කැලේ යාමයි පොලේයාමයි.

රූණ කන්ද යෝජිත රක්ෂිත මහවනන්තරේට මායිම්වෙලා තියෙන ගමේ ඉපදුන අපි හැමෝම ඔය මහ වනන්තරේ එක්ක ජීවත් උන පරම්පරාවල්වලට අයිති මිනිස්සුය කියල කියන්නෙ ලොකු ආඩම්බරයකින්.මේ මහවනන්තරේ අපේ ගෙවල් ඉදන් තවගෙවල් දෙකකට එහාපැත්තෙන් පටන් අරගෙන මහසිංහරාජෙ හරහා මොරවක්කෝරලේ හිනිදුම් පත්තුව ගිරුවාපත්තුව පැත්තට යනකම් තියෙනවා.අනිත් පැත්තෙන් කුකුලු කෝරලේ අටකලන් කෝරලේ කොලොන්න කෝරලේටත් පැතිරෙනවා.අපිකුඩාකාලෙ අපේ වැඩිහිටියො මේ මහ වනන්තරේ ප්‍රයෝජනයට ගත්තෙ හරිම අපූරු අන්දමටයි.ඒ කාලෙ අපේ වැඩිහිටියො නගරෙට යනවට වැඩිය කැලේට ගියා.මේ විදියට කැලේට යන්න හේතු උන කරුණු රාශියක් තිබුනා.මේහැම කාරනයක්ම ජීවිකාවත් එක්ක සම්බන්දයි.අපේ කැලෑව මිනිස්සුන්ගෙ ජීවිකාව පවත්වගෙන යන්න උපකාර උනේ විවිධ විදියට.

සමහරුන්ට කැලෑව ප්‍රයෝජනවත් උනේ කැලේකොලේ හැදෙන නානා ප්‍රකාර දේවල් එකතුකරගන්නයි මොනවදමේ දේවල්.? ප්‍රධාන වශයෙන් බැලුවම කොටස් දෙකක් මේ වන නිෂ්පාදනවල තිබුනා.එකක් ආහාරය සඳහා කෙලින්ම යොදාගන්නා ද්‍රව්‍ය.මෙතනදි ප්‍රධාන දේවල් උනේ හල් ගෙඩි.බෙරලිය කොහිල මීපැනි බඹර පැනි හතුවර්ග කටුවල ගෝනල වගේ අල වර්ගවාගෙ දේවල්.මේදේවල් බොහොමයක් වෙලාවට කාලෙකට විතරක් හැදෙන දේවල්මේවකැලේ හැදෙන කාලෙ දන්න උදවිය ඒ හැදෙන ඉසව් ගැනත් හොඳ අවබෝධයකින් ඉන්නෙ.ඉතින් ඔය කාලෙ එනකොට මේදේවල් හොයන්න වනගත වෙන්නෙ කන්ඩායම් හැටියට .කන්ඩායම පස් හය දෙනෙක් විතර ඉන්නව.හල් අහුලන්න යන අය ඒකට ඕනකරන ගෝනි මලු එහෙම අරගෙන දවල් කෑමට බත් මුල් බැඳගෙන ලොකු බුලත් විට මලු හදගෙන උදේ පාන්දරින් වනාන්තරයට ඇතුලු වෙනවා.මේගනනට කාන්තාවොත් සමහරවෙලාවට එකතු වෙනවා.වැඩිය යන්නෙ පිරිමි.කාන්තාවො ඉන්න නඩේකත් පිරිමි අය කීප දෙනෙක් ඉන්න ඕන අනිවාර්‍යෙන්ම.මේයන අය ගෙ මල්ලෙ අනිවාර්‍යෙන්ම කූඩලු සබන් කැටයක් තියෙනවා.මොකද අපේ වනන්තරේ පුරාම බොහොම සැරට මේ කූඩැල්ලො හිටිය නිසා.මහවනන්තරේ කූඩලු හමුදාව ඉතින් බොහොම සැර හමුදාව්ක්.අවුරුදු දහස් ගානක් කොලරොඩු තැන්පත් වෙලා ගැඩවිල් පනුවන්ගෙ ආහාරය ඔස්සේ සරුසාර උන එරෙන පස්තට්ටු වලින් යුක්ත වනාන්තරයෙ නිරන්තරයෙන් පවතින තෙත මනය කූඩලු හමුදාවට බොහොම හිතකර තත්වයක්.ඉතින් මේ කොලරොඩු අස්සෙ ඉන්න කූඩලු හමදාව ඔවුන් මතින් පයතියන මිනිස්සුන් ගෙ ලේ ඉවට කොලරොඩු අස්සෙන් එලියට ඇදෙනවා.එලියට ඇදුන කූඩලු බලකාය සීරුවෙන් හිට ගන්නවා.පොල් ඉරටු කෑල්ලක් කෙලින් හිටෙව්ව වාගෙ සීරුවෙන් ඉන්න කූඩලු හමුදාව ඊලඟට තමන්ගෙ ලඟින් තියන කකුලෙ එල්ලෙනවා.කකුලෙ එල්ලුනු වහාම පටන් ගන්නෙ මැනීම.කකුලදිගේ කලවදිහාවට මැනුම් කරල දත ගහගන්න පහසු තැනක දත ගහල පොඩි ශ්‍රාවයක් ශරීරෙටවිදල අපේ ලේකැටි ගැසීම වලක් වන කූඩැලු හමුදාවෙ සාමාජිකයො රුධිර පානය ආරම්භ කරනවා.අපේ ඇඟේ කොතන හරි තුවාලයක් වෙලා ලේගලන්න පටන් ගත්ත ගමන් අපේ ශරීරයෙන් ලේගැලීම නවත්වන්න සිදුරුවූස්ථානයේ රුධිරය කැටි ගස්සන්න වැඩපිලිවෙලක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනවා.වහාම සිදුර වසන ලේකැටියක් සැකසී ඉන් ලේගැලීම නතර කරනවා.කූඩැල්ලො මේක දන්නවා.හැබැයි ඒකොහේවත් වෛද්‍ය විද්‍යාලෙකින් ඉගෙනගෙන නෙවෙයි.ඒහින් ද තමන් ලේබොන්න සිදුරු කරපු තැනටතමන්ගෙ ශරීරෙන් දියරයක් දමමින් තමයි මේ ලේබීම කරන්නෙ.ඒදියරය අපේ ශරීරයේ රුධිර කැටි සැකසීම වලක්වන සංයෝගයක් සහිතයි.ඒ හින්ද කූඩැල්ලා සිදුරු කල ස්ථානයෙන් අඛන්ඩව ලේ ගැලීම වෙනවා මේලේ ටිකබීල කූඩැල්ලා රවුම් බෝලයක් වෙලා බිමට වැටෙනවා.මේහමුදාව පාලනයට තමයි කූඩලු සබන් කැටේ ඕන වෙන්නෙ.සබන් කකුලෙ ගාගන ඉන්න කොට කූඩැල්ලට කකුලට ගොඩවෙන්න බෑ. හින්ද කැලේයන අය වරින්වර කකුල් දෙකේම සබන් ගාගන්නවා.කොහොම උනත් අවටතියෙන පොඩි පඳුරුවල තනකොලවල පිනිගැවිල සබන් හේදෙන නිසා කූඩැල්ලො හතර පස් දෙනෙක් වත් කකුලෙ ලේබොන එක කලේයන අයට සාමාන්‍ය දෙයක්.ඔය කිව්වා කූඩැල්ලා නිකුත් කරන රුධිර කැටි ගැසීම වලක්වන ශ්‍රාවයෙන් හදවතේ රුධිර කැටි දියකරන බලවත් ඖෂධයකුත් හදනවලු ඕං.

