කඩේ ආතගෙ මැම්බර් චන්දෙ.

දැන් ඔන්න චන්දයක් ඇවිත්.නිකං චන්දයක් නෙවෙයි.හරියටම කිව්වොත් පලාත්පාලන ආයතන වලට සභිකයින් තෝරා ගැනීමේ චන්දයක්.මේ දැන් අපේරටේ ක්‍රියාත්මක වෙන ක්‍රමයට අනුව ප්‍රධාන චන්ද හතරක් පවත්වනවා.ඒ ජනාධිපති වරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය,පාර්ලිමේන්තු මහ මැතිවරණය,පලාත්සභා මැතිවරණය,සහ දැන් ඇවිල්ල තියෙන පලාතපාලන ආයතන නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය කියන යන මැතිවරණ හතර.මේ මහ භාරදූර මැතිවරන හැමඑකෙන්ම දෙක ගානෙ දිස්ත්‍රික්දෙකක්තුලදි තේරීම් භාර නිලධාරියෙක් හැටියට මෙහෙයවලා පලපුරුද්දක් අරං ඉන්න මටත් අමතක කරන්නම බැරි චන්දයක් තියෙනවා.ඒ මේ ඔය කියාපු චන්ද නොවෙයි.අපි සරොං කොට ගහගෙන ඉස්කෝලෙ යන පුංචි කාලෙ තිබ්බ චන්දයක්.මේ චන්දෙ තියන කොට අපි ස්කෝලෙ හතරෙ පහේ පංතියෙ වගේ හිටියෙ.ම ඒචන්දෙට කිව්වෙ මැම්බර් චන්දෙ කියලයි.අපේ ගේ ඉස්සරහ ගඟ අයිනෙ ඕවිටේරබර් වගාව අයිතිඋනේ වෙල්විදානෙ ලොකුඅප්පට.උදේට රබර් කිරිකපල ගේ ඉස්සරහ පාරට එන වෙල්විදානෙ ලොකු අප්ප තාත්ත එක්ක කිව්ව මේසැරේ මැම්බර් චන්දෙත් ලඟයි කියල.ඔය මැම්බර් චන්දයක් ගැන මට තියන මුල්ම මතකය
ඔය කාලෙ දැන්වගේ චන්ද මහ හුඟක් තිබුනෙ නෑ.තිබුනෙ චන්ද දෙකයි.ඒ මහචන්දෙයි මැම්බර් චන්දෙයි.අපේ එගොඩ ආච්චිනම් කිව්වෙ නැම්බර චන්දෙ කියලයි.ඉතින් ඔය කියන මැම්බර චන්දෙ ඒකාලෙ බොහොම විනෝද ජනක එකක් අදනම් චන්දයක් කියන්නෙ මහ භයානක ක්‍රීඩාවක් නෙ.අපි පොඩිකාලෙ තිබ්බ මැම්බර චන්දෙ හරිම අපූරුයි.මේ අපූරුකමයි විනෝද ජනක භාවයයි හින්දම මොන තනතුරේ චන්ද මෙහෙයුවත් අමතක කරන්නම බැරි චන්දෙ මැම්බර චන්දෙතමයි කියලයි මම කියන්නෙ.

අපේ ගම අයිතිඋනේ පාලින්ද නුවර ගම්සභාවට.අර ඉස්සර පොතපත ඇසුර කථාවෙ පුස්තකාලයක් ගැන කිව්වෙ.ඒ අපේ ගම්සභාවෙ පුස්තකාලෙ තමයි.ඉතින් ඔය ගම්සභාවට නියෝජිතයොතෝරන චන්දෙට තමයි මැම්බර චන්දෙ කියල කිව්වෙ.අපේ ගමට හිටිය මැම්බර මහත්තය පියසේන.අපේගම් කොටසටයි ජනපදේයි බොරලුගොඩ ගමයි අයිතිවෙලා තිබුනෙ එකම මැම්බර කොට්ටාශෙටයි.පියසේන මැම්බර් මහත්තය ජනපදේ වැසියෙක් ඒවගේම සමසමාජ කාරයෙක්.ඉතින් මම ඔය කියන චන්දෙදි ලංකා සමසමාජ පක්ශෙන් අපේ කොට්ටාශෙ අපේක්ශකය උනේ පියසේන මැම්බර් මහත්තය.අපි අයිති අගලවත්ත ආසනේ ඒකාලෙ කොහොමත් සමසමාජ ආසනයක් නිසා හැම ගමකම වාගෙ සමසමාජ කාරයො හුඟ දෙනෙක් හිටිය.සමසමාජ කාරයො එක්ක හැප්පෙන්න අපේ ආසනේ හිටියෙ යූ ඇන් පී කාරයො.සමසමාජ පක්ශෙ අගලවත්තෙ නායකය උනේ ආචාර්‍ය කොල්වින් ආර්ද සිල්වා මැතිතුමා.එතුමට පුද්ගලිකව අගලවත්ත ආසනේ කිසිම සම්බන්දයක් නෑ.එතුමා බලපිටියෙ පදිංචිය කොල්ලුපිටියෙ.චන්දෙ ඉල්ලුවෙ අගලවත්තට.එතුමත් එක්ක තරඟෙට චන්දෙ ඉල්ලුවෙ කිතුල්ගොඩ ඩේවිඩ් මහත්තය ගමගේ දොන් ඩේවිඩ් අප්පුහාමි කියන්නෙ අගලවත්තෙ බොහෝ ගම්වල නෑදෑසබඳකම් තිබුන බොහොම හොඳ කෙනෙක්.හැබැයි අගලවත්ත ආසනේ වැඩිදෙනා ගමේරටේ කම නෑදෑකම පැත්තකට දාල සමසමාජෙට චන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති වලට පැහැදිලා කිව්වට වරදක් නෑ.ඒ අනුව අපේ මැම්බර චන්දෙ පියසේන මැම්බර මහත්තයට විරුද්ධවත් යූ ඇන්පියෙන් ඩේවිඩ් මහත්තයල අපේක්ෂකයෙක් දානවා.

