බන්ඩාරදූව ඛේදවාචකය.

එල්ටීටීඊ කාරයො දිගින්දිගටමගම්වලට පැනල අහිංසක මිනිස්සු කපල කොටල මරාදාන්න පටන් අරගත්තම මුලු අම්පාරම භීතියෙන් ඇලලුනා.අපේ උපදිසාපතිවරුන් බොහොම කාර්‍ය බහුල උනා.ගම්වල ආරක්ෂාව සඳහා නොඑක් වැඩපිලිවෙලවල් සංවිධානය කරන්න ගම්වාසින්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න,සිවිල් ආරක්ෂාවේ වැදගත් කම ගැන ලොකු ලොක්කො ඇවිල්ල කරන පන්ඩිත කථා අහගෙන කටවහගෙන ඉන්න,වාගෙ බොහොම අසීරු රාජකාරි ගොන්නක් අපේ උපදිසාපතිවරුන්ට කරන්න සිදු උනා.ඒහැම එකක්ම කරන්න උනත් අපේ කට්ටිය බොහොමසතුටින් මේ දේවල් කරා.කොටින්ගේ මිලේච්ජ ක්‍රියාවන් 1987වකවානුවෙදි අම්පාරෙ පටන් ගත්තත් අවුරුද්දක් දෙකක් ඇතුලත ඒවාට මුහුන දීමේ ආරක්ෂක වැඩ පිලිවෙලවල් සංවිධානය කෙරුනාඒ සියලු වැඩපිලිවෙලවල් අක්‍රිය උනේ ඉන්දියානු හමුදා දෙමල ප්‍රදේශවල කදවුරු බැද ගැනීමත් එක්ක එල්ටීටීඊ එක බොහොම දුර්වල වීම නිසයි.අවසානයේදී ඉන්දියන් හමුදාවෙන් බේරෙන්න ක්‍රමයක් නැතිව කොටි විසිරිලා ඉන්න අතරෙදි තමයි ලංකා ආණ්ඩුවත් එක්ක සාම කථාවට ආවෙ.කොටි ලොක්කො හිල්ටන් හෝටලේ ඉඳගෙන අපේ වියදමින් කකාබිබී සාමකථාවෙ ඉන්න ගමන් අම්පාරෙ සිංහල ප්‍රදේශ තුල කඳවුරු බැන්දෙ ඉන්දියන් හමුදා තර්ජනෙන් බේරෙන්නයි.මොකද ඉන්දියන් හමුදා සිංහල ප්‍රදේශ තුලට ආවෙ නැතිනිසා.සිංහල දෙමල ගම් මායිම්වල සිංහල ගම්වලට කිට්ටුවෙන් කඳවුරු ගහගෙන සිංහල ගම්වල කඩවලින් බඩු අරගෙන හිටපු හීලෑ කොටි සිංහල ගම්වල ඇවිදලා ඒ ගම්ගැනලොකු අවබෝධයක් ලබා ගත්තා.ඒ අතර සාම සාකච්චාවෙ ප්‍රතිපල හැටියට ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ලව්ව ඉන්දියන් හමුදාව ආපසු යවාගත්ත.ඉන්දියන් හමුදාව ආපසු ගියාවිතරයි.කොටි ආපහු දෙමල ජනතාව හිටි පලාතෙ ස්ථාවරව කඳවුරු ගහ ගත්තා.මේනිසාම මෙවර ගම්වලට ප්‍රහාර එල්ල වෙනකොට මිනිස්සු බය වැඩිඋනේ තම ගම්බිම්වල ඇවිදලා ගම ගැනතොරතුරු කොටිදැනගෙන හිටපු නිසයි.

