අම්පාරෙන් කොලඹට(ක්‍රියාකාරකමෙන් ප්‍රතිපත්තියට)

අම්පාරෙ අවුරුදු දොලහක් විතර එක දිගට රාජකාරි කෙරුව. අම්පාර කියන්නෙ කොහේ තියන ගමක්ද දන්නෙ නැතුව හිටපු මම කිසිම සම්බන්ධයක් නැති අම්පාරෙ රස්සාව කරන්න බස් එකේ නැගිල ගිහින් එක්දාස් නමසිය අසූහයේ මැද ඉඳන් එක්දාස් නමසිය අනූ හත අවසන් වෙනකම් හිටියා. අම්පාරට යනකොට තනිකඩයෙක් වෙලා හිටපු මම විවාහ වෙලා බිරිඳවත් අම්පාරට මාරු කරගෙන නිල නිවාසෙ ජීවත් උනා. එකදස් නමසිය අනූවෙ දුව උපන්නා. එයාට අවුරුදු තුනක් වෙනකොට අක්කගෙ ලොකු දුවත් අපි එක්කගෙන ආවා. එදා අවුරුදු තුනහමාරක වයසෙ හිටපු ලොකුදුව අපිත් එක්ක අම්පාරෙ ඇවිත් නංගිගෙ තනියට හිටියා. දෙන්නම අම්පාරෙ මෙතෝදිස්ත දේවස්තානෙ ළදරු පාසැලට ගියේ එකට. ඊටපස්සෙ ලොකුදුව ස්කෝලෙ දාන්න වෙන වයස ආවා. අම්පාරෙ කාවන්තිස්ස විද්‍යාලෙට ලොකු දුව ඇතුලු කලා. අක්කත් එක්ක නංගිවත් වයස මදි උනත් ඒ පංතියටම යැව්වෙ විදුහල්පති ඉඹුල්දෙනිය මහත්තයගෙ අනුමැතියෙන්. පොඩිදුව ස්කෝලෙ අක්කත් එක්ක එක පංතියෙ ඉගෙන ගත්තට එයාට නියමිත ඊට පහළ පංතිය. ඉඹුල්දෙනිය විදුහල්පතිතුමාගෙ කාරුණික අනුග්‍රහයෙන් අක්කනගෝ එක පංතියෙ හිටියට නිල ලේඛනවල දෙන්න පංති දෙකක තමයි අයිති උනේ. 

එක්දාස් නමසිය අනූහතේ මැද හරිය වෙනකොට මේ දෙන්නගෙ අධ්‍යාපනය සඳහා කොලඹට පැමිනිය යුතුයි කියන අදහස අපේ නෝනාගෙන් ඉදිරිපත් උනා. ඒ වෙනකොට ගමවගේ හුරුපුරුදු අම්පාර දාලා කොලඹ එන එක බොහොම අසීරු වැඩක් උනත්, ළමයි දෙන්නගෙ අධ්‍යාපනය ගැන හිතල මම ඒකට එකඟ උනා. ඒ අනුව පලමුවෙනි වතාවට ස්ථාන මාරුවක් ඉල්ලලා ලිපියක් කොලඹ ස්වදේශ අමාත්‍යංශෙට ඉදිරිපත් කලා. ලංකාවෙ පලමුවැනි මහ දිසාපතිතුමිය වූ රංමැනිකේ ගුනතිලක මැතිනිය මේ වෙනකොට ස්වදේශ අමාත්‍යංශෙ අතිරේක ලේකම් හැටියට සේවය කලා. පරිපාලන සේවාවෙ කනිෂ්ට අපි හැමෝටම එතුමිය සැලකුවේ අම්ම කෙනෙක් තමන්ගෙ දරුවන්ට දක්වන සැලකිල්ල වගේ සැලකිල්ලකින්. ස්ථාන මාරු අභියාචනය අරං එතුමිය හමුවෙලා කතාකරපු ගමන් එතුමිය කිව්වා මාරුව අවශ්‍ය තැනකට දෙන්නම් අනිත් කටයුතු සූදානම් කරගන්න කියල. ඒ අනුව අම්පාරෙන් සමුගන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරගෙන එක්දාස් නමසිය අනූඅටේ ජනවාරි දහවෙනිද ඉඳන් කොලඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සුප්‍රකට සංචිතයට නැත්නම් පූල් එකට ස්තාන මාරුවක් ලැබෙනවා. පූල් එකට ආපු අය බොහෝයි. හැබැයි ඉල්ලීම් කර පූල්ලෙකට ආපු අය අතලොස්සක් ඇති. මමත් ඒ අතලොස්සෙන් කෙනෙක්.

