ගමේ හොල්මන් අවතාර

අපේ මහ ගෙදර තියෙන්නෙ දොලවල් දෙකකට මැද්දෑවෙ.ඉස්සරහ පැත්තෙන් මගුරු ගඟේ පැරණි පාර ගලන්නෙ නුගකඳ ඇලේ වතුර පාරත් එක්කයි.ගෙදරට නැගෙනහිරින් තැටිබින්දල දොලත් බටහිරින් මැද දොලත් ගලාගෙන ඇවිත් මගුරුගඟේ පරණ පාරට එකතුවෙනවා.මගුරු ගඟ අපේතාත්තල පොඩිකාලෙ වෙනකම් අපේ පැත්තෙන් තමයි ගලල තියෙන්නෙ.පස්සෙන් පහු ගඟ ලේසියෙන් ගලන්න අලුත් පාරක් හොයාගන්නවා.මේ අලුත් පාර මොරගහ කැටේ තොටුව පහුකරල නුගකඳ වත්තෙ පේරගහ තිබුන තැනින්වම් පැත්තටයි හදා ගන්නෙ.එතනින් යාර සීයක් විතර ගිහින් අංශක අනූවක හැරවුමක් ගන්න ගඟ කෙලින්ම ගල් ගොඩක් මැද්දෙන් හොරෝකවලට බහින්නෙ රැලි නගනගා.හරියට අලුතින් කෙටි පාරක් හම්බු උනාට සංතෝසෙන් හිනැහෙන්න වාගෙ රැලි හදාගෙන ගල්ගොඩදිගේ හොරෝකවලට එකතුවෙන්න පටන් ගත්තෙ අපේ පැත්තෙන් ගිය පරන පාර පාලු කරගෙන..අපේ තාත්ත කියන්නෙ 1938විතර බොරලුගොඩ අත ඇරල ඉගුරුදලුවෙ වැද්දා ඕකන්දට එනකොට ඒ පැත්තෙන් පොඩිදියපාරක් තමයි තිබුනෙ කියලයි.කොහොමෙන් කොහොම හරි මේ දියපාර ලොකු වෙලා ගඟ වැඩිහරිය ඒපැත්තෙන් බහින්න පටන් ගත්තම අපේ ගේ ඉස්සරහ ගඟෙන් එගොඩකොටස දූපතක් උනා.මේ දූපතට කියන්නෙ දූව කියලයි.අක්කර තුනක් විතර තියෙන මේ දූපත අපේ කන්නන්ගර මීමුත්තට දෑවැද්දට හම්බු උන ඉඩම් තුනෙන් එකක්ඊස්සරහින් ගඟ ක් සමග දූවක් පිටිපස්සෙන් කන්දක් දෙපැත්තෙ දොලවල් දෙකක් එක්ක තියන භූමියෙ අපේ ආත්ත පදිංචිවෙලා හිටියෙ 1947විතරවෙනකම් .ඒ අවුරුද්දෙ අපේ ආත්ත මිය ගියාට පස්සෙ තාත්ත බාප්ප එක්ක ආච්චි මහගෙදර ජීවත් වෙනව.ආතාජීවත්ව ඉන්දැද්දිම මහ ඉඩමට යාව බාප්පනමටත් අක්කරයක් ආන්ඩුවෙන් ගන්නවා.මේ ඉඩමෙ තමයි බාප්ප පදිංචිවෙන්නෙ. ඒ විදියට තමයි ඔය දොලවල් දෙකයි ගඟයි පිටිපස්සෙ කන්දෙනුයි මායිම් උන බිමේ ගෙවල් දෙකක් හැදෙන්නෙ.