මේ කූඩලු හමුදාවෙ ඉන්න කහපාට ඉරි ඇඳ ගත්තු මේජර්ලා එක්ක එන සාමන්‍ය කුඩා අනුකුඩා සොල්දාදුවන් එක්ක සටන් කරමින් වනන්තරේට කන්ඩායම පියවර නගන්නෙ හිත් හෝදිසියෙන් කලින් ගිය පාරවල් හොයාගනිමින්.මහවනන්තරේදි ඉර පේන්නෙ නෑ මහ රූස්ස ගස්වල එකිනෙකට වෙලිච්ච අතුඉති පද්ධතියෙන් මුලු ආකහේම වැහිල තියෙන්නෙ.වනන්තරේ යටි කැලෑවක් නැති නිසාඇතුලෙන් යන්න බාධාවක් නෑ.ඒවගේම වනන්තරේ යනකොට පාලුවකුත් නෑ.මොකද විවිධ ප්‍රානීන් නගන හරි අපූරු සද්ද සංගීතයක් වනන්තරේ දිගටම ඇහෙනවා.ට්‍රැට් ට්‍රීංංංංංංංංං කියල කෑගහන රැහැයියො අතරෙ බ්‍රාරුං බ්‍රාරුං බ්‍රාරුං කියල කෑගහන්නෙ පුන්චි දියපාරවල් අයිනෙ ඉන්නෙ කකුලුවො කියලයි දන්න අය කියන්නෙ.තව බටගොයි නීල කොබෙයි කොට්ටෝරුවො කෑදැත්තො ගිරව් තව නම් ගං නොදන්න කුරුල්ලොයි එකට නගන සද්දෙ මැද්දෙන් යන වනන්තරේ ගමන හරිම විනෝදයි.මේ විනෝදෙන් හල් මංඩිය හරි බෙරලිය මංඩිය හරි ඉලක්ක කරල යන කන්ඩායම වෙහෙස නිවාගන්න වාඩිවෙන්නෙ කැලෑව මැද්දෙ තියන දොලක හරි ලොකු ගල්පොත්තක හරි මොකද කූඩැල්ලො නැතුව වාඩිවෙන්න පුලුවන් ඔය තැන්වල විතරයි.ටිකවෙලාවක් වාඩිවෙල ගිමන් හරින ගමන් බුලත්විට සප්පායම් වෙන කන්ඩායම පැරනි මංසලකුනු ඔස්සේ හල් මංඩියට නැත්නම් බෙරලිය මංඩියට ලඟාවෙනවා.කොයි ජාතිය උනත් කඩාගන්න ගස්වලට නැගල අතු කපන්න ඕන.හල් ගස් වට අඩි දහයක් විතර විශාලනිසා ලඟ තියෙන වෙන ගස්වලින් නැගල ගෙඩිතියෙන හල් අතු කපන්න ඕන.බෙරලිය ගස්වලත් අතු කපල බිමදාල තමයි ගෙඩි කඩන්නෙ.හල් නම් ගෙඩි තමයිඒත් බෙරලිය ගෙඩි නෙවෙයිතියෙන්නෙ කුරුලො.බෙරලිය කුරුල්ල හරියට හොර කුරුල්ලගෙ පුංචි කාලෙ වගෙයි.මේවිදියට නඩේට ඇති වෙන්න හල් බෙරලිය එකතුකරගෙන.ඊලඟට කොහිල තියෙන දෙනියට ෆිහිල්ල කොහිලත් කපාගන්නවා.සමහරු හල්ගස්‍ යට තියෙන දුම්මලත් අහුලාගෙන එකතු කරනවා .මේසේරම කරගෙන ආපහු දොලක් ලඟට ඇවිත් බත්මුල් ලිහාගෙන කාල හවස හතර හමාර විතරවෙන්න ඉස්සෙල්ල කැලෙන් එලියට එනවා.හවස පහ විතරවෙනකොට කැලේ ඇතුලට කලුවර වැටෙනවා.ඒනිසා ඊට කලින් කැලෙන් එලියට එන්නයි බලන්නෙ. මේ එක්දින වනචාරිකාව ටිකක් විනෝදෙටත් දුර්ලභ ආහාරයක් එක් කර ගැනීමටත් යන එකක්.

