ඝාතනයයි භීෂනයයි.

අම්පාරෙ මුල් කාලෙ ගත කරපු ජීවිතේ තව බොහෝ මතක සටහන් තියෙනවා. මේ මතක සටහන් සමහර ඒවා ලංකාවෙ බොහොම වැදගත් සුවිශේෂි සිද්දීන් එක්ක සම්බන්ද උන ඒව. මේවා ගැන කල්පනා කරන කොට මට මතක් උනේ බොහොම භයානක හා කනගාටුදායක අත්දැකීමකට 1990දි අපිට මුහුන දෙන්න උන හැටියි. මේ කාලෙ වෙනකොට මම අම්පාර කච්චේරියෙ උප දිසාපති. දිසාපති ගුණතිලක මුදන්නායක මහත්තය. අතිරේක දිසාපති එල් එස් සී සිරිවර්දන මහත්තය. මූලස්ථාන උප දිසාපති පී බී අමරසේකර මහත්තය. දිස්ත්‍රික් පරිපාලනේ ප්‍රධානීන් හැටියට අපි කටයුතු කරගෙන ගියා.

මේ කාලෙ අදවගේ නෙවෙයි, සියලු කටයුතු මෙහෙයූ මූලස්ථානය උනේ කච්චේරියයි. ඒ නිසා කච්චේරිය ලොකු කාර්‍යමංඩලයක් හිටපු කාර්‍යාලයක්. අම්පාරෙ දෙමල ජනතාව වාසය කල ප්‍රදේශවල මේ වෙනකොට එල් ටී ටී ඊ ව්‍යාපාරය පැතිරිලා. 1988 අවසානයෙ බලයට පත් උන ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා එල්ටීටීඊ එකත් එක්ක සාම සාකච්ඡාවක් ආරම්භ කරලයි තිබුනෙ. මෙතෙක් කල් කැලේ හිටපු එල් ටී ටී ඊ කාරයො හෙලිකොප්ටර්වලින් ආයුධ සන්නද්ධව කොලඹ ගෙනත් හිල්ටන් හෝටලේ නවත්තගෙන හොදට සංග්‍රහ කරමින් හිටපු කාලෙ. අපේ හිතවත් දෙමල මිත්‍රයො රහසින් අපිට කිව්වෙ ඔය සාම සාකච්ඡා හරියන්නෙ නෑ, එල් ටී ටී ඊ එක කොයි වෙලාවෙ හරි එයින් ඉවත් වෙලා පහරදෙන එක ෂුවර් කියලයි. මේ කාරනේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුනාට බලයේ හිටපු උදවියට තේරුනේ නෑ. ඒක නිසා සාම සාකච්චාව ගැන ලොකු බලාපොරොත්තුවකයි ඒ අය හිටියෙ.

මේ සාම සාකච්ඡා අතරතුර අම්පාර නගරෙටත් එල්ටීටීඊ කාරයො එන්න පටන් ගත්තා. ඩබල් කැබ් එකක තුවක්කුවක් හයි කරගෙන එල් ටී ටී ඊ නිල ඇදුම ඇද ගත්තු හත් අට දෙනෙක් අම්පාර ටවුමට ඇවිත් රවුමක් ගහල යන එක දෛනික පුරුද්දක් උනා. මේක දකින මිනිස්සු පොලිසියට බනින නිසා පොලිස් ලොක්කො කලේ මේ ඩබල් කැබ් එක පස්සෙන් සන්නද්ධ පොලිස් වාහනයකුත් යවන එකයි. අම්පාරෙ කල්මුන පාරෙ දොලහෙ කනුවෙ මුරපොලට අනුයුක්තව හිටපු එල්ටීටීඊ වාහනේ පස්සෙ යන මේ කන්ඩායම නගරවාසීන් හැදින්නුවෙ “ගොම්පස් අල්ලන කණ්ඩායම” කියලයි. මේ කන්ඩායමේ අයත් මේ ඩියුටිය ගැන කිව්වෙ ගොම්පස් අල්ලනව කියලයි. කොටි නායකයො උන කරිකාලන් එහෙම කච්චේරියට එන්න පටන් ගත්තා. නැගෙනහිර කොටි නායක කරුනා අම්මාන් එහෙමත් හමුදා කඳවුරට යන්න එන්න පටන් ගත්තා. මේ විදියට බලධාරීන් එක්ක කරට අත දාගෙන කොටි ඉන්දැද්දි මහජනතාව නම් බයෙන් තමයි හිටියෙ.

