ගමේ චන්ඩියගේ ඉරණම

අපේගම අනික් හැම ගමක්ම වගේ සියල්ලෙන් සපිරි ගමක් හැටියටයි තිබුනෙ.අපි කුඩා කාලෙ වෙනකොට මේතත්වය ටිකක් වෙනස්ව තිබුනත් බොහෝ අවශ්‍යතාවයන් ගමෙන්ම සපුර ගන්න පුලුවන් තත්වයක් ඒවෙනකොටත් තිබුනා කිව්වොත් නිවැරදියි.ඕනෑම සමාජයක ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන්නෙ ආහාර.අපේ ගමේ ප්‍රධාන වශයෙන් ගොවීන් තමයි හිටියෙ.ගමෙන් සීයට අනූනමයක්ම ගොවීන්.කලාතුරකින් තමයි ඉන් පරිභාහිර රැකියාවල නිරතවුනු අය හිටියෙ.අතීතෙ තිබුනු ක්‍රමය අනුව ගමේ අවශ්‍යතා ගමෙන්ම සම්පූර්නවෙන ක්‍රම වේදයක්නෙ තිබුනෙ.ඒකනිසාගම් වැසියන්ට අවශ්‍ය වෙනත් සේවාවන් සපයන ක්‍රමත් අපේ ගමේ තිබුන.ගමේ උදවියට රෙදි පෙරෙදි පිරිසිදු කිරීම,ගොවිතැන සඳහා අවශ්‍ය අවිආයුධ තනාදීම වගේ සේවාවන් කරන රෙදි නැන්දල හේනෙ මාමල වගේම නයිදෙල ජීවත් වුනු ගංගොඩැලි දෙකක් ගමේතිබුන.අනිත් කවුරුත් ප්‍රධාන වශයෙන් ගොවිතැනින්‍ යැපුනු උදවිය.ගොවිතැන හැටියට කරේ වීගොවිතැනවිතරක් නෙවෙයි.කුරක්කන් අමු මෙනේරි උඳු තණහාල් වගේ ධාන්‍ය වර්ග,මඤ්ඤොක්කා බතල ඉන්නල කුකුලල කොඬොල් කිරිඅල හුලංකීරියා අරලෝසි වාගෙ අලබෝග වැටකොලු බංඩක්කා වම්බොටු කැකිරි පිපිඤ්ඤා දඹල අවර වගේ එලවලු වර්ග කහ ඉඟුරු අබ තල වගේ වෙනත් බෝගත් අපේ ගමේ උදවිය වැව්වා.තව කිතුල් පැනිහකුරු නිශ්පාදනයත් අපේගමේ සිද්ද කරා.මේ සේරගෙන්ම ගමේ අයට ඕනකරන ආහාර ගමේම නිපදවාගන්න පුලුවන් උනා. බොරලුගොඩ ගම පදනම් කරගත්ත ගමට ඉඟුරුදලුවත් අයිතියි.ගඟෙන් එගොඩගොඩේ තිබුනු බොරලුගොඩ ගම පස්සෙන් පහු කාලෙ ගඟෙන් මෙගොඩ ඉඟුරුදලුවටත් ව්‍යාප්ත වීමයි උනේ.මේවගේම අසල්වාසීගම උන අතලෙ ගම සුදුවැලිපත මාදුරුහේන පැත්තට ව්‍යාප්ත උනා.මේ ව්‍යාප්තවීම් එක්ක බොරලුගොඩ ඉඟුරුදලුව අතලෙ සුදුවැලිපොත වාගෙ ප්‍රදේශ එකට එකතු උනා.මෙහෙම උනහම බොරලුගොඩ අතලෙ යන පැරණිගම්මානදෙක ඇතුලත් ප්‍රදේශෙට පහල හෙවෙස්ස රණතුංගොඩ ප්‍රදේශත් එකතුවුන මහා ගම් ඒකකය නිර්මානය වෙනවා.