මෙහෙම බයෙන් පලාත ඇලලෙන කොට ප්‍රදේශෙ ආරක්ෂාව ගැන වගකීම තිබූන යුධ හමුදාවෙන් මායිම් ගම්මානවල පිරිස් ආරක්ශාව ගැන දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් සංවිධානය කර දෙන ලෙස දිසාපතිතුමාගෙන් ඉල්ලීමක් කරා.මේදවස්වල මුදන්නායක දිසාපතිතුමා කොටි ත්‍රස්ථවාදය සම්බන්දවැඩ බාරදෙන්නෙ මට.අවදානම් ප්‍රදේශවුන දෙමල ජනතාවජීවත් වෙන පලාත්වල රාජකාරි මටම තමයි දෙන්නෙ.ඉතින් මටවෙලා තිබුනෙ මොකෙක්වත් යන්න අකමැති තිරුක්කෝවිල් සාගම පොතුවිල් වාගෙ පැතිවලට විවිධ රාජකාරිවලට යන්න.මමත් කරන්න දෙයක් නැතිනිසා බයෙන් උනත් ඒගමන් ගියා.යනවෙලාවෙ ඉඳන් එනකම් මම දෙවියො සිහිකරගෙනයි එන්නෙ.කොහොමහරි මේරැස්වීම් ජොබ් එක මට පැවරුනා.මම අපේ මිත්‍ර උපදිසාපතිවරුන්ට කිව්වම අදාල ගම්වලමිනිස්සු ගෙන්නල රැස්වීම සංවිධස්නය කරලදුන්නා.උහන කොට්ටාශෙ එතකොට උපදිසාපති ආරියරත්න එදිරිසිංහ.ලාහුගල උපදිසාපති හැටියට දීර්ඝ කාලයක් වැඩකරල තමන්ගෙ කාර්‍යාලෙයි නිලනිවාසෙයි දෙකම බෝම්බ දහයක් හයිකරල එකමොහොතෙන් පුපුරෝල විනාශ කරල දාද්දිත් ඒමදිවට නිලනිවාසෙට පැනල තම සියලු සේසත මංකොල්ලකාගෙන යද්දිත් පණ බේරගත්තු ආරි දිගටම 1990වෙනකම් ලාහුගල වැඩකරපු ආරි උහනටඇවිත් වැඩිකලක් උනේනෑ.ආරිට කලින් දීර්ඝ කාලයක් උහන වැඩකරේ පී බී අමරසේකර උපදිසාපතිතුමා මේවෙනකොට මූලස්ථාන උපදිසාපති ලෙසයි වැඩකලේ.උහන මහා විද්‍යාලයෙ පැවැත්තුව ගම්වාසීන් ගෙ රැස්වීමට මායිමේ තිබුනු හැම ගමකින්ම නියෝජිතයො ඇවිත් හිටියා.මේරැස්වීමට යුධ හමුදාවෙලොක්කො පොලිසියෙලොක්කො හැමෝම ඇවිත් හිටියා.ගමේ මිනිස්සු ඔහුන්ට තිබුනු ආරක්ෂක ප්‍රශ්න කියන්න ගත්තා.කොටි එක්ක සාම සාකච්චාකිරීම මිනිස්සුන්ගේ තදවිවේචනයට ලක් උනා.හැමෝම යුධහමුදා කඳවුරු තම ගම්වලට ඉල්ලුවා.තුවක්කු දෙන්න කියල ඉල්ලුවා.හමුදා නිලධාරින් පුලුපුලුවන් හැටියට උත්තර දුන්නා.මිනිස්සු කිව්වෙ තමන් අතේ තිබ්බ තුවක්කු පහුගිය කාලෙ පොලිසිය බාරෙට ගත්ත නිසා තමන්ට ගමේ ආරක්ෂාව පිලිබඳ වගකීමක් ගත නොහැකි බවයි.අඩුතරමේ තමන්ගෙ තුවක්කු ආපසු දෙන ලෙසට ඉල්ලුවා.ඒකට හරි පිලිතුරක් ආවෙනෑ.බන්ඩාරදූවගමෙන් ආපු උදවිය කිව්වෙ සාමෙ කාලෙ තම ගම අසල කොටි කඳවුරක් තිබුනු බැවින් ගමේ සියලු තොරතුරු කොටින් දන්නා බවත් ඒනිසාම ගම ලොකු අවදානමක ඇති බැවින් තුවක්කු විසිපහක් වත් ලබාදෙනලෙස ඉල්ලුවා.යුධ හමුදා ලොක්කෙක් හිනාවෙලා බන්ඩාර දූව ගමට එන්න කලින් කොටින්ට තවගම්හමුවෙන හින්ද බන්ඩාර දූවට ප්‍රශ්නයක් නොවෙන බව කිව්වා.මේරැස්වීම ඉවර කරල කට්ටිය විසිරගියේ වැඩිසතුටකින් නොවෙයි.

මේ විදියට අම්පාරෙ සිංහල ජනතාව ජීවත් වෙන පලාත්වල සාකච්චාතියල යම් ආකාරයකටජනතාව දැනුවත් කරා.ඒත් ජනතාවට අවශ්‍ය තුවක්කු හෝ හමුදා කඳවුරු ලබා දෙන්න හැකියාවක් තිබුනෙ නෑ.විශේශයෙන් රජයට විරුද්ධව සිංහල ප්‍රදේශවල ක්‍රියාත්මකව තිබූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කැරැල්ල කාලෙ මිනිස්සුන්ගෙන් තුවක්කු රජයට අරගත්තුනිසා යලිත් මිනිස්සු අතට තුවක්කු දෙන්න පුලුවන් උනේ නෑ.තමන්ගෙ ආරක්ෂාව ගැන කොච්චර කථා පැවැත්තුවට ඊට සරිලන වැඩපිලිවෙලක් නැතිඑක මිනිස්සු න්ට ලොකු අඩුවක් විදියට දැනුනා.මේ කාලෙ උපදිසාපතිවරු තම කොට්ටාශෙන් බැහැරව පුද්ගලික හෝ රාජකාරි වැඩවලට යනවනම් දිසාපතිවරයාගේ අනුමැතිය ගත යුතූඋනා.නීතිය ඔය විදිහට උනාට සමහර වෙලාවල්වලට අපේ මිත්‍රයො හොර රහසේ සතිඅන්තවල ගමේ එහෙම යනවෙලාවල් තිබුනා.එක් දවසක් රාජකාරියට කොලඹ ඇවිත් අම්පාරෙයන මට මාවනැල්ලෙදි මහඔය උප දිසාපති දඩල්ලගේ මහත්තය හමු උනා.කොලඹ පැත්තට 31/5887 දරන ජීප් එකඑලවගෙන ගිය දඩල්ලගේ මහත්තය කොලඹ පැත්තෙ ඉදන් එන මගේ ජීපෙක දැකල නතරකරා.මමත් වාහනෙන් බැහැල ඇවිත් කතාකලා.මම ලඟට ආපුගමන්ම දඩල්ලගේ මෙහෙම කිව්වා.