1990 ජුනි මාසෙ පොසොන් පෝය යෙදුනෙ 7වෙනිද වගේ දවසක. පොසොන් පෝය බොහොම උත්සවශ්‍රීයෙන් තමයි අම්පාරෙ සමරන්නෙ. නගරෙ පුරා තොරණ ගහල, මැරිගෝ රවුන්ඩ්, මාරක ලිදේ මොටර් සයිකල් ධාවනය කරන තැන්, කානිවල් වගේ ඒව ගෙනැල්ල උත්සවශ්‍රීයෙන් අම්පාර නගරෙ බැබලෙන්නෙ පොසොන් එකට. මේ පොසොන් එකත් ඒවගේ සමරන්න කටයුතු යෙදුනා. අම්පාර ටවුමෙ තොරණ ගහල, මාරක ලිං ගහලා, ලොකු කානිවල් සංගීත සංදර්ශන ගෙනැල්ලා කරපු මේ පොසොන් දවසෙ හමුදා කන්ඩායමක් එක්ක පොඩි ආරවුලක් මල්වත්තෙදි එල්ටීටීඊ කාරයො කරගත්තා. දෙපැත්තෙ වෙඩි හුවමාරුවකුත් උනා. වහාම පහුවෙනිදම හමුදාවෙ ලොක්කොයි කොටි ලොක්කොයි කතාකරල විසඳුමක් හදා ගත්තා. පෝයට පහුවෙනිද පොතුවිල් රාජකාරියකට ගිය කච්චේරියෙ සැලසුම් සහකාර අද්‍යක්ෂ බාවා මහත්තයවයි, රියදුරු හනීපවයි කැලේට ගෙනිහින් ගහක බැදල වාහනේ අරගත්තෙ සෙංගමුවෙදියි. මේ එක්කම මඩකලපුවෙ හමුදා කදවුරකටත් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. බාවා මහත්තයයි හනීපා රියදුරුයි බේරිලා ඒම ගැන අපි කතාකරකර ඉන්න අතර ජුනි 10 වෙනිද වෙරළබඩ පලාතේ සියලු පොලිස් ස්ථානවලට එල්ටීටීඊ කාරයො පහර දෙන්න පටන් ගත්තා.

