“සක්‍රිය සේවයෙන්” සමු ගත් ගුරුතුමා

කොලඹ අමාත්‍යංශෙක රස්සාව කරනකොට ලිපි සහ ගොනු එක්ක රාජකාරි කරනව කියලනෙ හිතෙන්නෙ. හැබැයි ඔය ලිපි සහ ගොනු වලට යටවෙලා මිරිකිලා තදවෙලා ඉන්න මනුස්ස පරාණත් තියෙන වග හුඟක් නිලධාරින්ට තේරෙන්නෙ නෑ. මේ විදියෙ ලිපිගොනුවක් කියෝනකොට ඒක ඇතුලෙ හැංගිල තියන මිනිස්සුන්ගෙ ජීවිත කියවන්න පුලුවන්නම් කොයිතරම් හොඳද? අවාසනාවට මේ මිනිස් ජීවිතවල කතාන්දරේ අර ගොනුව පරිහරණය කරන නිලධාරින් බොහොමයකට තේරෙන්නෙ නෑ. ඒකට හේතුව ඒ නිලධාරින්ගෙ වරදම නෙවෙයි. රාජ්‍ය සේවාව හැඩගස්සවල තියෙන ආකාරයේ ප්‍රශ්නය. රාජ්‍ය සේවාව හැඩ ගැහිල තියෙන්නෙ යමක් ඉල්ලා සිටිනවනම් නොදීමට ඇති ඉඩකඩ හොයන්නයි. ඒ අනුව පුද්ගලයෙක්ගෙ ප්‍රශ්නයක් වේවා, රජයේ නිලධාරියෙක්ගෙ ප්‍රශ්නයක් වේවා රජයේ කාර්‍යාලෙකට ඉදිරිපත් උනොත් ඒ ගැන කටයුතු කරන විෂයභාර ලිපිකරු නිලධාරියා බලන්නෙ ඉල්ලපු සහනය නොදීමට තියෙන කරුණු මොනවද කියලයි. ඊලඟ මට්ටමේ මාණ්ඩලික නිලධාරියත්, කාර්‍යාල ප්‍රධානිනුත් බලන්නෙ එහෙමයි. බොහෝ වෙලාවට රාජකාරි උපදෙස් තියෙන්නෙ චක්‍රලේඛන වලනෙ. ඒ උපදෙස් සියල්ල කාරණාව ඉටුනොකරන්න තියෙන දේ හැටියට බැලුවම අර ප්‍රශ්නෙ ගෙනාපු එකාට අබ සරණම තමා!

අනිත් ප්‍රධානම කාරණය තමයි රජයේ කාර්‍යාලවල ඉන්න නිලධාරින්ගෙ දැනුම බොහොම සීමිත පරාසයක් තුල සීමාවී තිබීම. විශේෂයෙන් මාණ්ඩලික නිලධාරින්ගෙ දැනුම පුලුල්වෙලා තියෙනවනම් චක්‍රලේඛනවල තියෙන බාධා මග අරින්න පුලුවන් ව්ධිවිධාන හොයාගන්න පුලුවන්. බොහෝ මාණ්ඩලික නිලධාරින්ගෙ දැනුම අදාල විෂය සීමාවට සීමා උනාම එතන රාමුවෙන් පිට විසඳුම් හොයාගන්න බැරි වෙනව. එහෙම නොවෙන්න නම් මාණ්ඩලික නිලධාරින්ට හෑම විෂයක් ගැනම සාමාන්‍ය අවබෝධයක්වත් තියෙන්න ඕනා. නීතිරීති ගැන වගේම ඒ නීතිරීති වල ගැටලු නිරාකරණය කල ඉහල අධිකරණවල නඩු තීන්දු එහෙම අධ්‍යනය කරල හොඳ දැනුමක් ඇතිව ඉන්නවනම් බය නැතුව තීරණ ගන්න පුලුවන්. ඒ වගේම ගතානුගතිකවීමත් දුර්වලතාවයක්. මෙතෙක් කෙරුණ විදිය තමයි නිවැරදි කියල හිතල ඒ අනුව තමනුත් කටයුතු කිරීම බොහෝ නිලධාරින්ගෙ පුරුද්දක්. ඒකෙනුත් ප්‍රශ්නයට සාර්ථක පිලිතුරු හෙවීම අපහසුවෙනවා. තවත් ප්‍රශ්නයක් වෙන්නෙ තීරණයක් ගත්තොත් තමන්ට ලෙඩක් වැටෙයි කියල හිතෙන හැඟීම. මේකත් මම දැකපු ලොකු ප්‍රශ්නයක්. බොහොමයක් තීරණ ගන්න ඕන නිලධාරින් මේ හැගීම නිසා තීරණ ගැනීම කල්දාගන්න විවිධ උපක්‍රම යොදනවා. ප්‍රධානම උපක්‍රමය තමයි විවිධ නිර්දේශ ඉල්ලා සිටීම. ඒව එකවර කියන්නෙත් නෑ. එකක් ගෙනෑවම තව එකක් කියනවා. ඊලඟට ඉදිරිපත් කරපු එකක අඩුවක් හොයල පෙන්වනවා. මේ විදියට ප්‍රධාන තීරණය කල්දාගැනීම සමහරු කරන්නෙ තමන්ට ලෙඩක් වැටෙයි කියලයි.