මේ වටාපිටාව විස්තර කරේ අද කියන්න යන කතාවට පසුබිම හදාගන්න.වනන්තරේ අයිනෙ තියන පිටිසර ගම්වල ජීවත්වෙන උදවියගෙ අත් දැකීම් වල තියෙනවා හොල්මන් අවතාර වලට සම්බන්ද අද් දැකීම්.අපේ ගමෙත් මේවා බොහොම තිබුනා.මේවත් එක්ක ජීවත් උන හැටි තමයි අද කියන්න යන්නෙ.අපේ ආත තමන්ගෙ පවුලෙ කට්ටියත් අරගෙන 1938විතර කන්නන්ගරගොඩේ පරම්පරාවෙ මහගේ අත ඇරල ඉඟුරුදලුවෙ වැද්දාකන්දෙ තමන්ගෙ හේනෙ තිබ්බ පෑලට පදිංචියට ආවෙ යක්ෂ උවදුරකට පිලියමක් හැටියටයි කියල මම කලින් ලියල ඇති.තමපවුලේ කුඩාලමුන්ව බිලිගන්නා යක්ෂයෙකු තම නිවස මතින් ගමන් ආරම්භ කලායැයි නිමිත්තකින් කිය උන කතාව විශ්වාස කරල මංත්‍ර ශාස්ත්‍රයේ හොඳ දැනුමක් තිබුන අපේ ආතා පසු බැහැල තම පදිංචිය වෙනස් කරේ ඒ යකා තමන්ට පාලනය කලනොහැකි බලගතු යකෙක් නිසානෙ.අලුත් ස්ථානයට ඇවිත් කලක් යනතුරුම මතුරනලද අලු ගේවටේ ඉහමින් ආරක්ෂාව සිද්දකරා කියල අපේ ආච්චි කියනවා.

අපිදන්නකාලෙ වෙනකොට හොල්මන් අවතාර ගැන අපේ ගමේබොහෝ විශ්වාස තිබුනා.අපේ ගේ ඉදිරිපිට දූවෙ කෙලවරක තිබුනු දැවැන්ත නුගගස දේවතාඑලි ගමන්කරන ස්තානයක් ලෙසයි සැලකුවේ.වයස අවුරුදු දහයක විතරකාලේ අහසේලොකු හඳක් වාගේ රවුම් දේවතාඑලි නුගගහට පාත්වෙනව මමත් දැකල තියෙනවා.මේඅවධියේ අපේතාත්තා මේමහනුගේලඟ බිම එලිකරල හැමදාම හවසට පහනක් පත්තු කරන්න පටන් ගත්තා.ටිකදිනකින් ලොකු ගංවතුරක් ඇවිත් මේපාන පත්තුකරන්න යන්න බැරි උනා.හරියටම පාන පත්තුනොකල දවසෙ රෑ සුදු ඇදගත්තු මනුස්සයෙක් හීනෙන් පෙනී සිටල තාත්තට ඇහැව්වලු හැමදාම කොරන්න බැරි වැඩ පටන්ගත්තෙ සෙල්ලම් කරන්න පුලුවන් කියල හිතාගෙනද කියල.එදාඉදන් තාත්ත පහන් පත්තු කිරිල්ල නැවැත්තුවා.මේකාලෙම දවසක තමයි වැද්දාකන්දෙ හිටපු නෙලුවෙ ආච්චි මැරුනෙ.රෑ වෙනකම් මලගෙදර හිටපු අපේ තාත්තා රෑදොලහට විතර ආපහු ගෙදර එන්න පිටත් උනාලු.මලගෙදර හිටපු අයකිව්වලු බලාගෙන දොල ලඟ කලු බල්ල ඇති කියල.කලුබල්ල කියන්නෙ රීරියකාගෙ අවතාරයක්.අපේ තැටිබින්දලදොල ඔය අවතාරවලට ප්‍රසිධ තැනක්.තාත්තත් කිව්වලු කලුබල්ල හිටියොත් තනියට ගෙදර එක්ක යනව කියල.එහෙමකියල මලගෙදරින් පිටත් වෙලා දොලේ ඒදණ්ඩ ලඟට එනකොට ඒදණ්ඩෙ එගොඩගොඩේ කලුබල්ලෙක් ඉන්නව දැක්කලු.හිතට පොඩ්ඩක් අමුත්තක් දැනුනත්තාත්තා “කලූ මෙහෙ වරෙන්” කියල කතාකරාලු.මෙන්න බල්ල ඒදණ්ඩදිගේ දුවගෙන තාත්ත ලගට ආවලු වලිගෙත් වනාගෙන.බැලුවම දඩාවතේ ඇවිදින කලු කියන බල්ල තමයි මේ හම්බුවෙලා තියෙන්නෙ.තාත්තත් එක්ක ගෙදර ආපු කලු බල්ල ට බත් පංගුවෙන් කොටහකුත් දීල ඉස්තෝප්පුවෙ ගෝනිකෑල්ලකුත් දාල නිදාගන්නත් පහසුකම සලසපු තාත්තා පහුවදා උදේ වෙන කෙනෙකුට නම් දහ අට සන්නියම නටන්න වෙනව ඊයෙ රෑ වුන දේට කියල මේ විස්තරේ කිව්වා.අපේ තාත්ත යක්කුන්ට භූතයන්ට වැඩිය තැනක් දුන්නෙ නෑ .ඒ වගේම ඕව බොරු විකාර කියල නිග්‍රහ කරෙත් නෑ.