කොටි එක්ක සාම සාකච්ඡා කර කර හිටපු රජය මේ නිසා කලබල උනා. නැගෙනහිර ඇතුලු මුලු රටේම මිනිස්සු ආන්ඩුවට බනින්න පටන් ගත්තා. ආන්ඩු පක්ෂෙට විරුද්ධ පක්ෂවල උදවිය කියන්න පටන් ගත්තා “ඕක තමයි අපි කිව්වේ කොටි නලවනකොට ආපහු හම්බු වෙයි” කියල. කොහොම හරි අම්පාරෙ කල්මුන, අක්කරපත්තු, තිරුක්කෝවිල්පොතුවිල් පොලිසීවලට වටකරල පහර දෙන්න උනා. සම්මන්තුර පොලිසිය වහල සියලු පොලිස් නිලධාරින් අම්පාරට ගෙනාවා. මගේ භාරයේ තිබුනු වහපු අම්පාර තානායම බාර් එකේ තිබුනු බීම වර්ගයි, පිගන් කෝප්පයි ඉවත්කරලා පොලිසියට භාරදුන්නා. වෙනදට යුද්දෙන් අනාථවෙන්නෙ මිනිස්සු. මෙදා පොලිස් නිලධාරීන්! සම්මන්තුර පොලිස් නිලධාරීන් ඉවත් කරගත්තට කල්මුනේ පොලිසිය වට කරල ප්‍රාහාර එල්ල වුනා. කල්මුන සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු මහත්තයගෙ නායකත්වයෙන් පොලිස් නිලධාරින් ප්‍රතිප්‍රාහාර එල්ල කලා. එතකොට අම්පාරෙ පොලිස් ප්‍රධානියා උනේ ජේයෂ්ඨ පොලිස් අධිකාරී නූර්දීන් මහත්තය. වෙරළ කලාපෙ ප්‍රහාර එල්ලවෙන පොලිසිවල නිලධාරින් සහායක බල ඇණි එනකම් ප්‍රති ප්‍රාහාර දෙමින් අල්ලාගෙන ඉන්න බලාගෙන ප්‍රාහාරයට මූණ දුන්නා. නූර්දීන් මහත්තය ඉහලින් උපදෙස් සහා සහාය ඉල්ලුවා තමන්ගෙ පොලිස් නිලධාරින් බේරාගන්න. ඉහලින් ලැබුනු උපදෙස උනේ අවි බිම තියල යටත් වෙන්න දන්වන්න කියන එකයි. සාම සාකච්ඡාව කඩා ගන්නෙ නැතුව ඉන්න වෙන්න ඕන රජය එහෙම තීරණය කලේ. ඒ අනුව සියලු පොලිසිවලට උපදෙස් ලැබුනා අවි බිම තබා එල්ටීටීඊය ට යටත් වෙන ලෙසට. මේ පනිවුඩය සිංහල ප්‍රදේශෙ තියන මොනම ප්‍රාහාරයකට වත් ලක් නොවුන දමන පොලිසියටත් ලැබුනා.මේ නියෝගයෙන් අසරන උනු පොලිසිය අවි බිම තියල යටත් උනා.කල්මුනේ නිලධාරි දෙතුන්දෙනෙක් කොටින්ට භාරනොවී කලපුවෙන් පැනල ගොඩපැත්තට ගියේ ආන්ඩුව කරපු ලොක්කො කොටින්ව විශ්වාස කරාට තමන් විශ්වාස කරේ නැති හින්දයි.කල්මුන අක්කරපත්තු තිරුක්කොවිල් පොතුවිල් පොලිසිවල 600කටත් වැඩි පොලිස් නිලධාරින්ව එල්ටීටීඊ භාරයට පත් උනා.