යූ ඇන්පී එකෙන් පියසේන මැම්බර් මහත්තයට විරුද්ධව තරඟෙට යන්න ඉදිරියෙන්ම ඉන්නෙ අපේ කඩේ ආත්තා.මද්ද හෙට්ටිගේ දොන් සුවාරිස් අප්පුහාමි නැත්නම් අපේ කඩේ ආත්තට තියන ලොකුම සුදුසුකම තමයි ඉංගිරිසි ආන්ඩුව කාලෙ ඉඳන් පවත්තපු හැම මැම්බර චන්දෙටම ඉදිරිපත් වීම.ඒ ඇරුනම උන්දැ ඩඩ්ලි මහත්තයටත් වැඩිය යූඇන් පී වීම තවත් සුදුසු කමක්.අපේ කඩේ ආත්ත කියන හැටියට යූ ඇන්පියේ ලොක්කෙක් උන ජේ ආර් මහත්තයව පුද්ගලිකව දැන අඳුන ගෙන සිටීම සහ ඩඩ්ලිටත් වැඩිය ජේ ආර්ට සැලකීමත් සුදුසුකමක්.මැම්බර චන්දෙ එනකොට කඩේ ආත්ත ගෙ හැසිරීමෙන් තමයි ගමේ අය දැන ගන්නෙ ආයිත් චන්දෙ ලඟයි කියල.ආත ජාතික ඇදුම ඇඳල කුඩේත් බිම ඇනඇන පියවරක් පියවරක් පාසා ඇස් දෙකට පලඳලතියෙන කන්නාඩි කුට්ටමට ඇගිල්ලෙන් ඇනඇන මැල්ල ගහවිල ට යන්නෙ දුර බැහැර ගමනක් යන්න කියල හැමෝම දන්නවා.ආත මේවගේ සැරසිල යන්නෙ එක්කො උසාවියෙ නඩුවකට නැත්නම් යූ ඇන්පී ලොක්කෙක් හම්බු වෙන්න.

“කොහෙද මේ මුදලාලි බෑරක්ද?” ගමේ කෙනෙක් ඇහුවම

“ආ ඔව් මේ බෑරක් යන්න” කියල උත්තරයක් දෙනවා

ආතගෙ මේ බෑරක්‍ යනවා කියන ගමන පුංචි අපිට හිතෙන්නෙ ලොකු වැදගත් ගමන් වලට කියන්නෙ එහෙම තමයි කියලයි.අපි අයියයි මල්ලියි මමයි සෙල්ලම් වලදි ඕක කියනවා.අද තව වෙනකම් කවුරුවත් ඕකෙ තේරුම කියල දීල නෑ.ඒත් පස්සෙ අර ඒදණ්ඩක යන්න බැරිතරමට ඉගෙන ගන්නකොට හිතුනෙ බෑරක් යාම නම් බැහැරක නැත්නම් ගමෙන් පිටතට යාම කියන තේරුම වෙන්නෑති කියලයි. ආත බෑරක් ගිහින් ඇවිත් ගමනෙ විස්තරේ කඩේ ලඟදි කියනවා.ආතගෙ විස්තරේ අනුව මේසැරේ ආතට යූ ඇන්පියෙන් චන්දෙ ඉල්ලන්න ලැබෙනවා.ජේ ආර් මහත්තය කෙලින්ම ලියුමක් ආතට දීල ඩේවිඩ් මහත්තයට නියම කරල ආතව තරඟෙට ඉදිරිපත් කරන්න කියල.ආත කියන්නෙ ජේආර් මහත්තයගෙන් එහෙම රෙකමදාරුවක් ගන්න පස්දුන් කෝරලේ තියා කලුතර දිස්ත්‍රික්කෙවත් කාටවත් බෑ.මෙච්චර දේ කෙරුනත් ආතට යූඇන්පියෙන් තරඟ කරන්න ලැබුනෙ නෑ.ඒකට තෝර ගත්තෙ ජනපදවාසියෙක් උන ජී ඩී ආයුපාල මාමව.ගම ඇතිගේ දොන් ආයුපාල කියන්නෙ කිතුල්ගොඩ ගමෙන් ජනපදේ ඉඩම් අරං ආපු කෙනෙක්.එයත් හොඳ යූඇන්පී කාරය.ඒවගේම ඩේවිඩ් මහත්තයලගෙම ගමේ.දැන් මේ ආතට නැතුව ආයුපාල මාමට අවස්ථාව ලැබෙන්නෙ ජනපදේ කෙනෙක් වීම නිසයි කියලයි අපේ ගෙදර ස්තෝප්පුවෙ සාකච්චාවට ඇහුන්කන් දුන්නම තේරුනෙ.මේසාකච්චාව අපේතාත්තා නුගකඳ මෙතියෙස් මාමා සහ අපේ ලොකුමාම අතර සිද්දවුන එකක්.ඒවුනාට ආතගෙ කඩේලඟසාකච්චාව අනුව ආත කියන්නෙ ජේආර් මහත්තයට තරහ යූඇන්පී ලොක්කො කැමති නෑ ආත මැම්බර් වෙනවට.මොකද එතකොට ජේආර් මහත්තයගෙ බලය වැඩිවෙන හින්ද.ඒයූඇන්පී ලොක්කො ඩේවිඩ් මහත්තයට කියල පියසේන මැම්බර්ව පරද්දන්න බැරි ආයුපාල මාමව තරඟෙට දානවා.එක නිසාම ආත ස්වාධීනෙන් තරඟෙට එන්න ඇප බඳිනවා.