පූල් එකේ හිටපු කාලෙ හරිම සනීපයි. උදේට තීරුබදු සහන බලපත්‍රයෙන් කීපදෙනෙකුට ණයවී ගත්තු කාර්එකෙන් රාජ්‍යගෙ පරිපාලනේට ඇවිත් පොත අත්සන් කරනවා. වාඩිවෙන්න තැනක්වත් නැතිනිසා ඒ සැනෙන් ආපහු පිටවෙලා කාරෙකෙන්ම යනවා ළමයින්ට ස්කෝල හෙවීමේ කාර්‍යට. අපි මුල ඉඳලම උත්සාහ කලේ සිරිමාවෝ බන්ඩාරනායක විදුහලට ළමයි දෙන්නව ඇතුලු කරන්නයි. විශාකා විද්‍යාලයට උත්සාහ නොකලේ ඒක ඉතාම අමාරු නිසයි. සිරිමාවෝ විදුහල්පතිනිය ජයසේකර මහත්මිය අපේ ඉල්ලීම සැනෙන් ප්‍රතික්ශේප කලා. ඊට පස්සෙ අභියාචනාවක් කරන්නවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දුන්නෙ නෑ. ඒ ගමන ළමයි දෙන්නව අක්කලගෙ ගේ ලඟ තියෙන රුවන්වැල්ලෙ තලවත්තෙ ස්කෝලෙට යැව්වෙ පොතට නම නොදා. ඒ අතර විවිධ උත්සාහයන් ගත්තා ස්කෝල ප්‍රශ්නෙ විසඳන්න. වැඩියෙන්ම මේ ගැන නැහුනෙ අපේ නෝනා තමයි. මේ අතර නිකං දවසක් විශාකා විද්‍යාලෙට ගොඩ උනා. විදුහල්පතිනි එදුස්සූරිය මැතිනිය මුණ ගැහුනා. අපේ කතාව අහගෙන හිටපු එතුමිය ළමයි දෙන්නව ගන්නම් කිව්වා. අපිට පුදුමයි, සංතෝෂයි. ළමයි දෙන්නගෙ ඉල්ලුම් පත්‍ර දෙක ඉල්ලගෙන බලපු එදුස්සූරිය මැතිනිය දෙන්නගෙ වාසගම්වල වෙනස දැකල ඒ ගැන ඇහුවා. ලොකු දුව අක්කගෙ දුව බවත් අපි භාරයේ අධ්‍යාපනය ලබන බවත් පැහැදිලි කරා.

“මිස්ටර් කන්නන්ගර, මම ඔය ළමයි දෙන්නව ගන්නම් කිව්වෙ ඔයාල ස්ථාන මාරු උන රජයේ සේවකයො නිසයි. හැබැයි ඒ මත ඥාති දරුවෙක් ඇතුලු කරන්න හැටියක් නෑ. මට කණගාටුයි. මම ඔයාලගෙ දුවව ගන්නම්. අනිත් කෙනාට වෙන ස්කෝලයක් හොයාගන්න.”

“මැඩම්, ලොකු දුව අපි ළඟ ඉඳල තමයි මොන්ටිසෝරි ගියෙත්. ඉතින් අපි දෙන්නවම එක ස්කෝලෙකට දාන්නයි බලන්නෙ.”

“මට පේනවා මේ ළමයි දෙන්නම එකට ස්කෝලෙගිය අය බව. ඒත් මට තියෙන නිදහස උඩ ඔයාගෙ ස්ථාන මාරුවට ගන්න පුලුවන් ඔයාගෙ ළමයව විතරයි. අනිත් ළමයා ගන්න බැරි එක ගැන කනගාටුයි” එදුස්සූරිය මැතිනිය කෙලින්ම කිව්වා.

“බොහොම ස්තූතියි මැඩම් ඔබතුමිය අපිට දක්වන අනුග්‍රහය ගැන. ඒත් අපිට ළමයි දෙන්නව වෙන්කරල ස්කෝලවලට දාන්න බෑ.”

