වන සත්ව ප්‍රශ්නය

වනන්තරේ අයිනෙ තියෙන සෑම ගම්මානයකම වනසතුන් ගැවසෙනවා.ඒනිසා අපේ ගම්මානවලත් වනසත්තු ගැවසෙනවා.අද මේ වනසත්තුන්ගෙ ගැවසීම ලොකු උපද්‍රවයක් බවට පත්වෙලයි තියෙන්නෙ.රටේ හැමතැනින්ම ඇහෙන්නෙ වනසත්තුන්ගෙ හානි නිසා වගාවන්වලටවෙන බරපතල හානිය ගැනයි.වියලි කලාපෙ ආශ්‍රිතව තියෙන බොහෝ ගම්මානවල මේ තත්වය දරුණු වෙලා තියෙන්නෙ වන අලි නිසයි.කුරුණෑගල අනුරාධපුරේ පොලොන්නරුවෙ අම්පාර හම්බන්තොට වාගෙ පැතිවල අලි සියගනන් රංචු ගම් වැදිලා මිනිස්සුන්ට ලොකු හිරිහැරයක් ඇතිවෙලා.දැන් ඒවගේ ඒව විග්‍රහ කරන්න ලොකු වචන හදා ගෙන තියෙනවා.”අලි මිනිස් ගැටුම සද්දන්තයින්ගේ ඉරණම “වාගෙ ලොකු යෙදුම් හදාගෙන මාධ්‍යයි ස්වේච්චා සංවිධානයි මේගැන මහලොකු සංවාදත් පවත්වනවා.තව සමහර ඇත්තො කියන්නෙ අලි හිටි තැනට මිනිස්සු ගිය එකේ විපාකෙ කියලත් කියනවා.ඔය කථාව මා එක්ක කියපු එක්කෙනෙකුගෙන් මම ඇහුවා එතකොට වර්තමාන වියලි කලාපෙ අතීතයෙදි මහදියුනු රාජධානියක් බවට පත් කරගෙන අවුරුදු දහස් ගානක ශිෂ්ටාචාරෙ පවත්වගෙන ගියේ අලිද එතකොට කියල.එහෙම කිව්වම මිනිහ මාදිහා බැලුවෙ මිනිහගෙ ඉඩමට පැන්න අලියදිහා බලනව වාගෙ ඔරෝගෙන.අලි හිටපු තැන නෙවෙයි මිනිස්සු ඉන්නෙ මිනිස්සු අතීතෙ හිටපු තැන්වල තමයි මිනිස්සු ඉන්නෙ.හැබැයි එදා හිටපු අලි දැන්තරම් මහවිශාලපිරිසක් හිටියයි කියල හිතන්න බෑ.ඒමොකද එදා අලි අල්ලල පිටරටවලට යැව්ව කියල තියෙන නිසා.කොහොම උනත් දැන් මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕන කරන ආහාර ටික වවාගන්න බැරිවෙන තරමට වන සතුන්ගෙ උවදුර වැඩියි.

අලි පැත්තක තියමුකො.වල් ඌරො ඉත්තෑවො වඳුරො රිලව් මොනරු ගෝන්නු මිනිස්සුන්ගෙ වගාවලට කරන විනාසෙ මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් කියල තමයි වගා කරන මිනිස්සු කියන්නෙ.දැන් මේ හෝමාගම පිටිපන පලාතෙ තියෙන ලොකුම උවදුර තමයි මුවන් නිසා සිදුවන හානිය.එක හය හත් සීයක් විතර මුවෝ ගහනයක් හෝමාගම තියෙනවා.ඉස්සර හෝමාගම උදවිය මුවෝදැක්කෙ සත්තු වත්තෙදියි.ඒ විතරක් නම් බැරියැ මේරාජගිරිය පැත්තෙ මහරාත්‍රියක යන්න උනා මට මේ යාලුවෙක් ගිහින් බස්සල එන්න.කූරු පුප්පාගත්තු ඉත්තෑවො හය හත්දෙනෙක්ම හම්බු උනා අර ඇතුලෙ කාපට් කරපු පාරවල් වලදි.මහ සිංහරාජෙට මායිම් උන වනන්තරේ අද්දර උපන් මටත් මෙච්චර ලස්සනට ඉත්තෑවො කූරු පුප්පගෙන යනව බලන්න හම්බු උනෙ රාජගිරියෙදියි කියන්නත් ලැජ්ජයි අම්මපා.අපේ ගමේ දැන් අවුරුදු කීපයක ඉඳල මොනරු වැහි වැහැලා.පිල් විදාගත්තු මොනරු තේ ඉඩම් අයින් වල උදේට බලන්න පුලුවනි ලස්සන බල බලා ඉන්න එක අපිට සුන්දර උනාට කුඹුරු කරන ගොවියගෙ මහන්සියෙන් පූදින කිරිවදින පැහෙන ගොයම් කරල් ඉවර කරන්න මොනර රංචුවකට දවසකදි පුලුවන්.ඌරො පොල්පැල රබර් පැල විතරක් නෙවෙයි තේ ඉඩම්වල ගල්වැටි පෙරලලා මහවිනාශයක් කරනවා.වඳුරො රිලව් දඬුලේන්නු පොල්ගස්වල කුරුම්බැට්ටියෙදිම ඉවර කරනවා.කෙසෙල් ගහක කැනක්වැටෙන්න දෙන්නෙ නෑ.ඉත්තෑවුන් ඕනෑම අලබෝගයක් විනාශ කරනවා.මේවිදියට මුලුලංකාව පුරාම මහා විනාශයක් වනසතුන් ගෙන් සිද්ද වෙනවා කියන එකයි ඇත්ත.