මේමහාගම් ඒකකයේ කේන්ද්‍රස්ථානය බවට බොරලුගොඩ ගංගාරාම විහාරස්ථානය පත්වෙනවා.කෝට්ටේ ශ්‍රී කල්‍යාන සාමග්‍රී මහාසංඝ සභාවට අයිති විහාරස්තානයක් උන මේ විහාරස්ථානයත් කලින් කිව්ව ව්විධ සේවාවන් සපයන කුඩාගම් ඒකක දෙකත් මේ මහා ගම් ඒකකයටම සේවාව සැපයුවා.බෙර දවුල් තම්මැට්ටම් වාදනයසිද්ද කරනු ලැබුවෙ රෙදි පිරිසිදු කිරීමේ සේවාව සැපයූ රෙදි නැන්දලගෙ පුරුශ පාර්ශවය වෙච්ච හේනෙ මාමලයි.මේ හේනෙ මාමලව හැදින්නුයේ නමත් එක්ක තවත් පොදු නාමෙකිනුයි. ඒ කිව්වෙ දාවිත් කට්ටාඩි,බෙම්පි කට්ටාඩි,හින්නි කට්ටාඩිආදීවශයෙන්.මේ අයට කට්ටාඩි කිව්වෙ යක්කු පිලිබඳ කටයුතුත් කරන්න පුලුවන්කම තිබ්බනිසා.කොහොම උනත් පන්සලේ පිංකම් වලට බොහොම ලස්සනට පංච තූර්‍ය නාදෙ පැවැත්තුවෙ ඔයකියන කන්ඩායමේ උදවියයි.සිංහල ආණ්ඩු ක්‍රමය යටතේ එකඑක රාජකාරි බෙදාවෙන්කරල ඒව පැවරුනු පවුල් වලට රාජකාරිය වෙනුවෙන් ඉඩම් කඩම් ලබාදීල ඇතිකරපු සංවිධානයට අනුව ඒ ඒ රාජකාරි වල ඒඇත්තො නිරතවෙලා හිටිය මිසක් සකල විධ මනුස්ස ප්‍රානීන්ට සම මෛත්‍රීය කරුනාව දක්වන බුදුදහම අදහපු අපේ රටේ කරපු මේවාගෙ සේවාව අනුව මිනිස්සු උසස් පහත් කරල සැලකුව කියල හිතන්න බෑ.හැබැයි නායක්කර් වංශික රජවරුත් එක්ක පාලනේට සම්බන්ද උන දකුනු ඉන්දීය නායක්කර් ප්‍රභූවරුන්ගෙ කාලෙදි හින්දු ආගමට අනුව අනුගමනයකල කුල ක්‍රමය අනුව මිනිස්සුන්ට උසස් පහත් විධියට බෙදාගෙන අපේ වටිනා සේවාවන් සලසපු ඇත්තන්ව අඩු සැලකිල්ලට යොමුකිරීමේ පුරුද්ද ඇතිවෙන්න ඇතෙයි කියලයි මට නම් හිතෙන්නෙ.

මේ කියාපු පංචමහා ගම්මාන ඒකකයෙ ජීවත් උන ඇත්තන් අතර ගමේ පංසලේ කටයුතු ගම්මඩුවෙ කටයුතු සාමුහිකව සිද්ද කෙරුනා.මේ ප්‍රදේශෙ අධ්‍යාපනය මුලදී අතලේ ස්කෝලයත් පහලහෙවෙස්ස නැත්නම් ඉඳුරුපිටිය ස්කෝලෙනුත් සිද්දකෙරුනා.අපේ තාත්තලගෙ වයසෙ අය සමහරු අධ්‍යාපනය ලැබුවෙ පංසලෙන්.තවත් කට්ටියක් ඔයමුලින් කිව්ව ස්කෝලදෙකෙන්.ඔය යුගයෙ අතලෙ ස්කෝලෙ හිටපු විදුහල්පතිතුමා තමයි.ඒ කේ ඩී අබේජීව මහත්තය.එතුමා පාසැලේ විදුහල්පති උනා විතරක් නෙවෙයි ගමේ ලොකු නායකයෙකුත් උනා.ඉඟුරුදලුවෙ හොරවප්පිටියෙ දොන් නිකොලොස් හපුහෙට්ටි,ඔපිසර රාලහාමි, අතලෙ ඔපිසරගෙදර දොන් ජොහානිස් වීරසිංහ පොලිස් ඔපිසර රාලහාමි, බොරලුගොඩ රනහිංගොඩේ වික්‍රම ආරච්චි කොලඹගේ දොන් සුබනේරිස් ඔපිසර රාලහාමි,වාගෙ ගමේ නායකයො අතර සම මට්ටමේ මහනායකයො උනේ අතලෙ විදුහල්පති අබේජීව මහත්තයයි ඉඳුරුපිටියෙ විදුහල්පති කොතලාවල මහත්තයයි.මේ නායක මට්ටමේ බලධාරින් අතරට පස්සෙ එක්කහු වෙන්නෙ ඉඟුරුදලුවෙන් හොරවප්පිටියෙ දොන් ලුවිස් හපු හෙට්ටි ඔපිසර ආත්තයි.මැදවත්තෙ ඔපිසර ආත්තයි.රණහිංගොඩේ වික්‍රම ආරච්චි කොලඹගේ දොන් සිරිනේරිස් රාලහමියි තුන් දෙනා. සියල්ලන්ටම ඉහලින් ඉන්නෙ බොහොම පුංචි කෙනෙක්.ඒකෙනා තමයි මේ මහා බලධාරින් මෙහෙයවමින් මේ පංචමහා ගම්මානය ජීවය වෙන්නෙ .ඒ බොරලුගොඩ ගංගාරාමාධිපති බොරලුගොඩ පියරතන මහා ස්ථවිර පාදයන් වහන්සේ.මේ නායකයො එකතුවෙලා ගමේ යහපත්දේවල් ඉස්සරහට ගෙනියන්න බොහොම ලොකු උනන්දුවකින් කටයුතු කලා.