“මට ඔයගොල්ලන්ගෙ හැගීම් තේරෙනවා. මට ගැටලුවක් වෙන දෙයක් කරන්න බැරි එකයි ප්‍රශ්නෙ”

“කමක් නෑ මැඩම්, ඔබතුමිය අපිට දුන්නෙ බොහොම වටිනා අවස්තාවක්. ඒක ගැන බොහෝම ස්තූතියි.”

“යම් විදියකින් අදහස වෙනස් වුනොත් එන්න. ඔයාලගෙ දුවව මම ස්කෝලෙට ගන්නම්” එතුමිය අපි ආපිට හැරුනමත් කිව්වා.

මේ ගැන සතිඅන්තෙ අක්කලගෙ ගෙදර ගියහම අක්කට කිව්වා. අක්ක කිව්වෙ අපේ දුවව විශාකා දාල ලොකු දුවට වෙන ස්කෝලයක් හොයමු කියලයි. මගේ අවසාන තීරණය ළමයි දෙන්නම යායුතු එකම ස්කෝලෙකටයි. එහෙම හොයාගන්න බැරි නම් දෙන්නම තලවත්තෙ ගේ ලඟ ස්කෝලෙටම ගියාවෙ යන්නයි. අපිට අදත් විශාකා විදුහල්පති එදුස්සූරිය මැතිනි ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්. කිසිදු බාහිර බලපෑමක් නැතුව රාජ්‍ය සේවකයො වීම මත පමණක්ම අපේ ළමයට අවස්තාවක් දෙන්න කෙලින් තීරණයක් ගැනීම ගැන. මාසයක් විතර ගත් උනා. තාම ළමයින්ට ස්කෝලයක් නෑ. මම සංචිතයේ. 

ඔය අතර අම්පාරෙ ජයසේන විදුහල්පතිතුමා අපේ ගෙදර ආවා. අම්පාර ඩී එස් සේනානායක විද්‍යාලෙ විදුහල්පති හැටියට ඒ වෙලාවෙ වැඩකරපු ජයසේන මහත්තය අම්පාරෙ බොහෝම ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම හැමෝටම උදව් කරන එක එතුමගෙ විනෝදාංශය කිව්වත් වැරදි නෑ. සමහර වෙලාවට ඒ වෙලාවෙ හම්බුවෙන මිනිහෙක්ගෙ ප්‍රශ්නයක් වෙනුවෙන් දවස් ගානක් මහන්සි වෙලා විසදුමක් හොයන්න ජයසේන මහත්තය කටයුතු කරා. කවුරුහරි ප්‍රශ්නයක් කිව්වොත් ඒක කරට අරගෙන ඒ ගැන කටයුතු කිරීම එතුමාගෙ සිරිත උනා. ඒ එක්කම කවුරුහරි පුංචිම පුංචි උපකාරයක් තමන්ට කරානම් ජයසේන මහත්තය ඒක හැමවෙලාවෙම කියල අගය කරනවා. අම්පාර නගරෙම සමුපකාර ගොඩනැගිල්ල ලඟ පදිංචි ජයසේන මහත්තය දීර්ඝ කාලයක සිට මගේ මිත්‍රයෙක් උනා. මෙන්න මේ ජයසේන මහත්තය අපේ ගෙදර ඇවිල්ල ළමයින්ගේ ස්කෝල ප්‍රශ්නෙ අහල කලබල උනා. කොලඹින් යන්න ඉස්සෙල්ල මේ ගැන බලනවා කියල ගිය ජයසේන මහත්තය හවස ඇවිත් සිරිසේන විතානගේ මහත්තයව හමුවෙන්න කියල කිව්වා. සිරිසේන විතානගේ මැතිතුමා අද්‍යාපන පරිපාලන සේවාවෙ ජේය්ෂ්ඨ නිලධාරියෙක්. බස්නාහිර පලාතෙ අධ්‍යාපන අතිරේක ලේකම් ලෙසයි ඒ වෙනකොට හිටියෙ. ජයසේන මහත්තයගෙ උපදෙස් උඩ මමයි, නෝනයි ගිහින් විතානගේ මහත්තයව හම්බුවෙලා අපේ ගැටලුව කිව්වා. බොහොම තැන්පත්ව අපේ ගැටලුව අහගෙන හිටපු සිරිසේන විතානගේ මැතිතුමා අන්තිමේදි කථාකලා.