මේ විදියට වැඩ සිද්ද උනු දවසෙ ආන්ඩුවෙ හිටපු ලොක්කගෙ දෙමව්පියො හිටියනම් කිඹුහුම් යාම නවත්තන්න බැරුව ස්ප්‍රිතාලෙ යවන්න වෙනවා.ඒතරම් මිනිස්සු ඒ දෙමව් පියන්ව මතක් කරා.දැන් මේ පොලිස් නිලධාරින් ගැන ආරංචියක් නැතුව දවස් දෙකයි ගත උනේ.මට මතක හැටියට ජුනි12වෙනිද හවස මාන්තොට්ටම ගමට කල්මුනේ පොලිසියෙ ඉදල ආන්ඩුවේ නියෝගයෙන් කොටින්ට භාර උන රණවීර කියන එස් අයි මහත්තය එනවා.ඔහුටත් තුවාල වෙලා කොටි සියලුම පොලිස් නිලධාරින් කන්ජිකුඩිච්චි ආරු වනාන්තරයට ගෙනිහින් වෙඩිතියලා මරලා කියල දැන ගත්තෙ රණවීර එස් අයි මහත්තයගෙන්.රණවීර එස් අයි මහත්තය වෙඩි වැදුනවගේ ඉදල හිමිහිට මගඇරල කැලේට පැනල.කැලේ මැද්දෙන් ඇවිල්ල දෙමල ගමකට ඒඅය මෙයාට සිංහල ගමකට යනපාර පෙන්නල තියෙනව.ඒ ඔස්සේ ඇවිල්ල මාන්තොට්ටම ගමට රණවීර ඇවිල්ලා විස්තරේ කිව්වමතමයි දැන ගත්තෙ පොලිස් නිලධාරින් 600ක ඉරණම.එදාහවස අම්පාර නගරෙම භීතියෙන් ඇලලුනා.ඒ නගරෙ හිටපු දෙමල අයට විරුද්ධව මහාභීෂනයක් මුදා හැරීම නිසයි.නගරෙ නිවාස වලහිටපු දෙමල අයව මහරාත්‍රියෙ පැහැරගෙන ගියේ සන්නද්ධ කන්ඩායම් වලින්.මිහිදුපුර සනීපාරක්ෂක කම්කරුවො පදිංචි නිවාස ගිනිතිබ්බා.සමහරුන්ව මැරුවා.පොසොන් හඳ රාතිරියෙ පෑව්වට මුලු අම්පාරම භීෂනයක ගිලිලගිය රාත්‍රියෙ අහිංසක ගෑනු මිනිස්සු ලමයි කොච්චරක් අතුරුදහන් උනාද දන්නෙ නෑ.පන බේරගෙන වහංවෙච්ච අයට එරෙහිව පස්සෙන්ද උදේ ඉදන් මැරයො වැඩ පටන් ගත්තා.එක්තරා දේශ පාලකයෙක්ගෙ පුතෙක් මැරයොත් එක්ක දෙමල අයගෙ නිවාස ගිනිතිබ්බා.කවදාකවත් හාමුදුරු කෙනෙකුට ප්‍රතිකාර කරල සල්ලි නොගත්ත අම්පාරෙ ජීවකවෛද්‍ය වරයා කියල මිනිස්සු කිව්ව නඩරාජාදොස්තර මහත්තයගෙ බෙහෙත් සාප්පුවයි ගේයි ගිනිතිබ්බා.දැවසංස්තාවෙ හිටපු ආරි කියන අපේ මිත්‍රයගෙ ගේත් ගිනිතිබ්බා .එයා දෙමල කියල දන්නෙත් එතකොටයි අපි.අම්පාරෙ වාරිමාර්ග නියෝජ්‍ය අද්‍යක්ෂ සෙන්තිල් නාදන් ඉංජිනේරු මහත්තය සෞක්‍ය අධ්‍යක්ෂ ජෙගනාදන් දොස්තර මහත්තය දිසාපතිතුමා ගෙ ගෙදරට ගෙන්වගෙන තියා ගත්තනිසා බේරුනා.අපි අපේ උපරිම ශක්තියෙන් අහිංසක මිනිස්සු බේර ගන්න වැඩකලා.තැනින්තැන හැංගිලා බේරුනු අය එකතු කරල එක් මද්‍යස්තානකට දාලා යුධ හමුදා ආරක්ශාව ලබාදුන්නා.කච්චේරියෙ වැඩකල “ආලින්” කියන ගෑනුලමයව අමරසේකර මහත්තය උහන ගෙදරකට යවලා බේරාගත්තා.ඒ ලමයගෙ මල්ලි අතුරුදහන් වෙලා අම්මවයි තාත්තවයි පොලිස් ජීප් එකේ ගෙනිච්චා කියලයි ආරංචි උනේ.ඒවුනාට පොලිසිය කියනවා කාවවත් ගෙනාවෙ නෑකියල.ආලින්ගෙ මල්ලිව හොයාගත්තෙ අන්තිමට හේමසිරි අයියලගෙ ගෙදර ඉදලයි.අම්පාර නගරෙ හේමසිරි අයියට විරුද්ධව යන්න කෙනෙකුට බෑ.මිනිහ සාධාරනේ උපරිම.ඒනිසා ඒකොල්ල බේරුනා.කොහොමහරි ආලින්ගෙ අම්මවයි තාත්තවයි අදත් නෑ.අක්කවයි මල්ලිවයි අපි ආරක්ෂිතව කොලඹ එක්ක ඇවිත් මාලිගාවත්තෙ ඤාතියෙකු භාරයට පත් කරා.අදත් ලෝකෙ කොහේහරි ඒඅය ඇති.