“මචං කොලඹ ගියාද?මමත් මේ ජී ඒ ටකියල හදිසියේ කොලඹ යනවා පොඩිවැඩකට.”

මමත් ගත් කටටම කිව්වා.
“ඇත්තද මචං .මම එහෙනම් ජීඒ ට කියනවා උඹෝව ජීප් එකත් එක්ක මාවනැල්ලෙදි හම්බු උනාකියල.”

“නෑ නෑ එහෙම කියන්න ඕනෙනෑ මම නිකං කිව්වෙ.”

කියල දඩල්ලගේ හිනාඋනා.මේ අර හොරාට පැනල යන ගමනක්.අපි කච්චේරියෙ හිටපු අයට මේ චාන්ස් තිබුනෙ නැතත් කවදාවත් මිත්‍රයො කරන වැඩේට පොලු දැම්මෙ නෑ.ප්‍රාදේශීය උපදිසාපතිවරුත්මේවාගෙ හොරෙන් පිටතට යනගමන් බිමන් ගැන මටහරි අමරසේකරට හරි කියල යන පුරුද්දක් ඇතිකරගත්තා.

මේකාලෙ දවසක් උහන ආරියරත්න එදිරිසිංහ ඔයවගේ මටත් කියල හොරෙන් ගෙදරගියා.සිකුරාදා දවසක මිනිහ ගියබවයි මතක.සෙනසුරාදා පාන්දර මට ඇහැරුනේ ටෙලිපෝන් එකේ සද්දෙට.නිදිමතේම ටෙලිපෝන් එකට උත්තරදුන්නා.

“සුනිලො මම අමරෙ.උහන ආරිය කොහේ හරිගිහින්ද?උගෙ ගෙදර ටෙලිපෝන් එක වදිනවා.උත්තර දෙන්නෙ නෑ.”අමරසේකර කථාකලා.
“මචං ආරිය ඊයෙ ගමේ ගියානෙ.එනව කිව්වෙ ඉරිදා.”මම කිව්වා.

“අම්මටහුඩු මලකෙලියයි සුනිලො බන්ඩාරදූවට කොටි ගහලලු ඊයෙරෑ.මම මේ ආරියව හොයන්නෙ ඒකයි.”

“අප්පද බොල දැන් මූ හොරෙන් පැනල ගියාකියල ජීඒ ට අහුවෙනවනෙ යකෝකොටිගහල මොකදවෙලාතියෙන්නෙ.?”

“මචං ධනසේකරය(උහන පොලිස් ස්ථානාධිපති) කිව්වෙ ඊයෙ රාත්‍රි කොටි ගමට පැනල මිනිස්සුන්ව කපලලු .කොච්චර මැරිලද දන්නෙ නැතිලු.”දැන් මොකද කරන්නෙ.?

“ඒක තමයි දැන් තවපොඩ්ඩෙන් ජී ඒ ආරියව හොයයි.”

“හරිමචං අපි යමුද බන්ඩාරදූවෙ.ලොක්කට කියමු අපි උදෙන්ම ගිහින් බලන්නම් කියල එතකොට ආරියව හොයන්න ඕනවෙන්නෙ නෑනෙ.අපි වැඩේට බහිමු.”

අමරෙ යෝජනා කලා මම එක පයින් කැමතිඋනා. අමරෙ ජී ඒ ටකතාකරල මාත් එක්ක බන්ඩාරදූවෙ ගිහින්විස්තර බලන්නම් කිව්වා.ඉන් පස්සෙ දෙන්න එක්කම ගොනාගොල්ලට ගිහින් ගලොය මහ ඇල ගාවට ගියා ඒවෙනකොටත් පාන්දර පහ හමාරට ඇති.එතන ඉඳන් උහන පොලිසියෙ කන්ඩායමක් එක්ක පයින්ම බන්ඩාරදූවට ගියා.බන්ඩාරදූව මුලු ගමම කලබලවෙලා.ස්කෝලෙ පහුකරල ටිකදුරක් යනකම් මිනිස්සු ගෙවල්ලඟ එකතුවෙලා හිටිය විතරයි එතන ඉඳන් හැමගෙදරක් ලඟම මිනී වැතිරිලාතිබුනා.පොඩිලමයි ගෑනු තරුන අය වයසක අය ගෙවලැතුලෙ පිටත පාරෙ මරලදාලා.ඇඟකිලිපොලායන දර්ශනයක් දැක්කෙ එකගෙදරක මිදුලේ හිසනැති වයසක කාන්තාමලසිරුරක්.හිස මිදුල පැත්තට මූන හරෝල පිල උඩ තියල.තවතැනක තරුන කාන්තාවක් එක්ක පොඩිදරුවෙක්ව කපල මරලා.පවුල්වල ඉතුරු වෙච්ච අය විලාපදෙනවා.සමහරු පවුලෙ අයව හොයමින් දුවනවා.අමරසේකර මහත්තයාදීර්ඝකාලයක් උහන උපදිසාපති හැටියට වැඩ කල නිසා බොහෝ ගම්වාසින් ඔහුව අඳුනනවා.එකතැනක තරුන හාදයෙක් අමරෙව දැකල කතාකලා.