මේ සේරම මගේ සිහියට ආවෙ රාජ්‍ය පරිපාලනේ ඉන්න කාලෙ සම්බන්දවුනු අපූරු ප්‍රශ්න විසඳිල්ලක් ගැන මතක් උන නිසයි. රාජ්‍ය පරිපාලනේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව නැත්නම් ආයතන අංශෙන් කරන්නෙ ආයතන සංග්‍රහය නැත්නම් ඒ.ආර් එක කියන නීති සංග්‍රහයට අර්ථ නිරූපන දීමයි, චක්‍රලේඛන නිකුත් කරල ඒව ගැන මතුවෙන ගැටලු නිරාකරණයයි, ඊට අනුශංශික කාරණා වල නිරත වෙන එකයි. මම එතන ඉන්න කාලෙ ඒකක අටක් හැටියට වෙන්කරල එකේ සිට හතර දක්වා ඒකක නියෝජ්‍ය අධක්ෂවරු භාරයෙත්, පහේ සිට අට දක්වා ඒකක සහකාර අධ්‍යක්ෂවරු භාරයේත් පවත්වාගෙන ගියා. එකේ සිට හතර දක්වා ඒකක ක්‍රියාත්මක උනේ ප්‍රතිපත්තිමය කරුණු ගැන තීරණ ගන්නා අංශ හැටියටයි. හතරෙ සිට අට දක්වා ක්‍රියාත්මක කිරීම් අංශ කිසියම් රජයේ ආයතනයක් සිය රාජකාරි කටයුතුවලදි ආයතන සංග්‍රහයේ හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයක කියවෙන දේ පිලිබඳව ගැටලුකාරී තත්වයක් ඇතිඋනහම ආයතන අධ්‍යක්ෂ විමසනවා. ඒ ලිපි යන්නෙ ක්‍රියාත්මක කිරීම් ඒකකවලට. තවත් අවස්ථාවල යම් කරුණකදී ආයතන සංග්‍රහයේ හෝ වෙනත් රීතියක කටයුතු කලයුතු අන්දම ගැන පැහැදිලි උපදෙස් නැතිනම් ඒත් ආයතන අධ්‍යක්ෂ හෝ රාජ්‍ය පරිපාලන ලේකම් විමසිය යුතුයි. එබඳු විමසීම් ප්‍රතිපත්ති කරුණු ගැන කටයුතු කරන ඒකක වලට යොමු වෙනවා. සමහර වෙලාවට ක්‍රියාත්මක කිරීම් ඒකකත්, ප්‍රතිපත්ති පැහැදිලි නැත්නම් ප්‍රතිපත්ති ඒකකවලට ගැටලු යොමු කරනවා. අපේ ආයතන අංශෙ වැඩකටයුතු උනේ ඔහොමයි. හැබැයි අපි අතර තනතුරු භේදයක් නැතිව ලොකු මිත්‍ර කමක් තිබුනා. බී.ජී කරුනාරත්න, රුද්‍රිගු කියන අධ්‍යක්ෂවරු දෙන්නයි, පියසේන, සිරිසේන හා මම නියෝජ්‍ය අධ්‍යක්ෂවරුයි, ධර්මදාස, සුමනසේන, අබේදීර, ජයසිංහ නෝන සහකාර අධ්‍යක්ෂවරුයි එකට කෑම කාල විහිලු කරල සතුටින් හිටියා. 

දෙවැනි ඒකකය භාරව හිටපු සිරිසේන නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා ජේයෂ්ඨ නිලධාරියෙක්. එතුමා ජනාධිපතිවරු දෙන්නෙක් යටතේ ඒ කාර්‍යලවල රාජකාරි කරල තිබුන නිසා හොඳ රසකතා රාශියක් දන්නවා. ආයතනික කටයුතු ගැන හොඳ දැනුමක් තිබුන එතුමාට මම කතාකලේ සිරි අයියා කියලයි. සිරි අයියා තමයි රජයේ නිලධාරින්ගෙ අතිරේක දීමනා අනුමැතිය බාරව කටයුතු කලේ. රජයේ නිලධාරින්ට ගෙවිය යුතු දීමනා තීරණය කිරීම, සාමාන්‍ය වන්දි ගෙවීම් ගැටලු ආදිය ඒ අංශෙන් තමයි බලන්නෙ. එක එක රජයේ ආයතන දීමනා හැටියට යෝජනා කරන ලොකු ගණන් සිරි අයියගෙ පෑන් පාරින් පුංචි ගණන් බවට පරිවර්තනය වෙන එක සාමාන්‍ය දෙයක්. මේ නිසාම රජයේ නිලධාරි ලොක්කො සිරි අයිය එක්ක තරහයි. හැබැයි මූණට බොහොම හොඳ පෙන්නනවා. නැතිතැන බනිනවා. සිරි අයියා රජයේ වැයබර ගැනත් හිතල තමයි දීමනා අනුමත කරේ.