දැන් චන්දෙ උනුසුම අපේගමට දැනෙන්න පටන් ගන්නවා.නාමයෝජනා බාර දෙනකොට අපේ කොට්ටාශෙට පස්දෙනෙක් තරංගෙට ඉන්නවා.ඒ පියසේන මැම්බර මහත්තයාඅයුපාලමාමා මනං මුදලාලිගෙ මල්ලි සුදු මුදලාලි සහ මඩිත්තවිල ප්‍රේමචන්ද්‍ර මේ ඔක්කොම ජන පදෙන් ගමෙන් අපේ කඩේ ආත්ත විතරයි.පියසේන මැම්බර් මහත්තයගෙ ලකුනයතුර ආයුපාලමාමා අලියා ලකුණෙන් ස්වාධීන අපේක්ශකයො උන සුදු මුදලාලි පුටුව ප්‍රේමචන්ද්‍ර ලාම්පුව අපේ කඩේ ආත්තකුඩය ලකුනෙන් තරඟෙට ආවෙ.ජනපදේ ගමවගේ දෙගුනයක් චන්ද තියෙනවා.ආතගෙ කථාව අනුව ඒ චන්ද හතරට බෙදෙනවා.ගමේ චන්ද අඩු උනාට ඉල්ලන්නෙ ආතවිතරයි.එතකොට ගමේ අය ආතට චන්දෙ දුන්නම ආත මැම්බර් වෙනවා.මේ විදියෙ කථාවක් කියාගෙන තමයි ආතගෙ චන්ද ව්‍යාපාරෙ ගමේ ආරම්භ වෙන්නෙ.හැබැයි ආතට ලොකු අඩුපාඩුවක් වෙන්නෙ අපේ ඉගුරුදලුව ගමෙන් ආත චන්දෙ ඉල්ලන කොට්ටාසෙට අයිති වෙන්නෙ ගෙවල් පහයි.ඒ අපේගෙදර අපේ මද්දුම මාමගෙ ගෙදර ලොකු අම්මලගෙ ගෙදර නුගකඳ මෙතියෙස් මාමලගෙ ගෙදර උපාසකලොකු අප්පලගෙ ගෙදර කියන ගෙවල් විතරයි.කොටින්ම කිව්වොත් ආතගෙ ගේ තියෙන්නෙත් අතලෙ කොට්ටාශෙට අයිති හරියෙ.ඉතින් ආතට එයාගෙ චන්දෙ ලැබෙන්නෙත් නෑ.මුලු බොරලුගොඩ ගමම අයිතිවෙන්නෙ ආත චන්දෙඉල්ලන කොට්ටාසෙට.බොරලුගොඩ ගමේ එදා චන්දදෙසිය පනහක් විතර තිබුනා.හැබැයි එදාබොරලුගොඩ ගමේ වැඩිදෙනා සමසමාජ කාරයො.බොරලුගොඩ එහෙම උනාට අතලෙ තනිකරම යූඇන්පී.ආතගෙ චන්දෙ තියන අතලෙ ගම යූඇන්පී උනාට ආතටවාසියක් නැත්තෙ ඒ චන්ද ආතට දෙන්න විදියක් නැති හින්දයි.

ආතගෙ චන්දව්‍යාපාරෙ පටන් ගන්න කොට අපේ ගෙදර ස්තෝප්පු සාකච්චාවට මේ මාතෘකාව යොමු වෙනව.මේ ස්තෝප්පු සාකච්චාවා ආරම්භ කෙරෙන්නෙ බොහෝකොටම හවස හතරට විතර.මුලින්ම ඔතනට එන්නෙ නුගකඳ මෙතියෙස් මාමා.ටිකවෙලාවකින් අපේ ලොකුමාමත් ඔතනට එනවා.සතියකට විතර සැරයක් පුවක්දොලේ පොඩි සිඤ්ඤො මාමත් මේකට එකතුවෙනවා.උපාසක ලොකු අප්පත් හිමි හිට කඩේට යන ගමන් මෙතනට එකතු උනාම ඔන්න පූර්න සහභාගිත්වය සහිත සාකච්චා වාරයක් පටන් ගන්නවා.

“මේසැරෙත් බබුන් සිංඤො බාප්ප චන්ද වැඩේට බැහැල වගෙයි” කියල පුවක් ගෙඩිය කපන ගමන් අපේතාත්තා සාකච්චාව පුරනවා.කඩේ ආත්තට ඔය නමින් කථාකරේ අපේ තාත්ත විතරයි.

“ඔව් ඉතින් මැම්බර් චන්දෙ පරදිනකම් උන්දැට නින්ද යන්නෙ නෑනොවැ.”මෙතියෙස් මාමගෙ ප්‍රතිචාර ලැබෙනවා.

“මෙදා සැරේ කෙඳිරි මාම පරදින්නෙ වෙනද වගේම ඇපෙත් නැතුව ඔන්න” අපේලොකු මාම ආතගෙ ප්‍රසිද්ධ අන්වර්ථ නාමෙන් කිව්වා.