මේ භීෂනය කොටි භීෂනය වගේමයි.ජාතිය දෙමලවීම මතම අහිංසක මිනිසුන් මරා ඔවුන්ගේ ගෙවල් ගිනි තිබ්බෙ පිස්සොවගේ.කොටි ජාතිය සිංහල වීම මත අහිංසක ගම්වැසියො මැරුවවගේ මේ මැරයොයි ඊට අනුබල දීපු පොලිස් නිලධාරිනුයි මහවිනාශයක් කරා කිව්වොත් තමයි හරි.අම්පාර කෝවිල ගිනිතියල කීපදෙනෙක්ව මැරුව.ඉඟිනියාගල හිටපු දෙමල පවුල් කීපයක ගෙවල් ගිනිතියල තිබුන.මම ගියා ඔවුන්ව ආරක්ෂිත තැනකට ගේන්න.කාරතිවුවලට යවන්නම් කිව්වම ඒඅය ඇහුවෙ අපි කොහොමද කාරතිවු වල ඉන්නෙ අපේ ලමයින්ට පුලුවන් සිංහල විතරයි කියල.කලබල අඩුවෙනකම් කාරතිවුවලට ඒඅය යැව්වෙ හරි අමාරුවෙන්.අම්පාරෙ මිනුම් කාර්‍යාලෙ හිරවෙලා හිටපු කෙනෙක් දුරකතනෙන් කතාකරල උදව් ඉල්ලුව. මිනිහව එක්ක එන්න අපි යවපු වාහනේ යනකොට මැරයො පැනල මිනිහව පැහැරගෙන ගිහින්.අදත් ඒගැන මතක් වෙනකොට දුකයි අනේ පිහිට ඉල්ලපු මිනිහ බේරාගන්න බැරිඋනා නේද කියල.කොහොමහරි අපි කච්චේරියෙ අය එකතුවෙලාදිසාපතිතුමාගෙ නායකත්වයෙන් බොහෝ පිරිසකට ආරක්ෂාව සැලසුවා.දිසාපති මුදන්නායක මහත්තයට පොලිසිය මේ වැඩවලට සම්බන්ධවීම ගැන හොදටම කේන්ති ගිහින් හිටියෙ.එක් උසස් පොලිස් නිලධාරියෙක් ඇවිත් එතුමට නිල ආචාරය පිරිනැමුවම කිව්වෙ.”තමුසෙලවගේ එවුන්ගෙ සැලියුට් එකත් මට පිලිකුල් යනව මෙතනින් මගෙ දෑහැට නොපෙනි”කියලයි.උඩබිම බැලූ නිලධාරිය ආයිත් සැලියුට් එක ගහන කොට කිව්වෙ “ගෙටවුට් අයිෂේ” කියල මහ හයියෙන්.

මේභීෂනයෙන් අම්පාරෙ සනීපාරක්ෂක කම්කරු සේවාවෙ යෙදුනු අයව මරල ඉතුරු අයව එලෙව්වා.මේඅයහිටියෙ මිහිඳුපුර.මීට අවුරුදු නමයකට දහයකට පස්සෙ මිහිඳුපුර ග්‍රිඩ් උප පොලට බෝම්බ ගහන්න ආපු කොටියෙක් බෝම්බෙ පුපුරල මැරුනා.ඒ කොටිය වෙලා බෝම්බෙ අරං ඇවිත් තිබුනෙ මිහිඳුපුරෙන් එලවපු දෙමල පවුලක ලමයෙක්.ඒකෙන් පෙන්නුම් කලේ කොටි ඇතිකිරීම කරේ අපේ උදවියම තමයි කියන එකයි.අනිත් විශේෂම දේ තමයි මේවට නායකත්වයදුන්නෙ මංත්‍රී පුත්‍රයා පොලිස් නිලධාරින්ට අවි බිම තියලා කොටින්ට යටත් වෙන්න කියල නියෝගදීපු දේශපාලකයගෙ පක්ශෙම කෙනෙක්වීම.රටේ කිසිම කාලෙක මේවගේ තමන්ගෙ නිලධාරින්ව නින්දිත විදියට පාවාදීපු සිද්දියක් ගැන අහලවත් නැතුව ඇති.