දවස් ගානක් කැලේ නතර වෙන්න යන වන චාරිකාව මීට වැඩියවෙනස් එකක්.මේ විදියට දවස් ගනනාවක් කැලේ නතරවෙලා එන්න යන්නෙ විකුනල සල්ලි ගන්න පුලුවන් වන ද්‍රව්‍ය එක්‍ රැස් කිරීමටයි.මොනවද මේවගේ එකතුකල දේවල්.ප්‍රධාන වශයෙන් වේ වැල්. මේ ඇරුනහම තවත්බොහෝදේ තිබුනා.විවිධ වැල් වර්ග කැපීම.ඒ කිව්වෙ වේ වැල් හැර බාඳුරා වැල් කහ වැල් බමර වැල් පට්ටික්කාවැල් වාගෙ වැල්වර්ගවලට ඒකාලෙ ලොකු ඉල්ලුමක් තිබුනා.මේ වැල් කපන්න වනන්තරේට යන්න ඕන.ඊලඟට එනසාල් කැඩීම.දුම්මල කැඩීම මේවත් වනාන්තර ගතවෙන්න හේතූන්.ඊලඟට හොරෙන් මැනික් ගැරීම වාගෙ නීතිවිරෝධීවැඩවලට ගිය එකෙක් දෙන්නෙක් හිටියා.ඒක වැඩිදෙනා අනුමත කලේ නෑ.එනිසා එහෙම ගිය මැනික් හොරු.ලී හොරු වන වැදුනෙ ගමටත් හොරෙන්.ප්‍රධානවශයෙන් වේවැල් කැපීමට ගියඑකතමයි උනේ.මේවැඩේට කැලේයන්න අඩුමතරමෙ තුන්දෙනෙක් ගෙ වත් පිරිසක් ඕන.වැඩිම උනොත් පස් දෙනෙක් ගියේ ඉතාම කලාතුරකින්.මේගමනට යන්න හොඳට සූදානම් වෙන්න ඕන. මේකට ඕනකරන කලමනා සංවිධානය කරන්නෙ හවුලෙ.කෑම ජාති අවිආවුධ බෙහෙත් ඖෂධභූමිතෙල් කුප්පි ලාම්පු හැලිවලං ආදී දේවල් එකඑක්කෙනා අවශ්‍යපමනට ලැහැස්තිකර ගන්නවා.මේ ගමනෙදි කෑමබීමටත් වැඩිය වැදගත් වෙන්නෙ හොඳට මුවාත තියෙන පිහියා කැති වල අවශ්‍යතාවය.වනාන්තර ගත වුනහම නැතුවම බැරි දේ තමයි අතට ආයුධයක්.මේ ආයුධේ හොඳට මුවාත් නැත්නම් වැඩක් නෑ.ඒ නිසා ගෙනියන අවි ආයුධ මුවාත් තැබීමට පැය දෙක තුනක කාලයක් අරගන්න එක සාමාන්‍ය සිරිතක්.මේ සේරම ලැහැස්තිකරගෙන කතාවෙච්ච කට්ටිය කැලේයන්න උදෙන්ම එකතු වෙනව.පොඩිසිංඤො මාම කැලේ යන අය අතර ප්‍රධානියෙක්.ජෝන් මාම අපේ ලොකුමාම මෙතියෙස් මාම පබිලිස් අයිය මද්දුම මාම වගේම අපේතාත්තත් මේකැලෑ ගමන්වලට ගියා.

කැලේ යන අය උදේ පාන්දර හය විතර වෙනකොට ගමෙන් පිටත් වෙන්නෙ තමන් යන්න බලාපොරොත්තුවෙන කැලෑ මංඩියට ගිහින් නවාතැනක් පිලියෙලකරගන්නත් ඕනනිසයි.බොහෝවෙලාවට මහ වනන්තරේ හැතැක්ම දහයක් පහලොවක් ගිහින් තමයි වේවැල් මංඩිය හොයාගන්නෙ.මේ වනන්තරේ ගමන ලේසිවෙන්නෙ නෑ.මොකද හැමෝම දවස් පහක් විතර කැලේ ජීවත් වෙන්න ඕන කරන බඩු ගෝනියකුත් කර ගහ ගෙනනෙ යන්නෙ.අනිත් එක වනන්තරේ මැද්දෙන් යන්න ඕන හිත් හෝදිසියට පාර හොයාගෙන.මොකද අපේ ගැමියො සිතියම් බලාගෙන කොම්පාසුවෙන් හොයාගෙන නෙමෙයි මේ ගමන ගියෙ තමන්ගෙ මතකය පාවිච්චි කරමිනුයි.කැලෑව හැමදාම අලුත් වෙන නිසා මේ අය මේගමනෙ ගමන් ලකුනු හැටියට තියාගෙන ඉන්නෙ නොවෙනස් වන ලකුනු.ඒ ඇල දොලවල්.ගල්තලාවල් දැවැන්ත ගස් කඳුගැට වාගෙ දේවල්.ඒවාගෙම කැලේ එකඑක ප්‍රදේශ වලට නම් තිබුනා .පාත්තරාව, වැලෑනෙහේන,හිඟුරුවැල්දෙනිය,සුදුවැලිපොත,පිටකැලේ,කොලඹ කන්ද,වාගෙ ප්‍රදේශ වලට නම් දාල තිබුනා.දැන් අපිට කැලේ තැනක නමක් කිව්වට යනවිදිය දන්නෙ නැති උනාට එදා අපේගමේ උදවියට මේ තැන් හොයාගෙන යන්න පුලුවන්කම තිබුනා.කොහොම හරි කැලේයන කන්ඩායම දවල් කෑම ගන්නෙ අතරමග කැලේ මැද්දෑවෙ දොලක් ලඟදියි.ගෙදරින් හදාගෙන එන බත් කොලපත් මුල් ලිහලකෑම කාලා දොලෙන් වතුර බීල බුලත් විටකුත් සප්පායම් වෙලා ආයිත් ගමන පටන්ගන්නවා.කොහොමටත් හවස තුන විතරවේනකොට වැල්මංඩියට ලඟාවෙනවා.එතනට ආපු ගමන් නවතිනවාඩිය හදාගන්නවා.මේ වාඩිය හදන්නෙ දොලක් කිට්ටුවෙන්.මොකද උයන්න පිහින්න බොන්න වතුර ඕනනිසා.ගල්තලාවක් තියෙනවනම් ඒක අයිනෙන් වාඩිය හදනවා.වාඩිය හදන තැන සුද්ද කරල එතනතියෙන ගස් දෙකක් අල්ලල මුදුන් යටලීය හැටියට හරහට ලීයක් බඳිනවා.ඊටපස්සෙ ඒ ලීයෙ ඉඳන් පරාල හත අටක් බිමටම කෙලවරක් එනවිදියට තියාගන්නවා.අනිත් පැත්තට අඩිහතරකවිතර පලයක් හදාගෙන හරස් කෝටු බැදල වේ අතු හරි බේරු කොල හරි කඩල වහලෙ සෙවිලිකරනවා.ඊලඟට නිදාගන්න මැස්සක් වාඩිය ඇතුලෙන් හදනවාඅඩි දහයක විතරදිග අඩිහතාටක් පලල මැස්සකනු හිටවල කෝටු බැදලා හයියට හදනවාමැස්ස ඉස්සරහ පැත්තෙ බිම ගිනිමැලේ හදනව.මැස්ස ඉස්සරහ පැත්ත බිම ඉඳන් අඩි තුනක් විතර උසටයි හදන්නෙ.මැස්සෙ උඩට බඩුගෙනිච්ච ගෝනි කෑලිටික දාගත්තම වැඩේ සම්පූරනයි.ඊලගට දර ටිකක් එකතුකරල කෑම උයාගන්නවා.එලිවෙනකම් පත්තුවෙන ලොකු ගිනිමැලේ ගහල මැස්සට නැගල නිදියනවා.අස්සෙන්ද උදෙන්ම දවල්ට උයලා කට්ටියම වැල් ම්ංඩියෙ වැල් කපනවා.