මේ විදියට පියරතන ලොකු හාමුදුරුවොත් ගම්මුලාදෑනි රාලහාමිලත් විදුහල්පතිතුමාලත් එකතුවෙලා ගමදියුනුකරන්න කටයුතු කරද්දි මේවට බාධා කරන්න කවුරුවත් ඉන්න නෑ කියල සමහරවිට හිතෙයි.අනික් ගම්වලවගේ අපේගමෙත් නරක වැඩ කරන මිනිස්සුත් හිටිය.ඈත අතීතයෙ ඉඳලම හොඳත් නරකත් අතර සටන නොනැසී පවතිනවනෙ.ඒක අනාගතේටත් ඒවිදියටම නොනැසීයාවි. ඉතින් අපේ ගමේ ඔයකියන කාලෙ හොඳ පෙනීසිටියෙ හාමුදුරුවොයි මුලාදෑනිලයි ගුරුවරුන් ගෙයි වේසෙන්.නරක පෙනීසිටියෙ තෝමස් කියල පුද්ගලයෙක්ගෙ වේශයෙන්.මේකියන තෝමස් කියන කෙනා දෙහිකුඹුරෙ පැත්තෙ ජීවත් වුන කෙනෙක්.මිනිහ දැවැන්ත ශරීර ශක්තියක් තිබුනු කෙනෙක්.ඒ තිබුන දැවැන්ත ශක්තිය පාවිච්චි කෙරුනෙ නරක පැත්තට.තෝමස්ගෙ ශරීර ශක්තිය ගැන හරි අපූරු කතාන්දර අපිට පොඩි කාලෙ අහන්න ලැබුන.මිනිහ බාඳුරා ඇලේ උඩහ ඉඳන් ලොකුලී අලියෙක් වගේ කරේදාපු වැල්වලින් හදපු වලල්ලකට ගැටගහල ඇදගෙන එනවලු.සාමාන්‍යෙන් අලියෙක් අදින ලීයක් ඇදගෙන එන්න මිනිහෙකුට පුලුවන්ද?ඒත් අපේ වැඩිහිටියො කිව්වෙ තෝමස් කියන්නෙ එහෙම පුලුවන් කෙනෙක් කියලයි.තෝමස් සූදුවට කැමති මිනිහෙක්.හොරකමටත් ඒවගේම දක්ෂයි.අනිත් අතින් මිනිහ චන්ඩියමිනිහගෙන් වෙන අතවර වලට මිනිහත් එක්ක ගැටෙන්න තරම් කෙනෙක් නොහිටි නිසා මිනිහ තවතවත් චන්ඩිකම් කරා.හාමුදුරුවන්ගෙ නායකත්වයෙන් හිටි ගම්නායකයො තෝමස්ට හරිවැරදි කියාදෙන්න හැදුවත් ඒව ගනන් ගත්තෙ මිනිහ නෙවෙයි.තෝමස්ගෙ මැරවරකම් හොරකම් වගේ වැරදිවැඩ ගැන පස්සෙ මීගහතැන්නෙ පොලිසියෙ අවධානය යොමුවෙලා මිනිහ පාරෙ පොලිසිය පන්නන්න පටන්ගන්නවා.මේකාලෙ දවසක ගමේ තොවිල් ගෙදරක තෝමස් ඉන්නකොට මීගහ තැන්නෙ පොලිසියෙන් පස් දෙනෙක් මිනිහව අල්ලගන්නව.පොලිස්භටයො දෙන්නදෙන්න තෝමස්ගෙ අත්දෙකේ එල්ලිල මාංචුදාන්න අත්දෙක එකතුකරන්න හැදුවත් තෝමස්ගෙ අත්දෙක එකතු කරන්න බැරිවහිටියලු.ටිකවෙලාවක් පොලිස් නිලධාරින් දඟලනකොට සාජන් මහත්තය කිව්වලු “තෝමස් පොලිසියට කීකරු වෙයන්” කියල.මේ පෝරිසාදය කිව්වලු “සාජන් මහත්තයො පොලිස් රාලහාමිලට නම් හෙට එලිවෙනකම් දැගලුවත් මගෙ අත්දෙක එකතු කරවන්න බෑ.හැබැයි සාජන් මහත්තයගෙ වචනෙ සලකල මෙන්න අත්දෙක එකතුකරා දාන මාංචුවක් දාගන්න” කියල.මේ සිද්දිය අපේතාත්ත ඇස්දෙකෙන් දැක්ක සිද්දියක් කියල තාත්ත මේකතාව කිව්වෙ.