කොහොම උනත් හොල්මන් වලට අදාල සිද්දීන්ගැන තාත්ත අපට විස්තර කියල තියෙනවා.එකදවසක්‍ රාත්‍රි කෑම කාල ගෙදර ස්තෝප්පුවෙ කථාකරකර හිටපු අම්මටයි තාත්තටයි රෑ දහයට විතර ඇහෙනවලු ගඟේ මැදදොල මෝදර හරියෙන් අඟුලක් එන සද්දෙ.අපේ පරනගේ ඉස්තෝප්පුවෙ ඉද්ගෙන දකුනු පැත්තෙ පේනදුරින් තමයි මැදදොල මෝදර තියෙන්නෙ. මේවිදියට රාත්‍රි කාලෙ අඟුලක් එන්නෙ එකත් එකටම ඉස්සරහ ඕවිටේ තිබුන ඉරපු ලී හොරෙන් ගෙනියන්න වෙන්නැති කියල කුප්පි ලාම්පුවත් ඇතුලෙන් තියල සද්ද නැතුව බලාහිටියලු.අඟුල පදින අය දෙපැත්තෙන් රිටි ගඟට දාලාඟුලපදිනව කතා කරනව එකවගේ දෙන්නටම ඇහුනලු.හරියටම අපේ ගේ ඉස්සරහ තොටුවට අඟුල එනසද්දෙ ඇහෙනකොට ලාම්පුවත් අරගෙන තාත්ත ගඟලඟට ගියාලු.මෙන්න එතකොට අර අඟුල ගඟදිගේ උඩහට යනව ඇහෙනවලු.අපේතොටුපලෙන් උඩහට ගල්ගොඩක් නිසා වතුර පාරබොහොම පටුතීරයකින් ගලද්දි මේ අඟුල පදින්නෙ කොහොමද කියල කල්පනා උනේ එතකොටලු.කොහොමටත් ඇත්ත අඟුලක් මේ වගේ යන්න බෑකියල තේරුන නිසා ආපහු ඇවිත් නිදා ගත්තලු.තාත්ත කියන්නෙ ඒ හොල්මන් අඟුලක් කියලයි.