දැන් මෙහෙම නම් ඉස්සර වනසතුන් එක්ක මේ කෘශිකර්මය කොහොම කරන්න ඇත්ද කියල අපේ අය කල්පනාකරනව ඇතිනෙ.ඒ නිසාම අද කල්පනා කලා අපේ ගමේ උදවිය වන සත්තුත් එක්ක මේ ගනුදෙනුව බේරා ගත්තු හැටි ලිව්වොත් හොඳයි කියලා.අපේ ගමේ ඉතින් ජීවත් උනේ ගොවියොනෙ.ආහාරයෙන් ස්වයංපෝෂිත ගමක් තමයි අපිට පොඩිකාලෙ දකින්න හම්බු උනේ.මේ ස්වයංපෝෂිත භාවයට අයිති ආහාරයේ විවිධත්වයත් වැඩියි.ආහාරයට යොදාගත්තු බෝගවර්ග විශාලප්‍රමානයක් ගමේ උදවිය වගා කලා.ප්‍රධාන වශයෙන් ඉතින් වී වගාවනෙ කරේ.මේ වීවගාව කොටස් දෙකයි.කුඹුරට ගිහින් කරපු වීවගාවයි.කැලේට ගිහින් කරපු වීවගාවයි.කැලේට ගිහින් කරපු වීවගාව ඇල්වී වගාවයි.අවුරුද්දකට සැරයක් ගමේ උදවිය මහවනන්තරේ එලිකරල ඇල්වී වපුරනව.මේ හේන්ගොවිතැනේදි වී විතරක් නෙවෙයි තවත් බෝගවර්ග රාශියක් වගාකරනවාඒ වගාවෙ කිසියම් පිලිවෙලක් තිබුනා.ඒ මෙහෙමයි.හේන වපුරනකොට ඇල්වී වර්ගයක් එක්ක අබ තල ඇට මිශ්‍ර කරල ඉහිනවා.හේනෙ නොපිලිස්සුනු දැවකොටස් පුච්චන්න විශේෂයෙන් ගහපු ගිනිමැල තිබුනු තැන්වල අලු ගොඩවල් ආශ්‍රිතව ලබුපුහුල් කැකිරි පිපිඤ්ඤා තියඹරා වාගෙ වැල් බෝග ඇට හිටවනවා.හේනෙ වල් නෙලන අතර තැනින්තැන මඤ්ඤොක්කා දඬු හිටෝනවා.මෙහෙම කලාවට වගාකරපු හේන වනසතුන් ගෙන් රැක ගන්න ලොකු වැටක් වටේට බඳිනවා.වන සතුන්ගෙ පැමිනීම වැටෙන් විතරක් නතර කරන්න බෑ.ඒකනිසා පැල් රකින්න පටන් ගන්නවා දවාලට වීකරල් කපාගෙන යන්න රංචු පිටින් එන ගිරව් එලවන්නත් පැලේ ලමයි ඉඳගෙන කෑ ගහනවා.මේ විදියට වනසතුන් ගෙන් රැකගත්තු හේන මුලින්ම ගොයම් කපල වී ටික අරගන්නවා.සාමාන්‍ය යෙන් කුඹුරට වැඩිය ලොකු අස්වැන්නක් හේනෙන් ලැබෙනවා.වී වලින් පස්සෙ අබ තල හලා ගැනීම හා ලබු පුහුල් කැකිරි පිපිඤ්ඤා අස්වැන්න කපාගැනීම.අවසානයට මඤ්ඤොක්කා ගැලවීම.මේ විදියට අවුරුද්දක් විතරයනකොට හේන අතඇරදාලා අලුත් හේනකට මාරුවෙනවා.ඔන්න ඔතනදි තමයි වනසතුනුයි මිනිස්සුයි අතර සහයෝගිතාවය ඇතිවෙන කාරනේ පේන්න පටන් ගන්නෙ. අර මිනිස්සු අත ඇරදාපු හේන් කියන්නෙ වන සතුන්ට ආහාරය සපයාගන්න තියෙන හොඳම ස්තාන.අපේ ගම් වල තිබුනු වනන්තරේ ඉතින් හිටියෙ ලොකුම සතා ගෝනාතමයි.ඉස්සර අලි හිටිය කියල තාත්ත කිව්වට අපි කුඩා කාලෙ වෙනකොට අලි අපේ කැලෑවල හිටියෙ නෑ.මිනිස්සු හේන අත ඇරියම කුඩාතලප මීයාගෙ සිට ගෝන දක්වා සියල වනසත්තු කුරුලු කොබෙය්‍ යන්ද ඇතුලුව හේනේ පදිංචි වෙනවා.අතඇරදාපු බෝගවල නිරි අස්වැන්න හිමි කාරයො වෙන්නෙ මේ වන සත්තු.අත ඇරපු හේනට මිනිස්සු එන්නෙ නැති නිසා මිනිසුන්ගෙ බාධාවලින් තොරව තම ආහාරය හේන් වලින් ගනිමින්වන සත්තු සතුටින් ඉන්නව.වියලි කලාපෙ සිද්ද උනෙත් මේ දේමයි.අලි රංචු පිටින් ඇවිත් අත ඇරදාපු හේන් යාය වල හැදෙන ලපටි කැලෑව ආහාරයට ගන්නවා.මේ විදියට වන සත්තුන්ගෙ යැපීම ක්‍රමවේදෙ හැදුන නිසා වනසත්තුන්ට මිනිස්සුන් පදිංචි ගමට එන්න ඕනෙ කමක් නැති ව ගියා.මේ විදියට සත්තුයි මිනිස්සුයි අතර සහජීවනයක් ගොඩ නැගුනා.