මේකපනවැල් වේ වැල් කිව්වට ඒවායෙත් විවිධවර්ග තියෙනවා.ලොකු පොල් ඉරටෙකට වැඩිය ලොකු වැල් කුකුලු වැල්.පැන්සලක් විතර මහත වැල් වේවැල්.සාමන්‍යෙන් කැති මිටකට වැඩිය ලොකු වැල් වර්ගත් කීපයක් තියෙනවා තම්බොටු වැල් තුඩරෑන වැල් වඳුරු වැල් ආදී වශයෙන්.අපේ උදවිය කපන්නෙ ලොකු වැල් .මේවැල් මහරූස්සකැලේ මැද්දෙන් එතිල ගස්මුදුන්වලින් එලියට කරටිය පැනල තියෙන්නෙ.සමහර වැල් අඩි සීයකටත් වැඩියි.මේ වැලේ මුල්හරිය ශුධකරන්න දෙයක් නෑ.කොලපාටට තියෙන්නෙ ඉතින් අඩි පහලොවෙ විස්සෙ කුට්ටි වැලෙන් කපා ගන්නයි තියෙන්නෙ.මේ වැල්ගිහින් තියෙන විදිය හොයමින් කුට්ටි කපාගනිමින් දවස ගත කරන කන්ඩායම වැල් කුට්ටිටිකත් අරගෙන වාඩියට එනවා.රාත්‍රියට උයාගෙන කාලා කුප්පි ලාම්පුවක් පත්තුකරගෙන කට්ටිය වැල් පලනවා.ලොකුම වැල්කුට්ටියක් අටට පලන්න පුලුවන්තමතමන්ගෙ වැල් පලල රෑවෙනකම් වැඩකිරීම මේ අයගෙ සිරිතක්.වැල්ටික පලල පින්නෙ දාල තිබුනම මදින්න ලේසියි.ඉතින් දවස් තුනක් යනකොට වැල් කපල ඉවරයි ඊටපස්සෙ පලපු වැල් මැදීම කරනවා වැල් මැදීම කරල වැල්මිටියක් හදාගෙන අරගෙන එන්න සූදානම් කරනවා.
මේ වැල් කැපී ම අතරතුර අපූරුදේවල් වෙන්න පුලුවන්.මහ වනන්තරේ මැද නතරවෙලා ඉන්න කොට රාත්‍රියට හිතාගන්න බැරිදේවල් වෙනවා.එක අවස්ථාවක අපේ තාත්තයි තවදෙන්නෙකුයි කැලේ දොලක් අයිනෙ වාඩියක ඉන්න කොටරාත්‍රියෙ දොලදිගේ පහලට දොලේ දියපාරෙ කිසියම් දීප්තිමත් ආලෝකයක් විහිදුවන දෙයක් හිමිහිට ගමන්කරනව දැක්කලු.කොච්චර ආලෝකයක් විහිදුවනවද කියනවනම් මුලුවාඩියම හොඳට එලිය වැටුන කියල තාත්ත කියනවා.කන්ඩායමේ හිටපු පොඩිසිංඤො මාම කියල දුන්නෙ ඒ “ගමන් රතයක්” කියලලු.ගමන් රතය කියන්නෙ ගමන් කරන මැනිකක්.තවසමහරක් දවස් වලට රෑට වැල් මංඩිය පැත්තෙන් වැල් අදින කෑගහන සද්ද ඇහෙනවලු ඒව ගනන්නොගෙන නිදා ගන්නවලු.