අපේ ගෙවල් ලඟින් උඩහටතියෙන පාරෙ තැටිබින්දලදොලෙන් ගොඩවෙලා උතුරු පැත්තට තියෙන පාර තියෙන්නෙ හැඩිගල්ල ජනපදේ මඩිත්තවිල හන්දියට යන්නයි.තැටිබින්දල දොලට සමාන්තරව ගමන් කරන මේ පාර අඩි පාරක්.මේපාර පාලු පාරක් වගේම අඳුරු පල්ලම් තියෙන ප්‍රදේශයක් හෙම තියෙනවා.පටන් ගන්න හරියෙ මේ පාරෛදන් සීග්‍ර බෑවුමක් දොලටතියෙන්නෙ.මේබෑවුම කැලෙන් වැහිලයි තියෙන්නෙ.මේඅඳුරු පල්ලමේදි දොල එකවර සීග්‍ර බෑවුමක ගලා බහින්නෙ පුංචි දිය ඇල්ලක් හදාගෙන.පටු බිම් තීරුවක දිය ඇල්ලකුත් හදමින් පහලට කඩාවැටෙන දොල දෙපැත්තෙම කදු දෙකක් නිසා මේ හරිය දවාලටත් ටිකක් අඳුරුයි.මෙන්න මේහරිය හොල්මන් වලට බොහොම ප්‍රසිද්දයි.මේහරියෙ ඉන්නවය කියන්නෙ යකින්නක්. මේ යකින්න පිලිබඳ සෑහෙන කතා අපි කුඩාකාලෙ ඇහුවා.අපේ කීපදෙනෙක්ම විවිධශබ්ද අහල නාඳුනන කාන්තාවක් එහෙම දැකල තියෙනව මේහරියෙදි.එක දවසක් අපේතාත්ත හවස හය හමාරට විතර කුඹුරෙ ඉඳන් ගෙදර එනකොට මේපල්ලම බහිනකොට දොලේ රෙද්දක් අපුල්ලන සද්දයක් ඇහෙනවාලු.මේඅපුල්ලන සද්දය කොයිතරම් හොදට ඇහෙනවාද කියනවනම් නතරවෙලා අහගෙනත් හිටියලු.එකදිගට රෙදිගලේ ගහන සද්දෙ අහගෙන ඉදල තාත්ත හිතුවලු අපේ වැද්දාකන්දෙ ලොකු අම්ම නාන්න දොලට ඇවිල්ල රෙදිහෝදනව වෙන්න ඇති කියල.එහෙමහිතාගෙන ගෙදර ඇවිත් පස්සෙන්ද උදේ ලොකුඅම්මව මුනගැහුනම”අක්ක ඊයෙ හැන්දෑවෙ ආංගිරියෙ දොලේ නෑවනේද?කියල අහල.ලොකුඅම්ම මේක අහල “බොට පිස්සුද මල්ලියෙ ඔය නාකරේ නාන්න යන්නෙ මොකාද?මම වේලපහින්ම ගඟෙන් නාගත්ත ඊයෙත්.”කියල උත්තර දුන්නලු.මේහේතුව නිසාම තාත්ත දවල් දොලේ සද්දෙ ඇහුන හරිය සෝදිසිකරල බැලුවහම කිසිම මිනිහෙක් ගැවසුනබවට හෝඩුවාවක්වත් තිබුනෙ නෑ කියල තාත්ත අදත් කියනවා.

මම අපොස උසස් පෙල පංතියෙ ඉගන ගන්න කාලෙ නිවාඩුකාලෙට ගෙදර යනවා.මෙහෙම නිවාඩුකලෙ ක දවසක් තාත්තයි මල්ලියි අපේ ජනපදේ රබර් ඉඩමෙ කිරිකපන්න ගියා.කිරිකපන්න යන්නෙ ගෙදරින් පාන්දර පහට විතර.යන්නෙ ඔය ඉස්සෙල්ල කිව්ව පාරෙන් .එදා පාන්දර පහට විතර තාත්තයි මල්ලියි දොලෙන්ගොඩ වෙලා කන්දට හැරෙන හරියෙදි ගඟ පැත්තෙන් එන පාරෙ සුදුපාට ඇදගත්තු ගෑනු කෙනෙක් වගේ කෙනෙක් ආවලු.මේදෙන්නව දැකල නැවතුන ඒකෙනා ක්ෂනයකින් ආපු පත්තට ගියාදැක්කලු.පොඩ්ඩක් පහලට බැහැල බලන කොට වෙලේ ඈතකෙලවරේ ඉන්නව දැක්කලු.මේදෙන්න ඒගැන කතාවෙවී කිරිකපන්නගියා.ලු.ඊට පැය භාගෙකට විතර පහුවෙලා මේ පාරෙම කිරිකපන්න ජයවීරගොඩේ සිරිසේන අයියයි තවත් කෙනෙකුයි යනකොට අර අඳුරු පල්ලම නැගල කන්ද උඩට ගියහම දොලේ ගෑනුකෙනෙක් පාරට පිටිපස්ස හරෝගෙන රෙද්දක් අපුල්ලමින් ඉන්නවදැක්කලු.සිරිසේන අයිය අනික්කෙනාගෙන් ඇහුවලු කව්දමේ ගෑනුකෙනා කියල.අනිත් කෙනා බලල කිව්වලු මාදුරුහේනෙ ඇල්පි ආච්චි වගේ කියල.ඒගමන සිරිසේන අයිය හිතුවලුමේ බසෙකට යන්න යන අතර හදිසියේ මලපහ කිරීමේ අවශ්‍යතාවය ඇතිවෙලා දොලටගියා වෙන්නැති කතාකලොත් ලැජ්ජා හිතෙයි කියල නිහඬවම ගියාලු.හවස තාත්තයි මල්ලියි ඇවිත් ඒගොල්ල දුටු සුදු ඇදි කාන්තාරූපෙ ගැනකියන අතරතුර සිරිසේන අයිය ඇවිත එයාදැකපු ඇල්පි ආච්චි ගැන කිව්වා.ඒවෙනකොටත් සිරිසේන අයිය හිතාගෙන හිටියෙ දැක්කෙ ඇල්පි ආච්චිවම තමයි කියලයි.ඇල්පි ආච්චි බස් එකේයන්න මෙහෙන් එන්නෙ මොකටද කෙලින්ම මැල්ලගහවිලට යන්න පුලුවන් නෙ කියල කිව්වමයි එයාට වෙනස තේරුනේ.මේ හරියෙ ඔයවගේ කාන්තාවක් ප්‍රදර්ශනයවෙනව කියල හොදටම තහවුරු උනේ ඔය සිද්දියෙන්.මේ ගෑනු අවතාරෙ බලන්නම කියල මම ඔයපාරදිගේ හවස යමවෙලාවෙත් පාන්දර බස් එකටත් බොහෝවාරගනනක් ගියාට කවදක්වත් හෝඩුවාවක් දකින්න ලැබුනෙ නෑ.