ඊට පස්සෙ මොකද උනේ.?සුද්ද රටට නිදහස දීල ගියාට පස්සෙ අපේ පාලනය අපිම භාර ගත්තනෙ.අපි ඉතින් සුද්දවගේ රට විනාශ කරන්න නෙවෙයිනෙ බැලුවෙ.වනාන්තර විනාශය වලක්වන්න අපි පිටරටවලින් පැල ගෙනැල්ල වනවගාකලා පයිනස් යුකැලිප්ටස් වගේ හරියට නමකියාගන්නත් බැරි කුරුල්ලෙකුට කූඩුවක්වක් හදන්න බැරි මොනවාදෝ ගස්ජාති අපේ කැලෑවලහිටෝලා වනවගාව කරා.සුද්දවත් අතතියාපු නැති මහ සිංහරාජෙ ගස් කප්පෝල කොස්ගම තුනීලෑලි හදන්න පැටෙව්වා.අපි ස්කෝලෙ යන කාලෙ මොරපිටිය බදුරලිය හරහා මහ සිංහරාජෙ දැවැන්ත ගස් කපල පටවගෙන යන ලොරි දැක ගන්න පුලුවන් උනා.මෙහෙම කරල මිනිස්සුන්ගෙ හේන් වගාවෙන් බරපතලවන විනාශයක් වෙනවය කියල ඒක තහනම් කරා.මිනිස්සු කැලෑවෙන් කපාගත්තු වේවැල් බාඳුරාවැල් දුම්මලකොහිල එනසාල් වාගෙ දේවල් එකතු කිරීමතහනම් කරා. මුලු ලංකාව පුරාම මිනිස්සු වනන්තරේ ප්‍රෝජනයට ගත්තු එක නීතිවිරෝධී එකක් බවට පත් කරා.එහෙම උනහම මිනිස්සු ගමට කොටු උනා වනසතුන්ට මහ වනන්තරේ කෑම නැති උනා.අපේ වනන්තරවල ඉන්න ශාක භක්ෂක සතුන්ට කැලෑකොල කඩාගන්න ගස් නගින්න බෑනෙ.එතෙක් මිනිස්සුන්ගෙහේනෙ වැවෙන ලපටි කැලෑව ආහාරයක් උන සතුන්ට ඒ හේන නැතිවෙන කොට ආහාරසොයාගෙන ගමට එන්නසිද්ද උනා.දැන් ඔන්න අපිට අලුත් ප්‍රශ්නයක් හැදුනා.වනසතුන්ගෙන් තමන්ගෙ බවබෝග පරිස්සන් කර ගැනීම.හේන් ගොවිතැනේවාගෙ ටික කලක් නෙවෙයි අවුරුද්ද පුරාම මේ රැකීම කරන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනා. මිනිස්සු මේකට අලුත් උපක්‍රම හදන්න පටන් ගත්තා.ඒ අතර වනසතුන්ගෙ ආරක්ෂස්වට නීති හදපු සුද්දටත් වැඩිය ඉස්සරහට ගිහින් බොහෝ සත්තු මැරීම තහනම් කරන්නත් අපේ උදවිය කටයුතු කලා.වනසතුන්ගෙ අභයභූමිවල විතරක් නෙවෙයි මුලු ලංකාවෙම සතුන් මැරීම ලඟතබා ගැනීම සත්වකොටස් ලඟතබාගැනීම බරපතල දඬුවම් ලැබෙන වරදවල් බවට පත් කරා.දැන් හරි අපූරුයි.සත්තුන්ට කන්න තියෙන්නෙ ගම් ගොඩවල් ආශ්‍රිතව මිනිස්සු වවන දේවල් විතරයි.උන් ඒවට කෑම සොයාගෙන එනවා.සත්තුන් ගෙන් සමහරක් සත්තු මැරීම නීතියෙන් තහනම්.ගෝනා මුවා අලියා මීමින්නා ඉත්තෑවා දඬුලේනා මොනරා වලිකුකුලා කලු වඳුරා වාගේ අටෝරාසියක් සත්තු මරන්න තහනම්.ඌරා රිලවා මරන්න තහනම් නෑ මස් ගෙනියන්න ලඟතියාගන්න විකුනන්න තහනම්.