කොහොම හරි වේ වැල් මිටි කරේ තියාගෙන දවස් පහකින් ආපහු ගමට එන්නෙ හොඳටම මහන්සිවෙලා.ගමට ආවට පස්සෙ දෙවනි අදියර පටන් ගන්නවා.ඒ කූඩා විවිල්ල.වේවැලෙන් වියන කූඩා වර්ග දෙකයි.ඒ තුන්වියත් කූඩ සහ කොප්පරා කූඩ.තුන්වියත් කූඩෙ කටේ පලල අඩිඑක හමාරක් විතරකොප්පරාකූඩෙ ඒවගේ දෙගුනෙකටත් වැඩිය විශාලයි.මේ කොයි කූඩෙත් පුරල ඉස්සෙල්ලම අඩිය හදාගන්න ඕන.කූඩෙක අඩිය පිරීම හැමෝටම බෑ.පලපුරුදු කෙනෙක් අඩියපුරල දුන්නම ඒඅඩිය කලින් වියලතිබුනු පරනකූඩෙකට හයි කරන්නෙ පරනකූඩෙ අඩිය උඩින් තියලයි.එහෙම හයි කරපු අඩියෙ හරස් වැල් මුල් කූඩෙ වටේට එන්න නවන ගමන්.දිග්වැලකින්හරස්වැල් එකිනෙක පන්නමින් වියාගන්නවා.කූඩෙ ගැටිය ලඟට එනකම් දිග්වැල්වියල පරන කූඩෙන් අලුත්කූඩෙ ගලෝනවා.මේපරන කූඩෙට කියන්නෙ ගුරුකූඩෙ කියලයි.ඊටපස්සෙ ගම්බි අතු කපල ශුධ කරල පලල ගැටි හදල කූඩවලට දානවා.කොප්පරාකූඩ වලට දෙපැත්තෙන් අල්ල ගන්න කොකු දෙකක් හදනවා.ඒවට කියන්නෙ කයිපුඩු කියලයි.මේවිදියට කැලේගිය අය එක්කෙනෙක්පොඩිකූඩ විස්සක් කොප්පරාකූඩදහයක් වෙන්න හදාගන්නවා.දැන් මේව විකුණ ගන්න බදුරලියෙ පොලට ගෙනියන්න ඕන.ඉරිද පාන්දරතුනට කුකුල පලමුපාර අඬලන කොට පොලේයන ඇත්තො අවදි වෙනවා.අමුඩෙ ගහලසරමයි කමිසෙයි දාපු සාගත මල්ල අතට අරගෙන කූඩමිටිය කරේතියනනිත් අයත් එක්ක පන්දම් එලියෙන්මැල්ලගහවිලට එනවා.එතන ඉදන් මහපාරෙ පන්දම් ඕනෙ නෑ.තරු එලියෙන්පයින් යනවා.මේනඩේ යන්නෙහොඳ කතාකිය කියා.ඒනිසා ගමනදැනෙන්නෙ නෑ.යම්තම් පහමාරවෙනකොට වටින් ගොඩින් එලියවැටීගෙන එනකොට නඩේ බදුරලියෙ.ගෙනාපු කූඩාමිටි කුමතේරිස් බාප්පගෙ කඩේ ඉස්තෝපුවෙ ගොඩ ගහල ලිදෙ වතුර බාල්දියක් ඇදල මූනහෝදගෙන සරම ඇදල සාක්කුදෙකේ පටිය බැදල උඩටකමිසෙ ඇදල ඔලුවත් පීරගෙන ආපහුකඩ ඉස්තෝප්පුවට එන්නෙ ගනුදෙනුවට.

මෙතන මුදලාලිල තුන්දෙනෙක් ඉන්නවා.තුන්දෙනාම වාද්දුවෙ පානදුරේ පැත්තෙ.මිටි මහත අප්පුහාමි මුදලාලි,උසමහත ජූලිස් සිංඤො මුදලාලි,උසේ තරමට මහත ටිකක් තරුන පෙනුමක් තියන ධම්මෙ මුදලාලි.මෙතන ගනුදෙනුවට ඉතාම අඩුවෙන් පාවිච්චිවෙන්නෙ වචන තමයි.බිම ගෝනිගොඩේ වාඩිවෙලා ඉන්න මුදලාලිලා නිහඬවම බුලත් විට වට්ටිය දික් කරනවා.නිහඬවම දෙගොල්ලො විට ඒදනවා.විට කටේ ඔබාගෙන හපල “පෘතූහ්”යන සද්දෙන් කෙලපාරක් එලියට වදාරන මුදලාලිල කූඩ මිටි බලනවාකිසි කතාවක් නැතුවම තුන්දෙනා කූඩමිටි වෙන්කරගන ආපහු ගෝනිය උඩ වාඩි වෙනවා.බඩ අතගාල පත පොකැට් එකක් අරගෙන දිග අරිනමුදලාලි තුන්දෙනා ගනුදෙනුපියවන්නෙත් නිහඬවමයි.නෝට්ටු කොල කීපයක් කාසි කීපයක් එක්ක දිග් කරන කොට ඒ මුදලාලි ගත්තු කූඩවල අයිති කාරය සල්ලිගන්නවා.මේ අතර තවත් “පෲතූහ්”සද්ද දෙක තුනක් ඇහෙනවා.තව සල්ලි ඕනෙ නම් “ගෙදරපොඩි කටයුත්තකුත් තියෙනවා” කියල හඬක් ඇහෙනවා.ආයිත් මුදලාලි පොකට් එක දිග ඇරල තව නෝට්ටුවක් දෙකක් දිග් කරනවා.ඒකත් ගන්නකොට මුදලාලි අහක බලාගෙන “හල් දුම්මල නැතෑ කැලේ” කියනවා.”මොකෝ නැතුව” කියල උත්තරයකුත් ඇහෙනවා.ගනුදෙනු හමාරයි.දෙගොල්ලො සමු ගන්නෙ අපේ කට්ටිය කියනවා “එලියත් වැටුනා “කියලා ඒකියන ගමන් නැගිටිනවා .මුදලාලි “බස් එකත් ලඟයි” කියල නැගිටිනවා. ඒ වචන වලින් සමුගැනීම කෙරෙනවා.තව සති දෙකකීන් මුදලාලිට හල්දුම්මල ලැබෙනවා.