“එහෙම කියන්න එපා ලොකු අයියෙ මෙදා මාමා බොහොම මහන්සි වෙනව කියලයි ආරංචිය.”දුංකල කෑල්ලක් ඉලත්තට්ටුවෙන් ගන්න ගමන් අපේ අම්මත් කතාවට එකතු වෙනවා.

“අනේ නිකං හිටහං නංගියෙ මේ පාර උන්දැ ඇපේ බේරා ගත්තොත් මම කෙස් පිටින් බුදු වෙන්නෙ ඔන්න.”ලොකුමාමා හෙල පල්ලට ලොකු කෙල පාරක් ගහල උත්තරදෙනවා.

“ඔය අවසේස කතාවලට බුදු හාමුදුරුවො සම්බන්ද කර ගැනීම නම් අනුමත කරන්න බෑ.අනික මේ තොටුවක් ගානෙ තිත්තයො අල්ලන ප්‍රානගාත අකුසල කරන අය බුදුවෙනව කියල විහිලුවටවත් කියන්නෙ කොහොමද?”උපාසක ලොකු අප්ප හීන් සැරේ ලොකු මාමට ප්‍රහාරයක් දෙනවා.

“අනේ අම්මොප මේ වාහෙලට යමක් තේරුම් බේරුම් කර ගන්න බැරි හැටි.මිනී දාහක් මරාපු අංගුලි මාලයට රහත් වෙන්න පුලුවන් නම් මේ ඉදල හිටල ගඟේ වැටිල ඉන්න මාලුවෙක් බාගෙන කන මට බුදුවෙන්න බැරි මොකෝ.අනික පූරුවෙ කරුමෙන් මාලුවෙලා ඉපදිල දුක් විදින උන්ව ගොඩදාලා ඒ ආත්මෙන් චුතවෙන්න සලස්වන එක මහ පිනක් නෙවෙයිද.මේ පන්සල්වල දානෙ කෙල කෙල ඉදල සිවුරු ඇරල ගෑනු ගත්ත එවුන් දන්න බුදු බණ.”කියල තල් අත්තට බොරලු ගහන්න වාගෙ කියාගෙන ගිය ලොකු මාම තූහ්හ්හ් නොදෝමකින්ග් කියල කෙලපාරකුත් ගහල උපාසකලොකු අප්පව අකර්මන්‍ය කරල දැම්මා.

“බබුන් සිංඤො බාප්ප ඉස්සර ඉදන්ම චන්දෙ ඉල්ලනවනෙ.ඒකාලෙ චන්ද පෙට්ටි ඉල්ලන හැමෝටම වෙන්වෙන්ව තිබුනා.චන්දෙ ඉල්ලන අයට පාට වෙන්කරල තිබුනා.කහපාටින් චන්දෙ ඉල්ලුව මුන්දැගෙ කහපාට චන්දපෙට්ටිය ට චන්ද කොලේ දාන්නයි තිබුනෙ.ගනන් කරන්න පෙට්ටිය ඇරල බලනකොට මුන්දැගෙ පෙට්ටියෙ චන්ද දෙකයි හාරත බූරුවයි ව්තරයි තිබුනෙ කවුදෝ බූරු කුට්ටමේ හාරත බූරුව කොලේ මුන්දැගෙ පෙට්ටියට දාලා” අපේතාත්තා උනුසුම් සභාව හිනැස්සුවා.

“ඇයි ආයිත් පාරක් චන්දෙ ගන්න කියල මුන්දැගෙ සංග්‍රහපොලේ බත් මාලු වලින්සංග්‍රහ කරානෙ.බත් පිගන්ම එකසිය හතලිහක් දීල තිබුන හවස චන්දෙ ගනින කොට චන්ද පහලොවයි මුන්දැට තිබුනෙ.”පොඩිසිංඤො මාමකිව්වා.

ඔයාකාරෙන් පටන්ගන්න ස්තෝපු සාකච්චාව ඉවරවෙන්නෙ පැයක් දෙකක් ගිහිල්ලයි.ආතාගේ මැම්බර් චන්ද ඉතිහාසය අත්දැකීම් මෝඩකම් වගේම ආතාගෙ උත්සාහය විවිධ පැති ඔස්සේ සාකච්චාකරන අපේ ස්තෝප්පු සභාව විසිරෙන්නෙ ඒකමතික තීරනයකට එලඹිලයි.ඒ තීරණය තමයි ආතගෙ ඇපේ මෙදත් කැන්සල්වෙනවා කියන එක.කොච්චර පැරදුනත් ගමවෙනුවෙන් චන්දෙ ඉල්ලන එකත් සභාවෙ ඇගයීමටලක්වෙන්නෙ උපාසකලොකු අප්ප අතින්.

“ලාභෝ අලාභෝ අයසෝ යසෝච-නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං අෂටලෝකධර්මයෙන් කම්පානොවීම සත් පුරුෂයන්ගේ ලක්ෂනයක්.ඒ අනුව බැලුවම අධිෂ්ඨානයෙන් යුක්තව කම්පානොවී පරාර්ථ ය උදෙසා කඩේ කෙඳිරි බාප්පත් මේ කරන්නෙ සත් පුරුෂවැඩක් කිව්වෑකි”කියල උපාසකලොකු අප්ප කියනවා.

“පුහ් සතපහක වැඩක් නැතුව මුන්දැකරන පිස්සු වැඩේ හත්තිලව්වක් වෙච්චිකොට මහලොකුවට පේන්නෙ පංසල්බත් ගිලපු එව්වන්ට විතරනෙ අම්මපා” කියල උපාසක ලොකු අප්පට සුපුරුදු ප්‍රහාරය දෙමින් ලොාකුමාමා නැගිට්ටම සභාව විසිරෙනවා.