සත්තුන්ගෙන් වගාව ආරක්ෂාකරගන්න තුවක්කු ලයිසන් දෙන්නෙ නෑ.ඉඳල හිටල හරි එහෙම ලයිසම් ගන්න පුලුවන් ලොක්කෙකුට විතරයි.ත්‍රස්තවාදී වැඩ සිද්දකරන්න පුලුවන් හින්ද දුප්පත් ගොවියට තුවක්කු දෙන එක අනතුරුදායකයිනෙ. ඒකහින්ද ගොවියො අතේ තුවක්කු නෑ.වනසත්තු වලක්වන්න ගොවියො විකල්ප හොයනවා.”හක්කපටස්”කම්බි පුඩුව”මරුවලවල්”විදුලි කම්බි” මේතමයි විකල්පෙ. මේවට අහුවෙන වනසත්තු අනේක දුක් විඳල මැරෙනවා.අනිත් එවුන් කෑම හොයාගෙන දිගටම එනවා.කලාතුරකින් ඌරෙක් කම්බි පුඩුවකින් මැරුවත් දැන්තියෙන නීතියට අනුව භූමදානය කරන්නයි වෙන්නෙ.ඇයි මස්තියාගන්න තහනම්නෙ.එහෙම අහු උනොත් ඉතින් දඩේ නැත්නම් හිරේ තමයි.ඉස්සර මිනිස්සු වනසත්තු මරන්න තුවක්කු බැන්දෙ තමන්ගෙ වගාඉඩමෙ. බදින තුවක්කුව කියන්නෙ අමුතු උපකරනයක්.තුවක්කුවක බටේ සයිස් එකේ සිලින්ඩරාකාර යකඩ බටයක් අරගෙන අඩි එකහමාරක් දෙකක් විතර කෑල්ලක් කපාගෙන එක පැත්තක් කම්මලෙන් පාස්සල වහල අරගෙනවහපු පැත්තෙ අඟල් හතරක් විතර ඇරල පුංචි සිදුරක් විද ගන්නවා.මේ පුන්චි සිදුර මැදට එන්න අඟල් භාගයක් උස ම්ඇදින් සිදුරක් සහිතපැන්සලකට වැඩිය කුඩා යකඩ කෑල්ලක් පාස්සවා ගන්නවා.මේපාහපු කෑල්ලට උඩින් හැන්දක් වගේ තියෙන්න යකඩ විල්ලකින් තුවක්කු බටේට හයි කරපු කෑල්ලකුත් හයි කරහම බඳින තුවක්කුව සම්පූර්නයි.