“අනේ සර් බලන්නකො අපිටවෙච්ච දේ.මගෙ නෝනයි ලමයයි දෙන්නම ඉවරයි සර්‍ර්” කියල මිනිහ කෑගැහුවා.

“මොකද උනේ?ඔයාහිටියෙ නැතිද ?”අමරෙ ඇහුවා.

“නෑසර් මම හිටියා.මිනිස්සු කෑගහන සද්දෙට මම බේත් තුවක්කුවත් අරං ඉස්සරහට ගියා.කට්ටියක් එනව අඳුරෙම දැක්ක නිසා පාරෙ අයිනෙ කැලේට රිංගුවා .උන් හය හත් දෙනෙක් හිටියා.උන්මම හැංගිල හිටපු තැන පාරෙ ඉඳන් හිමිහිට දෙමලෙන් කතාකරකර හිටියා.අතේ අවිආයුධතිබුන වගේ පෙනුනා.වටේම අයලතෝනි දෙන කොට මම දැනගත්තා උන් අනිත් කට්ටිය මිනිස්සු කපන බව.මම කැලේ ඉඳල බේත් තුවක්කුව මුන්ට අල්ලලා ගැස්සුවා තුන් පාරක් ගැස්සුවත් පත්තු උනේ නෑ.කලබලේ දුවද්දි කැප් එක වැටිලා. තුවක්කුව ගස්සන සද්දෙට උන් කලබල උන නිසා මම කැලේ ඇතුලටම රිංගුවා.ඊටටිකවෙලාවකින් ස්කෝලෙ පැත්තෙන්වෙඩිල්ලක් ඇහුනා ඒ වෙඩිසද්දෙත් එක්කම උන්දිව්වා මමගෙදර බලනකොට ලමයයි නෝනයි හිටියෙනෑ දැන් උදේතමයි ගේ පිටිපස්සෙ මරල දෙන්නවම. මුන්ට හෙනවත් වදින්නැද්ද සර්.අනේමට පතුරම් තුවක්කුවක් තිබුන නම්.එකෙක්වහරි බාවනවනෙ.”මිනිහ වැලපුනා.

අපි ගම පුරා ඇවිදල පොලිස් ස්ථානාධිපති ධනසේකර එක්ක ඉස්කෝලෙ ලඟට ආවා.ස්කෝලෙ ලඟ විශාල පිරිසක් ගම්වාසින් එකතුවෙලා.ගොනාගොල්ලේ සුදු අයියා නැත්නම් ඩී කේ ලියන්වල මුදලාලිත් ඇවිත් හිටියා.ගොනාගොල්ලෙ සුදු අයියා මුදලාලි මේ ප්‍රදේශයේ බලවන්තයෙක්.මිනිහ අපි එක්ක කිව්වෙ.කොටි මුලු ගමම විනාශ කරන එක නැවතුනේ එක් ගම්වාසියෙක් උන තඩි කිරිබන්ඩා කෑගැහිල්ලයි බල්ලො බිරිල්ලයි ඇහෙනකොට මිනිහගෙ හොර දඩයම් තුවක්කුවෙන් උඩටවෙඩි තිබ්බ නිසයි කියලයි.ටිකවෙලාවකින් තඩි කිරිබන්ඩා එතනට ආවා.මුදලාලි මිනිහ්ව අඳුන්ව දුන්නම ධනසේකර මිනිහගෙන් විස්තර ඇහුවා.

“අනේ මහත්තයො මම ගෙදර පොඩ්ඩක් හාන්සිවෙලා ඉන්නකොට එකසීරුවට බල්ලො බුරනවා.මිනිස්සු ලතෝනිදෙනවා ගමේ එහා පැත්තෙන්.මම තුවක්කුව අරගෙන යන්න හදනකොට ගෙදර ගෑනි කෑගැහුවා යන්න එපාකියල.මම ගෑනිටත් බැනලා මිදුලට බැහැලා තුවක්කුව උඩට අල්ලලා වෙඩිල්ලක් තිබ්බා.ඊට ටිකකින් පස්සෙ තමයි මිනිස්සු කොටි ගහනව කියල දුවගෙන ආවෙ.”

