ඒ තරම් වත්කමක් නෑ කිව්වම එහෙනං ලබන අවුරුද්දෙ කැලැන්ඩරයක් අරං එන්න කිව්වා සැත්කමට දින දෙන්න. ඒ කියන්නෙ මාස හයක් විතර ඉදිරියට. ඒ තිබුණු ලේ පිටවීමෙ හැටියට මාස හයක් හිටියොත් නැන්දම්මා නිකම්ම මැරෙනව. වෙනිං ඉස්පිරිතාලෙකට ගිහිං බලන්නද ඇහුවම තමයි ඇඟට කඩා පැන්නෙ “ඕන තැනක යනවලා” කියලා. ඒ ගමන තමයි බදුල්ලෙ මහ ඉස්පිරිතාලෙට ගෙනැත් නැවැත්තුවෙ. ඒකත් ඉතිං රජයෙ ඉස්පිරිතාලෙනෙ.

        එයිට කලින් කකුල කැඩිච්ච වෙලාවෙත් සිද්ධවුන දේ තමයි කලින් ලිව්වෙ. මේ හැම එකක්ම මං අත්දැකලම ලියපු දේවල්. කොටිම්ම ලෙඩාව එක තැනකිං තව තැනකට ගෙනියන්න ට්‍රොලියක් ගේන්නත් රෝහල් කම්කරුවා රැපියල් සීයක් ගත්තා. නමුත් මම ලියපු දේවල් සියයට සියයක් වගකීමෙන් ලිව්වෙ. මේක අදාල වෙන්නෙ කාන්තා රෝග වෛද්‍යවරයාගෙ ක්‍රියාවටත් වාට්ටුවට ඇතුලත් කරපු කකුල කැඩිච්චි රෝගියෙක්ට වෙච්ච සිදුවීමටත් විතරයි. නමුත් දැන් හරි ජනතාවට හොඳ සේවාවක් ලැබෙනවනම් ඒක අගය කළ යුතුයි. ලෙඩක් කියන්නෙ මිනිහෙක් උපරිම වශයෙන් අසරණ වෙන තැනක්නෙ.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s