ගම්මඩුව

අපේගමවන බොරලුගොඩ ගම සීතාවක රාජධානිය කාලෙ පටන් ගත්තු ගමක් වීමට හොඳටම ඉඩඇතෙයි කියල මමමීට පෙර ලිපියක ලියල ඇති.මම එහෙම ලිව්වෙ ඊට අදාල හේතු කාරණා ගනනාවක් පෙන්වමිනුයි.මේ හේතු කාරනාඅතර ප්‍රධාන හේතුවක් හැටියට මම පෙන්නුව කාරනයක් උනේ සීතාවක හා අපේගමේතියන පත්තිනි ඇදහිල්ල.සීතාවක රාජ්ජෙට අයිති ගම් සෑම එකකම පත්තිනිදේවාල තිබුනා.ඒවගේම අපේගමෙත් පත්තිනිදේවාලයක් තිබුනා.මේ පත්තිනිදේවාලෙ තිබුනෙ බොරලුගොඩ පංසල පහුවෙලා ඉස්සරහට යනකොට තැපැල්කන්තෝරුව ලඟින් හෙවෙහි ඇලේ තිබුන ඒදන්ඩෙන් එගොඩ උනාම පාරෙන් වම් අත පැත්තෙ මහ නුගේයට.මේ දේවාලෙ ලඟින්ම තිබුනෙ රිචෙල් මුදලාලිගෙ ගේ.මේ මහනුගේ ලඟ පුංචි කුටියක්තිබුනා ඒකෙ තමයි දෙවියො වැඩහිටියෙ.මෙතනට අපි පොඩිඑවුන් යන්නෙ නෑ මොකද කිලි අහුවෙච්ච කෙනෙක් දේවාලෙට ගියොත් මහනුගේ ඉන්න නයා එලවගෙන ඇවිත් දෂ්ට කරනව කියල තිබුන විශ්වාසෙ හින්ද .පාරෙ ඉදන් ඒපැත්ත බලනව මිසක් ලඟට යන්නෙ නැත්තෙ කිලි අහුවෙලාද කියල දන්නෙ නැති හින්ද.අනික ඔයකාලෙ කිලි කියන්නෙ මොනවද කියල අපි කවුරුවත් දන්නෙ නෑ.ලොකු අයගෙන් ඇහුවමත් හරියට කියන්නෙ නෑඅම්මෙ මොනවද කිලි කියන්නෙ කියල ඇහුවම අපේ අම්ම කියන්නෙ කැතකුනු තමයි කිලි කියන්නෙ කියල. එතකොට මලගෙවල්වල යන අය කුනු ගාගන්නවද ඇහුවම ඒකනෙ මලගෙදර ගියහම නාල එන්නෙ කියනවා.කොහොමහරි කිලි ගැන දන්නෙ නැතිනිසා දේවාල නුගේ නයාට බයේ අපි දේවාලෙ පැත්තෙ යන්නෙ නෑ.