14 thoughts on “ඝාතනයයි භීෂනයයි.

  1. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව මනුස්ස ඝාතන වෙච්චි අපේ රටේ බහුතරය ඉන් පාඩමක් ගත්තා යයි මම හිතන්නේ නැහැ, කවදාවත් ඉගෙන ගනීවි කියල හිතන්නත් අමාරුයි !

    Like

  2. 83 ගැන අහලා තිබුනත් 1990 පොලිස් නිලදාරීන් සමුල ගාතනය කරපු එක ගැනත් අහලා කියවලා තිබුනත් දෙමල මිනිස්සුන්ට මෙහෙම දෙයක් වුනා කියලා දන ගත්තේ අදයි …
    දැන් සහජීවනේ ඇතිකරන්න වලිකන ප්‍රදාන දේශපාලන පක්ෂයක් ඒ කාලේ කරපු වැඩ ම්නිස්සුන්ට අමතකයි .අපි සිංහලනේ ,උපරිම දවස් හතයි

    Like

    1. කොටි සිංහලුන් මරපු හැම වතාවකම වගේ අම්පාරේ සනීපාරක්ෂක කම්කරුවෝ න්ට පහරදීම /මරාදැමීම සිද්දවුන, ඔය කියන දේශපාලක පුත්‍රයා කවුද කියා දැනුවත් විය හැකිනම් වැදගත්, 83 කෝලාහල වෙලාවේ සුදු අයිය මුදලාලිගේ ගේ පුතා රෝහිතල (ඒ කලේ එය ඉස්කෝලේ යන කොලු පැන්චෙක්) එයාලගේ හොර ලී පටවන තට්ටු ලොරිවලින් මිනිස්සු ඇද්ද දෙමල මිනිස්සු මරන්න, 50 ගණන් වල කොලහලේදී නවකිරියාවේ පරණ දෙමළ ඉඩම් හිමි යෝ මරල ඒ ඉඩම් අල්ලාගත්තේ සුදු අයියයි එයාගේ මස්සිනා යි, අම්පාරේ ඉස්සර හිටපු ලොකු වියපරිකයෝ සෙරම ජනගතකයෝ තමයි, එයාලගේ කෙරුම් වල වන්දි අහිසක සිංහල මිනිසුන්ටයි ගෙවන්න වුනේ, බන්දරදුවේ කොටිකපපු සිද්දියටත් එතදීම මැරුණු කොටිසමග ගනුදෙනු කළ ගමේ දෙමල මුදලාලිය දෙමළ හරක්පට්ටියක් හොරකම් කළ කතාවක් සම්බන්දයි කියා අසා තියනවා.

      Liked by 1 person

      1. බක්මී ගහක් ලඟ තියෙන වැවක් ලඟට ගිහින් බැලුවම දේශපාලක පුත්‍රයා කව්දැයි හිතාගත්තැකි.පස්සෙ කාලෙක අම්පාරෙ නගර සභාවටත් හොට දාල හිටියා.එතනින්ම ඉවරයි උන්දැ.අම්පාරෙ නිව්සිටි ව්‍යාපාරය තියෙන්නෙ මිරැන්ඩා කියල දෙමල කෙනෙක්ගෙ ව්‍යාපාරය තිබුනු තැන.විසිහයේ ජනපදේ පැත්තෙ කුඹුරු යායක් තියනවා දෙමල අයගෙන් කොල්ලකා ගත්තු ඒකට කියන්නෙ මංකොල්ල වට්ටෙ කියල.

        Liked by 1 person

  3. අපි ඔලුවට බර දෙන්න කැමති නෑ. විචාරශීලීව හිතන්න කම්මැලියි. කවුරු හරි කරන දෙයක් පස්සෙං ඔහේ ඇදිල යන්න නං කැමතියි. අපි හිතනවා පෙරමුණේ යන එක්කෙනා හරි ඇති කියල. මොකක් හරි වෙතොත් පළමුව වෙන්නෙත් එයාටනෙ කියල. අන්තිමට දන්නෙම නැතුව කාගෙ හරි අතකොලුවක් වෙලා. සිංහල, දෙමළ අපි කවුරුත් ඔය විදිහයි. කරන්නං වාලෙ කාගෙ හරි පස්සෙං ඇදෙනව. ඒ හංදා අපි හොඳ පෙරහැරේ යන්න තමයි. කොහේ හරි වටයක් ගිහිල්ලා ආපහු හිටි තැනටම වැටෙනව. වටේ අය බලං ඉන්න හිංදා අපි හිතනව අපි හරි කියල.