තුවක්කු බටේ අව්වෙ දාල වේලල කලු බේත් හීන්වෙන්න අඹරල අඟල්දෙකක්විතර වෙන්න බටේකටෙන් පුරෝනවා .මෙහම පුරෝන කොට අර පැන්සල් කොටේවාගෙ කෑල්ලෙන්නැත්නම් නිපුලෙන් එලියට එන්නෙ නැති වෙන්නත් ඒසිදුර හිස්ව තියා ගන්නත් වග බලා ගන්නවා.වෙඩි බෙහෙත් පුරෝල රෙදි පාංකඩ කෑල්ලක් ඔබල කෝටුවකින් කොටල තද කරනව.ඊට පස්සෙ ඊයම් බෝල හත අටක් දාල රෙදි පාංකඩ ගුලියකින් හිර කරනවා.ඊට පස්සෙඅර පැන්සල් කොටේ වාගෙ කෑල්ලෙ(නිපුලෙ) සිදුරට ගිනිකූරු වෙඩිබේත් පුරෝනවා.ඊයම්කොල කෑල්ලකට වෙඩි බෙහෙත් දාල නවල පොඩි කැප් එකක් හදා ගන්නවා.දැන් සතා තම ඉඩමට එන පාරෙ අයිනෙන් ලී කතිර දෙකක් හිටෝල තුවක්කුව පාර දිහාවට කට තියෙන්න තියල බඳිනවා.මේඇටවුමට පිටි පස්සෙන් උගුල් ලීයක් හිටවල නවල ඒකෙ ගැටගහපු ලනුවකට සම්බන්දකලකෝටු කෑල්ලෙන් ඇටවුමක් අටෝනවා තුවක්කු කටේ ඉදන් මරු වැල සතාඑන පාර හරහා ඇදල ගැටගහල තුවක්කු කදේ හැන්දට යටින් නිපුල උඩට වෙඩිබෙහෙත් කැපෙක තියනවා.තුවක්කුව බඳින උස තීරනය කරන්නෙ සතා අනුවයි.ඌරට මිටිරියනක් උසිනුත් ගෝනට උකුල මට්ටමටත් ඉත්තෑවාට අඟල්පහක් උසිනුත් තුවක්කුව බඳිනවා.හැන්ද යටින් නිපුල උඩ කැපෙක තියන්නෙ හැන්ද උස්සල ලී කුට්ටයක් තියලයි.මේ ලීකුට්ටෙ ලනුවකින් උගුල් පොල්ලෙ ගැට ගහන්න ඕන.මෙතන මරුවැලේ ඇදීම තියන්නෙ සතාගෙ ප්‍රමානෙ අනුව ලොකු ඌරට අඩියක් විතර ඇදීම්ම තිබ්බම මරුවැල ඌරගෙ ඔලුවෙ ගෑවිල අඩියක් ඉස්සරහට ගියහම පත්තු වෙන වෙඩිල්ල ඌරගෙ හෘදය වස්තුව විදගෙන යනවා.දැන් තුවක්කුව අටෝල ගියහම රාත්‍රියට සතා ආහම මරුවැල ඇදෙනවා.මරුවැල ගානට ඇදෙන කොට උගුල්පොල්ල ගැස්සෙනව.එතකොට හැන්දයි නිපලයි වෙන් කරනලීකෑල්ල ඉවත්වෙනවා හැන්දනිපලෞඩට වැටුනම කැප් එක පුපුරලා නිපලෙ වෙඩිබේත් ගිනිඅරං තුවක්කුවෙ වෙඩිබේතුත් ගිනිඅරං ඊයම්බෝල ටික වේගයෙන් පිටවෙලා සතාට වදිනවා.මේ වෙඩිල්ල “දිඩීංංංකියන සද්දෙට පත්තු උනොත් රෑම මිරිස් තුනපහ බැදල තියනවා.”ටාල් ඩීංංංසද්දෙට පත්තු උනොත් සතාවෙඩි නොවැදී පැනල ගියබව හැමෝම දන්නවා.එහෙම වෙන්නෙ කැපෙක පත්තුවෙලා ඩිංගවෙලාවක් වෙඩිල්ල පත්තුවෙන්න ගිය නිසයි.පස්සෙන්දට කට්ටියම ගිහින් මස් ගේනවා.අවුරුද්දකට ඌරො හතට දෙනෙක් ගෝන්නු දෙන්නෙක් මෙහෙම මලා කියල වනන්තරේට දැනුනෙවත් නෑ.