“මල්ලි, මමත් කැමතියි මුන් ඉල්ලන ගණන් අනුමත කරල හොඳ මිනිහ කියල අහගන්න. ඒ වුනාට ඒව ගෙවන්න වෙන්නෙ අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ හාල් ටිකට, සීනි ටිකට, පරිප්පු ටිකට ගහන බද්ද වැඩි කරලනෙ. දැනටමත් බඩට කන්න බැරි දුප්පත් එවුන්ගෙ බඩට ගහල දීමනා ගන්න අපට බෑනෙ.” කියල සිරිඅයියා අපිට කියනවා. 

බලාගෙන ගියහම ඒක සම්පූර්ණ ඇත්ත.

සිරි අයියා වැඩිය නිවාඩු ගන්නෙත් නෑ. හැමදාම වැඩට එනවා. කාටත් එකවගේ හිනාවෙනවා. කතා කරනවා. හැබැයි රාජකාරියෙදි කිසිම පක්ෂග්‍රාහී බවකින් තොරව වැඩකලා. මෙහෙම හිටපු සිරි අයියට දින දෙකක නිවාඩුවක් යන්න අවශ්‍ය උනා.

“මල්ලි, මට පොඩි නිවාඩුවක් ගන්න වෙලා තියෙනවා මගෙ යුනිට් එක දවස් දෙකකට බලා ගන්න පුලුවන්ද?” දවසක් සිරි අයියා ඇහුවා.

“හරි සිරි අයියෙ, මම බලාගන්නම්. අයිය නිවාඩු යන්න” මම කිව්වා. සිරි අයියා නිවාඩු ඉල්ලුම් පත්‍රයෙ වැඩ බලන නිලධාරි හැටියට මගෙන් අත්සන් ගත්තා.

ඔන්න දැන් සිරි අයියගෙ දෙවනි යුනිට් එකත් මම බලන දවස. දවල් දහයට විතර ඒකක ප්‍රධානී ලිපිකරු මහත්තය මගේ ලඟට වයස අවුරුදු පනහක විතර පෙනුමක් තියෙන කාන්තාවක් එක්ක ගෙන ඇවිත් මේ අයගෙ ගැටලුවක් තියෙනවා කතාකරන්න කියල ගියා. මම අර කාන්තාවට වාඩිවෙන්න කියල බලමින් හිටපු ලිපි ගොනුව පැත්තක තියල කතාව පටන් ගත්තා.

“මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඇහුවා.

“ඔව් මම සෑහෙන්න රස්තියාදු වෙලා තියෙනවා මහත්තයගෙ වන්දිය ගන්න. ඒක ගැන බලන්නයි අද ආවෙ” කාන්තාව කිව්වා.

“ඉතින් මොකක්ද ප්‍රශ්නය?” මම ආයිත් ඇහුව.

“දැන් මේ ප්‍රශ්නෙ කන්තෝරු ගානක අයට කියලම මට ඇතිවෙලා. හැමෝම ප්‍රශ්නෙ අහනවා, ඒව මේව කඩදාසි එකතු කරනවා, පයිල් අදිනවා විතරයි. එක්කො අපි ඉවර වෙන්න ඕන නැතිනම් ප්‍රශ්නය ඉවර වෙන්න ඕන. දෙකෙන් එකක්වත් වෙන්නෙ නෑ.”

“මම හිතනවා ඔබතුමිය කලකිරීමකින් කතාකරන බව. ඒත් මේ ප්‍රශ්නෙ පයිල් එකකින් බලනවට වැඩිය කටින් අහගන්න එකට යන වෙලාව අඩුයි. අනිත් එක කටින් කියන කොට මතුවෙන ප්‍රශ්න මට අහල පැහැදිලි කරගන්නත් පුලුවන්. කැමතිනම් ප්‍රශ්නය කියන්න. මට බල කරන්න බැහැ. හැබැයි නොකිව්වත් මම පයිල් එක බලල පුලුවන් දෙයක් කරන්න බලනවා.”

“සමාවෙන්න සර්, මම මේ ප්‍රශ්නෙන් තදින් පීඩා විඳින කෙනෙක්. මගේ මහත්තය යුධ හමුදාවෙ ඉඳල නැති උනා. මහත්තය වෙනුවෙන් වන්දි තවම ලැබුනෙ නෑ. මම ගුරුවරියක්. ළමයිත් එක්ක ඉන්නෙ බදුල්ලෙ. මේ වැඩවලට කොලඹ යන්න එන්න ගියහම ලොකු හිරිහැරයක්. දැන් අවුරුදු තුනකටත් වැඩිය ගියා. යුධ හමුදාවටයි, අධ්‍යාපන කන්තෝරුවටයි ගිහින් කඩදාසි හදාගත්තම වන්දිවලට කොමිටියක් තීරණය කරන්න ඕන කිව්ව. කොමිටිය තීරණය කරහම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයක ප්‍රශ්නයක් කිව්ව. ඒක ගැන කටයුතු කරන්න ඉල්ලීම් කරල මාස ගානක් ගිහිල්ල අන්තිමට කිව්ව වන්දි ගෙවන්න හැටියක් නෑ කියල. ඒකට අභියාචනයක් කරල මේ ඉන්නෙ. ඒගැන බලන්නයි අද බදුල්ලෙ ඉඳලා ආවෙ.” කාන්තාව කියාගෙන ගියා. අවසාන හරියෙ ඇඬුම් ස්වරයෙනුයි කිව්වෙ. මට හරියට තේරුනේ නෑ. හමුදා නිලධාරින්ට වංදි ගෙවීම ආරක්ෂක අමාත්‍යංශෙ මිසක් අපේ සම්බන්ධයක් නෑ.