මේවිදියට තෝමස්ගෙ චන්ඩිකම ගමේ අසරනයො පෙලද්දි ගම් නායකයො නීතියෙ බලය යොදාගැනීමනිසා මේදෙගොල්ල අතර ලොකු විරසකයක් මතුවෙනවා.මේවෙනකොට තෝමස් එක්ක නොගැටුනාට තෝමස්ට බය නැති එක්කෙනෙක් දෙන්නෙක් මතුවෙන්න ගන්නවා.මැදවත්තෙ තෝමස් ආත්ත එක්කෙනෙක්.අලි බැලීම කරපු මේ තෝමස් ආත්තා දාමරික තෝමස්ට බය උනේ නෑ.එකදවසක් කඩේලඟදි දාමරිකතෝමස් කාටහරි බනින කොට තෝමස් ආත්ත කිව්වලු “කටවහ ගනින්” කියල.තෝම්ස් ගත්කටටම ඇහුවලු “උඹ කවුද මේතෝමස්ගෙ කටවහන්න” කියන්නෙ.කියල .තෝමස් ආත්තා වහාම උත්තරේදුන්නලු “උඹ දැනගනින් මමත් තෝමස් කියල”.දාමරික තෝමස් නිහඬ උනාලු.මේ සේරටම වඩා තෝමස් එක්ක කරටකර හැප්පෙන්න තරුනයෙක් ඉදිරිපත් වෙන එකත් මේකාලෙ වෙලාතියෙනවා.ඒ දෙහිකුඹුරෙම රතේනිස් ඔපිසර මාමගෙත් ජේන් නෝනා අබේසිංහ නැන්දම්මගෙත් වැඩිමල් පුත්‍රයා වුන විල්සන් රණසිංහ.නාහෙට අහන්නෙ නැති වයසෙ තරුනයෙක් උන විල්සන් රණසිංහ අයියා අම්බලන්කඩේ ලගදි තෝමස් එක්ක රන්ඩුවට පනින්නෙ ප්‍රසිද්ධියේ තෝමස්ට අභියෝග කරන පලමුවැන්නා විදියට දෙන්න එක්ක කරට කරේ රන්ඩුව යනකොට කට්ටිය දෙන්න දෙපැත්තට අරගෙන රන්ඩුව බේරනවා.තෝමස් දිවුරා කියනවා විල්සන් අයියව මරන බවට.මේ සිද්ධියෙන් පස්සෙ විල්සන් අයියත් මූනට මූන ගැටෙන්න පැකිලෙන්නෙ නැති කෙනෙක් නිසා ජේන් නැන්දම්මා එයාව පරිස්සම් කරන්න පටන් ගන්නවා.තෝමස් දමනයට ඉඩකඩ ඉල්ලලා ගෙදර පෙරලි කරන විල්සන් අයියාට ඊට ඉඩ නොදීම නිසා ගෙදර එක්ක අමනාපවෙලා ගෙදරින් පැනලා යනව.මෙහෙම පැනල ගිය විල්සන් අයිය කියන්නෙ අපේ බොරලුගොඩ ඉන්දරතන නායක හාමුදුරුවන්ගෙ ලොකු අයිය.මීටවසර තිහකට විතර පස්සෙ රටපුරා ඇවිදමින් විල්සන් රණසිංහව හොයපු අපේ බොරලුගොඩ රතනසාර ලොකු හාමුදුරුවන්ට මිනිහව හම්බුවෙන්නෙ පදවියෙ සිංහපුර ජනපදේ දියි.අරකේන්තියෙන් ගිය මිනිහ ගලෙන්බිදුනුවැවෙන් විවාහයක් කරගෙන ඒ පැත්තෙ ඉදල පදවිය ව්‍යාපාරෙන් ඉඩම් අරගෙන යාන් ඔය අද්දර සිංහපුරේ දරුමල්ලොත් එක්ක පදිංචිවෙලා හිටිය.ඉන්දරතන හාමුදුරුවොයි රතනසාර ලොකු හාමුදුරුවොයි එක්ක 1982දි මමත් පදවියෙ සිංහපුරට ගිහින් විල්සන් අයියගෙ ආගන්තුක සත්කාරෙ භුක්තිවිදිමින් දින කීපයක්ම ගත කලා.ගමේදී තෝමස් දමනයට ඉඩනොලැබුනාට සිංහපුරදි විල්සන් අයියට කොටිදමනයට ගම්වාසින්ට නායකත්වය දෙන්න හිතේහැටියට ඉඩකඩ ලැබිල තිබුනා. සිංහපුර පරාක්‍රමබාහු රජමහ විහාරෙ හදන්න මූලිකය උනෙත් විල්සන් අයියා.ත්‍රස්තවාදීන් සිංහපුරගම අයින් කරන්න ප්‍රහාර එල්ල කලත් විල්සන් අයියාවාගෙ හිතහයිය භයනැති මිනිස්සු ගමේඉදගෙන ඒවට මූනදුන්න.1988විතර මියගිය විල්සන් අයියගෙ තුන්මාසෙ දානමය පිංකමටත් මම සහභාගිඋනා.