දැන් අද සතුන් ට කෙලින්ම කෑම හොයන්න ගමටම එන්නවෙලා මිනිස්සුන්ට සතුන්ගෙන් වගාව බේරාගන්න විකල්ප ඝාතනක්‍රම අනුගමනය කරන්න වෙලා.මේකට මහබරවචනදාගෙන විග්‍රහ කරන සංවිධාන පහලවෙලා.අලිමිනිස් ගැටුම නවත්වන්න නම් හේන් ගොවිතැන පාලනයක් ඇතිව කරන්නපටන් ගන්නඕන ලංකාවෙ වියලි කලාපෙවත්.අපේ ගමේ මිත්‍රයො නම් කියන්නෙ වන සත්ව ප්‍රශ්නෙට ලොකුම හේතුන්දෙක “ච්කන් සහ 119″කියලයි.මේ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ඉන්නකොට මිනිස්සු කිව්වෙ ඇයි මහත්තයෝ චිකනතියෙනනිසා මිනිස්සු ඉස්සරවාගෙ දඩමස් හොයන්නෙ නෑ.119ටකිව්වොත් දඩයමල්ලල නඩු දානවා ඒනිසා දඩයම් කරන්නෙ නෑ තේරුම් කරල දුන්න.

12 thoughts on “වන සත්ව ප්‍රශ්නය

  1. ගං වදින වල් ඌරො, ගෝන්නු වගේ සත්තුන්ට ගිනි බඳින එක නම් වැරද්දක් කියන්න බැහැ නමුත් මිනිස්සු දඩයමට කැලෑ වදින එක නවත්තන්න ඕන. අනික හේන් කරන්න කාලාන්තරයක් තිස්සේ එළිපෙහෙළි කරපු ලඳු කැලෑ උනත් අවුරුදු 50 – 60 ක් අත ඇරල දාපුවම ඝන කැලෑ වෙනවා.

    මිනිස්සු පැත්තෙන් ගත්තම සාධාරණ උනත් පාලනයකින් තොරව හේන් කොටන්න දුන්නොත් නම් විනාසයක් වෙයි.

    Like

  2. වල් ඌරො සහ ඉත්තෑවො දඩයම් කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ගහණය සහ බෝවීම ඉතා වැඩියි. ඒත් දඩයම් පැතිරුනොත් මුවෝ ගෝන්නු වඳවෙන තර්ජනයක් තියනවා නේද? මුවෝ ගෝන්නු ගහණය වැඩියි කියන්න බෑ. වේලුනු දඩමස් ව්‍යාපාරයට වැඩියෙන්ම දඩයම් කරන්නේ මුවෝ ගෝන්නු

    අතීතයේ වියලි කලාපයේ ජනාවාස තිබුන කාලයේ තෙත් කලාපයේ වැඩියෙන් තිබිලා තියෙන්නේ කැලෑ නේද?
    ඒ කාලයේ ජන ගහණය ගැන මං හරියටම දන්නෙ නෑ, දැනට නම් ජන ගහණය දූපතට ඔරොත්තු නොදෙන ගාණට එමින් පවතිනවා. මේ යනවිදිහට මිනිස් ගහණය වැඩි වුනොත් සතුන්ට හා සතුන්ගෙන් ප්‍රශ්න විතරක් නෙමෙයි (උන් නම් වඳ වෙලා යයි උන්ට චන්දෙ නැති නිසා) මිනිසුන්ට ඉඩ හා සම්පත් ප්‍රශ්නය ඉතා උග්‍ර වෙයි

    Like

    1. කැලෑවැදී සතුන් දඩයම් කිරීමට දැඩි දඩුවම් පනවන්න ඕන.ඒත් මිනිස්සුන්ට අනතුරුදායක සත්තු මිනිස්සුන්ගෙ ගෙවල් කඩන්න ආපුවම සතා මරල හරි තම ආරක්ෂාව සලසාගන්න අයිතිය මනුස්සයට තියෙන්නත් ඕන.ඒ මේ අලි කොටො වලස්සුවගේ සත්තු ගැන.ගෝන්නු මුවෝ ගම්වදින එක නතර කලයුතුයි.ගම් වැදෙන්නෙ කෑමසොයන්.ඒනිසා සතුන්ට කැලෑ තුල කෑම සුලභ කිරීම සදහා පාලනයකින් යුතු හේන් ගොවිතැන වියලි කලාපෙට හඳුන්වා දිය යුතුයි.