“මැඩම් කරුණාකරලා කියන්න පුලුවන්ද මහත්තය හමුදාවෙ කෙනෙක් නම් ඇයි අපේ ලඟට ප්‍රශ්නෙ එන්නෙ කියල? මොකද මම මේ කාර්‍යාලෙට ලඟදි ආවෙ. ඒ නිසා මම ඔක්කොම දන්නෙ නෑනෙ. මම දන්න හැටියට හමුදා වංදි ගෙවන්නෙ යුධ හමුදාවෙන්.”

“නෑ සර්, මහත්තයයි මමයි දෙන්නම ගුරුවරු. මහත්තය ස්වෙච්ජා හමුදාවට බැඳිලයි හිටියෙ. ඒ ඉන්න අතර ඒ අයව යුද්දෙට කැදෙව්වා. මහත්තයා උතුරට ගියා. අවුරුදු තුනක් විතර යුධ බිමේ ඉන්න කොට මහත්තය හිටි කෑම්ප් එක කොටි වට කරලා ගැහුවා. ඒත් කෑම්පෙකත් බේරගෙන ඉන්න අතර දවසක රාත්‍රි නින්දෙදි මහත්තයට පපුවෙ අමාරුව හැදිලා. රෝහලකට ගෙනියන්න බෑ ගොඩබිමින් වාහන යන්න බෑ කොටි නිසා. රාත්‍රියෙ හෙලිකොප්ටර් යන්නත් බෑ. ඒ නිසා පාන්දර මහත්තයා නැතිඋනා. හමුදාවෙන් මිනිය ගෙනත් දීල අවමගුල් කටයුතු දාන මාන සේරටම උදව් කරා. ස්වේච්ජා හමුදාවෙ සාමාන්‍ය මරණවලට වන්දි ස්ථිර රැකියාව කරන තැනින් දෙන්නෙ කියල අධ්‍යාපනෙන් වංදි ගෙවන්න බැලුවම ඒගැන කටයුතු කරන්න කොමිටියකට දාන්න කිව්ව. කොමිටිය පත්කරගන්න අවුරුද්දකට වැඩිය ගියා. අන්තිමට කොමිටි තීරණය තියෙන්නෙ රාජකාරියෙ යෙදී සිටියදී සිදුවූ මරණයක් නම් වසර පහක වැටුප ඇතුලු අනිකුත් සහන හිමිවේ කියල. වන්දි ගෙවන්න ගියහම රාජකාරියෙ යෙදී සිටියදී නෙවෙයි, මේ සිද්දිය නිදා සිටියදී වෙලා නිසා ප්‍රශ්නයක් මතු උනා. ඒ ගැන පලාත් සභාව මෙහෙන් ඇහුවා. මෙහෙන් තීරණය ගියේ රාජකාරියේ යෙදී සිටියදී සිදුවූ මරණයක් බව නොපෙනේ කියල. ඒකට අභියාචනයක් එවලත් දැන් මාස දෙකකට ලගයි” කියලා විස්තරේ පැහැදිලිව කිව්වා.

දැන් විස්තරේ පැහැදිලියි. රාජකාරියේ යෙදීසිටියදී විපතට පත් වන රාජ්‍ය නිලධාරින්ට වන්දි ගෙවීමට අදාල විධිවිධාන අනුව කෙරෙන කටයුත්තක් බව පැහැදිලි උනා. වහාම සිරි අයියගෙ ඒකකයෙන් ලිපි ගොනුව ගෙන්වාගෙන බැලුවා. විෂය ලිපිකරු සමගද සාකච්ජා කලා. වන්දි ගෙවීමට පෙර චක්‍රලේඛනයෙන් ආවරණය නොවන කරුණක් ලෙසයි මෙය අංශයට යොමුවී ඇත්තේ. 