බොරලුගොඩ තෝමස් ඉතින් තනි අලියවගේ ගමට කරදර කරමින් ඉන්න කොට ගම් නායකයො නීතියෙ පිහිට හොයපු නිසා තෝමස් හොදටම කිපෙනවා.මිනිහ කලුතර ඇවිත් ගමේ නායකයො මරන්න පිස්තෝලෙකුයි පතුරමුයි අරගෙන ගමට එනව.බදුරලියෙ ඉදන් මගුර පැනිගල හරහා දෙහිපිටිය රනතුංගොඩ පැත්තෙන් පයින් එන තෝමස් මගදිගට කඩවලදි පිස්තෝලෙයි පතුරමුයි පෙන්වමින් පාරම් බානව.බොරලුගොඩ රාලහාමි හාමුදුරුවෝ කොතලාවලවිදුහල්පතිතුමාඇතුලුගමේ ප්‍රභූවරුන් මරන බවට.තෝමස්ගෙ තර්ජනයට පාත්‍ර උන බොරලුගොඩ හින්නි කට්ටාඩි දැන ගන්නව මෙවර තෝමස් ගමට ආවට පස්සෙ තමන් ඇතුලු බොහෝදෙනෙකුට ජීවිතේ නැතිවෙන්න නියමිතයි කියල.කොහොමත් එකයිකියල මිනිහ තීරනය කරනව තනියම තෝමස්ට මූනදෙන්න.දිග උල්පිහියත් ඉනේ ගහ ගත්තු හින්නි කට්ටාඩි මාගලගොඩේ ඇලලග කොස්ගහ ලඟට වෙලා තෝමස් එනකම් ඉන්නවා.පිස්තෝලයයි පතුරම්ටියයි සාගතමල්ලෙ දාගෙන සාගත මල්ල යකඩ පොල්ලෙ එල්ලගෙන යකඩ පොල්ල කරතියාගෙන තෝමස් එන්නෙ කිසිම භයක් සැකක් නැතිව.කොස්ගහට මුවාවෙලා හිටපු හින්නි කට්ටාඩි තෝමස් පියමංවුනාම පිහියත් ඇදගෙන පිටිපස්සෙන් යන්නෙසද්දෙ නෑහෙන්න.මිනිහගෙ කල්පනාව ඒදන්ඩ උඩදි තෝමස්ට මරු ප්‍රාහාරය දෙන්නයි.ඒදන්ඩට පය තියන තෝමස් ආපහු හැරුනෙ හදිසියේ දැනුනු සැකයක් නිසා වෙන්නැති.මිනිහට දකින්න ලැබුනෙ මින්පෙර කිසිදවසක දකින්න නොලැබුන දර්ශනයක්.ඒ මාරාවේශයෙන් තියුණු උල්පිහිය ඇදගෙන තමන්ට මුහුන දීගෙන කොටියෙක් වගේ ඉන්න හින්නි කට්ටාඩි.කරේතිබුනයකඩ පොල්ල උස්සනවත් එක්කම ඉදිරියට පනින හින්නි කට්ටාඩි මාරාන්තික පිහි පහර තෝමස්ට එල්ල කරනවා.පිහිපාර මගාරින්න පස්සට අඩියතියෙන තෝමස්ව ඇලට වැටෙන්නෙ පිහිපාරත් කාගෙනමයි.මාරාවේශෙන් ඉස්සරහට පනින හින්නි කට්ටාඩිත් ඇලට වැටෙන්නෙ තෝමස්ව යට කරගෙනයි.එදා තෝමස්ගෙ ඉරනම් දවසවෙන්නෙ හින්නි කට්ටාඩිව ඇග උඩට වැටීමෙනුයි.