දැන් චන්ද ව්‍යාපාරෙ නැගල යනවා.ආතගෙ චන්දව්‍යාපාරෙ කෙරෙන්නෙ බොරලුගොඩ ගමේ.ආත හැම ගෙදරකටම යනවා.ගිහින් ගමවෙනුවෙන් වැඩ කරන්න චන්දෙ ඉල්ලන බව කියනවා.පියසේන මැම්බර් මහත්තයා අඟුලක් මැදවත්තෙන් ගඟේතොටුවට දාන්නෙ බොරලුගොඩවාසින් වෙනුවෙන්.ආතට අලුත් කථාවක් එකතුවෙනවා කියන්න.ඒ මැම්බර් අඟුලක් බොරලුගොඩට දෙන්නෙ තමන් බොරලුගොඩින් චන්දෙ ඉල්ලන නිසයි කියන කතාව.බොරලුගොඩ චන්ද තමන්ට ලැබීම වලක්වන්න අඟුල දැම්ම බවත් තමන් මැම්බරවූ පසු පාලමක් දාන බවත් ආතා කියනවා.යූ ඇන් පී ආයුපාලමාමාත් බොරලුගොඩපාලම පොරොන්දුවෙනවා.

බොරලුගොඩ අතලෙට
ගම්දෙක යා කිරීමට
පාලමක් දැමුමට
චන්දෙ දෙමු අපි ආයුපාලට

ඔන්නඔහොම කවියක් එක්ක ආයුපාල මාමා ගහපු පත්‍රිකාවක් ගමේ බෙදා දුන්නා.වෙනකාලවල චන්දෙ ආත ඉල්ලනකොට ඊට විරුද්ධව කතාකරන අපේ තාත්තා මේසැරේ එහෙම කතාකලේ නැහැ.ඒකත් ආතාලොකු සහයෝගයක් ලෙසයි ආතා පෙන්නුවෙ.

“වෙනද මටසහයෝගය නොදුන් වැද්දා කන්දෙ අපේ ගුනපාලත් මේසැරේ මට සම්පූර්ණ සහයෝගෙ දෙන්නෙ.මෙදා මුලු බොරලුගොඩම එක්වෙලා මැම්බර්කම ගමට ගේමු.” ආතගෙ ඒකපුද්ගල ප්‍රචාරක ඒකකය කියනවා,ආතගෙ හිත පොඩ්ඩක් ගැස්සෙන වැඩක් මේ අතර උනා.ඒ පියසේන මැම්බර් බොරලුගොඩදිවිශාල පිරිසක් එක්ක රැස්වීමක් කිරීම.ඒත් දවස් දෙකකදීඒක ගැන වෙන විග්‍රහයක් කරන්න ආතා පටන් ගත්තා.ඒ විග්‍රහයට අනුව ඒරැස්වීමට ගිය ගමේ අය ආතා විසින් යවපු අයයි ඒමොනවද කියන්නෙ කියල බලන්න.රැස්වීමට ගිය අයත් සමහරු ගමේදි එහෙම කිව්වා.

මේ උනුසුම් චන්ද ව්‍යාපාරෙ අවසානෙ චන්දෙ තියන දවස.බොරලුගොඩ චන්ද දායකයො ජනපදේ විද්‍යාලෙට යන්නඕන චන්දෙ දාන්න.බොරලුගොඩ ඉදන් ජනපදේට ඒකාලෙ ගිය මොරගහකැටෙන් ගොඩවෙලානුගකඳ පබිලිස් අයියලගෙ මහගේ ලඟින් ඇවිත් අපේ මද්දුම මාමලගෙ ගෙදර මිදුල උඩින්.ආතගෙ සංග්‍රහපොල අපේ මද්දුම මාමගෙ ගෙදර දැම්ම.සංග්‍රහය බනිස් සමග තේ.මුලු බොරලුගොඩම ආතගෙ සංග්‍රහයභුක්ති වින්දා.අපි වගේ පොඩි උන්ටත් බනිස් ඇතිවෙන්න ලැබුනාචන්ද දායකයො දෙසිය පනහකට විතර සංග්‍රහ කරපූ ආතා මෙදා චන්ද දෙසීය පන්නලා මැම්බර්කම ගමට ගේනව කියල සංග්‍රහ පොලේදිම කිව්වා.හවස චන්දෙ ගනන් කරන කොට ආතා චන්ද අසූ පහක් ලබාගෙන හතරවෙනිය වෙලා වාර්ථා දෙකක් පිහිටෙව්වා.ඒ පලමු වතාවට මැම්බර් චන්දෙක අන්තිමයා නොවීම,ඉලක්කම් දෙකක චන්ද ප්‍රමාණයක් පලමු වතාවට ලබා ගැනීම කියන වාර්ථා.පියසේන මැම්බර් මහත්තය සුපුරුදු විදියට ජය ගත්තා.

කඩේ ආතා මේ ප්‍රතිපල විග්‍රහ කලේ ගම ජනපදය ඉදිරියේ පරාජය වීමක් හැටියටයි.බොරලුගොඩ ප්‍රමුඛ අවශ්‍යතාවය උන පාලම තමන්ගෙ ජීවිත කාලය තුල හදාගන්න තිබුන ඕනෑකම ඉෂ්ට කරගන්න බැරි වෙනව කියලා ආතා දුක් උනා.ගමේ සමගිය පෙන්නන්න බැරි උන එක ගැනත් දුක් උනා.