අම විශ්ව විද්‍යාලෙ ඉගෙනගන්න කාලෙනිවාඩුවට ගියහම දඩයම් චාරිකාවට බොහොම කැමැත්තෙන් හිටියෙ.ගෙදර ඒකාලෙ බටුවත්තෙ මහත්තයගෙ තුවක්කුව තිබුනා.ඔය තුවක්කුවාත් අරගෙන දඩයම් චාරිකාවෙ රාත්‍රියට යන්න වෙඩි හරඹෙ පුලුවන්කෙනෙක් ඕනවෙනවා.අපේ බාප්ප වෙඩිහරඹෙ දන්නවා.ඉතින් බාප්පත් එක්ක රාත්‍රි දඩයමේ යන ගමනක් යෙදුන මහඕකන්දට.අපේ අරමුන උනේ ඌරන් දඩයම් කිරීම.බාප්ප අතේ තුවක්කුවයි කෑලිතුනේ එවරෙඩ්‍ ටෝච් එකයි.මගෙ අතේ කෑලි දෙකේ ටෝච් එක.වැද්දාකන්දෙවෙලේ නුගකඳවත්තෙ ඇවිදල දෙන්න එක්ක මහඕක්කන්දට පිටත් උනේ රෑඑකොලහටවිතර.මොරගහ කැටේ තොටුපල ලගින් විජේවන්තලගෙ වත්තට ගිය අපි කැස්මදිගන තොටුවට බහින්න කන්ද පල්ලෙහාට ආව.වෙනදට මීමින්නො හාවො වාගෙ පොඩිසතුන් හමු උනත් එදාකිසිම සතෙක්ගෙ ඇස්වර පෙනුනෙ නෑ.විජේවන්තලගෙ වත්තෙ පියසේන අයිය මල හදල තිබුන කිතුල ලඟට ආව.බාප්පට මේදෙගොඩහරියෙ රාපොල්කට්ටක් බොන්න ඕන උනෙ කිතුල ලඟදි.බාප්ප තුවක්කුව මගෙ අතට දීල ටෝචෙක ඉනේගහගෙන ගහට නගින්න හැරේට පයතිබ්බ විතරයි “කටකටාස් කටකටාස්”කියල සද්දයක් අවටින් ඇහුනා.මේසද්දෙ ඌරෙක් හයිය දෙයක් හපන කොට එනසද්දෙවගේ. බාප්ප හැර අත ඇරල තුවක්කුව අරගෙන ටෝච් එකගහලවටේ සෝදිසි කරා..කොයි පැත්තෙන්ද සද්දෙ ආවෙ කියල මගෙන් ඇහුවට මට හිතාග්ගන්න බෑ කොහෙන්ද ආවෙ කියල.විනාඩි පහලොවක් අවටසෝදිසි කරත් ඌරෙතියා හූනෙක්වත් නෑ.ආපහුතුවක්කුව මගෙ අතට දීල හැරේට ගොඩ උනා විතරයි කටකටාස් කියල අරසද්දෙ ආයිත් ඇහුන.ආපහු තුවක්කුව අතට අරගෙන ටෝච් එකගහගෙන අවට හැමතැනම බැලුව.කිසිම හඬක් නෑ.ඊටපස්සෙ කිතුල ලඝ කොස්මුල උඩ වාඩිවෙලා කලුවරේම සද්දනොකර විනාඩි විස්සක් විතර හිටියා.කිසිම සද්දයක් නෑ.ආයිත් කලුවරේම තුවක්කුව මටදීල ගහට ගොඩ උනා.හැරදෙකක් නගින්න ඇති ආපහු අරවිදියටම කටාස් සද්දෙ ඇහුනා. ආයිත් බිමට පැන්න බාප්ප තුවක්කුවත් දික් කරගෙන වටේටම ටෝච් ගහල බලලාමටත් සිග්නල් එකදීගෙන උඩහට ගොඩවෙලා විජේවන්තගෙ මිදුලට ආවා.