නොකඩවා හින්නිකට්ටාඩිගෙ පිහිය ක්‍රියාත්මකවෙනවා.මුලු ඇලම රතුපාටට හැරෙද්දි තෝමස්ගෙ මරහඬ අවට සිසාරා ඇහෙනවා.මේසද්දෙට එකකෙනෙක් ඇලලගට දුවගෙන එනවා.මේබිහිසුනු දර්ශනය දකින ඔහු කෑගහනව.හින්නි කට්ටාඩි කියනව “අප්පුහාමි නම්බු පිටින් පලයන් මෙතනින් නැත්නම් බොටත් වෙන්නෙ මේ ටිකම තමයි ” කියල.මේ මරු තර්ජනේ නිසා මිනිහ පැනල දුවනවා.තෝමස්ව මරාදැමූ හින්නි කට්ටාඩි ලෑලි කෑල්ලක් තුරුලු කරන් ගමපුරා විකාර කියකිය ඇවිදින්න පටන් ගන්නව.එහෙම වෙන්නෙ රාලාහාමිගෙ උපදෙස් හින්ද නෙවෙයි කියල කවුරුත්ම කියන්නෙ නෑ.හින්නි කට්ටාඩි නුහුගුන කාරයෙක් වෙනව.පොලිසිය කොර්නල් එහෙම ඇවිත් දොස්තර මහත්තයෙකුත් ගෙනත් මිනිය කපල තියුනු ආයුධ්‍යකින් ඇනීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවීමෙන් සිදුවූ මරණයක් කියල තීන්දු කරනවා.තෝමස්ගෙ අවසානය ඔය විදියට සටහන් වෙනවා.අපේ උඩහ ගෙදර ආච්චි කියන්නෙ “පූරුවෙ පිනෙන් යෝධයෙකුගෙ ශක්තිය ලැබුනත් මෝඩකමනිසා අයහපතටම ගිය කරුමක්කාරයෙක් තමයි තෝමස් කියන්නෙ” කියලයි.
තෝමස්ගෙ මරණෙට සැකපිට හින්නි කට්ටාඩි පොලිස් අත් අඩංගුවට ගන්නව.ඒත් කිසිම සාක්ෂියක් මේමිනී මැරුම ගැන නෑ.හින්නි කට්ටාඩිගෙ විකාර හැසිරීම දකින පොලිසිය උසාවිනියෝගයකින් මානසික රෝහලට මිනිහව ඇතුල් කරනව.එතනින් ප්‍රතිකාර ගත්තු මිනිහ ගමට ඇවිත් ජීවත් වෙනවා.ඒත් ප්‍රාණගාත අකුසල් කර්මය පල දීල අසූව දශකයේ හින්නි කට්ටාඩි තම ඤාති තරුනයෙකුගෙ කැති පහරකින් තෝමස් වගේම ඇලක් ලඟදි මිය යනවා.මේ අකුසල් පලදීම එතනින් නවතින්නෙ නෑ.හින්නි කට්ටාඩිගෙ මරනෙට වගකිවයුතු කෙනා තවත් අයෙකුගෙ කඩු පහරවලින් යට්ටපාතදි මියයනවා. මේ මරනවැල සිදුවීම දකින්න අපේ ආච්චි හිටියනම්රාත්‍රි භාවනාවෙදි කියාවි “අනේ අනිච්චේ දුක්ඛේ මේ සංසාරයේ භයංකර භාවය මැනවින් මාහට පෙනීගියේය.කියල.”