මේ දේවාලෙට කිව්වෙ මකලවැල්ලෙ පත්තිනි දේවාලෙ කියල.දේවාලෙ කපු රාජකාරිය භාරව හිටියෙ ලත්පඳුරෙ පත්තිනිදේවාලෙ කපු පරම්පරාව.මුලදි ලත්පඳුරෙ දේවාලෙ කපුවන්ට තිබුන රාජකාරිය පස්සෙ දෙකට බෙදිල තිබුනා ඒ එක් අවුරුද්දක් ලත්පඳුරට අනික් අවුරුද්ද සිරිසේන පත්තිනි කපු මහත්තයට විදියට.මේ එකම පරපුරේ දෙකට බෙදිල්ලක් වෙන්න ඕනා.කොහොමහරි දේවාලෙ සාමාන්‍ය දවස් වලට කපුවො නෑ.භාරහාරවෙන අය දේවාලෙට ගිහින් පත්තිනි දෙවියන්ට කාරනේ සැලකරල පඬුරු ගැට ගහනවා.ගමේම ඉන්න දැනු මැත්තෙක් එක්කගෙන ගිහින් සෙත් කවි කියෝගන්නවා.භාර හාර වෙනවා.මේ භාර වෙන්නෙත් ලෙඩරෝග සනීපකර ගැනීම,නඩුවෙන් ජයලබාගැනීම, පටන්ගන්න යන කටයුත්තක් සාර්තක කරගැනීම,හේනක බවබෝග ආරක්ෂා කරගැනීම වාගෙ දේවල් වලට.මේවාගෙ දේවල් මිනිස්සුන්ට කරගන්න පුලුවන් උනාට දේවාලෙ වාර්ෂික මඩු පූජෝත්සවය කරන්න කපු මහත්තයෙක් ඕනවෙනවා.අන්න එතකොට අර කලින් කිව්ව ලත්පඳුරෙ කපු මහත්තය හරි සිරිසේන පත්තිනි කපු මහත්තය හරි වැඩේට සම්බන්දවෙනවා.වාර්ෂික මඩු පූජෝත්සවය නැත්නම් ගම් මඩුව කරේ ස්ථාන දෙකක.එකක් දේවාල භූමිය.අනිත් ස්ථානය දොරගෙවල ඕවිට.ලත්පඳුරෙ කපු මහත්තයා මකලවැල්ලෙ දේවාලෙ ලඟ ගම්මඩුව කරනකොට සිරි පත්තිනි ගම් මඩුවකලේ දොරගෙවල ඕවිටේ.ඒවිදියට මාරුවෙන් මාරුවට අවුරුදු පතා ගම්මඩුව පවත්වන්න වැරැද්දුවෙනෑ.

ගම්මඩුව පවත්වන ආරංචිය එන්නෙ කපු මහත්තයත් එක්කයි.ගමේ ගෙයක් ගානෙ ඇවිදින කපු මහත්තය ගම් මඩුව පැවැත් වීමේ ආනිසංශෙ කියමින් පත්තිනි මෑනියන්ගේ තෙද බල ගම්වාසීන්ට සිහි කරමින් යනවා.ගෙවල්වල දෙවියන්ට වෙන්කරල තියෙන වී එකතුකරගෙන යන එකත් කපු මහත්තය එක්ක එන ගෝලයින්ගෙ රාජකාරියක්.ගෙවල්වල අයටම කියල පාර අද්දර තියෙන ගේකට වීගෝනිටික ගෙන්නගෙන ඒව කරත්තෙක පටෝල ගෙනියන්නෙ මඩුවෙ රාජකාරි පටන් ගන්නකොටමයි.වී වලට අමතරව ගම් මඩුවට අධාරත් කපු මහත්තය එකතු කරන්නෙ ගම්මඩුවෙ ආනිශංස හැටියට ලෙඩරෝග අඩුවීම බවබෝග අස්වැන්න වැඩිවීම වාගෙ දේවල් ගැන මිනිස්සුන්ට කියාදෙන ගමනුයි.බොරලුගොඩ අතලෙ සුදුවැලිපත ඉඟුරුදලුව රනතුංගොඩ පහලහෙවෙස්ස වාගෙ ගම්වලත් ඇවිදලා ගම් මඩුවට දායකත්වය ගන්න කපු මහත්තය අමතක කරේ නෑ.ඔය ගම්වලසංචාරෙ ඉවර කරල සුභ දවසක ගම්මඩුවට කප් සිටුවීම කරනවා.සිරිසේන පත්තිනි මහත්තය මහා යාතිකාවක් කරල හක් පිඹල දොරගෙවල ඕවිටේ කප් හිටෝනව.මේ කප් හිටුවිල්ලට ඉස්සෙල්ල ඒකට සුභ දවස් නැකත් එහෙම බලල ඒකට ගැලපෙනවිදියට තමයි මේ කටයුතු කරන්නෙ.