කොටිගමට ඇතුලුවෙලා තියෙන්නෙ දිවුලාන පැත්තෙන්.ගමට රාත්‍රි හත අට වෙනකොට ඇතුලු උන කොටි කොටස් තුනකට බෙදිල ඒ පැත්තෙ ගෙවල්වලට පැනල මිනිස්සුන්ව මරමරා ගමේ මෙහාපැත්තට එනකොට තමයි පොඩි අඩියක් ගහල ගෙදර හිටපු තඩි කිරිබන්ඩා මේ ගාලගෝට්ටිය ඇහිල තමන් ලඟ තිබුන හොර තුවක්කුවෙන් උඩට වෙඩි තිබ්බේ.මේවෙඩිසද්දෙට බයේ තමයි කොටි පැනල ගිහින් තියෙන්නෙ.මේවෙනකොට දිසාපතිතුමා ලොකුපොලිස් ආරක්ෂාවක් සහිතව බන්ඩාරදූවට ආව.එතුමාගෙ පවුලෙ කට්ටියත් සිටියා.පොලිසියෙ ලොක්කෙක් එතුමට මේ විස්තරේ කිව්වා.එතුමා එන වාහනේ සැන්ඩ් විච් සමග තේ ගෙනැල්ලා තිබුනා.පොලිස් ලොක්කටත් ආරධනා කරල ඒ ඇත්තො තේබීල අමරෙයි මායි ඉන්න තැනට ආවා.

“අයිසෙ සිගරැට් නැතිද?” එතුමා අපිදෙන්නගෙන් ඇහුවා.මමත් අමරෙත් දෙන්නම ඔය නරක පුරුද්දට නතුවෙලා හිටියෙ ඒකාලෙ.මම කතාවක් නැතුව ගෝල්ඩ්ලිෆ් පැකැට් එක එතුමට ඇල්ලුව.එතුමා ගෝල්ඩ්ලිෆ් එකක් පත්තු කරගෙන පැකැට් එක සාක්කුවෙ දාගත්ත.ඒකබලාහිටිය අමරයා “සර් මටත් දෙන්නකො සිගරැට් එකක්” කියල පැකැට් එක ඉල්ලගෙන ගෝල්ඩ් ලිෆ් එකක් පත්තු කරගෙන පැකැට් එක මට දුන්නා.ඒඅතර සුදු මුදලාලි අපි දෙන්නට කථාකලා.අපි දෙන්නම සුදු මුදලාලි ලඟට ආවා.

“සර්ල දෙන්නම පාන්දර ආගමන් තවම හාමතේ නේද? යමු මම කට්ටියට පාන් බනිස් ටිකකුයි තේවතුර ටිකකුයි ගෙනාවා.ගිහින් බීල එමු” කිව්වා.

මුදලාලි ඉස්සර උනා.මිනිහ පස්සෙන් යන ගමන්

“ඔන්න බලපන් මචං මේ මුදලාලිට අපි ගැන තියෙන තියෙන කැක්කුම අපේ මහ එකාට නෑනෙ.බලපන් ඌ තේ බොන්න කථාකලේ පොලිස් ලොක්කට ඌ වෙනුවෙන් පාන්දරින් පයින්ම ගමට ආපු අපි දෙන්න කෑවද බීවද කියලවත් ඇහුවෙ නෑනෙ.ඒ මදිවට උඹේ සිගරැට් පැකැට් එකටත් කෙලින්නයි බැලුවෙ.”කියල කිව්වා.

“ඒක තමයි මචං මුන්නම් නොදෝමකිං කියල හිතුනා” මම කිව්වා.

අපි සුදු මුදලාලි ගෙනාපු පාන් කාල තේබීල ආපහු ආවා.මේවෙනකොට මියගියගණන 33ක් බව හොයාගෙන මිනී සියල්ල පරීක්ශාකල මහේස්ත්‍රාත්තුමා මිනී අවසන් කටයුතුකරන්න අවසරදුන්නා.මිනී සියල්ල පාසැල් වත්තට අල්ලපු ඉඩමේ මිහිදන් කිරීමට අපී තීරනය කලා.අම්පාරට පොලිස් පනිවුඩ යවා මිනීපෙට්ටි අව්ශ්‍යතාව දැන්වුවා පස්වරු දෙකවෙන කොට මිනීපෙට්ටි ගෙන්වාගන්න අම්පාරෙ පෙට්ටි සාප්පු දෙකට ඇනවුම බෙදල දෙන්න පනිවුඩ යැව්වා.පනිවුඩේ එනකම් පොලිසියෙ හිටපු එක් පෙට්ටි කඩ කරුවෙක් මුලු ඇනවුමම තනිවම ගත්තා.ඒ හින්ද පෙට්ටි ගේනකොට හවස පහට විතර ඇති.මේ විපත් අස්සෙත් තමන්ගෙ ලාභය බලාගෙන තනියම මිනීපෙට්ටි ඕඩරේ ගන්න දගලපු පෙට්ටි කාරයට පාඩමක් උගන්වන්න එවෙලෙම හිතාගත්තා.