    අපි සදහටම පෙරහරේ යයි.

    Liked by 1 person

  4. මතක් වෙනකොට හරිම දුකයි. පොලිසියට යටත් වෙන්න කියලා එයාලව මරැවා ලගට එවපු හැටි….!!
    අපි පාඩම් ඉගෙන ගන්නෙම නැද්ද? ගහන්න ගිනිබත් කරන්න අපට ජාතියක් හැටියට තියෙන උජාරුව ලෙඩක්ද, බෙහෙතක් කොහෙත්ම නැද්ද? අනේ අපි …….!!!!

    Like

    1. ගහන මරන උන් දිගටම ඒව කරන්නෙ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නෙ තමන්ට නොවෙයි නිසානෙ මැඩම්.දැන්බලන්න ප්‍රභාකරන් .මිනිහ ගහපු මරපු අයවෙනුවට දඬුවම් ලැබුනෙ අහිංසක දෙමල අයටනෙ.අනිත් පැත්තෙත් එහෙමනෙ උනේ සහ වෙන්නෙ.

      Like

    2. සදහන දැක්කහම මට මතක්වුne ගාථාවක්
      අස්සජි මහ රහතන්වහන්සgeන් උපතිස්ස පරිබ්රාජකය අහල තියනව බුදුහාමුදුරුවන් moනවද කියල denne කියල
      එතකට අස්සජි මහ රහතන්වහන්ස
      ye dhamma hethu pahabawa
      thesan hethu thathagatho aha
      ගාථාව කියල තියනව
      උන්වහන්ස ඵල ඇතිකරන hethu ඉවත්කිරීමන් ඵල ඇතිකරන බව ඉවත්කරන අයුරු කියාදයිි කියල තියනව

      Like

  5. දේශපාලඥයින් විසින් ඇති කරනවයි කියන සංහිඳියාව මායාවක් විතරයි.ජාතින් අතර අවබෝධය ගොඩනගා ගත යුත්තේ සාමාන්‍ය පුරවැසියන් වන අපමයි.

    අමතර ප්‍රශ්නයකුත් මට තියෙනවා දැනගන්න.
    පොලිස් නිලධාරින් කියන්නේ රජයේ සේවකයින්.ඔවුන් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට සැලියුට් කරන්නේ කිසියම් සම්මතයක් අනුවද ?

    Like

    1. ඩිස්ත්‍රික් පරිපාලනයේදී දිස්ත්‍රික්කයේ භාර ප්‍රධානනිලධාරියාවන්නේ දිසාපති නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයායි.ඔහුට පොලිස් හමුදා නිල ආචාරය දෙනවා.මේපිලිබඳවවූ රෙගුලාසි සම්මත කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදියි.හරියටම කිව්වොත් 1818දෙසැම්බර් මස නිකුත් කල රාජඥාවකින්.

      Liked by 1 person

      1. ඒ කියන්නේ සුද්දගේ රාජඥාවක්.
        ස්තුතියි පැහැදිලි කිරීමට.