රාජකාරියේදී සිටියදී මියගියා නම් අවුරුදු පහක වැටුප ලබාගන්න පුලුවන් වන්නේ අනතුරකින් හෝ ත්‍රස්තවාදීන් අතින් මියගියේනම් පමණයි. මෙතන ගැටලු දෙකක් නිරීක්ෂනය වී තිබුනා. එකක් මරණය ස්වාභාවික මරණයක් වීම. දෙවැන්න රාජකාරියේදී යෙදී සිටියදී සිදුවූ දෙයක් නොවීම. මේ කරුණු දෙකම නිලධාරියාට අවාසිදායක ලෙස බලපා තිබුනා. ඒ අනුව සිරි අයියා තීරණය කර තිබුනේ රාජකාරියේ යෙදී සිටියදී වූවක් නොවන බැවින් වන්දි ගෙවීමට විධිවිධාන නැති බවටයි. එම තීරණයට එරෙහි අභියාචනයටත් ඊට වඩා පිලිතුරක් බැලූ බැල්මට ඇත්තේ නෑ. මේකට කලයුත්තේ කුමක්ද? මරණය හෘදාබාධයක් වීම ගැන නම් යම් ආකාරයක තර්කයක් ගොඩනැගිය හැකියි. ත්‍රස්තවාදීන් වටකර පහරදීමක් වන අවස්තාවක කඳවුර පිලිබඳ වගකීම පවරා තිබූ ඉහල හමුදා නිලධාරියෙකු මත පවතින පීඩනය නිසා ඔහුට හෘදයාබාධයක් ඇතිඋනා විය හැකියි. ඒත් මරනයට හේතුවූ ආබාධය නින්දේදී වූවක් බව මරණ පරීක්ෂණ ලියවිල්ලේ පැහැදිලිව තියෙනවා. නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී යන්නට “නිවසේ සිටියදී” යන්නත් ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මියයන රජයේ නිලධාරින්ට වන්දි ගෙවීමේදී ඇතුලත් උනා. නමුත් එම චක්‍රලේඛනය මේ නිලධාරියාට අදාල නෑ. මොහුට අදාල රාජකාරියේ යෙදී සිටියදී මරණයට පත් වන නිලධාරින්ට අදාල චක්‍රලේඛනයයි. කොහොම හරි නිලධාරියා රාජකාරියේ යෙදී සිට නැත්නම් වන්දි ගෙවිය නොහැකියි.

යුධ හමුදා වන්දි ක්‍රමය අදාල වන්නේ යුද්ධයෙදී ප්‍රහාර වලින් මියයන අයටයි. ස්වේච්ජා හමුදාවට අවශේෂ වන්දි ගෙවන්නේ ස්ථිර සේවා ස්ථානයෙන් බව මේ ගැන යුධ හමුදාව එවූ ලිපියේ සඳහන්ව තිබුනා. එම ලිපිය යලිත් කියවා බලන විට එහි තිබූ එක වචනයක් මගේ අවධානයට යොමු වුනා. “සක්‍රිය සේවයට කැඳවනු ලැබ සිටි මෙම නිලධාරියා” යන කොටස දෙස බලාගෙන ඉන්න කොට මතක් උනා ගැසට් පත්‍රයේ සඳහන් ජනාධිපතිවරයාගේ නියෝග. ඒවයේ තියෙන ගාම්භීරභාවයත් භාෂා විලාසයත් නිසා ගැසට් එකේ එම නියෝග ගැසට් එක බලනකොට බලන්න මම කැමැත්තක් තිබුනා. එතකොට මතක උනා ස්වේච්ජා හමුදා සේවයට කැඳවීම ජනාධිපති විසින් කරන්නක් බවත් එහිදී සක්‍රිය සේවයට කැඳවීම යන වචනය යොදා ඇති බවත්. එසේනම් ජනාධිපතිවරයා සක්‍රීය සේවයට කැදවන හමුදාවක් සේවය නිමකරන්නේ එම නියමය අවලංගු කරන තවත් එබඳු නියමයකින් බව තර්කානුකූලව ගොඩනගා ගෙන යලි කල්පනා කිරීමේදී ස්වේච්ජා හමුදාවක් සේනාධිනායකයා විසින් සක්‍රිය සේවාවට කැඳවූ පසු යලි එම නියෝගය අවලංගු කරනතාක් නිලධාරින් රාජකාරියේ යෙදී සිටින බව නිල වශයෙන් පෙන්විය හැකිබවත් ඒ අනුව මේ නිලධාරියා රාජකාරියේ යෙදී සිටියදී මියගිය බවට පෙන්විය හැකි බවත් පැහැදිලි උනා. මම යලිත් අදාල ගුරුතුමියට කතාකලා.

“මැඩම්, ඔබතුමියට පුලුවන්ද මම දෙන ලිපි දෙක අරගෙන ගිහින් හෙටට කලින් උත්තර ගේන්න? එකක් ස්වේච්ජා බලසේනා මූලස්ථානයට, අනික අධ්‍යාපන කාර්‍යාලය කොලඹට?”

“සර් හමුදාවෙන් නම් අදම උනත් පුලුවන්. අධ්‍යාපනෙන් තමයි ප්‍රශ්නෙ!”

“හරි අධ්‍යාපනයට මමත් කතාකරන්නම්. මට එහෙන් ඕනෙ මහත්තය හමුදා සේවෙට නිදහස් උන දිනේ තහවුරු කරලා. හමුදාවෙන් ඕනා ස්වේච්ජා හමුදා සේවෙට කැදවපු ගැසට් එකේ කොපියක්.”

මේ අවශ්‍යතා ඉල්ලා ලිපි දෙක සකස්කරවල ඒ මැඩම් අතට දුන්නා. “මැඩම් උත්තර හෙට උදේ වරුවෙවත් ගේන්න” කියල කිව්වා. අධ්‍යාපනේට බස්නාහිර පලාත් කාර්‍යයාලෙට කතා කරල හෙටම පිලිතුර එවන්න කිව්වා. අදාල ගුරුතුමා හමුදා සේවයට යාමට පෙර සේවය කර තිබුනේ බස්නාහිර පලාතේ. පහුවදා දහය වෙනකොට අදාල තොරතුරු ලැබුනා. ඒවා සේරම ඇතුලත් කරලා පිටු
දෙකක සටහනකින් කරුනාරත්න සර්ට කරුණු පෙන්නුවා. ගොනුව අතින්ම අරං ගිහින් සර්ට කතාකලා. මගේ තර්කෙට එකඟයි. එයත් පිටු භාගෙක සටහනක් ගැහුවා .බෙනඩික් සිල්වා සර් ලඟට ගියා. කථාව කියලා පයිල් එක දුන්නා. එකඟයි කියල කොක්ක ගහලා මගෙ අතටම ගොනුව දුන්නා. ආපහු එනකොට කරුනාරත්න සර් කතා කරා.