ගම්මඩුවට කප් හිටෙව්වම මුලුගමම කථාවෙන්නෙ ගම්මඩුවගැන .ගම්මඩුවෙ දක්ෂ නැට්ටුවො ගැනපිනුම් කාරයො ගැන තැනතැන කථාවෙනව.මුලු කලුතර දිස්ත්‍රික්කෙම නම් දරාපු පිනුම් කරුවා උනෙ වස්කඩුවෙ මලකටුවා ගුරුන්නාන්සේ.මලකටුවා ගුරුන්නාන්සෙ කියලකියනව මිසක් කවුරුවත් නියමනම දන්නෙ නෑ.ඒවුනාට අපිට වැඩිය වැඩිහිටි පරම්පරාව මලකටුවා ගුරුන්නාන්සෙගෙ නැටුම් දැකපු අය.මලකටුවා වැඩියෙන්ම ප්‍රසිද්ද පිනුම් ශිල්පියෙක් හැටියටයි.කුඩා කාලයේසිට නැටුම් ශිල්පය හොඳින් ප්‍රගුනකල මේ ශිල්පියා නාහෙට අහන කෙනෙක් උනේ නෑ.තරුන වයසේ ලොකු ගෝරියකට සම්බන්ද උන අපේ ශිල්පියාව හිරේට නියමවෙනවා.හිරගේ ඇතුලෙ හොඳින් ඉන්න මේ ශිල්පියා කාඑක්කත් හොඳින් ඉන්න කෙනෙක්.එකදවසක් හිරගෙදර ලොක්කා හිරකාරයො බලන්න එනවා හිරකාරයින්ගෙ ප්‍රශ්න ගැන බලන්න ආපු ලොකු මහත්තයට මේනැටුම් ශිල්පියා එක්ක කතාකරල පැමිනිලි තිබේදැයි විමසනවා.තමන්ට කිසි පැමිනිල්ලක් නැති බවත් එහෙම තිබුනනම් මෙලහකටත් පැනල ගිහිල්ල කියල මෙයා උත්තර දෙනව.මෙච්චර ආරක්ෂාවදාල උසතාප්පයක් තියෙන හිරගෙදරින් පනින එක ගැන කජුකන්න වගේ කතාකරන හිරකාරයගෙන් ලොක්ක අහනවා කොහොමද මෙතනින්පනින්නෙ කියල.මටඕනෙනම් ඕනවෙලාවක මෙතනින්ගියහැකි කියල උත්තරේ ලැබෙනවා.ඒකොහොමද කියල අහුවම තාප්පෙට පිම්මක් ගහල කියල උත්තරේ ලැබෙනවා.ලොක්ක මේකවිශ්වාස කරන්නෙ නෑනිකම් කයිවාරුවක් කියල හිනාවෙනකොට මෙයාකියනව ඕනෙනම් පිනුමක් ගහල පෙන්නන්නද කියල.හොඳයි ගහනවකො පුලුවන්නම් කියල අවසරේ දෙන්නෙ අවඥාවෙන්.අපේ මේ ශිල්පිය හරිබරිගැහිල නර්තනවිලාශයෙන් දුවගෙන ඇවිත් ශරීරය උඩට උස්සලා වටදෙකක් උඩකැරකිලා අඩිදහ අටක් උසතාප්පෙ මුදුනට පයතිබ්බෙ අසරු ගසනවේගෙන්.බලාගෙනහිටපු හිරකාරයොයි නිලධාරින්ටයි කතාකරගන්නත්බැරිඋනා.තාප්පෙමුදුනෙ හිටගෙන ඉන්න ශිල්පිය අහනවලොක්කගෙන් පිටපැත්තටද ඇතුල් පැත්තටද ඊලඟ පිම්ම ඕනකියල.යම්තම් සිහිකල්පනාව පහල උන ලොක්ක කිව්ව ඇතුලට ගහපන් පුතා කියල.මෙන්නතාප්පෙන් උඩට පැන්න ශිල්පියා වට දෙකක් කැරකිලා ලොක්ක ලඟ.ලොක්කට මේක දැකල ඇතිවෙච්ච පුදුමෙට “උඹනම් නියම මලකටුවෙක්” කියල මිනිහව බදාගත්තා.එදාඉඳන් මලකටුවා කියන නම පටබැඳුනා කියලයි කියන්නෙ.පසුවහිරෙන් නිදහස්වී ඇවිත් ගම්මඩු දෙවොල්මඩු නැටුම් ශිල්පියෙක් හැටියටත් ලංකාවෙ හිටි දක්ශතම පිනුම් ශිල්පියා ලෙසත්ප්‍රසිද්ධ උන මලකටුවා ගුරුන්නාන්සේඅපේගමේගම්මඩුවටත් එන ශිල්පියෙක්.මටත්බ්‍යාම්තම් මතකයක් තියෙනවා මලකටුවාගුරුන්නාන්සෙගෙ නැටුම් පිනුම් දැක්කාවගේ අපේ ගම් මඩුවෙදි.ඒක හරියටම නිවැරදිවකියන්න බැරි ඒකාලෙ ඕනම දක්ෂ පිනුම් ශිල්පියෙක් අපිට මලකටුවා වීම නිසයි.(මල කටුවා ගැන මේ සමානවෙනස් කතාවක් දිවයින පත්තරේ පලවූ පුවතක් LA විසින් මගේ අවධානයට යොමු කර තිබුනා)