        Like

  6. මය ගැන 16/02/2014 දින ඉරිදා දිවයින නිම්නය කැරුණෑගල පලිස් සැරයන් තන්නකා්න් බණ්ඩාර මතකය කංචිකැඩිච්චි ආරු බිලිපූජාව කියල රණවීර මනුකැලසූරියත් ලියල තිබුන
    කයි ජාතිවාදයත් එතයි කියන එක බටහිරයන්ග අදහසක් වන්න ඹ්න
    සිද්ධියක් ඇතිවුනාට පස්ස අතිවන පසු සිදුවීම් වල හරි වැරදි තා්රන්න අමාරුයි එයින් නිගමන වලට යන එක අසීරුයි
    සියල්ලට හ්තුව ඇත්ත වහල කරන වංචනික ද්ශපාලනය ඡන්දය ගන්න කරන සුලු ජාතීන් රැවටීම
    පිටරටවල්වල ජන නායකයන් මය අප් රට ඉන්නවනම් අපිට ගැලපන විදිහට ඉන්න කියල කලින්ම කියපු තැන් තියනව
    අප රට එහම නැහැ රවටනව ලමයින්ට නියම ඉතිහාසය උගන්වන්න නැහැ මහජාතියට අනුගතව ඉන්න කියල දන්න නැහැ
    සුලු ජාතික නායකය වැඩියම සුලු ජාතිකය රවටනව
    අහිංසක මිනිස්සු පීඩාවට පත්වනව

    වර්ථමාන දිසාපති කියන වචනය හරිඅර්ථය කැමක්ද කියල හයන්න ඕන දිසාවක දිසාපති අකමැති වැඩ වන්න බැහැන
    ඉස්සර දිසාපතිල නම් නියම බලවත්ව ඉන්න ඇති එත කලක දිසා ඇමතිලත් හිටියන

    දැන් ඉදිරියට මයට වැඩි ප්රශ්ණ එන ලකැණු තියනව එක කණ්ඩායමක් රට අල්ලන්න යන්න යුද්ධ වලින් නැතැව ඹප්පු වලින් එතකට මහ ආංඩුව කව්රුරු අාවත් ඒ හරිය අයට අයිතියි ඒ අය පදිංචිවුනහම අනිත් අය ඒ හරිය අතහැරල යනව දැන් ඒවට උත්තර ලැබමින් තියනව
    දැන් කඩකාමරයක් හිස්වුනත් දන්න දන්න නැහැ එ අයට කව්ද කරන්න දන්න නැහැ නමුත් කවරු හරි පාස්ටර් ගහල තහනම් කරනව
    පුංචි ප්රශ්ණයක් වුනත් වැඩිවල යනව
    ප්රරජාතන්තරවාදය නිතරම හදන්න ජනතාව බිදවල චන්ද ගන්න
    ඒ නිසා වංචනික ද්ශපාලකය කැමතියි ජනතාව භ්දබින්න වනතරමට එනිසා ම් ප්රශ්ණ විසදන්න යන්න නැහැ
    එබැවින් ම් ප්රශ්ණ වලට වංචනික ප්රජාතන්තරවාදය වත් කැහක සමාජවාදය වත් පිළිතැරු නැහැ
    ම් ප්රශ්ණ හරියාකාරව නිරාකරණය කරන්න එක්ක රාජාණ්ඩුවක් එන්න ඕන නැත්නම් රටට අාදරය කරන එකාධිපති ආංඩුවක් එන්න ඹ්න කියල හිතනව

    Like

    1. මේ අපේ තනතුරේ නිවැරදි නාමය ආණ්ඩුවේ ඒජන්ත යන්නයි.දිසාපති යන වචනය මහජන ව්‍යවහාරයෙන් එන්නක් පමනයි.බ්‍රිතාන්‍යන් උඩරට යටත් කිරීමෙන් පසුව ඇතිවුන 1818නිදහස් අරගලය මර්දනයකර පාලනයට අදාලව පැනවූ රෙගුලාසි අනුව ඔහුන්පත්කල ආණ්ඩුවේ ඒජන්තවරු මගින් ක්‍රියාත්මක වන බලය අන් සියලු බලයන් අබිභවා ක්‍රියාත්මක බවට ප්‍රකාශයට පත් කලා.එතෙක් රජවරු යටතේ දිසාව විසින් ඉටුකල රාජකාරි වලට සමාන රාජකාරි කල ආණ්ඩුවේ ඒජන්ත හැදින්වීම සඳහා මිනිසුන් දිසාපති නම ව්‍යවහාර කිරීමට පටන් ගත්තා.අදදක්වාම එසේම තියනවා.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s