“මල්ලි, ඕකෙ ලියුම යවල පයිල් එක මට එවන්න කියපන් යුනිට් එකට”

මමත් හා කියල “මෙම නිලධාරියා සක්‍රීය සේවය අතරතුර රාජකාරියට අදාලව සිදුවූ පීඩාකාරි වාතාවරනය නිසාවෙන් හෘදයාබාධයකින් මියගොස් ඇති බැව් පෙනී යන බැවින් සේවය යෙදී සිටියදී වූ මරණයක් සේ සලකා අදාල චක්‍රලේඛනයේ සහන සැලසීමට බාධාවක් නැත.” යනුවෙන් ලිපියක් ඌව පලාත් ප්‍රධාන ලේකම්ට යවා පිටපත “මෙන්න මැඩම් ඔබතුමිය බලාපොරොත්තු වූ ලියුම. දැන් ගිහින් වැඩේ කරගන්න” කියලා දුන්නා. ලිපිගොනුව කරුනාරත්න සර්ට දෙන ලෙස ලිපිකරුට කිව්වා. 

මාසෙකට විතර පස්සෙ කරුනාරත්න සර් කෑම කන වෙලාවෙ සිරි අයියට මගෙ ඔය කෙරුවාව කියලා, “අන්න සිරි උඹේ පයිල් එක මගෙන් අරගනිං. උඹට අහුවෙලා ඕක වෙනස් කරයි කියල මම පයිල් එක ගත්තෙ” කිව්වා. සිරි අයියත් හයියෙන් හිනාවෙලා මගෙ අත්දෙක අල්ලගෙන, “මල්ලී ඔයා හරි. අවංකවම ඔයවගේ තීරණයක් ගන්න තරං මම නිර්භීත නෑ” කියල මට ප්‍රශංසා කරා!

15 thoughts on ““සක්‍රිය සේවයෙන්” සමු ගත් ගුරුතුමා

  1. හමුදාවේ වගේම රාජ්‍ය සේවකයන්ට නීත්‍යානුකුලව ලැබිය යුතු දේවත් නොලැබී යන එක වළක්වන එක ලොකු දෙයක්.

    Like

  2. ඔබතුමාගේ අත්දැකීම් සහ හැකියාවන් රාජ්‍ය සේවාවේ ගුණාත්මක සහ කාර්යක්ෂම තාවය ඉහල දැමීමට උපකාරවන වැඩපිළිවෙලක් සකස් කරන්න. මේ දැනුම හැකිතරම් සන්නයනය කරන්න. රාජ්‍ය සේවයේ නවකයන් මේ බ්ලොග් සටහන් කියවන්න යොමුකරන්න. රාජ්‍ය සේවයේ රෝදවලට තෙල් වැටෙනවා කියන්නේ කටත් සුභ දෙයක්. බොහොම ස්තුතියි.

    Like

  3. කරල තියන්න පින්කමක්
    නමුත් සක්රිය ස්වය ත් රුම් ගන්න බැරි අයත් අමාත්යංශ ද්ක්ම ඉදල තියනව
    ඒ වග් අය තවත් අැති
    අදටත් ඇති
    ඒ අයව හදන්න තියන කුරම ව්දය මකක්ද
    නදියුණු රටවල්වල ක්රමව්ද සම්බන්ධව පරියශණ කරනව අඩුයි

    තියන වැරදි ප්රතිපත්ති ඉවත් කල හැකිනම් පුණ්ය ගංගා වනව
    දැන් කන්නන්ගර මැතිතුමා නිදහස් අද්යාපනය හැදුව එය පුණ්ය ගංගාවක්
    ඇතුලත්මුදලි මැතිතුමා මහපල හැදුව එය පුණ්ය ගංගාවක්
    ගුවන් විදුලි රූපවාහිනී පනිසිලන් ඇස්ප්රින් ආදිය හයා ගත්තු අය පුණ්ය සාගර හදාගත්තු අය
    ම් රට් ප්රතිපත්ති හදන්න නම් වනස් කරන්න නම් ද්ශපාලනය ඹ්න
    වෘත්තීය පලපුරුදු අය ද්ශපාලනයට එන්න ඹ්න
    නමුත් ඹවුන් එනව අඩුයි
    මුදල් බලයයි මැර බලයයි නැති අයට ම් රට ද්ශපාලනය බැරි තත්වයට අවිල්ල

    අන්තිමට බැලුවහම මකක්ද වලා තියන්න
    වැඩය නකරපු අයට අඩු තරමින් නිදහසට කරුණු අහලවත් තියනවද
    වැඩය කරපු අයට සතුටයි පිනයි විතරයි
    රාජ්ය ස්වය දන දයක් කාල කියන දයක් අහගන ඉන්න තත්වය අය ඉන්නව