“කන්නන්ගර මහත්තයා මමත් ඔයාල වගේ රජයේ සේවකයෙක්. මට තේරෙනවා ඔයාලට තියෙන ගැටලුව. මට ජාතික පාසැල් ගැන මොකුත් බලයක් නෑ. හැබැයි ඔය ළමයි දෙන්නව දාගන්න ඕන ඕනෑම පලාත් පාසැලක් කියන්න. බස්නාහිර පලාතෙ ඕනෑම පාසැලකට ළමයි දෙන්න ඇතුලුකරල දෙන්නම්. පස්සෙ ජාතික පාසැලක් ලැබුනොත් යතහැකිනෙ.”

විතානගේ මහත්තයගෙ කතාවත් ඇත්ත කියල වැටහුනා. ජාතික පාසැලක් හොයහොය දඟලන අතර ළමයින්ගේ අධ්‍යාපනය කඩාගන්නෙ නැතුව පලාත් පාසැලකට ළමයි ඇතුලු කිරීමට එවෙලෙම තීරණය කරා.

“විතානගේ මහත්තය, ඔබතුමා කියන දේ වැටහුනා. අපිට පුලුවන්ද ගෙවල් කිට්ටුව තියෙන කොට්ටාව ධර්මපාලෙට ළමයි දෙන්න දාන්න?” මම ඇහුවා.

“ඔවු අපි කතාකරමු විදුහල්පතිතුමාට” කියල දුරකතනයෙන් විදුහල්පතිතුමාට උපදෙස් දුන්න ළමයි දෙදෙනා පාසැලට ගන්න හැටියට. අපි ඊට පස්සෙ විදුහල්පති මෛත්‍රීපාල මහත්තය හමු උනා.

“සිරිසේන විතානගේ මහත්තය මගෙත් ගුරුවරයෙක්. එතුමා කවදාවක්වත් වැරදි වැඩක් කරන්න කියන කෙනෙක් නෙවෙයි. ඔබතුමාගෙ ළමයි ගන්න කියල එතුම කිව්වෙ ඒක කලයුතු වැඩක් නිසානෙ. ළමයි එක්කගෙන එන්න” කියල විදුහල්පතිතුමා කිව්වා. ළමයි දෙන්නව කොට්ටාවෙ ධර්මපාලෙට ඇතුලුකලා.

ඒ වැඩේ ඉවරකරල පූල් එකේ ඉන්න මට රස්සාවක් හොයාගන්න බැලුවා. රාජ්‍ය පරිපාලනේ ආයතන අංශෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරකට මාව පත් කලේ එතකොටයි. ආයතන අංශෙ වැඩ භාරගත්තු දවසෙම මට රාජ්‍ය පරිපාලනේ ජෙය්ෂ්ඨයෙක් දුන්න අවවාදෙ මෙහෙමයි.

“මේ ඔයාල දීර්ඝ කාලයක් ප්‍රාදේශීය පාලනේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තැන්වල ඉඳල, ප්‍රතිපත්ති හදන තැන්වලට ආවහම බලන්නෙ මිනිස්සු ඉල්ලන ඔක්කොම කරල දෙන්න. ප්‍රාදේශීය පාලනේට ඒක හරි උනාට ප්‍රතිපත්ති හදන තැන්වලදි මිනිස්සු ඉල්ලන ඔක්කොම කරල දෙන්න ගියොත් ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මෙහෙදි යමක් දෙන්න තීරණයක් ගත්තොත් ඒක ප්‍රතිපත්තියක් වෙනවා. ප්‍රාදේශීය පාලනේදි තීරණයක් කියන්නෙ ගැටලුවකට විසඳුමක්. මෙහෙදි තීරණයක් කියන්නෙ අලුත් ගැටලු රාශියක ආරම්භයක්. ඒක නිසා ඉස්සෙල්ලම ලැබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න ඕන. දෙවෙනි පාරත් ඉල්ලුවොත් අභියාචනය කියවල බලල ප්‍රතික්ෂේප කරන්න ඕන. තුන්වෙනි සැරේ ඉල්ලුවොත් ගැටලුව කුමක්ද කියල හොඳට අධ්‍යනය කරල ඒකට ඇති විසඳුම්, විසඳුම් නිසා පැනනැඟිය හැකි ප්‍රශ්න මොනවාද, ආදි පූර්ණ විස්තර සමඟ තමන්ගෙ නිර්දේශය ඉදිරිපත් කරන්න ඕන”