“සුදු පුතේ මොකක් හරි අමුතු දෙයක් උනේ අදනම් අරසද්දෙ දාන්නෙ ගහට නගින්න හදන කොටයි.ඒසද්දෙන් කිව්වෙ කිතුලට නගින්න එපා කියලයි.”

“ඒකතමයි බාප්පෙ ඒසද්දෙ හිතා ගන්නවත් බෑනෙ කොහෙන්ද ආවෙ කියල.”

ගමන් තුනක් බාධා උනහම ඒ වැඩේ කරන්න ඕනෙ නෑ.අපි යමු ආපහු ගෙදර.බාප්ප කිව්වා.අපි ආපහු ආවා.බාප්ප ඉස්සරවෙලා මම පිටි පස්සෙන්.ගෙදරලඟ දොල ලඟට එනකම් මට තේරුනේ කවුරු හරි මට පිටිපස්සෙන් එන බවයි.මම වැඩි ගනන් ගැනීමක් කරේ නෑ.පසෙන්ද බාප්ප පියසේන අයියට සිද්දිය කියල.පියසේන අයිය කිව්වලු කිතුල්මල කපන්න වාඩිවෙන මැස්සෙ පොල්ල
ගලවලා තිබ්බෙ කියල.බැරිවෙලාවත් නැගල රාබොන්න මැස්සට ගොඩ උනානම් ගහ පල්ලෙ දෙරි ගහන්න තිබුනා කියල.

මේවගේම අපේ පලාතෙම හිටපුනම් දැරූ වෙඩික්කරුවගේම මංත්‍ර ශාස්ත්‍රය විෂවෙදකම කලාහැකියාව,නිර්භීතකමට නම්දැරූ සකල ශිල්පයේ කෙල පැමිනි ඇලොන් මාමත් එක්ක තාත්ත.දඩයම් චාරිකාවෙ ගිහිල්ල රාත්‍රි එකට විතර කලුවරේම ආපහු ඇවිත් අපිට කතාකලා. කුප්පිලාම්පුවක් ගෙන්නගෙන කකුලෙ කූඩැල්ලො අරංදාගෙන වාඩිවෙලාදඩයම් විස්තරේ කිව්ව.වැද්දාකන්දෙ වෙල්‍ යාය නුගකඳ වත්ත නාමල්වතුරපැත්තෙ සත්තු හොයාගෙන ගියාට කිසිම සතෙක් හමුනොවුන නිසා මහඕකන්දට යමුකියල ගමන පටන් ගන්නකොටම මාමගෙ ටෝච් එක වැඩකරන්නෙ නැතුව ගියාලු.බලුබ් එකගියා කියල අඩියෙ තිබුන අමතර බලුබ් එකදැම්මත් හරිගියේ නැතිනිසා තාත්ත අතේ තියෙන ටෝච් එකෙන් යමුකියල ටිකදුරක් යනකොට ඒකත් නිමුන.කලුවරේදඩයම් කරන්න බැරි හින්ද දෙන්නඑක්ක පාරාතගගා කලුවරේම ආව කියල විස්තර කරද්දි පැත්තකතිබුන ටෝචෙක අතට අරගෙන මම සුවිච් එක දැම්මා.මෙන්න අපූරුවට ටෝචෙකේ එලිය වැටුන.ඒක දැකපු තාත්ත තමන් ලඟතිබුනු ටෝච් එකේසුවිච් එක දැම්මා.මෙන්න බොලේ ඒකෙත් අපූරුවට එලිය.
මේ බලනවකො දැන් ටෝච් දෙකම වැඩනෙ තාත්ත කිව්වා.