10 thoughts on “ගමේ චන්ඩියගේ ඉරණම

  1. සුද්දො එන්න කලියෙන් රජ කාලෙ තිබුණු පැරණි පාලන ව්‍යුහය ගැන විස්තර කරලා ලිපියක් ලියන්න පුළුවන් නම් බොහොම අගෙයි.

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති !

    Like

  2. 😀 චිත්තර පටයක් නරඹනවා වගෙයි.
    නරකද මහත්තයා සිනමා වේ නිර රචනය, සංස්කරණය වගේ දේටත් පොඩ්ඩක් සම්බන්ධ වුනානම්…….?

    Like

  3. අනිච්චේ දුක්ඛේ සංසාරේ
    කොයි තරම් චන්ඩි කම් කලත් හරි මිනිහෙකුට අහුවුනාම කපෝතියි.
    සර් ආයිත් අම්පාරේ හරි වෙන පැත්තක හරි මෑත අතීතයට යමු.
    😀

    Like

  4. හින්නි කට්ටඩිය නං මාර යකෙක්. තෝමස්ට එයාගෙ ශක්තියෙන් වැඩක් ගන්න අමාරුම තැන ඒදණ්ඩ නේ. තමුන්නාන්සෙත් මේක බලං හිටියවගේ කියන අපූරුව හින්ද අපෙත් හිතේ ඇඳෙන්නෙ අපිත් ඒක බලං හිටිය වගේ. බැරිවෙලාවත් පොලීසියෙන් ඇහුවොත් අපිත් සාක්කි දේවි අපි දැක්ක කියල.

    Like

    1. මමත් මේ දැක්කවගේ ලියන්නෙ හින්නි කට්ටාඩිත් මැරිල අවුරුදු විසිපහක් විතර ගියතැනදි.ඒත් කියන්න බෑ කට උත්තරයක් ගන්න පොලෝසියෙන් එයිද කියල හැබෑටම.

      Like

  5. අපේ ගමේ නං චන්ඩි බොහොයි. කොටිම්ම කියතොත් හැම පිරිමියම චන්ඩියෙක්. පිරිමියෙක්ගෙ චන්ඩිකම මනින දර්ශකය තමයි ගෙදර ගෑණිගෙ දත් කුට්ටම. උන්දැගෙ දත් කුට්ටමේ දත් ගාන අඩුවෙන්න අඩුවෙන්න ගෙදර මිනිහගෙ චන්ඩිකම ඉහලයි. කසිප්පු පෙරන සූරසේන තමයි ඉහළම චන්ඩියා. මිනිහ ගාව කවදාවත් පත්තු නොකල පිස්තෝලයකුත් තියෙනව. ඒ මදිවට මිනිහගෙ ගෑනු දෙන්නගෙම ඉස්සරහ දත් ඇඳි පිටිම්ම නෑ. මිනිහගෙ බාල දුවෙකුත් ඉන්නව ඇඟ පුරාම පිලිස්සුං කැලලක් තියෙන. ඒ මිනිහා ලාම්පුතෙල් කුප්පිය ළමයගෙ ඇඟට හලල ගිනිතියලා. තව අපේ ගෙවල්ලඟ චණ්ඩි අයියෙක් ඉන්නවා. එයාගෙ දුවට දැං අවුරුදු 23 ක් විතර ඇති. ඒ දුවට මානසික ලෙඩක් හැදුනා අම්මට තාත්තා තඩිගහනව දැකලා. ඔන්න අපේ ගමේ චණ්ඩි.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s