      Like

  3. චිකන් නම් මෙලෝ රහක් නෑ.. ඔන්න අද එකට විසඳුමක් හොයා ගත්ත.. මාත් අටෝනවා ගිනි බටයක්.. ඌරට අත් රියනයි ගෝනාට ඉණේ උහ.. තව මොනවයි ආය?.. 119 වලින් ආවොත් අපේ දිසාපති උන්නාන්සේගේ අවසර ඇතුව කරන කාරියක්ය කියල බේරෙන්න බැරුවය.. තව ඕනිනම් මේ පොස්ට් එකත් පෙන්නන්න පුළුවන්.. :)))))

    ආර්.එල්.ස්පිට්ල් ගේ වන කතාවක් කියෙව්වා වගේ ආසාවෙන් කියෙව්වේ.. දඩයමට සතෙක් එළා ගන්නෙක, ගෙදර දොරේ උවමනාවට, හේනක් කොටා ගන්න ගහක් කොලයක් කපා ගන්න එක වගේ දේවල් මට නම් කවදාවත් ‘මහා ලොකු’ වැරදි විදියට පෙනිලා නෑ.. ඒවා සොබා ධර්මේ.. එයින් පිට ගිහින් ඕනේ නැති ඒවාට නීති රීති වැඩි උනාම මිනිහා නෙවෙයි සතා සීපාවා උනත් ඒ නීති කඩා බිඳ දාගෙන තමන්ගේ කැලෑ නීති හදා ගන්නවා.. ඒක බෝම බයානක දෙයක්.. අනික හැමේකටම මිලක් නියම වීම.. ඉඩ කඩම්, ගල් වැලි පස් විතරක් නෙවෙයි හුස්ම ගන්න ටිකට පවා මිලක් නියම උනාම ඇති හැකි- නැති බැරි බේදේ පටන් ගන්නවා..

    හේන් කරනවානම් අද කාලේ පාලනයක් ඇතුව කරන්න වෙනවා.. නැත්නම් ඉස්සර වගේ නෙවෙයි බැකෝ කීපයක් දාගෙන මුළු ‘සිංහරාජෙම’ උනත් තනි හේනට වවන්න බැරි අයියල නෙවයි අද ඉන්නේ.. :))))

    Like

    1. විශ්‍රාමෙ ගත්තම දානව පංතියක් තුවක්කු බඳින්න උගන්නන්නහේන් ගොවිතැන වියලි කලාපෙට සීමා කරල කරන්න ඕනා.අපේ තෙත් කලාපෙ දැන් තේ වගාව හින්ද හේන් කරන්න විදියක් නෑ.

      Like

  4. මේකනං ප්‍රායෝගික විසඳුමක් වගේ පේනව. හැබැයි ඒත් දීර්ඝකාලීනයි. කෙටිකාලීනව මොකක්ද ඔබතුමා යෝජනා කරන විසඳුම.

    Like

  5. තුවක්කු බදින කතාව කියවද්දි මට හිතුනේ ‘අනේ අපොයි සුනිල් මහත්තයත් දන්න ජාති…..’ කියලයි.😀
    දැන් මේ තියන මහ පරිමානයේ මනුස්ස සත්ව පුරස්සනය විසද ගන්න හදන ඇත්තෝ මේ වගේ තොරතුරු ගැන හොයන්නේ බලන්නේ නැද්ද?

    Like

    1. ගමේ ඉන්න කාලෙ තුවක්කු බඳින එවුන් පස්සෙ ගිහින් ඉගෙන ගත්තෙ මැඩම්.කොහොමටත් මිනිහෙක්ට සමාජයේ ගැවසීමෙන් ලොකු අධ්‍යාපනයක් ලබන්න පුලුවන්.

      Like

  6. ….තෙත් කලාපෙ නම් හේන් නැතුවට කමක් නෑ.මොකද මහ සිංහරාජෙයි වටේ තියන කැලෑවයි ප්‍රාථමික වනාන්තරනිසා ඒව එලිකරන්න ඕනෙ නෑ.හැබැයි වියලි කලාපෙ වනන්තර අතීතයේ මිනිස්සු පරිහරනය කල ජනාවසනිසා මේ සත්ව මිනිස් ගැටලුවට පිලියම් ලෙසත් ආහාර නිෂ්පාදනයෙ වර්දනයටත් හේන්ගොවිතැන කෙරෙන්නම ඕන.අතීතෙවගේ මේව සම්ප්‍රදයෙන් පාලනය කරන්න බැරි නිසා යම් නීතිමය පාලනයකුත් ඕනෙ.එදාට අලි මිනිස් ගැටුමට තිත තියල අලි ගම් වැදීම නවත් වන්න පුලුවන්.