“අම්මප මලයො මේකනම් මහ පුදුමයක්.බෑනො ඔය මගෙ ටෝචෙකේ අඩියෙ තියෙන බලුප් එක හයි කරල බලපන්” ඇලොන් මාම මට කිව්වා.

මම ඒබලුබ් එක දාලබැලුවා අපූරුවට වැඩ.

“ඔන්න පුතේ එහෙනම් ආංගිරියෙ ඉන්න අර අම්මන්ඩි මටත් කෝචොක් කරා එහෙනම්.අම්මොප මෙහෙම දෙයක් ගැන හිතුනෙම නෑනෙ.”ඇලොන් මාම හිනාඋනා.එතන ඉඳන් පාන්දර පහවිතරවෙනකම් දඩයම් ගැන යක්කු ගැන කථාන්දර කිය කියා අපිත් එක්ක නිදිමැරූ ඇලොන් මාම ආපහුගියේ ආයිත් දඩයමේයන්න ඕන හැටිත් ඉගෙන ගත්තා කියලයි.

අපේ හරියෙ ඔය සූනියම් යක්ශනි ගැන සුලුසුලු ඔයවගේ සිද්දි තාමත් තියෙනවා කියලයි අපේ සාන්ත මල්ලිකියන්නෙ.මෑතදිම දවසක මල්ලි කන්දෙ රිටක් කපන්න ගියහම ඊට පහලින් තාත්තා කැත්තත් කරතියාගෙන යනව දැක්කලු.ගෙදර ඇවිත් බලනකොට තාත්තවෙන වැඩක්ලු.කන්දෙගියෙ මොටද තාත්තෙ කියල ඇහුවම පිස්සුද මමගිය කන්දක් නෑකිව්වලු.

මොකක් නමුත් අපිට නොතේරෙන බලවේගයක් අපේ ගෙවල් ආසන්න දොල ආශ්‍රිතව තියෙන බවත් එය හානිදායක දෙයක් නොවන බවත් මගේ විශ්වාසයයි.අපේතාත්ත කියන්නෙ “අනේ ඔහෙ හිටපුවාවෙ මේලෝකෙ අපි කාටකාට ඉන්න පුලුවන්නෙ.මොකෝ මේක අපිට ලියපුඑකක්‍ යැ.අනිත් ප්‍රානින් වාගෙ බොලත් හිටපල්ලකො” කියලයි.