“ගුනපාල ලමයො චන්දෙ පැරදුන එක ගැන මට දුකක් නෑ.අපේ ගම සමගියෙන් හිටියනම් ගමේ දියුනුවට වැඩකර ගන්න තිබුනා ඒක නැති උන එකනම් දුකයි.” ආතා අපේ තාත්තට කිව්ව.

ආතා කිව්වා වගේම බොරලුගොඩ පාලම හැදුනෙ ආතා අපිඅතරින් වියෝවෙලා අවුරුදු විස්සකට විතර පස්සෙ.

7 thoughts on “කඩේ ආතගෙ මැම්බර් චන්දෙ.

  1. අතීතය මතක්වන ලිපියක්
    Q1 ඒ වුනත් ඔය ගමට ඉගුරුදලුව කියල නම හැදුන කහමද
    Q2 බදුරලියට ඒ නම හැදුන කහමද ඉස්සර කියල තියන්න දඩු හැතක්ම කියල
    Q3 ඉගුරුදලුවට එහා ගමට ඉගුරුපිටිය කියල නම හැදුන කහමද සමහරු කියන්න සිදුරුපිටිය කියල
    Q4 අතල කියල නම හැදුන කහමද
    Q5 බරලුගඩ කියන නම හැදුන කහමද ආදි ප්රශන තියනව
    අගලවත්ත සමසමාජ වුන අනිල් මුණසිංහ කාලයදියි
    සමාජවාදය ලංකාවට හදුන්වල දුන්න විදිහ අඩුපාඩු සහිතයි උඩකැන්දවල සිරි සරංනංකර හාමුදුරුවන් වග් අය හුගක් ලකු ස්වයක් කරල තියනව
    1965 චන්ද අනිල් මුනසිංහ මහත්තය ඩාවිඩ් මහත්තයට වඩා වැඩි චන්ද පන්දහස් ගණනකුයි දිනුව
    නමුත් චන්ද පත්සම පරාදවුනා පියසිරි කාරියවසම් මහත්තයට වඩිතැබීබ සිද්ධියදි ඩාවිඩ් මහත්තය එතන හිටපුබව කිව්වත් ඔප්පු කරන්න බැරිවුනා බරුවුනා අනිල් මුනසිංහ මහත්තයග ල්කම් ගර්ලින් මහත්තය අනිල් මහත්තයග අත්සන අරගන රැකියාවකට යන්න දීපු ලිපිය කාටද මාරැවීමක් ගන්න දීපු ලිපිය ඔප්පුවුනා අනිල් මහත්තයග ප්රජා අයිතිය අව්රුරුදු ගණනකට නැතිවුනා චන්ද ඉල්ලන්න බැරිනිසා ලංගම සභාපතිවුනා
    ශ්රී ලංකා පක්ෂ ආව්නික ගතිය තමයි තමන්ගම අයට හතුරුකම් කිරීම එක්සත් ජාතික පක්ස විතරයි එය නැත්ත
    එතකටයි කල්වින් මහත්තය ආව කල්වින් මහත්තය හදයි එනමුත් කල්වින් මහත්තයල තමයි ජාතිය සිංහල කියනඑක අයින් කරල දැම්ම ගයම් කල් නඩුව කහමද දක්ස කමක් වන්න කියල තියන්න බරු කතාවක්න සිංහලන් ගයම් කල් කියනඑකන paddy leaf කියල වැරදියට පරිවර්තනය කරල තියන්න නඩුකාරයට එච්චර එකක් තරුන නැද්ද විත්තිය නීත්ඥ මනවද කරල තියන්න ගම්වල මිනිස්සු තමයි ඕවට අප්පුඩි ගහන්න නඩු දිනන්න තියන සරලම ක්රමය තමයි අනිත් පැත්ත නීතිඥයටත් සල්ලි දන එක අර මන්ත්රි කියන කතා බරුම නවයි
    කල්වින් ඩාවිඩ් මහත්තයටවඩා චන්ද තුන්සිය ගණනක් අරගන අගලවත්ත දිනුව
    මැතිනිග ආන්ඩුව මිනිස්සුන්ට එපාවුන ඔයගල්ල ඔනවටත් වැඩිය සමාජවාදය කරන්න ගියහන්ද වන්න අති
    වන නම් ඕන නැහැ මැතිනි කිව්වහම අදටත් මිනිස්සු දන්නව කව්ද කියල
    මට රජය ගුරු පත්වීම ගන්න වැයවුන මුද්දරයයි ලියුම් කවරයයි කඩදාසියයි පමණයි
    සිරිලකද් සිරිසැපද් තමයි ඒකාල ත්මා පාඨය වුන අපි ඒක අතහැරියට ඉන්දියාව එ්ක අතහැරිය නැහැ
    ජා ආර් අවිල්ල තමයි පිටරට ද් සිරිසැප ද් කල