ඔන්න ඔහොමයි අපේ අය එදා කැලේ යාමයි ඉන් අවසානෙ පොලේ යාමයි කලේ.දැන් කැලේ ගියොත් හිරේතමයි.අමුඩෙ ගහන් පයින් ගියොත් ඒත් හිරේම තමයි.”පෲතූහ්හ්හ්හ්”

13 thoughts on “කැලේ යාමයි පොලේයාමයි.

  1. ඒ කාලේ අපිටත් බඩේ අමාරු වලට හොඳ ඒවායින් මූඩියට එකක් දාල දීල තියෙනවා.
    මේ වගේ කථා අහන්න ලැබෙන්නේ කලාතුරකින්.
    ඔබට ස්තූතියි

    Like

  2. දැනුත් මේ කැලේ මෙහෙමම තියනවද දන්නෙ නැහැ ඉගුරුදලුවෙ ඉදන් බදුරලියට පයින් එනව කිව්වට කොච්චර දුරද කියන එක මේක කියවන පිට පලාත්වල අයට තේරෙන එකක් නැහැ දික්හේන පාරෙ කෙළවරට ගියාම ගග හමුවෙනව එතනින් ගගේ ටිකක් උඩහට ගියහම පිරිසිදු වතුර තියන ඒත් ගැඔුරු වලක් තියනව ඒ ගගෙන් එගොඩ උනහම රූණ කන්දට යන්න පුලුවන්ලු කොහොම උනත් මේ කැලේ අදත් මෙහෙම තියනවද කියනඑක ප්රශ්නයක් අපි පොඩිකාලෙ නිතර දැකපු මැටි කොරවක්කු ආදී සත්තු අංකුට්ටො තල් කොස්සො හුංගො ආදො කාවයියො වගේ මාලු අද අපේ පලාත්වල දැකගන්න නැහැ සමනල කන්ද වදින්න යන සමනල රංචු වලට මොනව උනාද දන්නෙ නැහැ උන් යනහැටි පෙන්නන චිත්තර පටියක් අද තිබුනනම් ඒක බලල හැමෝම පුදුමවෙයි කියල හිතනව මේ සියල්ලට හේතුව තේවලට දාන පෝර කෘමිනාශක ආදිය වෙන්න ඕන ඒ නිසා ජලය විෂවෙලා මාලු බිත්තර හරියන්නෙ නැහැ පොලවෙ ක්ෂුදූ ජීවීන් මැරිල පොලව මැරිල පොලවෙ ස්වභාවික පොහොර නිෂ්පාදනයක් නැහැ
    කැලේ තියන සමහර හතු ජාති වලින් රෑට එළිය පිටකරනබව කව්රුත් දන්නව රෑට එළිය විහිදුවන හැකරැල්ලො වගේ සත්තු ඉන්නබව කව්රුත් දන්නව ඒ ඔක්කොම පිටකරන්නෙ තමන්ගෙන්ම නිපදවන ආලෝකය විද්‍යාත්මක කරුණු අනුව මැණිකකට තමන්ගෙ ආලෝකයක් නැහැ පිටින් එළිය වැටුනොත් විතරයි මැණිකකින් වර්තනය වෙලා පරාවර්තනය වෙලා ඒ ආලෝකය පිටවෙන්නෙ ඒ නිසා මේ කියනදෙය මැණිකක් වෙන්න බැහැ
    කෙහොම උනත් මේ සියල්ලම වෙනස්වෙලා ගිහින් එහෙම රටක් තිබුන එහෙම පරිසරයක් තිබුන කියල කිව්වට අද ඉන්න අයට තේරෙන්නෙ නැහැ
    මේ wordpress.com එකට photos දාන්න බැහැවගේ මම ලියන sasara333.blogspot.com එකට නම් photos දාන්න පුලුවන්
    මම මේ දවස්වල ඉස්සර අය කියපු කවියක තේරුම හොයනව කවිය අහල තියන අය ඉන්නව තේරුම දන්න කෙනෙක් හමුඋනේ නැහැ මේවත් ඉතින් අභාවයට යනව කවිය මේකයි

    නව නව හේන්වල නව නව පදුරු ඇතා
    නව නව පදුරුවල නව නව කූඩු ඇතා
    නව නව කූඩුවල නව නව පැටව් ඇතා
    මෙතුන් පදේ තේරුවහොත් ඌ සමතා

    Like

    1. ඔය දික් හේනෙන් රූන කන්දට ගොඩවෙන්නෙ හෙංචවල ලඟින්.දික් හේනව්‍යාපාරෙට කැපුවෙ මමඔයවිස්තර කරන කැලෙන් කොටසක්.ඉතුරු කරපු කැලේ මිල්ලගස්තිබ්බඒව අතුරුදන්වෙල.රූණකන්දෙ දැන් කවුරුත් නෑ.අරමහ විශාල හොරපොලයො ආඳු ගඟෙන් ගිහිල්ලා.ඔයඑලියවිහිදපු ගමන් රතේ දුර්ලභ මාලුවෙක් වෙන්න පුලුවන්.කොහොමෞනත් අපි ආවර්ජනය කරන ගමත් නෑ මිනිස්සුත් නෑ.කැලේ විතරක් තියේද?

      Like

    2. ආනන්ද, ඔබගේ අනංමනං අඩවියේ ඇති යක්කුන්ගෙ තොරතුරු පොස්ටුවේ ඇති උපුටගැනීමේ සටහනට sunilkannangara.wordpress.com යන්න ඇතුලත් කොරොත් නරකද?