    මේකනං ප්‍රායෝගික විසඳුමක් වගේ පේනව.

    Like

  7. අපේ ගමෙත් කලුමාමෑ පුතා, කලු අයියා තුවක්කු බඳිනවා. ඌට හිතුනොත් අපේ දොරකඩ හරි බැඳලා තියල යනවා. පාන්දරකට කුඹුරු ලියැද්දක් දිගේ යන්නත් බයයි.

    ඒ විදිහටම දෙයියයි කොල්ලො ටිකයිත් තුවක්කු බඳිනවා. අන්තිමට තාත්ත බැඳපු තුවක්කුව පුතාට පත්තු වුනා. කකුල ඉවරයි.

    සත්තු මැරිල්ලට නං මගේ කිසි කැමැත්තක් නෑ. කැලේ හැදෙන ගෝනගෙ ඉඳං කූඩුවෙ හැදෙන “චිකන්” දක්වාම කොයිකගෙත් පරාණෙ නෙවැ. නමුත් ඉතිං ස්වභාව ධර්මෙ හැදිල තියෙන්නෙ ඒ විදිහට තමා. ඒකට අපිට කරන්න දෙයක් නැහැනෙවැ. අපේ පැත්තෙ මොනරු බෝ කෙරුවෙ පැළෑඳ පැත්තෙ පාම් වගාවෙ ඉන්න නයි පොලොංගු කන්න කියලයි කියන්නෙ. නාගරික ඉත්තෑවෙක් නං දවස් දෙක තුනකට කලිං අපේ මිදුල උඩිං ගියා. ඒ තියා දඬු ලේන්නුත් ඉන්නව. මුවො නං නෑ. ටවුම වටේම ගංවල රිලව්. අහස්කූරු වෙළඳාමට නං හොඳයි. ටෙලිකොම් එකට පාඩුයි.

    හේන් ගොවිතැන දැන් කාලෙ කළත් පැල් රකින්නෙ කවුද? වියළි කලාපෙ නං පුළුවන් වෙයි. අපේ කලාපෙ නං තේ ගහට යටවෙච්චි රබර් ගහට ඇලිච්චි මිනිස්සුන්ට හේන් කෙරුවාව කරන්න හම්බුවෙන්නෙ නෑ.

    Like

    1. අපේ ගමේ තුවක්කු බැදුම් කාරයො ගොඩක් හිටියා.ඒපබිලිස් අයියා පියසේන අයියා විමලෙ අයියා වෙලේගෙදර මහතුන් අයියා ඇලොන් මාමා සුමනෙ අයියා වාගෙ අය බොහොම වගකීමෙන් ඔයවැඩේ කරේ.රෑට මානන තුවක්කුව උදෙන්ම මාන අරිනවා.එතකොට දවල්ට මිනිස්සුන්ට පත්තුවෙන්නෙ නෑ.විජේවන්තත් තුවක්කු බැන්දා.දවල්ට මාන ඇරියෙනෑ.හීන් අයියට පත්තුවෙලා කකුල කැඩුනා.කකුල සනීපවෙලත් සෑහෙන කාලයක් යනකම් විජේවන්තය මරන සතෙක්ගෙන් ගාතයක් හීන් අයියට නොමිලෙම ලැබුනා.තෙත් කලාපෙ නම් හේන් නැතුවට කමක් නෑ.මොකද මහ සිංහරාජෙයි වටේ තියන කැලෑවයි ප්‍රාථමික වනාන්තරනිසා ඒව එලිකරන්න ඕනෙ නෑ.හැබැයි වියලි කලාපෙ වනන්තර අතීතයේ මිනිස්සු පරිහරනය කල ජනාවසනිසා මේ සත්ව මිනිස් ගැටලුවට පිලියම් ලෙසත් ආහාර නිෂ්පාදනයෙ වර්දනයටත් හේන්ගොවිතැන කෙරෙන්නම ඕන.අතීතෙවගේ මේව සම්ප්‍රදයෙන් පාලනය කරන්න බැරි නිසා යම් නීතිමය පාලනයකුත් ඕනෙ.එදාට අලි මිනිස් ගැටුමට තිත තියල අලි ගම් වැදීම නවත් වන්න පුලුවන්.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s