    ඩාවිඩ් මහත්තය සංවිධායක වුනාට මන්ත්රි වන්න ලැබුන නැහැ දුව හදට ඉගනගන ආචාර්ය උපාධියක් ගත්ත පුතා ලාල් ධර්මප්ප්රිය ජා ආර් රජය බුද්ධසාසන ඇමතිවුනා
    ගපල්ලව ජනාධිපති
    ඩඩ්ලි අගමැති ජා ආර් ස්වද්ස ආරක්ෂක අමති දන්න අතර විරසකයක් තිබුන බවට කටකතා තියනව ඒ කාල අගමැතියි බලවත්
    එබැවින් කඩේ ආත්ත කිව්ව කතාව හරි
    කවිය නියමයි වචන ගණනකින් කියන්න බැරි දයක් කවිය කියනව
    බරලුගඩ එක්ක මග බැදීමක් තියනව
    මම විදුහල්පති තරග විභාගන් පාස්වුනහම මට දුන්න පාසල බරලුගඩ සිරි පියරතක කවි
    අව්රුරුදු තුනක් හිටිය සිරිවර්න මහත්තය ජයස්න මහත්තය ශියාලතා මහත්මිය ඉන්දා මනවිය රනතුංග මනවිය ආදීන් තමයි ගුරුවරු
    ජයස්න මහත්තය තමයි ගම්මුලාදෑණියග දුව ශියාලතා බැදල තිබුන
    සිරිවර්න මහත්තය ජයස්න මහත්තය ශියාලතා මහත්මිය ඒ අය ඔක්කම නිවාඩු ගත්ත දවස් තිබුන එදාට මම 1 පන්තිය සිට අට පන්තියට එකාවග වැඩ කලා උසස්පල බවුතික විද්යාව ගුරුවරය වූ මට ප්රාතමික පන්තිවලත් උගන්නල අත්දැකීම් ලබාගන්න ලැබුන බරලුගඩ සිරි පියරතක කවියදි
    මම අද්යාපන පරිපාලන විභාග පාස්වුන බරලුගඩ සිරි පියරතක කවියදි විභගය ලියල
    මතුගම කලාප විදුහල්පතිවරුන්ගන් පාස්වුන බරලුගඩ ක වි හිටපු මම විතරයි එ්නිසත් මට බරලුගඩ මතකයි
    මට උතුරුමැද පලාතට හිගුරක්ගඩට යන්න වුනා
    බරලුගඩ සිරි පියරතක කවි අලුත් පාර අසලට ගන්න ඉඩමක් හව්ව හව්ව ලැබුන නැහැ මම ද්ශපාලනයත් නැහැන
    ගරා වැටිල තිබුන ඉස්කා්ල ප්ටා් ටිකක් ගහල මම කවදාවත් දැකල නැති කවදාවත් කතාකරල නැති මරිස් රාජපක්ෂ මහ ඇමතිතුමාට තැපෑලන් ඇරිය මාසයක් අතුලත් පන්ලක්ෂ හතලිස් ගානක් එව්ව ඒ කාලය එ්ක විශාල මුදලක් එතුම අකාලය අභවප්රාප්තවුන නිසා මට කවදාවත් එතුමව දකින්න ලැබුන නැහැ
    බරුලුගඩ පාසලම ආදි ශිස්ය අයවුන සිරිවර්න මහත්තය ජයස්න මහත්තය ශියාලතා මහත්මියලට ඉස්කාල භාර දුන්නට කාලයක් ගිහිල්ල ඉස්කාල වැහුන
    පලාත බස්නාහිර වුනාට අදටත් අතල ඉස්කාල ඉදල පහල හවස්ස ඉස්කාලට යනකම් ඉස්කාලයක් නැහැ
    ම් ලිපිවල බරල්ගඩ ගම සුන්දරත්වය තිබුනට මම බරලුගඩ දුක දැකල තියනව
    ඕනම ලමයකුට තමන් පඩිකාල හිටපු ගම සුන්දර පැත්ත විතරයි පනන්න
    ගමට පාසල් ගඩනැගිල්ලක් නැති කමට පන්සල් බණ මඩුව පහ පන්තියට ඉස්කාල තිබුන මම පාසල් ගිය අදටත් පාසලක් නැති හ්න්පිට ගමත් මම දැක්ක සුන්දරත්වය විතරයි අද මතක් වන්නත් එම සුන්දරත්වය විතරයි
    ඉස්කාල ඇරිල ගදර යන අතර ඉස්කාල වත්තන් කස් ගඩියක් කඩාගනයන ලමයි හිටිය
    පාසලට කසු ඉදල්ටික ගත්ත ඩී ආර් ඔ ට අයිති ඉස්කාල වත්ත තිතුල් ගහක් නීති විරා්දීව මිනිහකුට මැද ගන්න දීල
    එනිසයි මම මතුගම සැලසුම්වුන ගමන් බරලුගඩ ලමයිනුත් එන අතල විද්යගාර කමරයට සල්ලි වන් කල
    ඒ කාල මතුගම කලාපය විද්යා සැළසුම් අයිටී බදුරලිය කට්ඨශ එකට අද්යක්ස මම