Advertisements

3 thoughts on “ගමේ හොල්මන් අවතාර

  1. ‘මාත්’ නොකෙරුවත් නොකරමි එය ගැරහීම.. 🙂

    මිට අවුරුදු 31 කට වගේ ඉස්සර මම හයේ පන්තියේ ඉද්දි ඉගෙන ගත්තේ අන්ත දුෂ්කර බදුල්ල වියලුව කන්දකැටිය ඩි.එස්. සේනානායක ඉස්කෝලේ.. අයියා ඒ ඉස්කෝලේ ගුරුවරයෙක් වෙච්ච නිසා අපිට ලයිට් වතුර තියෙන ගුරු නිවාසයක් තිබ්බත් ඒ වෙනකොටත් ඒ ගම හවස කළුවරත් එක්ක ‘අඳුර රජකරන’ සම්ප්‍රදායික ගමක්.. ඔය ගම අවටත් ගොඩක් හොල්මන් අවතාර කතා තිබුනා.. එකක් ඔය වගේම මිනිස්සු එල්ලිලා මැරුණ/ මැරුවයි කියන නුගයක්. අනික පාරවල් දෙකක් වෙන්වෙන තැනක හෙවත් Y හංදියක් ළඟ තිබුන බෝක්කුවක්.. ඒකට කියුවේ ‘මෝඩ බෝක්කුව’ කියල ඒ කියන්නේ කළුවරේ ගියොත් අනිවාර්යයෙන්ම වැරදි පාර ලු පෙන්වන්නේ.. ඊට ටිකක් මෙහායින් ගමේ සොහොනත් තිබුන.. ඉතින් හොල්මන් අවතාර විමානේ.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් පවිල් වලින් තමයි ගම දිව්වේ වැඩිමනත්ම.. හොඳම වැඩේ කියන්නේ ඉස්කෝලේ උගන්නපු තනිකඩ හා තනියම චමරියේ හිටි ගුරුවරු රෑට කෑම කෑවේ අපේ ගෙදරින්.. රෑ හත අට වෙද්දී ඇවිල්ල TV බලල කෑම කාල අන්තිමේදී රෑ වෙනකං හොල්මං කතා කතා කර කර ඉඳල තමයි යන්නේ.. හැබැයි ඒ ගොඩක් කතා අවසානයේ ‘බොරුවට’ බය වීම් තමයි.. ඒක නිසා ඒ පොඩි වයසේදීම හොල්මනක් කියපු ගමන් ‘බොරුවට බයවිමක්’ කියල හිතන්න මම පුරුදු උනා.. ඒ උනත් අදටත් ඒ වගේ හොල්මන් අවතාර ගැන කතා අහන්න නම් මං කැමතියි.. 🙂

    Like

  2. අපේ ආතා කයිවාරුවක් පටන්ගත්තොත් විජේවන්ත කියන නම කියවෙනවම තමයි. මමත් අපේ චමින්ද මාමත් එක්ක දවසක් ඔබතුමා ඔය කියන දූපත අද්දර ගඟෙන් නාන්න ගියා මතකයි. ආවා මතක නැත්තෙ ඒ ගමනට අපිත් එක්ක සහභාගී වෙච්චි ද්‍රාවණයක් හින්දයි. ඉස්සර අපේ ගමේ පන්සලේ බෝ ගහටත් දේවතා එළි ආවලු. ඒත් එක්කම සිලිං බිලිං සද්දෙකුත් එනව කියල අපේ තාත්තා කිව්වා. මට නං තවම එහෙම එකක් දකින්න ලැබිල නෑ. අපි අහස බැලුවෙ පොඩිකාලෙ විතරයිනෙ. ඒ කාලෙ රෑට දොට්ට බහින්නෙ හතර වටේටම එලි අල්ලගෙන. ඒ තරං හොල්මං අවතාරනෙ. දැං දේවතා එලි අහසෙ යනව ඇති. ඒ වුනාට ඉතිං අපි අහස බලන්නෑනෙ.

    දඩයංවලට නං මම කැමති නෑ. ඒ හංදමද කොහෙද දං, වෙරලු එහෙම හොයන්න ලඳු වල ඇවිද්දා ඇරෙන්න මට රාත්තිරියෙ කැලේ යාමක් සෙට්වෙලාම නෑ. කිතුල් ගස්වල මුට්ටිය හොරෙං බානවට සමහරු හැරේ පොටවල් බුරුල් කරල තියනවත් එක්කනෙ. ඔය හරියෙ කඳං බැඳිල්ල කෙරෙන්ට නැතුව ඇති මා හිතේ.

    Like

  3. අපේ ගෙදරට උඩහත් නුග ගහක් තිබුනා…
    අපි දන්න කාලේ ඉඳලම ඒක වැඩිය ලොකු වෙන්නේ නැහැ…
    අපි පුංචි කාලේ අහලපහල මිනිස්සු එතනට ඇවිත් පහන් තියන්න එහෙම පටන් ගත්තා, හැබැයි ඒක ටික කාලෙකින් නතර උනා…
    ඒ නුග ගහටත් ඉස්සර දේවතා එළි ආවා…
    මෑත කාලයේ දේවතා එළි ගැන වැඩිය අහන්න දකින්න නැති වෙන්න හේතුව මිනිස්සු රෑ අහස දිහා බලන්නේ නැතුව කටත් ඇරගෙන TV බලන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s