ගම්මඩුවට මුලින්ම කරන්නෙ පුවක්ගස්කපල ලොකු මඩුවක් හදන එක.මේකට මුලුගමම එකතුවෙනවා.ගම්මඩුවටකලින්දැන්වීම් කොලවලින් ප්‍රසිද්ධිය දෙනවා.බෙරකරුවෝ නැට්ටුවො විස්සක් විතර පිරිසක් ඇවිදින් මඩුවෙ කෙසෙල්කදන් ගොක්කොල උපයෝගිකරගෙන ලස්සනතොරන් බඳිනවාමල්‍ යහන් ත්‍රිකෝන හැඩේට කෙසෙල්පතුරුකැටයම් කරපු තොරන සකසල පොල්මල් සැරසිලිහදල ලොකුපුවක්ගසක් පොත්ත සැහැල ශුධකරල මේවැඩ නිමාකරනවා.හවස හතට විතර සිරි පත්තිනි කපුමහතා ලොකු යාතිකාවක් කියල හක් පිඹලා වැඩේ ආරම්භ කරනවා.මේවෙනකොට අහලගම් හතේම පිරිස ගම්මඩු පොලේ.මේඑන සෙනගට තේ වතුර බොන්න කඩකීපයක්ම හැදිල තියෙනවා.ඊලඟට වෛවාරන්න බඩුවිකුනන වෙලෙන්දො මඩුපොලේ ගැවසෙනවා.තවතැනක මුදල් ඔට්ටුවට වයි තැබීම කියල සූදුවක් කරනවා ඒකෙ කැරකෙන රවුම නවතිනකොටු හදල තියෙනවාරෝදෙ කැරකිලා නවතින කොටුවෙ සල්ලි තියලතියන අයට තිබ්බ සල්ලිගානවගේ තුන්ගුනයක් දිනතහැකි.අනිත් කොටුවලතියෙනසල්ලි මේසූදුවෙ අයිති කාරයට අයිතිවෙනවා.තව ගම්මඩුපොලට නොපෙනෙනදුරින් සූදුපොලකුත් අනිවාර්‍යෙන්මතියෙනවා.පොලිස් රාලහාමිල දෙන්නෙක් කොට කලිසම් ඇදගෙන බැටන් පොලු අරගෙන සාමෙ ආරක්ෂා කරනවා.මේකනිසාසූදුපොල පටන් ගන්නවිදියකුත් නැතිවෙනවා.පොලිස් රාලහාමිල කෑමබීමගන්නෙ අපේ ග්‍රාමසේවක රාලහාමිගෙ ගෙදරින් .ඔතනට හොඳරාමුට්ටියක් අරගෙන යන්න නියමවුනු අය ඉන්නවා.රාමුට්ටිය ගිහින්දීලඔලුවත් කහල අපේ රාලහාමිට කිව්වම රාලහාමි කට්ටිය නිදිමරන්න තියෙනනිසා පොඩ්ඩක් කඩදාසි කුට්ටම සෙල්ලම් කරන්නද අහනවා කියල අපේ රාලහාමි සාජන් මහත්තයයි රාලහාමියි දිහා බලල හැබැයි ප්‍රශ්නවෙන්න බෑ කිව්වම අවසර සංඥාව ලැබෙනවා.