බන්ඩාරදූවෙ මනුස්සයෙක් මහා හඬින් අඬාගෙන අමරසේකර මහත්තයලඟට ඇවිත් වැටුනා.මිනිහගෙ වැලපීම නිසාම අමරෙ මිනිහව නැගිට්ටෝල කරුනාවෙන් කතා කරල සැනසුවා.

“අඬන්න එපා බං අපිටත් දුකයි.පූරුවෙ කරපු ලොකු අකුසලයක් වෙන්නැති දැන් ඉතින් අඬල මක් කරන්නද?”

“ඒවුනාට කොහොම ඉවසන්නද? මේවෙන දේවල් අපි ඉවරයි බුදු සර්.”කියල මිනිහ වැලපෙනවා

“හරි බං ඉතින් මොනව කරන්නද?කවුද උඹේ නැති උනේ?”

“අනේසර් මගෙ කවුරුත් නැති උනේ නෑ.” මිනිහ කිව්වා

“ඇයි එහෙනම් වැලපෙන්නෙ.ගමේ එවුන් ගැනනම් අපිටත් දුක තමා.ඒත් අඬල මොකටද.?”

“බුදුසර් මේ මිනී වලලන්න හදන්නෙ මගෙ ගේ ඉස්සරහ ඊටපස්සෙ මම කොහොමද මෙතන ඉන්නෙ?ඒකයි මම අඩන්නෙ” කියල මිනිහ කිව්ව.

“යකෝ මෙච්චර දෙයක් ගමට වෙලා තියෙද්දි තෝ අඬන්නෙ මිනීගේ ලඟ වලලනව කියල.තෝ මහ පුදුම මිනිහෙක් දුවපිය මෙතනින්” කියල අමරය මිනිහව එලවගත්තා.

අපි එදාම මිනී තිස්තුනම එකවලේ වැලලුවා.දේශපාලකයොන්ට මිනිස්සු බැන්නෙ සාමකතාකියල කොටි නැලෙව්වට.හමුදාවට බැන්නෙ තුවක්කු ඉල්ලුවම දුන්නෙ නැතුවට.කොහොම හරි කොට්ඨාශෙ උපදිසාපති නැති අඩුව නොපෙනෙන්න අවශ්‍ය වැඩේ කරන්න පී බී අමරසේකර මහත්තයටයි මටයි පුලුවන් උනා. දිසාපතිතුමාටවත් කොට්ඨාශෙ උපදිසාපති නොහිටි බව අහු උනේ නෑ.

14 thoughts on “බන්ඩාරදූව ඛේදවාචකය.

    1. අපොයි ඔවු.ඔය ඛේදවාචකයෙන් වන්නකු තිසාහාමිගෙ පුතාවුන ටිකිරිවන්නියගෙ පුතෙක් මියගියා.

      Like

  1. ත්‍රි කුණා මලේ කච්චේරියේ හිටපු විජේරත්න මහත්තයා ලාහුගල ආවේ ඊ්ට පස්සේද? එයාගේ පුතත් යුද්ධෙට ගිහින් නැති උනා නේද?

    Like

    1. විජේරත්න මහතා අම්පාර සමුපකාර උපකොමසාරිස්ව සිට ත්‍රිකුනාමලයට ස්තාන මාරු උනා එහිසිට ආපසු ලාහුගලටත් ඉන්පසු දෙහිඅත්තකන්ඩියටත් එතනින් යලිත් සේරුවිල වවුනියා වැනිපලත්වලටත් මාරුවී අවසානයේ රත්නපුරදිස්ත්‍රික්කයේ වැඩකර විශ්‍රාම ගියා.ඔහුගේ පුතා යුද්ධෙදි නැතිඋනා.බිරිදත් මියගියාදැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා මාලබේ පැත්තෙ.