බලාගෙන ගියහම මේකත් ලේසි නෑ වගේ කියල හිතාගෙන වැඩේට බැස්ස. මට පැවරුනේ දේශපාලන පලිගැනීම්, ත්‍රස්තවාදී ක්‍රියා නිසා විපතටපත් උන රාජ්‍ය සේවකයින්ට සහන දීම්, විශ්‍රාම භාෂා ප්‍රතිපත්ති ආදී විෂයන් ඇතුලත් හතරවැනි ඒකකය. මගේ ආසන්නතම ප්‍රධානියා ආයතන අධ්‍යක්ෂ බී ජී කරුනාරත්න මහත්තයා. ආයතනාධ්‍යක්ෂ ජනරාල් බෙනඩික් සිල්වා මහත්තය අපි ඔක්කොගෙම ලොක්කා උනා. ලොක්කෙකුට වැඩිය මිත්‍රයෙක්ගෙ භූමිකාවට ප්‍රියකරපු කරුනාරත්න මහත්තය එක්ක වැඩකිරීමෙන් ගොඩක් දේ ඉගෙනගත්තා. යම්‍ යම් කරුනු අධ්‍යනය කරන්න මාව යොමුකරේ හරිම සූක්ෂම විදියට. හිටිගමන් මගෙ කාමරේට එන කරුනාරත්න මහත්තය,

“මල්ලි ලොකු වැඩකද උඹ ඉන්නෙ?” කියල ඉස්සරහ පුටුවෙ වාඩිවෙනවා.

“නෑ සර්, එච්චර ලොකු දෙයක් නෙවෙයි මේ පයිල් එකක් බැලුවා”

“මට අලුත් ගැටලුවක් ඇවිත් තියෙනවා. ඒක ගැන ටිකක් කියන්නයි ආවෙ” කියල ගැටලුව කියල, ඒකට අදාල නීතිමය පසුබිමත් විස්තර කරල, අලුතින් හොයන්න ඕන කාරනෙත් පෙන්නල, ඒක හොයන්න පරිශීලනය කරන්න ඕනෙ ලේඛනත් කියලයි යන්නෙ. දවස් දෙකකින් විතර කෑම කනකොට “උඹ අරක හෙව්වද?” අහනවා. මම අධ්‍යනයේ ප්‍රතිඵල විස්තර කරල මගෙ අදහස කියනවා. කරුනාරත්න මහත්තයගෙ මූණටම එයා දරණ මතයට විරුද්ධ මතේ කිව්වහැකි. ඒක අහගෙන ඉඳල, එයාගෙ අදහසක් කියල, පස්සෙ තවදුරටත් හොයල එයාගෙ මතේ වැරදිනම් ඒකත් පිලිගන්නවා.

හැමදාම උදේට ලොකු මහත්තයගෙ කාමරේට එකතුවෙන කරුනාරත්න, රොද්‍රිගු අධ්‍යක්ෂ දෙපල ඩී ඇම් සිරිසේන, පියසේන, මම, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුත්, සහකාර අද්‍යක්ෂ අබේදීර, දර්මදාස, සුමනසේන හා ජයසිංහ මිය යන ඔක්කොමල දවසේ කාර්‍යන් ගැන කතාකරල විසිරෙනවා. දවල් කෑම වෙලාවෙ සිරි අයියා, කරුනාරත්න මහතා, දර්මෙ,  අබේදීරගෙ කාමරේ කෑම කනවා. පස්වරු එකට කාර්‍යාලෙන් එලියට එන මම කාර් එකෙන් කොට්ටාවට ඇවිත් දුවල දෙන්නව ස්කෝලෙන් අරං ගෙදර බස්සවලා ආපහු යනවා. ඒකට පැයක් හමාරක් යනවා. උදේ හතහමාරට කාර්‍යාලෙට යන නිසා ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඒකාබද්ද සේවා අංශෙ නියෝජ්‍ය අද්‍යක්ෂ කෙනෙක් උන පී බී අබේකෝන් මහත්තයත් සමහර දාට මාත් එක්ක එකට විතර එලියට යනවා. මම උන්නැහැව බොරැල්ලෙ තුන්මුල්ලෙ එහෙම බස්සවල කොට්ටාවට යනවා.