දැන්ගම්මඩුවෙ කටයුත්ත මඩුව ඇතුලෙ කෙරෙනවා.බෙරකාරයො හයහත් දෙනෙක් බෙර වලට තට්ටු කරල පදම් කරල බිසෝකප හිටුවන්න සූදානම් කරනවා. සූදානම් වෙනවා.බිසෝකප කියන්නෙක්සෙල් කඳක් ගොක් කොලයෙන් සරසල හිටුවීම.මේ බිසෝකපට පඬුරු හෙමත් පූජාකරනවා.මින්පස්සෙ හඟල පේ කරල පිදවිලිදීලා මල් පහන් දැල්වීම කරනවා.පත්තිනි කතරගම දැඩිමුන්ඩ දෙවොල් වැනි දෙවිවරුන් ට පහන්දල්වා කාලපන්දම් ගස එසවීම කරනවා මීටයොදාගන්නේ අරසකස් කරගත් පුවක් ගසයි.මේපුවක්ගසමුදුනේ දැල්වූ පන්දමක් ගසා ගොක්කොල දම්වැල් ඇද කාලපන්දම්ගස සිටුවීම කරනවා.කඩතිරෙන් වහල තියෙන තොරන නියමිත ගායනාවලින්පසු කඩතිර ඉවත් කර තොරන් දැක්මකරනවා.මල්පහන් පූජාකරදුම් අල්ලා දේවාඅරාධනාවකර දේව ආභරණ තොරනට වඩම්මනවා.ඉන්පසු මගුල්බෙරවයා තෙල්මෙ නැටුම සිදූකරනවා හිසේ සුදුපැහැති ජටාවකින් ආවරනයකරගෙන උරහිස් සොලවමින් කරන තෙල්මෙ නැටුම බොහොම දර්ශනීය අංගයක්.තෙල්මෙ නැටීමට තෙල්මෙපද හතක් සහ සුරල්හතක් නටනවා.ඊට පස්සෙ පත්තිනි සලඹගෙන අවටසිටින අයට පෙන්වමින් වේගවත් නැටුමක යෙදෙන සිරි පත්තිනි කපුවා සලඹ දැක්වීම කරනවා.පත්තිනිදෙවියන්ගෙ සලඹෙ ස්වරූපය බලාගැනීමේ ආශාවෙන් කොච්චර සැලකිලෙන් බැලුවට අතේසොලවමින් ප්‍රදර්ශනය කරනනිසා එය බලාගන්න අපහසුයි. රත්‍රන් පාට වලල්ලක් බඳු දෙයක් කිව්වෑකි.ඊලඟටඑන ත්‍රාසජනක අංගය වාහල නැටීමයි.වාහල නැටීම ආවෙසවීමකින් කරනදෙයක්.වාහල ඇදුමෙන් සැරසුන නැටුම් ශිල්පියා දුම්මල මතුරා ගිනිකබලට දමා එන දුම් අල්ලා ආවේසය ගන්නවා.මෙහිදී වරමක් ලැබීම වෙනබවයි විශ්වාස කරන්නෙ.වේගවත් නැටුමක අඩසිහියෙන් යෙදෙන නැට්ටුවා හිසපලදින වාහලතොප්පිය ඇස්වැසෙන මට්ටමේ තියෙන්නෙ.වාහල පද හතක් නැටීම මෙහිදී සිදු වෙනවා.අවසානයේ දෑතට දෙන පොල්මල මුහුනේගසා ගනිමින්වාහල නැටුම අවසන් වෙන්නෙ නැට්ටුවා සිහිසුන් වීමෙන්.දැඩිමුන්ඩ දෙවියන් වෙනුවෙන් නටන වාහල නැටුම ඉතාම ලස්සන හා ත්‍රාසජනක නැටුමක්.මීටපස්සෙ අඹවිදමන දෙවොල්ගොඩ බැසීම පත්තිනි නැටීම වාගෙ අංග ගම්මඩුවෙ තියෙනවා.දෙවොල් දෙවියන් සීනිගමින් ගොඩ බැසීම නිරූපනය කරන දෙවොල් ගොඩබැසීම නාට්‍යමය රංගනයක්.ලංකාවට ඇතුල් වෙන්න උත්සාහ කරන දෙවොල් දෙවිවරුන්ට කඩවතේදී මුහුන දෙන බාධාවන් නාට්‍යමය වයෙන් රඟ දක්වනවා.මට අද හිතෙන්නෙ වර්තමානයේ ආගමනවිගමන කවුලුව තමයි එදා කඩවත හැටියට තිබුනෙ කියලයි.පිනුම්ප්‍රදර්ශනයක් මේඅතරවාරයේ කෙරෙනවා.සමර්ත පිනුම්ශිල්පින් තම දක්ශතා පෙන්වමින් කරනම් පිනුම් ගැසීම මෙහිදීවෙනවා.කාලපන්දම් ගසේ උඩ ගොක් කොල සැරසිල්ලක බඳින රුපියල් දහයෙ නෝට්ටුව පිනුමකින් ගොස් කඩගැනීමේ පිනුම් තරඟයක්ද කෙරෙනවා.බෙර වාදනය වේගවත්කරද්දී දුවගෙන එන පිනුම් ශිල්පීන් උඩ පැන ගුවනේදී වට දෙකක් කැරකී ඉහලටගොස්‍ යලි ගුවන් පිනුමකින් පොලොවට පාතැබීම විශමය ජනක දර්ශනයක්.අවසානයේදී එක් දක්ෂ පිනුම්ශිල්පියෙක් කාලපන්දම්ගහේ තියෙන නෝට්ටුව වැලමිටට හිරකර කඩා ගන්නවා.සාමන්‍යෙන් අඩිවිස්සක් විතර උඩ එල්ලන මේනෝට්ටුව කඩාගැනීම අපේ නැටුම් ශිල්පයේ දිගුවක් වූ පිනුම් ශාස්ත්‍රයේ හපන්කම පෙන්වන්නක්.මීට අතිරේකව උල්පිහියා තුනක් දෙපා අසල දෙපැත්තේ හා මැද සවිකර උඩපැන කැරකී පිහියාතුන අතරට කකුල තැබීම වාගෙ ත්‍රාසජනක පිනුම් පෙන්වනවා.පත්තිනිදේවියමෙන් ස්ත්‍රීවෙස්ගෙන පත්තිනි නැටීම කරන්නෙ ප්‍රධාන කපු මහතාමයි අවසානයේ ගරායක් නැටුමෙන් ගම් මඩුව අවසන් වෙනවා.කහදිය කොතලයත් රැගෙන අසල මාර්ගයේ ටිකදුරක් ගොස් කහදිය ඉසීම ගමට කරනසෙත් ශාන්තියක්.