      Like

  2. සටහන හදබව අමුතැවන් කියන්න අවශ්ය නැහැ
    වැදගත්ම දය එහි තියන අව්යාජ ගතිය
    ලිපිය මූලිකව පන්නුම් කරන්න කටින්ග ම්ල්ඡ්චබව
    එතකට ප්රශ්ණයක් එනව දමලු වැරදිද කියල
    උන් වැරදි වන්න පුලුවන්
    නමුත් උන් වැරදිවලා තියන්න සිංහල ජන නායකය වැරදි නිසයි
    සිංහලයට තරිල නැහැ මුල ඉදල ම් සුලු ජාතික අයව තියන්න ඕන තැන තියන්න
    දැන් එංලන්තයට පදිංචියට යන ඔක්කම ඉංගීරිසීන් වනව රටට ගැලපිල ඉන්නව
    ඇමරිකාවට පදිංචියට යන අය ඇමරිකානුවන් වනව රටට ගැලපිල ඉන්නව
    ඒ රටවල අය ඉඩදන්න නැහැ එහම නවී ඉන්න නමුත් අපි ඉඩදනව එ්කයි වච්ච වැරැද්ද
    ම් රට ඉන්න සුලු ජාතිකය හදන්න සිංහලකමට හැදන්න නවයි
    සිංහලයව නසාගන වනම රටක් හදාගන්න
    ඡන්ද බලාගන ඒකට ඉඩදන වංචනික සිංහල ජනනායකය නිසයි මය වන්න ඉදිරියට වන්නත්
    ආවුද වලින් යුද්ද වලින් මය නවත්තන්න බැහැ යම්තරමකට මර්දනය කරන්න පුලුවන් නමුත් ඇතිවන්න අද තියනව වග බරු සාමයක් මය නැතිකරන්න පුලුවන් සත්ය අවබා්ධය දීමන් විතරයි මිනිස්සු හැමා්ම සත්යයට කැමතියි
    එබැවින් ඉස්සර කරල තියන පංචමහාවාද වග් විවෘත සකච්ඡාවල් පවත්වන්න ඹ්න
    බරු ආගම් බිදල දාන්න ඕන
    සුලු ජාතිකය රවට්ටන්න නැතුව එළිපිට කතාකරන්න ඹ්න
    ඒ අයව බලන් හරි සිංහල කරල ගන්න ඕන
    වන විසදුමක් නැහැ
    ලිපිය තියන අනිත් වැදගත් දය තමයි තීරණයක් ගන්න කව්ද ප්රදානිය කියනඑක නැතිකම
    නිලබලතන්ත්රය අවුල්බව
    බන්ඩාරදුව මිනිස්සුන්ට තැවක්කැ ටිකක් දන්න මහදිසාපතිටත් බැරිවලා තියනව
    ලැජ්ජවන්න ඕන මනවද ඔය තනතුරු
    තමන්ග සහා්දර නිලධාරියග් නිවාස විනාස කරල දාද්දිත් අනිත් දිසාපති අය ගත්තැ පියවරක් සදහන්වන්න නැහැ
    ඔක්කම එකතැවල මහමනම් බැහැ කියල නැහැ
    උහන ආරියරත්ත මහත්තය ගදර ගියඑක හරි හිටිය කියලත් මනව කරන්නද
    හිටිය අය කරල තියන්නත් මිනී වලලන එක විතරයි වග්
    හැබැයි ලිපිය නගලපන තැනකැත් තියනව වග් අර තඩි කිරිබණ්ඩව පලීසියට හදුන්වලදීපු තැන එතන අවසන් කරන්න තිබුන
    හර තැවක්කැවක් තබාගනීම වරදට වහාම තඩි කිරිබණ්ඩව අත් අඩංගැවට ගන්නාලදී කියල නද
    ඇවිල්ල තියන කටි එක වඩි සද්දට දුවල තියනව
    ඉතින් බන්ඩාරදූව අහිංසක මිනිස්සු මැරිල තියන්න ඒ අයග කරුමටද නිලධාරින්ග නසලකිලිමත්කමනිසාද හිතල බලන්න ඔන
    ම් රට තියන ම් ප්රශ්ණ යුද්ද වලින් හරියාකාරව විසදන්න බැහැ
    ම් තියන වංචනික ප්රජාතන්ත්රවාදයනුත් බැහැ
    රට අහිංසක සුලු ජාතිකය සිංහල කරල ගන්න ජාතික සංස්කෘතිකමය වැඩපිළිවලක් ඕන
    එහම නැතැව ම් ප්රශ්ණ හරියාකාරව විසදන්න බැහැ එය බලන්හරි කරන්නඕන
    එයින් එ අයටත් යහපතක් වනව රටටත් යහපතක් වනව
    ඒකට අකමැතිවුනත් අකමැතිවන්න සාමාන්ය මිනිස්සු නවයි එඅයග නායකයන් එඅයග තන නැතිවන නිසා
    එහම නැත්නම් ඉතින් ම් දැන් ඉන්නව වග් බරු සාමයන් සැකන් බයන් ඉන්න එක තමයි කරන්න වන්න
    හැබැයි එතකට වන්න එන දයයි
    කපටි සුලු ජාතිකය දිනල සිංහල බෟද්ධය නැතිවනඑක

    Like

    1. බොහොම ස්තූතියි.තඩි කිරිබන්ඩට අකරතැබ්බයක් උනේනෑ.බන්ඩාරදූවෙ මිනිස්සු තුවක්කු ඉල්ලුවට ඒදවස්වල මිනිස්සුලඟතිබුනු තුවක්කු ආපහුගත්තෙ දේශප්‍රේමින්ට බයේ.ඒකනිසාම වෙන්නැති තුවක්කු නොදුන්නෙ.ආරිය රත්න එදිරිසිංහගෙ සේසතම කොටි මංකොල්ල කෑවෙ රාත්‍රියෙ නිලනිවාසෙට පැනලයි.රාත්‍රි නමයවෙනකම් නිල නිවාසෙ හිටි ආරි තනියම ඉන්න කම්මැලි හිතිල අසල්වාසී ගෙදරකට ගිහින් නිදාගත්ත.ඒ අතර කොටි ආව.කම්මැලිකමනිසා පනබේරුනා.ඊටපස්සෙ කාර්‍යාලය දමනට ගෙනාවා.ගෙනැල්ල සුමානයයි පරන කාර්‍යළෙ පිපිරෙව්වා.අපිට කරන්න තිබුනෙ ආරිව බලාගැනීම විතරයිඒක අපිකලා.මිනීවැලලීමටවඩාදේවල් අපිට කරන්න උනා.ඒවානිසයි මිනිස්සු ගම්දාල නොගියෙ.රබර් රොටි මුදෝන ඇසිඩ් අම්පාරට ගෙනිහින් කොටිආවොත් මූනට ගහන හැටි උගන්නලගෙවල්වලට බෙදාදුන්නෙ අපිතමයි.