ආයතන අංශෙ රාජකාරි මට බොහොම හොඳට අල්ලල ගියා. ප්‍රශ්නයකට විසඳුම හොයන්න ඊට අදාල නීති රෙගුලාසි පරිශීලනය කිරීම පුරුදු කලේ බී ජී කරුනාරත්න මහත්තය ආයතන අංශෙදි. ඩී ඇම් සිරිසේන අයියගෙනුත් බොහෝ අත්දැකීම් ලැබුනා. හැබැයි රාජ්‍ය සේවාවෙ දීමනා විශය කරේ එයා නිසා කිසිකෙනෙකුට ඉල්ලන හැටියට දීමනා ගන්න නම් බැරිඋනා. වැඩියෙන්ම රාජ්‍ය සේවකයින්ගෙන් බැනුම් ඇහුවෙ සිරි අයියා. අපි ඔය ගැන කතා කලහම සිරි අයිය කියන්නෙ,

“මල්ලි මම දෙන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නෙ. මුන් ඉල්ලන ප්‍රමානෙයි වැරදි. කාටහරි දහයක් ගන්න ඕනෙනම් සීයක් ඉල්ලන්න එපායැ! සීයට අනූවක් ඉල්ලන ගානෙන් කපන එකයි මගේ ජොබ් එක. ඉතින් දහයක් ඕනකමට විස්සක් ඉල්ලුවොත් හම්බු වෙන්නෙ දෙකයි. මම මගේ ජොබ් එක නොකර ඉන්නද?”
ඔන්න ඔහොමයි සිරි අයියගෙ කථාව!

ආයතන අංශෙ මගෙ කාමරේ හැම වෙලාවෙම මිනිස්සු. ඒ මම ඇහුම්කන් දීම පටන්ගත් නිසයි. රජයේ සංස්ථා, බැංකු ක්ශේත්‍රවල නිලධාරින්ගේත් දුක්ගැනවිලි මම අහගෙන සිටියා. පුලුවන් හැටියට අවශ්‍යතා ඉටුකලා. මේ නිසාම මා ළඟට එන පිරිස වැඩි උනා. පිරිස වැඩි නිසාම කරුනාරත්න මහත්තය මගෙ කාමරේට නම දැම්මෙ “ගම් උදාව” කියලයි!

“ගම් උදාවෙ” ඉඳන් කරපු වැඩ කීපයක් ඉදිරියෙදි ලියන්න ඕන…

5 thoughts on “අම්පාරෙන් කොලඹට(ක්‍රියාකාරකමෙන් ප්‍රතිපත්තියට)

  1. රාජ්‍ය සේවකයන් වන ඔබතුමාලාටත් ළමයි පාසලට ඇතුලත් කරන එක මේ වගේ අමාරු නම් අනිත් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද 🙂

    Like

  2. ඔබතුමා නැවත ඇම්පාරට පමිනිම සහ ඔබතුමා සමග 2006 -2009 දක්වා වැඞ කිරිමට ලබිම ගැන මම ගොඩක් සතුටුවෙනව. මම වැඩ කරපු රජය නිලඩරින් ගෙන් හම්බවුනු උසස්ම රජය නිලධාරියෙක් – මම එරoගි ප්රනාන්දු, Oxfam GB

    Like

    1. නැතුව.හරියට හැමදාම මගුරුගඟේ දියබුං ගහල නාපු මට පොල්කට්ටකට වතුරදීල නාපිය කිව්වවගේ උනා.මමත් ඇරියෙ නෑ.ටිකදවසක් ගිහින් ලොක්කට පේන්නවැඩදෙකක්දාල විශ්වාසෙ දිනාගෙන පටන්ගත්ත සුපුරුදුවැඩේ.අසාධාරනේට පිහිටවීම නොහොත්සිරිසඟබෝවෘතය රැකීම.ඒවායින් එකක් දෙකක් ලියන්නම්කො.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s