      -Sam

      Like

  3. /// ට්‍රැට් ට්‍රීංංංංංංංංං කියල කෑගහන රැහැයියො අතරෙ බ්‍රාරුං බ්‍රාරුං බ්‍රාරුං කියල කෑගහන්නෙ පුන්චි දියපාරවල් අයිනෙ ඉන්නෙ කකුලුවො කියලයි දන්න අය කියන්නෙ. ///

    ඒ කතාව වැරදියි, එහෙම කෑ ගහන්නේ RANA CORRUGATA කියන ගෙඹි විශේෂය…

    කුඩළු සබන් කැටේට වඩා අත්වැල්තොට සිංහරාජ ප්‍රදේශ වල කුඩළු කෝටුව ප්‍රසිද්ධ බවකුයි මම දන්නේ…
    ලුණු, දුම්කොළ එකට කොටලා හදාපු පොට්ටනියක් කෝටුවක අගිස්සේ ගැට ගහනවා…
    තෙතමනය එක්ක ඔතල තියෙන රෙදිකඩ හරහා එන දියරය කකුල් වල තවර ගත්තම කූඩැල්ලෝ එල්ලෙන්නේ නැහැ, ඒ වගේම එල්ලුණු කූඩැල්ලන්ගෙත් ඇඟේ ගාපු ගමන්ම උන් වැටෙනවා…

    හල්, බෙරලිය එහෙම බිම වැටිලා තියෙන ඒවා අහුල ගන්නවා ඇරෙන්න ගස් නැගල අතු කපල ඒවා එකතු කරන බවක් මම මීට කලින් අහල තිබුනේ නැහැ…
    බෙරලිය මල් හැදෙන්නේ අවුරුදු 4 ට වරක්, ඒ වගේම වැඩුණු ගහක් අඩි 100 ක් විතර උසයි…
    මමනම් හිතන්නේ ඔබගේ වැඩිහිටියොත් බෙරලිය අතු කපල ගන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමය වන අහුලා ගැනීම සිද්ධ කරන්න ඇති බවයි. මොකද ගස් මන්ඩියක ඇති පදම් පැහුණු ගෙඩි බිම වැටිලා තියෙනවා…
    අපේ ගමේ හල් ගස් තිබුනට කවදාවත් මම දැකල නැහැ රිටකින්වත් ගෙඩි කඩනවා, වැටෙන ගෙඩි විතරයි මිනිස්සු පාවිච්චියට ගන්නේ…

    බෙරලිය ගැන පොඩි වාර්තා වැඩසටහනක් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්…

    ඔයගොල්ලෝ කැලේ ගිහින් කළු පාට වැල් වගේ දිගට හැදෙන හතු කඩාගෙන ඇවිත් නැද්ද…
    ඔය කියන ප්‍රදේශයේ ඒවා නැති වෙන්න හේතුවක් නැහැ…

    Liked by 1 person

    1. මහ කැලේ හල් වැටුනු ඒව බිමතියෙන්නෙ නෑ .ඌරන් ඉතාම කැමති කෑමක් නිසා හල් මංඩියෙ වැටුනු හල් බෙරලිය ඌරන්ගෙ ආහාරයවෙනවා.ඒකනිසයි කුඩා අතු කපා හල් බෙරලිය කඩා ගත්තෙ.හල් පැහෙන කාලෙබලල තමයිකැලේට යන්නෙ.කූඩලුකෝටුව අපේ ගම්වල භාවිතා උනේ නෑ.කූඩලු සබන් තමයි පාවිච්චි උනෙ. බෙරලිය ගස් අඩි තිහ හතලිහෙ ඉදන් ගෙඩි තියෙන ඒවාතියෙනවා.අපේ වැඩිහිටියො කිව්වෙ බ්‍රාරුං බ්‍රාරුං කියන්නෙ කක්කුට්ටොකියලයි.මමත් හරියට දන්නෙ නැතිනිසයි දන්න අය කියනව කියල ලිව්වෙ. නලාවක් පිඹින සද්දෙන් ඇහෙන්නෙ නයි කෑ ගහන සද්දෙ කියලත් ගමේ වැඩිහිටියො කියනවා.හැබැයි නයාට කෑගහන්න බැරිසතෙක් කියල මම පස්සෙ දැනගත්තා.හතු වර්ග ගොඩක් අපි කැඩුවා.ලේනහතු ඉඳලෝලු හතු වැලිහතු කම්බොක්ක හතූ ඌරුහතු.එයින් ලේනහතුයි කම්බොක්ක හතුයි දිරායන ගස්වල කඳේ හැදෙන්නෙ.අනිත් හතු පොලොවෙ හැදෙන්නෙ.ඌරුහතුතමයිවිශාලම හතු වර්ගය.තව පැට්‍රෝල් මැක්ස් ලාම්පුවෙ මැන්ටලේ වාගෙ තියන ගඳ ගහන හතුවර්ගයක් තිබුනා නයිහතු කියලා.ඒවාවිශ නිසා කෑමට ගත්තෙ නෑ.

      Like

      1. දිසාපති තුමාට පුළුවන්ද, ඔය හතු ගැන මොනව හරි ලියන්න. හතු වර්ග ගැන දැනුම දැන් දැන් අපේ මිනිස්සු අතරින් ගිළිහිලා යන දැනුමක්. ෂිටාකේ බිම්මල් වලින් ඒක වැහිල ගිහිං. කොහෙ හරි හතු පිපිල තියෙනව දැක්කත්, විස වෙන්න පුළුවන් කියල අපේ උදවිය කන් නෑ.

        Like

  4. ඔය උදවිය කතා කරනව අඩුයිද ඇත්තට? ගම්පහ අපි නං වැඩ කරන ගමං, විට කන ගමං, තේ බොන ගමං ගණසැරේට ආගිය කතා කතා කරනව. ගොඩක්ම ගජබින්න තමා. ආහං ඉන්ඩ ආසයි එව්ව.

    Like

    1. ගමේ අය එකතු උනාම හොඳ කථා කියනවා.මුදලාලි එක්ක කථාබහ අඩුයි.ගනුදෙනුවලට කේවල් කර ගැනීමක් තිබ්බෙ නෑ.එකිනෙකා අතර අවබෝදෙටයි මුල්තැන.