      Like

      1. හැංගිලා ඉඳල “ඇසිඩ් ගැහිල්ල” රබර් වතු තියෙන අපේ පලාතෙ ජන ක්‍රීඩාවක්නෙ. ඔයිට අමතරව මල් පිහියෙං කැපීම, කැත්තෙං කෙටීම, තේ පිහියෙං පැලීමත් තියෙනව නෙ. පහතරට තෙත් කලාපෙ ජන ක්‍රීඩාවක් දිගාමඩුල්ලට හඳුන්වල දුන්නෙත් ඔබතුමා තමයි එහෙනං.

        Like

      2. අම්මපා කිව්වත්වාගෙ අපේපැත්තෙ ජනක්‍රීඩාවක් නේන්නම්.ඕක හඳුන්වලදෙන්න ඉසිස්සෙල්ලම ඒකාලෙ හිටපු ඩීඅයි ජී ලොක්කගෙ එකඟතාවය ගත්තා.ඊටපස්සෙ අපේ ගමේ රබර් කඩේ ලියන්නට කියල ඇසිඩ් බූලියක් ගෙන්න ගන බොහොම පරිස්සමින් අරංගියා.පෙරපුහුනුවට පාවිච්චිකරේනම් වතුර.ප්ලාස්ටික් කෝප්පෙට දාලා මූනටම දොහ් ගාලවදින්න ගහන හැටිත් පොඩිඋන්ට අහුනොවෙන්නයිගෙදර මහ එකාගෙ කසිප්පු බාගෙත් එක්ක මාරුවෙන්න නොදී තියාගන්න හැටියි ගෙවල්වල ගෑනුන්ට උගන්නන්නත් උනානෙ.හැබෑටම බලපුවම ඉතිහාසගතවෙන වැඩකරන්න අපිව පෙලඹෙව්වෙ මේ කොටි උන්නැහෙලනෙ.

        Like

  3. http://www.hisahasa.blogspot.com ලියපු දිගාමඩුල්ලේ බ්ලොග්කරු චින්තක සඳරුවන් අම්පාරෙ වත්මන් ජන ජීවිතේ හරි අපූරුවට ලියා තියෙනවා. කලක් බ්ලොග් ලෝකෙ හොල්ලගෙන හිටිය ඔහු තමයි අදටත් අපි දන්න බ්ලොග් තරුව. වෙලාවක් ඇතොත් ඔබතුමා ඒකත් කියවල බලන්න. ග්‍රාම නිලධාරී කෙනෙක් වෙච්චි සඳරුගෙ තාත්තා මැරිල තියෙන්නෙත් කොටි වෙඩි පාරකින්. සමහරවිට ඔබතුමා සඳරුගෙ තාත්තව දන්නවත් ඇති.

    නොදකින් අර වෛශ්‍යා පුත්‍ර දිසාපති උත්තමයා. එතනත් සිකරැට් පැකැට්ටෙකට කෙලින්න බැලුවෙ. ඔහොම හමුදා බ්‍රිගේඩියර් කෙනෙකුත් මම දන්නවා. මිනිහා හෝටලෙන් කාලා වාහනේට එනවලු. ඩ්‍රැයිවර් බිල ගෙවන්න ඕනලු. දැං ඒ හන්දා ඩ්‍රැයිවර් යන ගමනක් ගිහින් එනකම්ම බඩගින්නෙ ඉන්නවලු.

    යාළුවත් බේරගෙන රාජකාරියත් කරපු ඔබතුමාටත්, අමරසේකර මහත්තයටත් අපගේ උත්තමාචාරය. තමුංගෙ පරාණෙ දෙවැනි කොට රස්සාව කරපු එහෙව් යාළුවෙක්ව බේරගන්න කටයුතු කරන එක හොරකමක් නෙවෙයි.

    Like

    1. හිස්බහස බැලීමි.යොමු කිරීම ගැන බොහෝ පිං.ඇත්තෙන්ම සඳරූ නම් තරුවක්ම තමයි.බොහොම ස්තූතියි.

      Like

    2. ඔව් සඳෲ ගෙ තාත්තා මතකයි ජයවික්‍රම ග්‍රානි උදයපුර හිටියෙවගේ මතකයි.පියංගලදී කොටින් ඝාතනය කල අපේ රාලහාමි කෙනෙක්.ඒ රාලහාමිගෙ අයිය සීටීබී එකේ වැඩකලේ.

      Like

  4. This is one of the best blogs I have come across. Are you from Pasdun Korale? As a Matugamian I am from the same region but, for my sins, now live abroad . Please drop me a line when you have a free moment

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s