    අද්යාපනය නම් තියනව ස්වස්ථ සැසි කියල ජාතියක්
    25% විතර ප්රයා්ජනවත් බවක් තියනව ප්රගති සටහන් වල නම් ලියන්න 99% තියනව කියල
    ඒව වලදි ඔක්කම එකතුව එකිනකා සමග කථාබස් කරන එක අදුන ගන්න එක හුගක් ප්රයා්ජනවත්
    එයින් නවක අයට පලපුරුදු අයව අදුන ගන්න ලැබනව

    මහම නිලධාරි හැදන අනිත් හ්තුව තමයි ම් තියන අද්යාපන ක්රමය විභාග ක්රමය
    හද ලමය නවයි ත් රන්න ආත්මාර්ථකාමී දක්ෂ ලමය
    ඹය රාජ්ය පරිපාලනය අය් යලග වැඩ වන්න ඇති දැන් ඉන්න හමහර අද්යාපන අද්යක්ෂල ඉස්කා්ලක එක දවසක්වත් උගන්නල නැහැ
    චක්කර ල්ඛන බල බල ඉන්නයි ලියුම් ලිය ලිය ඉන්නයි මටද අද්දියාපන දැනුමක් කියල හිතුවද දන්න නැහැ
    විවෘත විභාගයන් ආපු අය
    ඉතින් නිපුනතා නැති හින්ද නව නිර්මාණ නැහැ
    ඉතින් අර වදපු නැති අය වදනහැටි කියා දනව වග් තමයි වැඩ

    මිනිස්සු පුද්ගලික වාහන අරගන පදු ප්රවාහන අතහරිනව
    ඒ වග් හුගක් මිනිස්සු දැන් පාසල අත හැරල
    ඹය විභාග ප්රතිපල හුගක් ඒව ටියුෂන් පන්තිවල ඒව මිසක් පාසල් වල එ්ව නවයි
    මතුගම අවට දමළ අද්යාපනය දුර්වලයි
    මම දමළ ටිකක් පුලුවන් කරගන බලල තියනව
    මට බලයක් තියනව නම් දමළ ලමයි ඉන්න පාසල් වලට මුස්ලිම් ගුරුවරු දාන්න නැහැ
    හින්දු දමල ලමයි හුගක් අහිංසකයි හුගක් සිංහල මිනිස්සු ඒ බව දන්නව අඩුයි
    මම ඹවුන්ට කියන්න සිංහලට එන්න බුද්ධ ධර්මයට එන්න එයින් ඹවුන්ට ලැබන ප්රතිලාභ අධික බවයි

    පින් විතරක් තියන්න බුද්ධාගම බුද්ධ ධර්මය පිනුයි කුසලයයි දකම කරන්න අවශ්යයි
    බුදුහාමුදුරුවන් වහන්ස බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නවයි
    මතුගම අවට කුම්භාණ්ඩ හලය මිනිස්සු වැඩි දනක් බුද්ධ ධර්මය දන්න නැහැ
    වැඩිදනක් පරම්පරා ගණනකින් නිවැරදි බුද්ධ ධර්මය අහලවත් නැහැ

    Like

  4. සිරිසේන නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා නරක අදසකින් වැඩ කලේ නෑ. එනමුත් ඔබතුමාට ඇති බහුශ්‍රැත කමත් ප්‍රඥාව ත් තිබුනු කෙනෙක් නං නෙවෙයි.ඔබතුමා නං ඔහොම තියන්න වටින්නෙ නෑ. මුලු රාජ්‍යසේවයෙ ‘විශේෂ සේවා බලකායක් ‘ හදල ඒකෙ ප්‍රධානිය කරල මේවගෙ නොවිසඳුනු ගැටලු විසඳන එකම බාර දෙන්න ඕන.

    Like

    1. ඔබ හරියට හරි. සිරි අයියානරක කෙනෙක් නෙවිඑයා කොච්චර අවංක හොඳ කෙනෙක්ද කියල තේරුනෙ අන්තිමේ සිද්දිය දැන ගත්තම මම ක්‍රපු දේ අගය කරපු විදියෙන්.බාහිර දේගැන අවබෝධයක් අයුක්තියක් වැලැක්වීමේ ඕනෑකමත් තමයි මගෙලඟ බහුලවතියෙන්නෙ.මංවාගෙ අය තවබොහෝ ඇති.පුලුපුලුවන් හැටියට මේබිමේ අපිවෙනුවෙන් ආයෝජනය කරපු දුප්පත් මගේ රටවාසීන්ට පිහිටවෙන එකතමයි එකම බලාපොරොත්තුව.

      Liked by 1 person

  5. ඉතා ඉහළ වින්දනයක් ලැබුවා ඔබතුමා ගේ අත්දැකීම් කියවිම තුලින්.ඒ වගෙම ලොකු ඉගෙනිමක් , දැනුම ක් ලබා ගත්තා රාජකාරි ජිවිතයට ..