මෙසේ ගම්මඩුව අවසන්වූ පසුවත් සතිදෙකතුනක් ගම්මඩුවගැන කථා ගමේ පවතිනවා.ඉන්පස්සෙ ගම්ම්මඩුව අමතකයි.කොහොම උනත් ගමක් එක්කාසුවී අපූරු අවස්ථාවක් නිර්මානය කරගන්නෙ ගමේ යහපතට.මේ කාර්‍යට විවේචකයොත් හිටියා.ආන්ඩුවේ මැනුම් කම්කරුවෙක් ලෙස රාජකාරි කරපු අපේ බාප්පා එහෙම කෙනෙක්.එකවෙලාවක ගම්මඩුවට වී එකතු කරන්න ආපු පත්තිනි කපුවගෙන් බාප්ප ඇහුවා මේ වී මොකටද ගන්නෙ කියල දානෙටනෙ මහත්තයො කියල කපුව උත්තරදුන්න ගියසැරේ මෙහෙන් එකතුකරපුවී බදුරලියට ගෙනිච්චෙ මොකටද එහෙනම් කියල බාප්ප ඇහුවම බාප්පට බැන බැන කපුව ගියා.බාප්ප කිව්ව කටවහගෙන පල නැත්නම් තොගෙ කරේ තියෙන පච්චවඩමෙන් බැඳල කලුවලේ ඔබනව කියල.ඉන්පස්සෙ කවදාවත් අපේ ගෙවල් පැත්තට කපුව ආවෙනෑ.

කොහොමහරි එදා ගමම එකතුකරපු ගම්මඩු යාගෙ පස්සෙන් පහු නැතුවම ගියා. මකලවැල්ලෙ දේවාලෙත් අභාවයට ගියා.කපු පරම්පරාවත් නැති උනා.පත්තිනි දෙවියොත් කොහාටදෝ වැඩමකරා.අපේ ගමට අලුත් දෙවියෙක් ආවා.ඒ තේ ගහට අධිපති සල්ලි දෙවියො.ඒදෙවියො මුලුගමටම පිහිටවෙනවා.එදා ගම්මඩුව නැටූ බිමේ තේ වවලා අලුත්දෙවියො වැඩමෙව්වා.පත්තිනිදේවින්නාන්සෙ සිංහරාජෙ ඉඳන් වැලපෙන කොට ගලන කඳුලු මගුරුගඟ දිගේ පහලටඑනවා.මොනව කරන්නද? ඕවායෙ හැටි ඔහොමයි ඕං.