    මම පහුගිය දවසක ගිහිල්ල බරලුගඩ ඉස්කා්ල යන්න නැති ලමයි ඉන්නවද බැලුව කවරුවත් නැතිබව දැනගන්න ලැබුන
    හුගක් පවුල් වලට අඩුගාන මා්ටර් බයිසිකලයක් හරි තියන නිසා අතලට හරි පහළ හවස්සට හරි අරගන යනවලු

    නමුත් මම බරලුගඩ සුන්දරත්වය වග්ම සැබෑ සිංහල ගම බරලුගඩ දුකත් දැක්ක
    එනිසා මම පාර වනස් කල බැවින් පිරිහුන බරලුගඩ කියල අසම්පුර්ණ post එකක් මග sasara333.blogspot. com වලට දැම්ම
    පස්ස තව තරතුරු දාන්නයි බලාපරත්තු
    ඔය අනිත් අය මනව කිව්වත් මද්ද හෙට්ටිගේ දොන් සුවාරිස් අප්පුහාමි මහතා චන්ද ඉල්ලපු එක හරි
    ඔය ඉංජිනාරුව දස්තරල දිසාපතිල වග උගතුන් හිටියට චන්දකට ඉදිරිපත් වන්න කීයන් කී දනාද
    ඒ දවස්වල චන්ද ඉල්ලන්න තමන්ටම හැදන්න නවයින
    චන්ද පහලව ගත්ත වලාවත් අකුරු දකක චන්ද ප්රමාණයක් අරගන තියනව
    තිබිල තියන තත්වය අනුව අරන් තියන චන්ද ප්රමාණය නරක නැහැ
    අර ත් යි බනිසුයි එක්ක තව මනව හරි දුන්නනම් සමහරවිට ඔයිට වැඩිය ගන්න තිබුන
    දුර්ලබ සංග්රහයක්න දීල තියන්න
    මම ගිය කාලයවත් බරලුගඩ පාන් බනිස් තිබුන නැහැ
    බදුරලියන් ගනිච්චත් විතරයි

    Like

    1. බොහොම ස්තූතියි.
      1ඉඟුරුදලුව කියන නම කෙසේ ඇති උනාදැයි දන්නේ නැත

      2බදු ගෙවන්නන්ගේ රැලි පැවැත්වූ ස්ථානය නිසා බදුරලිය වූවේයැයි අසාතිබේ.අතීතයේ වඩාප්‍රසිධවතිබීඇත්තේ මගුරයි.

      3ඉගුරුපිටිය නොවේ.ඉඳුරුපිටිය නිවැරදි නමයි.නම හැදුනු අන්දම දන්නා කෙනෙක් නැත.

      4 අතලෙ නම හැදුනේ කෑගල්ල ප්‍රදේශයේ අටාල ප්‍රදේශයෙන් පැමිනි අය තම ගමේ නමයොදා ගැනීමෙන් බවසිතිය හැක .

      5 බොරලුගොඩ ගම මෙහි මුල්ගමයි. එය සීතාවකට අයත් බොරලුගොඩ ගමෙන් පැමිනි අය නිසා හැදී ඇතිබව පෙනේ.මේපිලිබඳව මගේ ගම ගැනලියූ කතාවල ඇත.

      ඉඳුරු පිටියෙ ස්කෝලෙයි අතලෙ ස්කෝලෙයිතමයි පරනම ස්කෝල.මේ ස්කෝලදෙකේ අතීතයේදි සමකාලීනව හිටපු විදුහල්පතිවරු දෙන්න තමයිකොතලාවල මහත්තයයි අබේජීව මහත්තයයි.අපේ වැඩිහිටි පරම්පරාවෙ ගුරුවරු අතරට වැටෙන්නෙ ඒඅයයි.අපේ ඉඟුරුදලුව විද්‍යාලෙ නිර්මාතෲ ඩී ටී මද්දහෙට්ටි ගුරුතුමා ඉදුරුපිටියෙ ආදි ශිෂ්‍යෙක්.ගමේ ලමයි නගරෙ ස්කෝලවලට යන්න පටන්ගත්තම ඔයවටිනා ස්කෝලෙ වැහුනා.ඔයස්කෝලෙ පියරතන කවි උනේ අපේ බොරලුගොඩ පියරතන ලොකු හාමුදුරුවන්ගෙ නමින්.ඒ නම වෙනස් උනේ 1975මම ගමෙන් කොලඹට ආවටත් පස්සෙයි.
      ඉස්සර අපි පුංචිකාලෙ බොරලුගොඩ ගමේ පාන් බක්කරේ කෙනෙක් හිටියා පාන් පෝරනුවකුත් තිබුනා.පාන්බනිස් වන්ඩු පොල්කේක් එහෙම හදලා බටපොතු පෙට්ටියෙ දාගෙන ඔලුවෞඩතියාගෙන පාරදිගේ විකුනගෙන යනවා. ඒකාලෙ ජනපදේ කඩවලටත් ඔය කෑම යැව්වෙ බොරලුගොඩ බක්කරේ ගෙන්.

      Like

  2. ඔය පලාතෙ ජනපද හැදුනේ වියලි කලාපෙ හැදුන කාලෙමද? ඒතරම් ඉඩම් තිබුනද? මොන ප්‍රදේශවලින් ආ අයද?

    Like

    1. මේ ජනපද 1950දශකයේ ආරම්භ කලා.දිස්ත්‍රික්කය තුල අයමතමයි පදිංචිකලේ.මගේ “ජනපදේ කතාව”ලියවිල්ලේ ඔයවිස්තරේ ඇති.

      Like

  3. ඡන්දෙකින් පෙන්නන්නෙ ඡන්ද දායකයන්ගෙ සැබෑ තත්වය. කඩේ ආතට දිනන්න බැරිවුනේ සංග්‍රහ කරද්දි ඒ ඒ කෙහෙල්වලට ගැලපෙන්න බනිස් දෙන්න බැරිවෙච්චි හන්දා. කොටිං කියතොත් හරි හමං විදිහට බොරුවක් කියාගන්න බැරිවෙච්ච හන්දා. ඒකනෙ උන්දැ “වෑලුව” තැංඔල ගසුත් පැළවෙනකං පාලම හදාගන්න බැරි වුනේ.

    ඒ හංදා ඡන්දෙං දිනන්ට නං හිත් හදන බොරුම කියන්ට ඕනැ. ඒක වරදක් නෙවෙයි. ඒක තමයි ඉල්ලුමට සැපයුම.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s