      Like

  5. ඔය පැත්තෙ හෙවිල්ලනවට කියන හරිම වචනෙ “හොයනව” නේද? මං අහගෙන දවසක් අපේ ආතා කියනව වහලෙ හොයන්න ටකරං කොල ටිකක් ගේන්න ඕන බව.

    කැලේ කිතුල් මල් කැපිල්ල ගැන වෙනම ලියන්ට වෙයි නේද? අපේ ආතා අර ගේ තඩිය හදාගත්තෙ සම්පූර්නෙම්ම කිතුල් මල් රස්සාවෙං කියනවනෙ. ඒ ගේ හදන්න ආපු බාසුන්නැහැ දවසක් ඌරු මස් කාල ඇවිත් උන්දැව දොලෙං එගොඩහටම එලෙව්වලු බඹරු. ඒ ඉඩම දේව පාදෙ හින්දලු එහෙම උනේ. ඔය ගමන් රථයෙ කතාව නං ඇහුවමද කොහෙද? ඔව්වා ඇත්ත බවට සැකයක් නෑ. හැබැයි ඒ මොනවද කියල තමයි හොයාගන්න බැරි.

    අපේ තාත්තා ඉස්සර අපිට “දුං විසිවෙන්න” තලන්නෙ කුකුලු වැල් වලිං. ඒ දවස්වල බාලාංසෙ ගුරුවරු ගාවත් තිවුනෙ කුකුලු වැල්. වේවැල් තිවුනෙ මේසෙට තඩි ගහන්නයි අකුරු පෙන්නන්නයි. පහේ පන්තිය පාස් උනහම තමා පෑනෙං ලියන්න දෙන්නෙයි වේවැලෙං තලන්නෙයි. වේවැල් ගෙඩි කන්න පුළුවං බව අපේ චූටිමැණිකේ කියනව. මම නං කාලා නෑ.

    අර වෙළඳාම ගැන නං කියන්න තියෙන්නෙ ඒකත් අපේ හැඩිගල්ලෙ ආතා අවුරුද්දට බොන්න දෙන චාරිත්තරේ වගෙයි කියලා. ඒකෙත් වැඩි වචන නෑ. ආච්චි අම්මා හරි විරුද්දයි කොල්ලන්ට බොන්ට දෙනව කියල. උන්දැ කැමති ළමයින්ගෙ බඩවල් වලට පුලුවං තරං කෑම පුරෝලා බඩවල් බුජං වගේ වෙනව දකින්න. ආතා කැමති ළමයි සමනල්ලු වගේ පාවෙවී ඉන්නවට. ඉතිං ආතා බෝතලේ ගෙනිහිං පිලිකන්නෙ බුලත් පාත්තියෙ කනුවක් අයිනෙ තියල වීදුරුවෙං වහල එනව. ඇවිල්ලා මුලිම්ම මට කියනව “බුලප්පාත්තිය ගාව”

    මං යනව බුලප්පාත්තිය ගාවට. එකක් නමාගෙන ගුඩුස් කියනව. කෑම කාමරේට පැනල මොනව හරි කනව. ඊළඟට මං චමින්ද මාමා ගාවට යනව. “බුලප්පාත්තියෙ” කියනව. එයත් යනව. එනව. එයා තව කෙනෙක්ට “බුලප්පාත්තියෙ” කියනව. ඔය විදිහට ගිහිං අන්තිමට එන කෙනා ආත ගාවට යනව “ඉවරයි” කියනව. ආතා ආයි පාරක් අමුතු හැඩේට සරම ඇඳගෙන පිලිකන්නට යනව. ආයි එනව. ඊළඟට පාස්වර්ඩ් එක මාරු වෙනව. “රොටි තැටියෙං වහල”. ඔය විදිහට වට දෙකක් යන කොට ආතල මාමල මුනුබුරාලා සේරම මඩේ හිටෝපු ඉනි වගේ. ආච්චි අම්ම ඉතිං ආතට දොස් මුරේ තියනව.

    “කිරි සප්පයින්ටත් පෝල මෙතන”

    “අනේ කෑනොගායින්නව. දැං හෙටානිද්ද ගෑනු ගේන ඉලංදාරි. මොන කිරද්දැ”

    ඔන්න ඔහොමයි වරුනෙ. හෙහ් හෙහ්.

    Liked by 1 person

    1. අම්මොප හැබෑව.ගේ හොයනව කියල තමයි අපේ අයකියන්නෙ.කිතුල් මල් කැපිල්ල ගැන තියෙන ලැදියාව හින්දම මම රත්නපුරේ ඉන්දැද්දි අපේ ගුනසේකර ගුනසෝම පානම බොටාට ආරාධනා කරල මගෙ ලංග තිබුන තොරතුරුත් දීල කිතුල ගැන මහ පරීක්සනයක් කෙරෙව්ව නොවැ.ගුනසෝම බොටත් ඉතින් නං දරාපු ජන ශෘති කාරයනෙමිනිහයි පූජනී ගුනසේකර කියන දුවයි එක්කහුවෙලා කිතුල කියල අපූරු පොතකුත් පිටකරේ මේ මාසකීපෙකට උඩදි .අපරාදෙ කියන්න බෑ මිනිහ ඒපොත දොරට වඩම්මන දවසෙ මට කියල දේසනාවකුත් කෙරෙව්වනොවැ.
      ඔය බොන්නදෙන චාරිත්තරේට ඒකාලෙ අපි අහූනේ පබිලිස් අයියගෙ රාමුට්ටියට.ඒකෙදි එක වචනයක් හුවමාරු වෙන්නෙ නෑ.ඇහෙන් පිලිකන්න පෙන්නන එක කරන්නෙ.ඔය බමරු ඇන්නෙ චන්ද්‍රසේන බාස් උන්නැහැට.පබිලිස් අයියගෙ වහලෙ ගහන්න ආපු වෙලාවෙ.අම්මොප ගමේ යන්න හිතුන මේව මතක්වෙනකොට.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s