8 thoughts on “ගම්මඩුව

  1. මම හිතාගෙන හිටියෙ ගම ඉගුරුදලුව කියල මම ඉගුරුදලුව හරහා අතලෙ ඉස්කෝලෙට කීපවාරයක් ගිහිල්ල තියනව ඉතින් අතලෙ ඉස්කෝලෙ ළග ඉදල බොරලුගොඩට යන්න තව දුර යන්න ඹ්නනෙ

    Like

    1. අපේගම ඉඟුරුදලුව බොරලුගොඩ කියන්නෙ ඉඟුරුදලුව වාසීන්ගෙ මුල්ගම.මගුරු ගඟේ වම් ඉවුරෙ ඉගුරුදලුව.දකුනු ඉවුරෙ බොරලුගොඩ.අපේ ගමයි මුල් ගමයි අතර දුරේ වෙනස මගුරු ගඟේ පලලට සමානයි.මගුරු ගඟේ වමිවුරෙ ඉගුරුදලුවට පහලින් තියෙන ගම අතලෙ.අතලෙට අනිත් ඉවුරෙ රනතුංගොඩ තියෙන්නෙ බොරලුගොඩට පහලින්.

      Like

  2. අපේ ගමේ ඔය වැඩේට කියන්නෙ ගිනිමඩු නැටිල්ල කියල. අපේ තාත්තගෙ අම්මගෙ මල්ලි කෙනෙක් වෙන ගුණසිංහ ආතා තමයි ඔය වැඩේ කරන්නෙ. කුකුලේගම මහපාලම පහුවෙනවත් එක්කම වම්පැත්තට තියෙන පාරෙ පොඩ්ඩක් දුරින් තියෙන පිට්ටනි කෑල්ල තමයි ගිනිමඩු පිටිය. අපි ඒකට කිව්වෙ “ලා ගුන්ද” ක්‍රීඩාංගනය කියලා.

    ගිණිමඩු නැටිල්ලෙ එළිවෙන ජාමෙට තියෙන අඹ විදිල්ල සෑහෙන දෙපිට කැපෙන කතා කියවෙන එකක්. බෙරකාරයත් යකත් අතර ඇතිවෙන සංවාදය අහං ඉන්න මරු.

    දැන්නං ගිණිමඩු නටනවදවත් දන්නෑ. හැබැයි අදටත් කලුතර මල්අස්නෙ දේවාලෙ “මොරැස්” කපුමහත්තයගෙ ගම්මඩු උත්සවේට නං අවුරුද්දක් ගානෙ අපිත් කඩෙං හාල් අරං යවනව.

    ගම්මඩු නැටිල්ලෙදි යස්ස දෝස තියෙන අය වෙනම ආවේස වෙලා නටන නැටිල්ලත් බලන්න ඕනැ. අපේ බාප්පටත් එහෙම ලෙඩක් තියෙනව.

    Like

  3. කැලණි මිටියාවතේ පත්තිනි දේවාල ගම්මඩු ජනතාව අතර ඉතා වැදගත් දෙයක් ලෙස සලකනු ලැබේ.
    ඇඹුල්ගම සහ කඩුවෙල දේවාල වල ගම්මඩු වලට මමත් ගිහින් තියෙනවා.
    මේවා සිංහල ගැමි ජනතාවගේ සංස්කෘතික අංග.
    ඔබතුමාට ස්තුතියි

    Like

    1. බොහොම ස්තූතියි ජනශ්‍රැති යේ එනතොරතුරයි මා ලියා ඇත්තේඒකියන්නේ අපේගම්වාසින් අතර මේශිල්පියා පිලිබඳව පවතින පුරාවෘතය. සත්‍යතොරතුරු ඉදිරිපත් කිරීම ඉතාහොඳයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s