    Like

  6. ඇස් දෙකට කදුළු ආවා. ඒ වාගේම ඔබ කවම කෙළඹ දිසාපති නම් ඔබේ තනතුරටම කළුතරින් ආ කෙනෙකු ගැන මහා පිළිකුළක් ඇති උනා.

    Liked by 1 person

    1. මොකද අප්පේ එහෙම උනේ.නා නා ප්‍රාකාර මිනිස්සු ඉන්නවානෙ.උපේක්ෂාවෙන් හිතන්න.මම තවම කොලඹ දිසාපති.මම නම් වෙනත් තනතුරු බලාපොරොත්තුවක් නැහැ.මේක නැති උනත් උපේක්ශාවෙන් භාර ගන්නවා.

      Like

  7. කාර්යාලයේදී පහලින් යම් සහනයක් ලබා ගැනුමට ඉල්ලීමක් ආවම නොදී සිවීමට කැසකවන නිලධාරියම, ඒහා සමාන ගැටලුවලට මුහුණදෙන පිරිසක් ක්ෂේශ්ත්‍ර චාරිකා වලදී වැඩපලේදී හමුවූනාම ඔවුන්ගේ දුක්ගැනවිලි විමසා ඔවුන් බලාපොරෝත්තුවෙනවටත් වඩා සහන ලබාදෙනවා. එහි හාස්‍ය වැටහෙන්නේ ඔබේ ලිපි කියෙව්වමයි, මතුවට අවස්තාවක් ලැබුනොත් කාර්යාලයේදී ගැටලුව එසේ නොකරන්නට ඉටා ගත්ත, හරියයිද මන්ද.

    රජයේ සේවයේ අත්දැකීම කියවීමත්, රජයේ සේවය ලබාගන්නට යන පුරවැසියන්ට සිදුවන අකරතැබ්බ ගැන කියවීම සේම රසවත්.

    Like

  8. ස්තුතියි! ස්වෙච්චා හමුදාවේ සක්‍රිය සේවයට කැඳවීම ලද අවස්ථාවේ සිට ඔහු ‘සක්‍රිය සේවයේ’ නියුතු නිළදාරියෙක් ලෙස සැලකිය යුතුයි. . ඊට පස්සේ එක්කෝ killed in action (KIA) නැත්නම් ‘while performing operational duties’ කියල තමයි සැළකෙන්නේ.. ඔබට මේ පොයින්ට් එක මතක් උනා කියන තැනට එනකම් මම බොහොම අපහසුවෙන් කියෙව්වේ ‘ඇයි එහෙම කරේ’ කියල.. නැවතත් ස්තුතියි!

    Liked by 2 people

    1. මෙතැන වී තිබුනේ සිවිල් රාජ්‍ය නිලාධාරින් ට අදාල සේවයේ යෙදී සිටියදී විපතට පත් යන යෙදුම ස්වේච්චා හමුදා සේවයේ නිරතව සිට විපතක් සිදුවූ අවස්ථාවකට ගැලපෙන ලෙස යොදාගැනීමේදී අවශ්‍යප්‍රායෝගික ගලපා ගැනීමේ නොහැකියාව පිලිබඳ ගැටලුවයි.මට කල්පනා උනේ නින්දේදී මියයාම සාමාන්‍ය නිලධාරියෙකුට රාජකාරි වෙලාවක් නොවුනත් රජයේ අවශ්‍යතාවයට දුර බැහැර සේවා ස්තානයකට යැවූ හමුදා නිලයක් දැරූ රාජ්‍ය නිලධාරියෙකුට එසේ සැලකීමේ යම් නොගැලපෙන බවක් තියෙනවා නේද යන්නයි. එහෙමනම් ඔහු අරබයා කෙසේකටයුතු කලයුතුදැයි කල්පනා කිරීමේදී තමයි සක්‍රීය සේවය යන වචනය ට අවධානය යොමු උනේ.චක්‍රලේඛන යනු නීති නොවේ.මගපෙන්වීම් පමනයි.පෙන්වා ඇති මග කටු අකුල් ද්‍ර්ග මාර්ග ඇති විට විකල්ප මාර්ගයක් භාවිතා කල යුතුයිනෙ.ඕක අපේ රාජ්‍ය නිලධාරින්ට වැටහුන දාට මේ වගේ ගැටලු එන්නෙ නෑ.ස්තූතියි ඔබේ සටහනට.

      Liked by 1 person

  9. චන්ද්‍රසෝම සහ දේවේන්ද්‍ර යන මහත්වරු තමන්ගේ සිවිල් සේවා අත්දැකීම් ගැන ලියූ memoirs කියවල තියනවද? මට හිතෙන්නේ ඒ ලේඛක පරපුරේ හොඳම වර්ථමාන ලියවීම් ඔබගේ කියල

    Like

    1. තිස්ස දේවෙන්ද්‍ර මැතිතුමාගෙ “කච්චේරි කාලේ රමනීය කථා පොත”නම් කියෙව්වා.චන්ද්‍රසෝම මහතාගෙනම් කියවන්න හමූනේනෑ.බොහොම ස්තූතියි අගය කිරීමට.එය මට මහත් දිරියක්.

      Liked by 1 person

  10. ඔබ ලියූ ලිපි සියල්ලම කියවූවා.හදවතට දැනෙන ලෙස ලියා තිබෙනවා.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s